18 June, 2026

Blog

මොවුන්ට භික්ෂූන් කියමුද?

තිසරණී ගුණසේකර

මෝඩයා අනවශ්‍ය කීර්තිය, භික්ෂූන් අතර ප්‍රමුඛත්වය, ආරාම කෙරෙහි අධිකාරිය සහ ගෘහපතියන් අතර ගෞරවය අපේක්ෂා කරයි” – බුදුන් වහන්සේ (ධම්මපද – බාලවග්ග)

මෙහි සාකච්ඡාවට ගනු ලබන ප්‍රකාශය එවැන්නක් නොවුනත් එය AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද සරදමක් ලෙස අසන්නකු විසින් බැහැර කරනු ලැබුනොත් ඒ සම්බන්ධයෙන් ඔහුට සමාව දිය යුතුව ඇත. පෞරාණික මිහින්තලය විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ තමාට විශේෂ සම්බන්ධතාවයක් ඇති බව පසුගිය දා කියා සිටියේය. ධම්මරතන හිමියන් පවසන ආකාරයට උන්වහන්සේට ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මෙන්ම මාර්ක් සකර්බර්ග් සමඟ ද සමීප සම්බන්ධතාවයක් ඇත. එම සම්බන්ධය ගොඩනැගී ඇත්තේ එංගලන්තයේ, කේම්බ්‍රිජ් සරසවියෙහි ඉගෙනුම ලබන” උන්වහන්සේ දන්නා “ළමයෙකු” මාර්ගයෙනි.

තවදුරටත් අදහස් දක්වන භික්ෂුව කේම්බ්‍රිජ් හි ‘දරුවා’ ශ්‍රී ලංකාවට බල පැවැත්වුන ඇමරිකානු තීරුබදු අඩු කිරීමට දායක වූ බව හෙළිදරව් කළේය. “ට්‍රම්ප් මහතාගේ දරුවෙකු හෝ මුණුබුරෙකු ඔහු සමඟ ඉගෙන ගන්නවා. මේ 30% ආවේ ඒ හරහායි… අපි මෙයින් පෙර මේ සිදුවීම ගැන කියා නැහැ. නමුත් දැන් අපි මෙය කියනවා.” තව දුරටත් අදහස් දැක්වූ භික්ෂුව එන්.පී.පී. ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරාජය කිරීම සඳහා සිය සමීප සම්බන්ධතා පාවිච්චි කරන බවට තර්ජනය කළේය. “ඉතින් (අපි) ඒ දරුවා හරහා ජනාධිපති ට්‍රම්ප් සහ සකර්බර්ග් මහතා හමුවෙනව. සිදුවෙමින් පවතින විනාශය නැවැත්වීමට, රට සංවර්ධනය කිරීමට, සහ ක්‍රමය වෙනස් කිරීමට ඔවුන්ව පොළඹවන්නෙමු”.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුත්‍රයා වන බැරන් (Barron) නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ට්‍රම්ප්ට මුණුබුරන් එකොළොස් දෙනෙකු සිටින අතර ඔවුන් වයස අවුරුදු දහ අටේ (18) පටන් මාස කිහිපයක් දක්වා විවිධ වයස් කාණ්ඩවලට අයත් වෙති. එම දරුවන්ගෙන් කිසිවෙක් විශ්ව විද්‍යාල සිසුන් නොවේ. වෙනත් වචන වලින් සඳහන් කරන්නේ නම්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කිසිදු දරුවෙකු හෝ මුණුබුරෙකු කේම්බ්‍රිජ් හි (හෝ ඔක්ස්ෆර්ඩ් හෝ වෙනත් බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක) අධ්‍යාපනය නොලබති.

එම තොරතුරු අනුව පෙනීයන්නේ එක්කෝ භික්ෂුව අසත්‍ය ප්‍රකාශ කරන බවකි. නැත්නම්, බොහෝ විට එතුමෝ ප්‍රෝඩාවකට ගොදුරු වී සිටීමේ ඉඩකඩක් පවතී.

