22 February, 2020

Blog

මාධ්‍ය, සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය තුළ නොපිළිගැනුණු සහ පාවිච්චියට නොගැනුණු පරදු පාර්ශවයක්

අයිංකරන් කුගදාසන්

අයිංකරන් කුගදාසන්

අයිංකරන් කුගදාසන්

බෙහෙවින් භේදභින්න වූ ඕනෑම රටක ජනතාව අතරේ බිඳී ඇති විශ්වාසය සහ පැහැදීම යළි ගොඩනගා ගැනීම සඳහාත්, එම අවිශ්වාසය ඇති වීමේ එක් ප‍්‍රධාන හේතුවක් වන අන්‍යොන්‍ය අවබෝධයේ නොගැළපීම පියවා ගැනීම සඳහාත්, එකම කාර්ය කරන විවිධ කාර්යාල පිහිටුවාගෙන යනවාට වඩා කළ යුතු බොහෝ දේ තිබේ. බෙහෙවින් කල් ගතව ඇති ජාතික සංහිඳියාවට සහ ප‍්‍රතිසංස්කරණවලට සහාය දීමට සහ ඒවා ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි තමන්ට කළ හැකි බලපෑම ගැනත්, ඒ අරභයා තමන්ට ඇති අගය ගැනත්, ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය තේරුම්ගෙන නොතිබීම කණගාටුවකි. විවිධ හේතු සහ දෘෂ්ටිවාදයන් මත දශක ගණනාවක් තිස්සේ ද්‍රැවායනය වූ සමාජයක ජාතික සංහිඳියාව උදෙසා වන සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය සුළුපටු දෙයක් නොවේ. එම ක‍්‍රියාවලියට සංවර්ධනාත්මකව මැදිහත් වීමට තමන්ට ඇති සමාජ වගකීම සහ තමන්ගේ සමාජ කාර්ය භාරය ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය විසින් දැන්වත් තේරුම්ගත යුතුව ඇත.

2009 මැයි මාසයේදී කුරිරු යුද්ධය අවසන් වීමේ පටන් පැවති විවිධ වේදිකාවල, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම අරභයා මාධ්‍යට කළ හැකි තීරණාත්මක කාර්ය භාරය අනන්තවත් අවධාරණය කොට තිබේ. එසේ වතුදු එදා පැවති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව, ගැටුමේ මූල හේතුවලට ආමන්ත‍්‍රණය කිරීමටවත්, කුරිරු යුද්ධයේ අවාසනාවන්ත ප‍්‍රතිවිපාකවලට පිළියම් සෙවීමටවත් කළ දෙයක් නැත. ඒ වෙනුවට ඔවුන් කෙළේ, අනෙකා නොඉවසීම සහ අනෙකාට වෛර කිරීම වඩවන සංස්කෘතියක් බෝ කිරීමයි. එසේ කෙළේ, එක පැත්තකින්, ජාතිවාදය සහ අන්තවාදය පතුරුවන රැුඩිකල් සහ ජාතිකවාදී කල්ලිවලට අනුග‍්‍රහය දැක්වීමෙන් සහ අනිත් පැත්තෙන්, වෙනස් අදහසක් දරණ මාධ්‍යවලට සහ පුද්ගලයන්ට හිරිහැර කිරීමෙන්, තර්ජනය කිරීමෙන් සහ බිය වැද්දීමෙන් පාලනය කර ගැනීමට බැලීමයි.

2015 ජනවාරි මාසයේ රාජපක්ෂ පාලනය පරාජය වීමත් සමග, සිරිසේන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තුළ පෙනෙන්ට ඇති ඊට වඩා අඩු පීඩාකාරී පරිසරය තුළ, ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිම්මේ ඉහළ ගියේය. මාධ්‍ය මත පැවති දේශපාලනික පීඩනය ඉවත් වීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික වීම, මාධ්‍යවේදීන්ගේ නිදහස් හැසිරීමට ඉඩහසර ලැබීම සහ අන්තර්ජාලය මත පැනවී තිබූ තහනම් නියෝග ඉවත් වීම ආදිය නිසා, මාධ්‍ය තුළ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත‍්‍රය තුළත් හිතකර තත්වයක් ඇති විය. ඊට අමතරව, විවිධ අවස්ථාවල, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා ඇතුළු රජයේ ඉහළ වගකිවයුත්තන්, තම තමන්ගේ ප‍්‍රකාශ තුළින් සංක‍්‍රාන්තික යුක්ති න්‍යාය පත‍්‍රය වටා සියල්ලන් ඇතුළත් කර ගන්නා සාකච්ඡුාමය එළැඹුමකට යොමු වෙනු දක්නට ලැබුණි. එසේ වෙතත්, ජාතිවාදය වපුරන සහ අන්තවාදී මාර්ග වෙතට තල්ලූ වෙන සංස්කෘතිය මැඩලීමට, පාරදෘෂ්‍ය භාවයෙන් යුත්, දූෂණ-රහිත පාලනයක් පොරොන්දු වෙමින් බලයට පත් සිරිසේන ආණ්ඩුව ගත් සංයුක්ත පියවරක් නැත.

