25 April, 2024

Blog

දින සියයේ වැඩසටහනේ පදනම පුළුල් කරනු

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

මැතිවරණ පොරොන්දුවක් ලෙස හුවා දැක්වූ දිනසියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නව රජය අවංක උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට තිබීම සතුටට කරුණකි. ඔවුන්ගේ අභිලාශය කෙතරම් අවංක වුවද ක්‍රියාත්මක කිරීම දවසින් දවස පසුබසින අතර ඒ පිළිබඳ කෙරෙන අවලාද වැඩිවෙමින් පවතී. අධුනාගතයන් පොරොන්දුවූ දිනවලටම බැඳ තැබීම පැහැදිලිවම අසාධාරණ ය. ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල අනුව පොරොන්දු ඉටුකිරීමට අවංක උත්සාහයක් ගන්නා බව පෙනී යන්නේ නම් ඒ පිලිබඳ විවාදයක් තිබිය යුතු නැත.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා දිනසියයේ වැඩසටහන් සම්බන්ධයෙන් `දින නියමය’ සහ `කාලපරාසය’ යනුවෙන් අර්ථවත් ප්‍රබේධයක් දක්වා ඇත. ලේඛනයේ දිනදාතම් ගැන හෙට්ටු කිරීමේ තේරුමක් නැතැයි ඔහු කියා සිටී. අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක කිරීම් නියමිත කාල පරාසයන් තුළ නිම කරන්නේ නැද්ද යන්නයි. දළ වශයෙන් ගත් කල වත්මන් රජය පොරොන්දු හතක් දී ඇත. ඒවා මෙසේය:

1. ජීවන වියදම අඩු කිරීම සහ ආදායම වැඩි කිරීම

2. ප්‍රමාද වී ඇති ජනතා වාදී නීති පැණවීම

3. වාර්ගික සුහදතාව ඇති කිරීම

4. අල්ලස හා දුෂණය පරීක්ෂණයට ලක්කිරීම සහ අදාළ දඬුවම් පැණවීම

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අහෝසි කිරීම සහ වඩා ශක්තිමත් ස්‌වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම

6. වර්තමාන මනාප ඡන්ද ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම

7. ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, ඒ වෙනුවට විධායක බලය සහිත අමාත්‍ය මණ්ඩලයක් ආදේශ කිරීම

ජීවන වියදම සහ ආදායම

නියමිත දිනට සම්මත කර ගත් අතුරු වැය ලේඛනය මගින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන ලද අතර පෞද්ගලික අංශයට සමාන බල පෑමක් කිරීමට උත්සාහයක් ගෙන ඇත. පොදු මහජනයා පරිභෝජනය කරන භාණ්ඩ වල මිල අඩුකර ඇත. කරන ලද අඩු කිරීම් හා ඒවායේ ප්‍රමාණවත් බව සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයෙන් අපේක්ෂා කළ හැකි උපහාසාත්මක විවේචන තිබුන ද, ලැබුන සහන සම්බන්ධයෙන් සෑහෙන මට්ටමක තෘප්තියක් තිබුන බව කිව යුතුය.

Maithriබොහෝසේ ප්‍රමාද වී තිබුන අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ක්ෂණික අවධානය යොමු කර ඇත. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ නීති කෙටුම්පත් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ. සිගරැට් පැකට්ටුවල 80 % ක් ආවරණය වනසේ රුප අවවාද මුද්‍රණය කිරීමට තීරණය කිරීම යථාර්ථයක් වී ඇත. සුළුජාතීන්ට සමාජයේ හිමිවිය යුතු තැන ලබා දීමට අවංක පියවර ගන්නා බව පෙනේ. බලයට පැමිණ සති කිහිපයක් ඇතුළත, අවුරුදු කිහිපයක් තිස්සේ පැවති සුළුජාතීන්ගේ ඉල්ලීමක් සපුරා ලමින් උතුරු හා බස්නාහිර පළාත්වල ආණ්ඩුකාර තනතුරු වලට සිවිල් පුද්ගලයන් පත්කිරීමට පියවර ගෙන ඇත. උතුරු පළාතේ යුද හමුදා යටතේ පැවති ඉඩම් ප්‍රමාණය අවම කිරීම ආරම්භ කොට ඇත. ජාතික සංහිදියාව සම්බන්ධයෙන් වගකීම උසුලන අධිකාරීන් සුළු ජාතීන් සමග අදහස් හුවමාරු කිරීම ආරම්භ කොට ඇත. අවුරුදු කිහිපයක් තිස්සේ අඩු සැලකිල්ලට භාජනය වීම නිශ්ශබ්දව ඉවසා සිටි උතුරේ දේශපාලනඥයන්, අත්පොලසන්දීමට අත් දෙකක් අවශ්‍ය බව අමතක වූවාසේ ජාතිය ගොඩ නැගීමේ කාර්යය වඩා දුෂ්කර කරමින්, හදිසියේම ආරවුල්කාරී ලෙස ක්‍රියා කිරීම විමතියට කරුණකි.

