Colombo Telegraph

අර්ජුන​, එරාන්, රනිල් සහ දූෂිත​ මහ බැංකු අධිපති ගෙදර යැවූ සර් ජෝන්

උවිඳු කුරුකුලසූරිය​ –

උවිඳු කුරුකුලසූරිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් ගේ ක්‍රියා කලාපය පසුගිය අවුරුද්දේ මුල පටන් ලංකාවේ ජනයා අතර ජනප්‍රිය මාතෘකාවකි. ඒ බැඳුම්කර හෙවත් “බොන්ඩ්” නිකුතුවේදී සිදුවී ඇතැයි කියනු ලබන මහා පරිමාණ වංචා හේතු කොට ගෙනය​. “තමුසෙල බොන්ඩ් ගැන දන්නවද​? තමුසෙලා දන්නෙ ජේම්ස් බොන්ඩ්” ගැන යයි කියමින් මේ ගැන ප්‍රශ්ණ කළ තම පාර්ලිමේන්තු සගයින්ට සමච්චල් කල අගමැති රනිල් වික්‍රමසිංහ​ ඒ පිළිබඳව​ පරීක්‍ෂා කිරීමට සිය මිතුරන් ගෙන් සම්න්විත නීතිඥ කමිටුවක් දමා, “ඔහුගේ කමිටු දැමීමේ” කපටි න්‍යාය ක්‍රියාවයේ යොදවමින් ප්‍රශ්ණයෙන් පැන යන්නට උත්සාහ කළේය​. අද වනවිට “බොන්ඩ්” කෙරුවාවෙන්ම තමන් ගේ “මිස්ටර් ක්ලීන්” ලෝගුව ගැලවී යාමට​ නියමිතව තිබුනද​, මේ කෙටි සටහන ලියන මොහොතේ පවා ඔහු මහේන්ද්‍රන් ආරක්‍ෂා කිරීම නවතා දමා නැත​.

මහේන්ද්‍රන්ගේ අරාක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින අනෙක් අය ගැන මගේ කිසි ලැදියාවක් නැතත්, එරාන් වික්‍රමරත්න වැනි අවංකභාවය පිළිබඳ රටේ නමක් දරා ඇති කෙනෙකු මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටීම මා තිගැස්සීය​. මේ කෙටි සටහන ලියවෙන්නේ එම තිගැස්ම නිසාවෙනි.

රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් එරාන් පෙන්වා දුන්නේ මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඇති කිසිම චෝදනාවක් තවම ඔප්පුවී නැතිබවය​. එම නිසා ඔහු මේ මොහොතේ ඉවත් කිරීම සාධාරණ නොමැති බවය​. මෙය බැලූ බැල්මට ශක්තිමත් තර්කයක් ලෙස පෙනුනද දුර්වල තර්කයකි. චෝදනා තිබේ නම් මුලින්ම කළ යුත්තේ විභාගයක් අරඹා විභාගය අවසන් වනතෙක් වැඩ තහනම් කිරීමය​. මේ පිළිබඳ මහ බැංකු අධිපතිවරයෙක් සම්බන්ධයෙන්ම​ යහපත් පාලනය නොහොත් “යහපාලනය​” සංකල්පයක් ලෙස මෙතරම් සාකච්ඡාවට බඳුන් නොවූ කළක එක්සත් ජාතික පක්‍ෂ අගමැතිවරයෙකු යටතේම පූර්වාදර්ශයක් තිබේ.

