19 June, 2026

Blog

අගා සමඟ වමේ අතීතයට

ශිරාන් ඉලන්පෙරුම –

මා අවසන් වතාවට අගා හමුවන විට, ඔහුගේ ලිවීමේ කටයුතු වලට සහයවීම සඳහා ලිපිද්‍රව්‍ය කිහිපයක්, ඔහුට ගෙනයාමට සිතාගත්තෙමි. ඔහුගේ මේසය මත, තම අත්පිටපත් ලියා තිබූ කඩදාසි කොළ අඩංගු කාඩ්බෝඩ් ෆයිල් කවර ගොන්නෙහි අවුල් සහගත බවක් දකින්නට තිබිණ. විටෙක, පිටු මේසය පුරා විසිරී ගිය අතර, ඔහු එය සොයාගන්නේ කෙසේදැයි මම කනස්සල්ලට පත්වූයෙමි. පැරණි සතිපතා ප්‍රකාශන සහ ජාතික සම්මේලන වාර්තා, ඔහුගේ පර්යේෂණවලට මඟ පෙන්වන පක්ෂ අහස් ගැබෙහි, තරු රෑනක් මෙන් විය.

කනගාටුවට කරුණක් නම්, කාලය අපට වඩා හොඳින් ක්‍රියාත්මක වූ අතර මට නැවතත් ඔහුගේ ලිපිද්‍රව්‍ය සැපයුම ප්‍රාණවත් කිරීමට නොහැකිවිය.

අගා ජයසේන (1942 පෙබරවාරි 15 – 2025 ඔක්තෝබර් 28) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරය තරම්ම පැරණි කොමියුනිස්ට්වාදියෙකි. ඔහු උපත ලැබුවේ ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමට වසරකටත් අඩු කාලයකට පෙරය (1943 ජූලි 2–3). ශ්‍රී ජයවර්ධනපුර (විද්‍යෝදය)  විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු පූර්ණකාලීනව පක්ෂයට සම්බන්ධ වී බදුල්ලේ සහ මොනරාගල ගොවීන් සංවිධානය කිරීමේ කටයුතුවල නියැලී සිටියේය. ඔහු සිහිපත් කළේ, සංවිධායකයෙකු ලෙස මුල් අවධියේදී කතා පැවැත්වීමට තමන්ට ආත්ම විශ්වාසයක් නොතිබූ අතර, ඒ සඳහා දිනපතා කොමියුනිස්ට් පක්ෂයේඇත්තපුවත්පතේ ලිපි ශබ්ද නඟා කියවූ බවයි. ජීවිත කාලය පුරාම පුහුණුවන්නෙකු, සන්නිවේදකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වූ අගා කෙටි කාලයකදීම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ, දේශපාලන මණ්ඩලයේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ ජාතික සංවිධායක ලෙස තම ස්ථානය සොයාගත්තේය.

මම මුලින්ම අගාව මුණගැහුණේ සහ ඔහුගේ කතාවකට සවන්දුන්නේ, “ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගැන ඔහු ලියූ පොත එළිදැක්වීමේ උත්සවයේදීය. මම පුදුමයට පත් වූ අතර ටිකක් බියටද පත්වුණෙමි. එදා ඔහු මට තරමක් දැඩි හා බැරෑරුම් ලෙස පෙනුණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය ගැන  ඔහුගේ දෘෂ්ටිකෝණයන් පිළිබඳ සම්මුඛ සාකච්ඡා මාලාවක් කිරීම සඳහා ඔහු සමඟ කතාකිරීමට මට ධෛර්යය ලැබුණේ මේ වසර මුලදීය. ඔහු පිළිබඳ මගේ මුල් තක්සේරුව තරමක් වැරදි විය. ඔහු අතිශයින් උණුසුම් හා සාදරයෙන් පිළිගත් කෙනෙකි. “ආහ්, ශිරාන්! දුරකථනයෙන් කතා කිරීමෙන් පලක් නැහැ, මාව පෞද්ගලිකව හමුවෙන්න”. තේරුමක් නැති ආරම්භයන්ගෙන් පසු, ප්‍රධාන වශයෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය නිසා, අපි පැලවත්තේ ඔහුගේ නිවසේදී මුණගැසුණෙමු. මගේ සටහන් පෙරළමින් පටිගත කිරීම්වලට සවන්දෙන විට, මෙම සංවාද කෙතරම් අසංවිධාත්මකද යන්න මට වැටහුණි. ඉතිහාසයේ විවිධ මූලාශ්‍ර ගැන අපි පැය ගණනක් කතා කළෙමු. ඒ පුරාවටම ඔහු ඉවසිලිවන්ත, කරුණාවන්ත සහ විශ්ලේෂණාත්මක විය.

මගේම පිළිබිඹුව සහ සොයාගැනීම් ඇතුළුව, අපි සාකච්ඡා කළ දේවල් හී, ඔහු මතුකළ කරුණු මත පදනම් ව සමහර අංග පහත දක්වමි.

අප සිටින්නේ කුමන අවධියකද?

