21 January, 2022

Blog

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යා යුත්තේ ඇයි?

ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ශ්‍රී ලංකා මහා බැංකුවට හා රජයට මහාචාර්ය අතුකෝරලයන් ඉතා පැහැදිලි පණිවිඩයක් දී ඇත. එනම්, දීර්ඝ කාලයක් පුරාවට අප ආර්ථිකයේ නිධන්ගත රෝගාබාධ සමනය කිරීමට තාවකාලික පැලැස්තර විසඳුම් ලබා දීම වෙනුවට දූරදර්ශී හා ස්ථිරසාර ක්‍රමවේදයන් තුළින් මෙම අර්බුද ජය ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

මාගේ මතයට අනුව රජයට මෙම අවස්ථාවේ ඇති උචිතම විකල්පය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය පැතීමයි. නමුත් මේ සඳහා අප දැන් ප්‍රමාදයි.

ආර්ථිකය මියයමින් සිටින මොහොතක නවෝත්පාදන පිළිබඳව සිතීමෙන් පලක් නැත

ශ්‍රී ලංකා හරිත විශ්ව විද්‍යාලය, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (National School of Business Management – NSBM) මගින් සංවිධානය කරන ලද ‘ව්‍යාපාර නවෝත්පාදන‘ පිළිබඳ අන්තර්ජාතික සමුළුව (International Conference on Business Innovation) අමතමින් ඒ මහතා අදහස් දැක්විය. ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ප්‍රේම චන්ද්‍ර අතුකෝරල මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත දැඩි අනතුරු ඇඟවීමක් එල්ල කිරීමක් මෙහිදී සිදු කළේය.

අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, වර්තමානයේ ශ්‍රී ලංකාව අත්විඳිමින් සිටින්නේ එදා මෙදා තුර ඉතිහාසයේ රටක් ලෙස මුහුණදුන් දරුණුතම විදේශ විනිමය අර්බුදයට බවයි. මෙකී ගැටලුවට දේශීය විසඳුමක් නොමැති බවත් ඇති එකම මාර්ගය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය පැතීම බවත් ඔහු පෙන්වාදුනි. සමුළුවේ තේමාව ව්‍යාපාර නවෝත්පාදනය වුවද අප රට මුහුණ දෙමින් සිටින විශාල විදේශ විනිමය අර්බුදය හමුවේ මෙකී නවෝත්පාදනයන් ගැන කතා කිරීම පවා අරුත්සුන් කර්තව්‍යයකි. මෙම තත්වය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මෙමගින් පැන නගින බලපෑම් සුනාමි රළපහරක් ලෙස අප මූල්‍ය පද්ධතිය සුනුවිසුනු කරනු ඇත. මෙම තත්වය උපමාවකින් දක්වන්නේ නම් එය හරියට රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබන රෝගියෙකුට ව්‍යායාම සිදුකර හොඳ සෞඛ්‍ය පුරුදු ඉගැන්වීම බඳුය. සිදු කළ යුත්තේ එම රෝගියා කුමන හෝ වෑයමක් දරා මරණයෙන් බේරා ගැනීම නොවේද ?

අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අසතුට

වත්මන් රජය බලයට පැමිණි දින සිට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඔවුන්ගේ නිර්ධය ප්‍රතික්ෂේප කිරීමට ලක්විය. රජයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ සැබෑ ලෙසම නිරතවූ බලධාරියාවන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු වලට අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යාම විකල්පයක් නොවන බව පැවසීය. නමුත් පසුව ඔහුගේ දැඩි ස්ථාවරය වෙනස් කරමින් පවසා සිටියේ අප රට ක්‍රමවත් ප්‍රතිසංස්කරණ සැලසුමක් සකසා ගතහොත් ශ්‍රී ලංකාවේ අර්බුදයට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් විසඳුම් ලබා ගත හැකි බවත්ය. ඔහුගේ ස්ථාවරයන්හි වෙනස්වීම පිළිඹිබු කරන්නේ අර්බුදයේ උග්‍රඵලයන්ට නුදුරු අනාගතයේදී අපට මුහුණ දීමට සිදුවන බවයි.