සර් ජෝන් කොතලාවල

අගමැතිවරයෙකුගේ ජීවිත කතාව​” නමින් සිය ස්වයං චරිතාපදානය ලියූ සර් ජෝන් කොතලාවල මෙසේ ලියයි; “ලංකා මධ්‍යම බැංකුවේ පාලකයා ඉවත් කිරීම, මා අගමැති තනතුරට පත්වූ පළමුවන වර්‍ෂය තුළ දී සිදුවූ තවත් වැදගත් සිද්ධියකි. ඔහුගේ සමහර කටයුතු ගැන කොමිෂන් සභාවක් මගින් පරීක්‍ෂණයක් පවත් වන තුරු මේ නිලධාරියාගේ වැඩ තහනම් කළ යුතු බව මම යෝජනා කළෙමි. මෙය සිදුවූයේ 1954 ජූලි මාසයේ ය​. සර් ඔලිවර් ගුණතිලක ලංකාවේ ආණ්ඩුකාර තනතුරට පත්කළ යුතු බවට තීරණය කර තිබුණේ මීට මාස කීපයකට කලින් ය​. ලංකා මහ බැංකුවේ පාලකයාගේ වැඩ තහනම් කිරීමත් සමඟ සර් ඔලිවර්ගේ ගෞරවයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ද ආරම්භ විය​. කිසියම් වරදක් කළ බවට සැලකිය යුතු සාක්‍ෂි තිබේ නම් කවර තරාතිරමක නිලධාරියෙකුට වුවද විරුද්ධව කටයුතු කිරීමට මගේ පැකිලීමක් නැත​. එහෙත් උසස් තනතුරුවල සිටින, මහජන ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයින් ගේ ඇඟේ මඩ තැවරීම සඳහා ගෙන යන නිවට ව්‍යාපාරවලට අවනතව කිසිම පියවරක් ගැනීමට ලැහැස්ති නැති බව මම පැහැදිළි කළෙමි. ලංකා මහ බැංකුවේ ප්‍රධානියා ගෙන තිබුණ සමහර පියවරයවල් ගැන පරීක්‍ෂා කිරීමට කොමිෂන් සභාවක් පත්කර තුබුණ පළියට ආණ්ඩුකාර තනතුරට සර් ඔලිවර් ගේ පත්වීම පමා කරන්නේ මන්දැයි මම ප්‍රශ්ණ කළෙමි.

උසස් නිලවලට පත්වී සිටින පුද්ගලයින්ට විරුද්ධව ඉතාම දරුණු චෝදනා ඉදිරිපත් කිරීම අපේ ජනතාව අතර දක්නට තිබෙන එක් දුර්වල කමකි. එහෙත් මේ චෝදනා ඔප්පුවී කිසිවෙකු දඬුවම්වලට මුහුණ පා සිටින විට​, යුක්තිය අමතකවී අනුකම්පාව මතුවීම තවත් අපේ දුර්වලතාවයකි. ඒ නිසා සමහරවිට චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයෝ පවා එම චෝදනා ඔප්පුවීමෙන් දඬුවම් ලබන අය නිදහස් කිරීමට ද වෙහෙසෙති.

ලංකා මහ බැංකුවේ පාලකයා ගැන ද පැන නැගුනේ මෙවැනි තත්ත්වයකි. ඔහුට විරුද්ධව නොයෙකුත් කට කතා අසන්නට ලැබිණ​. මේ ගැන විමසා බලන්න්නට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ඔහුට හිතකර නොවීය​. මේබව දැනගත් රාජ නීතිඥයන් බවට පත්වී සිටි උසස් නීතීඥවේදීන් තිදෙනෙක් මා හමුවට පැමිණියාහ. තම වරදට දඬුවම් ලැබීමට යන බැංකු පාලකයා වෙනුවෙන් ඔවූහු පෙනී සිටියහ​. එහෙත් මෙදා ඔවුන් පෙනී සිටියේ ගාස්තුවක් සඳහා නොවන බව ඔවූහු පැහැදිළි කළහ​. මේ අය පැමිණ සිටියේ රට වෙනුවෙන් මගෙන් ඉල්ලීමක් කිරීමටය​. රාජ්‍ය සේවාවේ ගෞරවය සලකා කොමිෂන් සභාවේ වාර්තාව පළ නොකරන ලෙසත් මහ බැංකුවේ පාලකයා සෙවයෙන් පහ නොකර​, ඔහුට ඉල්ලා අස්වීමට ඉඩ දෙන ලෙසත් ඔවූහු ඉල්ලා සිටියහ​.

