25 September, 2020

Blog

අවශ්‍ය නම් ජනාධිපතිවරයාට රිදී රේඛාවක් විය හැකියි

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය ජනාධිපතිවරණයෙන් මෙත්‍රීපාල සිරිසේන ජය ගත්ත ද ඒ ජයග්‍රහණය ඔහු ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකු ලෙස නොවේ. එහෙත් ජයග්‍රහණයෙන් පසුව ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ලැබුණි. ජනාධිපති ධූරයේ නිල බලය නිසා පක්ෂ සභාපති ධූරයට ඔහු පත් වුවද පක්ෂයේ නායකත්වයේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ඔබු අපොහොසත් වූවායැයි කිවහොත් එය වඩා නිවැරදි ය.

ඒ වනවිටත් බලය අහිමිව කර්කෂ අභියෝගයන් රැසකට මුහුණ දීම ආරම්භ කර තිබූ මහින්ද රාජපක්ෂ වෙතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධ්‍යාත්මික බලය ගිලිහී ගොස් තිබුණේ නැත. ඒ නිසා මහින්ද රාජපක්ෂ ඉදිරියට දමමින් අහිමිව ගිය බලය නැවත ලබා ගැනීම සදහා සටනක් ආරම්භ කිරීමට සමහර දේශපාලඥයන්ට අවශ්‍ය වුණි. රාජපක්ෂගේ දස වසරකට ආසන්න පාලන කාලය තුළ රසවිදි බලය අහිමිව කල් ගෙවීම දැඩි අපහසුතාවන්ට හේතු වූවා නොඅනුමානය. එහෙත් බලය අහිමි වූ අලුත රාජපක්ෂට එවැනි අවශ්‍යතාවක් ඇතැයි පෙනෙන්නට තිබුනේ නැතත් කල්යත්ම ධ්‍රැවීකරණය වූ දේශපාලන තත්ත්වය තුළ ඔහු ද නොඉවසිලිමත් වූවා යැයි කිවහොත් එය නිවැරදි ය.

තම පක්ෂය ගොඩනැංවීමේ අභිලාශයක් පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය තුළ නොතිබුණ මෙත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයටත් අනතුරුව පක්ෂ සභාපති ධූරයටත් පත්වූ පසුව එවැනි අභිලාශයන් පසු පස ගමන් කරන අන්දම මනා ලෙස පෙනෙන්නට තිබුණි. ඔහු පක්ෂ අභිලාශයන් පසු පස දිව යන අන්දම දුටුවිට ජනවාරී අටවැනිදා ජයග්‍රහණය ලැබූ රටේ අභිලාශයන් ඔහුට අමතක වූවාදැයි කෙනෙකුට සිතුනා නම් එය පුදුමයට හේතුවක් නොවේ. ඒ තරමට ඔහුගේ න්‍යාය පත්‍රයේ ඉස්මස්තට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිලාශයන් ය.

Maithri newදැන ගන්නට ලැබෙන ආරංචි මාර්ගයන්ට අනුව මෙත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයටත් පක්ෂ සභාපති ධූරයටත් පත්වූ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තහවුරු කර ගැනීම සදහා විකල්ප වැඩවෙළක් ජනාධිපතිවරයා අතට පත්ව තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි පක්ෂ කාඩරයන් මෙත්‍රීපාල සිරිසේනගේ නායකත්වය තුළ ශක්තිමත් කිරීමටත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමටත් යෝජනා වී ඇත. ඒ වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකත්වය භාර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආ මෙත්‍රීපාල සිරිසේනට සහාය දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේම පිරිසකි. ඊට නායකත්වය ලබාදී ඇත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකයි.

ජාතික හෙළ උරුමය දේශපාලන උපක්‍රම ක්‍රියාත්මක කරයි

කුමන හේතුවක් නිසා හෝ මේ වනවිට මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනා ගැනීමට ජාතික හෙළ උරුමය සමත්ව තිබීම සැලකිය යුතු දේශපාලන කරුණකි. ඒ අනුව ජාතික හෙළ උරුමයේ චම්පික රණවක හා අතුරලියේ රතන හාමුදුරුවන්ගේ අවශ්‍යතා අනුව ජනාධිපතිවරයා කටයුතු කිරීම ආරම්භ කර තිබුණි. මේ දේශපාලන පෙළ ගැස්ම ශක්තිමත්වීමත් සමග ජනාධිපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කණ්ඩායමට ඇහුන්කන් දීමට වඩා චම්පික රණවකගේ කණ්ඩායමට ඇහුන්කන් දීමට වඩා පෙළඹී තිබේ.