ඔහුගේ අවසාන කාලයේ දී, අගා යොමු වෙමින් සහ උත්සාහ කරමින් සිටියේ, ව්‍යාපාරයේ ඉතිහාසය තුලින් වර්තමානයට පැමිණියේ කෙසේද යන්න තේරුම් ගැනීමටය. ඔහු පක්ෂයේ ඉතිහාසය පිළිබඳ විවේචනාත්මක ආවර්ජනය ඇතුළුව තම මතක සටහන් ලිවීමට කාර්යබහුල විය. අපගේ සාකච්ඡාවලදී, වෘත්තීය සමිති සහ සමුපකාර ව්‍යාපාර ගොඩනැගීම සඳහා ආරම්භක නායකයින් වන එස්.. වික්‍රමසිංහ සහ එම්.ජී. මෙන්ඩිස් දැරූ උත්සාහයන් පිළිබඳව ඔහු ප්‍රබලව අවධාරණය කළේය. වෘත්තීය සමිති ව්‍යාපාරයේ අරගල, විශේෂයෙන් වැල්ලවත්ත නූල් සහ රෙදි විවීමේ කම්හලේ වැඩ වර්ජන අතරතුර, වාර්ගික සහ සතුරන් හා එක්ව ක්‍රියාත්මක වීමට ගත් ඒ.. ගුණසිංහගේ ලංකා කම්කරු පක්ෂය සමඟ ඇති වූ ගැටුම් පිලිබඳවත්, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ආරම්භ කිරීමට පෙර සිටම පැවත එන්නක් බවද සඳහන් විය. ඒ හා සමානව, 1940 දී කොමියුනිස්ට්වාදීන් ලසසපයෙන් නෙරපා හරින ලද විට, වික්‍රමසිංහ සහ ඔහුගේ සගයන් මුලින්ම ජනතා සංවිධාන ගොඩනැගීම සඳහා කාලය ගත කිරීමද, ලංකා වෘත්තීය සමිති සම්මේලනය 1941 දී පිහිටුවීමද කරන ලද්දකි. පක්ෂයට ව්‍යාපාරයෙන් පිටතට පැමිණීම හැර වෙනත් මඟක් නොතිබිණි. සන්ධානයක් පදනම් කර ගැනීම සඳහා වැඩසටහන් නිර්මාණය කිරීමේ ප්‍රවණතාවය ඔහු ප්‍රතික්ෂේප නොකළද, විවේචනාත්මක විය. වැඩසටහනක් තිබීම සතුටුදායක සහ හොඳ දෙයක් විය, නමුත් වැඩසටහනක් නිර්මාණාත්මක හා අපූර්ව විය යුතු අතර, එම වැඩසටහන ජනතාව සමග ඉදිරියට ගෙනයන සමාජ බලවේග හඳුනාගත යුතුව තිබිණ. එවැනි වැඩසටහනකට ඇතුළත් කරන්නේ සහ බැහැර කරනු ලබන්නේ කවුරුන්ද? ඔහුගේ වචන වලින් කිවහොත්, වැඩසටහනකට බහුජන සංවිධාන වැනිවාහකයක්අවශ්‍ය විය. කොමියුනිස්ට් ව්‍යාපාරය නැවත වරක් කම්කරු පන්තිය වෙත ගොස් මෙම වාහකයා නැවත ගොඩනැගීම, අවශ්‍ය බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය.

ප්‍රධාන න්‍යායික ප්‍රශ්න ගැනද අගා විශේෂයෙන් පැවසීය. ඔහුඅපි විප්ලවයේ කුමන අවධියකද සිටින්නේ?” සහජාතික ප්‍රශ්නයක් තිබේද?” යන ප්‍රශ්න ඇසුවේය. කලින් තිබූ බහුවරණ පිළිතුරු ඔහු දැනසිටියාක් මෙන්, නමුත් වත්මන් සන්දර්භය තුළ නිවැරදි දේ කුමක්දැයි විශ්වාසයක් නොමැති විය. එක් දෙයක් ස්ථිර විය. ඒ ඊට තවත් අධ්‍යයනයන් අවශ්‍ය බවයි. නමුත් කලින් පැවති මට්ටමේ බුද්ධිමතුන්ගේ හිඟයක් එම ව්‍යාපාරයට අද පවතී. එදිනෙදා අර්බුද සහ නියෝජන මැතිවරණ රැල්ල නිසා එය පසුපසට ඇද දැමුණේ, විරාමයක් හෝ ඇගයීමට මොහොතක්වත් ඉතිරි නොකරමිනි.

