Colombo Telegraph

‘ආගම වෙනස් කරපල්ලා, නැත්නම් ඝාතනය වෙයල්ලා’

දොස්තර උපුල් විජේවර්ධන

මා උපන් ලෝකය අද ලෝකයෙන් බොහෝ දුරස්ථ සෙයක් පෙනේ. මගේ ළමා කාලයේ, රටේ නිදහස සඳහා වන යටත්විජිත විරෝධී ප‍්‍රබල හැඟීමක් තිබුණද, අප තුළ වෛරයක් තිබුණේ නැත. අපව යටත් කරගෙන සිටි බි‍්‍රතාන්‍යට වෛර කරන තත්වයට අපේ දේශපාලන නායකයන් අපව පත්කෙළේ නැත. ඒ වෙනුවට, නීත්‍යානුකූල ක‍්‍රම මගින් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින්, මගේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමට ඔවුහූ කටයුතු කළහ. සුළු ජන වර්ගයට අයත් ඇතැම් කොටස් 50:50 අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරද්දී පවා, අපේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයන් මහ ජාතියේ හැඟීම් ඇවිස්සුවේ නැත. මහ ජාතියේ හැඟීම් කෙසේ තිබුණත්, සුළු ජාතීන්ගේ අයිතීන් පිළිගෙන භාරගත්හ. එහෙත් ‘බෙදා වෙන්කොට පාලනය කිරීම’ මගින් බි‍්‍රතාන්‍යයන් මහ ජාතියට සිදු කළ අසමානතා නැති කිරීමට අවශ්‍ය තරම් පියවර නොගත්තේය.

‘බොදුබල සේනා’ වේශයෙන් නොසන්සුන්තාව සහ වෛරය වපුරන ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම මාව විස්මයට පත් කරයි. බොදුබල සේනාවේ අළුත්ම ඝෝෂාව වන්නේ, ගාසා තීරයේ ඊශ‍්‍රායලය විසින් කරන ලද අපරාධවලට එරෙහි වීමට කිසිවෙකුට තමන් ඉඩ නොතබව බවයි. බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ගේ හිත්වල ඊශ‍්‍රායලය ගැන පැහැදිමක් ඇති බවට සැකයක් නැත. අපට අවශ්‍ය වෙලාවේ ඔවුහූ අපේ උදව්වට ආහ. ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඔවුන් අපට දුන් උදව්වට අප කෘතවේදී විය යුතුය. එහෙත් එය, ඊශ‍්‍රායලය කරන සෑම දෙයකටම සහාය දීමට හේතුවක් විය යුතු නැත. විශේෂයෙන්, යුද අපරාධවලට ආසන්න හැසිරීමක ඔවුන් නිරත වන විට එය අප අනුමත කළ යුතු නැත. අප එසේ කළොත් අපත් වැටෙන්නේ, ඇමරිකාවේ තත්වයටයි. ගෙවිය යුතු මිල කුමක් වුවත් ඊශ‍්‍රායලය වෙනුවෙන් පෙනී සිටීම ඇමරිකාවේ ප‍්‍රතිපත්තියයි. ගාසා තීරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ පරිශ‍්‍රයන්ට ෂෙල් බෝම්බ වැටෙන විට ඇමරිකාව කෙළේ දියාරුවට එය හෙළාදැකීම පමණි. බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් චෝගම් සම්මන්ත‍්‍රණයේ දී ලංකාව විවේචනයට ලක්කෙළේය. ඒ, කොටින්ගෙන් ඔහුගේ පක්ෂ අරමුදලට ලැබුණු ප‍්‍රදානයන් නිසා බවට සැකයක් නැත. කෙසේ වෙතත්, බි‍්‍රතාන්‍ය විරුද්ධ පක්ෂ නායක ඬේවිඞ් මිලිබෑන්ඞ් යුදෙව් ජාතිකයෙකු වුවද, පමණ ඉක්මවා කටයුතු කරන ඊශ‍්‍රායලය ගැන විවේචනාත්මක ස්ථාවරයක් ගත් බව කිව යුතුය. ඊශ‍්‍රායල් ආණ්ඩුවේ අයුක්ති සහගත ක‍්‍රියාකලාපය සාමයට ලැදි, බුද්ධිමත් ඊශ‍්‍රායල් ජාතිකයන්මත් බොහෝ දෙනෙක් විවේචනය කරති. එසේ තිබියදී, බොදුබල සේනාවේ හැසිරීම තේරුම් ගැනීම මට අපහසු ය.