“මෝඩයා ගේ සිතිවිලි දිළිඳුය. කතාබහ දිළිඳුය. එසේම ක්‍රියාව ද දිළිඳුවන්නේ ” යයි බුදුන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍රයේ දේශනා කරති. මිහින්තලේ විහාරාධිපති භික්ෂුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු අතර ඇතැයි කියන කිට්ටු සම්බන්ධය පිළිබඳව ඉහත සඳහන් කරන ලද හාස්‍යජනක ප්‍රකාශය කරන විට ප්‍රදර්ශනය කෙරුනේ ඔහු ගේ දුර්වල චින්තනය, දුර්වල කතාව සහ දුර්වල හැසිරීමය. උන්වහන්සේගේ මානසික දරිද්‍රතාව කෙතරම්ද යත්, එවැනි විකාර සහ පැහැදිලි අසත්‍ය ප්‍රකාශයක් සිදුකරනු ලැබීම හේතුවෙන් තමා විහිළුවක් බවට පත්වන බව වටහා ගැනීමටවත් අසමත් විය.

ජාතික ජන බලවේගය සහ ජවිපෙ නායකත්වය දෙන ආණ්ඩුව විසින් ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ දියත් කරන ලද කඩිමුඩිය සහ අසමත්භාවය විසින් මිහින්තලේ විහාරාධිපති හිමියන් වැනි දේශපාලන භික්ෂූන්ට නව ජවයක් සපයනු ලැබ ඇත. හදිසියේම අනපේක්ෂිත ස්ථානයකින් පෙනී සිටින ඔවුහු අසභ්‍ය වචන පාවිච්චි කරමින් නව කුමන්ත්‍රණ න්‍යායන් බිහි කරමින් සිටිති. නිදසුනක් වශයෙන්, මව්වරුන්ගේ පෙරමුණ ලෙස හඳුන්වන සංවිධානයක් විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ නායකයා වන ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව Canard II වන්ධ්‍යකරණය දියත් කළේය. ඔහු කියා සිටියේ වසර දහයක් තුළ මව්වරුන් 877,000 ක් වන්ධ්‍යකරණයට ලක් කර ඇති බවය.

ඩබ්ලිව්. ඒ. අබේසිංහ ඔහුගේ “The Kingdom of Gautama Buddha and other debatable essays”(ගෞතම බුද්ධ රාජධානිය සහ වෙනත් විවාදාත්මක රචනා) කෘතියෙහි “දේශපාලන භික්ෂුව ශාසනය නමැති වෘක්ෂයෙහි වැඩුන ආක්‍රමණශීලී මිදී වැලකට” සමාන බවට අනතුරු අඟවයි. “මිදි වැල වැඩුණු පසු ගස මිය යනු ඇත. එය දැන් සිදුවෙමින් පවතී”. දේශපාලන භික්ෂුව විසින් මාරාන්තික අනතුරක් එල්ල කරනු ලබන්නේ ශාසනයට පමණක් නොවේ. ඔහුගේ ඉලක්ක සහ ක්‍රියාවන් දේශපාලනික වන බැවින්, ඔහු දේශපාලන ශරීරය ආක්‍රමණය කරනු ලබන මිදි වැලක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදයට ද අනතුරකි. එසේම, සමාජ ප්‍රගතියට බාධාවකි. එන්පීපී/ජේවීපී ආණ්ඩුවේ වැඩ වරද්දා ගැනීම් සහ අවුල් සහගත ක්‍රියාවන්ට පිං සිදුවන්නට දේශපාලන භික්ෂුව නැවත ඔවුන්ගේ වැඩ ආරම්භ කර ඇත.

කසාවන් සිහින

භික්ෂූන්ගේ දේශපාලන සහභාගිත්වය ඇතැම්විට ශාසනය තරම්ම පැරණි විය හැකිය. එහෙත්, අද රජයන මිථ්‍යාමය තත්වයට සාපේක්ෂව පුරාතන ලංකාවේ භික්ෂූන් වහන්සේ කිසි විටෙකත් සෘජුව දේශපාලන බලය අවභාවිත කරනු ලැබ නැත.

“රජතුමාට සහයෝගය පිණිස භික්ෂූහු තම සමාජ බලපෑම උපයෝගී කරගත් අතර, රජතුමා භික්ෂූන්ගේ උවමනාවන් සම්බන්ධයෙන් සොයා බැලීය” වල්පොල රාහුල හිමි පෙන්වා දෙයි. “මහජනයා සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත්වූ සංඝ සමාජය සතු ප්‍රබල සමාජ බලපෑම රජතුමා විසින් හඳුනා ගත්තේය.

