27 April, 2024

Blog

පත්තරයක් සමාජ ක්‍රියාධරයෙකු වීම: රාවයේ ‘අමුතු’ භූමිකාව

උදන් ප්‍රනාන්දු

අමුතු චරිතය

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු

වික්ටර් අයිවන් මා මුලින් ම දකින විට ඔහු කවුද කියා හෝ ඔහුගේ නමවත් මම දැන නොසිටියෙමි. ඒ මා අපොස උ/පෙ ශිෂ්‍යයෙකු සිටි කාලයේ ය. පාසල් නොගොසින් පුස්තකාලයේ විභාගයට අනදාල පොත් කියැවීමේ පුරුද්දක් අප කිහිප දෙනෙකුට තිබිණ. නිවෙසට කිට්ටුව පිහිටා තිබුණ මොරටුවේ සර්වෝදය පුස්තකාලය අපගේ නිතර ගැවසෙන තැනක් වුනේ දවල්ට නොමිලේ ආහාර වේලක් ද උදේට හවසට තේ කෝප්පයක් ද එකල දුන් බැවිනි. සර්වෝදය පුස්තකාලයේ රස්තියාදු වන කාලයේ පොඩි වෑන් රථයක රියැදුරුට යාබද අසුනේ කිඳා බැස, කල්පනා බරිත ව ගමන් කරන මෙම මිනිසා ‘අමුතු චරිතයක්’ බව මට එකල ඉවෙන් මෙන් දැනුණි. ඔහු වික්ටර් අයිවන් බව මා දැන ගත්තේ රාවය සඟරාව මා කියවන්න ගත් කාලයේ ය. මා තරමක් ඇසුරු කළ, රාවයට මුල් කාලයේ සිට වසර ගණනාවක් ලියු චන්ද්‍රරත්න බණ්ඩාර සමග මා රත්මලානේ පිරිවෙන මාවතේ එවක පවත්වාගෙන ගිය රාවය කාර්යාලයට මා ගියා මතක ය. මා කලේ චන්දරේ තමන්ගේ චෙක්පත ලබා ගෙන එනතුරු කුඩා ලොබියේ බලා ගෙන සිටීම ය. රාවය සඟරාව, ටැබ්ලොයිඩය හා බ්‍රෝඩ්ශීටය ලෙස රූපාන්තරණය වන අතර එය නොවරදවා කියවන පාඨකකු ලෙස දිගටම සිටියෙමි. වසර දහයක් පමණ විදේශගතව සිටින විට ද රාවය තැපෑලෙන් ගෙන්වාගෙන කියැවුයෙමි. මාගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ තේමාව වුයේ නෙදර්ලන්තයේ විදේශාධාර ක්‍රමය පිළිබඳව ය. එම ප්‍රධානක ආයතන ගැන මා පර්යේෂණ කරද්දී රාවයේ මුල් කාලයට සම්බන්ධ වූ සර්වෝදයේ ලියකියවිලි පරිශීලනය කිරීමේදී රාවය ගැන ද දැනගන්නට ලැබුනා මතක ය. එහෙත් වික්ටර් අයිවන් මුහුණට මුහුණ හමුවුයේ හා රාවයේ අධ්‍යක්ෂක මණ්ඩලයට මා සම්බන්ධ වුයේ මෑතක සිට ය. ඒ රාවය සහයෝගිතාවයේ සාමාජිකයෙකු ලෙස ය. එම කෙටි කාලය තුලදී රාවය ගැන ගැඹුරින් වටහා ගන්නත්, වික්ටර් අයිවන් මහතා සමග ඇසුරු කරන්නත් අවස්තාව ලැබුණි. වසර තිහක් පමණ කාලයක් තිස්සේ සඟරා හා පත්තර පිටු අතරින් දුටු මෙම ‘අමුතු චරිතය’ කේන්ද්‍ර කරගෙන මෙම කෙටි රචනාව සංගෘහිත කරන්න ලද අවස්තාව සොම්නසට කරුණකි. මෙම රචනාවේ අරමුණ රාවය බිහිවීම සමාජ-දේශපාලන ක්‍රියාකාරිත්ව සන්ධර්භයක ස්ථානගත කිරීම හා ඒ මත පදනම් කරගෙන රාවයේ නැවුම් බව හා ඊට බලපෑ හේතු විග්‍රහ කිරීම ය.