කෙසේවුවත්, මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවමත් සිටින්නේ දේශීය ආර්ථික වැඩපිළිවෙලක් මගින්ම පමණක් අපගේ ආර්ථිකය මෙම ව්‍යාධියෙන් ගොඩගත හැකිය යන ස්ථාවරයේය. ඔහු විසින් ඔක්තෝම්බර් 1 වනදා ප්‍රකාශයට පත් කරන ලද මාර්ගගත සිතියමට අනුව වර්තමානයේ අප රට මුහුණ දෙමින් සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදයෙන් මිදීම සඳහා මිත්‍රශීලි විදෙස් මහා බැංකු වෙතින් වන ලැබීම්, දේශීය සම්පත් විදේශිකයන්ට විකිණීම, විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව සිදුකරන ප්‍රේෂණ ලැබීම් සහ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම යන කරුණු හුවා දක්වා ඇත.

නමුත් මේවා යථාර්ථයක් වී නොමැත, ඔහු තවමත් විශ්වාස කරන්නේ දැඩි සත්කාර අංශයේ මියැදෙමින් සිටින රෝගියා බේරා ගැනීමට දේශීය යාන්ත්‍රණයක් සහිත වැඩපිළිවෙළකට හැකි බවයි. මහාචාර්ය අතුකෝරලයන්ගේ රෝග විනිශ්චයට අනුව ආර්ථික රෝග මූලයන්ට දිගු කාලීන ස්ථිරසාර ප්‍රතිකාර කරනවා වෙනුවට මෙම දේශීය විසඳුම් තාවකාලිකව අප රට දැවෙන ගින්නෙන් මුදවා ගැනීමට පමණක් සිදු වනු ඇත.

විදේශ විනිමය අර්බුදයට හේතුව කෝවිඩ්-19ම පමණක් නොවේ

බහුතර විශ්වාසය නම් මෙම විදේශ විනිමය ගැටලුව 2020 වසරේ අප රටට බරපතල බලපෑම් එල්ල කරමින් ව්‍යාප්ත වූ කෝවිඩ් 19 රෝග තත්වය නිසා උද්ගතවූවක් බවයි නමුත් එය එසේ නොවන බව අතුකෝරල මහතා පෙන්වා දෙයි. මේ අර්බුදකාරී තත්වය 2013 පටන් අද දක්වා ගලා එයි. ශ්‍රී ලංකා ආර්ථික දේහයට වැළඳී ඇති බරපතල රෝගී තත්වය නිසාම එහි ප්‍රතිශක්තිය පිරිහීමට ලක් වී අතිශය අසාධ්‍ය අවදානම්කාරී මට්ටමකට ළඟා වෙමින් පවතී.

ශක්‍යතාවයක් සහිත ආර්ථිකයන් සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් මෙන් වසංගතයෙන් අසීරුවෙන් හෝ ගොඩ ඒමට සමත්වී ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයේ දරා ගැනීමේ හැකියාව පැවතුනා නම් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් උදාවී ඇති අසීරුතාවය මෙතරම් උග්‍ර නොවීමට ඉඩ තිබුණි. කෙටි කාලීන ආර්ථික පැලැස්තර මගින් ආර්ථිකයේ රෝගීභාවය සැඟවිය හැකි වුවද අනාගතයේදී රෝගය අසාධ්‍ය වීම වැළක්විය නොහැක. එබැවින් රෝගයට තිරසාර ප්‍රතිකාර ලබා දීම අනිවාර්ය බව අතුකෝරල මහතාගේ අදහසයි.

අර්බුදයේ මූල බීජයන් නිදහස දිනාගත් දවසේ සිටම වපුරා ඇත

1948 නිදහස ලබා ගැනීමෙන් පසු සිටම පැවති ආණ්ඩු තමනට ජනතාව පැවරූ මූල්‍ය බලතල අවුල් ජාලාවක් බවට පත් කරමින් දේශීය ආර්ථිකය අසමතුලිත කළ අතර එහි ප්‍රතිබිම්බය බාහිර ආර්ථිකය තුළද මැනවින් නිරුපණය වී ඇත. මෙම තත්වය අතුකෝරල මහතා ආර්ථික විද්‍යානුකුලව විස්තර කළ අතර එය සරල කතාවක් ඇසුරින් මෙසේ විස්තර කළ හැක.