කොළඹ සිට කොචින් දක්වා

කම්කරු පන්ති ව්‍යාපාරය තුළ පක්ෂයේ ආරම්භය පිළිබඳ අගාගේ කියවීමෙන්, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පළමු මහජන පදනම වූ ලංකාවේ සංක්‍රමණික මලයාලි කම්කරුවන්ගේ භූමිකාව ගැන ඔහුට සිතීමට සැලැස්වීය. 1940 ගණන් වනවිට ලංකාවේ මලයාලිවරුන් 40,000 ක් පමණ සිටි අතර මලයාලි රා මදින්නන් 2700 ක් පමණ ල.වෘ..සම්මේලනයට අනුබද්ධ සමස්ත ලංකා රා කම්කරු සංගමය විසින් සංවිධානය කරන ලදී. .කො..ය එහි පූර්වගාමී පක්ෂය වූ, එක්සත් සමාජවාදී පක්ෂය සහ බොහෝ දුරට මලයාලිවරුන් පදනම් කරගත් ලංකා සමාජවාදී පක්ෂය අතර එකතුවක ගොඩනැංවීමක් විය. 1944 දී සම්මත කරන ලද පළමු ලංකා කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවෙහි, පක්ෂ ධජයේ එහි නමඅවශ්‍ය වන පරිදි සිංහල, දෙමළ, මලයාලම් හෝ ඉංග්‍රීසි භාෂාවෙන්අන්තර්ගතව තිබිය යුතු බවට නියමකර තිබෙන ලදී. ඒ හා සමානව, පක්ෂයේ මුල් ප්‍රකාශන චතුර්යභාෂාවෙන් පළවිය. ජනශක්ති (සිංහල සහ දෙමළ), නවශක්ති (මලයාලම්) සහ ෆෝවඩ් (ඉංග්‍රීසි) එම පුවත්පත් විය. එකළ ටයිම්ස් ඔෆ් සිලෝන් වැනි දක්ෂිණාංශික පුවත්පත්වල තීරු ලිපිවල, උපහාසාත්මක ලෙස කොමියුනිස්ට් පක්ෂය හැඳින්වූයේමලයාලි සහෝදරවරුලෙසයි.

ඉන්දියාව සමඟ ලාංකීය කොමියුනිස්ට් සබඳතා ලංකාවේ පදිංචි කම්කරුවන් සංවිධානය කිරීමට පමණක් සීමා නොවීය. ආරම්භක නායකයින්ටම ඉන්දියානු නිදහස් ව්‍යාපාරය සමඟ සමීප සබඳතා තිබුණි. ලන්ඩනයේ තම අධ්‍යාපන සමය සහ ඉන්දියාවට ගිය කාලය තුළ එය පෝෂණය විය. ලන්ඩනයේදී, එස්.. වික්‍රමසිංහ ඉන්දියානු නිදහස් සටන්කාමියෙකු සහ එක්සත් රාජධානියේ, ස්වාධීන ඉන්දීය පළමු මහකොමසාරිස් වී. කේ. ක්‍රිෂ්ණ මෙනන් සමඟ සමීපව සම්බන්ධ විය. දෙදෙනා විසින්ඉන්දියාවේ සහ ලංකාවේ සමාජවාදයපිළිබඳ සමුළුවක්ද සංවිධානය කළහ. පසුව මීරුට් කුමන්ත්‍රණ නඩුව අතරතුර වික්‍රමසිංහ ඉන්දියාවට ගිය අතර, ටික කලක් මොහන්දාස් කරම්චන්ද් ගාන්ධි සමඟ සබරමතී ආශ්‍රමයේ කල්ගත කලහ. එවකට, රබීන්ද්‍රනාත් තාගෝර් විසින් පිහිටුවන ලද ශාන්ති නිකේතනයේ බෞද්ධ භික්ෂුවක් වන ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පලමු සභාපති වූ උඩකැන්දවල ශ්‍රී සරණංකර හිමි නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටියේය. සරණංකර හිමි ඉන්දියාවේදී බෙංගාලි භාෂාව ඉගෙනගනිමින්, ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වී, පසුව සිරගෙදරදී සුභාෂ් චන්ද්‍ර බෝස්ද හමුවිය.

නමුත් නිදහස ලැබීමත් සමඟ, ජාතිය ගොඩනැගීම් සහ උත්සාහයන් අභ්‍යන්තරයට යොමු වූ අතර පුරවැසිභාවය, දේශසීමා, වෙළඳපොළ ආදිය සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඇතිවිය. කොමියුනිස්ට්වාදීන් සඳහා, ප්‍රධාන ජාත්‍යන්තර අග නගරය සෝවියට් සංගමය බවට පත්වූ අතර, ජාත්‍යන්තරව සහාය දක්වන ජාලයක් පවත්වා ගැනීමට ආර්ථික ශක්තිය තිබුණේද ඔවුන්ට පමණි. මේ අනුව, ව්‍යාපාරයේ මධ්‍යස්ථානය ලෙස සේවය කළ සෝවියට් සංගමය සමඟ ඇති සම්බන්ධතාවයට සාපේක්ෂව අසල්වැසි සහෝදර පක්ෂ සමඟ ද්විපාර්ශ්වික සබඳතාවලට ප්‍රමුඛතාවය නොලැබුණි.

