27 September, 2020

Blog

කඩේ නොයා නඩේ යෑම: ජනාධිපතිවරණයේ සිවිල් සමාජ භූමිකාව

උදන් ප‍්‍රනාන්දු

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු

ජනාධිපතිවරණයත් සමග සිවිල් සමාජය නැවත කරලියට පැමිණ තිබේ. පැරණි සිවිල් සමාජ කොටස්ද නව මුහුණුවරකින් කලඑළි දකින සිවිල් සමාජ කොටස්ද මේ වන විට ක‍්‍රියාශීලී වෙනු දක්නට හැකිය. සිවිල් සමාජය කියන්නේ එක අච්චුවකින් කැපෙන බිස්කට් වර්ගයක් නොවේ. ඔවුන්ගේ දෘෂ්ටිය, උපාය මාර්ග හා ක‍්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස්ය. සමහර විට එකිනෙකට පරස්පරය. විටෙක එකිනෙක සමග ගැටෙන සුළුය. එබැවින් සිවිල් සමාජය අහිංසක අඩවියක් නොවේ. ගැටුම හා පරස්පරතාවය සිවිල් සමාජයේ ලක්ෂණයය. බොදු බල සේනාව (බොබසෙ) වැඩ වසන්නේද සිවිල් සමාජයේය. ඔවුන්ට සිවිල් (ශිෂ්ට) බවක් ඇත්ද යන්න බරපතළ ප‍්‍රශ්නයක් වුණත් බොබසේද සිවිල් සමාජ කොටසක් වන්නේ සිවිල් සමාජය රජය හා වෙළෙඳපොළ යන අඩවිවලින් පරිබාහිරව ස්ථානගතව ඇති අඩවියක් ලෙස නිර්වචනය වන නිසාය.

මේ ලිපියෙන් මා සාකච්ඡා කරන්නේ බොබසේ වර්ගයේ සිවිල් සමාජ කොටස් ගැන නොවේ. මගේ අවධාරණය වන්නේ රාජ්‍ය නොවන සංවිධාන (එන්ජී ඕ) ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන සිවිල් සමාජ කොටස් හා ස්වාධීන පදනමකින් ක‍්‍රියාත්මක වන ආයතනගත නොවූ පුරවැසි කණ්ඩායම් ගැනය.

අද තත්ත්වය ගැන කතා කිරීමට පෙර කෙටි අතීතාවර්ජනයක යෙදෙන්නට රිසිමි. මැතිවරණ අරභයා සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය මෑත ඉතිහාසයේ මතු වන්නේ කුප‍්‍රකට 1982 ජනමත විචාරණය කාලයේ බිහිවුණු පැෆරල් සංවිධානය සමගය. නමුත් මැතිවරණ සම්බන්ධයෙන් සිවිල් සමාජයේ භූමිකාව කුටප‍්‍රාප්තියට පැමිණෙන්නේ 1994ය. එන්ජී ඕ සිවිල් සමාජ කොටස්ද පුළුල් සිවිල් සමාජ කොටස්ද 1994 වෙනස සඳහා කළ මෙහෙවර හා දායකත්වය අවතක්සේරු කළ නොහැක. බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුවේ හා සිවිල් සමාජ කොටස්වල සාර්ථක සහයෝගීතාවයට හේතු වු සාධක කිහිපයක් තිබුණි:

1.සංඛ්්‍යාත්මකව, ආර්ථිකව හා මානව සම්පත් (අදහස්,කැපවීම,දේශපාලන දැනුම) අතින් එන්ජී ඕ සිවිල් සමාජය ශක්තිමත්ව සිටියේය.

2.එන්ජී ඕ සිවිල් සමාජයට ජාත්‍යන්තර සහාය නොමඳව ලැබිණ.

3.බොහෝ එන්ජී ඕ සිවිල් සමාජ කොටස් යුඇන්පිය සමග දෘෂ්ටිමය ගැටළුවක් තිබුණි. වෙනත් වචනවලින් කියතොත් එන්ජී ඕ සිවිල් සමාජය අඩු වැඩි වශයෙන් යුඑන්පී විරෝධීන් ය. 1994 ඔවුන් ගැටුනේ මෙම පසමිතුරුතාව හදෙහි දරා ගෙනය.