ජාතික හෙළ උරුමයේ චම්පික රණවක දේශපාලන න්‍යායචාර්යවරයෙකි. උපක්‍රමිකව කටයුතු කරන්නෙකි. සිංහලබෞද්ධවාදී ජාතිකත්ව දෘෂ්ඨියක් සහිත තම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගත යුතු යැයි විවෘතව ප්‍රකාශ කළේ අදක ඊයේක නොවේ. 2001 මහා මැතිවරණයෙන් සිහළ උරුමය අන්ත පරාජයක් ලැබූ පසුව මේ උපක්‍රමය පාඨලී චම්පික රණවක මෙන්ම එවකට සිහළ උරුමයේ නායකයකු වූ තිලක් කරුණාරත්න ද මාධ්‍යයට පවසා තිබුණි.

වසර 15ක් පමණ පැරණි චම්පික රණවකගේ ඒ දේශපාලන උපක්‍රමය සාර්ථක කරගැනීමේ මොහොත මෙත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූ අවස්ථාව යැයි ඔහු සිතන්නට ඇත. ඒ අනුව උපක්‍රමිකව කටයුතු කර පළමුව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පර්ශ්වයත් දෙවනුව මහින්ද රාජපක්ෂගේ පර්ශ්වයත් දිය කර හැර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගැනීම පාඨලී චම්පික රණවකගේ උපාය වී තිබේ. ශක්තිමත් දේශපාලන පෝෂක මිනිස් බලයක් නොතිබූ මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරමින් ජාතික හෙළ උරුමය තම උපක්‍රමික දේශපාලනය උරගෑමට පසුබට නොවුණි.

ආරම්භයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කණ්ඩායම සමග ජනාධිපතිවරයාගේ සිත් බිදීම ද දෙවැනි පියවර ලෙස මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම බල රහිත කිරීම ද මාර්ග සිතියම වී තිබුණි. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අගතිවිරහිත ප්‍රතිපත්තියක සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ශ්වය සම්බන්ධයෙන් කළු චිත්‍රයක් මවා පෑම චම්පිකලාට අලුත් දෙයක් නොවන්නට ඇත. චන්ද්‍රිකාට වඩා මහින්ද හොද යැයි මතයක් ජනාධිපතිවරයා තුළ නිර්මාණය කරන්නට තරම් මේ කණ්ඩායම සාර්ථක වී තිබුණි.

ළග එන මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය විශාල ජනවරමක් ලබා ගැනීම වැළැක්වීමට නම් මහින්ද රාජපක්ෂ සමග අතර්මැදි විසදුමකට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතු යැයි ආ යෝජනාව ප්‍රතික්ශේප කරන්නට තරම් ඒ වනවිට ජනාධිපතිවරයා සිටියේ ශක්තිමත් ස්ථාවරයක නොවේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත්ව පොදු විපක්ෂ අපේක්ෂක සටන මගින් ජනාධිපති ධූරයට පත් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩී වෙන්වීම හා මැතිවරණ පරාජයකට ලක්වීම ආදී දෝෂාරෝපණයන්ට ලක්වීමට ජනාධිපතිවරයා කැමැති නොවීය. මෙවර මැතිවරණයෙන් පරාජය වුවත් ඉදිරි පස් වසර තුළ පක්ෂය සංවිධානය කර ජයග්‍රහණය කරා ගෙන යා යුතු යැයි ද මහින්ද රාජපක්ෂගේ බලය බිද වර්ගවාදී, සමාජ විරෝධී මතවාදයට ගොදුරුව ඇති පක්ෂය පිරිසිදු කළ යුතු යැයි ද චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාර්ශ්වයෙන් ආ යෝජනවට ජනාධිපතිවරයා එකග නොවීය. ඔහුගේ එකම අභිලාශය වී ඇත්තේ පක්ෂය එළබෙන මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කරා ගෙන යෑමයි.