ඉන්දියානු ව්‍යාපාරය සමඟ ඇති එම සම්බන්ධතාවය, විශේෂයෙන් කේරළයේ, දෙපාර්ශ්වයම වැඩි වශයෙන් ශක්තිමත් නොකළේ මන්දැයි අගා කල්පනා කළේය. පෝක් සමුද්‍ර සන්ධිය සහ බටහිර ඝාට්ස් හරහා, 1957 දී ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් කොමියුනිස්ට්වාදීන් සිටි කේරළය පිහිටා තිබුණි (සිත්ගන්නා කරුණ නම්, 1959 දී නේරු විසින් සීඅයිඒ සහය ඇතිව මෙම රජය නෙරපා හැරීම, S. W. R. D. බණ්ඩාරනායක ඝාතනයට මාස කිහිපයකට පෙර සිදුවීමය). බොහෝ සමානකම් කේරළය සහ ශ්‍රී ලංකාව අතර තිබේ. නිදහස ලබන විට, ඌන සංවර්ධිත කාර්මික පන්ති සහිත වතු ආර්ථිකයන් සහ ආහාර ආනයන මත යැපීම ස්ථාන දෙකෙහිම විය. ශ්‍රී ලංකාව මෙන්ම, කේරළය ද කොමියුනිස්ට් පක්ෂ කුඩා දේශපාලන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඉන්දියානු උප මහද්වීපයේ අවසාන ස්ථානවලින් එකක් විය. .එම්.එස්. නම්බුදිරිපාද් මෙය ආරෝපණය කළේ, කේරළයේ නූතන කර්මාන්තවල සාපේක්ෂ ඌන සංවර්ධනයට හේතුව, එය ශ්‍රී ලංකාවට ද අදාළ කළ හැකි නිගමනයක් ලෙසයි.

ආගාගේ කරුණු මා කුතුහලයට පත් කළේය. ශ්‍රී ලාංකික සහ කේරළ දේශපාලන ව්‍යාපාරයන් අතර විශාල හුවමාරුවක් නොතිබුනේ ඇයි? දේශපාලන අධ්‍යාපනය සහ සාහිත්‍ය හා කාව්‍ය අන්‍යෝන්‍ය පරිවර්තනය සඳහා කාඩර හුවමාරුවක් නොතිබුණාද? කේරළයේ විශාල සමුපකාර ජාල, ප්‍රජා පුස්තකාල සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වෙත කරුණු සෙවීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලාංකික කාඩරයන් යවා නොතිබුණාද? මෙම ප්‍රශ්න විඥානවාදී ලෙස පෙනෙන්නට තිබුණත්, දේශපාලන පක්ෂ දෙක අතර සමීප ඓතිහාසික, සංස්කෘතික සහ භූගෝලීය සම්බන්ධතා සැලකිල්ලට ගෙන ඒවා ඇසීම ඉතාමත් වටිනාකමක් ඇත.

ආගාගේ මගපෙන්වීම අනුගමනය කරමින්, මගේ පර්යේෂණය මාව සිත්ගන්නා චරිතයක් වෙත ගෙන ගියේය. පී. සංකර්, මලයාලි වෘත්තීය සමිතිවාදියෙකු සහ ල.වෘ..සම්මේලනයෙහි ආරම්භක සාමාජිකයෙකු (ඔහු උප සභාපති සහ සහකාර ලේකම් ලෙස කටයුතු කළේය), .කො.පක්ෂයෙහි මලයාලම් සතිපතා නවශක්ති පුවත්පතේ කර්තෘ සහ 1943 සිට 1952 දක්වා ල.කො.. මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු විය. සංකර් 1952 දී ඉන්දියාවට නැවත ගියේය. ඉන්දියානු සංක්‍රමණිකයින්ට එරෙහි ලංකා රජයේ ප්‍රතිපත්ති ඔහුට එසේ කිරීමට බල කරන්නට ඇති බව පෙනේ. කේරළයට ආපසු පැමිණි පසු, සංකර් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වී 1977 දී චිත්තූර් ප්‍රදේශයෙන් කේරළ ප්‍රාන්ත රාජ්‍ය සභාවට තේරී පත් විය. ඔහු 1991 දී මිය ගියේය. යම් විටෙක, ඔහු ශ්‍රී ලංකාවේ සහෝදරවරුන් සමඟ සම්බන්ධතා පවත්වා තිබේද?

