19 September, 2020

Blog

අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය

උදය ආර්. තෙන්නකෝන් – 

උදය ආර්. තෙන්නකෝන්

උදය ආර්. තෙන්නකෝන්

පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී භීෂණයෙන් පසුව රටේ ඇති විය යුතු යැයි විශ්වාස කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිණිසය. විශාල මර්ධනයකින් පසුව ජනතා විමුක්ති පෙරමුණ නැවත මරණයෙන් නැගිට දේශපාලනයේ නෛතිකභාවය ලබා ගැනීම පිණිස 1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ අවස්ථාවය. නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මල් බඳුන ලංඡනයෙන් තරඟ කිරීමට ඉදිරිපත් වී පසුව ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ සහාය ද පොදු පෙරමුණු අපේක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගට ලාබා දීමට තීන්දු වූ අවස්ථාවය. එම තීරණය එදා පැවැති දේශපාලන තත්ත්වයට හා නිදහසේ අවශ්‍යතාවයට අනුව වැරදි තීන්දුවක් ලෙස නොසැලකූ ජනයා පොදු පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරන්නට වූයේ එදා පැවැති දේශපාලනික තත්ත්වයෙන් ගැලවීමයට.

ඉන් පසුව මගේ ඡන්දය කිසිවකුටත් නොලැබුනු අතර ලංකාවේ පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පැවැතියේ ද පවතින්නේ ද අවිශ්වාසයකි. මේ නිසා මෙරටේ දේශපාලන ක්‍රමය නව මාවතකට පැමිණිය යුතුය, නිර්මාණය කළ යුතුය යන විශ්වාසය එදත් අදත් එලෙසම පවතී.මහින්ද රාජපක්ෂගේ පළමු ජනාධිපතිවරණය වූ 2005 මැතිවරණයට පළ කළ විරෝධයේ සංකේතයක් ලෙස එදා අප විසින් හැකි ආකාරයට කොළඹ නගරයේ පෝසටර් ඇලවූයේ කිසිවකුටත් ඡන්දය නොදෙන ලෙසයි. මෙම තිරණය එකල පැවැති වාතාවරණය හා දේශපාලන ආස්ථානයන් සසඳමින් යම් අයෙකුට කීමට හැකි වන්නේ එම තීරණය එල්ටීටී අවශ්‍යතාවක් ඉටුකළා යන්න ය. මන්ද එම මැතිවරණයේ දී එල්ටීටීයේ ආස්ථානය වූයේ ද එයමය. අනෙක් අතට එය ස්වයං වින්දනයකි. ඉන් අනතුරුව මහින්ද- ෆොන්සේකා ජනාධිපතිවරණයේ දී ද මේ කිසිවකුට කිසිම සහයෝගයක් කිසිම ලෙසකින් ලාබා දීමට වචනයක් හෝ නොයොද වන්නට වගබලා ගන්නට වූයෙමි. නමුත් අවිඥාණිකව මහින්ද පරාජය වන්නේ නම් හොඳය යන ප්‍රාර්ථනාව පැවැතිණි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මෙම අවස්ථා දෙකේ දීම පෙනී සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ය. එනම් මහින්ද බලයට ගෙන ඒමට ප්‍රබල ලෙස දායකවීම හා සරත් ෆොන්සේකාව පොදු අපේක්ෂකයා කරමින් මහින්දට විරුද්ධව සටනේ ප්‍රධාන කසකාරයෙකු වීමය.

