30 October, 2020

Blog

මරණය: එය අවසානය ද?

දොස්තරඋපුල් විජයවර්ධන

ෂ්‍යාමන් ජයසිංහ සහ ඊ.ඞී.එස්. විජේරත්න දාර්ශනිකයන් අතර මතු භවය අරභයා පැවති බුද්ධිමය සහ ශාස්ත‍්‍රීය සංවාදය දැකීමෙන් (‘දි අයිලන්ඞ්’ පුවත්පත: ජුලි 6, 12, 24)මරණය ගැන නැවත සිතන්ට මා පෙළඹුණි. මීට පෙර ලිපියකත් මා සඳහන් කොට ඇති සහ මගේ මිතුරෙකු ද යෝජනා කොට ඇති පරිදි, මේ වන විට ‘පිටවීමේ පර්යන්තයේ’ බලා සිටින මට, මරණය ගැන අළුතින් මතක් කිරීමක් අවශ්‍ය නැත. මරණ දැන්විම් කියැවීමෙන්, මගේ සගයන් පිටව යන බව මට මතක් කෙරේ. එහෙත් ඔවුන් නැවතත් මා හමුවීමට බලා සිටී ද? සමහර විට, මේ ජීවිතයේ දීම ඔවුන්ට මාව හොඳමට එපා වී තියෙන්නටත් ඇති. ඔවුන්ගෙන් සමහරෙකු ගැන මා ගුණකථන ලියා තිබේ. එහෙත් ඔවුන් වඩාත් ප‍්‍රිය කරනු ඇත්තේ මා ගැන ඔවුන්ට ලිවීමට තිබුණා නම් විය හැකියි. ඊළඟ ආත්මයේ දීවත් ඔවුන්ට ඒ අවස්ථාව උදාවේද? සමහර විට, නැත. ඇතැමුන් විශ්වාස කරන පරිදි, මරණයෙන් පසු එළැඹෙන්නේ සදාතනය නම්, එවැන්නක් සිදුවීමට පුළුවන් කමක් නැත.

වසර 47 කට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ නිරතව සිටි සහ එයින් අවසාන වසර දහය, බොහෝ පිළිකාවලටත් වඩා මරණ අනුපාතිකයක් සටහන් කෙරෙන හෘද රෝග ප‍්‍රතිකාර සඳහා කැප කළ කෙනෙකු වශයෙන්, මරණය ගැන කතා කිරීමට වෙනත් බොහෝ අයට වඩා මා සුදුස්සෙකි. මරණයක් කෙතරම් කම්පිත විය හැකි දැයි මා දැක තිබේ. එය කෙතරම් කුරිරු විය හැකි ද යන්නත්, ඇතැම් විට, කෙතරම් සහනයක් විය හැකි ද යන්නත් මා දැක තිබේ. වෛද්‍යවරුන් වශයෙන් අපේ සාර්ථකත්වය මැනෙන්නේ මරණ අනුපාතිකයේ ස්වභාවය මත නිසා, එක්තරා ආකාරයකින් අපේ සිත් තුළ මරණය හොල්මන් කරයි. ඖෂධ වර්ග, වෛද්‍ය උපකරණ සහ පරිපාටි අත්හදාබැලීම්වල අවසාන ආරම්මණයට මරණය සම්බන්ධ යි. මන්ද යත්, බාගෙවිට, එකම ‘කඨෝර’ සමාප්ත ලක්ෂ්‍යය වන්නේ එය නිසා විය හැකියි.