පිරිස් හිඟය

ප්‍රගතියට බාධාව වී ඇත්තේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පවරනු ලැබ සිටින ක්‍රම වේද සහ පුද්ගලයන්ය. පාරිභෝගිකයන්ට හා ගොවීන්ට යොමු කෙරුණු සහන ප්‍රමාණවත් ලෙස ඔවුන් වෙත නොලැබීම නිසා වැඩ සටහනේ ඵලදායි බව අඩු විය. පැහැදිලිවම, අධුනාගතයන් මෙම ප්‍රශ්නය ගැන කල් තබා අවධානය යොමු කර නැති බවක් පෙනේ. බලය නොමැතිව සිටින විට සුක්ෂණ සැළසුම් සදතැයි බලාපොරොත්තු විය නොහැක. තම පළමුවන රුපවාහිනී සාකච්චාවේදී අගමැතිවරයා කීවේ වැඩ කළ හැකි නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණයට භාජනය කර, තෝරා ගැනීමට කටයුතු කරන බවය.

පෙනෙන්නට තිබෙන්නේ තොරා ගැනීම්, තමන් බලයේ සිටි කාලය තුළ කැපී පෙනුණු පුද්ගලයන්ට සීමාවී ඇති බවකි. එවැනි පුද්ගලයන් ඔවුන්ගේ ජීවිත කාලයේ කාර්යක්ෂම යුගය පසුකර ඇති අතර ඔවුන් ලවා රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම බලාපොරොත්තු විය නොහැකි ප්‍රතිඵලයකි. ඔවුන් උපරිම වශයෙන් යොදා ගත හැක්කේ උපදේශකයන් හා අනුශාසකයන් වශයෙන් වශයෙනි. කඩිනම් අවශ්‍යතාවය වී ඇත්තේ අතීතයේ තමන්ගේ කුසලතා පෙන්නුම් කර ඇත්තාවුද, තමන්ගේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අන්දමේ සේවයක් කිරීමට තරම් තරුණ බව ඉතිරිව තබෙන නිලධාරී කණ්ඩායමක් තෝරාගැනීමයි. මේ සඳහා සුදුස්සන් සොයා ගැනීම සඳහා ගැලපෙන ක්‍රමවේදයක් නම් කැපී පෙනෙන සේවයක් කොට දැනට විශ්‍රාම ලබා සිටින නිලධාරින් විමසීම යි. මේ සම්බන්ධයෙන් වෘත්තීමය සංගම් වලට ද යම් දායකත්වයක් දිය හැකිය.

පරීක්ෂණ පැවැත්වීම හා විනිශ්චය

පිරිස් හිඟය පවත්නේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් නොවේ. පරීක්ෂණ කටයුතු වලදීද එය බලපවත්වයි. ඉහත අංක 4 දරන අල්ලස හා දුෂණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ මන්දගාමීත්වයට ප්‍රධාන හේතුව එය බව පෙනේ. මෙහිදී ලබා ඇති ප්‍රගතිය පිළිබඳ දැඩි නොසැහීමක් පවතී. අංග කිලිපොළවන මට්ටමේ රජය පෙරලීමේ කුමන්ත්‍රණ, ගිනිඅවි පාවිච්චිය, මුදල විශෝධනය, මත් ද්‍රව්‍ය වෙළඳාම, ජාත්‍යන්තර අල්ලස් සහ එතෙර යටත් විජිත පිහිටුවීම් ආදිය ගැන පුවත්වලින් මාධ්‍ය පිරී ඇත.

