20 April, 2024

Blog

නොනිමි යුද්ධයක්: ශ‍්‍රී ලංකාවේ වධහිංසාව සහ ලිංගික හිංසනය 2009-2014

යස්මින් සූකා

‘‘මේ අධිකරණය ඉදිරියේ තමුන්ට බේරෙන්න පුලූවන් කමක් නැහැ. තමුන්ට කරන්න පුලූවන් එකම දේ, පාපොච්චාරණය කිරීම විතරයි. ලැබෙන මුල් අවස්ථාවේදීම පාපොච්චාරණය කරන එකයි හොඳ. ගැලවිලා යන්න තියෙන එකම අවස්ථාව ඒකයි. ඒක විතරමයි. හැබැයි, ඒ විතරක් වුණත්, අනිත් අයගේ සහයෝගය නැතුව, කරන්න පුලූවන් කමක් නැහැ.’’ (නඩු විභාගය- ෆ‍්‍රාන්ස් කෆ්කා)

පෙරවදන

සම්මානිත අගරදගුරු ඩෙස්මන්ඞ් ටුටූ

Archbishop Desmond Tutuතමන්ගේ පැරණි සතුරන් සමග සමාදානයක් ඇති කර ගනිමින් තිබෙන බවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කරන ප‍්‍රකාශය බොරුවක් බව, මේ වාර්තාවේ ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව බලන විට පෙනේ. සිවිල් යුද්ධයේ දී පරාජයට පත් පාර්ශ්වයට ඈතින් හෝ ගෑවී සිටින ඕනෑම කෙනෙකු, තුවක්කු නිහඬ වී පස් වසක් ගතව තිබීමෙන් පසුව පවා, හඹා ගොස් දඩයම් කෙරෙන, වධහිංසාවට පමුණුවන සහ  දූෂණය කෙරෙන ආකාරය, ඒ මගින් පෙන්නුම් කෙරේ. අතිශය කම්පාව දනවන කාරණය වන්නේ, වාර්තාවේ සඳහන් පැහැරගෙන යාම්වලින් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ, 2013-2014 තරම් මෑත කාලයක දී වීමයි. මෙහි සංගෘහිත සාක්ෂි සැපයෙන්නේ පුද්ගලයන් 40 දෙනෙකුගෙනි. ඒ සියල්ලන්ගේම පාහේ පවුල්වලට, ඔවුන්ගේ නිදහස අත්කර ගැනීම සඳහා අල්ලස් ගෙවිය හැකි හැකියාවක් තිබුණි. එවැනි ඥාතීන් නොසිටි සහ එවැනි වත්කම් නොතිබුණු අයවළුන්ට කුමක් වන්නට ඇත් දැ යි කෙනෙකුගේ සිතට නැගේ. මෙහි කියැවෙන ලිංගික හිංසනය තුළ දැක්වෙන හුදු කෲරත්වය සහ තිරිසන්කමම, අති භයානක ය. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල වධකයන්ගේ සහ ස්ත‍්‍රී  දූෂකයන්ගේ ජාතිවාදී වාචික හිංසනයන් ඊට නොදෙවැනිය. මේ සාක්ෂිකරුවන්ගෙන් 35 දෙනෙකුට, සිංහලෙන් ලියන ලද පාපොච්චාරණවලට බලහත්කාරය යටතේ අත්සන් කරන්ට සිදුවිය. සමහරු, කැමැත්තෙන් ඔත්තු සපයන්නන් බටවත්, සම්බන්ධයක් නැති අහිංසකයන්ව පැටලැවීමටත් පෙළඹුණහ. ඒ, තමන්ගේ ජීවිතය රැුක ගැනීමට ය. ඒ මගින්, හෘද සාක්ෂියේ රුදුරු බර එක දිගට මතුවට කරගහගෙන යන තත්වයට ඔවුන්ව පත්කෙරුණි. මේ වාර්තාව සඳහා සම්මුඛ සාකච්ඡුාවන්ට සහභාගී වූ අයවළුන්ගෙන් අඩකට ආසන්න පිරිසක් ලංකාවෙන් පිටස්තර ආරක්ෂිත ස්ථානයකට ලඟා වූ පසුවත් දිවි නසා ගැනීමට තැත්කොට තිබීම අපව තැතිගන්වන සුළු ය. මෙයින් පෙන්නුම් කරන්නේ, ඔවුන්ගේ ජීවිත කාලය තුළ නැවත කිසි දවසක සතුට සහ සාමය අත්කරගත නොහැකි වන තරමට ඔවුන්ගේ ආත්මයන් විනාශ කිරීම මාර්ගයෙන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව සිය අභිමතාර්ථය මුදුන්පත් කරගෙන ඇති බවයි. මගේ හද පත්ලෙන් නැගෙන ප‍්‍රාර්ථනය වන්නේ, පළිගැනීමේ චක‍්‍රය දැන්වත් බිඳේවා යන්නයි. එසේ වීමට නම්, ජාත්‍යන්තර ප‍්‍රජාව මැදිහත් විය යුතුව තිබේ. එහි දී, යුද්ධය මොන විදිහකින්වත් තවම අවසන්ව නැති දිවයිනක් වන ලංකාව අරා පැතිර පවතින දණ්ඩමුක්තියේ නූල් කැරැුල්ල විනිවිද යාම අත්‍යාවශ්‍ය වන්නේය.