ඉන්දියානු ව්‍යාපාරය සමඟ සමීප සබඳතා යෝජනා කරන විට අගා, ඉන්දුකේන්ද්‍රීය හෝ ඉන්දියානුවාදියෙකු යැයි මම නොසිතමි. ඔහුගේ අදහස වූයේ ඉන්දියාවේ තත්වයන් දුරස්ථ සෝවියට් සංගමයට වඩා ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් සමාන බවයි. ශ්‍රී ලාංකික කොමියුනිස්ට් තරුණයින් සෝවියට් සංගමයට ගොස් අධ්‍යාපනය ලැබීමට උනන්දු වන බව ඔහු තර්ක කළේය. (මෙය පක්ෂය සඳහා පීතෘමය සම්බන්ධතාවයක් දක්වා සකස් වූවකි.) නමුත් ඔවුන් ඉගෙන ගත් දේ සැමවිටම ශ්‍රී ලංකාවට පහසුවෙන් අදාල කල නොහැකි විය. මොස්කව්හි සමාජ විද්‍යා ඇකඩමියේ ගතකළ කාලය ගැන ඔහුට එසේ හැඟුණාදැයි මම නොදනිමි. සෝවියට් සංගමය නිසැකවම ශ්‍රී ලාංකික නිලධාරීන් සහ රාජ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් බිහිකිරීමට උපකාරී වී ඇත. (නිදසුනක් වශයෙන්, COVID-19 වසංගතයට එරෙහි ව්‍යාපාරයට නායකත්වය දුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සෝවියට් අධ්‍යාපනයේ නිපැයුමක් වේ) නමුත් පියවි චින්තනයක් ඇති විප්ලවවාදීන් ප්‍රමාණවත් නොවීය. අගා ශ්‍රී ලාංකික යථාර්ථය තුළ මුල් බැසගත් තර්කයක් ඉදිරිපත් කරමින් සිටියේය.

අස්වැන්නේ විශිෂ්ඨතමයන්

අගාගෙන් මා සතුව ඇති එක් සිහිවටනයක් වන්නේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අටවන ජාතික සම්මේලනයේ (1972 අගෝස්තු 20–24) දේශපාලන වාර්තා කෙටුම්පතෙහි පිටපතකි. මම මෙය ටයිප් කරන විටද  එම දිරාපත් වූ පිටපත මගේ මේසය මත තිබේ. 1964 සහ 1972 අතර, එනම් වසර අටක කාලයක් තුළ, පක්ෂය ජාතික සම්මේලන පවත්වා නොතිබුණි. මෙය පක්ෂ සම්මේලනයක් නොමැතිව තිබූ දීර්ඝතම කාලය විය හැකිය. මෙය විශේෂයෙන් වැදගත් වූයේ එය පක්ෂයට, වාම ව්‍යාපාරයට සහ සමස්තයක් ලෙස රටට කැළඹිලි සහිත සහ පරිවර්තනීය වසර කිහිපයක් වූ බැවිනි.

1964 දී, පක්ෂය චීනසෝවියට් භේදය හරහා බෙදී ගියේය. එන්. ශන්මුගදාසන් (ෂන්) සමඟ ල.වෘ...යේ පිරිසක් , සිංහල සහ දෙමළ පුවත්පත් කතුවරුන්, ගොවි පෙරමුණු සංවිධායකයන් සහ තරුණ පෙරමුණු නායකයින් කිහිප දෙනෙක් ඇතුලු බොහෝ දෙනෙක් පක්ෂයෙන් ඉවත්විය. එයින් මැතිවරණවලට සුළු බලපෑමක් සිදුවුවද, එය බහුජන සංවිධානවල සහ දෘෂ්ටිමය අංශයේ කැපවූ මධ්‍යම මට්ටමේ කාඩරයේ එකමුතුවට සැලකිය යුතු පහරක් වැදිණ. 1965 දී, ෂන්ගේම පක්ෂය දෙකඩ වූ අතර, තරුණ රෝහණ විජේවීර තරුණ අංශයෙන් ඉවත්වී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පිහිටුවීම සඳහා ග්‍රාමීය උගත් සිංහල තරුණයින් හරවාගැනීම ආරම්භ කලේය. විජේවීර විසින් පෞද්ගලිකව හමුවූ අයගෙන් අගා ද එක් අයෙකි.

එසේම 1964 දී, සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) රජයේ කැබිනට් තනතුරක් පිළිගැනීම හේතුවෙන් ලසසප, .කො.. සහ පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණෙන් සමන්විත වාමාංශික එක්සත් පෙරමුණ බිඳ වැටුණි. දශක ගණනාවක කට්ටිවාදයෙන් පසු, 1963 දී වෘත්තීය සමිති සංවිධානවල ඒකාබද්ධ කමිටුව පිහිටුවීමට හේතු වූ පෙර නොවූ විරූ එක්සත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් වා..පෙරමුණ පිහිටුවීමට බල කෙරිනි. කෙටිකාලීන වා..පෙ.යෙන් පෝෂණය වූ කොටස් බිඳවැටීම මතුකරමින් අගා පැවසුවේ, “මිනිස්සු අපිව අතහැර ගියායනුවෙනි.

1965 දී බලයට පත් වූ මධ්‍යදක්ෂිණාංශික රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත් පළමු රජය විය. ප්‍රගතිශීලී බලවේග අතර එකමුතුවක් සඳහා නව හදිසි අවශ්‍යතාවයක් ඇතිවිය. 1970 වනවිට, දිගුකලක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් තිබූ ලසසපකොපශ්‍රීලනිප පෙළගැස්ම, අවසානයේ මල්ඵල ගැන්වූ අතර එක්සත් පෙරමුණ මැතිවරණය අතිවිශාල බහුතරයකින් ජයග්‍රහණය කළේය. නමුත් පීටර් කෙනමන් විසින් දරන ලද නිවාස හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඇතුලත් එක් අමාත්‍ය ධුරයකට වඩා ලබාගැනීමට කො..යට නොහැකි විය.