පරීක්ෂණ නොකඩවා පැවැත්වෙන අතර දිනසියයේ කාලරාමුවෙන් අඩක් පමණ ගතවී ඇති නමුත් චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විශ්වාසනීය විනිශ්චය සභාවක් වෙත ඉදිරිපත් කර නොමැත. එසේ වුවත් දුෂමාන ආරංචි නිසා චුදිතයන්ගේ නම් කැලලට ලක්වන අතර මෙම ක්‍රම වේදය යටතේ නම් සඳහන් වන අයට තමන්ගේ නිර්දෝෂී බව පෙන්වා සිටීමට අවස්ථාවක් නොලැබේ. චෝදනා තාවකාලික කමිටු මගින් විනිශ්චය කළ හැකි මට්ටම ඉක්මවා සිටින සංකීර්ණ හා බරපතල ඒවාය. ජනාධිපතිවරයා පවා මන්දගාමී ක්‍රියා මාර්ග ගැන පෞද්ගලික නොසතුට පළ කර ඇති අතර සතියක් ඇතුලත ජනාධිපති කොමිසමක් පත් කරන බව පවසා ඇත. සති කිහිපයක් ගතවී ඇතත් කොමිෂන් සභාව දකින්නට නැත. මෙම පරීක්ෂණ කටයුතු ස්වභාවයෙන් පැවරිය යුත්තේ දීර්ඝ අධිකරණ පළපුරුද්ද ඇති අය වෙතය. මෙම කොමිෂන් සභාවට පත් කිරීමට එබන්දන් තුන් දෙනෙකුවත් සොයා ගැනීමට පාලකයන් අසමත් වී ඇත්ද?

චෝදනා එල්ලවන්නේ මීට සති කිහිපයකට පෙර වන තෙක් පාලන තන්ත්‍රයේ ඉහල මට්ටමේ සිටි අයට එරෙහිව හෙයින්, විනිශ්චය සභා අධිකරණමය වශයෙන් ස්ථාපනය කිරීමෙන් රජයට ලොකු වාසියක් ලැබේ. මේ මගින් නිරාවරණය වන කරුණු ඉදිරි මැතිවරණයේදී ඉතා විශ්වාසනීය ප්‍රචාරක මෙවලම් විය හැකිය. හිටපු ජනාධිපතිවරයාගේ පිහිටෙන් බලයට ඒමට බලාපොරොත්තුවන අය විසින් සංවිධානය කළ නුගේගොඩ ව්‍යාපාරය, දැන් සිටින පාලකයන් නොසන්සුන් කිරීමට ඉඩ ඇත. එම ප්‍රචාරණ වාසිය අවම කිරීමට ඉක්මන් පියවර නො ගතහොත් සිද්ධිය මගින් එක්සත් මහජන වාමාංශික පෙරමුණට ලැබුන ධෛර්යය එක්සත් ජාතික පක්ෂයට බරපතල අභියෝගයක් බවට පත්වීමට ඉඩ ඇත. මෙම ප්‍රතිප්‍රහාරය ප්‍රමාදවන සෑම මිනිත්තුවක් පාසාම බලයේ සිටින අයගේ ජයගැනීමේ ඉඩකඩ ඇහිරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

සාකච්ඡාවට භාජනය වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන විස්තර සහිත යෝජනාවලියක් ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ හි පළවී තිබුණි. මෙම යෝජනාවලිය නිල වශයෙන් ප්‍රසිද්ධ කොට උනන්දුවක් දක්වන මහජනතාවගේ අදහස් විමසීමට කටයුතු නොකෙරුනේ ඇයිදැයි පැහැදිලි නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන උපරිම ප්‍රසිද්ධියටත් සුක්ෂම විශ්ලේෂනයටයත් ලක් විය යුතුය. පාරදෘෂ්‍යභාවයක් නොතිබීමත් යෝජනා ගැන සාකච්ඡාවට ආරාධනා නො කර තිබීමත් නො සලකා යම් ප්‍රමාණයක විව්වේචන ඉදිරිපත්වී තිබුණි. යෝජනා බොහෝදුරට පොදු බැවින් තොර හා පුද්ගලානුබද්ධ බව සඳහන් කරනු හැරෙන්නට මෙහිදී ඒ ගැන විශ්ලේෂණයක් කිරීමට අදහස් නොකරමි. වැදගත් ප්‍රශ්නය නම් යෝජනා ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න ගැනයි. එනම් යෝජිත සංශෝධන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කොටසක් ලෙස ඇතුලත් කරනවාද නැතහොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇතුළත් කරනවාද යන්න යි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම යටත්පිරිසෙයින් මාස හයක්වත් ගතවෙන ක්‍රියාවලියක් නිසා අදහස් කරනු ලබන්නේ දෙවැන්න විය නොහැකිය. දින සියයක කාලයක් තුළ මැනවින් නිම කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයකි. ඇරත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොබෝ කලකින් සම්මත කෙරෙන නිසා දැනට කරන සංශෝධනයක ජීවීත කාලය කෙටි එකක් වන හෙයින් එහි අරමුණ විය යුත්තේ බලය අයථා ලෙස පාවිච්චි කරමින් මුලධර්මවලට පටහැනිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද දෑ ඉවත් කිරීම ය. මින් පැහැදිලි වන්නේ 18 වැනි සංශෝධනය ඉවත් කිරීමය. මෙසේ කළ විට ඉවත් කරන ලද 17 වැනි ඡේදය වෙනුවට ප්‍රතිපාදනයක් ඇතුළත් කළ යුතුවේ. සාරාංශයක් වශයෙන් කිව හැක්කේ කඩිනම් පියවරක් වශයෙන් ජනාධිපති ධුරකාලයේ සීමාවන් ඉවත්කරමින් 31 වැනි වගන්තියට කරන ලද සංශෝධනය ඉවත් කිරීමත්, වීධායකය සහ අධිකරණ ආයතන සහමුලින්ම පාලනය කිරීමේ බලතල ජනාධිපතිවරයාට පවරන බලතල ඉවත් කරන ප්‍රතිපාදන 41 අ වගන්තිය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමත්ය.