Victor

අර්බුදයකට දාව ඉපදීම

රාවයේ බිහිවීම සිදුවන්නේ ඕපපාතික ලෙස නොවේ. රාවයේ සම්භවය අයිතිහාසිකව මා ස්ථානගත කරන්නේ පශ්චාත් 1977 සමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ය. 1977 දී ආර්ථිකය නිදහස් වීමත් සමග ලාංකීය ප්‍රජාතාන්ත්‍රික ආයතන හා ඒවායේ ව්‍යවහාරය දරුණු සෝදාපාලුවකට ලක් වුයේ පාර්ලිමේන්තුවට වග නොකියන, නීතියට ද අවනත නොවන අධි-බලැති ජනාධිපති ක්‍රමයක් බිහි වීමත් සමග ය. හයෙන් පහක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් තිබීම හා විපක්ෂයක් නැති ගානට කුඩා වීම මෙම තත්ත්වය තවත් උත්සන්න කලේ ය. එවකට විපක්ෂයේ නායිකාව ලෙස සිටි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් අතලොස්සකට සීමා වූ විපක්ෂය තවත් දුර්වල විය. අධිකරණයේ ස්වාධීනත්වය බරපතල ලෙස කඩ වැටුනේ එවක සිටි ජනාධිපති නොරිස්සු අගවිනිසුරු නෙරපීමත් තමන්ට රිසි හා පාලනය කළ හැකි අයෙකු පත් කිරීමත් සමග ය. රජයට විරුද්ධ බලවේග නිර්දය ලෙස යටපත් කිරීම සිදු වූ අතර එහි වැදහත් අවස්ථාවක් වුයේ 1980 වැඩ වර්ජනය යි. ප්‍රති බලවේගයක් ලෙස මෙතෙක් පැවතී වෘත්තීය සමිති ව්‍යාපාරය හා වමේ පක්ෂ 1980 බලවත් පසු බෑමකට ලක් විය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ප්‍රවණතාවයේ උච්චතම සන්ධිස්තානයක් වුයේ කුප්‍රකට කලගෙඩි-ලාම්පු ජනමත විචාරණය යි. 1983 මුදා හළ ජාතිවාදී ප්‍රවනතාවයත් සමග දරුණු යුද්ධයක් ඇවිලිණි. රජයට එරෙහි ව ප්‍රති-බලයක් ලෙස එල්ටීටිය මතු වු නමුදු ඔවුන් විසින් තමන්ගේ මතය හැර අන් කිසිදු මතයක් ඉවසීම සිදු නොවිණි. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී හා සිවිල් අවකාශය බලවත් පහරකට ලක් විය. දෙමල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ දේශපාලකයින් එල්ටීටිය විසින් ඝාතනයට ලක් විය. දකුණේ තරුණ බලවේග නියෝජනය කළ ජවිපෙ ද අන් මතයන් නොඉවසීමේ ප්‍රවනතාවයකට යොමු වුයේ 1986 අග දයා පතිරණ ඝාතනය කිරීමත් සමග මුදා හැරුණු ප්‍රචණ්ඩතවත් සමග ය. උතුරේ අර්බුදය ඉන්දීය හමුදා මැදිහත්වීමකට පාර කැපුණු අතර ඊට නැගුනු විරුද්ධත්වය ආඳාගෙන ජවිපෙ සහ නසසපය තහනම් කෙරිණ. රාවය 1986 ජුනියේ බිහි වන්නේ මෙවැනි ලේ වැකුණු දේශපාලන කාන්තාරයක ය; ප්‍රජාතන්වාදී ආයතන හා භාවිතය දරුණු අර්බුදයකට ලක් වී ඇති අවකාශයක ය; විසම්මුතියට හා විකල්ප අදහස් වලට ඉඩක් නැති හා හා ප්‍රජාතන්ත්‍රීය බලවේග දුර්වල අඩියක සිටි අවස්තාවක ය.

ප්‍රගතිශීලී ප්‍රති-බල ප්‍රතිසංවිධානය

අසුව දශකයේ ප්‍රති-බල හා ප්‍රගතිශීලී බලවේග නියෝජනය කළ වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති දුර්වල වීමට සමගාමීව නව සංවිධාන ප්‍රභේධයක් මතු විය. මෙම සංවිධාන රාජ්‍ය නොවන සන්විධාන ලෙස හැඳින්විණ; ජනප්‍රිය වහරේ එන්ජීඕ ලෙස නාමකරණය විය. රාජ්‍ය නොවන සංවිධාන යන ඒකල වර්ගීකරණය, එන්ජීඕ සමජාතීය සංවිධාන වන්නේය යන අදහස ගම්‍ය කරන නමුත් එය සාවධ්‍ය ය. එන්ජීඕ අතිශයින් එකිනෙකට වෙනස් මතවාදී, උපාය මාර්ගික හා ක්‍රියාත්මක තලවල නිරතවන සංව්ධාන වේ. බොහෝ එන්ජීඕ පවත්නා ක්‍රමයට අනුගත ව කටයුතු කරන අතර (මේවාට සංවර්ධන එන්ජීඕ කියා ද කියයි) සමහර සංවිධාන පවත්නා ක්‍රමයේ පරිවර්තනයක් අරභයා කටයුතු කරන අතර රජය ඇතුළු බල ව්‍යාපෘති අභියෝගයට ලක් කරයි. ‘කළු-සුදු’ වශයෙන් සරලව මෙම සංවිධාන බෙදිය නොහැකි අතර, බොහොමයක් සන්විධාන ‘අළු’ කලාපයට අයත් වේ. අසුව දශකයට පෙර පැවති ස්වෙච්චා සන්විධාන ද පසු කලෙක එන්ජීඕ ලෙස නාමකරණය විය. එන්ජීඕ සඳහා විශ්වීය නිර්වචනයක් භාවිතා කිරීම අපහසු වුවත්, 80 දශකයේ ඉස්මතු වූ මෙම සන්විධාන ප්‍රභේධයේ සැලකිය යුතු ලක්ෂණයක් වුයේ විදේශීය ප්‍රධානක සංවිධාන සමග කටයුතු කිරීම සහ එම සංවිධාන හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමයි. ඒ අනුව නව ආකරයක අදහස් හා අරමුදල් ප්‍රවාහයක් සහිත අවකාශයක මෙම නව සන්විධාන ප්‍රභේදය පෝෂණය වූ අතර අසුව දශකය වන විට මෙම සන්විධානවල විශාල වර්ධනයක් දක්නට ලැබිණ.