ඉන්පසුව, 1971 දී, ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇති විය. 1967 දී බොලිවියාවේ චේගුවේරා ඝාතනය සහ කියුබාවේ ස්වාධීනත්‍රෛමහාද්වීපික මග, වියට්නාමයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද යුද්ධය සහ එහිදී, බෞද්ධ භික්ෂූන් ඝාතනය කිරීම සහ කිම් ඉල් සුං ගැන සිංහල පරිවර්තන ව්‍යාප්තිය සහිත කැළඹිලි සමය අගා සිහිපත් කළේය. 71 කැරැල්ලේ, ප්‍රචණ්ඩත්වයෙන් සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වූ පැරණි වාමාංශය එයින් දෙදරුම් කෑවේය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගලයක් සඳහා කොන්දේසි නොමැති බවට ගැඹුරින් මුල් බැසගත් මතය අභියෝගයට ලක්විය. “විශාල ප්‍රශ්නය වූයේ, මෙය පැමිණෙන බව අපට නොපෙනුනේ මන්ද යන්නයි“, අගා පැවසීය.

1971 ජනතා විමුක්ති පෙරමුණ ගැන අගාමෘදු කෝණයකින්බැලීම ඒත්තු ගැන්වීය. ඔහු රෝහණ විජේවීරගේ (1943 ජූලි 14 වන දින උපත ලැබූ) පරම්පරාවටම අයත් විය. පෞද්ගලිකව ඔහු අගාව එක්කර ගැනීමට සමීප විය. සෝවියට් සංගමයේ දේශපාලන අධ්‍යාපනයෙන් පසු අගා 71 කැරැල්ල සමයේදීම රටට ආපසු පැමිණි ඇති අතර එයින් රටපුරා කොමියුනිස්ට් තරුණයින් උද්යෝගයට පත්විය. අගා ඒ පරම්පරාව ගැන කතාකළේ දුක්බර ස්වරයකිනි. ඔවුන් කම්කරු පන්තිය සමඟ එකතුවූවා නම් සමාජ පරිවර්තනය සඳහා බලගතු බලවේගයක් වියහැකිවිශිෂ්ඨතමඅයයි. ඔහු අදහස් කළේ, කුමන පැත්තකට වැටුණත් එය කාසියේ පෙරළියක් ලෙසයි. සියල්ලට පසු, ඔහුගේ යුගයේ බොහෝ කොමියුනිස්ට්වාදීන්ට මෙන්, ඔහුටද දෙපිලේම සහෝදරවරු සිටියහ.

1973 දී, ලංකා කොමියුනිස්ට් පක්ෂය (සෝවියට් පිල) දෙකඩ විය. එස්.. වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විපක්ෂයට ගියහ (මෙම කණ්ඩායමට සරත් මුත්තෙට්ටුවේගම, ඇත්ත කර්තෘ එච්. ජී. එස්. රත්නවීර මෙන්ම තරුණ අගා සහ ඩිව් ගුණසේකර ද ඇතුළත් විය). කෙනමන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය සමඟ රැඳී සිටියේය. මෙම භේදයට හේතු රාශියක් තිබුණි. රජය ජවිපෙ කැරලිකරුවන් සමඟ කටයුතු කළ දැඩි ස්වරූපය සහ සාමාන්‍ය ක්‍රියාපටිපාටි යටතේ, පිළිගත නොහැකි සාක්ෂි ලබාදුන් 1972 අංක 14 දරන අපරාධ යුක්ති කොමිෂන් සභා (CJC) පනත භාවිතාකිරීම පිළිබඳ එකඟ නොවීම්ද ඇතුළත් විය. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය අගා කුතුහලයට පත්කළේය. 1976 දී කණ්ඩායම් දෙක අතර සබඳතා යථාවත් කිරීමට සෝවියට් තානාපති කාර්යාලය මැදිහත් වූ බව සමහර ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. මෙය සමාන පදනමක් මත සිදුනොවූ බවත්, සෝවියට්වරු වික්‍රමසිංහගේ කණ්ඩායමට මූල්‍ය ආධාරනවතා දැමූබවත් අගා කියා සිටියේය.