එබැවින්, දරුණු අපරාධ සිදු කළ රජවරු, සංඝයාට ගෞරව කරමින්, තමන්ට වාසිදායක වන පරිදි මහජනයාට බලපෑම් කිරීම පිණිස උන්වහන්සේලා රට පුරා යවන ආකාරය අපට දැක ගත හැකිය. “එය දෙපාර්ශ්වයට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයක් විය.” එබැවින් රජවරුන් සංඝයා වෙනුවෙන් සිදුකරන ලද ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් පෙරළා විපුල පල ලදහ”. (History of Buddhism in Ceylon).

එකී අනුග්‍රාහක-සේවාදායක සම්බන්ධතාවයේ දී, (මුදල් වැය කරනු ලැබීම ද ඇතුළුව ) ප්‍රමුඛත්වය හිමිවුණේ රජවරුනටය. දෙපාර්ශ්වය අතර එකඟතා සහ ගිවිසුම් උල්ලංඝනය කරනු ලබන භික්ෂූන්ට දඬුවම් කිරීමට ද රජවරු මැලි නොවූහ. රාහුල හිමියන් සඳහන් කරන පරිදි, සාම්ප්‍රධායික පිළිවෙත උල්ලංඝනය කරමින් සද්ධාතිස්ස රජුගේ වැඩිමල් පුතණුවන් වූ ලජ්ජිතිස්ස (ක්‍රි.පූ 59-50B) වෙනුවට බාල පුතණුවන් වූ ථුල්ලථන (ක්‍රි.පූ 69) රජ කරවීමට භික්ෂූහු කුමන්ත්‍රණය කළහ. ලජ්ජිතිස්ස සිය සොහොයුරා වූ ථුල්ලථන රජකමින් පහකළේය. සංඝයා සම්බන්ධයෙන් අප්‍රසාදයට පත් ලජ්ජිතිස්ස තෙවසරක් ම සංඝයා නොතකා හැරියේය. (Rahula – History of Buddhism in Ceylon). “සංඝයා බලයක් විය නොහැක” එච්. එල්. සෙනෙවිරත්න The Work of Kings හි නිගමනය කරයි. “එය බලයෙහි අතකොළුවක් පමණක් විය හැකිය”

සිය ජනාධිපති ධුර කාලයෙහි මුල් අදියරෙහි ප්‍රකාශයක් කළ රනිල් වික්‍රමසිංහ, 2023 නිදහස් දිනයට පෙර ජනවාර්ගික ගැටලුව විසඳන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දුන්නේය. (එහෙත් ඔහු එම පොරොන්දුව කඩ කළේය). අගලකඩ සිරිසුමන තෙරුන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කුපිත විය. “නායකයන්ට ඔවුන්ට අවශ්‍ය පරිදි එවැනි දේවල් සිදු කිරීමට ඉඩ දිය නොහැකි” බවට සිරිසුමන තෙරුන් ගෝරනාඩු කළේය. භික්ෂුව කියාසිටියේ “පාලකයන් එසේ කළහොත්, භික්ෂූන් වහන්සේට ඔවුන් කණින් ගෙන විසි කළ හැකි” බවය. පුරාණ ලංකාවේ භික්ෂූන් වහන්සේලා පාලකයන් ‘ඔවුන්ගේ කණින් ගෙන විසි කිරීමට’ උත්සාහ කර ඇත. එහෙත් එහි ප්‍රතිවිපාක, විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට සතුටුදායක නොවීය. නිදසුනක් වශයෙන්, චෝරනාග රජු තම ඥාති සහෝදරයා වූ මහාචූලික මහාතිස්සට එරෙහිව දියත් කළ කැරැල්ලේ දී භික්ෂූන් වහන්සේ තමාට රැකවරණය දීම ප්‍රතික්ෂේප කළ හෙයින් විහාර දහඅටක් (18) ක් විනාශ කළේය.