ගුණපාලගේ පවුල බිරිඳ දරු දෙදෙනා සමග 4කි. ඔවුනට දෙමාපිය උරුමයෙන් තරමක වත්කමක් පැවති අතර දරු දෙදෙනා ඉගෙනුම ලබමින් මෙම දෙපළගෙන් යැපෙයි. ගුණපාල හා බිරිඳ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර ආදායම් ඉපයුවද වියදම ආදායමට වඩා වැඩි බැවින් දෙමාපිය උරුමයෙන් ලද මුදල්ද භාවිත කිරීමෙන් පවුලේ අයවැය සමපාත කර ගත්තේය. ටික කාලයක් ගතවීමත් සමග උරුමයෙන් ලද මුදල් වියදම් වී ගිය බැවින් ගෘහ ආර්ථිකය පවත්වා ගැනීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් ණය ලබා ගෙන වියදම සහ ආදායම අතර වෙනස පියවා ගත්තේය. ටික කලක් යනවිට ගුණපාලගේ පවුල ණය කන්දකට උරුමකම් පෑවෝය. දැන් ඔවුන්ගේ තත්වය කුමක්ද ? පවුල තුළ ජනනය කරන ආදායමට වඩා වැඩි වියදමක් ඇතිවන නිසා අභ්‍යන්තර අසමතුලිතතාවයක් ඇතිවේ. මෙනිසා බාහිරව ද ආර්ථිකමය අස්ථාවරභාවයක් ජනිත වේ. ක්‍රමයෙන් බාහිර ණය ප්‍රමාණය උග්‍ර අර්බුදකාරී තත්වයට ළඟා වේ. ලබා ගෙන ඇති ණය ගෙවීමට නැවත ණය ගැනීමට ඔවුන්ට සිදු වේ. කලට වේලාවට මෙම ණය ගෙවා දැමීමට අපොහොසත් වන ගුණපාල පවුල ණය ගෙවීම පැහැර හැරීමේ අවස්ථාවට එළඹීම නිතැතින්ම සිදු වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අද සිදුව ඇත්තේද​ ඉහත සඳහන් සිද්ධියට සමාන තත්වයකි. පශ්චාත් නිදහස් කාල සීමාව පුරාවට අප රට නිෂ්පාදනය කරනවාට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කර ඇත. අභ්‍යන්තරිකව මෙහි පීඩනය උකහා ගැනීමට රට අපොහොසත් විය. මෙම අවාසි සහගත පරතරය අපගේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයට වාර්ෂිකව බලපා ඇත. මෙකී ද්විත්ව හිඟයන් එකිනෙකාගේ ප්‍රතිභිම්බයන්වේ. මෙයට වගකිවයුතුතේ අපගේ රාජ්‍ය අංශයද ? පෞද්ගලික අංශයද ?

අතුකෝරල මහතා පෙන්වා දෙන පරිදි පෞද්ගලික අංශයේ නිෂ්පාදිතය ඔවුන්ගේ පරිභෝජනයට වඩා වැඩි බැවින් අතිරික්තයක් වාර්තා කරයි. රාජ්‍ය අංශයේ අදයමට වඩා වියදම වැඩි වී හිඟයක් නිර්මාණය කරන බැවින් පෞද්ගලික අංශයෙන් වාර්තා කරන අතිරික්තයෙන් කොටසක්ද කා දමයි. එබැවින් ගෙවුම් ශේෂයේ හිඟයට හේතු පාදක වූයේ කලින් කලට බලයට පත්වු ආණ්ඩු විසින් අනුගමනය කරනා ලද විනාශකාරී රාජ්‍ය මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති බව පැහැදිලි වේ. එනිසා මෙම ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳීමට නම් පැලැස්තර විසඳුම් වෙනුවට අර්බුදයට හේතු පාදකවූ රාජ්‍ය සහ බදු ප්‍රතිපත්ති වල ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතුව ඇත. මෙම අවශ්‍යතාවය නොසලකාහරින තාක්කල් ශ්‍රී ලංකාව මෙම ගෙවුම් ශේෂ අර්බුදයෙන් පීඩා විඳිනු ඇති බව මහාචාර්ය අතුකෝරලයන් පෙන්වා දෙයි.

