22 September, 2020

Blog

මෙතනින් කොතැනටද?

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

වර්ෂ 2015 ජනවාරි 8 වැනි දින මෙරටෙහි ඇති වූයේ සමාජ විප්ලවයකි. එය බොහෝ දුරට ප්‍රංශ විප්ලවය හා සමාන වන්නේය. අවුරුදු දහයකට ආසන්න කාලයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා විසින් ‍රටෙහි ඇති කරනු ලැබූ සමාජ තත්ත්වයන් තුළ පීඩාවට පත් රට වැසියන් ඔහුගේ පාලනය අවසන් කිරීම සඳහා ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා රටෙහි ජනාධිපතිවරයා වශයෙන් අභිෂේක ලබන්නේය.

මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පිටුපස විවිධ දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සහ සමාජ බලවේගයන් සහ රටෙහි සියලුම ජාතීන් එක්රොක් වූ අතර ඔහුගේ ජයග්‍රහණය අවම දායකත්වයක් සැපයූයේ ඔහු වසර 30 කට අධික කාලයක් නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව සියලු දෙනා පිළිගන්නා කාරණයක් වන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය හා සමගාමීව මෙරටෙහි ඇති කළ යුතු දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ ගණනාවක් කලඑළි බහින්නේය. මේවා මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ඔහුගේ ජයග්‍රහණය සඳහා කැපවූ එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක සහ මහින්ද රාජපක්ෂ තව දුරටත් දේශපාලනයේ තබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සටනට පිවිසි ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයෙහි ප්‍රාර්ථනයන් වූහ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් කරනු ලැබූ දින සියයේ වැඩපිළිවෙළ රටෙහි ජනතාවගෙන් බහුතරයක් පිළිගන්නා ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ලක්ෂ හැට දෙකක ඡන්දයකින් රටෙහි ජනපතිවරයා වන්නේය.

ඔහු ජනාධිපතිවරයා වීමෙන් පසුව ජනතාව වෙත ලබා දුන් දින සියයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික විධායක සභාව පත්කරනු ලබන්නේය.

Maithripala Gampola 2014රටෙහි දේශපාලන පක්ෂ නායකයන් සිවිල් සමාජ ක්‍රියාධාරීන් මෙම විධායක සභාවේ අසුන් ගනු ලැබූ අතර විධායක සභාව හරහා දින සියයේ වැඩපිළිවෙළට අයත් එක් එක් අංගයන් ක්‍රියාත්මක භාවයට පැමිණෙනු ලැබුවේය.

දින සියයේ වැඩපිළිවෙළින් පරමාර්ථ කරගනු ලැබුවේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව නැවත බලගැන්වීමත් රට ආර්ථික හා සමාජීය වශයෙන් යම් ආකාරයක ස්ථාවරත්වයකට පත්කර ගැනීම සඳහා අවශ්‍ය අත්තිවාරම ගොඩනැඟීමය.

මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ සම්මත කර ගනු ලැබූ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයින්ම අහිතකර වූ දහඅට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් රටෙහි ප්‍රජාතාන්ත්‍රික මුහුණුවර ස්ථාපනය කරමින් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට දින සියයේ ආණ්ඩුව සමත් වූයේය. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් රාජ්‍ය යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණයට අවශ්‍ය වන්නා වූ පසුබිම සකස් කරගැනීමටත් අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීමටත් රටෙහි පොලීසිය ස්වාධීන ආයතනයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය මූලික පසුබිම සකසා ගැනීමටත් ජාතික ප්‍රසම්පදාන කොමිෂන් සභාව ජාතික විගණන සේවා කොමිෂන් සභාව මුදල් කොමිෂන් සභාව මානව හිමිකම් කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පත්කිරීම සඳහා පූර්ණ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කොමිෂන් සභාවට ලබා දී රට යම් ආකාරයකින් විධිමත් ක්‍රම වෙනසකට භාජනය කිරීමට සමත් වූයේය.

රාජපක්ෂ පාලන සමයෙහි රටේ සංවර්ධන ක්‍රියාදාමයට සමගාමීව ඇති වූ දූෂණ සම්බන්ධ චෝදනා යම්තාක් දුරට අඩුකර දීමට දින සියයේ ආණ්ඩුව සමත් වූ අතර රාජපක්ෂ ආණ්ඩුව සමයේ එම ආණ්ඩුවට විරුද්ධව සිදුවූ පුද්ගල පැහැර ගැනීම් චෝදනා මිනීමැරුම් චෝදනා පුද්ගල අතුරුදහන් වීම් චෝදනා සහ නිදහස් චින්තනයට අවහිර කිරීමේ චෝදනා යන සියලු චෝදනාවන් ඉවත් කරලමින් නිදහස් හා සාමකාමී පරිසරයක් රට තුළ ගොඩනැඟීමට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ සුළුතර රජය සමත් වූයේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ දින සියයේ ආණ්ඩුවේ ප්‍රධාන කර්තව්‍යය වූයේ එකී දින සියය තුළ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මෙම කර්තව්‍යය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සුළුතර රජයක් පත්කරනු ලැබුවේ සුවිශේෂ වූ කාරණා මතය. බහුතරය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය පූර්ණ සංවිධාන ශක්තියක් සතුව සිටියදීත් සිරිසේන මහතා විසින් සුළුතර කණ්ඩායමක් ගැන විශ්වාසය තබන්නේ එකී බහුතරයෙහි අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔහු සතුව තිබූ පෞද්ගලික අත්දැකීම් නිසා වීමට පුළුවන.