මරණය ගැන අපේ සිත් මොන තරම් පීඩාවෙන් බර වී ඇත් ද යත්, ජීවිතයේ නොවැළැක්විය හැකි සමාප්තිය මරණය බව අපි අමතක කරමු. මරණයට පත්වන පුද්ගලයන් ගැන තිබිය යුතු සැලකිලිමත් සාත්තුවේ වැදගත්කම අමතක කරමු. හෘද රෝගය වර්ධනය වෙද්දි අපේ උපාය මග වෙනස් විය යුතු ආකාරය ගැන මගේ රෝගීන් සමග නිදහසේ සාකච්ඡුා කිරීමට හැකියාව ලැබෙද්දී, හෘද රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම මගේ ඇස් ඇරවන අත්දැකීමක් විය. මුල දී, ජීවිතය දීර්ඝ කර ගැනීම උදෙසා ප‍්‍රතිකාර කළ ද, රෝගයේ පැහැදිළි උග‍්‍ර වීමත් සමග රෝගියාගේ සුව පහසුව සඳහාත්, ශාන්ත මරණයකට මුහුණදීම සඳහා රෝගියාව සූදානම් කිරීමත් වෙනුවෙන් ප‍්‍රතිකාර විධික‍්‍රමය වෙනස් කිරීමට අපට සිදුවෙයි. බොහෝ රෝගීන් මේ නොවැළැක්විය හැකි යථාර්ථයට මොන තරම් ධෛර්යයෙන් සහ පහන් සිතින් මුහුණදෙන්නේ ද යන්නත්, ප‍්‍රියයෙකුගේ වියෝවෙන් පසු ඔහුගේ හෝ ඇගේ ඥාතීන්ගෙන් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ලබන ප‍්‍රශංසාවන් අප සතු නිහතමානී අත්දැකීමකි.

අවුරුදු විස්සකට පමණ ඉහත දී, ලන්ඩන් නුවරට යාබද සෙල්ස්ඩන් හි පිහිටි තේම්ස් බෞද්ධ විහාරයේ උත්සවයක කතා කිරීමට නියමිතව සිටි දේශකයා නොපැමිණීම හේතුවෙන් මට දේශනයක් කිරීමට ආරාධනයක් ලැබුණු අවස්ථාවේ මා තෝරාගත්තේ මරණය නැමැති විෂයය යි. එය සභාවේ මවිතයට හේතු විය. ජීවිතයේ එකම නියතය මරණය වෙතත්, බාගෙ විට අප තුළ පවතින භීතීන් නිසා ඒ ගැන කතා කිරීමට අදිමදි කරන ගතියක් තිබේ. මළකඳක් ළඟින් නිදාගැනීමට සූදානම් කිසිවෙක් වෙත් දැ යි එම සභාවෙන් මා ප‍්‍රශ්න කරන ලදුව, අපේක්ෂිත පරිදිම, කිසි අතක් එසැවුණේ නැත. මළගිය තැනැත්තාගේ ආත්මය ඒ අවට ගැවසෙතියි යන විශ්වාසයක් ඇතොත් මිස, මළ සිරුරකින් විය හැකි හානියක් නැති බව හොඳින්ම දැනගෙනත්, අප තුළ බියක් තිබේ. හේතුව, මළගිය ප‍්‍රාණියාට වඩා අප බිය වන්නේ මරණයට වන බැවිනි. අප ප‍්‍රවේශම් විය යුත්තේ ජීවතුන් අතර සිටින්නන්ගෙනි. අර්ධ=සත්‍යයන් සහ මිථ්‍යාවන් ගැන අප ලවා විශ්වාස කැරැුවීමට බල කිරීමෙන්, කායිකව මෙන්ම මානසිකවත් අපට අනතුරු කළ හැක්කේ, ජීවතුන් අතර සිටින්නන්ට ය.

සියල්ලේ අවසානය මරණය වශයෙන් භාර ගැනීම මිනිසාට අසීරු වන්නට ඇත්තේ, මිනිස් වර්ගයා සංකල්පීයකරණය වර්ධනය කරගත් තැන් පටන් විය හැකිය. මෙතරම් සුන්දර සියල්ල හිටිහැටියේම ඉවරයක් විය හැක්කේ කෙසේද? මතු භවය හෝ සදාතනය අප සොයාගන්නට ඇත්තේ, ඒ අර්බුදයට පිළියමක් වශයෙන් වන්නට බැරි ද? එහෙත්, මතු භවයක් හෝ ඊළඟ ආත්මයක් ගැන ළතවෙනවාට වඩා, අපේ මේ ලස්සණ ග‍්‍රහලෝකය සහ එහි වෙසෙන්නන් වෙනුවෙන් යහපතක් ඉෂ්ට සිද්ධ කිරීම ගැන සිත යොමු කරමින් සිටීම ඊට වඩා හොඳ නැද්ද? කිසිවක් සන්තකයේ නැති පැවිදි ශ‍්‍රාවකයන් ඉමහත් සතුටින් වෙසෙන්නේ මන්දැ යි වරක් බුදුන් වහන්සේගෙන් කෙනෙකු ප‍්‍රශ්න කරන ලදුව, ඔවුන් අතීතය ගැනවත්, අනාගතය ගැනවත් ළත නොවී වර්තමානයේ ජීවත් වන හෙයිනැ යි උන්වහන්සේ දේශනා කළ සේක.