වාමාංශික ප්‍රභවයක් ඇති හෝ සමාජ පරිවර්තනයක් අරභයා කටයුතු කරන සමාජ කොටස් ද එක්තරා ආකාරයකට ඉහත විස්තර කළ අවකාශය ට ක්‍රමික ව විතැන් වීම 1977 වෙනසත් සමග සිදු වීම නිරීක්ෂනය කළ හැක. උදාහරණ ලෙස සමාජ විද්‍යාඥයින්ගේ සංගමය, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සංවිධානය (මහනුවර) හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරය දැක්විය හැක. අසුව දශකයට පෙර කුඩා පරිමාණයෙන් පැවති දේවසරණ, සත්යෝදය, සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) වැනි සංවිධාන පෙරට වඩා තම වපසරිය පුළුල් කර ගත්තේ ය. වාමාංශික, වෘත්තිය සමිති හා දේශපාලනික පසුබිමින් පැමිණි ක්‍රියාධරයන් මෙම නව සන්විධාන ප්‍රභේධයේ නායකත්වය ඉසිලීය. මෙයින් අදහස් කරන්නේ එම සන්විධාන හුදු එන්ජීඕ බව නොවේ; ඒවා නව තත්ත්වය තුල පැවතෙන්නට එන්ජීඕ අවකාශය හා මාදිලිය තෝරාගත් බවයි. නමුත් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ මතවාදය හා උපාය මාර්ගය යම් ආකාරයක වෙනසක් ක්‍රමික ව සිදු විය. එය එක්තරා ආකාරයක නිර්දේශපාලනීකරණයක් හෝ දියාරු වීමක් ලෙස ද ගත හැක. මෙම එන්ජීඕ නමැති සංවිධාන ප්‍රභේධය පසු කලෙක සිවිල් සමාජය නමැති නව කලාපයකට තම ක්‍රියාකාරිත්වය ස්ථාපිත කරගත්තේ හා සංකල්පගත කරන ලද්දේ රාජ්‍යයට හා ව්‍යාපාරික ක්ෂේත්‍රයට ප්‍රති-බලයක් ලෙසිනි. සිවිල් සමාජය කතිකාවතක් ලෙසත් ක්‍රියාකාරී වැඩබිමක් ලෙසත් අසුවේ අගභාගය වන විට ශක්තිමත් වුයේ නැගෙනහිර යුරෝපයේ හා සෝවියට් දේශයේ සිදු වූ පරිවර්තනයට සමගාමී ව ය.

පත්තර ක්‍රියාකාරිත්වයක් ?

රාවයේ බිහිවීම සිදු වූ සමාජ දේශපාලන සන්දර්භයේ ස්වරුපය වුයේ ඉහත පරිදී ය. එහෙත් වික්ටර් අයිවන් තමන්ගේ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වය පැළ කරන්නේ වෙනස් ආකාරයකට බව ආපසු හැරී බලන කළ වටහා ගත හැක. තමන්ගේ ම එන්ජීඕවක් අටවාගෙන හෝ අනුන්ගේ එන්ජීඕවක පර්යේෂකයෙකු ලෙස ක්‍රියාකාරී වෙමින් නව සමාජ-සංවිධාන මාදිලියට අනුගත වන්නට වික්ටර් අයිවන් ට පහසුවෙන් හැකියාව තිබුණි. මහනුවර පදනම් කරගෙන ක්‍රියාත්මක වූ පුරෝගාමී ප්‍රගතිශීලී සංවිධානයක් වූ සත්යෝදයේ ආරම්භක නායක ගරු පෝල් කැස්පර්ස් පියතුමා වික්ටර් අයිවන් ගැන මා සමග මහත් ප්‍රසාදයෙන් කතා කර ඇත. එතුමා ශාන්ත අලෝසියස් හි විදුහල්පතිව සිටින කාලයේ වික්ටර් අයිවන් සිසුවෙක් ව සිට ඇත. වික්ටර් අයිවන්ගේ සහෝදරයෙකු සත්යෝදයේ කලක් සේවය කර ඇත.