ඩෙස්මන්ඞ් ටුටූ

මූලික සාරාංශය

යුද්ධයෙන් පස් වසක් ගෙවී ගොස් තිබියදී පවා, වාර්ගික දෙමළ ජනතාවට එරෙහි ශ‍්‍රී ලංකාවේ යුද්ධය තවමත් ක‍්‍රියාත්මක වීමේ රුදුරු චිත‍්‍රය මේ වාර්තාවෙන් චිත‍්‍රණය කෙරේ.

වාර්තාව තුළ සොයා ගැනුණු කරුණු:

පැහැරගෙන යාම්, නීති විරෝධී අත්අඩංගුවේ තබා ගැනීම්, වධහිංසා පැමිණවීම්,  දූෂණය සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය, ශ‍්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ කාලය තුළ වර්ධනය වී තිබේ. ඒවාට ඉලක්ක වී තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වී සිටියේ යැයි හෝ ආධාර කෙළේ යැයි සැක කෙරුණු පුද්ගලයන් ය. මේ අයට දඬුටම් කිරීම සේම, එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන තොරතුරු ලබා ගැනීම සහ/හෝ ඒ සම්බන්ධයෙන් පාපොච්චාරණයන් ලබා ගැනීම ඒවායින් අදහස් කෙරුණු අරමුණු ය.

ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශයේ මේ ක‍්‍රමවත් සහ බහුල උල්ලංඝණයන් සිදුවුණේ, ආණ්ඩුවේ ඉහළම තැන්වලින් අනුමැතිය ලත් සැලසුමක් තුළ බව පෙනෙන්ට තිබේ. එහි දී, තමන්ට එරෙහිව කිසි ක‍්‍රියාමාර්ගයක් නොගැනෙන බවට වන විශ්වාසයක් ආරක්ෂක අංශවලට තිබී ඇත.

(1) වධ හිංසාවය සහ (2) ස්ත‍්‍රී  දූෂණය සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වයට අදාළව, යුද්ධයෙන් පසුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකොට ඇති බව බැලූ බැල්මට පෙනෙන තත්වයක් මේ වාර්තාව මගින් සනාථ කෙරේ.

වාර්තාවේ පදනම් කරුණු:

පැහැරගෙන යාම්, වධහිංසා පැමිණවීම්, ස්ත‍්‍රී  දූෂණ සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වයන්ට අදාළ අත්දැකීම් ගැන මේ කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්- අඩක් කාන්තාවන් සහ අඩක් පිරිමින් වන- පිරිසකගේ දිව්රුම් ප‍්‍රකාශ 40 ක්.