දැන් නැවතත් ජනාධිපතිවරණයක් ඇත. ඡන්දය භාවිත නොකළ ද, ගත යුතු තීරණය කුමක් දැයි යන තීරණයට ඉහත අනුගමනය කළ ක්‍රියාමාර්ග මෙහිදී නිවැරදි ද යන්න සිතන්නට සිදුව ඇත. එනම් ඡන්දය වර්ජනය කිරීම හෝ මහින්දගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන මෛත්‍රීපාලට සහයෝගය නොදීම කළ යුතුද යන්න ය. වාමාංශික දේශපාලනය හා ඒ මතවාදයේ මූලධාර්මික අර්ථයෙන් කල්පනා කරන්නේ නම් පොදු අපේක්ෂක ජනාධිපති බලවේගය ද ඊට පිළිතුරක් නැත යන නිගමනයට බැසිය හැකිය. එයට සාධාරණ තර්කයන් ලෙස පෙනෙන්නට ඇත්තේ පොදු විපක්ෂය නියෝජනය කරන පාර්ශව සංයුතිය ශුද්ධ සංයුතියක් නොවන නිසාය. එසේම වම නියෝජනය කරන වමේ කණ්ඩායම්වලින් ද මෙම ඒකාධිපති රාජ්‍යය පරාජය කිරීමට පිළිතුරක් නැත. එහෙත් දේශපාලනික වෙනසක් ඉතා බරපතල ලෙස අවශ්‍ය මොහොතක කළ යුත්තේ කුමක්ද හා කළ යුතු වන්නේ කුමක් ද යන්න උභතෝකෝටිකයක් වුවද ඒ සඳහා තුන්වැනි පිළිතුරක් විකල්ප පාර්ශවයෙන් තිබිය යුතුය යන අදහස පැන නගී. අනෙක් අතට පක්ෂ දේශපාලනයෙන් තොරව සිවිල් සමාජ අර්ථයෙන් ගත් විට විකල්ප අවකාශයක් මහින්ද පරාජය කිරීම තුල ඇත.

ගලේ කෙටූ සෙල් ලිපි පරිදි වාමාංශික අනන්‍යතාව හා ඒ තුලින් සහතික වන පැවැත්ම මත පදනම් ලෝක දැක්මට අනුව ගත හැකි තීරණයන් වන්නේ වමේ පොදු අපේක්ෂකයාට හෝ අනෙක් වාමාංශික අපේක්ෂකයන්ට සහයෝගය දීමය. නැතිනම් නිහඬ පිළිවෙතත් අනුගමනය කිරීමය. නමුත් දේශපාලනයේ දයලෙක්තිකය අධිනිෂ්චිත වන්නේ පැරණි ආකාරයට නොවන නිසා, මෙම අධිනිෂ්චිතයෙන් ගැලවිය නොහැකිය. මේ අනුව වාමාංශික අර්ථයෙන් වමේ නියෝජිතයෙකුට සහාය පල කිරීම හෝ නිහඬව සිටීම මගින් අනාගතයේ දී ශුද්ධවන්තයෙකු විය හැකිය. එහෙත් සමාජය වෙනස් වීමේ සමභාවිතාව අවමය. එය පුද්ගලවාදී හා අනන්‍යතා දේශපාලනයෙන් තම තමන්ට සාධාරණීයකරණය කර ගතහැකි වුවත් අධිනිෂ්චිත දයලෙක්තිකයට අනුව නිවැරදි ද නැතිනම් තිබෙන නිර්මාණාත්මක විකල්ය කුමක් දැයි කල්පනා කළ යුතුය.

නිර්මාණාත්මක විකල්ය යනු කුමක් ද

නිර්මාණාත්මක විකල්පය යන්න “ ඇත- නැත ප්‍රවාදයෙන් හා ප්‍රතිවාදයෙන් බිහිවන පිළිතුර වන සහවාදයයි. මෙම ප්‍රවාදය සූත්‍රගත කරන්නේ නම් පහත ආකාරයට ද පැවැසිය හැකිය.

ඇත + නැත = නැත

ගණිතයට අනුව (+ ) + (-) = – (ධන + රින = රින)

නිර්මාණාත්මක විකල්පයට අනුව, ඇත + නැත = ඇත (අවකාශය)

