26 April, 2024

Blog

බෞද්ධ සාහිත්‍ය අනුව​ අකලට වැසි වසිනුයේ, ගංවතුර, දුර්භික්ෂ තර්ජන ඇති වනුයේ, පාලකයා අධාර්මික වූ විටය​

“රාජා භවතු ධම්මිකෝ”  යන බුද්ධ දේශනාවේ සදහන්ව ඇති මා හැඟි පාඨය මේ මොහොතේ රටේ මතුව ඇති තත්ත්වය දෙස කල්පනා කර බලද්දී මගේ මනසට පැමිණියේ නිරායාසයෙනි.

කරු ජයසුරිය

කරු ජයසුරිය

අකලට වැසි වසිනුයේ, ගංවතුර, දුර්භික්ෂ තර්ජන ඇති වනුයේ, පාලකයා අධාර්මික වූ බවට අදහසක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ සිදු වෙමින් තිබෙනුයේ ද එයම නොවේ ද? එසේ පවසමින් දේශපාලන සතුටක්, වාසියක් ලැබීමේ කිසිදු අදහසක් අපට නොමැත. නමුත් මෙහි ඇති කණගාටුදායක කරුණ වනුයේ මේවාට කිසිදු සම්බන්ධයක් නොමැති අසරණ ජනතාව ඒවාහි නින්දිතයන් බවට පත්ව තිබීමය. විශේෂයෙන්ම පසුගිය දින කිහිපයේ රටේ සිදු වු ප්‍රධාන සිදුවීම් දෙස සෝදිසියෙන් අවධානය යොමු කරන විට පෙනී යන වැදගත්ම කරුණක් වනුයේ රටේ පාලකයන්ට තමන් එතැනට ගෙන ආ ජනතා බලවේගය පිලිබඳව හැඟීමක්, තැකීමක් නොමැති බව නොවේ ද?

රටේ ජනතාවට බලපාන සැබෑ ප්‍රශ්න පිළිබඳ සංවේදී  වී රටේ භාරකරුවා ලෙස ඒවා විසදීම වෙනුවට වත්මන් පාලකයින් අද කරමින් සිටිනුයේ ඒවා මුළු මනින්ම අමතක කර, කටයුතු කිරීමය. නමුත්, ජනතාව අමතක කළ පාලකයෙකු කිසිදා දිගු දුරක් ගමන් කර නොමැති බව ලෝක දේශපාලනය සාක්ෂි සපයයි. ඒ අර්ථයෙන් බලන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අවසානයක ආරම්භය දැන් සිදුව තිබේ.

මේ සටහන තබන මොහොත වන විට පසුගිය දින කිහිපයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් රටට අහිමි වූ ජිවිත ගණන 25 ක් පමණ වී තිබුණි. ඊට අමතරව පවුල් 7592 කට අයත් පුද්ගලයින් 33549 ක් ද රටේ දිස්ත්‍රික්ක 7 කට දැඩි බලපෑමක් ගෙන ආ මේ කාලගුණික විපර්යාසය නිසාවෙන් පීඩාවට පත්ව තිබුණි.  මේ සංඛ්‍යා ලේඛණ අපට පෙන්නුම් කරනුයේ ඇතිව තිබෙන තත්ත්වයේ බරපතලතාවයි.

ස්වාභාවික ව්‍යසන පාලනය කිරීම අතිශය දුෂ්කර රාජකාරියක් වන මුත් වගකිව යුතු බලධාරීන් නිසි ආකාරයට අදාළ දැනුවත් කිරීම් සිදු කළේ නම් මේ සා විශාල හානියක් “ගංවතුරට” කළ නොහැකි බව අපගේ විශ්වාසයයි.

දකුණු ආසියානු කලාපයේ ස්වාභාවික විපත් අතින් තෙවනුව වැඩිම බලපෑමක් ඇති ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට වෙනමම වූ අමාත්‍යංශයක් හා ආයතනික ව්‍යහුයක් ස්ථාපිත කර ඇතිමුත් ඒවායින් සැබෑ කාර්යක්ෂම සේවාවක් සිදුවනවා ද යන සාධාරණ ප්‍රශ්නය සිදු වූ විපතේ සංකීර්ණතාව සමඟ ඕනෑම කෙනෙකු තුළ මතු වේ.

