20 April, 2024

Blog

වයසක කාන්තාවන් පෙරහැර වල ගෙන යනවාට ඔබ්බෙන් කලයුතුදේ

ජානකී සෙනෙවිරත්න / ප්‍රේමා ගමගේ –

වැඩිහිටි හා වයෝවෘද්ධ කාන්තාවන්ට අභිමානවත් ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිවාසිකම භුක්ති විඳීමට සැලැස්වීම කාගේ වගකීමද?

මාර්තු මස 08 දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබේ. තව ඇත්තේ සතියක පමණ කාලයකි. ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අවස්ථා වලදී මෙම කාන්තා කණ්ඩායම පිළිබඳ නොසලකා හැර හෝ අමතක වී ඇති තත්ත්වය අපි අත්දැක ඇති අතර ඒ ගැන දුකක්ද ඇති වේ. වයසක කාන්තාවන් පෙරහැර වල ගෙන යනවාට ඔබ්බෙන් කලයුතුදේ තිබෙනබව නිශ්චිතව තීරණය කිරීමට කාලය එළෙඹ ඇත. මේ සම්බන්ධයෙන් වගකීම හා පෙරමුණ ගතයුතු රාජ්‍ය ආයතන එනම් කාන්තා කටයුතු, සමාජසේවා, සෞඛ්‍ය, ආර්ථික කටයුතු, ඉඩම්, නිවාස, ක්‍රීඩා හා කුසලතා සංවර්ධන යන අමාත්‍යාංශ, ජාතික හා ජාත්‍යාන්තර රාජ්‍ය නොවන සංවිධාන හා පුරවැසියන් ඳ එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිගත යුතුම දෙයකි. ඒ තුලින් පවතින නීති හා ප්‍රතිපත්ති ක්රියාත්මක කිරීම, නීති සංශෝධනය හා නව නීති සැකසීමේ කාර්යයන් සඳහා ක්‍රමවේද හඳුනා ගත යුතුවේ. ප්‍රමාණවත් භොතික හා මානව සම්පත් සපයා ගැනීමේ උපක්‍රම සොයා බැලීම සිදුවිය යුතුවේ.

නිර්වචනය සහ පවතින තත්වය

වයස අවු. 60 ඉක්මවූවන් වයස්ගත වූවන් ලෙස නිර්වචනය කර ඇත. මෙම වයස් ඛාණ්ඩය කෙරෙහි පසුගිය වසර කීපය තුල ලෝකය පුරාම විශේෂ අවධානය යොමුවී ඇති අතර ඒ අය ඉලක්ක කර ගත් නීති, ප්‍රතිපත්ති, විශේෂ වැඩසටහන්, යටිතල පහසුකම් හා ජාත්‍යන්තර දින නම්කර ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත් ඒ ඒ රටවල මෙම වයස් ඛාණ්ඩයට අයත් ප්‍රජාව පිළිබඳව නිසියාකාරව අවබෝධ කරගැන්ම, ඉදිරිපත්වීම හා කැපවීම විවිධ මට්ටමින් පවතී. ඒ කෙරෙහි බලපානු ලබන්නේ වයස්ගත වූවන් කෙරෙහි දක්වන ආකල්ප, ඔවුන්කෙරේ දක්වන සංවේදී තාවයේ ප්‍රමාණය, රාජ්‍යයන්ගේ කැපවීම, සම්පත් වෙන්කිරීම ආදී කරුණුය.

Muslims Sri Lanka Colombo Telegraphවයස්ගත වූවන් සංඛ්‍යාත්මකව වැඩිවන්නේ සංවර්ධන වැඩ සටහන් වල ප්‍රතිපල වශයෙනි. මනා සෞඛ්‍ය සේවාවන්, අධ්‍යාපනය ලැබීම, යහපත් පරිසරය, විවේකය ආදිය නිසා ආයුකාලය වර්ධනය වේ. 2012 වර්ෂයේදී 12.2% ක් වූ වැඩිහිටි ජනගහනය 2050 වනවිට 28.5% වේ යයි ඇස්තමේන්තු කර ඇත. (Colombo Page) මෙහිදී වඩාත්ම වදගත් කාරණය වන්නේ වැඩිහිටි ජනගහනය තුල කාන්තා නියෝජනය ඉහල ප්‍රතිශතකයක පැවතීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කිසිවකු හෝ වයස් අනුව වෙනසකට භාජනය නොකරන බව තහවුරු කර ඇති අතර වැඩිහිටි මහා ලේකම් කාර්යාලය මගින් ස්ථාපිත පනතක් හරහා වැඩිහිටියන්ගේ සියලු අයිතිවාසිකම්ද තහවුරු කර ඇත්තේය.