ඉන්දීය අර්ථශාස්ත්‍ර බී.ආර්. ෂෙනෝයි ජේ.ආර්. ජයවර්ධන මහතාට දුන් උපදේශය

අප අත්දකින අර්බුදය මීට පෙරද ආර්ථික විද්‍යාඥයන් අත්දැක තිබුණි. 1966 වසරේදී ශ්‍රී ලංකාව මෙවැනිම බරපතල ගෙවුම් ශේෂය කේන්ද්‍ර වූ සහ මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් සහිත මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුව සතු ශුද්ධ විදේශ සංචිත ඍණ අගයක් ගත් අවස්ථාවේ ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව එවක ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්දීය අර්ථ ශාස්ත්‍රඥය බී.ආර්. ෂෙනෝයි මහතාගේ උපදෙස් පැතීය. මෙම ෂෙනෝයි වාර්තාවේ කරුණු හා එහි ක්‍රියාත්මක වීම අඩාල කිරීම පිළිබඳව අතුකෝරලයන්ගේ අදහස් දැක්වීම මෙම​ යොමුව මගින් කියවීමට හැක

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය බරපතල ප්‍රශ්න ත්‍රිත්වයකින් පෙළෙයි. ඒවා නම්, අඩු නිෂ්පාදනය, ඉහළ යන මිල මට්ටම් සහ ගෙවුම් ශේෂ හිඟයයි. මහාචාර්ය අතුකෝරලයන් අභ්‍යන්තර හා බාහිර අසමතුලිතතාවයන් ලෙස හඳුන්වා දුන්නේ ද මෙකී කරුණුයි. ෂෙනෝයි ─ ජේ.ආර්. ජයවර්ධනයන්ට පැවසුවේ මෙම ගැටලු හඳුනා ගැනීම රෝගයෙන් සුවවීමට මංපෙත් විවර කිරීමක් බවත් සම්පූර්ණ සුවය ලැබීමට නම් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාවට නැංවිය යුතු බවත්ය.

50 – 60 දශකවලද අප ආර්ථිකය වූයේ දැඩි අර්බුදයකයි

ෂෙනෝයිට අනුව 1960-65 කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වූයේ 2%කට අඩු ප්‍රමාණයකින් වන අතර ජනගහන වර්ධන වේගය 2.7%ක් විය. ඒක පුද්ගල ආදායම ක්‍රමයෙන් අඩුවන ප්‍රවනතාවයක් දිස්විය. මෙම කෘශ ආර්ථික වර්ධන වේගයේදී වුවද සමාජයේ ඉහළ ස්ථරවල වැජඹෙන්නන්ගේ ජීවිත වල සුඛිත මුදිතභාවය එලෙසම පවත්වාගෙන යාමට කිසිඳු බාධාවක් නොවීය. අනෙක් පැත්තෙන් අඩු ආදායම් ලබන බහුතරයකගේ ජීවන තත්වය සංඛ්‍යාලේඛන වලින් පෙන්වන තත්වයට වඩා පහළට වැටී තිබුණි. ඔහුගේ විග්‍රහය වූයේ මෙලෙස ආදායම් බෙදීයාමේ විෂමතාවය වැඩිවීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක ඉතා බරපතල කරුණක් බවයි. විශේෂයෙන්ම පාලක පක්ෂයේ දුර්වලතාවයන් පෙන්වා බලයට පැමිණීමට වෑයම් කරන විපක්ෂයක් සහිත හා සමාන ශක්තියකින් යුතු ද්වී පක්ෂ පාලනයක් සහිත රටක මෙම තත්වය අනර්ථකාරී ප්‍රතිපල ගෙන එන බවයි. ඔහුගේ මතයට අනුව බහුතරයකගේ ජීවන තත්වයේ පහත වැටීම නැවත්වීමටත් එම තත්වය ආපස්සට හැරවීමටත් බරපතල ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතු බවත්ය. තම මතවාදය එළි දැක්වීමේදී ෂෙනෝයි අනාගත වකෘත්වරයෙකදැයි සිතෙන්නේ 1971 තරුණ කැරැල්ල ඇති වීමට පසුබිම දුටු විටය. එවක දේශපාලකයන් ෂෙනෝයිගේ අවවාද තැකීමකට ගත්තේ නම් දහස් ගණනක් තරුණ ජිවිත විනාශවී ලේ ගංගාවකින් කෙළවර වූ කැරැල්ලක් ඇති නොවන්නට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික මිල දර්ශකය ද ජනතාව නොමග යවන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හඳුන්වාදුන් පාලන මිල නිසා මෙම දර්ශකය නිරූපණය කරන අගය නිවැරදි නොවන බව අතුකෝරල මහතා පෙන්වීය. ඔහු පෙන්වා දුන්නේ ආර්ථිකයට උද්ධමනය නිසා ඇතිවී තිබෙන පීඩනය ඉවත් කිරීමට නම් රජය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යායුතු බවයි.

