Colombo Telegraph

තිළිණි සහ සුද්දි

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

සුද්දිලාගේ කතාවෙහි සුද්දිගේ කුසගින්නට මුදලාලි නියම කරන මිල ඇයගේ ශරීරය ය. සුද්දි මුදලාලිට අවනත වන්නේ කුසගින්න නිසාය. සුද්දිගේ ශරීරය මුදලාලි විසින් ඇයට සපයනු ලබන බත් පත සඳහා නියමිත ලංසුව බවට පත්කර ගත්තේය. ගැහැණියකගේ අසරණ භාවය මත ඇතිවන නොහැකියාව සහ අවනත භාවය මුදලාලිගේ පුරුෂාධිපත්‍යය පැතිරවීම සඳහා වූ ඉස්තරම් මාධ්‍යයක් (Culture) බවට පත්වූයේය. සුද්දිලාගේ කතාවෙහි දිග හැරෙන පුරුෂාධිපත්‍යය යන සංකල්පය සහ ඒ මත ගැහැණියක හුදු භාණ්ඩයක් බවට පත් වීමේ ක‍්‍රියාවලිය අද වන විට සමාජ සම්මතයක් බවට පත්කර ගැනීමට පුරුෂ මූලික සමාජය කටයුතු කර ඇත.

පුරුෂ මූලික සමාජය තුළ ගැහැණිය භාණ්ඩයක්, මෙවළමක්, නොන්එන්ටිටියක් බවට පත්වන්නේ ඓතිහාසිකව ගැහැණිය සම්බන්ධයෙන් රැුගෙන එන සමාජ අර්ථ නිරූපණයත් සමග ය. සුද්දි මුදලාලිගේ ලිංගික ආක‍්‍රමණයට යටත් වන්නේ සුද්දිට නොදැන සුද්දිගේ චෛතසිකයන් ග‍්‍රහණයට ලක් කරගෙන තිබූ පෙර දැක් වූ සමාජ අර්ථ නිරූපණයයි. වාරියපොල තිළිණි ගේ අත්දැකීම සුද්දී තරම් ප‍්‍රබල නොවුව ද මුදලාලි සහ සෙල්වා ගේ සිත් තුළ ඇතිවූ මානසික ක‍්‍රියාවලිය සමාන විය හැකිය.
තමාගේ පුද්ගලිකත්වය නම් වපසරිය වෙනකෙකු ආක‍්‍රමණය කිරීමට තැත් කිරීම තිළිණිගේ ප‍්‍රහාරයට හේතු සාධක වී ඇත. ඒ ප‍්‍රහාරය රටෙහි මුළු මහත් සමාජයට ආන්දෝලනයක් වූ ප‍්‍රහාරයක් වූයේය. තිළිණි පොලිස් අත් අඩංගුවට පත්වන්නේත්, අධිකරණය විසින් මානසික රෝගයක් සම්බන්ධයෙන් පරීක්ෂණයකට භාජනය කරන්නේත් ඇයගේ ප‍්‍රහාරය නිසාය. මේ සමාජය ආරක්ෂා කරනු ලබන මූලික මෙවලම වන්නේ නීතියයි. නීතිය සම්බන්ධයෙන් ඇති ප‍්‍රධානම සංකල්පය නීතිය මධ්‍යස්ථ සහ සර්ව සාධාරණය යන කාරණයයි.

සර්ව සාධාරණ වූ නීතියක පැවැත්මක් ඇති සමාජයක චූදිතයාට පෙර වින්දිතයා අත් අඩංගුවට පත් වන්නේ ඇයි ? . තිළිණි පවසන ආකාරයට සෙල්වා සිදුකර ඇත්තේ ලිංගික අතවරයකි. එය ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයෙහි 345 වගන්තියෙන් කියැවෙන ආකාරයට අවුරුදු දෙකක සිර දඬුවමක් හෝ දඩයකින් හෝ මෙම දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදකි.

තිළිණිගේ ප‍්‍රහාරය ද ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වරදක් වන අතර එම වරද දණ්ඩ නීති සංග‍්‍රහයේ සුළු තුවාල කිරීම නම් වරද වන අතර එහි 314 වගන්තියෙහි සඳහන් ආකාරයට අවුරුද්දක දක්වා කාලයක සිර දඬුවමකින් සහ/හෝ රුපියල් දහසක දඩයකින් හෝ මේ දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදක් වේ.
සෙල්වාගේ ලිංගික හිරිහැරයට තිළිණිගේ ප‍්‍රතිචාරයට තිළිණි අත්අඩංගුවට ගැනීමට මෙහෙය වූ සාධකය ඉතා පැහැදිලිය. නීතිය මධ්‍යස්ථ සහ සර්ව සාධාරණව ක‍්‍රියාත්මක කළ යුතු බවට නීති පොත් හි සඳහන් කර තිබුනද පුරුෂ මූලික සමාජයක ආකල්පවල හැසිරීම මත ඇති වූ පක්ෂපාතීත්වය එනම් පුරුෂාධිපත්‍යය කෙරෙහි ඇති සංස්කෘතික පක්ෂපාතීත්වය, ආයතනික පක්ෂපාතීත්වය සහ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී ඇතිවූ පක්ෂපාතීත්වය යන සියල්ල තිළිණිට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පෙළඹ වූ සාධකයෝ වූහ.

