24 April, 2024

Blog

ශ‍්‍රී ලංකාවට එදිරිව රාජපක්ෂලා

තිසරණී ගුණසේකර

‘‘දේශපේ‍්‍රමය… හිස නැති කිකිළියක් තරමට අතාර්කික ය.’’ ඇම්බ්‍රෝස් බියෙර්ස් (එකතු කළ කෘති)

චීනය ළඟට, ශ‍්‍රී ලංකාවේ වඩාත් විශ්වාසවන්ත ජාත්‍යන්තර මිතුරා වන්නේ ව්ලැඩිමීර් පුටින්ගේ රුසියාවයි. මේ කාලයේ ජිනීවා නුවර දී තරම් එය කැපී පෙනෙන වෙනත් අවස්ථාවක් නැත. ලංකාවට අදාළව ඇමරිකාවෙන් ගෙන එන යෝජනාවට එරෙහි වෙමින් සහ රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ ආරක්ෂා කළ නොහැකි කැරැුට්ටුව ආරක්ෂා කරමින් මේ මොහොතේත් එම රටවල් පෙරමුණේ සිටී.

හැබැයි, කොන්දේසි විරහිත එවැනි සහයෝගතා පස්සෙන්, කොන්දේසි තිබේ.

85 percent says Rajapaksa family is corruptගිය සතියේ රුසියානු තානාපතිවරයා, විදේශ ඇමති ජී. ඇල්. පීරිස්ව හමු වී ඉල්ලීමක් කෙළේය. එනම්, යුක්රේනියානු-ක‍්‍රිමියා අර්බුදයේ දී තමන්ගේ පැත්තට ලංකාවේ සහාය ඉල්ලා සිටීමයි. එහෙත්, රුසියාව යුක්රේනයේ සිදුකරන ක‍්‍රියකාරකම්වලට විවෘතව සහයෝගය දැක්විය හැකි තරමේ භූ-දේශපාලනික තත්වයක ලංකාව නැති බව අවිවාදිත ය: පුටින් මහතා කුඩා අසල්වැසියෙකුගේ භූමි භාගයක් අල්ලාගෙන ඇත. විශාල අසල්වාසීන් සිටින සෑම පුංචි රටකටම, එම සිදුවීම නරක ආරංචියකි. අනිත් අතට, රුසියාව ඉල්ලන කිසිවක් ඉවත දැමීමේ හැකියාවක් ද ලංකාවට නැත. මන්ද යත්, දැන් ජිනීවා නුවරදීත්, ඉන් එහාටත්, පුටින් මහතාගේ ආධාරය මත යැපෙන්ට රාජපක්ෂලාට සිදුවන බැවිනි. ක‍්‍රිමියානු අර්බුදය අළලා සාධාරණ සහ සමබර ප‍්‍රකාශනයක් ශ‍්‍රී ලංකාවෙන් නිකුත් විණි නම්, ජිනීවා නුවර දී රුසියාවෙන් කොළඹට සැපයෙන සහාය බාල වන්නට ඉඩ තිබුණි. ඉතිං, ශ‍්‍රී ලංකාවට සිදුවුණේ. තමන්ගේම රටට සිදුවිය හැකි අවැඩක් ඉදිරියේ පවා, අනාගතේ දවසක තමන්ටම පෙරලා පැමිණිය හැකි අවදානමක් හෙවත් තමන්ගේම අසල්වැසි යෝධයාගෙන් තමන්ගේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට එල්ල විය හැකි අනාගත තර්ජනයක අවදානම ඉදිරියේ පවා, රුසියාවේ පැත්ත ගැනීමටයි.

යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව රුසියාව විසින් මහ දවල් උල්ලංඝණය කිරීමට සහාය පෑම ගැන ජනාධිපතිවරයා විදේශ ඇමති ජී. ඇල්. පීරිස්ට දෙහි කපා ඇති බව වාර්තා විය. තමන්ගේ තනතුර ආරක්ෂා කර ගැනීම ඒකායන පරමාර්ථය කරගෙන සිටින ජී. ඇල්. පීරිස්ට, රුසියාව හෝ චීනය ඉල්ලන කිසිවක් ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ලංකාවට නැත්තේ, රාජපක්ෂ බල තණ්හාව සහ රාජපක්ෂ අත්තනෝමතිකත්වය නිසා යැයි ජනාධිපතිවරයාට පෙන්වා දීමට පුලූවන් කමක් තිබෙන්නට නැතුව ඇති.