මෙය වනාහී අධිනිෂ්චිත දයලෙක්තිකයයි. පැවතුණු යුද්ධයත්, යුද්ධයෙන් පසුව පවතින දේශපාලනය හා එහි සංස්කෘතියත් විසින් ලාංකාවේ දේශපාලනය කරන අයටත්, හිතන අයටත් උනන්දුවන අයටත් ඡන්ද දායකයාටත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාකර දී ඇති යුගය වන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලයයි. මෙම කාලය වනාහී ප්‍රතිවිරෝධතා නන්නත්තාර කරන කාලයයි. එනම් නන්නත්තාර දයලෙක්තිකයයි. නන්නත්තාර දයලෙක්තිකය භෞතික දයලෙක්තිකයක් කර ගැනීමේ අධිනිෂ්චිත දයලෙක්තිකය බිහි වී ඇත්තේ ද මහින්ද පරාජය කිරීමේ දිශාව වෙතට මිස වෙනත් අපේක්ෂාවන් දෙසට නොවන බව මගේ වැටහීමයි. රාජපක්ෂව පරාජය කරමින් නිර්මාණාත්මක විකල්පය ගොඩනැගීමේ අවකාශය ඇත්තේ පවුල්වාදී මකරාගෙන් ගැලවීමෙන් පසුවය. උනුත් එකයි මුනුත් එකයි යන වැකිය වියුක්ත සංකල්පයක් වන අතර ලංකාවේ දේශපාලන යථාර්ථය සංයුක්ත කාරණාවක්ය. විනාශකාරී යුද්ධයකින් පසුව සාමය, නිදහස ප්‍රජාතන්ත්‍රවාදය හා සමෘධිය ඇතැයි පවසමින් ගෙන යන සෘජු වක්‍ර හා ව්‍යුහාත්මක මර්ධනය විසින් සමාජය තුල ඉදිරිගාමී ප්‍රතිවිරෝදතාවන් හා වෙනස්කම් ඇතිවන්නට ඉඩ සැලසෙන්නේ නැති බවට ඇති නිදසුන් ඕන තරම්ය. කම්කරු අරගලවලදී රොෂේන් චානක ඝාතනය, ධීවර අරගයේ දී, ඇන්තනී ඝාතනය, ජල ප්‍රශ්නයේ දී රතුපස්වල ඝාතනය මෙන්ම සිරකරුවන්ගේ ප්‍රශ්නයකදී වැලිකඩ සිදුකළ ඝාතනද ශිෂ්‍ය අරගල ම්ලේච්ඡ ලෙස මර්ධනය කිරීම ඇතුලු සටන්කමී අරගල සඳහා කරනු ලබන මර්ධනයෙන් කියා සිටින්නේ සමාජ දයලෙක්තිකයකට ඉඩක් නැති බවය. එම චප්ප කිරීම් තුලින් කරනු ලබන්නේ මුලුමනින් හිඬකරවීමය. ජන අරගල මර්ධනය පමණක් නොව මිනිස් සමාජයක් ලෙස ශිෂ්ටසම්පන්නව ජීවත් වීමේ ජීවන විලාසිතාවන් වකුටු කර දමමින් ඔවුන්ගේ ක්‍රමයට සමාජයේ හර පද්ධතීන් විපරිවර්තනය කිරීම රාජපක්ෂ පාලනයේ ඇති භයානකම කාලකණ්කිභාවය නිසා රාජක්ෂ නැවතත් බලයට පැමිණීමේන් පසුව ලංකාවේ අරගලය කළ හැකි යැයි සිතන්නේ නම් එය ද මහා වැරදීමකි. ඔහුගේ තුන්වැනි වර පැමීණීම යනු වෙනත් මතයකට ඉඩ නොතැබීමය. යහපාලනය කරවනු ලබන්නෙ ගෝඨාභය මෑතක දී කී ආකරයට හමුදාව පොලීසිය විසිනි. එය අවබෝධ වන විට තවත් වසර ගණනක් මහලු වී දේශපාලනය ද මහළු වනු ඇත.