ආයුකාලය වැඩි වීම හා එහි බලපෑම:

පර්යේෂණ හා සංඛ්‍යා ලේඛණ වලින් තහවුරු වී ඇති පරිදි කාන්තාවන්ගේ ආයුකාලය පිරිමින්ගේ ආයුකාලයට වඩා වැඩිය. මෙය පන්ති, ජනවාර්ගික, සමාජමය හෝ ආර්ථික තත්වයන් යටතේ වෙනස් නොවී පවතින්නකි. මෙම කාන්තා ගණයට ගැනෙන තවත් විශේෂ කණ්ඩායමක් වන්නේ අවිවාහකව වයස්ගත වන කාන්තාවන්ය. එසේම විවාහක වූවද දරුවන් නොමැති අයද වයස්ගත වූවිට ඒ අයට හිමි සුවිසේශී ප්‍රශ්න සහිත කුලකයක් වේ.

ආයුකාලය වැඩිවීම නිසා කාන්තාවන්ට හුදෙකලාව ජීවත් වීමට සිදුවන කාලයද ස්වාභාවිකවම වැඩිවේ. මෙම තත්වය පැහැදිලි කිරීමට දෙනු ලබන අර්ථය වන්නේ වියපත්වීම කාන්තාකරණය වීම කියාය.(feminization of ageing) මෙසේ මහලු වියේදී හුදකලා වන කාන්තාවන්ගෙන් 75% කටත් වඩා ප්‍රමාණයක් ආර්ථික, කායික හා භාවාත්මක වශයෙන් වෙනත් කෙනෙකු (දරුවන්, සහෝදර සහෝදරියන්, නෑයින්,අසල්වාසීන්, රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන හෝ මහමග ) මත යැපෙමින් ජීවත් වීමට සිදුවන අයවේ. විශ්‍රාම වැටුපක් හෝ වෙනත් ස්ථාවර මාසික ආදායමක් හිමිවන්නේ මෙම කාන්තාවන්ගෙන් ඉතාම සුළු පිරිසකටය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ආගම සහ සෞඛය ක්ශේෂ්ත්‍රය තුල දීර්ඝ කාලයක් ජීවත්වීම පෙරකළ පිනට හා වාසනාවට බැර කරනු ලැබේ. ඒ කෙසේ වෙතත් ආයු වැඩිවීම තුල කාන්තාවන්ගෙන් විශාල සංඛ්‍යාවකට මුහුණ පාන්නට සිදුව ඇති යතාර්ථය අවංකව සලකන විට මෙම දීර්ගායුෂ වැලදීම පිනක් නොව පූරුවේ පවක්දෝ කියා සිතෙනු බව අපට බොහෝ දෙනා පවසා ඇත. එසේ සිතීමට අප්‍රමාණ හේතු තිබේ.

  1. ආර්ථික ගැටළු එයින් ප්‍රධානය: එනම් ඉහත දක්වූ පරිදි කිසිදු ආදායමක් නොමැතිව අනෙකුත් අයගෙන් යැපෙමින් ජීවත් වීමට සිදුවීම තුල ඇතිවන අසරණ භාවය සහ ස්ව අභිමානය ගිලිහී යාම නිතැතින්ම සිදුවේ. මේ නිසාම ඔවුන් ඉතා පහසුවෙන් පවුල තුල හා අවිධිමත් ක්ෂේස්ත්‍රය තුල ශ්‍රම සූරාකෑමට ලක්වේ. ඉක්මනින් රෝගාතුර වීම, සමාජයට මුහුණ දීමට මැලිවීම නිසා මානසිකව පීඩාවට පත්වීම වැළක්විය නොහැකි වේ. ජීවිතය හැරයාමේ තත්ත්වය උදාවෙනු ඇත.