ජාතික හෙළ උරුමය ඇතුළු ජනාධිපතිවරයාට උපදේශකත්වයෙන් සම්මාදම් වූ පිරිස මහින්ද රාජපක්ෂ පාර්ශ්වය හා සාකච්ඡා ගනුදෙනු ආරම්භ කර ඇත්තේ මෙවැනි වටපිටාවක් තුළ ය. රාජපක්ෂවරුන්ට එරෙහි නීතිමය කටයුතු අත්හිටුවීමත් ඊට හිලව්වක් ලෙස පක්ෂයේ බලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බාධා නොකිරීමත් දෙපිරිසේ සාකච්ඡාවට ලක් වුණි. ඊට රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වයෙන් සතුටුදායක ප්‍රතිචාර ලැබීම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සතුටට හේතු වුණි. එහෙත් රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වයෙන් සාකච්ඡාව ආරම්භවූයේ ඒ වනවිටත් මහින්ද රාජපක්ෂව නැවතත් දේශපාලන කරළියට ගෙනවීම සදහා ආරම්භ කර තිබූ දේශපාලන වැඩපිළිවෙලට සමාන්තරව ය.

රාජපක්ෂ පාර්ශ්වයේ නම්‍යශීලීතාව චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ශ්වය මුල සිටම සැක කර තිබුණි. ඇගේ වචන වලින්ම කිවහොත් “රස්තියාදුකාරයා විශ්වාස කරන්න එපා. අන්තිමේ දි බෙල්ලත් නැතිවෙයි” යැයි ඈ පවසා තිබුණි. එහෙත් දිගුකාලීන ජාතිකවාදී දේශපාලන දෘෂ්ඨිමය අරමුණකින් යුතුව කටයුතු කළ චම්පික රණවක පාර්ශ්වය ඒ සැකය බැහැර කළේ හාස්‍යයෙනි. එහෙත් අවසානය වනවිට ක්‍රමානුකූලව රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතා ප්‍රබලව ඉස්මතු වුණි.

පළමුව මැතිවරණයට තරග කරන්නේ නැතැයි කීවත් හම්බන්තොට දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුළු වීමට මහින්ද රාජපක්ෂට අවශ්‍ය වුණි. ඒ අගමැති අපේක්ෂකකම හා දිස්ත්‍රික් නායකත්වය හෝ නොමැතිවය.සහචරයන්ට තරග කිරීමේ අවස්ථාව අවශ්‍ය නැතැයි මුල් පියවරේ දී කීවත් රාජපක්ෂ ආණ්ඩුවේ සිටි සියළු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා අවශ්‍ය බව පසුව කීය. ඒ වනවිට පක්ෂය තුළ ජනාධිපතිවරයාගේ බලය මුළුමනින්ම ගිලිහී ගොස් තිබුණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ශ්වය අදාළ කටයුතු වලින් ඉවත්ව තිබුණි. ඒ නිසා පැවැති සාකච්ඡා වල ආධිපත්‍යය මුළුමනින්ම රාජපක්ෂවරුන්ට අවශ්‍ය පරිදි සිදුවුණි. අවසානයේ චම්පික රණවකලා පවා බල රහිත වුණි. ජනාධිපතිවරයා මුළුමනින්ම නිශ්ක්‍රීය වුණි. මහින්ද රාජපක්ෂට පමණක් නොව දුමින්ද සිල්වාට ද නාම යෝජනා ලැබෙන පරිදි සියල්ල සිදුවුණි.

ජනාධිපතිවරයා තනිවෙයි ද?

උද්ගතව ඇති දේශපාලන වාතාවරණය තුළ ජනාධිපතිවරයා සිටින්නේ කම්පනයකින් ය, එය පුදුමයට හේතුවක් නොවන්නේ ඔහුව බලයට පත් කිරීමට මූලික වූ දේශපාලන ව්‍යාපාරයෙන් මෙන්ම ඒ සදහා ඔහුට දිරිදුන් තම පක්ෂයේම දේශපාලන කොටස් වලින් ඔහු දුරස්වීමයි. මවා ගත් සෙහෙසකින් යුතුව ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් ඔහුව සිප ගැනීමට ඉදිරියට එමින් සිටියත් ඒ එන්නේ අවංකව නොවන බව පැහැදිලි ය. රාජපක්ෂවරුන්ට අනුව මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරය අහිමි වූයේ මෙත්‍රීපාල සිරිසේන නිසාය. ඒ ද්‍රෝහීකම ඔහු කළේ පිටුපස සිට පිහියෙන් ඇනීමෙනි. මැතිවරණ සමයේ ඇතිවූ ඒ ක්‍රෝධය සරළව අමතක කරන්නට තරම් රාජපක්ෂවරුන් මානුෂික නොවන බව ස්ථිරය. පක්ෂ අභිලාශ ජයග්‍රහණය කරා ගෙනයෑමට රටේ අභිලාශයන් අමතක කරන්නට සිදුවූ ජනාධිපතිවරයාට ජනවාරී අටවැනිදා දේශපාලන ව්‍යාපාරයේ සිටි මිතුරන් ද තවදුරටත් සෙනෙහස දක්වාවි යැයි සිතන්ට නොහැක.