සිහසුන පිටුපස සිටින සැබෑ බලවන්තයා බවට පත්වෙමින් ජාතියේ සැබෑ බේරුම්කාරයා වීමට නූතන දේශපාලන භික්ෂුව සිහින දකියි. එහෙත් එම තත්වය දිනා ගැනීමට නම් ඔවුන් ගිහි දේශපාලන නායකයන්ගේ කර මත නැගිය යුතුව ඇත. 1956 දී ඔහු බණ්ඩාරනායක වූ අතර අද රාජපක්ෂ වී ඇත. බොහොමයක් ඉස්ලාමීය රටවල ආධිපත්‍යය උසුලන්නා වූ ‘උලෙමා-රාජ්‍ය සන්ධානය’ පිළිබඳව අදහස් දක්වන තුර්කි විද්වතකු වන මුස්තාෆා අහ්ක්යෝව්ල් (Mustafa Akoyal) “ඒකාධිපති පාලකයන් ඇදහිල්ලේ ආරක්ෂකයා හැටියට පෙනී සිටින තාක් ඔවුන් සාධාරණීකරණය කිරීමට බොහෝ ආගමික විද්වතුන් සතුටු බව” (Reopening Muslim Minds: A Return to Reason, Freedom, and Tolerance) සඳහන් කරයි. එම විග්‍රහය ලාංකික භික්ෂුව සම්බධයෙන් ද සැබෑවකි.

1956 අවධියෙහි මෙන් නොව, අද දේශපාලන භික්ෂුව තම දේශපාලන අනුග්‍රාහකයාගෙන් එක්තරා ස්වාධීනත්වයක් පවත්වා ගනී. එමගින් දේශපාලන භික්ෂුවකට ගිහි දේශපාලනඥයන් යාමට මැළිවන ස්ථානයක් කරා යාමට හැකියාව ලබා දෙයි. නිදසුනක් වශයෙන්, 2022 දෙසැම්බර් මාසයේදී, මිහින්තලේ විහාරාධිපති භික්ෂුව අළුතින් වැඩ ඇල්ලූ රනිල් වික්‍රමසිංහ පරිපාලනයට අවසන් නිවේදනයක් නිකුත් කරමින් මාසයක් ඇතුළත මහජන දුක් වේදනා සමනය කිරීමට අපොහොසත් වුවහොත්, ආණ්ඩුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා නෙරපා හැරීමට නව අරගලයක් සඳහා ජනතාව මෙහෙයවන බවට තර්ජනය කළේය. මහා මාධ්‍ය අඬහැරයක් වූ නමුත් මිහින්තලේ අරගල ව්‍යාපෘතිය ස්වාභාවික ලෙසම මැකී ගියේය. අමතරව, භික්ෂූ මැදිහත්වීම් පමණ ඉක්මවා මතභේදාත්මක සහ අපහසුතාවන්ට හේතු වෙන අවස්ථාවන්හි යම් තරමක ප්‍රතික්ෂේප කිරීමකට ඉඩ සලසන හෙයින් දේශපාලන භික්ෂුවගේ එම සාපේක්ෂ ස්වාධීනත්වය ගිහි දේශපාලනඥයන්ට ද ගැලපේ.

ආගමික සහ වාර්ගික ස්වෝත්තමවාදය දේශපාලන භික්ෂූන් විසින් තෝරා ගන්නා ලද අවිය වී ඇත. 1962 විශ්ව විද්‍යාල කොමිසම (කොමිසමේ ත්‍රිපුද්ගල සාමාජික කමිටුවේ සියල්ලෝම සිංහල-බෞද්ධයෝ වූහ ) ඔවුන්ගේ වාර්තාව මගින් “1958 මුල් භාගයේදී ඉතා පිළිකුල් සහගත මට්ටමින් පුපුරා ගිය වාර්ගික හා ආගමික හැඟීම් අවුලුවාලීමට දේශපාලන භික්ෂූන් ගේ හැසිරීම බෙහෙවින් වගකිව යුතු” බව නිගමනය කර ඇත. ඉන් වසර හැත්තෑවකට (70)ආසන්න කාලයකට පසුවත්, දේශපාලන භික්ෂුව දෙමළ, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි සතුරු අදහසෙහි තවමත් ගැලී සිටියි. දේශපාලන භික්ෂුවගේ අභිරුචි ක්‍රියාමාර්ගය වන්නේ සිංහල-බෞද්ධ ශ්‍රී ලංකාවට දෙමළ, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි තර්ජනයක් එල්ල වන බවට චෝදනා කරමින් කොතැනක හෝ කුමක් හෝ ගැටුමක් ඇති කිරීමය.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා යාපනයෙහි සිදු කළ සංචාරයේදී, එවැනි එක් උත්සාහයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීය. එනම් යාපනයේ තිස්ස විහාරය මුල්කර ගනිමින් ගැටුමක් ඇති කිරීමට දිගින් දිගට ගනු ලැබෙමින් පවතින උත්සාහයන් සම්බන්ධයෙනි. මතභේදයට තුඩු දී ඇති තිස්ස විහාරය ගෝඨාභය ජනාධිපති සමයෙහි ඉදිකරන ලද්දකි. වර්තමාන තිස්ස විහාරයට අයත් ගොඩනැගිලි 1940 දශකයෙහි සිංහල බැතිමතෙකු විසින් විහාරයක් සඳහා පූජා කරන ලද බිම්කඩෙහි නොව යුද සමයේ හමුදාව විසින් අල්ලා ගන්නා ලද පෞද්ගලික ඉඩමක ඉදිකරනු ලැබ ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසති. ඓතිහාසික නාගදීප විහාරයේ අධිපති නවදගල පදුමතිස්ස හිමියෝ තිස්ස විහාරය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කියා සිටින එම අදහස සමග එකඟ වෙති. “නමුත් යුද හමුදාවේ සහාය ඇතිව, පිට පළාත්වලින් පැමිණි භික්ෂූන් වහන්සේලා එම ප්‍රදේශයේ ජීවත් වෙන අපගේ දෙමළ සහෝදර ජනයාට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තා. අදාළ ප්‍රදේශයට පැමිණීමට කිසිවෙකුට අවසර නොලැබුන අතර මෙම විහාරස්ථානය රහසිගතව ඉදිකර තිබෙන්නේ එම දෙමළ ජනතාවට අයත් ඉඩමකයි”