දහ හත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟින් රටෙහි ඇති ව තිබූ නිර්දේශපාලනික පාලන ව්‍යුහය දහඅට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අකුළා ගනු ලැබීය. සාරාංශයක් වශයෙන් ගත් කල දහඅට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටෙහි වැදගත් වන්නා වූ සියලු බලතල මඟින් රාජපක්ෂ ජනාධිපතිවරයා වටා කේන්ද්‍ර කර ගනිමින් ඇතිකර ගනු ලැබූ ව්‍යවස්ථාවකි. එසේම එම ව්‍යවස්ථාව තුළම එතෙක් ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දැරිය යුතු වාර දෙකක කාලසීමාව අහෝසි කරමින් ජනාධිපතිවරයාට තමන් හිතැඟි කාල සීමාවකට එම ධූරය දැරිමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේය.

කෙටියෙන් කියතොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දහඅට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් බලාපොරොත්තු වූයේ විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන සාධකයන් තමන්ට හිතැඟි සේ පාලනය කිරීමට අවශ්‍ය බලය ලබා ගැනීමටත් තමන් සිතන තාක් කල් තම බලය රඳවා ගැනීමටත්ය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සහ ඔහු විසින් ගෙන එනු ලැබු ව්‍යවස්ථා ආර්ථික සමාජිය හා දේශපාලන ප්‍රතිසංස්කරණ හමුවේ රාජපක්ෂ විසින් ගෙන එනු ලැබු ඒකාධිපතිවාදි හා ප්‍රජාතන්ත්‍ර විරෝධි සහ තම අවශ්‍යතාවය මත ගොඩනැඟුණු දේශපාලන ප්‍රතිසංස්කරණයන් ඉවතට විසිවී ගියේය.

අද වන විට එසේ දේශපාලන ප්‍රවාහයෙන් ඉවතට විසිවී ගිය මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලන ආගමනයක් සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටියි. ඔහුගේ අපේක්ෂාව මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔස්සේ තම දේශපාලන පුනරාගමනය සිදු කිරීමය. දැන් සලකා බැලිය යුත්තේ 2015 ජනවාරි 8 වැනිදා සිදුවූයේ කුමක් ද යන්න තේරුම් ගැනීමයි. එදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය ලබන්නේ කුමන හේතු සාධක මත ද යන්නයි.

ඇත්ත වශයෙන් ම එදා සිදු වූයේ කුමක් ද යන්න සිරිසේන ජනාධිපතිවරයා ද වටහා ගත යුතු වන්නේය. ඔහු පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය යට නව නායකයකුගේ අවශ්‍යතාවයක් ඇති වී නොවේ. රටට අවශ්‍ය අලුත් දේශපාලන නායකත්වයක් සඳහා ඔහු පත්වනු ලබන්නේය. එම ජයග්‍රහණය වළක්වාලීම සඳහා අද ඔහු නායකත්වය සපයන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ගිය ප්‍රචාරක වැඩපිළිවෙළෙහි භයංකාරත්වය තවමත් ජනතාවට අමතකව නැත.

මෙවන් පසුබිමක් තුළදී මෛත්‍රී මහින්ද සුසංයෝජනයක් ඇති වන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අතීතය සලකා බැලීමේදී ඔහු ඔහුගේ දේශපාලනය ආයතනික ව්‍යුහයෙන් ඉවත්කොට ගෙන හුදු පෞද්ගලික ව්‍යාපෘතියක් බවට පත් කර ගෙන ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔහු හා දේශපාලන වශයෙන් එරෙහි වූවන් සම්බන්ධයෙන් ඔහු දැක්වූ ආකල්පය අති පෞද්ගලිකය. ඔහු හා තරග වැදුණු සරත් ෆොන්සේකා සිරගත වන්නේ මහින්ද රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකා ඔහුට විරුද්ධව තරග කිරීම පෞද්ගලිකත්ව මානයකින් දුටු නිසාය.

