26 April, 2024

Blog

බුද්ධිමතුන් සහ වම

පසුගිය සතියේ වාමාංශික බුද්ධිමතෙකු අපිට අහිමි විය. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මාන මහාචාර්ය රංජිත් අමරසිංහයන් ය. ශිෂ්‍යත්ව ලාභියෙකු ලෙස ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත් රංජිත්, විද්‍යාලයේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා විය. විද්‍යාලයීය ක‍්‍රිකට්, පාපන්දු සහ ශිෂ්‍ය භට කණ්ඩායම් සාමාජිකයෙකු වු ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වූ පසු එහි ක‍්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙකුු විය. එහෙත් ඔබ අප ඔහු හඳුනන්නේ ක‍්‍රීඩකයෙකු ලෙස නොවේ.
සරසවි සිසුවෙකු ලෙස ලංකා සමසමාජ පක්ෂයට බැූඳුණු රංජිත් මිය යන තුරුම පක්ෂයේ හිතවතෙකු විය. දේශපාලන විද්‍යාව හැදූෑරූ ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ආචාර්ය උපාධියට ද විෂය කරගත්තේ සමසමාජයයි. ලංකා සමසමාජ පක්ෂයේ මුල් දශක කිහිපය පිලිබඳව පර්යේෂණයක් කළ ඔහු ලාංකේය ට්‍රොට්ස්කිවාදීන්ගේ විප්ලවවාදී පරමාදර්ශය සහ පාර්ලිමේන්තු දේශපාලනය එහි මාතෘකාව කර ගත්තේ ය.

මහාචාර්ය රංජිත් අමරසිංහ

මහාචාර්ය රංජිත් අමරසිංහ

1978 ව්‍යවස්ථාව තදබල විවේචනයට ලක්කළ රංජිත් 13 වන සංශෝධනය නීතිගත වූ අවස්ථාවේ දී අනිකුත් වාමාංශිකයින් සමග එක්ව බලය බෙදා හැරීම වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ ය. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමයට සහය ලබාදුන් රංජිත් 1994-2000 කාලය තුළ පැවති බලය බෙදාහැරීම පිළිබඳ රටපුරා වූ කතිකාවට සහභාගි වෙමින් විශාල සේවයක් කළේය. 2000 ව්‍යවස්ථා කෙටුම්පතේ පූර්විකාව පිළියෙල කළ කුඩා කණ්ඩායමේ මූලිකයා වූයේ ඔහුය. 2004-2005 කාලය තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙසත් පසුව ජේ්‍යෂ්ඨ උපදේශක ලෙසත් කටයුතු කළ ඔහු 2005 ජනාධිපති වරණයත් සමගම අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්විය. සමහරවිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනවාර්ගික සාමය පිළිබඳ පසුව පැමිණි කළු වළාකුළු පිලිබඳ ඔහුට පෙර දැක්මක් තිබුණා විය හැක.

2008 වසරේ දී ජයම්පති වික‍්‍රමරත්න සහෝදරයා සමග එක්ව ව්‍යවස්ථා අධ්‍යයන ආයතනය පිහිටුවීමට මූලිකත්වය ගත්තේ රංජිත් ය. බලය බදා හැරීම පිළිබඳව එම ආයතනය විසින් රටපුරා ගෙන යන වැඩ පිළිවෙලට නායකත්වය දුන් ඔහු අගොස්්තු 01 සහ 02 දිනවල නැගෙනහිර පලාත් සභාවේ නිළධාරීන් ප‍්‍රඥාප්ති සෑදීම පිළිබඳව පුහුණු කිරීමකට යෑමට නියමව තිබුණි. එහෙත් ඊට සති දෙකකට පෙර තදබල ලෙස අසනීප වූ රංජිත් ජූලි 27 වෙනි දින අවසන් හුස්ම හෙළිය.
විශාල ශිෂ්‍ය පරම්පරාවක් බිහිකළ රංජිත් ඉහළ මහත්මා ගුණයෙන් යුතු අයෙකු විය. සරසවි ඇදුරකු වන ඔහුගේ සිසුවකු කීවේ තමන් තමාගේ පියාට වඩා රංජිත්ට ගරුකළ බව ය.

වමේ පක්ෂ වලට සම්බන්ධ වූ බොහෝ බුද්ධිමතුන් එම පක්ෂ වල මෑත ක‍්‍රියාකාරිත්වය කෙරෙහි කළකිරී මුළු වමේ ව්‍යාපාරයෙන්ම ඈත් වූහ. එහෙත් රංජිත් විවේචනාත්මකව වමේ කඳවුර තුළ නැවතී සිටියේය. සමසමාජ පක්ෂය තුළ ක‍්‍රියාත්මක වන විසම්මුතික පිරිස සමග සමීපව කටයුතු කළේ ය.