යාපනයේ දී මහ ජනතාව ඇමතූ ජනාධිපති දිසානායක සිය කතාව ආරම්භ කළේ “අපි දශක ගණනාවක් තිස්සේ සටන් කළා. අපිට ලැබුණේ කුමක්ද ?” යනුවෙන් ප්‍රශ්න කරමිනි. “කිසිවක් නැත… අවසාන ශේෂ පත්‍රය දැවැන්ත ව්‍යසනයක් පමණි .” යනුවෙන් ඔහු විසින් ම ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු සපයනු ලැබුණි.

අනතුරුව, ඔහු තවදුරටත් කියා සිටියේ, තම රජය කිසිදු ආකාරයක ජාතිවාදයක් කොතැනක හෝ හිස එසවීමට ඉඩ නොදෙන බවය. තිස්ස විහාරය ගැන පැහැදිලිව සඳහනක් කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය, “සමහරු පෝයට සිල් සමාදන් වීමට, ශ්‍රී මහා බෝධිය පසුකර යාපනයට ලඟා වෙති. එහි අරමුණ සීලය නොව වෛරයයි. එසේ නොමැතිනම්, මෙතරම් පන්සල්, බොහෝ පූජනීය ස්ථාන පසුකර යාපනයේ එක් නිශ්චිත ස්ථානයකට ලඟා වන්නේ ඇයි? මෙය සීලය නොව වෛරයයි. එය සිදුකෙරෙන්නේ ඉඩම් සඳහා. ජාතිවාදය සඳහා”. ජනාධිපති දිසානායක සිය කතාව අවසන් කළේ බලය අහිමි වූ ජාතිවාදී කණ්ඩායම් විවිධ ස්ථානවල නැවත ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන නමුත් ඔවුන්ගේ උත්සාහයන් පරාජය කරන බව කියා සිටිමිනි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කතාවට අනුකූලව කටයුතු කරනු ඇද්ද? යන්න ඉදිරියෙහි දැකගත හැකිය. නමුත් වචනවල පවා යම් වටිනාකමක් වෙයි. ජනාධිපති දිසානායක බොහෝ දේශපාලන නායකයන් (ඒ සඳහා පැහැදිළි උදාහරණය සජිත් ප්‍රේමදාසයි )ගමන් ගැනීමට අකමැති දිශාවකට ඔවුන් සමඟ යොමු විය. මේ අතර එළැඹෙන ඉදිරි සති සහ මාසවල දී, දේශපාලන භික්ෂුව දේශපාලන හා සමාජීය අස්ථාවරත්වය සඳහා තම උත්සාහයන් තීව්‍ර කිරීමට ඉඩ තිබේ. මෙහිදී මතුවෙන ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව තමන්ගේම ඉලක්ක හඹා යමින් සිටින අතරවාරයේ දේශපාලන භික්ෂුවට ඔහුගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා උදව් වේද ? යන්නයි.