දේශීය ඉතුරුම් හිඟය හා උද්ධමන පීඩනය යන නපුරු බලවේග දෙක පරාජය කිරීමට නම් ආදායම් සහ වියදම් සමපාත වන්නාවූ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. රාජ්‍ය ආදායම් වියදම් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනකට නොයා මෙකී ගැටලු විසඳීමට යෑම ගං වතුර පාලනයට ඇළ මාර්ග ඔස්සේ ගලන ජලය පරිමාව පාලනය කිරීමක් වැනිය. රෝග මූලයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමෙන් පලක් නැත.

විදේශ අරමුදල් විදේශ විනිමය උත්පාදනය කරන නිෂ්පාදනවල ආයෝජනය කිරීම

අතුකෝරල මහතාට පවසන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයක් පැවතීම රටකට අනර්ථකාරී නොවන බවයි. මෙමගින් දේශීය ඉතුරුම් හා ආයෝජන අතර පරතරය පියවා ගැනීම වෙනුවෙන් විදේශ ඉතුරුම් අද්දවා ගැනීමේ අවස්ථාව රටකට හිමි වේ. විදේශ ණය වේවා ඍජු ආයෝජන වේවා කුමක් වුවත් විදේශවලට පෙරලා අලෙවි කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ආයෝජනය කළ යුතුය. එනම් මෙම මුදල් විදේශ විනිමය ඉපයීමේ පරමාර්ථය පෙරදැරි කරගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගත යුතුය. ඔස්ට්‍රේලියාවේ වසර සියයකට වඩා තම ජංගම ගිණුමේ හිඟයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිඟය පියවා ගැනීමට ලබා ගත් ණය සහ විදේශ ආයෝජන විදේශ වෙළඳපල ඉලක්ක කළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගත් බැවින් ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය ඔවුන්ට බලපා නොමැත. ශ්‍රී ලංකාව විදේශ ඉතුරුම් බහුලව ලබා ගෙන ඇත්තේ ණය වශයෙන් වන අතර ඒවාද අයෝජයනය කර ඇත්තේ විදේශ විනිමය උපයන කර්මාන්තයන්හි නොවේ.

නොමග යවනසුළු සංඛ්‍යා ලේඛන විජ්ජා

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදු කර ඇති නොමග යවනසුළු සංඛ්‍යා ලේඛන අර්ථ ගැන්වීම් යුගලයක් පිළිබඳව අතුකෝරල මහතා පෙන්වා දෙයි. පළමුවැන්න ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ජාත්‍යන්තර බැඳුම්කර වල වෙළඳ වටිනාකම පහත වැටී ඇති බැවින් මුහුණත වටිනාකම වෙනුවට වෙළඳ වටිනාකම පෙන්වීම හා දෙවැන්න දේශීය ආයතන ලබාගෙන ඇති ස්වෛරී බැඳුම්කර විදේශීය ණය ලෙස නොපෙන්වා දේශීය ණය ලෙස අර්ථ ගැන්වීමයි. මෙම වැරදි අර්ථ ගැන්වීම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙවීමට ඇති ණය ප්‍රමාණය අඩු තක්සේරුවකට ලක්කර ඇති අතර විදේශීය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ (මෑතකාලීනව අපගේ ආර්ථිකයේ වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ විදේශ විනිමය නොඋපදවන භාණ්ඩ හා සේවා වේ) ප්‍රතිශතයක් ලෙස පහළ අගයක් ගන්නා බව මහා බැංකුව ලොවට පෙන්වා ඇත.

