24 September, 2020

Blog

18 වැනි සංශෝධනයේ රාක්ෂයෝ ශ‍්‍රී ලංකාවේ සර්වාංගය සහ ආත්මය ගිල දමති

විශ්වමිත්‍ර​1984

අවුල යනු, නිරවුල් කර නොගත් පිළිවෙල යැයි කියති. ශ‍්‍රී ලංකාවේ දැන් තිබෙන්නේ, එවැනි නිරවුල් කර නොගත් පිළිවෙලකි. ඒ අවුල්සගහත ‘පිළිවෙල’ නිරවුල් කර ගැනීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක්, බරපතල ප‍්‍රතිවිපාකවලට මුහුණදිය හැකිය. ස්වයං-වාරණයට තල්ලූ කිරීම, නිදහස් මතධාරී මාධ්‍යවේදීන් සහ නොවළහා අදහස් දක්වන විද්වතුන් බිය ගැන්වීම, වැදගැම්මක් ඇති සෑම තනතුරක්ම නෑසිය නිවටයන් සහ ගොබ්බයන්ගෙන් පුරවනු ලැබීම, ආර්ථිකය ගැන, යුද ජයග‍්‍රහණය සහ තවත් මෙකී නොකී සාර්ථකත්වයන් ගැන සත්‍යය වසං කිරීම සහ විකෘති කිරීම ආදිය තුළින් එම ප‍්‍රතිවිපාක දැක ගැනීමට තිබේ.

Mahinda Rajapaksaහිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේ සිට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියට හිරිහැර කිරීම සහ සිදුකරන ලදැ යි කියන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත සහ යාපනේ ‘උදයන්’ පුවත්පතට පහර දීමත් විසින් පෙන්වනු ලබන්නේ, විසකුරු අරමුණු පෙරදැරිව ක‍්‍රියාත්මක වන කුරිරු හස්තයක අශෝභන කතාන්තරයකි.

යටහත් ජනතාව මර්දනය කොට තබා ගැනීම සෑම ඒකාධිපතිත්වයකම අවශ්‍යතාවයි. පුරාතන රෝමයේ තොරතුරු සහ දැනුම ජනතාවට ලබා දීම පාලකයෝ සීමා කළහ. එහෙත්, පාන්, විනෝදය සහ සර්කස් ආදිය ජනතාවට සැපයූහ. අධ්‍යාපනය සීමා කෙරුණු අතර, ඕනෑම නිදහස් ප‍්‍රකාශනයක් වෙතොත් එය වාරණය කෙරුණි. මෙය, සෑම ඒකාධිපතිත්වයක් තුළම, ඉතිහාසය පුරා නැවත නැවත් අත්දැක ඇති සත්‍යයකි.

2010 ජනාධිපතිවරණයෙන් පසු ඉතා පහසුවෙන් සම්මත කරගත් දුෂ්ට 18 වැනි ව්‍යස්ථා සංශෝධනයෙන් ආරම්භ කළ ගමන, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ නිදහසේ නියත මරණය කරා නිර්බාධීව ගමන් කරමින් තිබෙන සෙයකි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ සෑම මිනිසෙකුගේම විශ්ව අයිතියක් සේ පිළිගැනේ. සියලූ සාක් රටවල්වලින් එම අයිතිය නැත්තේ භූතානයේ සහ ශ‍්‍රී ලංකාවේ පමණි. කෙටි කාලයක් හැරුණු කොට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයක් අත්දැක නැති පාකිස්තානයේ සහ 1972 තරම් මෑතක දී ගොඩනගා ගත් රාජ්‍යයක් වන බංග්ලා දේශයේ පවා එම අයිතිය ඇත. අපකීර්තිමත් දූෂණය, ඥාති සංග‍්‍රහය සහ අපචාරයන් කොතෙක් තිබියේ වී නමුත්, ඉන්දියාවට ද ආදර්ශමත් ‘තොරතුරු දැන ගැනීමේ අයිතියක්’ තිබේ. මෑතක් වන තෙක් රාජාණ්ඩු ක‍්‍රමයක් පැවති නේපාලය පවා ඒ අයිතිය ගැන අද ආඩම්බර වෙයි.

