20 April, 2024

Blog

ජාතික හෙළ උරුමය විසඳුම නොවේ; එය ප‍්‍රශ්නයේ කොටසකි

විශ්වමිත‍්‍ර-1984

ජාතික හෙළ උරුමය සිය දීර්ඝ අඩ නින්දෙන් ඇහැරී ඇති සෙයකි. හිටිහැටියේම ආණ්ඩුවේ නරක තැන් පමණක් ඔවුන් දකින්ට පටන්ගෙන ඇත. තවමත් ඔවුහූ ඒ ආණ්ඩුවේ කොටස්කරුවෝය. බීමත් නැවියන් සේ රටේ සම්පත් කාබාසිනියා කළ ආණ්ඩුවේ අවුරුදු 11 ක්ම ඔවුහූ තැප්පෝය. එකම ප‍්‍රතිපත්ති සහ ප‍්‍රතිපදාවන් දිගටම පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නැ යි, මැතිවරණයක් මැතිවරණයක් පාසා, දේශපේ‍්‍රමයේ සහ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ නාමයෙන් ඔවුහූ ජනතාවගෙන් ඉල්ලා සිටියෝය.

Champika Ranawekaසිංහල-බෞද්ධ සාරධර්මවල ආරක්ෂකයා වශයෙන් තමන්ව හඳුන්වා ගන්නා ජාතික හෙළ උරුමයේ නායකයා පසු ගිය මාර්තුවේ, රටේ ජාතික ප‍්‍රශ්නය ගැන ලිපියක් ලීවේය. එහි දී ඔහු ඉදිරිපත් කළ තර්ක ගැන සළකා බලන විට, කෙනෙකුට පහසුවෙන් පෙනී යන නිරීක්ෂණ කිහිපයක් තිබේ. කීර්තිමත් ශ‍්‍රී ලාංකීය ඉතිහාසඥ ජී. සී. මෙන්ඩිස් සම්භාව්‍ය ඉතිහාස ලේඛන කලාව තුළ අසත්‍ය වාර්තාවක් වශයෙන් බැහැර කළ, සිය මිතුරු සිංහල රජවරුන්ව වර්ණනා කිරීමට මහාවිහාරවාසී භික්ෂූන් ලියූ ‘මහාවංශය’ මත පදනම් වෙමින්, සිංහල-බෞද්ධ ශ්‍රේෂ්ඨත්වය ඔසවා තැබෙන ඒක-පාර්ශ්වීය තර්ක හරහා ජාතික හෙළ උරුම නායකයා ඉදිරිපත් කරන්නේ, සිංහල-අධිපතිවාදී ජාතික අනන්‍යතාවකි. ඒ මගින් ජාතිවාදී සහ වර්ගවාදී ගිනි තවත් අවුළුවන අතරේ, වර්ගාන්තර සහජීවනය තව තවත් දුෂ්කර කරන්නේය.

දැන් ඔවුන් ‘ප‍්‍රකාශනයක්’ නිකුත් කොට තිබේ. එය, ඉතිහාසයේ අසාර්ථක වූ න්‍යාය පත‍්‍රවල සහ කුහක, නරුම මතිමතාන්තර එකතුවකට වැඩි දෙයක් නොවේ. ඒවා හොඳින් පරීක්ෂා කොට බැලූ විට පෙනෙන්නේ, මැතිවරණ ප‍්‍රචාරණයන්ට පහසුවෙන් හසු වන ජනතාව තවදුරටත් ගොනාට ඇන්දවීමට ඒවා ගොතා ඇති බවයි. අළුත් අදහස් කිසිවක් එහි නැත: ගත වූ වසර 11 ගැන සමා භජනය කිරීමක් එහි නැත. එහෙන් මෙහෙන් විටින් විට කොඳුරපු ඇතැම් අවස්ථා ගෙනහැර දැක්විය හැකි වෙතත්, එවැන්නක් ප‍්‍රමාණවත් නොවේ. ‘ව්‍යවස්ථාමය සංශෝධනයක් සහිත දැවැන්ත පරිවර්තනයක’ කොටසක් වශයෙන් ඉදිරිපත් කොට ඇති ඒ දේශපාලනික ලියවිල්ල වඩාත් කිට්ටු වන්නේ, පාඨකයන් නොකියවන නිසා පුස්තකාල රාක්කයක දූවිලි බැඳුණු, නීරස පොතක පරිච්ෙඡ්දයකට ය.

