27 April, 2024

Blog

අධිභාර බද්ද සහ අර්ථසාධක අරමුදල්: එක් වරදකින් තවත් වරදකට යන්න එපා

ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

අධිභාර බද්ද මගින් හිස්වූ රජයේ සංචිත ගොඩනගා ගැනීම

බැසිල් යන කෙටි නමින් ආදරයෙන් ආමන්ත්‍රණය කෙරෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය කතාවේදී ප්‍රකාශ කළේ 2020/21 වර්ෂයේදී බදු අය කළ හැකි, ආදායම රු. බිලියන 2ක් හෝ ඊට වැඩි ආයතන හෝ පුද්ගලයන් වෙත 25%ක අධිභාර බද්දක් පනවන බවයි. එක් වරක් පමණක් ගෙවිය යුතු ලෙස අරුත් ගන්වා ඇති මෙම බද්දේ අර්ථ නිරුපණයට අනුව 2022 වසරේදී අධිභාර බද්ද ගෙවීමට ඉහළ මට්ටමේ බදු ගෙවන්නන් 62ක් හඳුනාගෙන සිටියි.

මෙම විශේෂිත බද්දේ අරමුණවන්නේ වසර තුළ රජය විසින් දැරීමට නියමිත වියදම් පියවා ගැනීමට අවශ්‍ය අදායම බාධාවකින් තොරව ලබා ගැනීමයි.

මෙම විශේෂිත බද්ද මගින් රු. බිලියන 100ක් රජයට ලබා ගැනීමට නියමිත අතර එය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%කි. මෙම අධිභාර බද්දට අදාළ ප්‍රවෘත්තින් පළ වූ වහාම තම ලාභාලාභ පළ කර ඇති කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම් මගින් රු. බිලියන 50ත් 60ත් අතර ප්‍රමාණයක් මෙකී අධිභාර බදු ලෙස රජයට ගෙවීමට නියමිත බවට තහවුරු කෙරින. මෙමගින් බැලූ බැල්මට පෙනෙන්නේ බැසිල්ගේ ඉලක්කය පහසුවෙන් ළඟා කර ගත හැකි බවයි.

අධිභාර බදු අලුත් දෙයක් නොවේ

ශ්‍රී ලංකාව මෙවැනි බදු මීට පෙරද කලින් කලට හඳුන්වාදී ඇත, 1961 සිට රජයේ ව්‍යපෘති ආදී කටයුතු සඳහා වන වියදම් පියවා ගැනීමටත් අදායම් තර කර ගැනීමටත් මෙවැනි බදු හඳුන්වාදී ඇත. නමුත් එවැනි අධිභාර බදු සියලුම බදු ගෙවන්නන්ට අදාළ විය එහි කිසිඳු නිරූපිත දේහලීය (threshold) අගයක් නොවීය. එලෙස මුළු පද්ධතියකින්ම අධිභාර බදු එකතු කර රජයේ අදායම් පියවා ගැනීම රටේ බැංකු පද්ධතිය වෙතින් ණය ලබා ගැනීමට වඩා උචිතය විශේෂයෙන්ම මහා බැංකුවෙන් මෙලෙස ණය ලබා ගැනීම රටේ උද්ධමනය ඉහළ යාමට හේතුවේ.

ක්‍රි.පූ. 3වන සියවසේ විසූ ආර්ථික විද්‍යා ප්‍රාඥයකුවන කෞටිල්‍ය ඔහුගේ අර්ථශාස්ත්‍ර ඉගැන්වීම්හි දක්වා ඇති පරිදි රටේ රජතුමාගේ භාණ්ඩාගාරය හිස්වන විට විශේෂ බදු වර්ග පැනවීම සඳහා රටේ රජුට හැකියාව ඇත. එම බදු රටේ සියලුම, ගොවීන්, වෙළඳුන්, කර්මාන්තකරුවන්, වෘත්තිකයන් හා සත්ව පාලනය කරන්නන් වැනි රටේ ආර්ථිකය හා සෘජුවම සම්බන්ධවන්නන් වෙත අදාළවේ. ඊට අමතරව වත්පොහොසත් අයවලුන්ද ස්වෙච්ඡාවෙන් ලබා දෙන සහ පන්සල් පල්ලි ආදී වන්දනීය ස්ථානයන්හි වත්කම්ද භාණ්ඩාගාරයට එකතු කර ගැනීමට හැකි බව ඔහු පෙන්වාදී ඇත. මෙලෙස ස්වාධීන රජවරුන් සිය භාණ්ඩාගාරයේ අදායම් තර කිරීමට විශේෂ බදු පැනවීම එදාද සිදුකර ඇත.

