20 April, 2024

Blog

ඔවුන් වෙඩි තියන්නේ ඇයි?

තිසරණී ගුණසේකර

‘‘දේශපාලනය යනු ආගම නොවේ, එය ආගම වෙතොත්, ඒ දණ්ඩාධිකරණය මිස වෙන දෙයක් නොවේ.’’ – ඇල්බෙයා කැමූ (ද රිබෙල්)

පළමු වෙඩි පහර මාරාන්තික නොවුණි. ‘‘ඇයි ඔයා මට වෙඩි තියන්නේ?’’ යි සිය මිනිමරුවාගෙන් ඈ ඇසුවාය.

රාජිණී රාජසිංහම් තිරාණගම ඝාතනය කොට වසර 25 ක් ගතව තිබෙන අද පවා ඇගේ ඒ අවසාන ප‍්‍රශ්නයට සාරාර්ථ පිළිතුරක් ලැබී නැත. ශ‍්‍රී ලංකාව තවත් ගැටුමකට අරඅඳිමින් සිටින මොහොතක, එය විශේෂයෙන් සළකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. අඩු වශයෙන්, අතීතය ගැන මතකයක් ඇති, එදාටත් වඩා අනර්ථකාරී අනාගතයක් ගැන බියක් ඇති අයවළුන් විසින් සළකා බැලිය යුතු ප‍්‍රශ්නයකි.

Rajaniඑල්.ටී.ටී.ඊ. සංවිධානය රාජිණීව ඝාතනය කෙළේ, විසම්මුතිය හෙවත් වෙනස් මතයක් දැරීම සහගහන අපරාධයක් සේ සැළකූ බැවිනි. එහෙත් ඒ සා මෘග අයුරින් අනෙකා නොඉවසීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය පොළඹවන ලද්දේ කවර කාරණා විසින් ද? එයාකාරයේම ඌරුවක්, මූලෝපායක් සහ උපාය ක‍්‍රමයක් අනුයන දෙමළ නොවන ආයතනයක් මගින් අවසානයේ දී පරාජය කරනු ලැබීමට තරම්, දෙමළ අරගලය තනි සන්තකයට ගනිමින්, සමස්ත දෙමළ සමාජය යටපත් කර ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයට හැකි වුණේ කවර කාරණා නිසා ද?

රාජිණීගේ අවසන් ප‍්‍රශ්නය ජාතික දෝංකාරයක් නංවන්නකි. දකුණේ අධිකාරීවාදී ජේ. ආර්. පාලනය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී, අනෙකා නොඉවසන සුළු, ජාතිවාදී ආකාරයකිනි. රාජිණී නැගූ එම ප‍්‍රශ්නයම, දයා පතිරණගෙන් පටන් ගෙන, ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ වාමවාදී/යු.එන්.පී. විරෝධී වින්දිතයන්ගේත් අවසාන ප‍්‍රශ්නය වන්නට ඇති.

සිංහලයන්. ද්‍රවිඩයන් සහ මුසල්මානුවන් වෙනුවට ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ලංකාවක නම්, ඇගේ ශාස්ත‍්‍රාලීය සාධනයන් හෝ සමාජ කාර්ය භාරයන් වෙනුවෙන් රාජිණී කීර්තියට පත්වන්ට තිබුණි. ඇගේ දියණියන් ලොකු මහත් වනු දැකීමට ඈට හැකි වන්නට තිබුණි. නො-නිදහස සිංහාසනාරූඪ නොවුණු දෙමළ විමුක්ති අරගලයක් තුළ, රාජිණී වීරවරියක් වන්නට තිබුණි. සියලූ කොටස් ඒකරාශී කරමින් ගොඩනැගෙන ජාතියක නම්, පොදු-අනුමැතිකාමී සාම මාවතක යන පශ්චාත්-යුද්ධ ශ‍්‍රී ලංකාවක නම්, රාජ්‍යය මගින් රාජිණීව සමරන්නට තිබුණි.

මේ කියන ඕනෑම ජීවිතයක් ඇගේ ජීවිතය විය හැකිව තිබුණි. එහෙත් ඈට ඒ කිසි ජීවිතයක් හිමි වුණේ නැත. ඇගේ නිර්භය මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය ඈ වෙත ගෙනාවේ බුහුමනක් නොව, සැකය, වෛරය සහ අවසානයේ මරණයයි. ඇගේ ඝාතකයන්ව අවසානයේ දී පරාජය කළ රාජ්‍ය තන්ත‍්‍රයම පවා, ඇගේ මතකයට බුහුමන් කිරීමේ උත්සවය අඩාල කිරීමට කටයුතු කෙළේය.