වික්ටර් අයිවන් තෝරා ගත්තේ ප්‍රකාශන මාධ්‍ය ය, මුලින් මාසික සඟරා හා පසුව සතිපතා පත්තරය ය. පත්තරයක් නිෂ්පාදනය කිරීම පමණක් නොසැහේ; එය අලෙවි විය යුතු ය. සමාජ දේශපාලන අරමුණක් ඇතත් පත්තරයක් වාණිජ වශයෙන් ශක්‍ය විය යුතු ය. මෙය දුෂ්කර කාර්යයකි. ලාංකීය පුවත්පත් ව්‍යාපාරය රජයේ හෝ ප්‍රභූ පවුල් කිහිපයක අධිකාරියේ හා අයිතියේ පැවතී එකකි. එවැනි ව්‍යාපාරික පසුබිමක සමාජ දේශපාලන අරමුණක් ඇති පත්තරයකට පැවතීම බැලු බැල්මට අපහසු ය. නමුත් එම අභියෝගය වික්ටර් අයිවන් මීට වසර 28 කට පෙර ගත්තේ පුවත්පත් කලාවේදියෙකු ලෙස ස්ථාපිත වූ අයෙකු ලෙස නොවේ. ඔහුගේ නම පවා එකල දැනගෙන සිටියේ වාමාංශික දේශපාලනයට නැඹුරු වූ අතලොස්සක් පමණි. මාගේ නිරීක්ෂණය වන්නේ වික්ටර් අයිවන් මෙවැනි අභියෝගාත්මක හා අවධානම් සහගත කර්තව්‍යකට පොලබවන උත්තේජකය තමන්ගේ ගැඹුරු දේශපාලන අචල-විශ්වාසය (conviction) සහ මුරණ්ඩුකම බව ය. රාවය පත්තර කලාවේ හා සමාජ ක්‍රියාකාරිත්වයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි එදා වික්ටර් අයිවන් සිතුවා ද නැත් ද යන්න මම නොදනිමි.

දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති විසින් පළ කරන පුවත් පත් ප්‍රභේධයක් ලංකාවේ දක්නට හැක. ඒවායේ අරමුණ දේශපාලන පරිවර්තනයක් ඇවිලීම ය. නමුත් ඒවා පිටු කිහිපයකට පමණක් සීමා වන අතර සංසරණය වන්නේ තමන්ගේ කාඩරය අතරේ පමණකි. මෙම පත්තර ප්‍රධාන ධාරාවේ පත්තර සමග සන්සන්ධනය කළ නොහැක. ඉහත ප්‍රභේධයේ ව්‍යාතිරේඛයක් වනුයේ ඇත්ත පත්තර ය. නමුත් ඇත්ත පත්තරයේ මෙන් දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් වික්ටර් අයිවන් පසුපස සිටියේ නැත; එක්තරා දේශපාලනික ඩොග්මැටිකයක් එල්බ ගෙන සිටියේ ද නැත. නමුත් රාවය වටා සමාජ-දේශපාලනික ඒකරාශිවීමක් (mobilization) සිදුකිරීමට වික්ටර් අයිවන්ට හැකි විය. එය සම්භාව්‍ය එන්ජීඕ පන්නයේ වැඩක් ද සම්ප්‍රදායික වාමාංශික දේශපාලනික ක්‍රමයක් ද නොවී ය වේ. එසේ නම් එය කුමක් ද? එහි තිබු ‘අමුත්ත’ කුමක් ද?

මාධ්‍යවේදීන් ද ? කාඩර්වරුන් ද ?

රාවය බිහි කළේ වික්ටර් අයිවන් වුවත් මුල සිට ම නිතිපතා ලිපි සම්පාදනය කරන භාහිර ලියුම්කරුවන් ද පුර්ණ කාලීනව කටයුතු කරන කතෘ මණ්ඩලයක් ද රාවයට තිබුණි. සමහර භාහිර දායකයෝ වික්ටර් අයිවන්ගේ 1971 සගයෝ වූ හ. එක්තරා ආකාරයකට තම දේශපාලන ක්‍රියාකාරිත්වෙහි දිගුවක් ලෙස ඔවුන් රාවයට දායක වුවා විය හැක. එහෙත් එම කුඩා පිරිස කල්ලියක් ලෙස රාවය තුල ක්‍රියාත්මක නොවීම සාධනීය දෙයකි. එම පැරණි සගයෝ තම දේශපාලන පන්නරය රාවයට ගෙන ආවා මිස අනවශ්‍ය ලෙස අතීතකාමී බැගේජය කරපිට පටවාගෙන නොසිටිය හ. මුලාරම්භය සිට ම රාවයේ අලුත් පරපුරක මාධ්‍යවේදීන් සිටියේ ය. ඔවුන් හරහා රාවය අලුත් පරපුරට ඇමතීමට හැකි විය. අලුතින් එකතු වූ අය ද යම් දේශපාලන ‘උණකින්’ පෙළුණු අය වූ හ. කලක් යද්දී මෙම නවකයෝ රටේ පැසසුමට ලක් වූ මාධ්‍යවේදීහු වූ හ.

