30 September, 2020

Blog

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත්

උදය ආර්. තෙන්නකෝන්– 

උදය ආර්. තෙන්නකෝන්

උදය ආර්. තෙන්නකෝන්

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා උපාය උපක්‍රම හැඩ ගැසෙන ආකාරය අප හිතන හා යෝජනා වෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ ලාංකීය ගතිකත්වය ලංකාවටම ආවේනික නිසාවෙනි.

පවත්නා දේශපාලන සමාජ චලනයට අනුව හා එහි රඟ දැක්වෙන ජවනිකාවන්ට අනුව අධිනිෂ්චිත දයලෙක්තිකය තේරුම් ගෙන ඇති මහ මොළ කරුවා වන්නේ චම්පික -රතන හෙළ උරුමයයි. උපාය හා උපක්‍රම අතින් ද, නුවනක්කාරකම අතින් ද පරිණත බවක් පෙන්නුම් කරමින් ජාතිවාදී දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට විපරිවර්තනය කර ගනිමින් හීන් සීරුවේ සිය දිශාව දයලෙක්තිකව මෙහෙයවීමේ දේශපාලනික ඥාණය පෙන්නුම් කිරීම මෙම ජනාධිපතිවරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර ඔවුන්ව ඔවුන්ටම සාපේක්ෂක අර්ථයෙන් සැසඳීමේ දී ප්‍රතිගාමිත්වයේ සිට ප්‍රගතිශීලී හැඩයකට වෙස්මාරු කිරීමක් ලෙස සඳහන් කළොත් නිවැරදිය. අනාගතයේ දී ලංකාවට නායකත්වය දිය හැකි ජාතිකවාදී නායකයා චම්පික වීමට ජන මනස පරිවර්තනය වීම සාධාරණය වීමට ඇති එකම වැදගත් කාරණය වන්නේ මහින්ද රාජ පක්ෂ පරාජය කිරීමේ වැදගත්කම තේරුම් ගනිමින් අධිනිෂ්චිත මොහොතේ නාඩිය චම්පික- රතන හඳුනා ගැනීමින් අල්ලා ගැනීමය.

මෙම මැතිවරණ සටනින් මහින්ද නැවත ජයගත්ත ද චම්පිකගේ දේශපාලනය ඉදිරියට පවතින්නට ඉඩකඩ ඇති අතර ජාතිවාදයෙන් ඔබ්බට ගොසින් ජාතිකවාදයට විතැන්ව දෙමළ ජනයාගේ ගැටලුව දෙස පැවැති ස්ථාවරයට වෙනස් නම්‍යශීලී ප්‍රතිපත්තියක් ගෙන ගිය හොත්, අනාගත දේශපාලන සිතියම සිනාරියෝ ගත වීමට නියමිතව ඇත්තේ චම්පික වටාය. ඔහු මෑත පරපුරේ තරුණ දේශපාලනඥයයෙකු ලෙස අන් හැමටම වඩා පරිණත හා විචක්ෂණබවත් පෙන්නුම් කරමින් ලංකා සමාජය තේරුම් ගෙන ඇති චරිතයකි. එය එසේ වීමේ දී, එවැනිම අරමුණක දිශාගත වන ජවිපෙට, ඇති ප්‍රබල ප්‍රතිවිරෝදී සටන ඇත්තේ රනිල් හෝ මහින්ද නොව මෛත්‍රී සංධානය අතරෙන් ඇතිවන මෙම බලවේගයන් සමඟය‍. අනෙක් අය ගැන ද කිව යුත්තේ එයමය.