පී. කන්දයියා (1960 දී මිය ගියේය), ජී. වී. එස්. ද සිල්වා (1959 දී පක්ෂය හැර ගියේය) සහ ශන්මුගදාසන්,  ප්‍රේමලාල් කුමාරසිරි (1964 දී පීකිං කණ්ඩායම පිහිටුවා ගත් අය) වැනි බුද්ධිමය ප්‍රබලයින්ගේ සහාය නොමැතිව වික්‍රමසිංහට, සෝවියට්කෙනමන් මගට අභියෝග කිරීමට න්‍යායාත්මක විශ්වාසයක් නොතිබූ බැවින් හුදකලා බවක් දැනුණා විය හැකිය. එය මගේ අනුමානයක් පමණි. ශන්මුගදාසන්ගේපසුතැවිලි නොවන කොමියුනිස්ට්වාදියෙකුගේ මතක සටහන්” (1989) හී කෙනමන් කෙරෙහි විෂකුරු බවක් පෙන්වන නමුත් වික්‍රමසිංහ කෙරෙහි ගෞරවයක් ප්‍රකාශකිරීම සිත්ගන්නා කරුණකි. ඒ හා සමානව, ප්‍රේ. කුමාරසිරි ඔහුගේ පසුකාලීන වසරවලදී ලියාඇත්තේ ශ්‍රී ලංකාවේසමාජවාදයේ පියායන ගෞරව නාමය ලැබීමට ආසන්නතම පුද්ගලයා වික්‍රමසිංහ බවත්, පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වූ පිලිප් ගුණවර්ධන නොවන බවත්ය. වික්‍රමසිංහ කිසිදු මතක සටහනක් ලියා ඉතිරිකළේ නැත. එබැවින් අපි ඔහුගේ කතාව සැබවින්ම නොදැන සිටිනවා විය හැකිය.

1960 ගණන්වල සිට, විශේෂයෙන් 1970 සභාගය සහ 1971 කැරැල්ලෙන් පසුව පක්ෂය තුළ ඇතිවූ ප්‍රතිවිරෝධතා කිහිපයක් අඩංගු බව අගාට හැඟුණු නිසා, 1972 දේශපාලන වාර්තා කෙටුම්පතට අගා ආකර්ෂණය වූ බැව් මම සිතමි. මා සතුව ඇති පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති අතර එහි පිටු දහයක් නොමැත. සමහර ඡේද පැන්සලකින් සලකුණු කර ඇත. නමුත් ඔහු නිසැකවම සිංහල අනුවාදය කියවා ඇති බැවින් මෙය අගා විසින්ම සිදුකරන ලද්දක් දැයි මට විශ්වාස නැත. සලකුණු කරන ලද ඡේදවලින් එකක් මෙන්න:

පක්ෂය එක්සත් පෙරමුණට ඇතුළු වූයේ, තමන්ගේම වැඩසටහන සහ එක්සත් පෙරමුණ අතර සම්බන්ධතාවය සම්පූර්ණයෙන් සකස් නොකරය. පක්ෂ වැඩසටහන සඳහා ස්වාධීන ව්‍යාපාරයක් නොමැති විට, සමහර පක්ෂ තරාතිරම්වල යම් දෘෂ්ටිමය ව්‍යාකූලත්වයක් සහ එහි විවිධ දෘෂ්ටිමය ප්‍රවණතා වර්ධනය කිරීම සහ අඛණ්ඩව පවත්වාගෙනයාම ද සිදුවිය. මෙය දේශපාලනිකව දියුණු පක්ෂ නොවන කොටස් අතර ව්‍යාකූලත්වයක් ඇති කළ අතර, කොමියුනිස්ට් පක්ෂයේ විප්ලවවාදී ස්වභාවය පිළිබඳව ඔවුන්ගේ මනසෙහි සැකයන් ඇති කළේය. දෘෂ්ටිමය අරගලය නොසලකා හැරීම ද ඉහත සඳහන් දේට දායක විය.”

අපට යාන්ත්‍රණයක් නොමැත

අගා සමඟ මගේ පළමු සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ, අනුර කුමාර දිසානායක සහ ජාතික ජනතා බලවේග (NPP) රජයේ ජනාධිපති ධුරයේ මාස හතරක් පමණ ගත වූ පසුවය. අපි මුණගැසුණු විට අගා ජා..බලවේගය ගැන විවෘත මනසකින් බැලුවේය. එසේ වුවද, රජය කුමන මාර්ගයක යා යුතුද, ඔවුන් නව ලිබරල් රාමුවෙන් බිඳී යන්නේ කෙසේද යනු පැහැදිලි නැති බවද ඔහු පැවසීය. පසුගිය දශකය තුළ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර සංහිඳියාව සඳහා තිබූ අවස්ථා ගණනාවක් මගහැරී ඇතිබව ඔහු පිළිගත්තේය.  විශේෂයෙන්, කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය පුද්ගලීකරනය වැළැක්වීම සඳහා ඒකාබද්ධ අරගලය ඒ අතරතුර විය.

ජා.මූ..(IMF) වැඩසටහන දිගටම කරගෙන යාමට ජා... ගත් තීරණය අගා තේරුම්ගත් අතර, ජා...ය බෝට්ටුව ඕනෑවට වඩා සෙලවීමකින් තොරව සිටීම ඥානවන්ත යැයි ඔහුට හැඟුණි. ඔහු ජා.මූ.. වැඩසටහන අනුමත කළ නිසා නොව, විදේශ මුදල් රඳවා තබාගැනීම, භාණ්ඩ ගබඩාකිරීම, ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම වැනි තවත් දේ මගින් ආර්ථිකය අඬලෑමට සැලැස්විය හැකි බැඳුම්කර හිමියන්ට සහ දේශීය වෙළඳ ධනපතියන්ට පක්ෂව බලතුලනය දැඩිලෙස නැඹුරු වී ඇතිබව ඔහුට හැඟෙන්නට ඇති බැවිනි.