රජය ලබාදුන් ආකර්ෂණීය බදු සහනයන්හි ගොදුරක් බවට බැසිල් පත්ව ඇත

මෙවැනි අසාමාන්‍ය ක්‍රමවේදයන් භාවිත කරමින් රාජ්‍ය භාණ්ඩාගාරය පිරවීම සඳහා බැසිල්ට සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනාධිකාරිය විශේෂ ඉල්ලීමක් හෝ හේතුවක් නොමැතිව ලබාදුන් අත්ථනෝමතික ලෙස අදායම් බදු ගෙවන්නන්ට හා එකතු කළ අගය මත වන බදු ගෙවන්නන්ට ලබා දුන් ආකර්ෂණීය බදු සහනයනය. මෙම බදු කපා හැරීමේ යෝජනාව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව 2019 නොවැම්බරයේදී එළිදැක්වූ විට මා, 2019 දෙසැම්බර් මාසයේදී ලිපියක් ලියමින් සඳහන් කළේ මෙම බදු සහනයන් ක්‍රියාවට නැංවිය නොයුතු බවයි, එමගින් රාජ්‍ය ආදායමේ සංයුතිය කඩා වැටීමට ලක්වන බවයි.

මෙම ලිපියේදී මා තර්කානුකූලව පෙන්වා දුන්නේ මෙම බදු සහන නිසා රජයේ අදායම රු. බිලියන 650ත් 680ත් අතර අගයකින් හෙවත් දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති කියායි, එකළ පවා මෙම අගය දරා ගත නොහැකි ප්‍රමාණයක්. ඉන්පසුව අපට කෝවිඩ් 19 රෝග වසංගතයට මුහුණදීමටද සිදුවුණා. 2019 වසරේ බදු අදායම සමග සැසඳූ විට සිදුව ඇති සත්‍ය පාඩුව රු. බිලියන 516ක්. එමෙන්ම බදු සහන ලබා නොදී පැරණි බදු ක්‍රමයම පැවතියේ නම් සහ දේශීය ආදායම් බදු සිය ඉලක්කය වන දළ දේශීය නිෂ්පාදනයෙන් 13%ක් යන ඉලක්කය සපුරා ගත්තේ යැයි උපකල්පනය කළේ නම් අපේක්ෂිත බදු අදායමට සිදුවූ පාඩුව රු. බිලියන 600කි. මෙම අගය අපගේ දළ දේශීය නිෂ්පාදනයෙන් 4%කි. සිදුව ඇති අපේක්ෂිත ආදායම් පහළ යෑම 2021, 2022 හා 2023 වසර වලදීද දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක් යන අගයේ පවතිනු ඇත.

පිළිගතයුතු අවවාද නොපිළිගැනීම

කෝවිඩ් 19 වසංගතය නිසා තවදුරටත් රාජ්‍ය ආදායම හැකිලීමට ලක්විය. 2020 මැයි මාසයේදී මා විසින් රචිත ලිපිය මගින් රජයට යෝජනා කළේ ඔවුන් හඳුන්වාදුන් බදු කපා හැරීමේ සහන පැකේජය වහා හකුලා ගත යුතු බවයි.

රාජ්‍ය අදායමට සිදුවූ පාඩුව දරා ගත නොහැකි තරම් වන නිසා මා තර්ක කළේ රජය මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙනවා නම් එසේ කළ යුත්තේ ආර්ථික අවපාතයක් පවතින විටදී නොව සාමාන්‍ය ලෙස පවතින විටදී බවයි.

එහිදී මගේ ලිපියේ සමාප්ත සටහන මෙසේයි “අපේක්ෂිත පරිදි නව පාර්ලිමේන්තුව මගින් අයවැය නිල වශයෙන් පිළිගත්තද ආදායම් හිඟය මගින් ඇතිවන බාධකයන්හි බලපෑම දිගටම පවතිනු ඇත.