විශේෂයෙන් භාහිර සම්පාදකයින් විසින් නිතිපතා ලියැවුණු ලිපි, කොලම් හා විග්‍රහ රාවයේ අගය තවත් වැඩි කලේ ය. ඔවුහු ලාංකීය සමාජයේ ඉහල මට්ටමක බුද්ධිමය, වෘත්තික හා දේශපාලනික තල නියෝජනය කළ අය වූ හ. රාවයේ සමාජ දේශපාලන ව්‍යාපෘතිය පෝෂණය කළෝ ඔවුහු ය, රාවයේ දේශපාලනික සගයෝ වුවෝ ඔවුහු ය. ඒ අරුතින් ගත් කල, රාවයට එක්තරා ආකාරකට කැපවුණු කාඩරයක් සිටියේ ය. මෙම කණ්ඩායම කලක් සිට රාවයට ම ආවේනික ශෛලියකට ලියන්නත් ඊට අමතර ව දේශපාලන හා සමාජ මැදිහත් වීම් කරන්නත් සිරිතක් කර ගත් හ. වෙනත් ආකාරයකින් කියතොත් මොවුහු හුදෙක් ලියන-අප්පුලා නොවූ හ. ඔවුන් ලියුවේ සමාජ දේශපාලන අරමුණක් වෙනුවෙන් වන අතර එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ මට්ටමේ අරගල හා මැදිහත්වීම් පසුබට වුයේ නැත. මෙම සම්ප්‍රදායට නායකත්වය දුන්නේ වික්ටර් අයිවන් ය. ඔහු යම් මැදිහත්වීමකට පැටළුණු විට එය ලිහෙන තෙක් වසර ගණනාවක් හෝ අවදානම් නොතකා තම අරගලය ගෙන ගියේ ය. එම මැදිහත්වීම් කා සමග ද, ඔවුන් කොතරම් බලවත් ද දරුණු ද යන්න ඔහු තැකුවේ නැත. හිටපු අග විනිසුරු සරත් සිල්වා හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග උදාහරණ ය. වික්ටර් අයිවන් ඇතුළු රාවය ලිපි සම්පාදකයෝ තමන්ගේ සටන්කාමී ලක්ෂණය පත්තරය නවමු සමාජ-දේශපාලන වැඩබිමක් බවට පරිවර්තනය කළ හ.

පාඨකයින් ද ? සගයන් ද ?

බොහෝ විට පාඨකයා පත්තරය කියවා දැමීමෙන් පසු එය පසෙක දමයි. තමන් පත්තරය සමග ඇති සමග සම්භන්ධය ඉන් අවසන් වෙයි. වැඩි ම වුනොත් පත්තරය පසු දිනෙක බත් එක ඔතන්න ගනියි. අප අහවල් පත්තෙර් පාඨකයින් යි ඔවුහු නොකියති. එහෙත් රාවයේ පාඨකයා ඊට හාත්පසින් වෙනස් ය. රාවයට ඇත්තේ පාඨකයින්ට වඩා එහා යන පිරිසකි. මෙය මට පසක් වුයේ රාවය සහයෝගිතාවය මගින් රාවයට අරමුදල් එකතු කළ කාලයේ ය. රාවය පාඨකයා රාවය සමග ඇත්තේ පුදුමාකාර විශ්වාසී හා හිතේසිවන්ත සබදතාවකි. තමන් රාවය පාඨකයින් කියන්නේ ආඩම්බරයෙනි. රාවය සඳහා අරමුදල් එකතුකරන සමයේ අපගේ සාමාජිකයින්ට ලැබුණු දුරකථන ඇමතුම් ප්‍රමාණය හය සියයකට ආසන්න ය. ප්‍රතිචාර දක්වූ අතර සමාජයේ විවිධ ස්ථර නියෝජනය කළ අය වූ හ. එක් අයෙක් කළුතර බේකරියක පිටි අනන්නෙකි. ඔහු වසර ගණනාවක් සිට නොවරදවා ම රාවය කියවන බව පැවසී ය. තවත් අයෙක් වුයේ විනිසුරුවරියකි. තමන් තෝල්කමුදලි ලවා රාවය විනිසුරු මැදිරියට ගෙන්වාගන්නේ රජයට පක්ෂපාති පත්තරයකින් ඔතාගෙන බව ඇය පැවසී ය. මෙවන් විවිධාකාරයේ සමාජතල නියෝජනය කළ අය අප සමග දුරකතනයෙන් බොහෝ වෙලාවක් කතා කළෝ රාවය සමග තමන්ගේ ඇති සමීප සම්භන්ධතාව ගැන කාන්සාත්මක හා සොම්නස් සහගත හඩකිනි. ඔවුන් අතරින් බොහෝ දෙනා සාපේක්ෂව අඩු ආදායමක් ලබන හෝ මධ්‍යම පාන්තික අය වූ හ. නමුත් ඔවුහු නොමසුරු ව රාවයට අරමුදල් දායක කළෝ එක්තරා ආකාරයක භක්තියකිනි. රාවය සහයෝගිතාවේ රැස්වීමක් කොළඹ සංවිධානය කළ අවස්ථාවේ දුරබැහැරින් පාන්දර නැගිට බස් එකෙන් දුම්රියෙන් පිරිසක් ආවේ තමන්ගේ අතින් වියදම් කරමිනි. මෙවැනි තත්ත්වයක් දැන් වමේ පක්ෂයකටවත් කරන්නට නොහැක. ඉහත රැස්වීමට ආ පිරිස් දේශපාලන පක්ෂ හා ඇත දිග හැර වියදම් කරන එන්ජීඕ ගැන නොදන්නා අය නොවේ. නමුත් රාවය සමග ඔවුන් ගොඩ නගාගෙන ඇත්තේ වෙනස් සබඳතාවයකි. ඔවුන් රාවයේ පාඨකයින් පමණක් නොව රාවයේ සමාජ දේශපාලන අරගලයේ සගයින් ය. විශේෂ ව්‍යයාමයකින් තොරව සමාජයේ විවිධ ස්ථර නියෝජනය වන මෙවැනි කැපවුණු පිරිසක් සිටීම රාවයේ සමාජ දේශපාලන කර්තව්‍යයේ සාර්ථකභාවය ඔප්පු කරයි. දේශපාලන ව්‍යපාරයක දක්නට ලැබෙන පාක්ෂිකයින් හෝ සාමාජිකයින්ගේ ලක්ෂණයි මෙම කැපවුණ පාඨක පිරිස තුල දක්නට ඇත්තේ.