රුසියාවට ක‍්‍රිමියාව ඈඳා ගැනීමට ලංකාව සහාය පෑම, රාජපක්ෂ පාලනය යටතේ ශ‍්‍රී ලංකාව ගමන් ගන්නා හරාකිරි මාර්ගය කදිමට පෙන්වන අවස්ථාවකි. යුද්ධය ජයග‍්‍රාහී අන්දමින් නිමා කොට වසර පහක් ගතව තිබෙන අද වන විට, ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ශ‍්‍රී ලංකාව පැටලී සිටින්නේ, අර්බුද අභියෝග සහ තර්ජන ජංජාලයක ය. ඛේදවාචකය වන්නේ, එයින් බොහොමයක් තමන් විසින්ම නිර්මාණය කරගත් දේවල් වීමයි. නැතහොත්, දුර නොපෙනෙන, අණක්ගුණක් නැති රාජපක්ෂලා විසින්ම, පවුල් අවශ්‍යතා පෙරදැරිව කළ කී දෑ විසින් නිර්මාණය කරගත්තක් වීමයි.

බොදුබල සේනා නඩයේ විගඩම් සළකා බලන්න. ජිනීවා කතාව අහවර වන තෙක් මුස්ලිම් රටවල් යාප්පුවෙන් තබා ගැනීමේ අවශ්‍යතාව මේ වසර මුල හරියේදී වටහාගෙන සිටි රාජපක්ෂවරු, පසුව පාවිච්චියට ගත හැකි වන සේ බොදුබල සේනාව ශීතකරණය මිදෙන්ට හැරියහ. එකල යම් සාපේක්ෂ සාමයක් රටට දැනුණු අතර, මාසයකටත් වැඩි කාලයක් සද්දබද්දක් නොවුණි. එහෙත්, චන්ද්‍රිකා බණ්ඩාරනායකට පහර දෙන්නට අවශ්‍ය වූ අවස්ථාවේ රාජපක්ෂලාගේ ඒ බලූ වැඬේට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිවෙකු යොදා ගැනීමට අපොහොසත් වූ රාජපක්ෂ සහෝදරවරු මේ බොදුබල සේනා චීවරධාරී රැුළ නැවත ලිහා ඇරියහ.

ඒ සමගම රාජපක්ෂලාගේ තවත් රාජකාරියක් ද ඒ චීවරධාරීන්ට භාර කෙරුණි. එනම්, හකීම්ට පහර දීමයි. ඊළඟට, ජීනීවා යෝජනාවට එරෙහිව, කොටි මාදිලියේ බලහත්කාර හර්තාලයක් නැගෙනහිර සංවිධානය කිරීමත් ඔවුන්ට භාර කෙරුණි. බොදුබල සේනාව දැන් නැවත පාරට බැස ඇත. සුළුජන ප‍්‍රජාවන් හතුරුකම් කරමින්, වාර්ගික සහ ආගමික සමගිය කඩාකප්පල් කරන ඔවුහූ, ‘හකීම්වාදී වී ඇතැ යි කියන අධිකරණය සුද්ද කිරීමක්’ ගැන කතා කරති. එය, ‘සුද්දන් විසින් හඳුන්වා දෙන ලද ‘කොත්තු රොටි’ නීති ක‍්‍රමයකි යි කියති.