තමන්ගේ ආණ්ඩුව ජාතික සංහිඳියාව සඳහා අවංක ප‍්‍රයත්නයක් ගනු ඇතැයි, 2015 සැප්තැම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම-අනුග‍්‍රාහකත්වයෙන් සම්මත කර ගත් ‘සංහිඳියාව, වගවීම සහ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ප‍්‍රවර්ධනය’ මැයෙන් වූ යෝජනාවක් හරහා සිරිසේන ආණ්ඩුව ශ‍්‍රී ලංකිකයන්ටත්, ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාවටත්, පොරොන්දු විය. යෝජිත සංක‍්‍රාන්තික යුක්තියට අදාළ යාන්ත‍්‍රණයන්හි සක‍්‍රීයත්වය සහතික කරනු වස්, සියළු පරදු දරන්නන්ගේ අදහස් සැළකිල්ලට ගැනෙන, සාකච්ඡුාමය සහ සහභාගීත්ව ක‍්‍රමවේදයන්හි වැදගත්කම එම යෝජනාවෙන් අවධාරණය කෙරුණි.

ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ‘සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායක්’ ඇතුළු විවිධ කාර්යාල (අමාත්‍යාංශ) පිහිටුවාලීය. මේ ප‍්‍රවිචාරණ කාර්යයට කලින්, ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලියේ පරමාර්ථ සහ අරමුණු පිළිබඳ තොරතුරු හරහා ජනතාව දැනුවත් කරන ව්‍යාපාර දියත් කෙරෙන බව, ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ පිහිටැවූ මාර්ගෝපදේශ තුළ විශේෂයෙන් සඳහන් වෙයි. කරුණු එසේ වුවද, ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ පැවති සීමාවන් නිසා ජනතාව වෙත ළඟා වීමට ඊට නොහැකි විය.

ඒ තත්වය තුළ, හුදෙක් තොරතුරු ඉදිරිපත් කිරීමට වැඩි යමක් මාධ්‍ය විසින් කළ යුතුව තිබේ. පාලකයන් සහ පාලිතයන් අතර වන පාලම වශයෙන් මාධ්‍ය විසින් කළ යුත්තේ, සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලියේ ඇති වැදගත්කම ගැන ජනතාවට තොරතුරු ඉදිරිපත් කිරීමත්, ඒ ඔස්සේ ජනතා මතය සකස් කිරීමත් ය. සංක‍්‍රාන්තික ශ‍්‍රී ලංකාව තුළ, විවිධාකාර වින්දිත ආඛ්‍යානයන් සහ වඩාත් පුළුල් සන්දර්භයන් තුළ වින්දිතයන්ගේ අවශ්‍යතා සැළකිල්ලට ගැනීම වැදගත් ය. පුරවැසියන් දැනුම්වත් කිරීම සේම, ජනතාව අතර පවතින වෙනස්කම් උලූප්පමින් වෛරයේ බීජ වපුරන අයවළුන් හෙළිදරව් කිරීමේ වැදගත් මෙහෙවරත් මාධ්‍යයට පැවරෙන තවත් වගකීමකි.

එකිනෙකා කෙරෙහි විශ්වාසය තබන විවිධ ප‍්‍රජාවන් සහිත ශ‍්‍රී ලංකාවක් තුළ සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාමාර්ග ගැනීමට මත්තෙන්, එය පහසු කරවන පරිසරයක් ගොඩනැගිය යුතු බව, ඕනෑම කෙනෙකුට පහසුවෙන් වැටහෙන කාරණයකි. එහෙත් අවාසනාවකට, එක පැත්තකින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ කඹ ඇදිල්ලත්, තවත් පැත්තකින් ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂගේ කඹ ඇදිල්ලත් තුළ, එවැනි විශ්වාසයක් ගොඩනැගීමේ කිසිවක් මේ වන තෙක් සිදුව නැත. අනිත් අතට, මේ විශ්වාසය ගොඩනැගීමේ වගකීම පැවරෙන්නේ ලංකාවේ ආණ්ඩුවට පමණක් නොවන බවත් මෙහිදී සිහියේ තබාගත යුතුය. අද වන විට සාධනීය දෙසට වර්ධනය වී ඇති සිවිල් අවකාශය සහ මාධ්‍ය නිදහස තුළ ජනතා අදහස් හැඩගන්වන එවැනි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සියල්ලන් වෙත පැවරෙයි. වැඩියත්ම, මාධ්‍ය වෙත එම වගකීම පැවරේ.