රජයට බලපාන මූල්‍යමය බැඳීම්වලට ගරු කිරීමට නම් දිගින් දිගටම දේශීය හෝ අන්තර්ජාතික වෙළඳපලෙන් ණය ගැනීමට සිදුවනු ඇත. මෙලෙස ණය ගැනීම තව තවත් අප රට මෙම ණය උගුලේ හිර කිරීමට හේතුවේ. අප කුමන තරමේ හෝ අවදානමක් දරා මෙම තත්වයෙන් බේරිය යුතුය. රට පත්ව ඇති තත්වය වටහා ගෙන අප නැවතත් සාමාන්‍ය තත්වයට පත්වන තුරු මෙම බදු සහන ලබා දීම නැවැත්විය යුතුය.

ඉතිහාසයේ නොවූ විරූ අන්දමින් බැංකුවලින් හා මුදල් සංචිත වලින් ණය ලබා ගැනීම

මෙම විකල්පය ඇත්තටම භාවිතයට නොගත යුතුව තිබූ දෙයක්, ඇතිවූ ආදායම් වියදම් හිඟයට පිළිතුර ලෙස රජය බැංකු ක්ෂේත්‍රයෙන් මුදල් ලබා ගත්තා. 2020 හා 2021 වසරවලදී රජය ශ්‍රී ලංකා මහා බැංකුවෙන් හා වාණිජ බැංකුවලින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය රු. බිලියන 3,500ක් එය 125%ක වැඩිවීමක් මෙය මහාපරිමාණ ණය කන්දරාවක්.

ඊට සාපේක්ෂව රටේ ඇති මුදල් ප්‍රමාණය රු. බිලියන 3,023කින් වැඩිවී ඇත එය 40%ක වැඩිවීමක්. මෙලෙස ආර්ථිකය තුළ මුදල් ප්‍රමාණය වැඩි කිරීමේ අනිටු ප්‍රථිපලයක් ලෙස දේශීය ආර්ථිකයේ උද්ධමනය ඉහළ යාම දැකිය හැකියි. එක් පැත්තකින් සැලකූ විට, කඩා වැටෙන විදේශ සංචිත මගින් ඇති කරන පීඩනය නිසා වෙළඳපල තුළ රුපියලේ අගය පහත යන අතර අනෙක් අතින් දැනටමත් උද්ධමනය 14%ක මට්ටමට වේගයෙන් පැමිණ ඇත්තේ ඇමරිකානු ඩොලරය සඳහා නිල විනිමය අනුපාතය කෘතිම ලෙස රු. 200ක අගයකට සීමා කලද කළු කඩයන්හි ඇ.ඩොලරයක් රු. 250 – 260 අතර අගයකට හුවමාරු වන අවස්ථාවකයි. මෙම අගයයන් දිනෙන්දින පිරිහෙන්නේ මුදල් ඇමතිතුමාගේ අයවැය ඉලක්කයන් අඳුරට හෙළමිනි.

අධිභාර බද්ද සුපිරි පොහොසත් පැලැන්තිය අරඹයා පැනවූ බද්දක්ද?

බැසිල් රාජපක්ෂ මහතා 2021 ජූලි මාසයේදී මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ අවස්ථාවේදී මා විසින් පළ කල තවත් ලිපියකින් ඔහුට මුහුණදීමට සිදුවන බැරෑරුම් අභියෝග පෙන්වා දුනි.

ඒ අතර එක් අභියෝගයක් ලෙස දැක්වුයේ ඔහුට පෙර සිටි මුදල් අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කළ බදු සහන වැඩපිළිවෙලයි. ඔහුට සිහිනුවණ තිබේ නම් 2019ට පෙර පැවති බදු ක්‍රමය නැවතත් අනුගමනය කළ යුතු බව මාගේ තර්කය වූ අතර මෙම නිවේදනය 2021 නොවැම්බරයේදී ඉදිරිපත් කළ 2022 අයවැයේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව බලාපොරොත්තුව විය.

