26 April, 2024

Blog

ඊළඟ ජනසංහාරය ගැන දූෂමාන ආරංචි?

තිසරණී ගුණසේකර

‘‘විරාමයක් හෝ සමාදානයක් නැති උන්මාද ආතතියේ උතුරා යාම..’’  -ඉතාලෝ කැල්විනෝ (‘‘කලෙක්ෂන් ඔෆ් සෑන්ඞ්”)

ලංකාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ව ආර්ථික වශයෙන් දණගැස්වීම හරහා ’උන්ට නියමිත තැනට උන්ව දැමීමේ මහා ව්‍යාපෘතියක්’ ඇති බවට රවුෆ් හකීම් අනතුරු අඟවා තිබේ.

මුස්ලිම් බිල්ලා පාවිච්චි කිරීමට රාජපක්ෂලා තීරණය කොට ඇත්නම්, අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සැළකිය යුතුව ඇත්තේ, මුස්ලිම්-විරෝධී ජන සංහාරයක පෙරගමන්කාර සිදුවීමක් වශයෙනි

මුස්ලිම් බිල්ලා පාවිච්චි කිරීමට රාජපක්ෂලා තීරණය කොට ඇත්නම්, අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සැළකිය යුතුව ඇත්තේ, මුස්ලිම්-විරෝධී ජන සංහාරයක පෙරගමන්කාර සිදුවීමක් වශයෙනි

සුළුතරයන් වනාහී පහත් මට්ටමකින් තබාගත යුතු සදාතන ආගන්තුකයන්ය යන අදහස, වාර්ගික සහ ආගමික අන්තවාදීන්ගේ බණ පදයකි. මේ ආගමික සහ ජාතික ‘අනෙකා’ පහත් තත්වයේ තබා ගැනීමේ ආශාව, සුදු ජාතික ස්වෝත්තමවාදීන්, හින්දු ආගමික උන්මත්තකයන් සහ මුස්ලිම් මූලධර්මවාදීන්ගේ සිට සියොන්වාදීන් සහ බෞද්ධ අන්තවාදීන් දක්වා වන සකල ප‍්‍රතිගාමීන්ගේ පොදු ලක්ෂණයකි.

මේ ස්වෝත්තමවාදීන්ගේ සුපුරුදු සිරිත වන්නේ, වර්තමානයේ කෙරෙන වධහිංසාවට පත්කිරීම් යුක්ති සහගත කර ගැනීම සඳහා ඉතිහාසය විකෘති කිරීමයි. චම්පික රණවක ඇමතිවරයා කියන ආකාරයට, ‘‘ශ‍්‍රී ලංකාවේ එකම ඓන්ද්‍රීය ජාතිය වන්නේ සිංහලයන් ය. අනිත් සෑම ප‍්‍රජාවක්ම, මෙරටට පැමිණි ආගන්තුකයන් ය. බෞද්ධයන් සතුව ඇති කරුණාව නිසා ඔවුන්ගේ පැමිණීම අභියෝගයට ලක්නොවුණි. එහෙත් එම කරුණාව නියතයක් වශයෙන් ගත යුතු නැත. මුස්ලිම් ජාතිකයන් අද මෙහි සිටින්නේ අපේ රජවරු ඔවුන්ට වෙළඳාම් කර ගැනීමට ඉඩ දුන් නිසා ය. දෙමළ ජාතිකයන් මෙහි සිටින්නේ, මෝගල්වරුන් ඉන්දියාව ආක‍්‍රමණය කිරීමේ දී ස්වකීය ජීවිත බේරා ගැනීම සඳහා ලංකාවේ විසීමට ඔවුන්ට ඉඩ දුන් නිසා ය. එහෙත් අද පෙනෙන්ට ඇත්තේ මේ අමුත්තන්ගේ පැත්තෙන් සිදුවන ගුණමකු භාවයකි.’’ මේ චින්තනයට අනුව, සුළුතර ප‍්‍රජාවන් වූ කලී, බාල මට්ටමේ පුරවැසියන් වන අතර, සමානාත්මතාව සහ යුක්තිය සඳහා වන ප‍්‍රජාතන්ත‍්‍රීය ඉල්ලීම ඉදිරිපත් කිරීම, ඔවුන්ගේ පැත්තෙන් සිදුවන පහත් පෙළේ ගුණමකු කමකි. එයින් ගම්‍ය කෙරෙන්නේ, ඔවුන් සිටිය යුතු ‘නිසි (පහත්) තැන’ බහුතරය විසින් ඔවුන්ට කියා දිය යුතු බවයි. එය, සාමකාමීව වන්නට පුලූවන. එසේම, වෙනත් ආකාරයකින් වන්නට ද පුලූවන.