අනෙක් අතට විෂය මූලික හා මනෝ මූලික තත්ත්වයන්ට අනුව බල දේශපාලනයට හා ජනතා අභිලාෂයන්ට අනුව බැටිස්ටාව පරාජය කොට කියුබාවේ විප්ලවය කළ කස්ත්‍රෝ කෙනෙකුවත්, සාර් ආණ්ඩුවට එරෙහිව රුසියානු විප්ලවයට නායකත්වය දුන් ලෙනින් කෙනෙක් වත් ලංකාවේ නැත. එවැනි ජන පෙළගැස්මක්වත් නැත. එයට සරිලණ අනාගත හැඩයක සංඥාවන් ද ඇති වේ යැයි බලා පොරොත්තු විය හැකි පරිදි වමේ දේශපාලනය සිය නැඹුරුව පෙන්නුම් කරන්නේ ද නැත. එහෙත් බැටිස්ටා මාදිලියේ වියරු පාලකයෙක් ඇත. ඔහු කඳ පණුවෙක් මෙන් රට කමින් වැඩෙන්නේය. නමුදු ඔහුගේ බලයට අභියෝග කළ හැකි වාමාංශික බලවේග ද නැත. ඔහුගේ බලය වෙනස් කිරීමේ නව විකල්ප ක්‍රමයන් හා ජනතාවගේ එවැනි අභිලාෂයන් දැකිය නොහැකිය. එහෙත් ඉතා කෙටි කලක් තුල බලවේගයක් ලෙස පැමිණි පොදු අපේක්ෂක වැඩපිළිවෙල විසින් නම් කළ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන හා පොදු විපක්ෂයේ වැඩපිළිවෙලට ජනතාවගේ ආකර්ෂණයක් ඇති වී ඇත. ඡන්ද බලය මත පිහිටමින් ඒකාධිපති පාලනයට අභියෝග කළ හැකි ජන පෙළ ගැස්මක් ගොඩ නගමින් ගොඩ නැගී ඇති විපක්ෂ සංවිධානය විසින් දේශපාලනික ස්වසනය සඳහා අවස්ථාවක් ලබා දී ඇත. ගොඩ නැගෙන සංධානය ශුද්ධ සංධානයක් ද නොවුවත් එය පැරණි මාදිලිය නොවන්නේය. එය පසුගිය මැතිවරණයෙන් ෆොන්සේකා ජනාධිපති වීමට තිබුණු අවකාශය වැනි තත්ත්වයක් ද නොවන්නේය. එසේම එය ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් ද නොවන්නේ මෙම අවකාශය දේශපාලනය පිරි පහදු කර ගැනීමට ප්‍රතිසංස්කරණීය අවකාශයක් ඇති බැවිනි.