සරළව පැවසුවහොත් ඇති වූ “විනාශය” පිළිබඳ  අවම තරමින් අනතුරු ඇගවීමේ සංඥාවක් හෝ නිකුත් කිරීමට බලධාරීන් අසමත් වීම, කණගාටුදායකය. අනිවාර්යයෙන්ම මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් රටට අහිමි වූ ජිවිත හා සම්පත් ප්‍රමාණය මුදලට තක්සේරු කළ නොහැකිය. එසේ වුවත් මෙබදු ස්වාභාවික ව්‍යසන නිසි ලෙස කළමනාකරණය කිරීම ආර්ථික වශයෙන් ද වැදගත් වනුයේ මෙහි ආර්ථික බලපෑමක් ද ඇති බැවිනි. 2013 වසරේ දී ආසියානු සංවර්ධන බැංකුව පවත්වන ලද වැඩමුළුවක දී අවධාරණය කර තිබුණේ ස්වාභාවික ව්‍යසන පිලිබද නිසි කළමනාකරණයක් නොමැති වුවහොත් 2016 වන විට මෙරට සිදු විය හැකි ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් පමණ අහිමි වීමට එය හේතුවක් විය හැකි බව ය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට තම රට වැසියන්ගේ ජිවිත පිළිබද කිසිදු වගකීමක් නැති බව අප පවසනුයේ මේ තත්ත්වය තුළ ය. පසුගිය කාලයේ හදිසි ආපදා තත්ත්ව ගණනාවකටම අප මුහුණ දුන්න ද,  මෙබඳු අවස්ථාවකට මුහුණ දීමේ කිසිදු සැලැස්මක් රජයට නොමැති බව මෙවර ද මනාව පෙනී ගියේය. ජනතාවගේ ජිවිත පිලිබද වගකීමෙන් පිටපැනීමේ කිසිඳු සදාචාරාත්මක හැකියාවක් පාලකයෙකුට නොමැත. එය වත්මන් පාලකයන් තේරුම් ගත යුතුය.

පාලකයන් එසේ අහක බලා ගත්ත ද බුදු දහම ඇතුළු සෙසු ආගම්වලින් ලද ශික්ෂණය සහිතව තම දිවි පැවැත්ම පවත්වා ගෙන යන බහුතරයක් ලාංකිකයින් මේ දුෂ්කර අවස්ථාවේ දී විපතට පත්වූවන් ට සහාය දැක්වීමට ඉදිරිපත් වූයේ තම හෘද සාක්ෂිය ප්‍රශ්න කිරිමට ඉඩ නොතබිමිනි.

දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන රටේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ අද ඇතිව ඇති තත්ත්වය ඊටත් වඩා භයංකාරය. විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාව සේම ශිෂ්‍ය ප්‍රජාව ද මේ වන විට තම අයිතීන් වෙනුවෙන් සටන් බිමට අවතීර්ණ වී සිටිති. විශේෂයෙන්ම පසුගිය දා රුහුණු විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ඇති වූ තත්ත්වය අතිශයින්ම ඛේදනීය වූ අතර,  පිටස්තර බලවේග මැදිහත්ව සරසවි සිසුන්ට කළ පහර දීම විශ්ව විද්‍යාල ස්වාධිනත්වයට මේ මොහොතේ එල්ල වී ඇති බරපතළ තර්ජනයේ ප්‍රකාශනයක් විය. දැයට කිරුළ සංදර්ශනය තම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට සුදානම් වීමට එරෙහිව සරසවි සිසුහු විරෝධය පළ කළේ සම්මත ප්‍රජාතන්ත්‍රීය ආකාරයට ය.  නමුත්, ඊට වගකිවයුතු බලධාරීන් ප්‍රතික්‍රියා දැක්වුයේ ඒ ආකාරයට නොවේ.  දැයට කිරුළ රුහුණු විශ්ව විද්‍යාලයේ පවත්වනවාට විරුද්ධ වූ සිසුන්ට හා දෙමව්පියන්ට හැංගෙන්න තැන් සොයා ගැනීමට සිදු වන බව රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම මේ සම්බන්ධ තීරණාත්මක පියවරක් විය. “ඉහළින්” ලද ඒ ආශිර්වාදය සමගින් රජයට සම්බන්ධ ප්‍රාදේශිය දේශපාලනඥයන් “කඩුව” අතට ගත්තේ ඉන් පසුවය.  රුහුණු සරසවි සිසුනට රජයට සම්බන්ධ ප්‍රාදේශිය දේශපාලනඥයන් ප්‍රහාර එල්ල කළේ පොලිසිය බලා සිටිය දී වීම පෙන්නුම් කළේ මෙරට පොලිස් සේවාව අද පත්ව ඇති ඛේදජනක තත්ත්වයයි.  දැයට කිරුළ වැනි එකදු රැකියාවක් හෝ රටේ ආර්ථිකයට ජනනය කර නොමැති අසාර්ථක දේශපාලන ව්‍යාපෘතියක් නිසාවෙන් විශ්ව විද්‍යාල සිසුන් මේ ආකාරයට පීඩාවට පත්වීම සැබැවින්ම ඛේදනීයය.