2012 සංගණනයට අනුව, ලංකාවේ ජනගහනයෙන් සියයට 74.88 ක් සිංහලයන් වන අතර, සියයට 70.19 ක් බෞද්ධයෝ වන්නාහ. 1881 දී ප‍්‍රථම වරට ජන සංගණනයක් පැවැත්වීමේ සිට, ලංකා ජනගහනය තුළ සිංහල බෞද්ධයන්ගේ වැඩිම සංයුතියක් නියෝජනය කරන්නේ දැන් ය. එසේ හෙයින්, සිංහල බෞද්ධයන් මේ රටේ සුළුතරයක් වෙතැ යි ගණන් හැදීමට දත්තමය හේතුවක් ඇත්තේ නැත. එහෙත්, දත්තවලින් අන්තවාදීන්ට වැඩක් නැත. බොරුව, ඊට වඩා ඔවුන්ගේ අරමුණ සමග අගේට ගැළපෙන හෙයිනි.

දෙමළ ජනතාව ‘ඔවුන්ගේ තත්වයේ තබා ගැනීමට’ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සියදිවි නාශක උපරිමාදර්ශයත් හේතු විය. දීර්ඝ යුද්ධය ශී‍්‍ර ලංකාවටත්, එහි වෙසෙන ජනතාවටත් විනාශකාරී ප‍්‍රතිවිපාක අත්කර දුන් නමුත් එයින් වඩාත්ම බැටකෑවේ ලාංකීය දෙමළ ජනතාවයි. කඳුරට දෙමළ ජනතාවගේ අන්ත දරිද්‍රතාවත්, බර්ගර් ජනතාවගේ අල්ප භාවයත් නිසා, මහජාතිය කෙරෙහි බරපතල ‘තර්ජනයක්’ වීමට ඉඩක් ඔවුන්ට ඇත්තේ නැත. එවිට ඉතිරි වන්නේ, කිතුණුවන් සහ මුස්ලිම්වරුන් ය.

අළුත්ගමින් පසු පෙනෙන්ට ඇති කාරණය වන්නේ, මුස්ලිම්වරුන්ගේ වාරය කලින් පැමිණිය හැකි බවයි.

යම් ප‍්‍රජාවක් බිත්තියට හේත්තු කිරීමේ ඇති අවදානම ගැන රවුෆ් හකීම් අනතුරු අඟවා තිබේ. එහෙත්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ අරමුණ වන්නේම එයයි. එනම්, ලංකාවේ දෙමළ ජනතාව හෙලූ ගොහොරුවටම මුස්ලිම් ජනතාව ද හෙලීමයි. ඒ කෙසේද? ඔවුන්ට වධහිංසා පමුණුවන්න. ඔවුන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදාහරින්න. ඔවුන් අතර සිටින සාමකාමී-මධ්‍යස්ථවාදීන්ව දුර්වල කොට, ඔවුන් අතරේ සිටින ප‍්‍රචණ්ඩකාරී අන්තවාදීන්ව ශක්තිමත් කරන්න. එවිට, තවත් ගැටුමක් ඇවිළවිය හැකිය. ඇත්ත, ඒ මගින් ලංකාවටත්, ලාංකිකයන්ටත් මහා වින්නැහියක් වන බව ඇත්ත. එහෙත්, එසේ දැරිය යුතු වියදම ගැන තකන පිරිසක් නොවේ, අන්තවාදීන්. (එම වියදමත් දරනු ඇත්තේ සෙස්සන් විසිනි). ඔවුන්ට අවශ්‍ය කරන එකම දෙය වන්නේ, තමන්ගේ උමතු සිහිනය දැකීමයි.