ප්‍රතිසංස්කරණය

මාක්ස්වාදී දේශපාලනයට අනුව ප්‍රතිසංස්කරණය යන්න ක්‍රමය (ධනේෂවර) පවත්වා ගැනීමට උදව් කරන්නකි. එය විප්ලවීය දේශපාලනයට පටහැනිය. එහි ඇති සත්‍යතාව වලංගු වන්නේ පවත්නා දේශපාලන අවකාශයේ ස්වභාවය අනුව මිස, සදා නිමකළ න්‍යායක් ලෙස නොවන බවට නිදර්ශන වාමාංශික ඉතිහාසයන් තුලින් ද ප්‍රකට කරති. අනෙක් අතට සමාජ පරිණාමය හා සමාජ දයලෙක්තිකය ගමන් ගන්නා අකාරය වටහා ගත යුතු ඓතිහාසික මං සළකුණු ලංකා ඉතිහාසයේ යම් යම් පරිඡ්චේද තුලින් ද පෙන්නුම් කරනු ලබයි. එය සංයුක්ත ලෙස වටහා ගැනීමට ලංකාවේ වාරි ශිෂ්ටාචාරය වෙතට හැරුණු විට පෙන්නුම් කරන ප්‍රධාන භෞතික සාධකය වන්නේ වාරි කර්මාන්තය නිර්මාණය කළ රජවරුන්, රාජ්‍ය පාලනයන්, හා එම කර්මාන්තය ප්‍රතිසංස්කරණය කළ රජවරුන්ය. සෑම පාලකයෙකුට, සෑම පාලන කාලයකටම වැව් බැඳි රජුන් වීමට නො හැකි වූ අතර සමහරුන් වැව් ප්‍රතිසංස්කරණය කළ වුන්ය. එය ඔවුන් සඳහා ඉතිහාසය විසින් ලාබාදුන් යථාරථය මිසක බලෙන් සිදු කළ හැකි කාර්යයක් නොවීය. එසේම රාජධානි රජරටින් පොළොන්නරුවටත් ඉන් අනතුරුව නිරිත දිගටත් විතැන් වූයේ ද බලහත්කාරය විසින් නොව ඇති කළ සමාජ දේශපාලන හේතු නිසාය. මෙම චක්‍රය ඊනියා නිදහසින් පසු ලංකාවේ දේශපාලන ඉතිහාසය හා සංසඳනයේ දී ද පෙන්නුම් කරන්නේ එවැන්නකි. ලෝක ඉතිහාසයට ගිය ද හැම කාලයක්ම එකම ඉතිහාසයක් නොතිබිණි. අඳුරු යුග පැවැතියේ ප්‍රතිසංස්කරණයන් මුල්කර ගනිමින්ය. ගැබ් ගැනීමක් නැතිව විලි රුදාවෙන් කෑ ගැසූ පමණින් දරු ප්‍රසූතියක් වන්නේ ද නැත. ගැබ් ගත්ත ද අඩු කාලයෙන් ප්‍රසූත වන්නේ ද නැත. සමාජවාදී අර්ථයෙන් ලංකාව තුල ද ඉන් පිටතද සමාජ දීශාව ඒ වෙතට හැරී නැති බව පිළිගත යුතු යථාර්ථයක් වන්නේ සේම සමාජයට යුක්තිය සාධාරණත්වය හා සමානත්වය සාපේක්ෂකව දියුණු ධනේෂ්වර පාලන ක්‍රමයන්ගෙන් ලැබුණ ද ගෝත්‍රික ම්ලේච්ඡයන්ගේ කිසිසේත් නොලැබෙන බව ඊටත් වඩා යථාර්ථයකි. එහෙත් එවැනි ශුද්ධ වූ මගකට අවතීර්ණය වීමේ සිහින සඳහා ද මෙම ධනේෂවර නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය කුසගින්න මෙන්ම වැදගත්ය. එනිසා මහින්ද පරාජය කිරීම යනු එක් අතකින් නිදහස සඳහා අරගලයක් වන අතර අනෙක් අතට ශිෂ්ටත්වය සඳහා ද වන අරගලයකි.මේ නිසා අද ඇති වී ඇති චලනය යනු බලහත්කාරයක් නොව බලහත්කාරී බල උන්මාදයකට එරෙහිව පැන නැගී ඇති සමාජ දේශපාලනික උවමනාවකි.

මෙවැනි තත්වයක් යටතේ වුව ද වාමාංශික දේශපාලනයට ඉන් ඉවත්ව දේශපාලනය කළ හැකිය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රීය අයිතිය ද ඇත. එහෙත් මෙම ප්‍රධාන දහරාවෙන් ඉවත්ව කරන දේශපාලනයේ අභිමතාර්ථය කුමක් ද යන ගැටලුවට ඇති පිළිතුරු කුමක් දැයි අවබෝධ කර ගත යුතුය. මගේ වැටහීමට අනුව නම්, එහි ප්‍රධාන අභිප්‍රාය වන්නේ අනාගතය පිළිබඳව ඇති උපන්‍යාසයයි.

එනම් “අනාගතයේ දී අපි බලයට පැමිණීමට නම් ක්‍රියා කළ යුත්තේ මෙලෙස ය,, යන්නය.