‘පෞද්ගලික අංශයට’ ප‍්‍රතිපක්ෂව ‘රාජ්‍ය අංශය’ තුළ කෙරෙන දැවැන්ත ආයෝජනය ඉතිහාසයේ ආපස්සට යාමකි. එසේ ආපස්සට යාම, එක තැන පල්වෙන ආර්ථිකයක විලංගු සිඳ දමා විවෘත ආර්ථිකයට දොරටු විවර කළ 1977 නිර්දය සහ ආපසු හැරවිය නොහැකි ප‍්‍රවාහය ආපසු හැරවීමට තැතනීමකි. ‘පෞද්ගලික සහ නිදහස් ව්‍යවසායේ’ ගමන ‘නියාමනය කිරීමට’ බැලීමෙන් සිදුවනු ඇත්තේ, දුක් විඳින බහුතරයේ දැඩි දුෂ්කරතා කෙටි කාලයේ දී තවත් උග‍්‍ර කිරීමත්, දීර්ඝ කාලීනව රටේ ආර්ථිකයට පිරිමැසිය නොහැකි හානියක් සිදු කිරීමත් ය. දෛනික මිනිස් ක‍්‍රියාකාරකම් සහ නිදහස් ව්‍යවසාය නියාමනය කොට පාලනය කෙරෙන යෝධ රාජ්‍ය යන්ත‍්‍රයක් නිර්මාණය කිරීම වූ කලී, ජනතාව මත දැනටත් රාජ්‍යය දරණ හෙජමොනික බලය තවත් තර කිරීමකි. එවැනි රාජ්‍ය-පාලිත ආර්ථිකයක ප‍්‍රතිවිපාක වනු ඇත්තේ, පාන් සහ පරිප්පු සඳහා දීර්ඝ පෝලිම් නැවත නිර්මාණය වීමත්, සහල් සහ අල හිඟයක් ඇති වීමත්, සේවා වියුක්තිය සහ/හෝ ඌන සේවා නියුක්තිය පෘථුල වීමත්, දුක් විඳින ජනතා අවශ්‍යතා ගැන ගානක් නැති පාලක දේශපාලඥයන්ගේ කුපිතකාරී හැසිරීම් නැවත දකින්ට ලැබීමත් ය.

එහෙත්, ජාතික හෙළ උරුමයේ නරුමවාදය සහ කුහක වත, ඕනෑම ඇසකට හසුවන තරමට, ඉතා පැහැදිළි ය: තනතුරුවල සුඛ විහරණ භුක්ති විඳිමින් අවුරුදු එකොළහක්ම මේ පාලනය සමග ඔවුන් එකගෙයි කෑ බව කවුරුත් දනිති. ඇතැම් අන්තවාදී සිංහල-බෞද්ධ කොටස් වෙනත් ආගමිකයන් ගැන බෙරිහන් දෙන විට ඔවුන් කෙළේ එක්කෝ නිශ්ශබ්දව සිටීම ය. නැත්නම්, ඒ අදහස් බොක්කෙන්ම අනුමත කිරීම ය. එයාකාරයෙන් ජනතා චින්තනයේ එක් අඳුරු මුල්ලක් ඔවුන් තමන්ට වෙන් කරගෙන ඇත.

ආණ්ඩුවේ සිටි දීර්ඝ කාලය තුළ, අස්වැසිල්ලේ කූඩුවක් ඔවුහූ සීරුවෙන් තැනූහ. දවාලට මහාවංශයේ විස්මිත කතා කියන,  දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන් ගැන වෛරී කතා වපුරන චර්යාවක් ඔවුන්ගෙන් පිළිඹිබු වුණි. දැන් එය තනියෙන් කරගෙන යා හැකි යැයි ඔවුන් සිතනවා ඇති. නැතහොත්, වෙනත් ගමන් සගයන්ගේ සහයෝගය තමන්ට එහි දි ලැබෙතැ යි ඔවුන් සිතනවා ඇති.

ඔවුන්ගේ ප‍්‍රකාශනය නිකුත් වීම සහ එය නිකුත් කිරීමේ වකවානුව තීන්දු වීම, මහින්ද රාජපක්ෂගේ ජනප‍්‍රියත්වය වියැකී යාමත්, යුද ජයග‍්‍රහණයේ සංකේත සහ සටන්පාඨවලට සිංහල ජන විඥානය තුළ පැවති ආකර්ශනය වියැකෙමින් පැවතීමත් සමග අගේට සමපාත වෙයි. ආණ්ඩුවේ අපේක්ෂකයෙකු සඳහා ස්වභාවයෙන්ම පාවිච්චි විය හැකි යම් ඡන්ද ප‍්‍රතිශතයක්, සිංහල බහුතරයේ අන්තවාදී කොටස්වල සහයෝගයෙන් සහ සමහර විට ජනතා විමුක්ති පෙරමුණේ අනියම් අනුමැතියෙන් ද යුතුව තමන්ට ලබාගත හැකි වෙතැයි ඔවුන් ගණන් බලනවා විය හැකිය. මහින්ද රාජපක්ෂට තුන්වැනි වරටත් තරග කළ හැකි වෙයි නම් සහ විපක්ෂය ‘පොදු අපේක්ෂකයෙකු’ ඉදිරිපත් කිරීමට එකඟව ඒ සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට අපොහොසත් වෙයි නම්, තමන්ගේ නායකයාව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අරමුණ විය හැකිය.