මැද පෙරදිග වෙනත් රටවල අද සිදුවෙමින් පවතින ලේ වැගිරීම් දෙස බලද්දී ලංකාවේ තත්වය එතරම් නරක නැත. තමන් විසින් මිස ලෝකයේ වෙන කිසි රටක් විසින් පිළිනොගනු ලබන ‘ඉස්ලාම් රාජ්‍යය’ නැමැති සංවිධානයක්, ඉස්ලාම් ආගමේ නාමයෙන් අද සිදු කරන සහගහන අපරාධ, නූතන යුගයේ වෙන කිසි තැනක සිදුව නැත. ඒ අතින් නරකම සංවිධානය වශයෙන් අප දැක තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. මේ ‘ඉස්ලාම් රාජ්‍යය’ මුලින් පටන්ගත්තේ සිරියාවේ විපක්ෂයේ කොටසක් වශයෙනි. එදා ඊට බටහිර බලවතුන්, විශේෂයෙන් බි‍්‍රතාන්‍යයේ ඬේව්ඞ් කැමරන්ගේ ආණ්ඩුව ආධාර කෙළේය. අඩු වශයෙන් යම් තාක් දුරකටවත් බටහිරින් ලැබුණු අවි ආයුධ බලයෙන් මේ සංවිධානය ඊළඟට ඉරාකයේ උතුරු දෙසට ගියේය. එහි දී සුන්නි නිකායික මුස්ලිම්වරුන් හැරුණු කොට අනිත් සෑම ලබ්ධිකයෙකුවම ඝාතනය කරන තැනකට ඔවුන් යොමු විය. ඔවුන්ගේ අරමුණ වුණේ, ෂරියා නීතිය යටතේ පාලනය වෙන මුස්ලිම් ආගමික රාජ්‍යයක් බිහි කිරීමයි. ඔවුන්ගේ සටන් පාඨය වුණේ, ‘එක්කෝ ආගම වෙනස් කරපල්ලා, නැත්නම් ඝාතනය වෙයල්ලා/’ යන්නයි. එය වචනයට පමණක් සීමා නොකළ ඔවුහූ ක‍්‍රියාවට ද නැංවූහ.

‘ඉස්ලාමීය රාජ්‍යය’ සංවිධානය සමන්විත වන්නේ, ඉතා උගත් එහෙත් නොමග ගිය තරුණයන්ගෙනි. (බි‍්‍රතාන්‍යයේ උපන් මුස්ලිම් ජාතිකයන් 500 ක් පමණ මේ සංවිධානය සමග කටයුතු කරතැ යි විශ්වාස කෙරේ). මෙයින් එක් අයෙක්, හත් හැවිරිදි සිය පුතාගේ පින්තූරයක් අන්තර්ජාලයට මුදා හැර තිබුණි. එම පින්තූරයෙන් දැක්වුණේ, ඉරාක ජාතික සොල්දාදුවෙකුගේ සිඳලූ හිසක් මේ කුඩා දරුවා අතින් එල්ලාගෙන සිටින දර්ශනයකි. තවත් අයව පණ පිටින් වළලන දර්ශන ද මේ සංවිධානය විසින් සමාජ මාධ්‍යවල ප‍්‍රදර්ශනය කරයි. එම දඬුවමට භාජනය වූවන් කර ඇති එකම වරද වුණේ ඔවුන් සුන්නි නිකායික මුස්ලිම්වරුන් නොවීමය/ ගැහැනුන්ව, පිරිමින්ව සහ දරුවන්ව ඔවුන් ඝාතනය කරන්නේ ආගමේ නාමයෙනි. මේවා සිදුවන්නේ ඇත්තෙන්ම 21 වැනි සියවසේ ද? වඩාත් නිවැරදිව ඒ ප‍්‍රශ්නය ගොනු කරන්නේ නම්, අප මේ සිටින්නේ මධ්‍යතන යුගයට පසුබසිමින් ද?

ඉස්ලාම් ආගම ඇති වීමටත් පෙර, පළමුවැනි සියවසේ සිටම ඉරාකයේ ජීවත්ව සිටි ක‍්‍රිස්තියානි ආගමිකයන් දස ලක්ෂයක් මේ වන විට එම සංවිධානය මගින් අවතැන් කරනු ලැබ සිටී. ක‍්‍රිස්තියානි, ෂියා මුස්ලිම් සහ යසිඩිස් ආගමිකයන් තවත් විශාල පිරිසක් තම වාසස්ථාන අතහැර ජීවිත බේරා ගැනීම සඳහා ඉතා දුෂ්කර සින්ජාල් කඳුකරයට පළා ගොස් තිබේ.

ඉරාක ජාතිකයන් 12 ලක්ෂයක් තමන්ගේම රට තුළ අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කොට ඇත. එය ඉතා අවදානම්කාරී හදිසි අවස්ථාවක් වශයෙන් ප‍්‍රකාශයට පත්කොට ඇත. එහෙත් ඕනෑම ආණ්ඩුවකට එරෙහි ඕනෑම කණ්ඩායමකට සහාය දීමට ඉදිරිපත් වන පිරිස්, මෙහිදී තමන්ගේ ගිම්හාන නිවාඩු ගත කරනු පෙනේ. ඔබාමා තමන්ගේ පයිප්ප මදින දර්ශනයක් සහ ඬේවිඞ් කැමරන් පෘතුගාලයේ මාළු වෙළඳ පොලක් නරඹන දර්ශනයක් මාධ්‍යයේ පළවිය. ඔවුන් වූ කලී, නූතන යුගයේ නීරෝලා නොවෙත්ද?