ඒ අනුව මේ මොහොත තුළ ජනාධිපතිවරයා දේශපාලනිකව හුදකලා වී තිබේ. ඔහු සමග යමෙක් ගනුදෙනු කරන්නේ නම් ඒ ජනාධිපති ධූරයේ බලතල නිසාය. නො එසේනම් තවදුරටත් ඔහු සතුව තිබූ දේශපාලන වටිනාකම් ඔහු විසින්ම අවලංගු කරගෙන ඇත. ඒ නිසා රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයට ලක්ව පාදඩකරණය වී තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂලාටම සවි වුණි. පොදු අපේක්ෂක ලෙස ඉදිරියට ආ මොහොතේ තමාට ශක්තියක් වීමට නොබියව ඉදිරියට ආ තම පක්ෂයේ මිතුරු බලවේග එක්සත් ජාතික පක්ෂය හා සංධානයකට ගොසිනි. ඒ අර්ථයෙන් හුදකලා දේශපාලන පිටියක තනියම ජීවත් වන්නට ජනාධිපතිවරයාට බල කෙරී ඇත.

ජනාධිපතිවරයා හුදකලා වීම රටට අහිත කරයි

ජනාධිපතිවරයා සිටින්නේ බලය අහෝසි වෙන්නට සුළු කාලයක් ඉතිරිව ඇති තනතුරක නොවේ. ඔහු බලයට පත්ව යන්තම් ගෙවී ගොස් ඇත්තේ මාස හයකි. ඒ නිසා ජනාධිපතිවරයාට ලැබුන ජනවරම තවමත් සජීව ජනවරමකි. එළබෙන මහා මැතිවරණයේ දී කවර පක්ෂයක් බලය පත්වෙන්නට නියමිත වුවත් ඒ ආණ්ඩුව ගනුදෙනු කළ යුත්තේ ජනාධිපතිවරයා සමගය.

යම්හෙයකින් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ආණ්ඩුවක් පිහිටුවහොත් ජනාධිපතිවරයා හා සිදුකිරීමට නියමිත ගනුදෙනුව හුදු වංචාකාරී බව නො කිවයුතුමනා ය. තමන්ගේ ජනාධිපති බලය පැහැර ගත් සතුරකු හා එක්ව රට පාලනය කිරීමට තරම් ඔවුන් විචක්ෂණශීලී පිරිසක් නොවේ. ඒ නිසා ඒ අර්ථයෙන් රටේ අනාගතය අර්බුදකාරීවීම නො වැළැක්විය හැකිය.

එහෙත් එක්සත් ජාතික පක්ෂය මූලික වූ සංධානයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ආණ්ඩුවක් පිහිටුවීමට ලැබුනහොත් ප්‍රියමනාප ලෙස දේශපාලන ගනුදෙනු සිදු කිරීම සදහා වර්තමානයේ උද්ගතව ඇති පරස්පරතා හා වියවුල් බාධාවක් කරගත යුතු නැත. ඒ නිසා පවතින නොහොද නෝක්කඩු අනාගතයේ ඇතිවිය හැකි බරපතල ගැටුම් හා අනවබෝධයන් කරා නොයන පරිදි සමනය කර ගැනීමට ජනාධිපතිවරයාත් එක්සත් ජාතික පක්ෂයත් අනෝන්‍ය අවබෝධයක සිටීම වඩා යෝග්‍යය වේ. රාජපක්ෂ සංස්කෘතියට එරෙහිව වඩා පුළුල් හා වඩා ශක්තිමත් බැදීමක මෙතෙක් සිටි දෙපාර්ශ්වයක් ස්ථිරසාරව බෙදී වෙන්ව යෑමකට තරම් වර්තමාන නොහොද නෝක්කඩු හේතුවක් කර ගැනීම ශක්තියක් සපයන්නේ සතුරු බලවේගයන්ට පමණි.

