Colombo Telegraph

දේශපාලනය, ආගමික විඥානයක් ලෙස

උපුල් වික‍්‍රමසිංහ

උපුල් වික‍්‍රමසිංහ

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡවකදී (සැප්තැම්බර් 5 වෙනිදා) ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යුද්ධයෙන් පසුව ඉතා මහඟු අවස්ථාවක් ලැබුනද යුද්ධය අවසාන වී වසර හතරකටත් වඩා ගත වී තිබුනද තවමත් රාජපක්ෂ ආණ්ඩුවට උතුරේ දෙමළ ජනයාගේ ගැටළු විසඳීමට නොහැකි වී තිබීමිඉතා ව්‍යක්ත’ ලෙස පැහැදිලි කර සිටියේය.

ඔහු පවසන ආකාරයට (දයාන් ජයතිලක, වික්ටර් අයිවන් වැනි අයද මෙම කුලකයට අයත්ය.) එල.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් සමුල ඝාතනය කිරීමෙන් පසු අවතැන් වුවන් යලි පදිංචි කිරීම, උතුරු සහ නැගෙනහිර ජනතාවගේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, උතුරේ ඉඩම් ගැටළු විසඳීම, අත්අඩංගුවට පත්වූවන්ට එරෙහිව කඩිනම් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම, උතුරේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පැහැර ගෙන යාම් වලට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම තුලින් මාධ්‍ය නිදහස තහවුරු කිරීම වැනි ක‍්‍රියාමාර්ග ගනු වෙනුවට උතුරේ අර්ධ මිලිටරි පාලනයක් පවත්වා ගෙන යාම, දකුණේ ප‍්‍රදේශ වලින් සිංහල ජනයා රැුගෙන විත් උතුරේ පදිංචි කරවීම වැනි ක‍්‍රියාවන් හරහා උතුරේ දෙමළ ජනයාගේ ගැටළු තවදුරටත් උත්සන්න කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එමෙන්ම, ජාතික ආරක්ෂාව නමැති බයිනේත්තුවට මුවාවී උතුරේ ජනයා තවදුරටත් පීඩනයට පත්කරමින් සිටින බවත්, එවැනි තත්වයක් තුල ප‍්‍රභාකරන්, එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් දමිල ජාතිවාදී සංවිධාන විසින් මතු කරන තර්කය (කොළඹ පවතින සිංහල ආණ්ඩුවක් යටතේ දෙමළ ජනයාගේ අයීතීන් කිසිදිනෙක සුරක්ෂිත නොකෙරෙන අතර ඒවා දිනා ගත හැක්කේ ද්‍රවිඩ ඊළාම් වෙනම රාජ්‍යයක් තුල පමණි) රාජපක්ෂ ආණ්ඩුව විසින් තවදුරටත් සනාථ කරමින් සිටින බවද දිසානායක මහතාගේ මතයයි. (මෙය ඔහුගේ පුද්ගලික මතය පමණක් නොව ජ.වි.පෙ. මතයද බව සැලකුව මනාය.) 