ෆොන්සේකා යම් වරදක් ඇත්ත වශයෙන්ම සිදු කර තිබුණ ද, ෆොන්සේකා විසින් හතරවන ඊළාම් යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා දෙනු ලැබූ දායකත්වය යන කාරණය සලකා බලා ඔහුට නීතියෙහි විධිවිධාන සලසා ඇති පරිදි කටයුතු කිරීමට (ඔහුට චෝදනා නොකර සිටීමට) හෝ ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ හැකියාව රාජපක්ෂ ජනාධිපතිවරයා සතුව තිබුණි. කෙසේ වෙතත් රටෙහි තීරණාත්මක යුද්ධයක් ජයග්‍රහණය කිරීමට දායක වූ යුද හමුදාපතිවරයා තමාට වඩා කනිෂ්ට නිලධාරීන් විසින් කුදලාගෙන පැමිණ අධිකරණයක් හමුවට පමුණුවා වරදකරු කොට සිර දඬුවම් කිරීමටත් එම සිර දඬුවම් විඳීමට සැලැස්වීමටත් රාජපක්ෂ රජය කටයුතු කළේය.

එසේම තමන්ගේ අවශ්‍යතාව මත ගොඩනැඟුණු දිවිනැඟුම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කරද්දී එවකට සිටි අග්‍රවිනිශ්චයකාරවරිය අසම්මත කාර්ය පටිපාටියක් අනුගමනය කරමින් ධූරයෙන් ඉවත් කිරීමට රාජපක්ෂ රජය කටයුතු කළේය. අද රට නැවත ගොඩ ගැනීමට යැයි ජනවරමක් ඉල්ලමින් ඉදිරියට පැමිණීමට වලිකන රාජපක්ෂගේ අතීත සලකා බලා ඔහුගේ අනාගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රට වැසියා හෝ ඡන්ද දායකයා තීරණයක් ගත යුතු වන්නේය.

ඔහු රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මෙවලමක් වූ දාහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ බල පැවැත්ම සඳහා මුලිනුපුටා දමද්දී ඔහු බලයට පත්වුවහොත් ඔහු විසින් කරනු ලැබූ විනාශය වළක්වාලීම සඳහා ගෙන එනු ලැබු දහනම වන ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන් ආරක්ෂා කරාවි ද යන්න පිළිගැනීමට අපහසු තත්ත්වයකි. දහඅට වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඔහු බලාපොරොත්තු වූයේ රටෙහි ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහය කුඩු පට්ටම් කොට ඔහු වටා බලය ඒකරාශිකොට තබා ගැනීමය.

එසේම යම් හෙයකින් ඔහු රටෙහි අගමැති ධූරයට පත්වුවහොත් ඔහුට එරෙහිව සටන් වැදි ජනපති ධූරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු සමඟ සුසංයෝග වීමේ හැකියාවක් ඇත්තේ ද යන්න අල්පමාත්‍ර සිතුවිල්ලක් වන්නේය. මන්ද, ඔහු සමඟ 2010 වර්ෂයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆොන්සේකාව ඔහු දුටුවේ තමන්ට එරෙහි පෞද්ගලික සතුරෙකු නිසාවෙනි. ඒ මානයෙන් සලකන කල්හි සිරිසේන මහතා එයින් ව්‍යුක්ත වන්නේ කුමන කරුණක් නිසා ද යන්න පැහැදිලි කිරීමක් නොමැත.

රාජපක්ෂ මේ වන විට පරීක්ෂණයට ලක්ව හමාරය. ඔහුගේ ගතිපැවතුම් හඳුනාගෙන හමාරය. ඔහු රටෙහි ආයතනික ව්‍යුහයන්හි පැවැත්ම විශ්වාස කළේ නැත. ආයතනික ස්වාධීනත්වය විශ්වාස කළේ නැත. ඔහුගේ රාජ්‍ය පාලනය පෞද්ගලිකත්වය පදනම්ව සිදු වූවකි. තමාගේ දේශපාලන සතුරා පවා ඔහුට එරෙහි පෞද්ගලික සතුරෙකු ලෙස ඔහුට පෙනෙන්නේ ඒ නිසාය.

රටෙහි පැවැත්ම උදෙසා රටෙහි පාලනයේ මර්මස්ථාන ස්වාධීනව කටයුතු කළ යුතු යැයි ඔහු විශ්වාස කළේ නැත.

ඔහුගේ කාලයේ අධිකරණය නීතිපති ඇතුළු ඔහු විසින් පත්කරනු ලැබූ පත්වීම් අති බහුතරයක සුපිලිපන් භාවය සම්බන්ධයෙන් සමාජ විවේචනයක් ඇති වන්නේ ඒ නිසාය.

මේ සියල්ල සලකා බලන කල්හි 2015 ජනවාරි 8 වැනි දින ලැබු ජයග්‍රහණයේ ප්‍රතිඵල මත රටෙහි සාධනීය වෙනසක් සඳහා වූ අත්තිවාරමක් ගොඩනැඟුණේය. එකී අත්තිවාරම මත රටට සුබදායක වන්නා වූ හැඩතලයක් නිර්මාණය කිරීමේ අයිතිය එම අත්තිවාරම ගොඩනැඟූවන්ට හිමි විය යුතු අතර එම අත්තිවාරම වනසාලීමට පිඹුරුපත් සකස් කරවුන්ට ඒ මත පිනුම් ගැසීමට ඉඩ සැලසිය යුතු නොවනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.