පොලිසියට යන තිළිණි අත්අඩංගුවට ගැනීමත්, ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් එසැනින් මාධ්‍යයට අනාවරණය කිරීමත්, පොලිසියට සැකකරුවකු රඳවා ගත හැකි උපරිම කාලය වන පැය 24 ක කාලය තුළම මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් නොවන්නට ඇයව රඳවා ගැනීමට උත්සහ කිරීමත්, සුළු තුවාල කිරීම නම් වූ වරද සමථ මණ්ඩලයට එක එල්ලයේම යොමු කළ හැකි නීතිමය තත්වයක් තුළ පොලිසිය විසින් ඇය මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියට පමුණුවීමත් යන කාරණා වලින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ පුරුෂාධිපත්‍යයට හෝ පුරුෂ මූලික සමාජයට එරෙහිව ඇය විසින් අත එසවීම තුළ ආයතනික වශයෙන් ඇයට අත්විඳීමට සිදුවූ ප‍්‍රතිවිපාකයි.

සිද්ධිය සිදුවූ සැනින් ඇයට විරුද්ධව නැගුණු සමාජ ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් සියුම්ව නිරීක්ෂණය කළහොත් පෙනෙන්නේ පුරුෂාධිපත්‍යය මත දිවෙන සමාජයක මෙවැනි වික‍්‍රමයක් කිරීමට නම් තවත් පුරුෂයෙකුගේ හයිය අවශ්‍යය යන මතය සමාජගත කිරීමයි. ඒ අනුව ඇයට හයිය ලැබුණු පිරිමින් ගැන සමාජ වෙබ් අඩවිවල ඕපා දූප පිරී යන්නේ ගැහැණිය ගැහුවත් ගැහුවේ පිරිමියෙකුගේ හයියෙන් යන මතය සමාජගත කිරීමෙන් තර්ජනයට ලක් වූ පුරුෂාධිපත්‍යය ආරක්ෂා කිරීමයි. තිළිණි බජාර් එකේ භාෂාවෙන් බඩුවක් බවට පත් කරන්නේ මෙම තර්ජනය යම් හෝ ආකාරයකින් මානසිකව සමනය කර ගැනීමෙන් ලබාගත හැකි ව්න්දනය නිසාය.

මෙම සිද්ධිය සරළ නීතිමය භාෂාව තුළ ගතහොත් සුළු තුවාල කිරීමකි. ලංකාවේ අධිකරණවල මෙවැනි නඩු සිය දහස් ගණනක් අද ද පවතී. එසේම සමථ මණ්ඩල වල මෙවැනි ආකාරයේ නඩු සිය දහස් ගණනක් සමථයට පත් වී ඇති අතර එසේ නැත්නම් පවතිනු ඇත. සමහර මෙවැනි නඩු පොලිසියේදීම සමථ වී ගිය අවස්ථා ඕනෑ තරම් ඇත. මෙවැනි නඩු විසඳීම සඳහා මානසික වෛද්‍ය වාර්ථා සුවිශේෂී තත්වයක් නොමැතිව කැඳවන්නේ නැත. ඇයගේ මානසික වෛද්‍ය වාර්ථාව කැඳවීම යන කාරණය සම්බන්ධයෙන් දිය හැකි එක් පැහැදිලි කිරීමක් විය හැක්කේ බියක් සැකක් නොමැතිව පිරිමින් ට පහර දිය හැක්කේ මානසික ආබාධයක් ඇති කාන්තාවන්ට පමණක් බව යන්නයි. එහිදී ද පැහැදිලි වන්නේ පිරිමියාගේ උත්තරීතරත්වයට අබමල් රේණුවක හෝ හානියක් සිදු කිරීම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී උදහසට ලක්විය හැකි කාරණයක් බවය.

එදා සුද්දී ගේ නොහැකියාවත් අද තිළිණිගේ හැකියාවත් යන තත්වයන් දෙකම රෝපණය වී ඇති මාධ්‍යය (Culture) කිසිදු ආකාරයක වෙනසකට ලක්ව නොමැත. පුරුෂ මූලික සමාජයක පුරුෂාධිපත්‍යය හමුවේ ගැහැණියක සිටිය යුතු ස්ථානය සුද්දිට මුදලාලිත් කියා දුන් අතර වාරියපොළ සිද්ධියෙන් පසුව සමාජය විසින් තිළිණිට කියා දීමට උත්සහ කළේද එම දේමය.

Back to Home page