සාමාන්‍යයෙන් බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන කාන්තාවන්ට ණය ලබාදීමට මැලිවේ. වයස්ගත වූ කාන්තාවන්ට කිසිසේත් ණය ලබා දෙන්නේ නැත. අවු. 60 ඉක්ම වූ පසු සියලුම රක්ෂණ ක්‍රමයන් තුලින් කාන්තාව බැහැර කෙරේ. කාන්තාවන් සඳහාම සැලසුම් කරන ලද ආදායම් උත්පාදක වැඩසටහන්ද වයස් සීමා පනවා ගෙන වයස්ගතවූ කාන්තාවන් කොන්කරනු ලැබේ. මේ නිසාම මහලු වූ කාන්තාවන්ට ස්වයං රැකියාවක් කිරීම මගින් ආර්ථික ස්ථාවරයක් ගොඩ නගා ගැනීමට හැකියාව හා අවශ්‍යතාව ඇතත් අවස්තාවන් නැතිවී යයි. ඔවුන් ආර්ථිකව යැපෙන්නන් බවට නිරන්තරයෙන්ම තල්ලුවේ. එහෙත් ඔවුන් තවම ආත්මශක්තිය හා කාර්යශීලී ඉදිරිපත්වීමක් සහිත කණ්ඩායමකි.

  1. සමාජමය වශයෙන් කොන්කිරීම හා කොන්වීම: වයස්ගත වීමත් සමගම කායික වශයෙන් දුර්වල වීම ස්වාභාවිකය.ගමන් බිමන් යාම බරපතල ලෙස සීමා වේ. සමාජ සම්බන්ධතා පවත්වා ගෙන යාම අවම වේ. මේ සඳහා අනුන් මත යැපීමට සිදුවේ. තමා අන් අයටද, පවුලේ අයටද කරදරයක්ය, බරක්ය යන හැගීම නිසා තම අවශ්‍යතා ප්‍රකාශ කිරීම නවතා දමනු ලැබේ. මෙය තමාගේ පූර්ව කර්මය ලෙසත් එය තමා විසින්ම ගෙවා අවසන් කලයුතු බවත් සාධාරණීය කර ගනී. මෙය දීර්ඝායුෂ ලැබීමේ අයහපත් ප්‍රතිපලයකි. දීර්ඝායුෂ ලැබීම යහපත් වීමට සුදුසු වටාපිටාව, මතවාදය, යටිතල පහසුකම් තවම මහලුවීම හා සාපේක්ෂකව ගොඩනැගී නැත.
  2. සෞඛය අවශ්‍යතාව හා සේවාව: සෞඛ්‍ය ගැන කථා කරන විටබොහෝ අයට වයස්ගත වූවන්ගේ මානසික සහ සමාජමය සෞඛය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අමතක කර හෝ අමතක වී ඇත. කථා කරන්නේත් ප්‍රතිකාර කරන්නේත් කායික ලෙඩට පමණය. මහලු කාන්තාවක් වීම නිසාම මුහුණ දෙන විශේෂ සෞඛ්‍ය ගැටළු රාශියක් ඇත. ආර්ථවහරණය සමගම ඔස්ටියෝපොරිසිස් නිසා අෂ්ථි දුර්වලවේ. පියයුරු, ගැබ්ගෙල හා ගර්භාෂ පිළිකා හටගැනීම බහුලව දක්නට ඇත. පෙනීමේ දුර්වලතා මහලු කාන්තාවන් අතර වැඩි බව සොයාගෙන ඇත. නොසලකා හැරීම සහ මුළුතැන්ගේ දුම ආශ්වාස කිරීම එයට ප්‍රධාන කාරනා වේ.

එසේම වයස්ගත වූවන් වෙත රජයේ සෞඛ්‍ය සේවාව ලබා දීම කෙරෙහි දක්වන ප්‍රමුඛතාව කනගාටුදායක ලෙස පැහැර හැර ඇත. සෞඛ්‍ය සේවාව සඳහා වයස්ගතවූවන්ට ඇති අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇත. සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස්කරන්නන් බහුතරය අවු.60 ට වැඩි කණ්ඩායමට අයත් වූවත්, විවිධ හේතුන් නිසා ඔවුන් වයස්ගත වූවන් සඳහා මෙතෙක් ප්‍රතිපත්තියක් පවා සකස් කොට නැත. මෙය අතිශයින්ම කණගාටුවට කාරණාවකි.