රාජිණීගේ ජීවිතයේ අවසන් වසර කිහිපයක ගත වුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ඉන්දීය සාම සාධක හමුදාව අතර පැවති, අනපේක්ෂිත, ව්‍යාකූල යුද බිමක ය. ඉන්දීය සාම සාධක හමුදාව මිනිසුන්ව ඝාතනය කරද්දී, ගැහැනුන්ව දූෂණය කරද්දී සහ පළාත කොල්ලකද්දී, ඊට එරෙහිව ප‍්‍රසිද්ධියේ විරෝධය දැක්වූ අතලොස්සෙන් කෙනෙකි, රාජිණී. ඈ සිය විරෝධය පෑවේ, විදේශ රටකට ගොස් නොවේ. ලංකාවේ දකුණට වී ද නොවේ. යාපනේම සිටමයි.

රාජිණීගේ මරණය ඉන්දියානුවන් ද ප‍්‍රාර්ථනා කරන්ට ඇතිවාට සැකයක් නැත. එහෙත් අවසානයේ දී ඇයව ඝාතනය කෙරුණේ, ඉන්දියානුවෙකු හෝ ඔවුන්ගේ දෙමළ ඉත්තෙකු විසින් හෝ නොව, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්මයි. ඉන්දියානු සාම සාධක හමුදාව ඇයව ඝාතනය නොකෙළේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇයව ඝාතනය කෙළේ ඇයි? එක්සත් ජාතික පක්ෂය විජය කුමාරණතුංගව හිරේ ලෑමෙන් පමණක් සෑහීමකට පත්වෙද්දී, ජනතා විමුක්ති පෙරමුණ ඔහුව ඉවරයක් කර දැමිය යුතු යැයි සිතුවේ ඇයි?

මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීමක් නැති කම නිසා ද? ලංකා රාජ්‍යයත්, ඉන්දියානු සාම සාධක හමුදාවත් මිනිස් කමකට ගෑවිලාවත් නැත. නැතහොත්, ප‍්‍රබුද්ධ ස්වාර්ථයක් පිළිබඳ අඩුවක් නිසා ද? ලංකා ආණ්ඩුවත්, ඉන්දීය හමුදාවත්, කප්පරක් ගොන්කම් කෙළේය. ඒවාම ආපසු ඔවුන් වෙත බූමරංගයක් සේ ආවේය.

එසේත් නැත්නම්, මේ වෙනස පවතින්නේ, ලංකා ආණ්ඩුවත්, ඉන්දීය සාම සාධක හමුදාවත් පරිපූර්ණ දණ්ඩමුක්තියකට හිමිකම් නොකීම සහ තම ක‍්‍රියාවන්ට යම් දවසක උත්තර බැඳීමට සිදුවිය හැකි බවට වූ දැනීමක් තුළ ද? එසේම, තමන්ගේම වන සදාචාරමය-දේශපාලනික සර්වතෝභද්‍ර භාවයක් තමන්ට ඇතැ යි යන විශ්වාසයක් ලංකා ආණ්ඩුවටවත්, ඉන්දීය සාම සාධක හමුදාවටවත් නොතිබුණු නිසා ද?

එල්.ටී.ටී.ඊ. සංවිධානයත්, (දෙවැනි කැරැුල්ලේ) ජනතා විමුක්ති පෙරමුණත් තමන් කරන දේවල්වල නිරවද්‍ය භාවය ගැන කිසි දවසක සැක කෙළේ නැත. තමන් නිවැරදි යැයි සිතන දේ කිරීමට තමන්ට අයිතියක් ඇතැ යි ඔවුන් කවදත් සිතීය. මේ සංවිධාන දෙකම එක්තරා දුරකට ලෞකික වුව ද, ඔවුන්ව පුබුදුවාලූ ජීව ගුණය, අර්ධ-ආගමික විය. නිදහසේ සහ විමුක්තියේ ධජ ලෙළවමින් උපන් ඔවුන්, තමන්ගේ ආයතනික සතුරන්ට වඩා, භක්ති-උන්මාදයට යට විය හැකි පිරිසක් වූහ. ඔවුන්ගේ ලෝකය, කළු සුදු ලෝකයකි. වෙනත් වර්ණ කිසිවක් ඒ ලෝකවල නොතිබුණි.

මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රයක් සහ කොල්ලකාරී විදේශ හමුදාවක් පවා කිරීමට පසුබට වූ දේවල් කිරීමට එකී සංවිධාන දෙක පෙළඹුණේ, එම සංවිධාන දෙක හැසිරුණු ඒ දේශපාලනික-සදාචාරමය මානසිකත්වය සහ දණ්ඩමුක්තියක් තමන්ට ඇතැ යි එම සංවිධාන දෙක තුළ තිබූ විශ්වාසයක් නිසා ද?

රූසෝගේ ‘‘සමාජ ගිවිසුම’’ නැමැති කෘතිය පටන් ගන්නේ සදාතන වැකියකිනි: ‘‘මිනිසා උපදින්නේ නිදහස්වයි. හැම තැනකම ඔහු සිටින්නේ යදම් තුළයි.’’ එහෙත්, මේ ශ්‍රේෂ්ඨ විමුක්තිවාදී කෘතිය අවසන් වුණේ, (සදාචාරය සුරකිනු වස්) දේශපාලනික වශයෙන් ඒකරූපී ජනරජයක් නිර්දේශ කරමිනි. සමාජ-විරෝධී මිනිසුන්ව මරණ දණ්ඩනයට නියම කරමිනි. ඊළඟ සියවස් දෙක තුළ දී, එකී පරිවර්තනය සැබෑ ලෝකයේ ඇති වීමට නියමව තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයත්, ‘‘සුචරිතයේ කෲර පාලනයක්’’ වෙතට ගමන් කිරීම තෝරා ගත්තේය. ‘‘ලේ මස් නහරින් සැදුම්ලත් මිනිසෙකු වෙනුවට උත්තම මිනිසෙකු පිළිබඳ පරම සංකල්පයකට’’ ලොබ බඳින, දයා විරහිත කැරැුල්ලේ සහ නිගරු විප්ලවයේ ව්‍යාධිය, ‘‘නොරිස්සුම් සහගත විරෝධයෙන් දූෂ්‍ය වන අතර… ජීවිතය ප‍්‍රතික්ෂේප කොට විනාශය බදා ගනී.’’ සිංහලයන් මෙන්ම ද්‍රවිඩයන් ද ගොදුරු වුණේ ඒ ව්‍යාධියටයි. මුස්ලිම් ප‍්‍රජාවටත් ඒ රෝගය වැළඳෙන්ට පිළිවන.

දෑස් බැඳ ඇති සමාජය

පශ්චාත්-යුද්ධ ශ‍්‍රී ලංකාව තිබෙන්නේ පරිවර්තනයක ය. ඒ, අසම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක සිට පීතෘ-මූලික රදළ ආණ්ඩුවක් දෙසටයි. කිසි සිවිල් වැසියෙකු ඝාතනය නොකොට පවත්වාගෙන ගියේ යැයි කියන ‘මානුෂීය ක‍්‍රියාන්විතය’ සහ උතුරේ ‘සුභසාධන ගම්’ පිළිබඳ රාජපක්ෂ මිථ්‍යාවන් හරහා පෙන්නුම් කරන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට රාජපක්ෂලාගේ තියෙන ආත්මීය නෑකමයි. ජාත්‍යන්තරයේ තෙරපීම නිසාත්, ඉතිරිව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩුමපුඩුම නිසාත් යම් තාක් මෙල්ල වී සිටිය ද, ඔවුන් ද විශ්වාස කරන්නේ තමන් සර්වතෝභද්‍ර යැයි කියා ය. අත්‍යන්තයෙන් සුදනන් කියා ය.

අද රාජපක්ෂ පාලනය සහ ඔවුන්ගේ සිංහල-බෞද්ධ ඉත්තෝ, තමන්ගේ දේශපාලනික-දෘෂ්ටිවාදී පෙර නෑයන් දෙමළ ජාතිකයන්ට කළා සේ, දැන් මුස්ලිම් ජාතිකයන්වත් එම මුල්ලටම තල්ලූ කරති. එදා රාජිණී වැන්නන්ව ඝාතනය කෙළේ, ඒ මුල්ලෙන් එළියට පැන්න එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.