මේ හේතුවෙන් පවතින රජයන්ගෙන් යමක් ලබා ගැනීමට නම් බටහිර හෝ ඉන්දියාවේ බලපෑම් අත්‍යවශ්‍යය බවට දෙමළ ජනයා තුල පවතින විශ්වාසය තවදුරටත් තහවුරු වූ අතර පසුගියදා සිදුවූ නවනීදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයට දින කිහිපයකට පෙර උතුරේ හමුදා භට පිරිස් සාමාන්‍ය ජනයා ගැවසෙන පෙදෙස් වලින් ඉවත් කර තැබීම, පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් වෙන් කර වෙනම අමාත්‍යාංශයක් යටතට පත් කිරීම, ඉන්දියාවේ බලපෑම් නිසා උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැනි සිදුවීම් ඒ සඳහා මෑත කාලීන උදාහරණ කිහිපයකි. බටහිර සහ ඉන්දියාව පිලිබඳ දෙමළ ජනයා තුල ගොඩනැගී තිබෙන මෙම විශ්වාසයට (ජ.වි.පෙ.ට අනුව එය අනුමත කළ නොහැකි දෙයක් වන අතර ඔවුන්ට අනුව දෙමළ ජනයා විශ්වාස කල යුත්තේ සමාජවාදය වෙනුවෙන් වැඩ කරන ජ.වි.පෙ.ය) ඓතිහාසික පදනමක් ඇති බවට, අසුව දශකයේදී ජයවර්ධන පාලන සමය තුල දෙමළ ජනයා අනේක විධ මර්ධනයන්ට සහ අසාධාරණයන්ට ලක්වන විට කුමන මතභේද තිබුනද මේ වනතෙක්ම දෙමළ ජනයාගේ අයීතීන් සුරක්ෂිත කිරීමට ගෙන ඇති එකම ව්‍යවස්ථාමය ක‍්‍රියාමාර්ගය වන 13 වන සංශෝධනය සහ පළාත් සභා ඉන්දියානු මැදිහත්වීම යටතේ ස්ථාපිත කිරීම කදිම නිදසුනකි. අනෙක් අතට උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම දෙමළ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයීතීන් ලබාදීමේ සුළු හෝ පියවරක් ලෙස ජ.වි.පෙ. සලකන්නේ නම් ඔවුන්ම දැන් පවසන පරිදී එයද ඉන්දියාවේ බලපෑම් මත සිදුවන්නකි.

සමස්ථයක් ලෙස දිසානායක මහතාගේ අදහස වන්නේ පසුගිය වසර හතර පුරා ආණ්ඩුවේ මෙවැනි හැසිරීම් නිසා දෙමල ජනයා තවදුරටත් ජාතිවාදී සංවිධාන කරා යොමුවූ අතර බටහිර සහ ඉන්දියාවේ සරණ යන තත්වය තත්වයකට පත්වූ බවය. එමෙන්ම, සිංහල රාජ්‍ය භාෂාව කිරීම වැනි නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බලයට පත්වූ රජයන් විසින් ගත් අදුරදර්ශී පියවර පිළිබඳවද ඔහු විවේචනාත්මක වේ.

කරුණු වශයෙන් ගත්කල ඔහු මතු කරන බොහෝ කරුණු සමඟ එකඟ විය හැකි නමුත් මෙහිදී මතුකළ යුතු වැදගත්ම කාරණය නම් ඔහුගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන ඉතා සරළ කරුණක් වන්නේ නිදහසින් පසුව බලයට පත්වූ දකුණේ බොහෝ ආණ්ඩු මගින් දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම අසාධාරණකම් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සිදුවූ අතර එය යුද්ධය අවසාන වීමෙන් පසුව වුවද මේ වනතෙක්ම සිදුවෙමින් පවතින බවය. එමෙන්ම, එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනයා අතර ශක්තිමත් වීමට සහ ඉන්දියානු සහ බටහිර මැදිහත්වීම් වලට බලපෑ සාධාරණ දේශපාලන සහ සමාජීය පසුබිමක් ඇති අතර එයට බලයට පත්වූ සෑම රජයක්ම පාහේ වගකිවයුතු බවත් ඔහුගේ ප‍්‍රකාශය තුලින් ගම්‍ය වන බව අවබෝධ කර ගැනීමට ඉතා සරළ දේශපාලන අවබෝධයක් තිබීම ප‍්‍රමාණවත්ය.