  1. ප්‍රවාහන සේවාව සහ පොදු පහසුකම් /ස්ථානවලට ඇති ප්‍රවේශය:

කාන්තාව සාමාන්‍යයෙන් සමාජගතවී ඇත්තේ අඩු ආත්ම විශ්වාශයකින් හා අඩු ජීවන කුශලතා සහිතවය. හොඳම උදාහරණය නම් සුනාමි විපතේදී වැඩි කාන්තාවන් පිරිසක් අවාසනාවන්ත ලෙස මිය ගියේ පිහිනීමේ කුසලතාවය නොමැති නිසාවෙන් බව හැමෝම අවිවාදයෙන් පිළිගනී. මෙම තත්ත්වය යටතේ වැඩිහිටි කාන්තාවන් බසයකට ගොඩනගින්නේම ඉඳ ගැනීමේ අපේක්ෂාව ඇතිවය. ඇයට නැගිට බසයේ ගමන් කිරීමේ හැකියාව දියුණු වී නැති අතර මහලු බව නිසා ශාරීරිකවද ඉඳ ගැනීමට අවශ්‍යය. පවතින ගමනාගමන සංස්කෘතිය වේගවත්, අකාරුණික, අසංවේදී, අවදානම් සහිත එකකි. මේ නිසා මහලු කාන්තාවන් අත්‍යාවශ්‍ය ගමන් බිමන් පවා අත්හැර දමන තත්වයන් උදා වී ඇත. බසයේදී අත්විඳින කරදයද, රෝහලේදී අත්විඳීමට සිදුවිය හැකි හිත් වේදනාවද සලකා ඇය රෝගාතුරව ඉඳීම වඩා ගුණදායක යයි සිතීමට පෙළඹෙන්නේ නැතයි සිතිය නොහැක.

පවතින ගමනාගමන සංයුතිය පොදුවේ මහජන හිතවාදී නොවන අතර, කිසිසේත්ම වයස්ගත වූවන් හා ඒ අතරින්ද කාන්තාවන් නොසලකා හැර ඇත. මෙයින් සිදුවන්නේ මහලු වියේදී තමන්ගේ අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම මග හැරීමය.

පොදු ස්ථාන නිර්මාණය කර ඇත්තේ වියපත් ප්‍රජාවගේ අවශ්‍යතා කිසිසේත්ම සලකා බලා නොවේ. කොටින්ම කියතොත් මෙය යොවුන් හා පුරුෂ කේන්ද්‍රීය නිර්මාණ කලාවකි. ඉතාමත් කලාතුරකින් ස්ථානයක යම්කිසි උත්සාහයක් දරා ඇතිබව දැකීම සතුටට කරුණකි. මෙය ප්‍රධාන ප්‍රවාහයට ( mainstreaming)එක්වීමට ප්‍රමාද කිරීම මහලු ජීවිත සමග කරනු ලබන අකාරුණික සෙල්ලමකි.

මෙහි ඉහත සඳහන් කර ඇත්තේ අයිස් කන්දක තුඩ පමණි. යටට ගිලී තිබෙන ප්‍රමාණය ඉතා විශාලය. ඉදිරියේදී ඒවා සියලු දෙනා එක්ව ඉක්මනින් නිරාවරණය කලයුතු වේ. නොඑසේනම් මිල කළ නොහැකි ප්‍රජා සම්පත් ඛාණ්ඩයක් වැලලී යන්නේය. එහිදී ඔබට සලකා බැලීමට පහත සඳහන් ප්‍රශ්න අපි ඉදිරිපත් කරමු.

  1. අවු. 60 වැඩි කාන්තාවන්ට පිරිමින්ට වෙන වෙනම බලපානු ලබන තත්වයන් විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත හා තොරතුරු කාන්තා හා පිරිමි වශයෙන් රාජ්‍යයන් හා වයස්ගත අය සඳහා වැඩකරන අය වෙන් වෙන්ව රැස් කර තිබේද?
  2. රාජ්‍ය විසින් හඳුන්වා දී ඇති නීති, ප්‍රතිපත්ති, වැඩ සටහන්, ව්‍යුහයන් වලින් අපේක්ෂා කරන ප්‍රතිලාභ වයස්ගත වූවන් හට ලබා ගැනීමට නොහැකිවී තිබෙන්නේ ඇයි?
  3. වයස්ගත වූවන්ගේ සංඛාව වැඩිවීම “ප්‍රශ්නයක්”ලෙස හැඳින්වීමේ මානසිකත්වය අත්හැර ඔවුන් “අප්‍රමාන සම්පතක්” ය යන මතවාදය ගොඩ නගා, ප්‍රචලිත කරන්නේ කෙසේද?
  4. මෙම ජන කොට්ඨාශය උදෙසා ගව්රවනීය ජීවිත ගත කිරීමට හැකියාව ලැබෙන සමාජයක් බිහිකිරීමට හැකිවන පරිදි රජය යොමුකිරීම සඳහා බලපෑමක් කළහැකි වඩාමත්ම ප්‍රතිපලදායක ක්‍රම වේදය කුමක්ද?

