26 April, 2024

Blog

යාපනය සරසවියේ ගැටුම සහ රූපවාහිණියේ වාරණය​

උවිඳු කුරුකුලසූරිය​ –

උවිඳු කුරුකුලසූරිය

උවිඳු කුරුකුලසූරිය

ඊයේ රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹුවෙමි. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුම පිළිබඳව දැනගැනීම සඳහාය​. දැන් රූපවාහිනී ප්‍රවෘත්ති විකාශණයේ කාලය වෙන කර තිබූ ප්‍රවෘත්ති මොනවාදැයි බලමු.

ප්‍රවෘත්ති පිළිවෙලින්:

1 – තුර්කියේ කුමන්ත්‍රණය – විනාඩි 3.12

2 – ලසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයා ගැන පට්ටපල් කෙබරයක් සඳහා විනාඩි 1.07 ( රූපවාහිනිය කියන්නේ ලසන්ත මියගියේ වෙඩි ප්‍රහාරයකින් බවය! ​, පොලිසිය කීවායැයි කියමින් අතඅරින දෙවැනි කෙබරය නම්, මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයවූ අවස්ථාවේදී ඔහු ගමන්කළ වාහනය පැදවූ රියදුරා පසුව පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවා ප්‍රශ්ණ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලු.!!

3 – උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහාවන මෙහෙයුම පිළිබඳව – විනාඩි 1.56

4- වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්‍ෂ විපක්‍ෂ අදහස් නැමති විශේෂාංගය – මෙය වෙන්කර තිබුණේ අත්අඩංගුවේ පසුවෙන නාමල්ගේ ප්‍රශ්ණය පිළිබඳව දේශපාලනඥයින් කියන කතාවල කෑලි ප්‍රචාරයටය – විනාඩි 2.09 ( එස්බී, ටිල්වින්, අජිත්, බිමල් රත්නායක​, යූඑන්පී මන්ත්‍රී බන්දුල ලාල් නාමල්ට විරුද්ධමත කී අතර​, මහින්ද යාපා අබේවර්ධන නාමල්ට එරෙහිව ජවිපෙ පැමිණිලි කළේ ඇයිද යන ප්‍රශ්ණය මතුකරන කොටසක් ද ඇතුල් කර තිබුණි )

5 – දරුවන් ගේ ආරක්‍ෂාව පිලිබඳව වැදගත් ප්‍රවෘත්තියක් – විනාඩි 1.30

6 – අත්‍යාවශ්‍ය ආහාර පාලන මිළ පිළිබඳව – විනාඩි 2.57

7 – පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීම – විනාඩි 1.16

8 – දේශීය පුවත් කිහිපයක් ලුහුඬින් විනාඩි 2.29 ( පිරිසිඳු පානීය ජලය ඉල්ලා තණමල්විල ජනයා කළ උද්ගෝෂණයක්, බස් අනතුරක්, ගම්පහ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් හා බැඳුනු පාරිසරික ප්‍රශ්ණ පිළිබඳ උද්ඝෝෂණය​, බෙන්තොට පාළමක් ඉඳිකිරීම පිළිබඳව කෙරෙන මාධ්‍ය ඇමතිගේ නිරීක්‍ෂණ චාරිකාවක් හා කල්පිටියේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ප්‍රශ්ණ​.)

9 – තිස්සමහරාමයේ ඉඳිකෙරෙන ශ්‍රී නරේද්‍ර මෝදි ගම්මානය හා ඉක්ටාවෙන් ලංකාව සුඛිත මුදිත වෙන ආකාරය ගැන සජිත් ප්‍රේමදාස කියන කතා – විනාඩි 1.39

10 – මාතර- බෙලිඅත්ත දුම්‍ රිය මාර්ගය ගැන නිමල් සිරිපාලගේ කතා හා ඔහුගේ චාරිකාව – විනාඩි 2.13

11 – විදෙස් පුවත් – කිසිම මූලාශ්‍රයක් නැතිව මාධ්‍යයට නිකුත්වූ දර්ශණ කියා, රූපරාමු පෙන්වමින් ප්‍රංශයේ නීස් ප්‍රහාරය පිළිබඳව විනාඩි 2.13

12 – ක්‍රීඩා පුවත් – සම්පූර්ණ කාලය විනාඩි 2.23 යි, එයින් විනාඩි 1.43ක් අකිල විරාජ් සහභාගීවූ පාසැල් වොලිබෝල් තරඟාවලිකට​, තත් 40 යක් ප්‍රථමවරට ලංකාවට රන් පදක්කම් හා වෙනත් පදක්කම් ගෙනා රුසියාවෙ පැවති තරඟාවලිකයට සහභාගීවී එන ලාංකික සිසුන් පිළිබඳව​. තත් 34ක් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එංගලන්තයේ ක්‍රිකට් තරඟයක් දිනීම පිළිබඳව.