වමේ ආස්ථානයෙන් මාක්ස්වාදයට අනුව එය නිවැරදි ද. පක්ෂයක ප්‍රතිපත්ති හා බහුතර තීරණයන්ට අනුව එය නිවැරදිද යන්න තර්ක හා න්‍යායට වඩා භාවිතාව වෙත හැරී බැලිය යුතුය. අනෙක් අතට දේශපාලනය යනු ජනයාගෙන් වියුක්ත ක්‍රියාවලියක් නොවන බැවින් වම හමුවේ ඇති අභියෝගය වන්නේ පාට පක්ෂවලට බෙදී ඇති ජනයාගේ සහාය දිනා ගැනීමය. එය වියුක්තව සිටීමෙන් නොලැබෙන අතරම පාලකයන් බෙදා දක්වන ආකාරයට ජනතාවද එයට ගාල් කිරීමෙන් ජය ගත නොහැකිය. කෝටි දෙකක පමණ ජනගහනයෙන් සියයට අසූවක අනූවක පීඩිත ජනයාගේ පාලනයක් සඳහා වෙහෙසෙන්නට මෙම ජනයා දිනාගත හැකි වන්නේ කෙසේ ද, මතවාදය හා දැනුම තුලින් ජන විඥ්ඥාණය වෙනස් කිරීම අරමුණු කරගන්නේ නම්, මෙවර මැතිවරණයට වෙන්ව තරඟ වැදීමෙන් එය කළ හැකි වේද නැතිනම් එක්ව තරඟ කිරීමෙන් සිය අනන්‍යතාව මත පිහිටා ලැබී ඇති අවකාශයත්, ඇති වී ඇති අධිනිෂ්චිත මොහොත යන දෙක තුලින් ඉදිරියට ගමන් කිරීම දේශපාලනිකව ඇති සමාජ වාසිය කුමක් දැයි සිතිය යුතුය.

වාමාංශික ආස්ථානයේ සිට මාක්ස්වාදය යන්න කුමක්දැයි යන පැනයට ඇති පිළිතුර වන්නේ මාක්ස්වාදය යනු ඓතිහාසික භෞතිකවාදයයි. එනම් දයලෙක්තික භෞතිකවාදයයි. එය වනාහී මනෝරාජික කතන්දරයක් නොව පවත්නා තත්වයත් ඓතිහාසික තත්ත්වයන් ද අනුව සමාජයේ ඇති වන චලනය තේරුම් ගැනීමයි. සමාජ දයලෙක්තිකයේ පෙරටුගාමී පදනම් වන්නේ වියුක්ත තත්ත්වයන් තුල නොවන අතර එයට පාට පක්ෂ හා පුද්ගලයින් බලපානු ලබන්නේ මහා ආඛ්‍යානවල දෘෂ්ටිවාදයන් අනුවය. පීඩිතයන්ගේ නිදහස උදෙසා වන සටනක් වමට ඇත්නම් එම පීඩිතයන් දිනාගැනීම හා විඥ්ඥාතගත කිරීමට නිල් කොළ වර්ණයෙන් බෙදා දැක්විය නොහැකි අතර එහි ඓන්ද්‍රීය සහභාගී කරුවන් වීමෙන් පමණක් අනාගතයේ අරගලය මුවහත් කරගත හැකිය. වාමාංශික නොවුන ද ජාතික දේශපාලනයේ නාඩිය අල්ලා ගත බල සම්බන්න කුඩා දේශපාලන ප්‍රවාහය බවට ජාතික හෙළ උරුමයට හැකියාව ඇති වී ඇත්තේ චම්පික- රතන දේශපාලනික වශයෙන් මහාමොළ කරුවන් වීමෙනි. පොදු වික්ෂය ජයගත්තේ උවද පරාජය වූයේ වුවද අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාසිය අත්පත්වන්නේ ඔවුන්ට වන අතර ජාතික වශයෙන් ඒ හා සමාන ප්‍රවණතාවක් ඇති ජවිපය ද ඇත්තේ චම්පික- රතන අනාගතයේ පිටු පිසිනි.

එම නිසා මෙම ලිපියේ ප්‍රධාන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ පොදු විපක්ෂයේ එක් පාර්ශවකරුවකු වන ජාතික හෙළ උරුමය හා පොදු විපක්ෂයට එළියෙ සිටින අනෙක් බලවේග වන ජනතා විමුක්තිපෙරමුණ ,පොදු වම, ද්‍රවිඪ ජාතික සන්ධානය හා එපිට බලවේග යන සියල්ල අධිනිෂ්චිත දයලෙක්තිකයේ පාර්ශව කරුවෝ වන්නේ කෙසේ ද යන්නය. ලිපියේ දීර්ඝත්වය සලකමින් පසුවට කල්තබමි.

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.