වමෙන් බුද්ධිමතුන් ඈත්වීම

රංජිත් අමරසිංහ වැන්නවුන් එසේ කළ ද බොහෝ බුද්ධිමතුන් වමේ පක්ෂ වලින් ඈත් වන්නේ ඇයි දැයි එම පක්ෂ සිතා බැලිය යුතු ය. පසුගිය සති අන්තයේ පැවති කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයට සහභාගි වූ පැරණි සාමාජිකයෙකු පැවසූවේ රටේ බුද්ධිමතුන් අතුරෙන් එක් අළුත් මුහුණක් හෝ සම්මේලනය තුළ තමන් නොදුටු බව ය. තම පක්ෂයට සම්බන්ධ බුද්ධිමතුන් පිළිබඳ දීර්ඝ කාලයක් ආඩම්බරයෙන් කථා කළ ලංකා සමසමාජ පක්ෂය තුළ අද සිටිනුයේ එකම එක් සරසවි ඇදුරෙකු පමණි.

මෙම පිරිහීමට හේතු වූ සාධක පිලිබඳව සිතා බැලීමට වමේ පක්ෂ වල නායකත්වයට උවමනාවක් මෙන්ම හැකියාවක් ද නැත. වත්මන් දේශපාලන සන්දර්භය තුළ මූලික වූ කරුණක් වන ජනාධිපති පාලන ක‍්‍රමය උදාහරණයක් ලෙස ගනිමු. වමේ නායකයින් ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම ගැන ඝෝෂා කරන නමුත් ඉතා පැහැදිළිවම තමන්ට සීමාවන් දමා ගනිති. මහින්ද රාජපක්ෂ ලවා ම ජනාධිපති ක‍්‍රමය අහෝසි කරගත යුතු යැයි ඔවුහු කියති. එසේ කරගත හැකි නම් ඒ පිළිබඳ වමේ අපිට ප‍්‍රශ්නයක් නොමැත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ඔහු ලවා එසේ කර ගැනීමට ඉඩකඩක් පවතින්නේ ද යන්න ය. වමේ පක්ෂ වල සාමාජිකයින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ රාජපක්ෂ එසේ නොකරන බව දැනදැනම වමේ නායකයින් කැමැත්තෙන්ම මිරිඟූවක් පසුපස දුවන බව ය.

මේ පිළිබඳව වමේ නායකයින් මෑතක කර ඇති ප‍්‍රකාශ අනුව පෙනී යන්නේ කුමන හෝ උප්පර වැටිටියක් මගින් රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කරගැනීමට සැරසෙන බවය. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කැපවූ පොදු අපේක්ෂකයෙකු ජයග‍්‍රහණය කළහොත් වත්මන් රෙජීමය ආරක්ෂා කිරීමට හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවීමේ අනතුර ගැන මේ නායකයෝ දැන් කථා කරති. ඔවුන් නොකියා කියන්නේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඉඩකඩක් විවෘත වන නමුත් කුමන්ත‍්‍රණයක් සිදුවීමට ඉඩ ඇති නිසා පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයට තමන් කැප නොවිය යුතු බවය! තවත් නායකයෙකු කියා ඇත්තේ පොදු අපේක්ෂකයෙකු නොව දෙවියන් ජනාධිපති වුව ද ජනාධිපති පාලන ක‍්‍රමය අත්නොහරින බව ය. එවිට ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ වමේ නායකයෙකු ජනාධිපති වූවත්, ක‍්‍රමය වෙනස් කිරීම ඔහු නොකරන්නේ ද යන්නයි.

මේ තත්ත්වයන් යටතේ බුද්ධිමතුන් වමේ පක්ෂ වලින් ඈත්වීම අරුමයක්ද?

එහෙත් කළු වලාකුළු අතර රිදී රේඛාද නැත්තේ නොවේ. මෑතක දී කොළඹ හා කළුතර පැවති සමසමාජ සම්මන්ත‍්‍රණ වලදී නායකත්වයේ පසුගාමී කථාවලට පක්ෂ සාමාජිකයින් විසින් නායකත්වයට දෙහි කැපින. නායකයෝ කෙසේ වෙතත් වමේ පක්ෂ සාමාජිකත්වයේ අතිමහත් බහුතරය සෘජු ලෙසම පාලක රෙජීමයට කිසිම අනුකූලතාවයක් දක්වන්නේ නැත. මෙයට හොඳ නිදර්ශනයක් වන්නේ පාලක රෙජීමය සමග ඉතා කිට්ටුවෙන් වැඩ කරන වෘත්තීය සමිති නායකයෙකු වන එච්. ඩබ්ලිව්. පියදාස කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයේ දී මධ්‍යම කාරක සභාවටවත් තේරී පත් නොවීමය. ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විවේචනයක සිටින රාජා උස්වැටකෙයියාව ඉහළම ඡුන්ද ලබාගත් අය අතරට පත්වීමෙන් පෙන්නුම් කරන්නේ ද එයම ය. මෙයින් පෙනී යන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී පක්ෂ නායකත්වය රෙජීමයට සහයෝගය දැක්වුවහොත් සාමාජිකත්වයේ අතිමහත් බහුතරය නායකත්වයේ ස්ථාවරයට පුතිවිරුද්ධව ක‍්‍රියා කරනු ඇති බවය.

සංස්කාරක මණ්ඩලය – වමේ වේදිකාව​

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.