
කොවිඩ් වසංගතයේ තෙවන රැල්ල හමුවේ මෙරට ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්විය හැකි කාලය තවත් ඈතට ගොස් ඇත. ආණ්ඩුවේ එන්නත්කරණ වැඩ සටහන හිතූ තරම් සාර්ථක නොවීමේ භයානක ප්‍රතිඵල උදාවිය හැක්කේ ‘අලුත් අවුරුදු පොකුර‘ පාලනය කිරීමට නොහැකි වුවහොත්ය. මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාංශයේ නිලධාරීන් කොතෙක් ප්‍රකාශ කළත් රටම නැවත ‘ලොක් ඩවුන්‘ කිරීමේ තීරණයට එළඹීමට ආණ්ඩුව මැළිවෙයි. අසල්වැසි ඉන්දියාව තුළ ඇතිව ඇති තත්වය දෙස බලන විට අපට වඩාත් ප්‍රවේශම් වීමට සිදුවෙයි.
හෙළිකොප්ටර් සහ දෛනික අසාධිතයන්
දැනටමත් අපගේ සෞඛ්‍ය යටිතළ පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටළුව මතුව තිබේ. දෛනික අසාධිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය කෙසේ වුවත්, ආණ්ඩුව රුසියාවෙන් හෙළිකොප්ටර් හතරක් මිළට ගැනීමට යන ප්‍රවෘත්තිය විපක්ෂයේ අවධානයට යොමුවුණේ මේ අතර වාරයේ දීය. විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය ආණ්ඩුවට පලකොට තිබේ.
ඩොලර් මිලියන 72ක දැවැන්ත වියදමක් කරමින් සිදුකරන මෙම මිළට ගැනීම් සඳහා වැයවන මුදල් නිසා ආනයන වියදම නැවැත්වීමේ ආණ්ඩුවේ ම ප්‍රතිපත්තිය අවලංගු වන අතර කොවිඩ් මර්දනයට යොමු කළ යුතු පිරිවැය එවැනි අනවශ්‍ය මිළට ගැනීම් හරහා මේ මොහොතේ දැරීම කොතරම් ඥානාන්විත දැයි ඇසිය යුතුය.
අන්තර්ජාල මැයි දින සැමරුම්
සමඟි ජන බලවේගය (සජබය), ජවිපෙ ඇතුළු බොහෝ පක්ෂ ගණනාවක් අන්තර්ජාල පහසුකම හරහා සිය මැයි දින කතා ඉදිරිපත් කළාය. කම්කරු පංතියට නැතිනම් “ශ්‍රම විරුවන්ට” දිගින් දිගටම ලැබී ඇති නොසැළකිල්ල පිළිබඳව විපක්ෂනායක තුමාගේ කතාවෙන් අවධානයට ලක්විය. එසේම අලුත් පක්ෂයක් වශයෙන් සජබය කිසිසේත්ම “හාම්පුතුන්ගේ නැතිනම් ධනපතියන්ගේ” පක්ෂයක් නොවන බවත් එය සමස්තයක් ලෙස මෙරට බහුතර වැඩකරන ජනතාවගේ සහ සියළුම ජනකොටස් වල පක්ෂය බවට අවධාරණය කෙරිණ. එසේම ජවිපෙ මෙවර වැඩි අවධානයක් යොමු කළේ ධනවාදය පරාජය කිරීමේ සටන් පාඨ උච්චාරණය පිළිබඳව බව පැහැදිළි විණ. කෙසේමුත් ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ වලට මැයි දිනය සැමරීමට නොහැකි වීම එම පක්ෂවලට මේ මොහොතේ තමන්ගේ සැබෑ ජනතා බලය පෙන්වීමට තිබුණ අවස්ථාවක් අහිමිවීමක් වශයෙන් දකින බව පැහැදිළි විණ. කෙසේ නමුත් විපක්ෂය රට මුහුණ දී ඇති දැඩි අර්බුදය හඳුනාගෙන ක්‍රියා කරමින් තිබෙන බව සත්‍යයකි.