‘ආගමික අනෙකා’ ගැන වෛරය වැපිරීමටත්, එය සාධාරණීකරණයටත්, හැම ආගමකම අන්තවාදියෝ වෙහෙසෙති. ඔවුන්ගේ මානසිකත්වය සහ භාෂාව හැඩගැහෙන්නේ, අතාර්කිකත්වයෙන්, වැරදි තොරතුරුවලින්, මුග්ධ භාවයෙන්, වෛරයෙන් සහ අවඥාවෙනි. බොදුබල සේනා සහ තවත් එවැනි පතුරු පාවිච්චි කිරීමෙන් රාජපක්ෂලාට වන්නේ, කල් යත්ම, බොහෝ ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජන කොටස් තරහ කර ගැනීමත්, කොළඹ ජීවත් වන සම්ප‍්‍රදායික මුස්ලිම් මිතුරන් බොහොමයක් නැති කර ගැනීමත් ය. රාජපක්ෂ පවුල් පාලනයට ස්තුතිවන්ත වන්නට, ශ‍්‍රී ලංකාව නතර වනු ඇත්තේ, දේශීය වශයෙන් බෙදුණු ජාතීන්ගෙන් සමන්විත ගැටුම්කාරී රටක් සහ ජාත්‍යන්තර වශයෙන්, වඩාත් කොන් වූ රටක් වශයෙනි.

අපේ නන්දිකාදල්?

ළඟ එන මැතිවරණයේ දී පරාජයක අවදානමට මුහුණදී සිටින කොන්ග‍්‍රස් පක්ෂය, තමිල්නාඩු ප‍්‍රාන්තයේ සහාය ලබා ගැනීමේ අටියෙන්, බටහිර කිසි රටක් ලංකාව සම්බන්ධයෙන් ගෙන ඇති ස්ථාවරයකට වඩා දැඩි ස්ථාවරයකට යොමු වී සිටී. එම පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශනය, ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දක්වනවා පමණක් නොව, එය ලංකා ආණ්ඩුවේ අපරාධ පමණක් සොයා බැලෙන පරීක්ෂණයකට ලඝු කිරීමටත් වගබලාගෙන තිබේ. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි ක‍්‍රියාන්විතයේ අවසාන භාගයේ දී ශ‍්‍රී ලංකාවේ හමුදාවන් මගින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝණයන් සහ වෙනත් අපරාධ පිළිබඳ විශ්වසනීය සහ විෂයබද්ධ පරීක්ෂණයක් යම් නිශ්චිත කාල සීමාවක් තුළ අවසන් කරන මෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට, වෙනත් රටවල් සමග එක්ව කටයුතු කරනු ලැබේ.’’ මෙයින් පෙනෙන්නේ, වසර ගණනක් තිස්සේ අනන්මනන් දොඩවමින් සිටි කොන්ග‍්‍රස් පක්ෂය, අවසානයේ භ‍්‍රාන්තියට පත්ව අනිත් අන්තයට ගොස් ඇති බවකි. මළ කොටියාව වරදක අංශුමාත‍්‍රයකින් පවා මේ මගින් ඉවත් කොට ඇත. මේ සමග සසඳන විට, ඇමරිකානු යෝජනාව වඩාත් සමබර ය. වඩාත් අපක්ෂපාතී ය. එම යෝජනාව, 2002-2009 අතර සිදුවූ අපරාධ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව සේම කොටි සංවිධානයත් පරීක්ෂාවට ලක්කළ යුතු බව කියයි.

ඊටත් වඩා, ‘‘විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශයේ, ස්වායත්ත පළාත් පිහිටුවිය යුතු බව’’ ද, කොන්ග‍්‍රස් පක්ෂ මැතිවරණ ප‍්‍රකාශනය කියා සිටී. එම ප‍්‍රකාශයේ අරුත හරියටම පැහැදිළි නැතත්, කොන්ග‍්‍රස් පක්ෂ ස්ථාවරය 13 වැනි සංශෝධනයෙන් බොහෝ එහාටත් යන බව නම් නිසැක ය.