Anura Kumara JVPඅනෙක් අතට දමිල ජනයාගේ ගැටළුව අරභයා චම්පිකලාගේ ආස්ථානය අනෙක් වාමාංශික පක්ෂ වන ජවිපය හෝ පෙසපෙන් වෙනස් වන තැන එතරම්ම පැහැදිලි නැති නිසා ලංකා දේශපාලනය තවමත් කැරකෙන්නේ ජාතිවාදය හා ජාතිකවාදය අතරය. ජාතිවාදය හා ජාතිකවාදය අතර ඇති වෙනස ඉතා සියුම් වුවත් අවසානයේ දී ජාතිකවාදයද ජාතිවාදය වන්නේය. මේ බව ඉතා මැනවින් පැහැදිලි කරන කුඩා පොතක් වන ජාතිභේදවාදය හා ඉන්දීය ඉතිහාසය ලිවීම තුල රොමිලා තපාර්, හර්බන්ස් මුඛියා හා බිපාන් චන්ද්‍රා යන ඉතිහාඥයින් තිදෙනා පැහැදිලි කරති. මේ නිසා කුමන මාක්ස්වාදී න්‍යායන්ගෙන් හා ලිබරල් ධනවාදී විවේචනයන්ගෙන් රොටිය පුච්චන්නට හැදුවත්, ජාතිකවාදය මුසු වූ පිටි ගුලිය එකක්මය. ඒ අනුව ගත්විට දේශපාලනයේ ඉදිරිගාමී පියවර තබා ඇති තුන්වැනි බලවේගයේ ප්‍රමුකයා වන්නේ ජාතික හෙළ උරුමයයි එය මීට පෙර පෙන්නුම් කළ ද රාජපක්ෂ පවුල් පාලනය තුල දිය වෙමින් යන්නට නියමිත මොහොතේ දී ඔවුන් එය හඳුනා ගත්තකි. මහින්දගෙන් වෙන් වී විපක්ෂය හා සන්ධානගත වීම හා එහි බල ව්‍යුහයන්ට එකතුවීම පිළිබඳ ජවිපෙට තරම් සදාචාරාත්මක හේතු නොමැති නිසා දේශපාලනික චලනයන්වලදී නිදහස්ව තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇතිකම ඔවුන්ට ඇති එක වාසියකි. ඔවුන්ට ගැටලුවක් නැති තැන ගැටලුව ඇතිවිය හැක්කේ ඔවුන්ට ගැටලුවක් සේ හැඟෙන්නට ගන්නවුන්ටය. එම තත්ත්වය මෙම පොදු අපේක්ෂක සංධානයේ යම් කොටස්වලට දැනුනේ වුව ද, සරළව තේරුම් ගන්නට ඇත්තේ මෛත්‍රී සංධානය යනු ඌරාගේ මාළු ඌරගේ ඇඟේ තියා කැපීම වැනි දේශපාලනික උපක්‍රමයකි. එසේ නැතිව මෙකී පොදු සංධානය විෂ්ලේෂණය කිරීමට විශේෂ රසායනාගාර අවශ්‍ය නැත. ශුද්ධවන්තයින් කවුරුදැයි හාරා ඇවිස්සිය යුතු නැත. ප්‍රතිපත්තිද පිළිබඳ විශ්වාසය තැබිය යුතු ද නැත. එය වෛශ්‍යාවන්ගෙන් පතිවත බලාපොරොත්තුවන්නාක් වැන්නකි.නමුත් ඉතා වැදගත්ම පියවර මහින්ද පරාජය කිරීමය.

පොදු විපක්ෂයේ සෙසු පාර්ශව වලට ශක්තිමත් දෘෂ්ටිවාදයක් නොමැති නිසා මෙම කුඩා කෙටි කාලය තුල දී පවා ඔවුන් සිය හැකියාව ප්‍රකට කරමින් කියන්නේ එයමය. එහෙත් ඔවුන්ව පරාජය කිරීමට මහින්දව දිනවීම හෝ ඊට වක්‍රව සහාය දීම දේශපාලනිකව අවස්ථාවාදී ප්‍රතිගාමිත්වයකි. ඒ වෙනුවට කළ හැකි වන්නේ විවෘතව ඇති අවකාශයට ඇතුලු වීමය.

මෙවර ජනාධිපතිවරණයේ දී ජවිපය විසින් පියවරක් ඉදිරියට ගෙන ඇතැත් තමන්ටම පරාවළල්ලක් වූ අතීත අගතීන්ගෙන් කම්පනයට පත්කොට විචිකිච්ඡාවකට පත්ව ඇත. ඒ අනුව ජවිපේ මෙම මැතිවරණයේ දී මහින්ද ට විරුද්ධව ප්‍රබල සටනක කියැලුණ ද ඔවුන් දේශපාලන පක්ෂයකට වඩා සිවිල් සංවිධානයක් ලෙස ක්‍රියා කිරීම පෙන්නුම් කරයි.