ජනාධිපතිවරයා පොදු අපේක්ෂක වේදිකාවේ ජනතාව ඇමතුවේ බලය අත්හරින ස්වරයකිනි. ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පසුත් ප්‍රකාශ කළේ බලය අත් හරින බවකි. පසුව විධායක බලතල අත් හරිමින් ද ධූර කාලය පස් වසරකට සීමා කරමින් ද වෙනත් කිසිම දේශපාලඥයකු නොකළ අන්දමේ පරිත්‍යාගයන් කිහිපයක්ම කළේ ප්‍රශස්ත ලෙස ය. එවැන්නකු පක්ෂ අභිලාශයන් ඉක්මවා වඩාත්ම සමීප විය යුත්තේ රටේ අභිලාශයන් කරා ය.

ඒ අර්ථයෙන් නිවැරදි දේශපාලන තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය පවතී. නාම යෝජනා භාර ගැනීම අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා කරන්නේ යැයි කියන ප්‍රකාශය කුමක්දැයි පැහැදිලි නැතත් ඒ ප්‍රකාශය වගකීමෙන් ගැලවීමේ සරළ ප්‍රකාශයක් නොවිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ අභිලාශයන් මුදුන් පත් කර ගන්නට ගොස් ජනවාරී අටවැනිදා දේශපාලන අභිලාශ පසෙකට දැමීමට සිදුවීම අවංකව පිළිගනිමින් ඉදිරි මහා මැතිවරණයේ දී ශක්තිමත් බලවේගයක් ලෙස හැසිරීමේ ශක්තිය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයාට හැකි නම් ඒ ප්‍රවේශය රටට අතිශයෙන්ම වැදගත් ය.

ලෝකයා හමුවේ කොන් නොවන්නට

එළබෙන සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකාවට රටක් ලෙස මුහුණ දෙන්නට සිදුවන අභියෝගය දැනටමත් ජනාධිපතිවරයා තේරුම් ගෙන තිබීම සතුටට කරුණකි. ඔහු මෙන්ම ඉදිරි මහා මැතිවරණයෙන් බලයට එන්නට උත්සාහ කරන සියළු කොටස් තේරුම් ගත යුත්තේ ඒ අභියෝගයට මුහුණ දෙන්නට නම් ශක්තිමත් දේශපාලන බලවේගයක් තිබිය යුතු බවය. එකිනෙකට පරස්පර මතදරන, නොගැඹුරු දේශපාලනික බලවේගයන්ට මුහුණ දෙන්නට නියමිත අභියෝග වලින් රට ගලවා ගැනීම උකහට ය. ඒ නිසා මේරූ දේශපාලනික බලවේගයන් ලෙස ජනාධිපතිවරයාත් එක්සත් ජාතික පක්ෂයත් තේරුම් ගත යුත්තේ කුමන නොහොද නෝක්කඩුකම් මධ්‍යයේ වුවත් විචක්ශනශීලීව බාහිර අභියෝගයන්ට මුහුණ දිය යුතු බව ය.

ඒ නිසා නාම යෝජනා භාර ගැනීමෙන් පසුව හෝ ජනාධිපතිවරයා රටේ අභිලාශයන් ප්‍රමුඛ කාර්ය ලෙස තෝරා ගන්නේ නම් ප්‍රශස්ත වන්නේය. ඒ අනුව ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරණ වේදිකාවේ ඉස්මත්තට ආ දේශපාලන වැඩපිළිවෙල මත තම ඉදිරි පස් වසරක රාජකාරී කටයුතු පෙළගස්වා ගන්නේ නම් රටේ අනාගතය යහපත් වනවාට අමතරව විශිෂ්ඨ හා ගෞරවනීය ජනාධිපතිවරයකු ලෙස විශ්‍රාම යා හැකිය.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    2

    Analysis of a fool about a unstable and wavering fool. MY3 seems to be an innocent but unprincipled tactless man. Presidency was forced on this fool by sheer necessity. He was a man who surrendered meekly to the 18th amendment and enjoyed the perks of the office. Rajaksa, Chandrika, Ranil, Ranawaka can govern people even in a rude and selfish way. MY3 has not that capacity. He will ruin the country for another 5 and half years. We will not feel that we are good-governed or ill-governed. Your stories of silver lininings are yet another false hopes we must not rely on. You are a foolish dreamer.

  • 0
    2

    Very good article! Hope Maithree reads CT.

    He must not give up what he won on Jan 8th.

    His fate will be worse than SF’s. SF didnt win an election.

    M3 won the election. Rajapakases wont forgive him for that.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.