මෙහිදී ශ‍්‍රී ලංකාව පත්වන්නේ මොන තත්වයකට ද? 2011 ජුනි 21 වැනි දා පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් මේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ආ අවස්ථාවේ, ‘රට, දැය, සමය’ වෙනුවෙන් පාරම්බාන මේ රට එය වීසි කිරීමට කටයුතු කෙළේය. තවමත් ඉදිරියට ඇදෙන්නේ ඒ කණගාටුදායක ප‍්‍රතිපත්තියමයි.

දුටුගැමුණු රජුගේ විජයග‍්‍රහණයන්ගේ කීර්තිය ගැන සාඩම්බරයෙන් වණන මේ රට, පරාජයට පත් එළාර රජුගේ සොහොන ඉදිරියෙන් යද්දී ගෞරව කරන ලෙස එම රජතුමා කළ නියෝගයේ උදාරත්වය ගැන වණන මේ රට, පිරිසුදුම ථෙරවාද බුද්ධාගම ඇත්තේ තමන් ළඟ යැයි කියන මේ රට, මෙත්තා කරුණා මුදිතා සහ උපේක්ඛා යන බුදුරදුන්ගේ ධර්ම සාරය විහිදුවමින් නිල් අහස් කුසට නැගෙන මහා ස්ථූප සහ දාගැබ් ගැන ආඩම්බර වන මේ රට, සාර්වභෞමික ඉවසීම සහ පුන්‍ය ක‍්‍රියා ගැන දේශනා කරන මේ රට, ලෝක ප‍්‍රජාව අතරේ සමානත්වය ඉල්ලා විටෙක බෙරිහන් දෙන මේ රට, තමන්ගේම පුරවැසියන්ගෙන් කොටසකට සිදුකරන ලදැ යි කියන සාපරාධී ක‍්‍රියාවන් පිළිබඳ චෝදනා ලෝකයෙන් එල්ල වන විට, ආණ්ඩුවේ ප‍්‍රචාරක හෙංචයියන්ගේ කයිවාරු මැද්දේම, තක්බීරි වී සිටී. ‘රට, දැය, සමය’ යන ත‍්‍රිත්වය විසින් මුළු රටම තාප්පයකට හේත්තු කොට ඇත. එයින් ගැලවීම අතිශය දුෂ්කර විය හැකිය.

එවැනි සන්දර්භයක් තුළ, ‘තොරතුරු දැන ගැනීමේ පනතට’ ආණ්ඩුව දක්වන විරෝධය තුළ ඇත්තේ තීරණාත්මක වැදගත්කමකි. මන්ද යත්, එවැනි නීතියක හුදු පැවැත්ම විසින්ම, මහජනතාව ඉල්ලා සිටින තොරතුරු සම්පාදනය කිරීමට ආණ්ඩුවත් එහි නිලධාරී පැලැන්තියත් බැඳ තබන බැවිනි. සැපයිය හැකි තොරතුරු, අදාළ පනතේ සීමාවන්ට සහ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සීමාවන්ට පොදුවේ යටත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි පනතක් නීතිගත වීම ආණ්ඩු සභාගය විසින් අඩාල කළ නිර්ලජ්ජී ආකාරය, පාර්ලිමේන්තු ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ තරම් ය. සභානායක දිනේෂ් ගුණවර්ධන, සිය පරිවාර ‘කල්ලියේ’ ද ඝෝෂාව මැද්දේ යටිගිරියෙන් බෙරිහන් දෙමින් හැසිරුණු විලාසය කෙනෙකුගේ සිහියට නංවන්නේ, ගාල කඩා ගත් වාද්‍ය වෘන්දයකි. අයාලේ ගිය සංගීතඥයෙකි. මේ පනත හඳුන්වා දීමට ගත් ප‍්‍රයත්නය ඉදිරියේ ආණ්ඩුවෙන් ප‍්‍රකාශ වූ විසකුරු කෝපය, එම පනතේ සාරය තුළ පැවති ජීවය මෙන්ම බරසාරත්වයත් අභිබවා සිටියේය. පළපුරුදු පාර්ලිමේන්තුවාදියෙකුගේ මුද්‍රාවක් විය යුතු තීව‍්‍රතාව සහ දෘඪ උත්සාහය, එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමෙන් ද පිළිබිඹු නොවුණි. ඊටත් වඩා අබග්ගය වන්නේ, ඒ පස්සේ හඹා යාම ඉන් පසු අතහැර දැමීමයි. ජනතාවකට ලැබෙන්නේ ඔවුන්ට ගැළපෙන ආණ්ඩුවකියි කියන්නා සේ, විපක්ෂය ද ඔවුන්ට ගැළපෙන්ට ලැබී තිබීම රටේ අභාග්‍යයකි.

‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත සම්මත වීම වැළැක්වීම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් ආකාරයේම බරපතල කොඩිවිනයක් සේ ගත යුතුය. එය, නිදහසේ මිනි පෙට්ටියට ගැසූ තවත් ඇණයකි. ඉතිහාසයේ සිටි සෑම ඒකාධිපතියෙක්ම තම බලය සදාතනික වෙතැ යි සිතීය. කුමන්ත‍්‍රණ හරහා බලය පැහැර ගත්තවුන් සේම, ඡුන්දයෙන් බලයට පත්වූ පසු තමන්ව බලයට ගෙනා ජනතාවටම කොකා පෙන්නූ ඒකාධිපතියන් ද, එම බලය සදාතනික නොවෙතැ යි මොහොතකටවත් නොසිතූහ. ‘සහස‍්‍ර වර්ෂයක රාජ්‍යයක්’ සේ උඩ දැමූ හිට්ලර්ගේ පාලනය පැවතියේ 12 වසරක් පමණි.

ඊට හේතුවක් තිබේ. බලයට පත්වූ පසු මෙවැනි නායකයන් වටේ පවුරක් ඉදි වෙයි. ජනතාව එයින් බැහැර කර තැබෙයි. පිටත සිටින අයට ඇතුළේ සිදුවන්නේ කුමක් දැ යි නොපෙනෙන අතර, ඇතුළේ සිටින අයට පිටත සිදුවන්නේ කුමක් දැ යි නොපෙනෙයි. ඒ මොහොතේ මේ ගොහොරුවට බසින පණුවෝ වෙත්. රජවාසල අන්දරේලා වන් උන්, තම පටු අරමුණු සාධනයේ පරමාර්ථ පෙරදැරිව, සිය ‘ලොක්කා’ ගේ හයිය සහ මිහිරියාව මිස වෙන කිසිවක් නොදකිති. බලයේ විශ්වීය ස්වභාවය එයයි. වර්තමාන පාලකයාට එය යහමින් ඇත. නිදහසේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මරු කතරට ඇදෙන මේ ගමන බාල කර ගැනීම සඳහා ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ වැනි ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයක් වැදගත් භූමිකාවකට උරදිය හැකිව තිබුණේ ඒ තතු යටතේ ය.

පාරදෘශ්‍ය භාවය සහ වගවීමක් නැති කම සහ ඥාති සංග‍්‍රහය ආදී බොහෝ ව්‍යාධිවලින් මේ රජය පෙලෙයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යක්ෂයෝ හෙමිහිට අපේ ජාතියේ/රටේ සර්වාංගයත්, ආත්මයත් ගිල ගනිමින් සිටිත්. අවසානයේ එය විසින් ඉතිරි කරනු ලබන්නේ ඇටසැකිල්ලක් පමණි. ඇටමිදුළුවලට ද ව්‍යාධිය පැතිර ගොසිනි. නිදහස් ජනතාවක් අවසානය එන තෙක් පණ අදිති.

*2014 අගෝස්තු 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Demons Of The 18th Amendment Are Devouring Body And Soul Of Sri Lanka නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.