පැහැරගෙන යාම් සහ වධහිංසා පැමිණවීම් සියල්ල, 2009 මැයි- 2014 පෙබරවාරි, කාලයට අදාළ ය. එනම් යුද්ධයෙන් පසුව ය.

මේ වාර්තාවේ සඳහන් පැහැරගෙන යාම්වලින් අඩකට වැඩි ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ 2013-2014 කාලයේ ය.

මේ වාර්තාවේ සඳහන් සිදුවීම් බහුතරය, 2011 පසු කාලයට අදාළ ය.

දෙන ලද සාක්ෂි සම්බන්ධයෙන් ගත් විට, 40 දෙනාගෙන් 32 කුගේ ප‍්‍රකාශයන්ට අදාළ වෛද්‍ය සහ මනෝ වෛද්‍ය වාර්තා තිබේ. එහෙත් එයින් සමහරෙකු එංගලන්තයට පැමිණ ඇත්තේ ඉතා මෑතක දී නිසා, ඒවා හැම විටකම සපයාගත නොහැකි විය.

ශ‍්‍රී ලංකාවෙන් පැමිණෙන සිය ගණනක් සරණාගත අයදුම්කරුවන් පරීක්ෂා කිරීමේ අතීත අත්දැකීම් සහිත, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශේෂඥයන් දෙන්නෙකුගේ සාක්ෂි.

දිව්රුම් ප‍්‍රකාශ 40 ට අමතරව, විවිධ සිදුවීම්වලට අදාළ, වෛද්‍ය-නෛතික වාර්තා 57 ක් (පිරිමි 40 ක් සහ කාන්තාවන් 17 ක්). ඒ සියල්ල, 2006-2012 කාලයේ වධහිංසාවන් ය. එයින් 28 දෙනෙකු, රජයේ ආරක්ෂක හමුදා අතින්  දූෂණයට ලක්වී හෝ ලිංගික ප‍්‍රචණ්ඩත්වය ලක්වී හෝ ඇති බව කියැවුණි.

මේ වාර්තාවේ සඳහන් වධහිංසා,  දූෂණය සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය, ඒවාට ලක්වී සිටිය හැකි විශාල පිරිසකගේ කුඩා සාම්පලයක් පමණි. මේ සියලූ දෙනා, සොයාගත හැකිව සිටි, සිය නිදහස වෙනුවෙන් යම් අල්ලසක් ගෙවිය හැකිව සිටි සහ එංගලන්තයට පැමිණිය හැකිව සිටි පිරිසකි. එංගලන්තයේ සරණාගත රැුකවරණය පතන්නන් පිළිබඳ සියලූ කරුණු සොයාගත හැකි යම් මධ්‍යගත ක‍්‍රමයක් නොවන හෙයින්, තවත් මෙවැනි අත්දැකීම් සහිත පිරිස් කොතෙකුත් සිටිය හැකිය.

සාක්ෂි දෙන්නන්ට සහ තවමත් ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල අයවළුන්ට අත්විය හැකි අනතුරු ගැන හොඳින් දැනුවත් පරීක්ෂකයන්, ඔවුන්ගේ අනන්‍යතාවන් රහසිගතව තබා ගැනීමට හැම වෑයමක්ම ගෙන තිබේ. සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු විදේශයන්හි ජීවත්ව සිටි අතර ආපසු ලංකාවට ගියහොත් අනතුරකට ලක්විය හැකි බවට දැනුමක් ඇතියවුන් නොවුණි. මේ සාක්ෂිකරුවන්ගෙන් අතිබහුතරය, ‘සුදුවෑන්වලින්’ පැහැරගෙන ගියවුන් ය. එය, ආරක්ෂක අංශවලින් කෙරෙන පැහැරගෙන යාම් ගැන ශ‍්‍රී ලංකාව තුළ ව්‍යවහාරයෙන් අඟවන ව්‍යංගයකි. සාක්ෂිකරුවන්ගෙන් කාලක්, පැහැරගෙන ගිය බවට සහ එක වරකට වඩා වධ හිංසාවට පත්කළ බවට වාර්තා විය.