භික්ෂුව යනු කවරෙක් ද?

ලෝකයට අලුත් වීරයෙක් පහළ වී සිටියි. ඔහු සුනඛයෙකි. ‘ආලෝකා'( Aloka) නම් ඉන්දියානු වීදි සුනඛයා ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව පුරා මහජන අවධානය දිනාගෙන ඇත.

‘ආලෝකා’ වියට්නාම් – ඇමරිකානු භික්ෂූ සමූහයක් සමඟ “සාම පාද යාත්‍රාව” (Walk for Peace) යනුවෙන් නම්කරනු ලැබ තිබෙන සැතපුම් 2300 ක වන්දනා ගමනකට එක්ව සිටියි. ටෙක්සාස් හි ෆෝර්ට් වර්ත් හි(Fort Worth) වැඩ වෙසෙන මෙම භික්ෂූන් වහන්සේලා ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අයත් වෙති.

වොෂිංටන් බලා යන එම සාම පා ගමන සිදුකෙරෙන්නේ කලක් ජිම් ක්‍රෝ (Jim Crow) වාසය කළ සහ ‘Ku Klux Klan’ (KKK) ක්‍රියාත්මක වූ කළාපයක් ඔස්සේය. එම භික්ෂූහු කිසිවක් ඉල්ලා සිටින්නේ නැත, කිසිවක් කෙරෙහි විරෝධය පළ නොකරති. කිසිවකුට එරෙහිව කිසිවක් ප්‍රදර්ශනය නොකරති. උන්වහන්සේගේ පැහැදිළි කිරීම අනුව සාම පා ගමනේ එකම අරමුණ සාමය, යහපත් සිහිකල්පනාව පිහිටුවා ගැනීම , ලොවට අනුකම්පාව සහ දයා කරුණාව පළකිරීම පමණි.

සාම චාරිකාවේ නිරත භික්ෂූන්ගේ ඉලක්කය, කැපවීම සහ හැසිරීමේ විලාශය බෞද්ධයන් නොවන බොහෝ ජනයාගේ සිත් ආකර්ෂණය කරගන්නා සුළුය. “ඔවුන්ගේ සමස්ත අරමුණ දයාව අනුකම්පාව, එකමුතුකම සහ එළැඹි සිහියෙන් පසුවීම යන ගුණාංග ඒවා වඩාත් අවශ්‍ය ස්ථාන කරා හදුන්වා දීම වන හෙයින් සාමය සඳහා ඇවිද යන ගෞරවනීය භික්ෂූහු ප්‍රචණ්ඩත්වය, නොසන්සුන්තාව හෝ ගැඹුරු බෙදීම් අත්විඳ ඇති ඇමෙරිකානු නගර සහ උප නගර ඔස්සේ හිතාමතා සැලසුම් කොට ගමන් ගනිමින් සිටින බව ඔබ දැන සිටියාද?” යනුවෙන් ඩීන් මුවර් (Deann Moore) ලියා ඇත. “ඔවුන් දුෂ්කර ස්ථාන මඟ හරින්නේ නැහැ. ඔවුන් එවැනි ස්ථානවලට ලඟා වෙනවා. එම පිළිවෙත මගින් මෙම කණ්ඩායම සාමකාමී මාවතක් බෙදා හදා ගැනීම සඳහා චාරිකාවේ නිරතවෙන මෙන් භික්ෂූන් දිරි ගන්වනු ලබන මුල් බෞද්ධ ඉගැන්වීම කරා සමීප වෙති.

සිංහල පමණක් සටනට නායකත්වය දීම වෙනුවට ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේත් එයාකාරයෙන් හැසිරුනොත් කුමක් සිදුවනු ඇද්ද?
සිය ජනාධිපති ධුරයේ මුල් අවධියේදී, රනිල් වික්‍රමසිංහ උද්ඝෝෂණ ව්‍යාපාරවලට සම්බන්ධ ඇතැම් භික්ෂූන් සිවුරු පැළඳ සිටින ළදරුවන් ලෙස හඳුන්වමින් දේශපාලනයට හවුල්වීම වෙනුවට ඔවුන්ට පැවරුන කාර්යභාරය වෙනුවෙන් පෙනී සිටින ලෙස භික්ෂූන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. “ධර්මයට පටහැනිව ක්‍රියා කිරීමේ දී හුදෙක් සිවුරු පොරවා ගත් පමණින් විශේෂ රැකවරණයක් නොලැබෙන බව” ඔහු පැහැදිලි කළේය.

අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය බවට පත්ව ඇති තත්වය අනුව, කහ පැහැති සිවුරක් පැළඳ සිටින ඕනෑම තැනැත්තෙක් භික්ෂුවකි. එකී සම්ප්‍රධාය අනුව කහ පැහැති සිවුරක් පොරවා සිටින ඕනෑම පුද්ගලයෙකු නමස්කාරය හා විශේෂ සැලකිලි ලැබීමට සුදුසුකම් ලබයි. සිවුරක් පැළඳ ඒ තුළ සිටින මිනිසා කවුද? ඔහුගේ ස්වභාවය කුමක්ද? යන්න අවැදගත් වෙයි. 1934 නොවැම්බර් 30 වන දින ‘ලක් මිණි පහන’ පුවත්පතේ කතුවැකිය ලියන මුනිදාස කුමාරතුංගයෝ එම පිළිවෙතට එරෙහිව අනතුරු ඇඟවීමක් කළහ. ‘වෙස්වළා ගැනීම හෝ පෙනුම’ සඳහා වන්දනා කිරීම රඟහලට පමණක් සීමා විය යුතු බව කුමාරතුංග එම කතුවැකියෙහි පෙන්වා දුන්නේය. එය පොරවා සිටින පුද්ගලයාගේ ගුණාංග නොසලකා කහ පැහැති සිවුරට නමස්කාර කිරීමේ පුරුද්ද දිගට ගියොත්, අන්තිමේ දී අපට රෙදි වැලක එල්ලා ඇති කහ සිවුරු වන්දනා කිරීමටත් සිදුවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

අධම අදහස් අධම වචන සහ අශීලාචාර හැසිරීමක් සහිත අයෙකු වුවද, සිවුරක් පොරවා සිටින්නේ නම් ඔහු වන්දනාමාන ලැබීමට සුදුසු යයි සැලකෙන තත්වයක් අද පවතී. (අහම්බයකින්, ලාල් කාන්ත ඇමතිවරයා එවැනි සිවුරු දරන්නන් ‘වනචාරීන්’ හැටියට හැඳින්වීම වැරදි යෙදුමකි. වනචාරීන් යන වචනයෙන් දැක්වෙන්නේ වනාන්තරවල ජීවත් වන අයයි. මෙම සිවුරු දරන්නන් වනාන්තරවල ජීවත් වන සතුන් හා මිනිසුන්ට සමාන කිරීම දෙවනුව දක්වන ලද කණ්ඩායමට කෙරෙන අපහාසයකි).

මේ සතියේ (මෙම ලිපිය ලියන සතියේ) අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව අශිෂ්ට සහ පිළිකුල් සහගත වාග් ප්‍රහාරයක් එල්ල කළ බත්තරමුල්ලේ සීලරතන භික්ෂුව මිහින්තලේ විහාරාධිපති හිමියන් බැහැ දැකීමට ගියේය.එම හමුවේ දී භික්ෂූන් දෙදෙනාම දේශපාලනඥයන්ට පුණ්ණ සූත්‍රය සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි කියමින් වැලපුනහ. මෙහිදී මතුවෙන ප්‍රශ්නය වන්නේ එම භික්ෂූන් දෙදෙනාගෙන් එක් අයෙක් හෝ පුණ්ණ සූත්‍රය කියවා තිබේද? යන්නයි. තමා රළු පරුෂ මිනිසුන් වෙසෙන සුනාපරන්ත ජනපදයට වැඩම කරන බව පුණ්ණ නම් භික්ෂුවක් බුදුන් වහන්සේට දැනුම් දුන්හ. දරුණු යයි සම්මත සුනාපරන්තවාසීන් ඔබට බැණ වැදුනහොත් සහ නිග්‍රහ කළහොත් කරන්නේ කුමක්දැයි බුදුන් වහන්සේ පුණ්ණ භික්ෂුවගෙන් විමසූහ. සුනාපරන්තවාසීන් තමාට (බැණ වැදුනත්) අතින් පයින් පහර නොදෙන හෙයින් ඔවුන් යහපත් මිනිසුන් ලෙස සිතන්නේ යයි පුණ්ණ භික්ෂුව පිළිතුරු දුන්හ. එහෙත් අද තමන්ට එරෙහිව කිසියම් අවමානයක් පරිභව කිරීමක් සිදු වූ වහාම බොහෝ භික්ෂූන් සිදුකරනුයේ මුද්‍රණය කළ නොහැකි අශිෂ්ට භාෂාවකින් පිළිතුරු දෙන අතරවාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) කරා දිව යාමය. කහ සිවුරින් සැරසුණු පමණින් එවැන්නන් බුදුන්ගේ සැබෑ අනුගාමිකයන් විය හැකිද? අපි ඔවුන්ට එලෙස සැලකිය යුතු ද? අපගේ අනාගතය තීරණය කිරීමේ කාර්යය සඳහා ඔවුන්ට ඉඩ දිය යුතුද?