සමාජ ක්‍රියාකාරිත්වය පමණක් ඇති ද ?

දේශපාලන ව්‍යාපෘතියක් ලෙස නවතාවයක් රාවයේ තිබුනා මෙන් ම පත්තරයක් ලෙසත් එහි නැවුම් භාවයක් අන්තර්ගතයේත් ඉදිරිපත් කිරීමේත් දක්නට ලැබිණ. සිද්ධියක් වාර්තා කිරීමෙන් පමණක් සීමා නොවී එය පුළුල් විග්‍රහයකට හා සංවාදයකට භාජනය කිරීම රාවයේ ශෛලිය විය. විටෙක එම සංවාදය සති කිහිපයක් පුරාවට ගෙන යාමට තරම් උන්නන්දුවක් හා ශක්තියක් උද්දීපනය කිරීමට එම ශෛලියට හැකි විය. භාෂා ශෛලිය ප්‍රශස්ත විදග්ධ මට්ටමක පවත්වාගෙන ගියත් අනවශ්‍ය ලෙස කටෝර හා සංකීර්ණ ලෙස භාවිතය වැළකීම කරන ලදී. පිටු සැලැස්ම නිර්මානාත්මක කළු-සුදු ලෙස කරන ලද්දේ අනෙකුත් පත්තර දේදුනු පැහැති පෝස්ටර මෙන් මුද්‍රණය වෙන විට ය. එහිත් යම් කලාත්මක නැවුම්භාවයක් රාවයට පවත්වා ගන්න හැකි විය. දේශපාලන හා සමාජ අරමුණ කෙතරම් සාර-ගර්භ වුවත් පත්තරයක් සාර්ථක පත්තරයක් වන්නේ එය මාධ්‍යය හරි හැටි භාවිතා කිරීමෙන් හා නැවුම්භාවය දිගින් දිගට ම පවත්වා ගැනීමෙන් වන බව රාවය මුල සිට ම භාවිතා කළ මුල ධර්මයක් යි මම සිතමි. මෙම ලක්ෂණය පවත්වා ගැනීම උදෙසා සමහර වාණිජ අරමුණ පෙරදැරි පත්තර සැම සතියක ම මනසට කරදර වෙන මට්ටමට පිටු සැලසුම මාරු කරන අතර, දේශපාලන අරමුණු පෙරදැරි පක්ෂ වල පිටු සැලසුම රේස් කොලයක මට්ටමටත් වඩා අඩු නිර්මාණශීලී බවක් පෙන්වයි. සමහර කාල වකවානුවල රාවයේ මෙම ගුණය අඩුවුණු නමුත් අඩු වැඩි වශයෙන් පත්තරය පත්තරයක් ලෙස පවත්වාගෙන යෑම රාවයේ සමාජ දේශපාලන කර්තව්‍ය සාර්ථක ලෙස කරගෙන යාමට හැකි වුනා යි මම සිතමි. මෙහි ලා ප්‍රධාන කර්තෘ ලෙස වික්ටර් අයිවන්ගේ නායකත්වය වැදගත් ය. එසේ නොවුනා පත්තරයත් දේශපාලන සමාජ ව්‍යාපෘතියත් අවුරුද්දකින් දෙකකින් අවසන් වන්නට තිබුණි. මෙය සමාජ හා දේශපාලන අරමුණු අරභයා මාධ්‍ය භාවිතා කරන්නන් මෙනෙහි කළ යුතු වටිනා පාඩමකි.