අතුකෝරලයන්ට අනුව වඩාත් උචිත වනුයේ විදේශ ණය ප්‍රමාණය අපනයනයන්හි වටිනාකමෙන් ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. ඒ අනුව රාජ්‍ය ණය අපනයන ආදායම මෙන් 3 1/2 (තුනහමාරක්) ගුණයක් වන අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විදේශ ණය අපනයන ආදායම මෙන් 5 1/2 (පහමාරක්) ගුණයකි. මෙම අගයයන් අතිශය ඉහළ මට්ටම් වන අතර ඉතා අඩු සම්පත් ප්‍රමාණයක් කාර්යක්ෂමව භාවිත කිරීමට මෙය බාධාවකි.

යෙදවුම් ආනයන තහනම සහ නිෂ්පාදිතය අහිමිවීම

ශ්‍රී ලංකා මහා බැංකුව මෑතදී ගෙනෙන ලද යෝජනා පැලැස්තර විසඳුම් මිස දිගුකාලීන ස්ථිරසාර ප්‍රතිකර්ම නොවේ. උදාහරණයක් ලෙස විධිමත් අධ්‍යයනයකින් තොරව තෝරාගත් භාණ්ඩ රාශියක් සඳහා ආනයන සීමා පැනවීම මගින් ජනතාව සහ ආර්ථිකය අනේකවිධ දුෂ්කරතා වලට ලක්විය. මෙම භාණ්ඩ ලැයිස්තුගත කරන විට ඒවාට ආදේශ කළ හැකි භාණ්ඩ පිළිබඳ සැලකිල්ලක් දක්වා නොමැති බැවින් දේශීය සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇත. රසායනික පොහොර සහ කෘමිනාශක තහනම් කිරීමේදී කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රධාන යෙදවුම් අයිතම දෙක වන භුමිය හා ශ්‍රමය ඵලදායී ලෙස යොදවා ගන්නේ කෙසේද කියා සලකා බලා නොමැත එනිසා කෘෂි නිෂ්පාදනය අඩුවී ඇත.

පැස්බර සෙල්ලම් නැවත්වීමට කාලයයි

රජය මුලසිටම පැවසුවේ රටේ ආර්ථිකයේ අර්බුදයක් නොමැති බවයි. අතුකෝරලයන් මෙම ක්‍රියාකලාපයන් සමාන කරන්නේ පැස්බරෙකු කරදරයක් එනු දුටු විට සිය හිස වැල්ලේ සඟවා ගැනීමටයි පැස්බරා සිතන්නේ තමන්ට උවදුර නොපෙනෙන ලෙසට අවට සිටින්නන්ටද එය නොපෙනෙනු ඇති කියායි නමුත් මේ දුර්වලතාවයන් ලෝකයට විද්‍යාමාන වී හමාරයි. එනිසා දැන්වත් මෙම සෙල්ලම් නැවැත්විය යුතු බව අතුකෝරල මහතා අවධාරණය කරයි.

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අප ප්‍රමාද වැඩියි

“අතුකෝරල මහතා ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකා මහා බැංකුවට ලබා දෙන පණිවිඩය ඉතා පැහැදිලියි. චිරාත් කාලයක සිට පැලපදියම් වී ඇති ආර්ථික ගැටලු විසඳීමට තාවකාලික පිළියම් වෙනුවට තිරසාර විසඳුම් ලබා දීමට බලධරයන් උත්සුක විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට ලබා ගැනීම මේ අවස්ථාවේ අපට ඇති හොඳම විකල්පය වුවද එම විකල්පය වෙත යාමට අප දැන් ප්‍රමාද බව මගේ අදහසයි.”

*ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාගේ ඉංග්‍රීසී ලිපියෙහි සිංහල අනුවාදය යි. සැකසුම මිලින්ද පීරිස් හා සුනිල් චන්ද්‍රසිරි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    බලයේ සිටින වත්මන් මිනිසුන් සෑම දෙයක්ම පාහේ ආරම්භ කරන්නේ ප්‍රමාද වීමෙන් පසුවය.