විනාඩි 26කුත් තත්පර 56ක් වූ එම ප්‍රවෘත්ති වීකාශණයේ යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුම ගැන කිසිවක් තිබුනේ නැත​.

ඊයේ දවසේ ලංකාවේ මහජනයා දැනගැනීමට උනන්ඳුවක් දැක්වූ පුවත කුමක්ද​? එස් එම් එස්, කටකතා, ටුවිටර්, ෆේස්බුක් ආදියෙන් ප්‍රචාරයවූ මහජන අවධානය වැඩි වශයෙන්ම ඩැහැගත් සිදුවීම කුමක්ද​? කොටින්ම කිව හොත්, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති පවා ෆේස්බුක් සටහනක් යොදමින් අනෙක් අය සමඟ වාදයක පැටළුණු සිද්ධිය කුමක්ද​? ඒ පිළිබඳව සැබෑ මහජන සේවා විකාශණයක් විය යුතු ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශණයේ ඉඩක් වෙන් නොකළේ ඇයි? ජාතිවාදී ගින්නක් ඇවිලේවියයි සිතා බොරුවට “අපිට ජාතික වගකීමක්” තිබෙනවා යයි කියමින් වාරණය කළේද​? මේ අය දැනගත යුත්තේ වාරණයෙන් කිසිම සුගතියක් අත් නොවන බවය. නව මාධ්‍ය නොතිබූ කාල​යේදිවත් එයින් අත්වූ සුගතියක් නැත. ඇතිවන එකම දේනම් කටකතා, බොරු ප්‍රචාර වැඩි වැඩියෙන් පැතිර යාමය​. සැබෑ මහජන සේවා විකාශණයක් විය යුතු ජාතික රූපවාහිනියේ වගකීම විය යුත්තේ වෘත්තීයමය ලෙස සිදුවීම ඉදිරිපත් කිරීමය​.

මෙවැනි කටකතා පැතිරෙන විට මහජනයා ඒ පිළිබඳව දැන ගැනීම සඳහා යොමුවන්නේ වෘත්තීය ජනමාධ්‍ය වෙතය​, විශේෂයෙන්ම ආණ්ඩුව ඒ ගැන කියන්නේ කුමක්ද යන්න දැන ගැනීමටත් ඔවුන්ට අවශ්‍යය​.

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන ගැටුම්වාර්තාකරණය පිළිබඳ පොතක්ද ලියා ඇත​. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් රංග කළන්සූරිය​ගේ ආචාර්‍ය උපාධිය ගැටුම් වාර්තාකරණය හා ජනමාධ්‍ය සඳහා වේ. ඔහු එම ධූරය බාරගැනීමට පෙර සේවය කලේ ඉන්ටර්නැෂල් මීඩීයා සපෝර්ට් ආයතනයේය​. එම ආයතනය ගැටුම් සංවේදී ජනමාධ්‍යවේදය පිළිබඳ ලොව පුරා ජනමාධ්‍යවේද්දීන් පුහුණු කරන ආයතනයකි. එම ආයතනය මුද්‍රණය කර බෙදාහරින “ගැටුම් සංවේදී ජනමාධ්‍යවේදය – ජනමාධ්‍යවේදීන්ට අත්පොතක්” කෘතියේ පළමු පිටේ ඇත්තේ එකම එක වාක්‍ය කණ්ඩයකි. ඒ ” වෘත්තීය ජනමාධ්‍යවේදීහු ගැටුම් අවම කිරීම ස්වකීය කාර්‍යය බචට පත්කර නොගනිති. ඔවුන් ගේ ප්‍රයත්නය නම්, නැවැරදි සහ අපක්‍ෂපාතී පුවත් ඉදිරිපත් කිරීමය​. එමෙන්ම, ගැටුම් අවම වන්නේ බොහෝවිටම යහපත් වාර්තාකරණය මඟින් වීමද ඒ තරමට ම සැබෑය​.” (“Professional journalists do not set out to reduce conflict. They seek to present accurate and impartial news. But it is often through good reporting that conflict is reduced.“) යන්නය.

කණගාටුවට කරුණ නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් ප්‍රවෘත්ති නිවේදනයක්වත් නැති වීමය​​.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.