ආගම දහමට ලැදිව හොඳ හිතින් විත් අපේ නිවසේ දොරට තට්ටු කොට, දෙවියන් වහන්සේ ගැනත්, මෝක්ෂය ගැනත් ලියැවුණු පත‍්‍රිකා බෙදන ඇතැම් ආගමික කණ්ඩායම් බොහෝ විට අපට කරදරයකි. එහෙත් මම ඔවුන් සමග කරුණාවෙන් කතා කරමි. දෙවි කෙනෙකු ගැන විශ්වාසයක් මගේ නැති බව මා කියද්දී ඔවුන්ට එය විස්මයකි. මා විශ්වාස කරන්නේ කාවදැ යි එවිට ඔවුහූ ප‍්‍රශ්න කරති. මා ගැනම යැයි මා කී විට ඔවුහූ තවත් තිගැස්සෙති. අවසානයේ ඔවුන් යන්නේ, මගේ ආත්මය ගලවා ගැනීමට නොහැකි වීමේ කණගාටුවෙනි. මා කෙරෙහි වන ඔවුන්ගේ දයාවට මම ගරු කරමි. එහෙත්, ඔවුන්ගේ මුළාව ගැන මම අනුකම්පා කරමි.

දෙවියන් යනු, මට, නොදන්නා යමක් පැවසීම සඳහා ගැළපෙන යෙදුමකි. එහෙත් නිරන්තරයෙන් විවර වන විද්‍යාවේ දේශසීමා තුළ, එන්න එන්නම වියැකී යන ප‍්‍රපංචයකි. හින්දු ආගමේ බොහෝ දෙවිවරු සිටිත්. ඒ, බොහෝ දේවල් විද්‍යාත්මකව පැහැදිළි කළ නොහැකි වූ යුගයක උපන් දෙවිවරුන් ය. විද්‍යුත් විසර්ජනයක් හේතුවෙන් අකුණු ගහන බව සහ විදුලි කොටන බව අද අපි දනිමු. ඒ දැනුම නොතිබුණු කාලයේ එය දෙවියන්ගේ ක‍්‍රියාවක් විය. තමාගේ මුණුපුරා දවසක කොළඹ සිට ලන්ඩන් නුවරට ගුවනින් යන බව මගේ සීයාට කීවේ නම් ඔහු එය විශ්වාස නොකරනු ඇත. පැපොල සහ සරම්ප වැනි රෝග වැළඳෙන්නේ වෛරස මාර්ගයෙන් බව අද අප දැන සිටියත්, සමහරු තවමත් ඒවා හඳුන්වන්නේ ‘දෙයියන්ගේ ලෙඩ’ කියා ය.

ආගමේ නාමයෙන් මොන තරම් මොළ සේදිය හැකි ද යන්න පුදුමාකාර ය. චාර්ල්ස් ඩාවින් සහ ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් ඔප්පු කර පෙන්වන ලද, ස්වභාවික තේරීම හරහා සිදුවන පරිණාමය පිළිබඳ කාරණය මෙහි දී වැදගත් වෙයි. ඩාවින්ගේ ආගමික පසුබිම නිසා සහ ආගමේ ඉගැන්වීම්වලට තම සොයාගැනීම් පටහැනි වීම නිසා, ඔහු තමාගේ ‘සත්ව සන්තතියේ ප‍්‍රභවය’ නැමැති අග‍්‍රකෘතිය ප‍්‍රකාශයට පත්කිරීම කල් දැම්මේය. පසුව, වොලස්ගේ අධ්‍යයනය ප‍්‍රකාශයට පත්වීමත්, තම ආදරණිය දියණියගේ අභාවය නිසා ඇති වූ ඉමහත් කම්පාවෙනුත් මඩනා ලදුව, ඩාවින් ස්වකීය නවතම සොයා ගැනීම එළිදැක්වීය. ‘ප‍්‍රඥාවන්ත සැලැස්ම’ යන ආගමික ප‍්‍රතිතර්කයෙන් අද එයට දමා ගසයි.