ඝාතකයන් අයත් වන්නේ සුළු පිරිසකට බවත්, සිංහල සහ දෙමළ ප‍්‍රජාවෙන් බහුතරය යහපත් සහ විනීත පිරිසක් බවක් කීමෙන් මේ තත්වයට සුදු හුණු ගෑමට බැරි කමක් නැත. ඝාතකයන් සුළුතරයක් වූ බව සැබෑව. එහෙත්, ඒ කුරිරු සුළුතරයට ශක්තිය දානය කෙළේ සහ ජවය සැපයුවේ, යහපත් සහ විනීත බහුතරයේ නිහැඬියාව සහ අක‍්‍රීයත්වයයි. ස්වකීය සැහැසි කෲරත්වයෙන් රාජ්‍යයේ කෲරත්වය පරදවාලීමට තරම් එල්.ටී.ටී.ඊ. සංවිධානයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් හැකි වුණේ කෙසේදැ යි වටහා ගැනීම තරමටම, බොහෝ සිංහලයන් සහ බොහෝ ද්‍රවිඩයන්ව උඩ බලාගෙන සිටින තත්වයට පත්කෙළේ කෙසේදැ යි වටහා ගැනීමත් වැදගත් ය.

දෙනිස් දිදරෝගේ ‘‘සංශයවාදියෙකුගේ ගමන’’ නැමැති කෘතියේ රාජකීය පරමාධිපතියෙකුගේ රටක් ගැන කියැවෙයි. ඔහු සිය හමුදා හේවායන්ගේ ඇස් බැඳීමට යොමු වෙයි. ස්වේච්ඡුාවෙන් ඇස් බැඳගන්නා මේ හේවායෝ, ‘‘අඩුවෙන් දකින තරමට වැඩියෙන් ඉදිරියට යා හැකි’’ යැයි විශ්වාස කරති. ආගම්-විරෝධී පථයක එම කතාව පදනම්ව තිබුණද, එකී දෘෂ්ටාන්තය දේශපාලනයට ද අදාළ කර ගත හැකිය. තම ජනතාවගේ ඇස් බඳින පාලකයන් ද, ස්වේච්චාවෙන් ඇස් බැඳගන්නා ජනතාවක් ද, ඒකාධිපති රටවල්වල පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්වල ද නිතර දකින්ට ලැබෙන සංසිද්ධියකි.

ඇස් බැඳ ගත් රටවැසියන් සිටින සමාජයක, දේවල් දැකීමට යොමු වෙන අතලොස්සක් දෙනා සැළකෙන්නේ, සමාජ-විරෝධීන් සහ ද්‍රෝහීන් වශයෙනි. ඔවුන්ව සමාජයෙන් කොන් කෙරෙන අතර දඬුවමට ද භාජනය කෙරේ. බොහෝ විට ඝාතනය කෙරේ. ඔවුන්ගේ මතකය වළලා දැමේ. නැතහොත් ප‍්‍රතික්ෂේප කෙරේ.

කිසිවෙකුගේ අන්ධ සහායිකාවක් වීම රාජිණී ප‍්‍රතික්ෂේප කළාය. ඇගේ පක්ෂපාතීත්වයන් තිබුණි. විශ්වාසයන් තිබුණි. එහෙත් ඒ කිසිවක්, අවිචාරවත්ව නොවේ. සිය ප‍්‍රජාවගේ ඛේදවාචකයේ සාක්ෂිකාරියක වීමට සිය යුද කලාපයට ඈ නැවත ආවාය. එහෙත්, තමා දකින දේ ඒ සැටියෙන්ම කීමට ඈ පැකිලූණේ නැත. වෙනත් බොහෝ දෙමළ ජාතිකයන් මෙන් ඇය ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට අකාරුණික නොවුණි. එහෙත් බොහෝ දෙමළ ජාතිකයන් මෙන් නොව, එල්.ටී.ටී.ඊ. සංවිධානය එහි ඇති සැටියෙන්ම දැකීමට ඈ පෙළඹුණාය. ඒ ආකාරයෙන්, කොටි මාවතේ යන සිය ජාතිය මුහුණදීමට නියමිත ඛේදවාචකය, එය ඇති වීමට 20 වසකට කලින් ඈ පෙර-දැක්කාය.

අද අධිපති/නිල දෙමළ මතකය තුළ රාජිණීට තැනක් නැත. බාගවිට ඒ තනි ගැහැනියගේ ආදර්ශය, ඇස් බැඳගෙන සිටි බොහෝ පිරිමින්ට තමන්ගේ කුදු බව අඟවනවා විය හැකිය.