දෙමළ අරගලය අන්තවාදයට ගොස් තමන්ගේම විනාශය අත්කර ගත්තේය. මුස්ලිම් ජාතිකයන්වත් ඒ මාර්ගයට තල්ලූ කළ හැකි වෙතොත්, සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදීන්ට සහ ඔවුන්ගේ දේශපාලනික රූකඩ ඔස්තාද්ලාට ‘ඉස්ලාම් ත‍්‍රස්තවාදයට’ එරෙහි රණකාමීන් වශයෙන් නැගී සිටිය හැකි වනු ඇත. අළුත් ආගමික ගැටුමක් නිසා ලංකාවට අත්වන වින්නැහිය සුළුපටු නැති මුත්, රාජපක්ෂලා සහ ඔවුන්ගේ අන්තවාදී අතවැස්සන් එය සළකනු ඇත්තේ, පාඩුවක් නැති වියදමක් වශයෙනි. මන්ද යත්, අවසානයේ දී වැඩියෙන්ම ඒ සඳහා ගෙවන්ට වන්නේ මුස්ලිම් ප‍්‍රජාවට යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. ඒ අතර, මැද පෙරදිග ඇවිළෙන සුන්නි=සියා ආගමික නිකායික ගැටුම්වල ගැලී, බෙදී සිටින මුස්ලිම් රටවලට, ලංකාවේ මුස්ලිම් ජාතිකයන් ගැන වෙහෙසීමට අවස්ථාවක් නොලැබෙති යි ද ඔවුන් සිතනවා විය හැකිය.

ගැටුම් සහ යුද්ධවලින් පාලකයාට සැපයෙන වෙනත් වාසි ද තිබේ. උදාහරණයක් වශයෙන්, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවර ගැනීමට ඔවුන්ට වඩාත් උචිත පරිසරය සැකසෙන්නේ එවැනි ගැටුම්කාරී සහ යුධ තත්වයන් ඇති විට ය.

රාජ්‍ය නොවන සංවිධාන මැඩලීම සහ සුළුතර-විරෝධී දේශපාලනය

‘රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් තමන්ගේ බල සීමා ඉක්මවා යමින් ත‍්‍රස්තවාදීන්ට ආයුධ සපයා දීමට පවා’ යොමු වී ඇතැ යි, මේ සතියේ පාර්ලිමේන්තුවට කරුණු දක්වමින් අගමැතිවරයා කීවේය. ළඟදී ගෙන ඒමට යන නීතියකට අනුව, ‘ලාභ නොලබන සියලූ ස්වේච්ඡුා සංවිධාන’ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් ලියාපදිංචි විය යුතුය. ‘ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි නොවන එවැනි ඕනෑම සංවිධානයක බැංකු ගිණුම් වසා දැමෙනු ඇති අතර, විදේශ අරමුදල් ලැබීම ද ඔවුන්ට තහනම් කරනු ලැබේ.’

රාජ්‍ය නොවන සංවිධාන මැඩලීම වනාහී, ඉතිරිව පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයත් වසා දැමීමට සේම විකල්ප මත මුළුමණින් නිහඬ කිරීමත් සඳහා වන රාජපක්ෂ වට්ටෝරුවේ එක අංගයකි. පසුගිය ජනවාරියේ දෙමළ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා පැවති වැඩමුළුවක්, බෞද්ධ භික්ෂූන් පිරිවරා ගත් මැර කල්ලියක් එතැනට කඩා වැදීම නිසා අත්හිටුවීමට සිදුවිය. දූෂණය පිළිබඳව මැයි මාසයේ පැවති වැඩමුළුවක්, හමුදාවේ බල කිරීම මත අවලංගු කිරීමට සිදු විය. විමර්ෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳව පසුගිය ජුනි මාසයේ පැවති වැඩමුළුවක් ද, ‘සංවිධානාත්මක’ කල්ලියක් එම ස්ථානයට කඩාවැදීමෙන් පසු පොලීසිය විසින් අවලංගු කරන ලදි. එසේම, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමත්, මෙසේ රාජ්‍ය නොවන සංවිධාන මැඩලීමේ ප‍්‍රයත්නයට තවදුරටත් ප‍්‍රස්තුත වන්නට ඇති.