නවමු ව්‍යාපාර මාදිලියක්

රාවය සමාජ කර්තව්‍යක් ලෙස සාර්ථක වීමට බලපෑ එක හේතුවක් ලෙස මා දකින්නේ එය සංවිධානය කළ ආකාරය යි. මා කලින් පැවසූ පරිදි රාවය සුපුරුදු එන්ජීඕ මාදිලියට සංවිධානය වුවක් නොවේ. රාවය මුල් කාලයේ සර්වෝදය සමග යම් සබදතාවක් තිබුණි. පත්තරය මුද්‍රණය වුනේ සර්වෝදයේ විශ්වලේඛා හී ය. කාර්යාලය ද පිහිටා තිබුනේ රත්මලානේ විශ්වලේඛා ගොඩනැගිලි පර්යන්තයේ ය. මා නෙදර්ලන්තයේ ප්‍රදානක ආයතන ගැන පර්යේෂණ කරන විට පැරණි ලේඛනාගාරයක රාවය වෙනුවෙන් සර්වෝදය නොවිබ් (Novib) ආයතනයෙන් අරමුදල් ලබා ගෙන ඇති බවට ලේඛන දුටුවෙමි. ආරම්භක සමයේ මෙවැනි සම්භන්දයක් තිබුන ද එම සම්භන්දය ඉක්මනින් කැඩී ගිය බව ද මතක ය. එම දුරස් වීම මා දකින්නේ සාධනීය එකක් ලෙස යි. ඒසේ නොවුනා නම් රාවය සර්වෝදයේ කොටසක් හෝ දිගුවක් ලෙස තිබෙන්නට ඉඩ තිබිණි. රාවය ගොඩනගාගත් ස්වාධීන අනන්‍යතාව ඉන් නොලැබෙන්නට ඉඩ තිබුණි.
රාවය මුලදී ම කඩා ගත්තේ සර්වෝදයය සමග තිබු සම්බන්ධතාව පමණක් නොව එන්ජීඕ මාදිලියට කටයුතු කරන එක ය. ඉන් මා අදහස් කරන්නේ ප්‍රදානක ආයතන (donor agencies) ව්‍යාපෘති යෝජනා ලියා අරමුදල් සපයා ගැනීම හා දිගින් දිගට ම එම අරමුදල් මත තම වැඩ සංවිධානය කිරීම ය. විදේශ ආයතනයකින් අරමුදල් සපයා ගැනීමේ වැරැද්දක් නැතත් එම ක්‍රමයේ සීමාවන් හා අඩුපාඩු ඇත. ඉන් ප්‍රධාන වන්නේ ආධාර මත යැපීම යි. විකල්ප පත්තරයක් ලෙස පසු කලෙක ආ යුක්තියට සිදුවුනේ ඉහත ප්‍රශ්නය ය. යුක්තිය දිගට ම පවත්වාගෙන යන්නට නොහැකි වූ එක් ප්‍රධාන හේතුවක් වුයේ ආධාර නැවතීම යි. බොහෝ විකල්ප සඟරාවලට ද අත් වුනේ මෙවැනි ම ඉරණමක්. තමන්ට තිබුනේ සමාජ අරමුණක් වුවත් රාවය අනුගමනය කලේ ව්‍යාපාරික මාදිලියක මුලධර්ම යි. මුල්‍ය ලාභය පසුපස හඹා නොගියත් තම අලෙවි හා දැන්වීම් ආදායමෙන් පිරිවැය පියවා ගනිමින් මානව හා අනෙකුත් සම්පත් නඩත්තු කරමින් ආයතනය පවත්වා ගෙන යා යුතු ය යන්න රාවයේ මුලධර්මය විය. මෙවැනි ක්‍රමවේද දැන් සමාජ ව්‍යවසායකත්වය (social entrepreneurship) හෝ සෝෂල් බිස්නස් ලෙස ලොව පුරා ප්‍රචලිත ව ඇත.