19 වැනි සංශෝධනය

මෙම අරමුණු දෙකම යෝජිත 19 වැනි සංශෝධනය මගින් සාක්ෂාත් කර ගත හැකිය. අහෝසි කරන ලද 17 වැනි සංශෝධනයේ අදාළ ප්‍රතිපාදන නැවත බලාත්මක කිරීම මගින් විධායක සහ අධිකරණ ආයතන ජනාධිපතිවරයා විසින් සහමුලින් පාලනය කිරීමේ බලය සීමාකිරීමේ අරමුණ ඉෂ්ටවෙතැයි යන නිගමනයට එළඹීම සාවද්‍යය. අහෝසි කරන ලද ප්‍රතිපාදන සර්ව සම්පුර්ණව තුබුණේ නම් එය පහසු කාර්යයයකි. අද පවත්නා අන්දමේ කලාතුරකින් ඇතිවන එකඟතාවක් මත කඩිමුඩියේ සම්මත කර ගන්නා ලද 17 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ගැන විවිධ විවෙචන පැවති බව අමතක නොකළ යුතුය. එම සංශෝධනයේ `ව්‍යවස්ථාදායක මණ්ඩලය’ ලෙස නම් කරන ලද ආයතනයේ සංයුතිය, වාර්ගික ප්‍රවණතා, නාමයෝජනා ගැටළු, නිර්දේශ මත කටයුතු කිරීමට ජනාධිපතිවරයාට අනිවාර්ය නොකිරීම වැනි ගැටළු කිහිපයක් තිබුණි. ඇතැම් කටයුතු නියමිත කොන්දේසි අනුව කළ නොහැකිවූ අතර එවැනි සමහර කොන්දේසි නිසා එම සංශෝධනය අහෝසි වන තුරු කටයුතු කළ නොහැකිව තිබුණි.

මෙම අඩුපාඩු සම්පුර්ණ කිරීමට දින සියයේ වැඩ සටහන තුළ ඉඩකඩ නොමැති නමුත්, මෑතදී සිදු කරන ලද, මෙතෙක් සතුටුදායක ලෙස ක්‍රියාත්මක වූ අවිධිමත් වැඩ පිළිවෙලක් නීතිගත කිරීමෙන් මෙම අඩුව සම්පුර්ණ කරගත හැකි බවක් පෙනේ. එනම් දැනට අනියම් ලෙස පවත්වාගෙන යන පාර්ශව වැඩිප්‍රමාණයක් නියෝජනය වන ජාතික විධායක මණ්ඩලය 19 වැනි සංශෝධනයට ඇතුලත් කිරීමෙනි. හදිසි පිළියමක් ලෙස කළ හැක්කේ ජාතික විධායක මණ්ඩලයේ සංයුතිය වඩා පුළුල් කොට 17 වැනි සංශෝධනයේ එන `ව්‍යවස්ථාදායක සභාව’ට පැවරී ඇති කාර්ය භාරය ඊට පැවරීමය. එ මගින් 18 වැනි සංශොධනය මගින් යටපත් කරන ලද ජනාධිපති බලතල එසේම පැවතීමට සලස්වන අතර ජාතික විධායක සභාවට නෛතික තත්වයක් ද ලබාදෙනු ඇත. මෙම වැඩ පිළිවෙල නිසා යම් දුෂ්කරතාවක් පැන නැගුනොත් ඒ කෙටි කාලයකට වනු ඇත. අලුතෙන් සම්පාදනය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒවා සංශෝධනය හෝ ආදේශය මගින් නිවැරදි කෙරෙනු ඇත.