සුළුජන පක්ෂවලින් බොහොමයක් වරදාන-තර්ජන හරහා නම්මවා ගැනීමට රාජපක්ෂලාට හැකිව ඇතත්, දේශපාලනික සහ මැතිවරණමය තලයේ දී එම සුළුජාතිකයන්ගෙන් බහුතරයක හිත දිනා ගැනීමට ඔවුන් සමත්ව නැත. සුළුජන ප‍්‍රජාවන්ගේ හිත දිනාගත හැකි වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් ව්‍යාප්ත කෙරෙන සහ අර්ථවත් කෙරෙන පියවරයන් තුළිනි. එහෙත් එවැන්නක්, සකල බලය පවුලේ ආධිපත්‍යයක් තුළ සංකේන්ද්‍රණය කර ගැනීමේ රාජපක්ෂ ව්‍යාපෘතියට පරහට සිටින්නකි. රාජපක්ෂ පවුල් වංශයේ ව්‍යාපෘතිය පැත්තෙන් බලන විට, සිංහලයන්ගෙන් බහුතරයකගේ සිත් වෙනත් සතුරෙකු ගැන භීතියට පත්කොට තමන් වෙත දිනා ගැනීම වඩාත් පහසු ය. දුප්පත් කම, ආර්ථික සංවර්ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සහ සමාජ සංවර්ධනය වැනි සැබෑ ජීවිතයේ ප‍්‍රශ්න අමතක කරවමින් එවැනි ප‍්‍රමාණවත් සිංහලයන් සංඛ්‍යාවක් දිනා ගැනීමට නම්, බිය දනවන තර්ජනයක් ඔවුන් හමුවේ තැබිය යුතුව තිබේ.

ඒ සඳහා මුස්ලිම් බිල්ලා පාවිච්චි කිරීමට රාජපක්ෂලා තීරණය කොට ඇත්නම්, අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සැළකිය යුතුව ඇත්තේ, මුස්ලිම්-විරෝධී ජන සංහාරයක පෙරගමන්කාර සිදුවීමක් වශයෙනි.

අන්තවාදීන් බොහෝ විට එකිනෙකාට ආධාර උපකාර කරගන්නේ, තමන්ගේම ජනතාවගේ පොදු අභිවෘද්ධිය හානියට හෙලමිනි. යම් අන්තවාදී පලස්තීනුවන් පිරිසක් යුදෙව් ජාතික ගැටවරයන් තුන් දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධිය, ඊශ‍්‍රායල රජය විසින් අළුත් යුද්ධයක් පටන්ගෙන, පලස්තීන එක්සත් ආණ්ඩුව කඩාකප්පල් කිරීමට පාවිච්චි කරන ලදි. ගාසා තීරයේ කෙරුණු සංහාරය, සමාජයකට කොකා පෙන්වා ඔවුන්ටම අවාසි වන ආකාරයේ ප‍්‍රචණ්ඩ විසඳුම් සඳහා ඔවුන්ව උසිගැන්වීමේ අවස්ථාවකට හොඳ උදාහරණයකි. අළුත්ගමදී සිදුවුණේ ද එයයි: බෞද්ධ භික්ෂුවක් සහ මුස්ලිම් තරුණයන් තිදෙනෙකු අතර ඇති වූ දබරයක්, දඬුවම් දිය යුතු සාමූහික මුස්ලිම් අපරාධයක් වශයෙන් මවා පෙන්වන ලදි. ඇතැම් වාර්තාවන්ට අනුව, මුස්ලිම් පල්ලියක් ඇතුළේ බෞද්ධ භික්ෂුවක් ඝාතනය කොට ඇතැ යි යන බොරුවත්, තවත් ගිනි ඇවිළවීමට උපස්ථම්භක විය.

මැතිවරණ ජයග‍්‍රහණය කැරැුවීම විපක්ෂයට භාර කළ හැකිය. එහෙත් තවත් ලේ ගංගාවක් ඇති වීම වැළැක්වීම අප කාගෙත් වගකීමකි. තනි තනි පුද්ගලයන් වශයෙන් ද, සාමූහිකව ද, පුද්ගලික මට්ටමෙන් මෙන්ම පොදු අවකාශය තුළ ද, තවත් ජන සංහාරයක් සහ තවත් යුද්ධයක් ඇති වීම වැළැක්වීමට අපට කළ හැකි උපරිමය (එය. පෙත්සම් අත්සන් කිරීමක් හෝ ඉටිපන්දමක් දැල්වීමක් වුව) කළ යුතුව තිබේ.

*2014 ජුලි 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Rumours Of The Next Pogrom? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    තිසරණී හකීම් කලායයි කියන අනතුරු අැඟවීමක් ගැන කියයි. අපි ඡිහාඩි ත්‍රස්තවාදය ලංකාවේ පැලපදියම් වනබව දැක්කේ දැනට දසක දෙකකටත් පෙරය. සවුදියේ පුහුනුකල මූලධර්මවාදී ඡිහාඩි මදාවියන් සාමය අගයන ළංකාවේ සම්ප්‍රදායික සූෆි සහ අහම්මඩියා වැනි මුසල්මනයන්ගේ පල්ලි කැඩුවේය, පුච්චුවේයි ගෙවල් ගිනි තිබිබේය. මිනී මැරුවේය.