ඒ අනුව ජවිපෙ දේශපාලනික පක්ෂයක් ලෙස සිටිනුයේ හෙළ උරුමයට පිටු පසිනි. එය එසේ වන්නේ අධිනිෂ්චිත මොහොතේ අන්තර්ගත කොටස් කාරයෙක් නොවී, නැවතවරක් අනුන්ගේ ගිණුමකට මුදල් දැමීම සිදුකරමින් සිටිනු විනා තමන්ට සෘජු තීරණයකට පැමිණීමට නොහැකි දෘෂ්ටිවාදය විසින් හිරකිරීමය. මෙය මාක්ස්වාදී සාහ්ත්‍යෙය් ෆොයබා තීසිසය සිහි කරමින් කරන කොළොප්පමක් ද විය හැකිය. එහෙත් වරක් දෙවරක් නොව වාර ගණනක් සිදු කර ඇති නිසා මෙම අවස්ථාවේ පිටත සිටීම කිහිප ආකාරයකින්ම ජවිපේට දේශපාලනිකව අවාසි ගෙන දිය හැකි අතර එය ඛේචවාචකයක් මෙන්ම විගඩමක් ද වන්නේය. මන්ද ඔවුන් බලාපොරොත්තුවන හැරවුම කිරීමට අවශ්‍ය විස්වාසය පිටත සිට නොලැබීමය. මේ නිසා ඔවුන් අවසාන මොහොතේ හෝ කළ යුතු හා ගත යුතු තීන්දුව වන්නේ ඇතුලට ගොස් “ඇත- නැත,, කොටස් කරුවෙකු වීමෙන් සිය දේශපාලන ඉදිරියට මුහුණ දීම මිසක සමාජ අධිනිෂ්චිතයේ අනු පූරක කුලකයක් නොවීමය. අනෙක් අතට දූෂණයෙන් තොර යහපාලනය සම්බන්ධයෙන් ඉතා අවංකබවක් පෙන්නුම් කරන ජවිපයට ලැබෙන වලංගුභාවය හෙළ උරුමයට වඩා එහාට ගෙන යා හැකි වන්නේ ඔවුන්ගේ බිම් මට්ටමේ දේශපාලනය තවමත් ශක්තිමක් නිසාය. කම්කරුවන් හා වැඩකරන ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණීය අයිතිවාසිකම් සඳහා ඇතුල සිට බලපෑමි කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා නිදහස සඳහා සටන් කළ හැකි වනු ඇත.

දැනටමත් සිය පාක්ෂික ඡන්ද දායකයා ඔවුන්ගේ ව්‍යංගාර්ථවත් කාව්‍ය වටහා ගෙන ඇති අතර ඔවුන් රාජපක්ෂට විරුද්ධව ඡන්දය භාවිතා කරන අතර එම ඡන්දය භාවිතවීම කිසිදු ලෙසකින් හෝ වමේ පොදු අපේක්ෂකයාට නොලැබෙනු ඇත. එසේම අරමුණ වන්නේ මහින්ද පරාජය කිරීම නම් එය එයට ප්‍රමාණාත්මක ඡන්ද ලැබීමට හැකියාවක් ඇත්තේ ඇතුලට යෑමෙන්ය. එය වනාහී සිය පාක්ෂික ඡන්ද නොව පාවෙන නැතිනම් අලුත් ඡන්දය. ඒ වගේම ජවිපේ අවසානයේ හෝ පොදු විපක්ෂයට ඇතුල් වීම සංකේතීයව මෙන්ම භාවිතාවෙන් ද ඉතා වැදගත් වන්නේ ඔවුන් බිම් මට්ටමේ ප්‍රචාරණයේ යෙදෙන ප්‍රධාන කණ්ඩියමක් නිසාය. මෛත්‍රී පෙරමුණ එය තේරුම් නොගත්තේ උවද ජවිපේ තේරුම් ගනිමින් ඇතුලට පැමිණ සිවිල් සමාජ කාර්යය කරන්නට හැකි නම්, පක්ෂයක් ලෙස අනාගතයේ සවිමත් වීමට හැකිවනු ඇත.