4.යුඑන්පී ආණ්ඩුව 1993 වන විට දැඩි විවේචනයකට ලක් ව තිබුනේ ඔවුන් විසින් උතුරු නැගෙනහිර හා දකුණේ කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ය.

5. දෘෂ්ටිමය වශයෙන් සිවිල් සමාජ කොටස් හා පොදු පෙරමුණු ආණ්ඩුව සුසංයෝග වුයේ ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් ඔවුන් දැරූ මතය නිසාය. ගැටුමට සුජාත හේතු රාශියක් ඇති බවත් එය දේශපාලන විසදුමකින් නිරාකරණය කළ යුතු බැව් පොදු පෙරමුණු ආණ්ඩුවද සිවිල් සමාජ කොටස්ද එක ලෙස සිතුවේය. මෙම දෘෂ්ටිමය පදනම ශක්තිමත් එකක් වූ අතර එය හුදෙක් ආණ්ඩුවක් පෙරලීමකට වඩා එහා ගිය එකක් විය.

සමස්තයක් ලෙස මෙම සිවිල් සමාජ කොටස්වලට ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිපත්ති දැඩිව සාධනීය ලෙස වෙනස් කරන්නට හැකියාව ලැබිණ. බොහෝ සිවිල් සමාජ නායකකාරක ආදීන්ට හා ක‍්‍රියාදරයන්ට රජයේ පත්වීම් ලැබිණ. සාමය හා ජන වාර්ගික කටයුතු සඳහා කැපවුණු රජයේ ආයතනවලට මිනිස් බලය සැපයුනේ සිවිල් සමාජයෙනි. සිවිල් සමාජ හා ආණ්ඩුවේ එකමුතුව රතියෙන් සපිරි මධුසමයක් විය. නමුත් නිදියහන ගිනි ගත්තේ පොදු පෙරමුණු ආණ්ඩුව ‘සාමය සඳහා යුද්ධය’ (1995 අග භාගය) හා කුප‍්‍රකට වයඹ මැතිවරණයත් (මාර්තු 1999) සමගය. නමුත් එන්ජී ඕ සිවිල් සමාජය පෙර මෙන් මොර නොදුන්නේ දේශපාලනිකව ඔවුන් එ් වන විට නන්නත්තාර වී සිටි බැවිනි. ඇරත් ඔවුන් පුරුදු පුහුණු වී තිබුනේ යුඑන්පීයට එරෙහිව මොරදීමයි. තමන් විසින් පත් කරගත් තමන්ගේ දෘෂ්ටියට අනුකූල පොදු පෙරමුණට එරෙහිව කරන්නේ කුමක්දැයි ඔවුනට වටහා ගන්නට අපහසුව ගලේ පැහැරූ බළලූන් මෙන් කර කියා ගනු නොහැකිව සිටියහ.

මගේ නිරීක්ෂණය අනුව, අද වන විට පහත දැක්වෙන සිවිල් සමාජ ධාරාවන් කිහිපයක් කරළියට පැමිණ ඇත.

1.නිදහසේ වේදිකාව : 2009 ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසුව ගොඩ නැගුණු නවමු සිවිල් සමාජ – විරුද්ධ පක්ෂ බලවේගවල සන්ධානයකි. ‘රෙජීමය වෙනස් කිරීමේ’ සංකල්පය සටන් පාඨයක් ලෙස විවෘතව සමාජගත කළේ මෙම සිවිල් සමාජ ධාරාවය.

2.සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය: පොදු අපේක්ෂක සංකල්පය මතු කළේ මෙම පුළුල් සිවිල් සමාජ හා දේශපාලන පක්ෂ එකමුතුවෙනි. එය රෙජීමය වෙනස් කිරීමේ දේශාපාලන ව්‍යාපෘතිය නව මාවතකට යොමු කළේ ජනපති ක‍්‍රමය වෙනස් කිරීමේ න්‍යාය පත‍්‍රයද සමගය.