මෙම ප්‍රශ්නයන්ට පිළිතුරු සොයාගැනීම ඉතා අසීරුය. එහෙත් එය ආරම්භ කල යුතුවේ.

ඇයි අපි මෙබඳු අදහසක් ඉදිරිපත් කරන්නේ? ලාංකික සංස්කෘතිය තුල “කාන්තාව” “අම්මා” විශේෂ උදාර යෙදුම්ය. තොටිල්ල පදවන අත, උතුම්ම මව් පදවිය, අම්ම බුදුවේවා, ආදී යෙදුම් වලට උසස් වටිනාකම් දී ඇත. එහෙත් වයසට ගිය එම පදවිය හාස්‍යයට ලක් කිරීම, නොසලකා හැරීම, ප්‍රතිකාර නොකිරීම, බසයට ගොඩනංවා ගන්නේ නැතිව අතහැර දමා යාම, රවට්ටා තිබෙන දෙයක් ලියවා ගෙන “අම්මා” මහලු නිවාසයට දෑම, දූෂණය කොට මරාදැමීම ආදී නොයෙක් දේ කරන්නේ කෙසේද? වටිනා පුරවැසියකුට කරුණාවන්ත වචනයක් කථා කිරීම, සත්භාවයෙන් සංවේදී වීම කල නොහැක්කේ මන්ද? අපි මේවා සිති යුතු නේද? මෙම කතාව පවුලට, අසල්වැසියන්ට, රටට කරනලද සේවාව සලකන්නේ නැත්තේ ඇයි? කරුණාකර සිතන්න.

කාටත් මේවා නොකිරීමට වටිනා හේතු තිබේ. මුදල් නැත . අපේ ගෙදර ඉඩ නැත. අම්ම හරි හිතුවක්කාරය, දේපල දුන්නේ අපට නොවේ, ඔය කරපු දේවල් පල දෙනවාය, ආදී දේ කීම හරි පහසුය. නමුත් විය යුතු දේ ඔබම දනී. අපි මහන්සිවී ක්‍රම හා සම්පත් මවා ගැනීම අවශ්‍යය. සිතා බලන්නට කාලය එළඹ තිබේ.

සියලු දෙනාට සමානව සැලකීම, අදහස් විමසීම, රැකවරණය සැලසීම යහපාලනයේ මූලික ගුණාංග ලෙස දැකිය යුතු කාලයයි මේ. අපට වැඩිහිටියන් කවදා මැරේවිද කියා බලා සිටිය හැකිද? ඔවුන්ට යහපත්, ගුණවත් ජීවිතයකට හිමිකම ව්‍යවස්ථාව මගින් ලැබී තිබේ. යහපාලනයට වියපත් වූවන් ඇතුල් කරන්න කියාද, ඔවුන් සතු හැකියා කුසලතා ප්‍රයෝජනයට ගන්නට කියාද, ඔවුන්ට අභිමානවත් ජීවිතයකට අවශ්‍ය පදනම දමන ලෙසත් අපි බලධරයන්ට අවධාරණයෙන් මතක් කරන අතර, මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී වයස්ගත කාන්තාවන් පෙ නෙන්නට සැලැස්වීම (කොඩියක් දී ඔවුන් ගිනි අව්වේ පෙරහැරේ ගෙනයාම නොවේ), ඔවුන්ගේ අදහස් නියෝජනය වීම කෙරේ සිතා මතාම අවධානය යොමු කරන මෙන් වයස අවු 60 ට වැඩි කාන්තා ජනගහනය වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    I must say that Sri Lanka requires a different gang to speak about women’s rights than those who are now campaigning. Unfortunately you are talking about rights of old women. But the women’s rights gang appointed are close friends of the ruling class. They have a way of surfacing when RW is the leader to advice him and his better half more I think. Why was Madam Bandara appointed to the Ministry? Colombo gossip says there is a hidden hand in this selection. Can not be a mistake. Nothing willbe achieved by English speaking workshops held in Colombo. We want to see these ladies campaigning for RW in the villages where the women voters are living.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.