ස්ථර දෙකකින් යුත් කාලරාමුවක්

දින සියයයේ වැඩ සටහන කොටස් දෙකකට බෙදිය හැකිය. පළමූ වැන්න දින සියයයේ වැඩ සටහන වන අතර අංක 1 සිට 5 දක්වා ඊට ඇතුළත්ය. අංක 6 සහ 7 දෙවැන්නට අයත්ය. ඒවා මැතිවරණ ක්‍රමය සාධාරණිකරණය කිරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීමය. මෙම අංග දෙක එකිනෙකට බද්ධය. ඉදිරි මැතිවරණයට පෙර `බහුබූත ව්‍යවස්ථාවෙන්’ රට බේරා නොගෙන සර්ව සම්පූර්ණ මැතිවරණ ක්‍රමයක් ගොඩ නැගීමට උත්සාහ කිරීම නිරර්ථක කාර්යයකි. එසේම, මැතිවරණයට පෙර සර්ව සම්පුර්ණ ව්‍යවස්ථාවක් ස්ථාපනය කොට, එය පවත්නා අසමතුලිත මැතිවරණ ක්‍රමය යටතේ අවුරුදු හයක් තිස්සේ ක්‍රියාත්මක වන්නට ඉඩ හැරීම විහිළුවකි.

ව්‍යාපෘති දෙකම එක වරට නිම කිරීම අවශ්‍යය. ඡන්ද දායකයන්ට කොතරම් බලාපොරොත්තු කඩවීමක් වුවත් මෙය අධිවේගයෙන් ඉටු කළ හැකි දෙයක් නොවේ. මහජනයා සතුටු කිරීමට ඇස්බැන්දුම් විසඳුමක් ක්‍රියාත්මක කළහොත් එය අවුල්ජාලයක් බවට පත්වී ගතවූ කාලයේ මෙන් අසාර්ථක ක්‍රියාදාමයක ප්‍රතිරංගනයක් විය හැකිය. ඡන්දදායක ජනතාව බලාපොරොත්තුවන්නේ යහපත් ප්‍රතිපලයක් වන අතර ඒ සඳහා සාධාරණ කාලයක් බලා සිටීමට ඔවුන් සුදානම්ය. යහපාලනය පිළිබඳ ගැලවුම්කරුවූ ගරු මාදොළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ සංස්කරණ පිළිබඳ කීවේ මෙසේය:

“ අප දින සීයේ සීමාවක් ඉල්ලුවේ නැත. රජයට කාලය මදිකම නිසා පොරොන්දු ඉටු කිරීමට ලබන අප්‍රේල් මාසය දක්වා කල් ගත හැකිය. මේ අවස්ථාවේ මැතිවරණය ප්‍රමුඛ අවශ්‍යතාවක් නොවේ. මහජනයා ඡන්දය දුන්නේ ප්‍රතිසංස්කරණ සඳහාය. රජය කවර තත්වයක් යටතේ හෝ ඒවා ඉටු කළ යුතුය.” රජය විසින් මනාප ඡන්ද ක්‍රමය අහෝසි කොට මහා මැතිවරණයට පෙර මනාප ඡන්ද ක්‍රමය අහෝසි කොට නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. උන්වහන්සේ යහපාලනය සඳහා කරන ලද කාහල නාදයේ අපූර්ව බලය සිහියේ තබාගෙන එම යෝජනාව රජය විසින් ඉතා ඕනෑකමින් සලකා බැලීම නුවණට හුරුය.