3.පිවිතුරු හෙටක් සඳහා ව්‍යාපාරය: දේශපාලන පක්ෂයකින් සිවිල් සමාජ කොටස් ඒකරාශි කර ගැන්මට ඉන්දියාවේ අන්න හසාරේ හා ආම් ආද්මි පක්ෂයේ තාලයේ වැනි ප‍්‍රයත්නයකි.

4.මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්: එන්ජී ඕ තාලයෙන් කෙරෙන මෙම කටයුතු දිගටම කෙරේ. මේ වන මෙම කණ්ඩායම් එක්තරා ආකාරයකට ආයතනගත වී මැතිවරණ නිරීක්ෂණය අභිචාරයක් (ritual) ලෙස කරන්නේ දැයි වරෙක සිතේ.

5.පුරවැසි බලය: වාමාංශික හා ප‍්‍රගතිශීලී කලාකරුවන්, වෘත්තිකයන් හා විද්වතුන් විසින් එකමුතුව සංවිධානය වී ඇති පුළුල් සිවිල් සමාජ සන්ධානයකි.

6. පහත දැක්වෙන විද්වතුන් හා දේශපාලන විචාරකයින්: මාධ්‍ය හා බ්ලොග්කරණයෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් මතු කර ඇත. සුමනසිරි ලියනගේ, ලියනගේ අමරකීර්ති හා අජිත් පැරකුම් ජයසිංහ උදාහරණ කිහිපයකි.

7. වෘත්තික සංවිධාන හා වෘත්තීය සමිති: ෆුටා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, නීතිඥ සංගමය හා නීතිඥ සාමුහිකය.

ඉහත විස්තර කළ සිවිල් සමාජ ධාරාවන්ගේ දේශපාලන විභවතාව 1994 තත්ත්වය සමග සැසඳීමේදී පහත කරුණු පසත් වේ.

1. එන්ජී ඕ-සිවිල් සමාජය අද වන විට ඉන්නේ සංඛ්‍යාත්මකව හා මුල්‍යමය වශයෙන් දුර්වල අඩියක ය. විදේශ ප‍්‍රධානක ආයතන ලංකාව තව දුරටත් ප‍්‍රමුඛතාවයක් ලෙස නොසැලකීම, ආණ්ඩුව ආධාර කරන්න කැමති අයගේ කකුලෙන් ඇදීම හා ලාංකීය ආයතනවලට කෙනෙහිලිකම් කිරීම ඉහත තත්ත්වයට හේතු ය.

2. එන්ජී ඕ සිවිල් සමාජයේ සුජාතභාවය යම් දුරකට ඛාදනය වී ඇත්තේ ආණ්ඩුව විසින් හා ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් එන්ජී ඕවලට කෙරෙන දැඩි මඩ ප‍්‍රහාර නිසාය. යම් දුරකට එන්ජී ඕද තමන්ගේ සුජාතභාවය තමන් විසින්ම කෙලෙසගෙන ඇත. සුනාමි කාලය උදාහරණයකි. විරුද්ධ පක්ෂ බලවේග හා සිවිල් සමාජ කොටස් අතර සැලකිය යුතු තරමක දෘෂ්ටිමය සබඳතාවක් දක්නට නොමැත. 1994 යුගයේදී සිවිල් සමාජ කණ්ඩායම්වල තිබුණු දැඩි යූ.ඇන්.පී විරෝධී බැගේජය දැන් මුළුමනින්ම ඉවත්වී ඇති බව දක්නට ලැබේ. දෘෂ්ටිවාදය වෙනුවට ප‍්‍රැග්මටිකවාදය (Pragmatism) ආදේශ වී ඇත්දැයි වරෙක සිතේ.