නමුදු ඔහු ඒ වෙනුවට අසාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙමින් 2020/21 වසරේ බදු සඳහා සලකනු ලබන අදායම රු. මිලියන 2,000ට වැඩි විශාල බදු ගෙවන්නන්ට 25%ක අධිභාර බද්දක් පැනවීය. මෙම බද්ද සුපිරි පොහොසත් පැලැන්තියට පනවන බැවින් එය ඉතා පහසුවෙන් රට තුළ අලෙවි කිරීමට හැකි වනු ඇති බවට ඔහුට අවවාද ලැබෙන්නට ඇත. නමුත් මෙහිදී අමතක කර ඇති කරුණ නම් මෙම සුපිරි පොහොසත් ආයතනයන්හි රැකියාවේ නිරත වන්නේ රටේ සාමාන්‍ය ජනතාව බවයි. මේ අධිභාර බද්ද නිසා මෙම ආයතන ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන්නේ නම් එහි දුර්විපාක ලෙස ඔවුන්ගේ පඩි වැඩිවීම් නොලැබීම හා අනෙකුත් ප්‍රතිලාභ අත්හිටුවීම මෙන්ම ඔවුන්ගේ රැකියාවන් කප්පාදුව කෙරෙහිද බලපානු ඇත. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයවලුන්ටද මෙය අහිතකර ලෙස බලපානු ඇත. බදු ගෙවීමට සිදුවන ආයතන තම නව බඳවා ගැනීම් පහත දමනු ඇති අතර රටේ ක්‍රියාකාරී ශ්‍රම බලකායේ වර්ධන අඩුවීමක් බලපොරොත්තු විය හැක.

අයුතු ලෙස අර්ථසාධක හා විශ්‍රාම අරමුදල් බද්දට යටත් කිරීම

අධිභාරයට අදාළ කෙටුම්පත ගැසට් කර ඇත, බොහෝ දෙනා අපේක්ෂා නොකළ පරිදි සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල අනුමත අර්ථසාධක සහ විශ්‍රාම අරමුදල් සහ වෙනත් පාරිතෝෂික අරමුදල් මෙම බද්දට යටත් කර ඇත. 2022 අයවැය කතාවේදී බැසිල් මහතා පැහැදිලිව කියා සිටියේ මෙම අධිභාරය සඳහා ඉහළ පෙළේ බදු ගෙවන්නන් 62ක් හඳුනාගෙන ඇති බවයි. එම අවස්ථාවේදී මීට අර්ථසාධක හා විශ්‍රාම අරමුදල් අන්තර්ගතවන බවට සඳහන් නොවීය. කෙසේවුවද කෙටුම්පතේ මෙම අධිභාරයට ලක්වන සමාගමක් යන්න නිර්වචනය කර ඇත්තේ දේශීය ආදායම් පනතේ දක්වා ඇති ආකාරයටයි. මෙම පනතේ අර්ථ නිරූපනයන් දක්වා ඇති කොටසේ අංක 195 මගින් දක්වා ඇත්තේ, බදු ගෙවීමේ පරමාර්ථය අනුව ඊට අර්ථසාධක අරමුදල සහ අනෙක් පාරිතෝෂික අරමුදල්ද අයත් බව දක්වා ඇත. එනිසා අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල මෙම අධිභාරයට යටත්වේ. අනෙක් අර්ථසාධක අරමුදල්වලින් හා විශ්‍රාම අරමුදල්වලින් මෙම අධිභාරය අය කිරිම පිළිබඳව විරෝධයක් තවමත් මතුව නැති අතර මෙම අරමුදල් රු. බිලියන 2කට වැඩි දළ අදායමක් ලබන්නේ නම් ඒවා මෙම ප්‍රශ්නකර බද්දට යටත් වේ.

අධික බදු පැනවීම නිසා සේවක අර්ථසාධක අරමුදල දැනටමත් සිටින්නේ අර්බුදයකයි

අර්ථසාධක අරමුදල වෙත පනවා ඇති බදු සම්බන්ධයෙන් තවදුරටත් විමසා බැලිය යුතුයි. 1958දී සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීමේදී එම අරමුදල ලබන ආදායම, ආදායම් බද්දෙන් නිදහස් කරන ලදී. නමුත් පසුකාලීනව 1989දී එවකට මුදල් අමාත්‍යාංශය මෙම සේවක අර්ථසාධක අරමුදලේ අදායම් බද්දකට යටත් කිරීම ප්‍රයෝජනවත් යැයි සලකා ආයතනික බදු ක්‍රමයට යටත් කළේය. කෙසේවුවද, බදු පැනවීමේදී ආයතන සහ සේවක අර්ථසාධක අරමුදල් අතර වෙනස නම් අර්ථසාධක අරමුදල් සඳහා බදු අනුපාත බලපාන්නේ එහි දළ අදායමට වන අතර ආයතන කෙරෙහි මෙය බලපාන්නේ ඔවුන්ගේ ශුද්ධ ආදායම හෙවත් ලාභය කෙරෙහිය. ආයතනික ආදායම් බද්දට යටත් වන මූල්‍ය ආයතනද පොලී ආදායමින් පොලී වියදම් අඩු කිරීමෙන් පසු ඔවුන්ගේ ශුද්ධ ලාභයට අදාළ බදු ගෙවීම සිදු කරයි.