Call Them Monks? යන හිසින් යුතුව, Colombo Telegraph වෙබ් අඩවියෙහි, 2026 ජනවාරි 18දින පළවූ ලිපියේ සිංහල පරිවර්තනය: උපාලි ගජනායක විසිනි.

Latest comments

  • 2
    0

    දුෂ්ට භික්ෂූන් වහන්සේලා සහ වංචනික දේශපාලනඥයන් දෙදෙනාම වැරදිකරුවන්. ඔවුන් එම කාර්යය හොඳින් කළා නම්, මේ රට ඉදිරියට යන්න තිබුණා. අද, ඉංග්‍රීසි ගුරුවරුන්ට පවා ඉංග්‍රීසියෙන් කුඩා කතාවක් පැවැත්විය නොහැක, මන්ද ජෙප්පන් ඔවුන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඉඩ නොදී මඟ දිගේ සිටගෙන සිටියහ. මිස්ටර් ආර්.ඩබ්ලිව්ගේ ධවල පත්‍රිකාව වසර 40 කට පෙර ක්‍රියාත්මක කළේ නම්, මෙවැනි ඉංග්‍රීසි දැනුමක් ඇති හිස් තැනක් ඇති නොවනු ඇත. වත්මන් රජය අධ්‍යාපනයට ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් මේ සියල්ල සලකා බැලිය යුතු අතර, එය හිටපු ජනාධිපති ආර්.ඩබ්ලිව්ගේ ධවල පත්‍රිකාවේ සඳහන් කළ ආකාරයටම නොවිය යුතුය, නමුත් එය අද ලෝකය සමඟ ගැලපිය යුතුය. ඩිජිටල්කරණය සෑම තැනකම පිළිගනු නොලැබේ. යුරෝපීය රටවල අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවල සමහර ආකෘති අසාර්ථක වී ඇත.

  • 2
    0

    ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන්ට තම ගුරුවරුන් විසින් ඉගැන්විය යුතු අතර, දිවයිනේ සමාජය තුළ ඔවුන්ට ලබා දී ඇති තනතුර අනිසි ලෙස භාවිතා නොකළ යුතුය. අද ජීවිතයේ වැරදි කරන වැරදිකරුවන් හෝ භික්ෂූන් පාලනය කිරීමට ඉහළ පෙළේ භික්ෂූන්ට පමණක් හැකි නම්, ඔවුන්ට සමාන අදහස් ඇති අනෙකුත් බෞද්ධ සමාජවල මෙන් දැඩි දඬුවම් ලබා දිය යුතුය. බොහෝ බලාපොරොත්තු ඇතිව, වත්මන් නායකයින් එහි ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද අතර, අද ඔවුන් වසර 1.5 ක් බලයේ නොසිටි අතර, පවතින නරක පද්ධතිවලට දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව ජනතාවට හැඟේ. ජනතාව වඩ වඩාත් බලාපොරොත්තු රහිත වෙමින් සිටිති. වත්මන් කණ්ඩායම අපගේ වටිනා කාලය නාස්ති කර අපව පෙර නොවූ විරූ තත්වයකට ඇද දමනු ඇතැයි අපි අපේක්ෂා නොකරමු. අපි පැහැදිලිවම ගැඹුරට වැටීමට ටික කලකට පෙර. මෙය ශාපයකි. අනුර කුමාර සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය මළ නිවසක කතා පැවැත්වීම හොඳ වනු ඇත, නමුත් පොදු යහපත සඳහා මෙය පාලනය කිරීමට නොවේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.