සූර්යයා වටා පෘථුවිය කැරකෙන බව ඔප්පු කරමින්, අපේ මහන්තත්ත කම හීන කළ කොපර්නිකස් සහ ගැලීලියෝ ගැන ෂ්‍යාමන් ජයසිංහ මහතා සඳහන් කරයි. ගැලීලියෝගේ එම අපහාසය විඳ දරාගත නොහැකි වු පල්ලිය එම ‘පාපයට’ ඔහුව ජීවිතාන්තය දක්වා හිර කෙළේය: ඒ, සත්‍යය සොයා ගැනීමේ ‘පාපය’ වෙනුවෙනි.

නොමග ගිය කිහිප දෙනෙකුගේ ක‍්‍රියාවන් නිසා මෑතක සිට බුද්ධාගම විවේචනයට ලක්විම අවාසනාවකි. එසේ වුව ද, බුදුන් වහන්සේගේ දේශනා, සෑම චින්තකයෙකුටම, ආගම දහම නොඅදහන්නෙකුට වුව, ඉමහත් උත්තේජනයකි. ප‍්‍රශ්න කිරීම උන්වහන්සේ අනුදැන වදාළහ. අවබෝධයෙන් මිස යමක් නොපිළිගන්නැ යි උන්වහන්සේ දේශනා කළහ. මීට පෙර මගේ ලිපිවල සඳහන් කොට ඇති පරිදි, නැවත ඉපැදීම, දැනට පවතින පැහැදිළි කිරීමෙන් පිටස්තර වෙනත් මාර්ගවලින් නිර්වචනය කිරීමට පිළිවන් විය හැක. එය, තවම ඔප්පු කොට නැති සංකල්පයකි. එබැවින් ඒ ගැන විවෘත මනසකින් සිටීමට මම කැමැත්තෙමි.

දර්ශනවාදයේ නොව, වෛද්‍ය විද්‍යාවේ මගේ අත්දැකීම් අනුසාරයෙන්, මා මතු කළ පැනයට, එනම්, ‘‘මරණය: එය අවසානය ද?’’ යන පැනයට, මගේ පිළිතුර කුමක් ද? වර්තමාන දැනුම තුළ ඊට මට දිය හැකි හොඳම පිළිතුර වන්නේ, ‘‘මම නොදනිමි’’ ය යන්නයි. මතු ජීවිතයක් වෙතට හෝ මතු ජීවිතයක් සඳහා මම වැඩ නොකරමි. ප‍්‍රායෝගික තලයක, මගේ පවුල වෙනුවෙන්, මිතුරන් වෙනුවෙන් සහ පොදුවේ මුළු මහත් සමාජය වෙනුවෙනුත්, මට කළ හැකි හැම යහපතක්ම, ප‍්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව, මම කරමි. යම් හෙයකින් මතු භවයක් තිබුණොත්, ඒ කරන ලද යහපත් ක‍්‍රියාවන් එම භවයේ යහපත් ස්ථානයකට මාව හිමිකරුවෙකු කරනු ඇත. එය, මා අපේක්ෂා නොකරන, ‘බෝනස්’ එකකි.

*2013 ජුලි 26 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Death: Is it the End?ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඇතත් නැතත් පරලොව සුදෙනෙනි මහත
    හළොත් යෙහෙකි පවුකම් නොතබාම සිත
    ඇතැතොත් නැතැයි පවුකළ හට වෙයි විපත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත.
    වීදාගම මෛත්‍රීහිමි- ලෝවැඩ සගරාව

  • 0
    0

    ඇතොත් නැතැයි පවුකළ හට වෙයි විපත

  • 0
    0

    INTERESTING,

  • 0
    0

    Very good secular analysis. We have to thanks both Dr. Upul and Shyamen for the enlighten us.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.