අවසන් වරට පැවැති දැයට කිරුළ වෙනුවෙන් වයඹ විශ්ව විද්‍යාලය සම්බන්ධ කර ගත් නිසාවෙන් මාස කිහිපයක් එම විශ්ව විද්‍යාලය වසා දැමූ අතර,  එබදු “ආනිසංසයක්” තම විශ්ව විද්‍යාලයට අත් නොවීමට වග බලා ගැනීම වෙනුවෙන් රුහුණේ සිසුන් පෙරට විත් තිබුණි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයේ තත්ත්වය ද ඊට දෙවැනි නොමැත. රටේ විශ්ව විද්‍යාල ක්‍රියාවලියේ වෙනස්කම් සිදු කරත්දී ආචාර්යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කොට ඒවා කරන බවට පොරොන්දුවක් රජය මීට පෙර ලබා දී තිබිය දී එය නොතකමින් ක්‍රියා කරන බව පවසමින් ආචාර්යවරුන්ගේ සංගමය පසුගියදා වැඩ වර්ජනයක නිරත විය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එම සාධාරණ ඉල්ලීම් පිලිබඳ නිහඩ පිළිවෙතක් බලධාරීන් අනුගමනය කිරිම සහතිකවම රටේ විශ්ව විද්‍යාල පද්ධතියේ ස්ථාරවරත්වයට කරන බලවත් තර්ජනයකි. විශාල බුද්ධි ගලනයක් සිදු වන රටක සුවපහසු ලාබදායී රැකියා අවස්ථා සදහා විදේශගත නොවී තව දුරටත් මෙරට රැදී සිටින සරසවි ආචාර්ය ආචාර්යවරුන්ගේ ගැටළු පිලිබද ධනාත්මක ප්‍රතිචාරයක්  බලධාරීන් නොදක්වයි නම් එය පැහැදිලිවම අවසාන විග්‍රහයේදී රටට කරන ද්‍රෝහිකමකි.  විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය 2012 වසරේ සිට නොකඩවා තම ඉල්ලීම් අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර,  ඒවාට කන් දීම වෙනුවට කරන්නට සෙසු බොහෝ වැඩ තමනට ඇති බව රජය දිගින් දිගටම පෙන්වමින් සිටියි.  ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවට පාරම්බාමින් සිටින රජයක් රටක බුද්ධිමතුන්ට සලකමින් සිටිනුයේ ඒ ආකාරයට ය.

මේ සියළු සිදුවීම්වලින් පැහැදලිවම පෙනෙන්ට ඇත්තේ රජයක් ලෙස වත්මන් පාලනයට ඇති නොහැකියාවේ තරමය. වෘත්තිමයභාවය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිලිබද ගැටළුවය. “දේශපාලනඥයා කල්පනා කරනුයේ ඊලග මැතිවරණය පිලිබදවය. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා සිතනුයේ ඊලග පරපුර පිලිබඳව ය.” ඒ සුප්‍රකට කියමන මේ අවස්ථාවේ මට සිහි වේ. කිසිදු වෘත්තිමය භාවයක් රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් නොමැති වත්මන් රජය රටේ සාමාන්‍ය ජන ජීවිත පිලිබද සැලකිලිමත් වෙමින් රටේ මතු පරපුර පිලිබද අවධානය යොමු කරමින් කටයුතු නොකිරිම පිලිබද එක් අතකින් අප පුදුම නොවිය යුත්තේ එය ඔවුන්ගේ ක්‍රමය නොවන බැවිනි.

එක්සත්  ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.