මා ඔවුන්ගේ අවවාද පිළිගත යුතුද නැද්ද යන්න ගැන මට උපදෙස් දීමට මේ නීතීඥයන් කැමති නම් ඊට ගාස්තුවක් ගෙවීමට මා ලැහැස්ති බව මම එක් නීතීඥයෙකුට කීවෙමි. එහෙත් හේ ඊට පිළිතුරක් නොදුන්නේය​. මට නීතීඥගේ උපදෙස් අනවශ්‍ය බවත්, මගේ නීතීඥයා වශයෙන් කටයුතු කිරීමට තරම් ශක්තියක් මට තිබෙන බවත් මා සඳහන් කළ විට ඔවූහු නිහඬ වූහ​. කිසියම් චෝදනාවක් ගැන කොමිෂන් සභාවක් පත්කොට කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කළායින් පසු, එය පළ නොකිරීම කොතරම් අඥාන පියවරක් දැයි මා කිව යුතු නොවේ. එවැනි පියවරක් ගැනීමට මම කිසිසේත්ම නොකැමති වීමි” ( පිටු 294, 265, 296 සහ 297)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා එන්. යූ. ජයවර්ධනය​. ඔහු හා ඔහුගේ බිරිඳ ජී. එම්. ජයවර්ධනගේ කල්ක්‍රියාවන් සයා බැලීමට පත්කළ කොමිසමෙන් වරද කරුවූ ජයවර්ධනව අගමැති සර් ජෝන් විසින් ගෙදර අරිනු ලැබීය​.

මා මීට වසර ගණනාවකත පෙර රාවය පුවත්පතට බර්නාඩ් සොයිසා ගැන ලියූ ලිපියකින් පෙන්වාදුන් පරිදි, SP XX 1954 කොමිෂන් සභා වාර්තාව අනුව බලය අයුතු ලෙස භාවිතා කරමින් තමාගේ සහ තම පවුලේ සුඛවිහරණය වෙනුවෙන් ස්වකීය තනතුර උපයෝගී කරගත් එන්.යු ජයවර්ධන ආරක්‍ෂා කිරීමට නොහැකි වුවද​, කිසිදා වැරදි, වැරදිකරුවන් ආරක්‍ෂා නොකළ සමසමාජ පක්‍ෂයටද කලු පැල්ලමක් එක්‍ කරමින් බර්නාඩ් පාර්ලිමේන්තුවේදී එන්. යූ. ආරක්‍ෂා කළේය​. ඒ කුලය හේතුවෙනි. (පක්‍ෂ භේදයකින් තොරව, බර්නාඩ් කොළඹ දුරාව කුලයේ දේශපාලන නායකයා වනවිට එම කුලයෙන් රජ්‍ය සේවයේ ඉහළම තනතුරකට පත්වූ පුද්ගලයා එන්. යූ. ජයවර්ධන විය​. එන්. යූ. පසුව දුරාවේ කුලයේ ව්‍යාපාරික පංතියේ නායකයා විය​)

මේ ආණ්ඩුව​, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ එන්. යූ. ජයවර්ධනට අත්වූ ඉරණමින් එම​ තනතුරට පත් ප්‍රථම සිංගප්පූරු ජාතිකයාවන අර්ජුන මහේන්ද්‍රන් ගලවා ගනිමින් යහපත් පාලනය පිළිබඳ සංකල්පය රටේ ජනතාව තුල විහිලුවක් බවට පත්කරයිද​? කුමන පක්‍ෂයක් රට පාලනය කලද දීර්ඝ කාළයක් “යහපත් පාලනය​” පිළිබඳ අරගල කළ ජනතාව මේ දිනවල ප්‍රශ්ණ කරනුයේ එයයි. එරාන් වික්‍රමරත්න වැන්නන් හෘදය සාක්‍ෂියට අනුව කටයුතු කළ යුත්තේ ඒ ජනතාව වෙනුවෙනි.

Back to Home page