අර්ථසාධක අරමුදල් සලකා බැලූ විට, එහි දළ ආදායම කෙරෙහි මුලින්ම බලපෑ බදු ප්‍රතිශතය 10%ක් විය එය 14% දක්වා 2018 වැඩි කරන ලදී. මෙහි ප්‍රතිපලයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල රටේ විශාලතම ආයතනික බදු ගෙවන්නා බවට පත්විය. 2020 වසරේදී සේ.අ.අ. දළ අදායම ලෙස රු. බිලියන 283.5ක් ඉපැයූ අතර 14%ක බදු පදනම යටතේ රු. බිලියන 40ක් මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවන්නට ඇත. එම වර්ෂය තුළ ආයතනික ආදායම් බදු ලෙස එකතුවූ මුදල රු.බිලියන 214කි එනම් මුළු ආදායම් බදු එකතුවෙන් 20%ක් ලැබී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලෙනුයි. 2020 වර්ෂ අවසානය වනවිට සේ.අ.අ. හි මුළු සාමාජික සංඛ්‍යාව මිලියන 19ක් වූ අතර එක් සාමාජිකයෙකු ආදායම් බදු ලෙස රු. 2,060ක් ගෙවා ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට බලවත් අසාධාරණයක්

ප්‍රශ්නගත අධිභාර පනත් කෙටුම්පත 2020/1 වසරවල ආදායම මත බලපාන අතර එම බදු මුදල 2022 වසරේදී වාරික දෙකක් ලෙස ගෙවිය යුතුය. පළමු වාරිකය මාර්තු 31 හෝ ඊට පෙරත් දෙවැන්න ජූනි 30 හෝ ඊට පෙරත් ගෙවිය යුතුය. සේ.අ.අ. හි ආදායම සලකා බලන විට රු. බිලියන 70ක් අධිභාර බදු ලෙස ගෙවිය යුතුය. ඒ අනුව රු. බිලියන 35ක් මාර්තු 31ට පොරොතුව හා අනෙක් කොටස ජූනි 30ට පෙර ගෙවිය යුතුයි. ඒ අනුව සේ.අ.අ. හි එක් සාමාජිකයෙකු රු. 3,500ක් අධිභාර බද්ද ලෙස ගෙවනු ඇත. මෙම ගෙවීම් සිදු කළ යුත්තේ 2022 වසරේ ආදායමෙනි. දැනට ගණන් බලා ඇති පරිදි 2022දී සේ.අ.අ. හි ආදායම රු. බිලියන 300කි එයින්ද රු. බිලියන 42ක් අදායම් බදු ලෙස රජයට ගෙවීමට නියමිතයි.

මෙලෙස සේ.අ.අ. රජයට ගෙවීමට නියමිත මුළු බදු මුදල් ප්‍රමාණය රු. බිලියන 112කි එනිසා ප්‍රතිලාභීන් වෙත ගෙවීමට ඉතිරි වන්නේ රු. බිලියන 188ක් පමණි. ප්‍රතිලාභීන් වෙත සිදුවන අලාභය වෙනත් ආකාරයකින් කිවහොත් සේ.අ.අ. හි සාමාජිකයන් වෙත ලැබිය යුතු පොලිය 4% කින් පමණ අඩු වනු ඇත. දැනටමත් අඩු පොලී අනුපාතයක් ප්‍රතිලාභ ලබන සේ.අ.අ. සාමාජිකයන් වෙත එල්ලවූ දරුණු පහරක් ලෙස අධිභාරය හැඳින්විය හැක. විශ්‍රාම මුදලක් නොලබන පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන් වෙත ලැබෙන එකම පාරිතෝෂිකය සේවක අර්ථසාධකය නිසා මේසා බදු ගැසීම නිසා ප්‍රතිලාභීන් විශ්‍රාම වයසේදී වියවුලට පත්වනු ඇත. සේවක අර්ථසාධක නීතිය හඳුන්වාදුන් නිර්මාපකයන්ගේ අභිලාෂය වූයේ මෙය නොවේ.