මේ සාක්ෂිකරුවන්ව අත්අඩංගුවෙන් නිදහස් කොට ඇත්තේ, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් රජයේ ආරක්ෂක අංශවලට දෙන ලද අල්ලස්වල අනුහසිනි. බොහෝ විට ඒ අල්ලස් දීම් සිදුව ඇත්තේ, ආණ්ඩුවට පක්ෂපාතී සන්නද්ධ කල්ලි හරහා ය. කොළඹ ගුවන් තොටුපොළෙන් පිටත් වූ අයවළුන්, තමන්ගේ අනන්‍යතාව හඳුනා නොගනු වස්, එහි දී ද අල්ලස් ගෙවා තිබේ.

ස්ත‍්‍රී  දූෂණය, වින්දිත කාන්තාව රුධිරයෙන් නහවන තරමට, බොහෝ විට තිරිසන් වී ඇති බව සාක්ෂිවලින් පෙනේ. ඇතැම් විටක, ජාතිවාදී නින්දා අපහාසවලින් ද එම සිදුවීම් හැඩිවී ඇත. එක ගැහැනියකගේ යෝනියට සහ ගුද මාර්ගයට බැටන් පොල්ලක් බැස්සවීම වැනි ක‍්‍රියාවන් සමග, තවත් ගැහැනියකට, එක පිරිමියෙකු අතින්  දූෂණය වන අතරේ වෙනත් පිරිමියෙකු සමග මුඛ සංසර්ගයේ යෙදීමට බල කෙරී තිබේ. එම කාන්තාව පිරිමි සමූහයක් විසින් අවස්ථා හතක දී  දූෂණයට ලක්කොට ඇත. මේ සියලූ සාක්ෂිකාරියන්, ඇති වූ ලිංගික අපහරණයන් ගැන මොන තරම් ලජ්ජාවටත්, වරදකාරීත්වය පිළිබඳ හැඟීමටත් යටවී ද යත්, එංගලන්තයට පැමිණි පසු, එයින් අඩකට ආසන්න පිරිසක් සියදිවි නසා ගැනීමට තැත් කොට තිබේ.

සරණාගත ප‍්‍රතිපත්තිය සහ ආධාර සැපයීමේ ප‍්‍රතිපත්ති කෙරෙහි මෙන්ම, ජාත්‍යන්තර ප‍්‍රජාව කෙරෙහි ද මේ වාර්තාව තුළින් සැලකිල්ලට ගතයුතු කරුණු බොහොමයකි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ/හෝ විශේෂ ජාත්‍යන්තර විනිශ්චය සභාවක් හරහා අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සේම, සාර්වත‍්‍ර අධිකරණ බලතල යටතේ දේශීය නඩු විභාග සඳහා පෙළඹවීමත් වහා කළ යුතුව තිබේ. අපේ පරීක්ෂකවරුන් ඉදිරියේ කරුණු කියා සිටි සියළු සාක්කිකරුවන්/සාක්කිකාරියන් එක හඬින් කියා සිටි දෙයක් තිබුණි: එනම්, තමන්ගේ රුදුරු අත්දැකීම් තමන් මෙසේ හෙළිදරව් කරන්නේ, එවැනි අපරාධ වහා නතර කැරැුවීමටත්, තමන්ට අත්වූ ඉරණම මින් මතු තවත් කෙනෙකුට අත්නොවීමට වගබලා ගැනීමටත්  බවයි.

*‘එංගලන්තයේ සහ වේල්සයේ මානව හිමිකම් පිළිබඳ නීතිඥ කමිටුව’ සහ  ‘සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය’ නිකුත් කළ වාර්තාවේ පෙරවදන සහ මූලික සාරාංශය – පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.