අනුර කුමාර දිසානායක මහතාට සහ ජ.වි.පෙ.ට නොවැටහෙන දේශපාලන යථාර්තය වන්නේ දෙමළ ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල වඩාත් වැදගත් වන්නේ ඔවුනට එරෙහි මර්ධනයන් සහ අසාධාරණයන් සිදුවුයේ සහ සිදුවන්නේ ජ.වී.පෙ.න්ද, එ.ජා.පෙ.න්ද ශ්‍රී.ල.නි.පෙ.න්ද යන්න නොව ශ්‍රී ලාංකීය රාජ්‍යය තුල දෙමළ වීම නිසාම ඔවුන් මර්ධනයට සහ අසාධාරණයට ලක්වීම යන කාරණයයි. එයට මුහුණ දීමට සහ එරෙහිව සටන් කිරීමට ඔවුන් අනුගමනය කල ක‍්‍රියාමාර්ග තුල ත‍්‍රස්තවාදී ලක්ෂණ අඩංගු වුවත් දෙමළ ජාතික අරගලය පදනමින් සුජාත සහ සාධාරණ අරගලයක් බව විවෘතව පිළිගැනීමට ජ.වි.පෙ. මැලිවන්නේ ඇයි? අනෙක් අතට රජය විසින් දෙමළ ජනයාට එරෙහිව දියත් කල ”මානුෂික මෙහෙයුම” තුල ත‍්‍රස්තවාදී ලක්ෂණ අඩංගු නොවුයේ යයි කිව හැකිද? ඒ නිසා, ජ.වි.පෙ. දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් අවංකවම පෙනී සිටිනවානම් මුලින්ම කල යුත්තේ දෙමළ ජනයාගේ අරගලය බෙදුම්වාදී අරගලයකට ලඝු කරනවා වෙනුවට එහි මුලයන්ගේ සාධාරණත්වය සහ සුජාතබාවය විවෘතවම පිළිගැනීමයි. එනම්, හුදෙක් පවතින රජයට චෝදනා කරනවා වෙනුවට ශ්‍රී ලාංකීය රාජ්‍යය නමැති පුළුල් සන්දර්භය තුල දෙමළ ජනයා ඇතුළු අනෙකුත් සුළු ජාතීන්ට සිදුවී ඇති සහ සිදු වෙමින් පවතින අසාධාරණයන්ට එරෙහිව ඔවුන්ගේ අරගල සමඟ එකට සිට ගැනීමයි. (මෙමඟින් කිසිඳු ආකාරයකින් හෝ ආණ්ඩුව ගෙන යන ක‍්‍රියාමාර්ගයන් සාධාරණීකරණය නොකෙරෙන බව සැලකුව මනාය.) ඉන් අනතුරුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අනුගමනය කල ත‍්‍රස්තවාදී ක‍්‍රියාමාර්ග හෝ දෙමළ ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් දෙමළ සංවිධාන විසින් ගෙනයනු ලබනවා යයි කියන බෙදුම්වාදී වැඩපිළිවෙලවල් පිළිබඳව හෝ සහනුකම්පිත (Empathetic) විවේචනයන් සිදුකල හැකි අතර එවිට ඒවා සම්බන්ධයෙන් දෙමල ජනයා අතරද සැලකිය යුතු පිළිගැනීමක් ඇතිවනු නොඅනුමානය.