පශ්චාත්-එල්.ටී.ටී.ඊ. ශ‍්‍රී ලංකාවේ බලපවත්වන්නේ එල්.ටී.ටී.ඊ. ගති ස්වභාවයයි. රාජපක්ෂලා කෙරෙහි වන අන්ධ භක්තිය සහ අවිචාරවත් සහාය අනිවාර්ය දෙයක් බවට පත්කෙරී ඇත. වෙනත් මතයක් දැරීම, ද්‍රෝහී ක‍්‍රියාවකට සමාන කොට ඇත. අනිත් පැත්තෙන්, තවත් ප‍්‍රජාවක් පිස්සු වට්ටමින් තිබේ. අතීතය යළි ඉපිද අනාගතය ගිල ගැනීමේ අවදානම සහිත ඒ විනාශකාරී සන්දර්භය තුළ, රාජිණීගේ අවසාන පැනය, හදිසි සහ කරඇරිය නොහැකි බරපතල අරුතක් ජනිත කරවයි.

*2014 සැප්තැම්බර් 25 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Why Do They Shoot? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Ms. තිසරණී ගුණසේකර –

    ඔවුන් වෙඩි තියන්නේ ඇයි?

    Why are they shooting?

    The current perception is that Rajapaksa Hegemony has taken over the UPFA/SLFP and people do not want dynasties.

    What can the writers do? What can the people do?

    Ms. තිසරණී ගුණසේකර, Can you be the Anonymous Author the and Produce Sri Lankan version of Common Sense in Sinhala, Tamil and English? You will do as much service to Lanka, the Land of Native Veddah Aethho, just like Thomas Paine did for America and France.You can expand this write up, and get there.

    Say, Because I have Common Sense, I will not vote for Mr. Rajapaksa

    Say, we want change from Mara.

    Rajapaksa had the opportunity. The power corrupted them. He became Mara. The People are sick of them. They even used Buddhism towards their ends. Even Sinhala Buddhists are fed up them, and they are showing their true colors.

    An Anonymous Author like Thomas Paine is needed with a Common Sense Pamphlet to expose the King, King George, the Rajapaksa Clan. Read, the Common Sense Pamphlet , by Thomas Paine, that inspired the American Revolution along with the other events. Common Sense (pamphlet)

    http://en.wikipedia.org/wiki/Common_Sense_(pamphlet)

    Produce a Commons sense Pamphlet for Sri Lanka and say why it is in the best interest of the people of Sri Lanka to remove the King, aka Rajapaksa Dynasty from power and let the Republic be a Republic and Not a dynasty. This Pamphlet, in Sinhala, Tamil and English, need to be sent to each and every Sri Lankan Citizen, just like Thomas Paine’s Common Sense pamphlet.

    Common Sense[1] is a pamphlet written by Thomas Paine in 1775–76 that inspired people in the Thirteen Colonies to declare and fight for independence from Great Britain in the summer of 1776. In clear, simple language it explained the advantages of and the need for immediate independence. It was published anonymously on January 10, 1776, at the beginning of the American Revolution and became an immediate sensation. It was sold and distributed widely and read aloud at taverns and meeting places. Washington had it read to all his troops, which at the time had surrounded the British army in Boston. In proportion to the population of the colonies at that time (2.5 million), it had the largest sale and circulation of any book published in American history.[2]

    Common Sense presented the American colonists with an argument for freedom from British rule at a time when the question of whether or not to seek independence was the central issue of the day. Paine wrote and reasoned in a style that common people understood. Forgoing the philosophical and Latin references used by Enlightenment era writers, he structured Common Sense as if it were a sermon, and relied on Biblical references to make his case to the people.[3] He connected independence with common dissenting Protestant beliefs as a means to present a distinctly American political identity.[4] Historian Gordon S. Wood described Common Sense as “the most incendiary and popular pamphlet of the entire revolutionary era”.[5]

  • 0
    0

    I remember the murder of Rajini Thiranagama.There is a famous proverb in Sinhala
    ”wandurata deli pihiya dunna wage”.
    Rajini and many other intelectuals of this besieged country were murdered because power hungry short sighted idiotic monkeys carried weapons.For them pulling the trigger is just a game. For us, What we loose/lost cannot be replaced for generations.This is brutally true for both South and North.The saddest thing is we never learn our lessons.Same tactics are in business even today as we have failed to move from those days.Surprisingly,even today, we are totally lethargic about this development. Gun is reigning us at its wish and pen is silent for ever.We happily keep quiet and will only wake up one day when the gunman taps our door.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.