3.විරුද්ධ පක්ෂ බලවේග මෙන්ම සිවිල් සමාජ කොටස්ද මෙහෙය වෙන්නේ වත්මන් ආණ්ඩුව හා රාජපක්ෂ ගැන ඇති දැඩි කලකිරීම හා තරහ නිසාය. එම කලකිරීම හා තරහ යුක්ති සගහත වන්නේ රාජපක්ෂ රජය විසින් නීතිය වල්වැද්දවීම, මහා පරිමාණ දුෂණය, විරුද්ධ මත මර්දනය හා ඥාති සංග‍්‍රහය අති විශිෂ්ට ලෙස කර ඇති බැවිණි. විපක්ෂයට හා ඊට ලැදි සිවිල් සමාජ කොටස්වලට මෙම මජර තත්ත්වය කෙසේ හෝ වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් හා නොඉවසිල්ලක් (desperation) ඇත්තේ මේ නිසා විය යුතුය. සෝමරත්න දිසානායක වැන්නන් පුරවැසි බලය විසින් භාර ගන්නේ මේ නොඉවසිල්ල නිසා විය හැක. මෙම නොඉවසිලි බව සිවිල් සමාජ කොටස් ඥානසාර හා සිල්වා වැන්නන්ද තමන්ගේ වේදිකාව මත වැද්ද ගන්න තරම් තදියම් නොවේ යැයි මම ඉතා සිතින් පතමි.

මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අභිලාශය වන්නේ ‘රෙජීමය පැරදවීම’ හෝ ‘රෙජීමය වෙනස් කිරීම’ය. එවැනි හැඟුමක් හා අභිලාශයක් මා තුළද ඇති අතර වෙනසක් කිරීමේ දැඩි අවශ්‍යතාව මමද පිළිගනිමි. කෙසේ වෙතත් දේශපාලන තදියමකින් (political expediency) යමක් කිරීමේදී අප තරමක් කල්පනාකාරී හා ප‍්‍රවේසම් විය යුතුය. වෙනසක් කිරීමට මෙය මහඟු මෙන්ම විරල අවස්ථාවකි. එහෙත් සිවිල් සමාජ කණ්ඩායම් ගැඹුරෙන් සිතිය යුත්තේ ජනවාරි 9 වෙනිදාට පසු තමන්ගේ ස්ථාවරය හා උපාය මාර්ගය කුමක් විය යුතුද යන්නයි. එසේ නොමැතිව නින්දෙන් ඇවිදින්නාක් මෙන් දේශපාලනයේ යෙදුනොත් සිදු වන්නේ 1994 සන්තාසියමය; දේශපාලනිකව අනාථ වීමය. මගේ කල්පනාව අනුව සිවිල් සමාජයක් වඩා හොඳින් ක‍්‍රියාවට නැගෙන්නේ තමන් පාලන අධිකාරය සමග ‘සමගිව’ නොව ‘එරෙහිව’ කටයුතු කරන විටය. ඒ අනුව විපක්ෂ බලවේග සමග සිවිල් සමාජ කණ්ඩායම් ගනුදෙනු කළ යුත්තේ ප‍්‍රතිපත්ති මත පිහිටා, කොන්දේසි මතය, විවේචනාත්මකය. තම ස්වාධිනත්වය සාපේක්ෂව ආරක්ෂා කර ගනිමින් පොදු කටයුත්තක නිරතවීම අභියෝගාත්මක දෙයකි. අපහසු වුණත් සිවිල් සමාජ කණ්ඩායම් ඉදිරියේ ඇති මුලික අභියෝග එයමය. දේශපාලන වෙනසක් අරභයා අපට තනි තනිව ගමන් කළ නොහැක. දැනෙන වෙනසක් කිරීමට නඩයක් ලෙස කටයුතු කළ යුතුය. නමුත් එය කඬේ නොයන නඬේ යාමක් විය යුතු බව මා තර්ක කරන්නේ එබැවිණි.

*කොළඹ ජනවාර්ගික අධ්‍යන පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය විසින් ජනාධිපතිවරණය සහ සිවිල් සමාජය යන මැයෙන් සංවිධානය කළ මණ්ඩප සාකච්ඡාවකදී ආචාර්ය උදන් ප‍්‍රනාන්දු විසින් පවත්වන ලද දේශනය ඇසුරෙන් සැකසිණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.