අනෙක් කාරණය නම්, අනුර කුමාර දිසානායක ඇතුළු ජ.වි.පෙ., දයාන්, අයිවන් වැන්නන් නිතර පවසන ආකාරයට යුධ ජයග‍්‍රහණයෙන් පසුව ආණ්ඩුව හැසිරිය යුතුව තිබුනේ වර්තමානයේදී හැසිරෙන පරිදී මර්ධනකාරී ලෙස නොව දෙමල ජනයාගේ ගැටළු වලට සාධාරණ විසඳුම් ලබා දෙන ආකාරයකටය යන්නෙන් ඔවුන්ගේ දේශපාලන චින්තනයෙහි පටු ස්වභාවය මනාව පැහැදිලි වේ. යුධ ජයග‍්‍රහහණයේ මොහොත දක්වා වන කාල පරිච්ෙඡ්දය සහ ඉන්පසු කාල පරිච්ෙඡ්දය එකිනෙකින් සම්පූර්ණයෙන්ම වියුක්ත තත්වයන් ලෙස ඔවුන් හඟියි. නමුත් සැබෑ තත්වය එයට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිවිරුද්ධය. එනම්, යුද්ධයේ මිලිටරි ජයග‍්‍රහණය වෙනුවෙන් ගොඩනංවන ලද දෙමල විරෝධී දෘෂ්ටිවාදය සහ රණකාමී ජාතික දෘෂ්ටිවාදය යුධ ජයග‍්‍රහණයේ මොහොත සමඟ නිශේධනය නොවන අතර අප අද දවස අත්විඳිමින් සිටින මර්ධනය සහ ඒකාධිපති පාලනය යනු එහි අනිවාර්ය පසු ප‍්‍රතිඵලයයි. අනෙක් අතට යුධ ජයග‍්‍රහණයත් සමඟ රාජපක්ෂ රෙජීමයට ලැබුණු අසීමාන්තික බලය ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් තම පවුලේ සහ පුද්ගලික හිතමිතුරන්ගේ සුඛ විහරණය උදෙසා භාවිත කරමින් සිටින අතර එය අසීමාන්තික බලයෙහි නෛසර්ගික ස්වභාවයක් බව වටහා ගැනීමට ඉහත සඳහන් පුද්ගලයින් සහ ව්‍යාපාරයන් එදා මෙන්ම අදද අසමත්ව සිටී. එසේත් නැත්නම් දෙවන ලෝක යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසු බි‍්‍රතාන්‍යයේ පැවති මැතිවරණයෙන් වින්ස්ටන්ට් චර්චිල් පරාජයට පත්වුවාක් මෙන් ශ්‍රී ලංකාවේද යුධ ජයග‍්‍රහණයෙන් පසුව රාජපක්ෂලා පරාජය වේ යයි සිතීමෙන් බහුතර ලාංකීය ජනතාවගේ අර්ධ වැඩවසම් ජන විඥාණය සුළු කොට තැකීමට තරම් ඔවුන්ගේ දේශපාලන චින්තනය මොට වී ඇත.
දෙමල ජනතා අරගලය යුධමය වශයෙන් සුණු විසුණු කර දැමීමට තමන්ගේද සක‍්‍රීය දායකත්වයෙන් උත්කර්ෂයට නංවන ලද දමිල විරෝධී දෘෂ්ටිවාදය සහ රණකාමී ජාතිකවාදයෙන් අසීමාන්තික බලයක් අත්පත් කරගත් රාජපක්ෂි රෙජීමය යුධ ජයග‍්‍රහණයෙන් පසුව එකී බලය ස්වකැමැත්තෙන් ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් යොදවාවී යැයි සිතන ජ.වි.පෙ. දේශපාලන චින්තනය, මාක්ස්වාදයේ සහ සමාජවාදයේ සළුපිලි පොරවා ගත් දේශපාලනයෙහි ආගමික විඥානයක් (Religious consciousness of politics) බව මගේ වැටහීමයි. තමන් සැබෑ මාක්ස්වාදී පක්ෂයක් නම් ජ.වි.පෙ. විසින් දැන් කල යුතුව තිබෙන්නේ දෙමල ජනතාවගේ අරගලයෙහි සුජාතබාවය අවංකව පිළිගනිමින් ඔවුන් සමඟ එක පෙළට සිට ගනිමින් දෙමල ජනයා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමයි. එසේ නොමැතිව ඔවුන්ගේ අරගලය හුදු බෙදුම්වාදී සහ ජාතිවාදී ලෙස හංවඩු ගැසීමෙන් සිදු කරන විවේචන වනාහී හුදෙක් රාජපක්ෂ රෙජීමයේ අවශ්‍යතාවයන් ඉටුකිරීමක් පමණක් වන අතර අනෙක් අතට එමඟින් ජාතීන් අතර පවතින පරතරයද තවදුරටත් පුළුල් කෙරේ. සමාජවාදය කරා ලඟා විය හැක්කේ හුදෙක් වචන හරඹයන් සහ ආගමික විඥානයකින් සමාජ ප‍්‍රශ්ණ වලට මැදිහත්වීමෙන් නොව ඒවා දේශපාලනික ගැටළු ලෙස හඳුනා ගනිමින් දේශපාලනික ලෙස මැදිහත් වීමෙනි.
ශ්‍රී ලාංකීය සමාජය මේ පසු කරමින් සිටින්නේ, ස්ථාපිත සමාජ දේශපාලනික තත්වයන් තුල කල නොහැකි යැයි සිතෙන ක‍්‍රියාවන් දේශපාලනික අර්ථයෙන් කළ හැකි තත්වයට පරිවර්තනය කලයුතු තීරණාත්මක කාල වකවානුවකි.

Back to Home page