‘මහා යුද්ධය’ සඳහා හේතුපාදක වූ දේවල් යුක්ති සහගත කිරීම පහසු නැත. දෙවැනි ලෝක යුද්ධය ඇති වීමෙන් පසු, මේ ‘මහා යුද්ධය’ පළමු ලෝක යුද්ධය වශයෙන් නම් කෙරුණි. පළමු ලෝක යුද්ධයේ දී කෝටියක් ජීවිත විනාශ වුණි. දෙවැනි ලෝක යුද්ධයේ දී කෝටි පහක් ජීවිත විනාශ වුණි. නපුර යන කාරණය එහි දී වැළැක්විය නොහැකි සාධකයක් වුණා විය හැකි වෙතත්, ඒ විනාශය වළක්වා ගැනීමට එදා දේශපාලඥයන්ට ඊට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීමට නොතිබුණේ ද යන ප‍්‍රශ්නය මගේ හිතේ නැගෙයි. එම යුද්ධයේ දී තමන්ගේ න්‍යෂ්ටික බලය අත්හදා බැලීමේ අවස්ථාවක් ඇමරිකාවට ලැබුණි. ඒ යුද්ධය නිසා එක්සත් රාජධානිය බංකොලොත් වී, ඔවුන් සතුව තිබූ අධිරාජ්‍යය ද කඩා වැටුණි. වරද කාගේ වුවද, ඒ ඇති වූ මහා විනාශය විසින් යම් පාඩමක් අපට ඉතිරි කර දෙනු ඇතැ යි බලාපොරොත්තු විය හැකිව තිබුණි. සාමය සඳහා යම් ආරම්භයක් ඇති කර ගනු ඇතැ යි බලාපොරොත්තු විය හැකිව තිබුණි. එහෙත් එවැන්නක් සිදුවුණේ නැත. තවමත් අපි යුද්ධ කරමින් සිටිමු.

නිව්යෝර්ක් නුවර ද්විත්ව කුළුණුවලට එල්ල වූ ප‍්‍රහාරයෙන් පසුව ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට යාම සහ අල් කයිඩා ව්‍යාපාරය විනාශ කිරීම මට තේරුම් ගත හැකිය. එහෙත් ඒ සමගම ඉරාකයටත් කඩා වැදුණේ ඇයි ද යන්න තේරුම්ගත නොහැක්කකි. අද අපේ බොදුබල සේනාවේ තර්කය අප පිළිගන්නේ නම්, ජෝර්ජ් බුෂ්ගේ සියලූ අපරාධ අප අනුමත කළ යුතුය. මන්ද යත්, එල්.ටී.ටී.ඊ, සංවිධානය එම රටේ තහනම් කිරීම මගින් ඔහු අපට විශාල සහයෝගයක් දුන් බැවිනි. ඒ සඳහා ඔහුට ස්තුති කරන අතරේම, මේ විදිහට ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමටත් මට පුලූවන් විය යුතුය: ‘‘අද මුළු ඉරාකයම විනාශ කරන බහිරවයාව, ඉරාකයට කඩා වැදී ඔබ ලිහා දැම්මේ ඇයි?’’

ඉරාකය එසේ අස්ථාවර කිරීමෙන් පසු, ඇමරිකාවටත් එක්සත් රාජධානියටත් අද ඒ සම්බන්ධයෙන් උරදිය යුතු වගකීමක් තිබේ. එහෙත් ඔබාමා සහ කැමරන් ඒ වගකීමෙන් කරඅරිති. මුල් වැරැුද්ද කෙළේ ඔවුන්ගේ පූර්වගාමීන් වෙතත්, එය නිවැරදි කිරීමේ වගකීම ඔවුන්ට තිබේ. ‘ඉස්ලාම් රාජ්‍යය’ තමන්ගේ ආගමික අන්තවාදය සහ වෛරය පතුරුවමින් සිටින අතරේ, මේ නො-නායකයන් දෙන්නා ඒ සඳහා වන අර්ථවත් පියවර ගන්නවා වෙනුවට කරමින් සිටින්නේ පැලැස්තර ඇලවීමයි.

හුදෙක් තමන්ගේ ආගමික විශ්වාසයක් නිසා අසරණයන්ව ඝාතනය කරන ත‍්‍රස්තවාදී කල්ලියකට විරුද්ධව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය දෙයකි. මා යුද්ධයට කැමති අයෙකු නොවේ. එහෙත්, ‘ආගම වෙනස් කරපල්ලා, නැත්නම් ඝාතනය වෙයල්ලා’ යන සටන් පාඨය ඔසවන කල්ලියකට විරුද්ධව කටයුතු නොකරන නායකත්වය ගැන කම්පාවට පත්වන බි‍්‍රතාන්‍ය ජනතාවගේ බහුතරය සමග මම ද සිටිමි.

*2014 අගෝස්තු 26 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Convert or Die” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page