ජාතික ජන බලවේගය බිඳවැටුණු රාජ්‍ය යාන්ත්‍රණය වෙත ගමන් කරමින් සිටීම ගැන ඔහු අනුකම්පා කළේය. අගා තෝරාගත් සිංහල වචන තවමත් මගේ මනසෙහි දෝංකාර දෙයි. “අපට යන්ත්‍රණයක් නැහැ“. ජා.මූ.. හි කොන්දේසි මගින් සීමාකරන ලද ජාතික ජන බලවේගයේ පළමු අයවැය කිසිදු නිශ්චිත අංශයක් තෘප්තිමත් කිරීමට නොහැකි වූ බව ඔහුට හැඟුණි. නමුත් වතු අංශය සහ උතුරු හා නැගෙනහිර සඳහා වෙන්කිරීම් ඔහු අගය කළේය. පොදුවේ ගත්කල, ජාතික ජන බලවේගයේ උතුරේ මැතිවරණ ජයග්‍රහණ ගැන ඔහු අගය කළ නමුත්, ජාතික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පැහැදිලි බවක් නොමැතිකම ගැන ඔහු විවේචනාත්මක විය. ආර්ථික සේවා සහ යටිතල පහසුකම් සැපයීම පමණක් දේශපාලන ප්‍රශ්නය මඟ හැරීමට ප්‍රමාණවත් නොවන බව ඔහුට හැඟී තිබිණ.

මම ඔහුව මුණගැසුණු අවස්ථා වලදී අගා ආදි යුගයක් සිහියට නඟන පැහැදිලි මනෝභාවයකින් සිටියේය. ඔහුගේ මනස ඉතිහාසයේ සටන්කාමීන් වෙත නැවත ඇදී ගියේය, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කිසිදු මතක සටහනක් ඉතිරි නොකර තිබූ අතර ඉතිරිව සිටින අය විසින්ද ඒවා අනුස්මරණය නොකෙරේ. ඔහුගේ පරම්පරාව (කොමියුනිස්ට්වාදීන්ගේ දෙවන පරම්පරාව) මියයාමට පෙර පළමු පරම්පරාව සමඟ දීර්ඝ සම්මුඛ සාකච්ඡා කිරීමට කිසි විටෙකත් නොසිතුවේ මන්දැයි ඔහු කල්පනා කළේය. අද ස්වල්ප දෙනෙක් පමණක් කතාකරන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන ඒ. වෛත්‍යලිංගම් ගැන කතාකරන විට ඔහුගේ දෑස් වල කඳුළු දිස්වන්නට විය. “දකුණට වික්‍රමසිංහ මෙන් වෛත්‍යලිංගම් උතුරට සිටියායැයි අගා පැවසීය. අගාගේ අභාවයත් සමඟ, එම පරම්පරාව බොහෝ දුරට බිඳී ගොස් ඇත. අපගේ ව්‍යාපාරයේ ඉතිහාසයේ බොහෝ දේ නොලියූවක් ලෙස පවතී.

අගාගෙන් මට ලැබුණු අවසාන පණිවිඩය මේ වසර මුලදී බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දීබැන්ඩුං ජීවයපිළිබඳව මා කළ කතාවක් අගය කිරීමේ හඬ සටහනකි. අපගේ සම්මුඛ සාකච්ඡා වලදී, ඔහු බොහෝ විට කල්පනාකාරී සහ ස්වයං විචාරාත්මක විය. එබැවින් ඔහුගේ කටහඬේ පටිගත කිරීමක් හරිම සජීවීව ඇසෙන බව දැනීම සතුටකි.

ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කර සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී ව්‍යාපාරය ආරම්භ වී වසර 90ක් ගතවීමට මාස දෙකකට පෙර අගාගේ මරණය අපට එල්ලවූ පහරක් විය. අගා මෙන්, වමේ අනෙකුත් අයද පසුගිය වසර 90ක අරගලය ගැන මෙනෙහි කර එහි ඉතිහාසයන් ලිවීමට කාලය ගතකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. කීර්තිමත් අතීතය භුක්ති විඳීමට පමණක් නොව, ඉදිරි මාවතක් සකස්කර ගැනීමට අඩිතාලමක් දැමීමට අපගේ අදහස් සහ මුල් අභිලාෂයන් පිළිබඳ විශ්වාසයක් මෙන්ම හැඟීමක් ඇති කරගත යුතුය.

*ශිරාන් ඉලන්පෙරුම, සමාජ පර්යේෂණ සඳහා ත්‍රෛයිමහාද්වීපික ආයතනයෙහි දේශපාලනආර්ථික පර්යේෂකයෙකි. Island.lkහී පළවූ ලිපිය සිංහලෙන් සකස්කලේ ජයන්ත වැලිවිට විසිනි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.