ඊයේ පෙරෙයිදා රටේ ප‍්‍රසිද්ධියට පත් මෙවැනි දේශපාලඥයන් යම් දවසක තමන් රටටම නායකත්වය සැපයීමට සුදුස්සන් වෙතැ යි සිතන බව රහසක් නොවේ. රටේ ජනාධිපති වීමට මෙසේ සිහින දකින අයවළුන්ගේ දීර්ඝ නම් වැල මා සඳහන් කළොත්, ඇත්තෙන්ම පිස්සු කාටදැ යි පාඨකයා සිතනු ඇත: මට ද, නැත්නම් අර ‘සිහින දකින්නන්ට ද?’ මේ ‘දවල් හීන දකින්නන්’ ගැන බලන විට, තමන්ගේ ‘ප‍්‍රකාශනයක්’ නිකුත් කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කිරීමත්, ඒ සමගම මහාවංශයේ පණිවිඩය ජීවමාන කරන දේව දූතයා තමා බව රට්ටුන්ට පෙන්වීමට තැතනීමත්, පරිස්සමින් සැලසුම් කළ උපාය මාර්ගයක් වෙතත් එය කෙළවර වනු ඇත්තේ අසාර්ථකත්වයකිනි. හේතුව, සුළුතර ප‍්‍රජාවන් අතර විශ්වාසය ඔවුන් අහිමි කරගෙන ඇති හෙයිනි. ඇත්තෙන්ම, ඔවුන් රැුඳෙන්නේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනස් අනන්‍යතාවක් සොයමින් සිටින, ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයන් වන, සිංහල-බෞද්ධ ජන කොටස් මත ය. රනිල් වික‍්‍රමසිංහගේ අපකීර්තිමත් සටන් විරාම ගිවිසුම හඳුන්වා දීමත් සමග, එතෙක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාවිච්චි කරමින් සිටි මේ ආන්තික කොටස්, හෙළ උරුමය වටා රොක් වූහ.

ජාතික හෙළ උරුමය යනු, මූලික වශයෙන් ගත් විට, රට මුහුණදී සිටින ප‍්‍රශ්නයේ ක්ෂුද්‍ර ප‍්‍රකාශනයකි. ඔවුන්ගේ පුවත්පත් නිවේදන සහ වෙනත් ප‍්‍රකාශන කියවන විට, පසුගිය දශකයක තරම් කාලයක් තිස්සේ මේ පක්ෂය දැරූ තේරුමක් නැති මතිමතාන්තර සහ ඔවුන් තුළ කාවැදී ඇති අගතීන් කෙනෙකුට වහා වැටහෙයි. ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් අලංකාර කෙරෙන්නේ, අනන්තවත් ව්‍යාජ දේශපේ‍්‍රමීන් කාලයක් තිස්සේ වැමෑරූ හිස් වාගාලාපවලිනි.

ජාතික හෙළ උරුමයේ මූලික පදනම හෙවත් පදනමක් නැති කම තුළ ඇති විශාල වැරැුද්ද වන්නේ, උතුරේ සහ නැගෙනහිර දෙමළ වැසියාට හිමි තැන නොපිළිගැනීමයි. ඔවුන්ගේ ප‍්‍රචාරණයේ කිසි තැනක දෙමළ ජනයා සඳහා වන සමාන අයිතීන් ගැන කතා කෙරෙන්නේ නැත. නිදහසේ පටන් බලයට පත්වු සිංහල-බෞද්ධ පාලකයන් විසින් දෙමළ ජනතාවට කරන ලද ඓතිහාසික අවමාන ගැන කිසි තැනක කියැවෙන්නේ නැත. එම ජනතාව එක දිගටම වාසය කොට ඇත්තේ නිරන්තර පිටමං කිරීමක ය. එය, පක්ෂයක නොදැනුම නිසා සිදුවන්නක් නම් සමාව දිය හැකිය. එහෙත්, එවැනි ප‍්‍රතිපත්තියක් නිර්මාණය වන්නේ, මනාව සැලසුම් කළ උපාය මාර්ගික ප‍්‍රතිපත්තියක් වශයෙන් නම්, එය ඉතා අනතුරුදායක ය. විපත්තිදායක ය.

*2014 සැප්තැම්බර් 10 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවු JHU Is Not The Solution…It Is Part Of The Problem නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    JHU and before that HU were both problems even though most Sinhala Academics thought they can provide a good solution. When HU under Karunarathne contested I told and wrote HU will not get even ONE seat on their own but will get a seat most probably with “manage”. Champaka is the big problem for the JHU and a person who treated his wife and two daughters in a ver distasteful manner may not be able to solve the problems ordinary Sinhala Buddhist and others face in the present time.
    Champaka is very ambitious to climbe the ladder, but he has a habit to kick the ladder after he reach the top. If he and the JHU Monks think about Buddhist and other people they should have gone for the Anti- Conversion Act and when they failed should have left the government of Mahinda Rajapaksa without allowing him to pass the 18th Amendment.
    He is another JOCKERS like Mahinda Rajapaksa?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.