අධිභාරයන් පැනවීම හොඳ බදු ක්‍රමයක් නොවේ

අර්ථසාධක අරමුදල් හා විශ්‍රාම අරමුදල් අධිභාර බද්දෙන් නිදහස් කළ යුතු බවට යෝජනා පළ වී ඇත. ඉන් අදහස් වන්නේ අනෙක් ආයතන කෙරෙහි අධිභාරයන් වැනි විශාල වශයෙන් බදු පැනවීමේ කිසිඳු වරදක් නොමැති බවද ? මගේ අදහස අනුව නම් එය වැරදි කටයුත්තක් එයට හේතුව මෙම බද්ද අතීතයට බලපාන ලෙස පැනවීමයි. මෙකී ආයතන උපයන ලද අදායම් දැනටමත් වෙනත් දේ සඳහා ආයෝජනය කර ඇත හෝ ලාභාංශ ලෙස ගෙවා ඇත. මෙලෙස එකවරම ඉතා විශාල අධිභාරයක් ඔවුන් වෙත පනවනු ලැබූ විට බදු ගෙවීම සඳහා ද්‍රවශීල මුදල් අවශ්‍ය වේ. ඒ සඳහා ඔවුන්ගේ වත්කම් විකිනීමට හෝ එම වත්කම් ඇපයට තබා ගෙන ණය මුදලක් ලබා ගැනීමට සිදුවනු ඇත.

ඔවුන් කෙබඳු උත්සාහයක් ගත්තද මෙම බදු ගෙවන්නන්හට එය අමතර බරක් වනු ඇත. මේ තත්වය සේවක අර්ථසාධක අරමුදලට විශේෂයෙන්ම අදාළ වේ ඊට හේතුව මේසා සුවිශාල මුදලක් වන රු. බිලියන 35ක් මුදල් ලෙස අධිභාරය ගෙවීමට තබා ගන්නේ නැති නිසායි. සේ.අ.අ. ඔවුන් සතු භාණ්ඩාගාර බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් විකුණා මෙම මුදල ගෙවීමට සිදුවනු ඇත. මෙම සුරැකුම්පත් සඳහා පොලිය මෑත මාස වලදී වැඩිවීමේ ප්‍රවනතාවක් පෙන්වන හෙයින් ඔවුන්ට විකිණීමට සිදුවන සුරැකුම්පත්හි වෙළඳපළ වටිනකාම පහත වැටී ඇති බවින් මෙම අවාසියටද මුහණපෑමට සිදුවනු ඇත එනම්, ප්‍රාග්ධන අලාභයකට මුහුණ දීමටද සේ.අ.අ. සාමාජිකයන්ට සිදුවනු ඇත.

2022න් පසුවද මෙලෙස අධිභාරයන් පැනවිය හැකිද? කිසිසේත්ම බැහැ

මාගේ දැක්මට අනුව මෙවැනි අධිභාරයන්ට යෑම වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා 2019ට පෙර පැවති බදු ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කල යුතුයි. තමන්ගේ වැරදි හඳුනාගැනීම ලජ්ජාවට කරුණක් නොවෙයි. නව බදු ප්‍රතිපත්ති නිසා බදු ආදායම අහිමි වීම දිගින් දිගටම සිදුවනු ඇත, මේ ප්‍රශ්න දිගින් දිගටම ඇතිවනු ඇත. බැසිල් මහතා මෙම ප්‍රශ්නයට 2022 වසරේදී පිළිතුරක් අධිභාර බද්ද තුළින් සොයා ගත්තද 2023දී සහ ඉන් එහාට මොන ආකාරයේ අධිභාරයන් පැනවිය හැකිද ? මෙම අධිභාරයන් නවතන් පැනවුවහොත් එය අප රටේ විශාල ආයතන වෙත එල්ලවන මාරු පහරක් වනු ඇත. ඔහුට හා ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනාධිකාරියට ගත හැකි නුවණක්කාරම තීරණය නම් නැවතත් පෙර තිබූ පැරණි බදු ක්‍රමය ඇති කර ශක්තිමත් බදු අදායමක් හා බදු පදනමක් ගොඩ නගා ගැනීමයි. තාවකාලික පැලැස්තර විසඳුම් ඉදිරි අවුරුදු වලදී ඵලදායී නොවනු ඇති අතර එක් වරදකින් තවත් වරදකට යෑම ඕනෑම පිරිවැයක් දරා නැවැත්විය යුතුය.

*ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ හා ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුවන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා විසින් රචිත ‘Surcharge tax and provident funds: From one mistake to another’ ලිපියේ සිංහල අනුවාදයයි. සැකසුම මිලින්ද පීරිස්.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.