ගඟ මැදදී ගොනුන් මාරු නො කරනු

දින සියයේ වැඩ සටහන ක්‍රියාත්මක කරන වේගය වැදගත් නමුත් වඩාත් වැදගත් වන්නේ වැඩසටහන අවසානයේ අත්පත් කරගන්නා ප්‍රතිඵලයි. අවසාන ඵලය විය යුත්තේ මහජනයා විසින් යහපත් හා සාධාරණ ක්‍රියාවලියක් මගින් තෝරාගත් සැබවින්ම ප්‍රජාතාන්ත්‍රික රජයකි. මීළඟ මැතිවරණය පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පවත්නා දෝෂ සහිත මැතිවරණ ක්‍රමය යටතේ පවත්වනු ලැබුවහොත් පසුගිය ජනාධිපතිවරණයේ ලත් සියලු ජයග්‍රහණ අහෝසි වී යනවා ඇත. මෙයින් ගම්‍ය වන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම මෙම අවශ්‍යතා දෙක සපුරා ලිය යුතු බවය. මෙය ක්‍රියාත්මක කළ හැක්කේ වත්මන් පාර්ලිමේන්තුවේ ලබාගත හැකිව පවතින තුනෙන් දෙකේ වරම උපයෝගී කර ගැනීම් මගිනි. ඉදිරි පාර්ලිමේන්තුවල සංයුතිය ගැන බලාපොරොත්තු නොතබා යකඩය රත්වී තිබෙන විට තලා ගත යුතුය.

මහ මැතිවරණය කලින් පැවැත්වීමට ගෙන ඇති අත්තනෝමතික තීරණය විමර්ශනයට ඔරොත්තු දෙන්නක් නොවේ. වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය ලබන වර්ෂයේ අප්‍රේල් මස දක්වා පවතී. අදාළ කටයුතු නිමකිරීමට බලධාරීන්ට වර්ෂයකට වැඩි කාලයක් ඉතිරිව ඇත. අංක 6 සහ 7 අලුතෙන් ආරම්භ කිරීම අවශ්‍ය නොවේ. වාසනාවකට මෙන්, විමසීමට සහ දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය වු ලේඛන දෙකක් රට ඉදිරියේ තිබේ. පළමුවැන්න තෝරාගත් සුප්‍රසිද්ධ විශේෂඥ නියෝජිත කණ්ඩායමක් විසින් පිළියෙළ කරන ලදුව 2000 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත යි. එය පොදු එකඟත්වයක් ඇතිව සම්මත කර ගැනීමට ආසන්නව තිබියදී එවකට සිටි ජනාධිපතිවරියගේ ධුර කාලය පිළිබඳ මතභේදයක් නිසා ව්‍යර්ථ වියඉතිරිව සිටින සේවය කළ සාමාජිකයන්ගේ සහ අවශ්‍යනම් පසුව ආ තවත් විශේෂඥයන්ගේ ද සහභාගිත්වය ඇතිව කෙටුම්පත තවදුරටත් සංස්කරණය කළ හැකිය.

මැතිවරණ ක්‍රමය ගැන දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් කමිටුවක් විසින් පිළියෙළ කරන ලද කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තුව සතුව පවතී. ඒ පිළිබඳව සාමාන්‍ය එකඟත්වයක් ද පවතී. එහි සුළු පරස්පර තිබුනද, ඒවා සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් කර ගැනීමට වැඩි කාලයක් ගත නොවිය යුතු ය. සියලු පක්ෂවල එකඟත්වය ලැබෙන බවට ප්‍රතිඥා මත මෙම පසුබිම යටතේ ලේඛන දෙකටම මාස කිහිපයක් ඇතුලත පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබා ගත හැකි වනවා ඇත. පෞද්ගලික කෝණයෙන් බැලීමේදී මේ මගින් ලැබෙන කල් ගැනීම නිසා සමහර මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් ලැබෙන අතර වැඩිදෙනෙකුට විරාජමානව යන අවසාන ගමනේ දිගුවක් ලැබෙනවා ඇත.

ඇරත් පාර්ලිමේන්තුවේ සම්පුර්ණ ආයු කාලය ගතවන්නට හැරීම දෙපක්ෂයටම වාසියකි. මෙම විරාමයෙන් විරුද්ධ පක්ෂයට තම පරාජයේ තුවාල හැකිතාක් දුරට සුව කර ගැනීමට ද ආණ්ඩු පක්ෂයට තමන් දිනාගත් දේ තහවුරු කර ගැනීමටද කාලය ලැබෙනවා ඇත. කවර පක්ෂයක්වත් තොටුපලට සේන්දු වීමට වන තෙක් පාරුව පැද්දීම නොකරන බව විශ්වාස කළ හැකිය.

*2015 පෙබරවාරි 25 වැනි දා‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Broad-Base 100 Days Programme නැමැති ලිපියේ සිංහල අනුවාදය හේමකිර්ති දිසානයක

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.