පෙරගමන්කරුවෙක්

රාවයේ සමාජ දේශපාලන ක්‍රියාකාරිත්වය එක්තරා ආකාරයක පෙරටුගාමී ලක්ෂණ පෙන්වයි. පසු කලෙක ප්‍රකට වූ හා මේ වන විට විලාසිතා බවට ද පත් ව ඇති සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය, පුරවැසි මාධ්‍යවේදය හා ව්‍යවසායකත්වය (social business/enterprises) වැනි දෑ ව්‍යවහාරයෙන් රාවය කළේ බොහෝ කලකට පෙර ය. එලෙස ගත් කල වික්ටර් අයිවන් ඇතුළු රාවයේ නායකත්වයට දුරදක්නා නුවනක් හා ඉවක් තිබී ඇති බව පැහැදිලි ය. එන්ජීඕ මාදිලියේ සීමාව අතික්‍රමණය කළ නව සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයක් ලෙස ද රාවයේ භූමිකාව හඳුනාගත හැක. සිද්ධි හා අවස්ථා වටා ජනතාව දනුවත් කිරීම, ජනතා සංවාදයක් ගොඩනැගීම හා අදාළ කරුණ සම්භන්දහයෙන් විසදුම් අරභයා ප්‍රතිපත්ති හෝ නීති සම්පාදනයට බලපැම් (advocacy) රාවය දිගින් දිගට ම කළ දෙයකි. රාවය අනෙක් පත්තර වලින් වෙනස් වන ප්‍රධාන හේතුව වන්නේ මෙය යි. අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරමින් කෙරෙන එන්ජීඕ පන්නයේ මෙවැනි මැදිහත්වීම් වලට වඩා පැහැදිලි ගුණානාත්මක සාර්තකත්වක් හා ප්‍රතිඵල අත්පත් කරගන්නට රාවයට හැකි වී ඇත. ඒ අනුව දේශපාලන සමාජ ක්‍රියාකාරිත්වයක් කාර්යක්ෂම ව හා ඵලදායි ලෙස සංවිධානය කරගැනීම පිළිබඳව රාවය නැවුම් ආදර්ශයක් සපයයි.

රාවය ලාංකීය සන්ධර්භයේ සාදාගත් අවකාශය පුවත් පතකට හෝ මාධ්‍යවේදයට ලඝු කළ නොහැක. එය පුළුල් සමාජ දේශපාලනික අවකාශයකි. 1970 දී තමන් විසින් ම අත්හරිනු ලදු ව පසුව 1977 දී පරාජයකට හා පසුබෑමකට ලක් වූ පැරණි වම නැවත සැලකිය යුතු තරමේ නව පනක් නොලද්දේ ය. වෙනත් සමාජයන්හී නව-වමක් (New Left) මතුවෙද්දී ලංකාවේ වම අවශේෂයකට (left of the left-over) ඌනණය විය. රාවය විසින් එක්තරා ආකාරයකට අත්පත් කරගනු ලද්දේ මෙම අවකාශය යි. එනම් නව-වමකට ඇති ඉඩකඩ යි. රාවය කලේ එක්තරා ආකාරයකට ලාංකීය වාම ව්‍යපෘතිය නිර්මාණය කළ හිස්තැන වෙනස් ආකාරයකට පිරවීමක් විය හැක. රාවය සම්භාව්‍ය රාජ්‍ය බල-කේන්ද්‍රී දේශපාලන ව්‍යාපෘතියක් නොවූ හෙයින් නව-වමක ශක්‍යතාව මුළුමනින් ම සාක්ෂාත් කරගන්නට නොහැක. නමුත් පුරවැසි දේශපාලනයේ (civic politics) අර්ථයෙන් ගත් කල රාවයේ ක්‍රියාකාරිත්වය තීරණාත්මක ය. පුරවැසි දේශපාලනය අරභයා රාවයේ දායකත්වය ඉහල මට්ටමක පැවතියේ ය. ආණ්ඩු වෙනස් කිරීමේ හා නව ආණ්ඩු පිහිටීමේලා රාවය ලාංකීය ඉතිහාසයේ අවස්ථා දෙකක ම ඉහල ම දායකත්වයක් කලේ ය. ප්‍රජාතත්‍රවාදය තහවුරු කිරීම. නීතියේ ආධිපත්‍ය, ජාතිය ගොඩනැගීම, ජනවාර්ගික සංහිදියාව හා ව්‍යවස්තා සංශෝදනය ආදී වැදගත් ක්ෂේත්‍ර පිලිබද විවේචනාත්මක, නිර්නාත්මක හා විකල්ප ජනමතයක් ගොඩ නැගී ය. ඒ අර්ථයෙන් ගත කළ, රාවය පත්තරයක් ලෙස නොව පුළුල් සමාජ-දේශපාලන ප්‍රපංචයක් ලෙස සැලකිය යුතු ය.

*උදන් ප්‍රනාන්දු, විධායක අධ්‍යක්ෂක, දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) බාහිර කථිකාචාර්ය විවෘත විශ්ව විද්‍යාලය – මුලාශ්‍රය : සමාජ අවකාශයේ අභියෝගාත්මක මුද්‍රාව, වික්ටර් අයිවන්, සංස්කාරක : කුසල් පෙරේරා, රාවය ප්‍රකාශන: මහරගම, 2015

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.