මෙයින් පෙනෙන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට, ඔවුන්ගේ බලපුලූවන්කාර අවදියේවත් කර ගැනීමට නොහැකි වූ දෙයක්, දේශපේ‍්‍රමී රාජපක්ෂලා දැන් ඉන්දියානු දේශපාලනය තුළ ඉෂ්ට කර දී ඇති බවයි. භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප‍්‍රකාශනය තවම එළිදක්වා නැතත්, කොන්ග‍්‍රස් පක්ෂය පොරොන්දු වෙන තරමටම හෝ ඊටත් වඩා තමිල්නාඩුවට දීමට ඒ පක්ෂයට සිදුවනු ඇත. ඊටත් වඩා, ඒ භාරතීය ජනතා පක්ෂයේ ‘දේදුනු හවුල’ තුළ සිටින පක්ෂ, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට, කරුණානිධිගේ ඞී.එම්.කේ, පක්ෂය සහ ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයටත් වඩා අන්තවාදී ය. ඔවුහූ සිය සන්ධාන හවුල පිහිටුවා ගැනීමෙන් පසු පැවැත්වූ පුවත්පත් සාක්ච්ඡුාවේ දී, භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ්නාත් සිං මෙසේ කීය: ‘‘දෙමළ ප‍්‍රශ්නය විසඳිම සඳහා ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමට වර්තමාන ඉන්දියානු ආණ්ඩුවට හැකි වී නැත. එය අපේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද වැදගත් වන කරුණක් වන නිසා, ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමට අප කි‍්‍රයා කරනු ඇත.’’

භාරතීය ජනතා පක්ෂය ඊලාම් ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීම ගැන රාජපක්ෂලා කයිවාරු ගසති. මෙහිදී, ඉන්දියානු යථාර්ථයන් ගැන කොටි හිතවාදී ඩයස්පෝරා අන්තවාදීන් තරමටම රාජපක්ෂලා ද සිටින්නේ මුළාවක ය. ශ‍්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර පළාතේ දෙමළ ඊලාමයක් ඇති වෙනු දැකීමට, ඉන්දියාවටවත්, තමිල්නාඩු ප‍්‍රාන්තයටවත් අවශ්‍යතාවක් නැති බව ඔවුන්ට නොවැටහෙයි. එහෙත් රාජපක්ෂලා දිගටම බලයේ සිටියොත්, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට අදාළ ප‍්‍රශ්නවලින් ඇවිස්සෙන්ට ඉඩ ඇති ඉන්දියාව, චීන ඉත්තෙකු තමන්ගේ දොරකඩ සිටීමේ ප‍්‍රශ්නයට විසඳුමක් වශයෙන් ක‍්‍රිමියානු ආරයේ සැලැස්මක් ගැන සිතා බැලිය හැකිය.

තමන්ටත්, තමන්ගේ නෑසියන්ටත් අනතුරුදායක විය හැකි යෝජනාවක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් අනාගතයේ දී සම්මත වීම වළක්වා ගැනීම සඳහා රාජපක්ෂ සහෝදරයන්ට එක දිගටම රුසියාවේ සහ චීනයේ අනුග‍්‍රහය අවශ්‍ය වන්නේය. පවුල් අවශ්‍යතා (සහ පුද්ගල අරුමෝසම්) සඳහා ජාතික අවශ්‍යතා කැප කිරීමෙන් දේශපේ‍්‍රමී රාජපක්ෂලා කරන්නේ, ශ‍්‍රී ලංකාවේ ජාතික ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව මාරාන්තික උවදුරකට ලක්කිරීමයි.

ක‍්‍රිමියානු අර්බුදය කාලයාගේ ඇවෑමෙන් මැකී යනු ඇත. එහෙත්, එම ක‍්‍රිමියානු පූර්වාදර්ශය, විශාල අසල්වැසි රටවල් ළඟ සිටින කුඩා රටවලට නිර්මාණය කර දෙනු ඇත්තේ, අවදානම් සහගත පරිසරයකි. එබැවින් ශ‍්‍රී ලංකාවට තිබෙන එකම මාර්ගය වන්නේ, තදින්ම නොබැඳි පිළිවෙතක් ආරක්ෂා කිරීමයි. ඒ වෙනුවට, රාජපක්ෂලාගේ පාලන ක‍්‍රමයට ස්තුති වන්නට, අප එන්න එන්නම චීනය සහ රුසියාවට හේත්තු වීම නිසා, ඔවුන් ඉල්ලන කිසිවක් ප‍්‍රතික්ෂේප කිරීමට, අපේ ජාතික අවශ්‍යතා පරදුවට ගියත්, අපට හැකි නොවනු ඇත.