    එබැවින් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණින් වැටීම හැර වෙනත් විකල්ප නොමැත. මැදපෙරදිග කම්කරු ප්‍රජාවට පවා ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකාවට මාරු කිරීමට අවශ්‍ය නොවනු ඇති අතර චීනය ද රටට උදව් කරන්නේ නැත. ඉන්දියාව කුඩා හුවමාරුවකට පවා ඔවුන්ගේ නීති රීති පනවනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල, වත්මන් රජය, බලයේ සිටින මිනිසුන්, තාප්පයකට තල්ලු කර අවසන් කර ඇත.

    එන්නත් මැරතන් තරඟයේදීද මෙය සිදු විය. අහිංසක මිනිස්සු මැරිලා ගියා. ඔවුන් තම සමීප ව්‍යාපාරිකයන් සතුටු කරන පිළිගත නොහැකි, ශිෂ්ට නොවන, අමානුෂික ක්‍රියාවක් කරමින් සිටියේ තේරී පත් වූ ජනාධිපතිවරයාට ක්‍රියා කිරීමට තරම් මොළයක් නැති සේය. ඔවුන් කිසි විටෙකත් ප්‍රවීණයන්ගේ සිතුවිලි ගැන එතරම් තැකීමක් කළේ නැත, මම අදහස් කළේ ප්‍රවීණත්වයයි. මිනිස්සු මැරුණත් කමක් නෑ, ගෝඨාභය වත්මන් බලු පැටියා කිසිවිටෙක වහා ක්‍රියා කරන්නේ නැත. ගෑස් සිලින්ඩර් පිපිරුම් ප‍්‍රශ්නයත් එක්ක ඒ අයගේ සම්පූර්ණ නොදැනුවත්කම නිසා ඇතිවුණු කුස්සියේ පිපිරුම්වලට අද අහින්සක ගෙදර බිරිඳක් අහුවුණා.

    tbc

  • 1
    0

    continuing
    .
    එමෙන්ම අද වන විට සෑම නිවසක්ම පාහේ නන්දිකඩාල් බවට පත්ව ඇත. තේරී පත් වූ ජනාධිපතිවරයාට නොපමාව ක්‍රියා කිරීමට සියලු බලතල තිබුණත් අද පාලනය වන්නේ උදාසීනත්වය සහ අරාජිකත්වයයි. හිටපු ආණ්ඩුව මහා පක්ෂ සමග හවුලක් වුනාට දැන් තියෙන්නේ 2/3 ජනවරමක්, නමුත් මෝඩයෝ ඒක සන්සන්දනය කරන්නේ හිටපු ආණ්ඩුව එක්ක.
    ඒ පවුලට තමන්ගේ ආදරණීය මව සහ බිරිඳ අහිමි වුණා. අම්මයි නෝනයි නැතුව කොහොමද එයාලා ඉන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු පණිවිඩයක් නිකුත් කර නොමැත. ඔවුන් වාද විවාද කරනවා මිස නිසියාකාරව ඉටු කර නැත. හරියට ගෙදරක මනුස්සයෙක් සම්පූර්ණයෙන්ම අංශභාග වෙලා වගේ. නමුත් අමතක කරන්න එපා, ඔවුන් ජාතියේ විප්ලවයක් ඇති කිරීමට සහ සියල්ලටම වඩා ඔවුන්ට ජාතික ආරක්ෂාව ලබා දීමට විවිධ නීති විරෝධී ක්‍රියා මගින් බලය ලබා ගත්හ.

  • 0
    0

    ඕනෑම රටක විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේය.

    පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය තිබුණද එය ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැනවින් සිතා බලමින් බව පැවසූ මන්ත්‍රීවරයා අතීතයේ ජනතාව මෙන් නොව විසි එක් වෙනි ශත වර්ෂයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිතන පතන ආකාරය මෙන්ම කියවීම සාපේක්ෂව වෙනස් බවද සඳහන් කළේය.

    අනුර ප්‍රියදර්ශන යාපා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.