එබැවින් මහින්ද පාරාජය කිරීමේ එක් ප්‍රබලයෙකු ලෙස පිටත සිටින ජවිපය ඇතුලට පැමිණීම මෙම අවස්ථාවේ දී අතීතයේ කළ දේට වඩා මුළුමනින්ම වෙනස් වන්නකි. සදාචාරාත්මකවද, තමන්ගේ දෑතේ ශක්තියෙන් බලය ලබාදුන් එම ඒකාධිපතියා තමන් විසින්ම පාරජය කර දී සමාජය නිදහස් කිරීම පැරණි පාපයෙන් ද ගැලවීමට හැකි වනු ඇත. දෙවැන්න මෛත්‍රී සංධානය පටන් ගත් ආකාරයේ අවංකකමක් පෙන්නුම් නොකරන බැවින්, ඒ සඳහා බලපෑම් කිරීමට හා ජාතිකවාදී දේශපාලනයේ අවකාශය ප්‍රයෝජනයට ගත හැකි වන්නේ ඇතුලත සිටීමෙන් පමණි. තුන්වැන්න, එලියේ සිටීමෙන් යම් හෙයකින් රාජපක්ෂ නැවත බලයට පැමිණිය හොත් සිදුවන්නේ කුමක්දැයි ඇස්තමේන්තු කරගත යුතුය. හුස්ම ගැනීමට පවා ඉඩක් නොදෙන්නට මහජන මතය තමාට දී ඇති බව දැනටද සිතා සිටින රාජපක්ෂ පවුල ජවිපයට තනිව දේශපාලනය කිරීමට ඉඩක් නොතබනු ඇත. එවිට අනාගතයේදී නැවත එකතු වන්නට වන්නේ අද සිටින විපක්ෂය සමගමය. එම ඡන්ද දායකයා සමඟය. බොහෝවිට ඊටත් අඩු පිරිසක් සමගය. එසේම ජවිපේ ආස්ථානය ඔවුන්ගේ සම්මුතීන්ට අනුව හා බහුතර තීරණයක් වන්නේ නම් එය සාධාරණය වන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුය. ඒ අනුව මෙලෙස උපකල්පනය කළ හැකිය.
සන්ධාන ගත නොවී තනි පක්ෂයක් ලෙස දේශපාලන බලය ලබා ගැනීම.

මැතිවරණ දේශපාලන ක්‍රමයේ විකාශය දෙස බැලීමේ දී නිදහසින් පසුව කාලයේ දේශපාලන පක්ෂ හා බලය ලබා ගැනීම දෙස බැලූ විට කැපීපෙනන ලකුණක් වන්නේ බහු පක්ෂ ක්‍රමයකට ලංකා දේශපාලනය ගමන් කිරීමය. කිසිදු පක්ෂයකට තනිව බහුතර ඡන්ද ලබා ගැනීමට නොහැකි සංයුතියකින් යුක්තවීම මගින් ලංකා දේශපාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ අවස්ථාවන් විවර කරනු ඇත්තේ විවිධත්වය තුල සම්මුතිය යන මූලධර්මය භාවිතයට ගතහැකි ප්‍රතිපත්ති තුලින් ක්‍රියා කිරීමටය. මෙයින් එපිටට ගොසින් තනි පක්ෂයක් ලෙස ලංකා දේශපාලන බලය ලාබා ගන්නේ නම් එය කළ යුතු වන්නේ මැතිවරණ ක්‍රමයෙන් පිටතදීය. මහජන අරගලයකට නායකත්වය දීමෙන්ය. න්‍යායත්මකව එසේ කල්පනා කිරීම හා එසේ කිරීමට සූත්‍රගත කිරීමට සැලසුම් තිබෙන්නේ නමුත්, එයට පවා නායකත්වය දිය හැකි වන්නේ ජනතාව තුල විශ්වාසය දිනා ගැනීමට හැකිනම් පමණය. එසේම දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාවක් නම් පමණය. මන්ද ආර්ථික විද්‍යාවේදී සෙසු සාධක විචල්‍ය ලෙස සලකා අදාල සාධකය ගැන පමණක් ගණන් හැදීමය. එය මහින්ද රාජපක්ෂ පිළිබඳව 2005 දී ජවිපය හා එල්ටීටීය ගණන් හැදීම වැනිය. 2015 දී තවත් සමහරු ගණන් හැදීම වැනිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.