    මුසල්මනයන්ගේ එ්වැනි ගහමරාගැනීම් ගැන තිසරණීලා කවදාවත් වචනයක්වත් ලියුවේ නැත. හැමදාම ලියුවේ සිංහල බෞද්ධයන් සුලුඡාතිකයන්ට කරන හින්සාවන් ගැනය. ප්‍රන්සයේ මුස්ලිම් ගැහැනුන් ඔලුව වහන්නේ නැත. ඔලු වසාගෙනයෑම නීතියෙන්ම තහනම්ය. එ්ක සුළුතර-විරෝධී දේශපාලනය කියා කවුරුවත් ප්‍රන්සයට විරුද්ධව කෑමොරදෙන්නේ නැත.

    අප කුඩාකල දැක්කේ සාරි පොටෙන් හිසවසාගෙන යන මුස්ලිම් ගැහැනුන්ය. ලංකාවේ පාරවල නිකමටවත් මුස්ලිම් බිල්ලෙක් දැක්කේ නැත. හලාල් ලේබල දැක්කේත් නැත. එකල මුස්ලිම් ඡනගහනය 5%ක් පමණක් නිසා බිල්ලන්වත් හලාල්වත් අවශ්‍යවූයේ නැත. සිිංහලයන්ට තර්ඡනයක් නොවන්නට වගබලාගත්තේය.

    සවුදි තෙල් සල්ලිවලින් තව්හීද් කාරයන් විසින් තර්ඡනයෙන් සහ ගර්ඡනයෙන් සම්ප්‍රදායක මුසල්මනයන් අතර වහබි සහ සලාෆි මූලධරිමවාදය පැතිරවූයේය. එකපාරට මුසල්මනයන්ට ඔලු වසාගෙනයන්නටත් හලාල් බැඡ්අැතිනම් පමණක් කන්නටත් අල්ලා අනකලේය.

    දැන් පාරක් පාරක් ගානේ බිල්ලන්ය. හලාල් නැති බඩුවක් සුපර්මාර්කට් රාක්කයේ අැත්තේද නැති තරම්ය. මුස්ලිමුන් රැස්වන හැම මඩුවක්ම පල්ලියක්ය. දැන් 90%ක්වූ අන් සැවොම මුසල්මනයන්ගේ හලාල් ක්‍රමයට හැඩගැසිය යුතුය, අනුමත කලයුතුය, නැතිනම් නිරන්තරයෙන්ම අනතුරු අැඟවීමක් අැසේවි. තව ටිකදවසක් යනවිට අපේ තොංගලත් කපන්න කියාවි. මේවා තර්ඡන නොවෙයිනම් වෙන මෙනවාද?

    තව්හීද් වුවත් සම්ප්‍රදායික වුවත් සුනි වුවත් ෂියා වුවත් මොකා වුවත් සෑම මුසල්මනයෙක් අත අැත්තේ එකම කුරාණයයි. එහි වැඩිමත්ම ලිියා අැත්තතේ මුස්ලිම් නොවන්නන් ගැනය. මුසල්මාන් නොවන්නන්ට (kufar) මුසල්මානුවන් විසින් කලයුතූ දේ ගැන කූරානයේ පද ගනනාවකම ලියා අැත. “Kill” යන වචනය කුරානයේ පද සියයක 133 වතාවක් සදහත් වී අැත. මුසල්මානුවන් විසින් අන් රටවල් යටත්කර ගැනීමෙන් පසු අන්අාගමිකයන් මුසල්මාන් කල බවත්, නොඑසේ නම් ඡිස්යා නම් බද්දක් ගෙවිමට අණ කල බවත්, නොඑසේ නම් මරා දැමූ බවත් හෝ පන්නා දැමූ බවත් මුසල්මාන් ඉතිහාසය පැහැදිලිව පෙන්වා දෙයි.

    අද ලංකාවේ වසන මුසල්මානුවන්ගේ හැසිරීමේ රටාව වසර 2500 ක් පරණ ඉතිහාසයක් අැති සිංහල බෞද්ධයාගේ පැවැත්මට අභියෝගයක් වී අැති බව අැස් පෙනෙන ඹ්නෑම අයෙකුට වැටහේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.