ජනතා මතය හැඩගැස්වීමේ ප‍්‍රබල මෙවලමක් වශයෙන් ගත් විට මාධ්‍යයට මේ සම්බන්ධයෙන් කළ හැකි ප‍්‍රධාන කාර්යයක් තිබේ. එනම්, සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලීන්ට අදාළ මහජන සංවාදවලට පහසුකම් සැපයීමත්, මහජන අවකාශයට විවර විය යුත්තේ කවරේද යන්න තීන්දු කරමින් ඒ අනුව මහජන මතය හැඩගැස්වීමත් ය. මෙය, දැනට ඇති වී තිබෙන විවිධ අනවබෝධයන් සහ සැකසාංකා, සංවාදය සඳහා වන සාධනීය මාර්ග ඔස්සේ කරලියට ගනිමින්, ජාතිය යළි ගොඩනැගීම සඳහා වන සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලියේ ඇති වැදගත්කම පිළිබඳ පොදු සම්මතයක් ඇති කර ගැනීමට ඉවහල් වනු ඇත. දේශපාලන භූමිකාවක් වෙනුවට සමාජ භූමිකාවක් වශයෙන් මෙය භාර ගනිමින්, මේ ජාතික ප‍්‍රශ්නය විසඳා ගැනීමේ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑමට මාධ්‍යයට පැවරෙන බව සක්සුදක් සේ පැහැදිළි ය.

ජාතික සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් පොදු දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැති කම, අද ජාතිය ඉදිරියේ ඇති ප‍්‍රධාන අභියෝගයකි. එවැනි තත්වයක් තුළ රාජ්‍ය මාධ්‍ය හැසිරෙන්නේ, බොහෝ විට පාලක පැලැන්තියේ දේශපාලනික ඕනෑ එපාකම් අනුව ය. විද්‍යුත් මාධ්‍ය භාවිතයේදී භාෂාව පිළිබඳ පවතින විශේෂ බාධක ගැන සැලකිල්ල යොමු කිරීමත්, සංහිඳියාවට අදාළව දැනටත් පවතින නරක තත්වය තවත් අර්බුදයට පත් කිරීමේ ඉඩකඩ සැලසෙන පරිදි, වාර්තාකරණයේදී ගැටුම්කාරී මානසිකත්වයක බලපෑමට යට වීමේ බරපතල අවදානම ගැනත්, මෙහිදී සැලකිලිමත් විය යුතුය.

වෙනත් රටවල මේ ක්ෂේත‍්‍රයේ අත්දැකීම්වලින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පාඩම් ඉගෙනීම මෙහිදී අත්‍යන්තයෙන් ප‍්‍රයෝජනවත් විය හැකිය. උදාහරණයක් වශයෙන්, දකුණු අප‍්‍රිකාවේ ‘සත්‍ය හා සංහිඳියාව පිළිබඳ විශේෂ වාර්තාව’, ‘සෙන්ස් ප‍්‍රවෘත්ති සේවය’, ‘හිරොන්ඩෙල් ප‍්‍රවෘත්ති සේවය’ කොන්ගෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ ‘ඉන්ටරැුක්ටිව් ප‍්‍රජා ගුවන්විදුලිය’, බෝල්කන් කලාපයේ ‘බිර්න් යුක්ති වාර්තාව’ සහ ගෝතමාලාවේ ‘ප්ලාසා පබ්ලිකා’ ආදිය මෙහිදී වැදගත් වෙයි. ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට, තමන්ද කොටස්කරුවන් වන සමස්ත රටට සේවය කිරීම සඳහා, තමන්ගේ දේශපාලනික සහ මූල්‍ය අවශ්‍යතාවන්ගෙන් ඔබ්බට සිතීමේ වගකීම පැවරේ. එසේම, සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය පිළිබඳව වාර්තාකරණයේදී, සාධනීය සමාජ පරිවර්තනයක් සඳහා වන උත්පේ‍්‍රරකයක් වශයෙන් කටයුතු කිරීමේ එළඹුමක් සකසා ගැනීමේ වගකීම තමන්ට පැවරෙන බවද මාධ්‍යවේදීන්ට වටහා දිය යුතුව තිබේ.

දකුණු අප‍්‍රිකාවේ ‘සත්‍ය කොමිසමේ’ නියෝජ්‍ය සභාපති ඇලෙක්ස් බොරේන් මෙසේ කියා තිබේ: ‘‘සංක‍්‍රාන්තික යුක්ති ක‍්‍රියාවලිය, දේශපාලනික ප‍්‍රභූ අතලොස්සකගේ කාර්යයක් වීමට ඉඩ නොදී තථ්‍ය වශයෙන්ම එය ජාතික අත්දැකීමක් කර ගැනීමේ වගකීම සහ වැදගත්කම තමන් වෙත පැවරෙන බව, ආණ්ඩුව සේම මාධ්‍යවේදීන්ද වටහාගත යුතුව තිබේ.’’

*2016 නොවැම්බර් 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Media, An Unrecognised & Unutilised Stakeholder In The Transitional Justice Process නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.