25 April, 2024

Blog

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සැබෑ ජාතික ආණ්ඩුව

මංගල සමරවීර –

මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය

මංගල සමරවීර – විදේශ කටයුතු අමාත්‍ය

2015 සැප්තැම්බර් මස 3 වන අද දින ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අනුස්මරණීය දිනයක් වේ. නිදහසින් පසු ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු අනුමැතිය යටතේ ජාතික ආණ්ඩුවක් බිහි වී තිබේ. නොවිසදුණු අභියෝග රැසකට පිළිතුරු සෙවීම සඳහා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට මේ අනුව එක්ව වැඩ කිරීමේ හැකියාව ලැබී ඇත. විපක්ෂ නායකවරයා වශයෙන් ආර්. සම්බන්දන් මහතා පත්කිරීම ද ‍මෙම දිනයේ ඇති අනෙක් වැදගත්කම වන අතර ඒ තුලින් සමගිය, බහුතර සම්මුතිය හා සංහිඳියාව සපිරි නව යුගයක ආරම්භය සනිටුහන් කෙරේ.

පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ බිහිවු ප්‍රථම සැබෑ ජාතික ආණ්ඩුව මෙය වේ. අතීතයේ නිර්මාණය වූ ජාතික ආණ්ඩු සියල්ලම පාහේ දේශපාලන බලය භාවිතා කරමින් තම පෞද්ගලික අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා අරමුණු වූ ඒවා හෝ වෙනස් මත දරන පුද්ගලයන් බිය ගැන්වීම්, අල්ලස් සහ කප්පම් ගැනීම් ඔස්සේ තම කැමැත්තෙන් තොරව එකතු කර තැබීමට ගන්නා ලද උත්සාහයන්හි ප්‍රථිඵල වේ. විරුද්ධ පාක්ෂිකයන් ඔවුන් නියෝජනය කල දේශපාලන පක්ෂවල නායකයන්ගේ කැමැත්තෙන් තොරව ආණ්ඩු පක්ෂය වෙත ඩැහැගැනීම හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වූ අතර දේශපාලන පක්ෂ කැඩී බිඳී යාමට ද එය හේතුවක් විය.

අවසන් ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අශිෂ්ඨ හා ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ගය අනුගමනය නොකරන බවට පොරොන්දු වූහ. දින 100 වැඩපිළවෙල තුල සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හා අනෙකුත් වැදගත් ව්‍යවස්ථා සංශෝධන මෙම ජාතික ආණ්ඩුව බිහිවීම සඳහා බලපාන ලදි.

එම සිහිනය දැන් සැබෑ වී ඇත. අද දින එනම් 2015 සැප්තැම්බර් මස 3 වන දින රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කල පරිදි පාර්ලමේන්තුව විසින් ජාතික ආණ්ඩුව පිළිගෙන අනුමත කරන ලදි. විධායකය විසින් තම හිතූමනාපයට ඇමතිවරුන් සංඛ්‍යාව තීරණය කල කාලය දැන් අවසන් වී ඇත. ව්‍යවස්ථාව මගින් නියම කර ඇති 30 දෙනෙකු වන ඇමති මණ්ඩලය වැඩි කිරීම සඳහා අද පාර්ලිමේන්තුවේ එකඟතාවය සහ අනුමැතිය ලැබුණි.

ඒ අනුව, දැන් අප විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර ඇත. උපක්‍රම වලින් තොරව සාමූහික එකඟතාවය ඔස්සේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුලින් යහපාලන සංකල්පය ප්‍රවර්ධනය කෙරෙන අතර එමගින් ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට හැකිවනු ඇත.

ඒකමතිකභාවයෙන් විපක්ෂනායකයෙකු පත්කිරීම ද දේශපාලන සංස්කෘතියේ ඇති වී ඇති මෙම වෙනස කියාපායි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා චාරිත්‍ර ගරු කිරීම මගින් ද පෙන්වා දෙනුයේ නිදහසෙන් පසු අප රටේ දේශපාලන සංස්කෘතියේ සංකේතයක් ව පැවති බෙදුම්වාදී, ස්වයං ප්‍රතිලාභ උදෙසා කටයුතු කිරීමේ ක්‍රමයෙන් බැහැර වීමේ අපගේ නව ප්‍රතිපත්තිය වේ. රටේ ජ්‍යේෂ්ඨතම හා ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයකු වූ ආර්. සම්බන්දන් මහතා විපක්ෂ නායකවරයා වශයෙන් පත්කිරීම තුලින් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා මෙන්ම සියළු පුරවැසියන් හට තමන් නිදහස් හා සමාන බව හැඟවෙන තත්වයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම හා අධිෂ්ඨානය පෙන්වා දෙයි. මෙම නව ශ්‍රී ලංකාව තුල කිසිදු පුද්ගලයකු හට තම ජාතිය, ආගම, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් සමාජයේ හිමිවිය යුතු තැන අහිමි නොවනු ඇත.

අප රටට අවශ්‍යව ඇති ජාතික ප්‍රතිපත්ති සැකසීම හා ක්‍රියාත්මක කිරීම මෙම ජාතික ආණ්ඩුව විසින් තහවුරු කරනු ඇත. අයිතිවාසිකම් පනතක් සහිත නව ව්‍යවස්ථාවක් ද අප විසින් සම්මත කිරීමට නියමිතය. මෙම ව්‍යවස්ථාව මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් ද සැලකිල්ලට ගනු ඇත. එය සියළු පුරවැසියන්ගේ හා ප්‍රජාවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා ව්‍යවස්ථාවක් වනු ඇත. තීරණ ගැනීමේ කාර්යයේ දී මහජන සහභාගීත්වය වැඩි වශයෙන් ලබාගැනීමට ද එමගින් අපේක්ෂිතය. මෙම ක්‍රියාමාර්ග තුලින් වඩාත් වගකියන සහ වගකීමෙන් යුතු රජයක් රට තුල නිර්මාණය කරනු ඇත. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයන් හා ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කෙරෙන්නා වූ ව්‍යවස්ථාවක්, ප්‍රතිසන්ධානය, ස්ථීරසාර සාමය, යුක්තිය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වේ. ජාතික ආණ්ඩුවක් සඳහා වූ මෙම නෛසර්ගික ද්වීපාර්ශවීය සම්මුතිය මගින් අප රටේ ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ, ස්ථාවර ප්‍රතිපත්ති, හා සමාන අවස්ථා ඇතිකිරීම ද තහවුරු කරනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.