කළු ජුලියෙන් පසු, දෙමළ ජනතාව සහ ඔවුන්ගේ අරගලය සඳහා, කලාපීය සහ ජාත්‍යන්තර අනුකම්පාවක් සහ යශෝ නාමයක් නොමදව තිබුණි. ඊළඟ විසිපස් වසර තුළ, එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ අන්ධ=අන්තවාදය සහ මීනීමරු උපරිමවාදය හරහා ඒ යශෝ නාමය නාස්ති කරගත්තේය. අවසානයේදී කොටි සංවිධානය පරාජය කිරීම සඳහා දෙමළ සිවිල් වැසියන්ගෙන් පළිගන්නා යුද්ධයක් දියත් කිරීමට ලෝකයා රාජපක්ෂලාට ඉඩ හැරියේය. දැන්, දේශපේ‍්‍රමී විෂ වාතයේ තෝන්තුවෙන් අන්ධව ගොස්, රාජපක්ෂලාව බලයෙන් නෙරපා ගැනීමට සිංහල දකුණ අසමත් වන්නේ නම්, ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන නන්දිකාදල් කලපුවක් ද අනාගතයේ දී ඇති වන බව නිසැක ය.

*2014 මාර්තු 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Rajapaksas Vs. Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    රාජපක්ෂලා අපව පඹ ගාලක පටලවා ඇත.රුසියාව සහ චීනය කියන ඕනෑම දෙයක් කිරීමට අප දැන් දිවිහිමියෙන් බැඳී ඇත.නොබැඳි රටක් සේ සාඩම්බරයෙන් උදන් ඇනු අප ජේ ආර් සමයේ බටහිරට උකස් කෙරුණි.දැන් එහි භයානක අනිත් පැත්ත සිදුවෙමින් ඇත.බටහිර විරෝධී ආකල්පයක් රට තුල පතුරා රාජපක්ෂලා අපව හුදෙක් තම පැවැත්ම ඉලක්ක කරගෙන ඉහත රටවල් වෙත බඳුම්කරයකින් පවර ඇත.
    මෙහි ඇති විපාක කවරේද.ලෝකය තුල අපවත් උතුරු කොරියාව මෙන් අවතැන් විය හැක.කෙමෙන් කෙමෙන් අපගේ බෙල්ල වටා වැටෙන තොන්ඩුව තදවෙන බව පෙනේ.මෙම සොහෝයුරන්ට රට ගැන කිසිදු තක්මක් නැති නිසා ඔවුන් හුදෙක් තම පැවැත්ම හා බලය තහවුරු කිරීම උදෙසාම සියලු පියවර ගනු ඇත.
    මෙය රටටත් පොදු මහජනතාවටත් කිසිදු ප්‍රතිලාභයක් නැති ජනතාව තවත් පීඩනයට ලක්වෙන, ඔවුන්ගේ සුබසෙතට තර්ජන එල්ල වෙන, ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු වෙන ප්‍රවණතාවක් නොවේ යයි යමෙක් සිතන්නේ නම් මට ඔහු හෝ ඇය ගැන තද කනගාටුවක් ඇතිවේ.මතුපිටින් පෙන්වන යුද වාදී ව්‍යාජ දේශප්‍රේමය ඉරාදමා රාජපක්ෂලාගේ සබැ ස්වරූපය තේරුම් ගැනීමට අප බුද්ධිමත් නොවුනොත් අපටත් අප දරුවනුත් වෙනුවෙන් කඳුළු සලන දිනය වැඩි ඈතක් නොවන බව මතක තබා ගන්න.
    මානව හිමිකම් සුරකින ,නීතිය රජයන පුරවැසියන්ගේ සුබසෙත පතන රජයක් වෙනුවෙන් අපගේ සටන ඇත නොහරිමු.ඇත්ත ඇති සැටියෙන් දකිමු.සත්‍යයට වර්ග බේද වාදය හා ආගම් වාදයෙන් පලක් නැත. අපි” කියන දේ කරන ,කරන දේ කියන ”බුදු වදනට එකඟ වූ ජාතියක් බව ලොවටම පෙන්වමු.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.