ඉලංගරත්න චින්තනය
මැයි දින සැමරුම් නොපැවැත්වීමට ආණ්ඩුවගත් තීරණයට අභියෝග නොකිරීම විපක්ෂයේ සදාචාරය පෙන්වන අවස්ථාවකි. නමුත් විපක්ෂ එම තීරණය පිළිගන්නා අතරම ආණ්ඩුවේ දුර්වල සංවිධාන ශක්තිය හෙළි කිරීමට ද මැළි නොවුණි. යම් හෙයකින් ආණ්ඩුව මැයි දින උත්සවය පැවැත්වූවා නම් ඒ හරහා ආණ්ඩුවේ අභ්‍යන්තර පිපිරීම් බොහොමයක් එලියට ඒමට නියමිතව තිබිණ. ආණ්ඩුවේ සංධානයට අයත් පක්ෂ එකොළහක් පමණ මේ වනවිට වෙනම ක්‍රියාත්මක වීම එයට ප්‍රබල උදාහරණයකි.
එසේම ආණ්ඩුවේ මෙම විප්ලවකාරී කණ්ඩායමට අයත් වාසුදේව නානායක්කාර, හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන, අමාත්‍ය දයාසිරි ජසේකර යන අය එක්ව, මැයි දිනයේ දී, ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර පවත්වා ප්රකාශ කළේ ‘වර්තමානයට ගැළපෙන්නේ ඉලංගරත්න මැතිතුමාගේ දර්ශනය බවයි’. ආණ්ඩුවේ කොටසක් ‘ගෝඨාභයගේ ‘සෞභාග්‍යයේ දැක්මෙන්’ සහ ‘මහින්ද චින්තනයෙන්’ පරිභාහිරව ක්රියා කරන බවට වන මනා ඉඟියක් එතුළ තිබේ. ආණ්ඩුව ‘අසාර්ථක‘ බවට විපක්ෂය ගොඩ නැගු කතිකාව ආණ්ඩුව අභ්යන්තරය තුළින්ම දැන් ස්ථිර කොට ඇති බවට වන සාධකයක් වශයෙන් ද එම අවස්ථාව දැක්විය හැක.
දේශීය සහ ජාත්‍යන්තර අර්බුද
ආණ්ඩුවේ අසාර්ථක භාවය මේ මොහොතේ රට දේශීයව සහ ජාත්‍යන්තරව විශාල අර්බුදයන් ගණනාවකට ඇද දමමින් තිබේ. මෙම සන්දර්භය තුළ විපක්ෂයේ දේශපාලන මොහොත ක්‍රමයෙන් එළඹෙමින් තිබෙන බවත් එය නැවැත්වීමට චීන මහා ප්‍රාකාරයට හෝ නොහැකි බවත් ආණ්ඩුව ද තේරුම් ගනිමින් සිටින සෙයක් දක්නට ලැබෙයි.
කෙසේමුත් චීනය දැන් අපට එතරම් දුර රාජ්‍යයක් ද නොවන වග යමෙකුට තර්ක කළ හැක. ප්‍රධාන වශයෙන්ම ‘රාජපක්ස විදේශ ප්‍රතිපත්තියේ’ ප්‍රතිඵලයක් ලෙස චීනය දැන් මෙරට අභ්‍යන්තර පද්ධතියේ ම කොටසක් වීමට නියමිතය. ඒ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබෙන පණතට අනුව කොළඹ නගර වරාය ව්‍යාපෘතිය කළමනාකරණය ට ඇති කිරීමට නියමිත ආර්ථික කොමිසම හරහාය. පාර්ලිමේන්තුව තුළ මේ මැයි මස 05 වෙනි දින සිට විවාදයට ගැනීමට නියමිත වරාය නගර ආර්ථික කොමිසම පිළිබඳ පණතට එරෙහිව පළමු විරෝධය එල්ලවුණේ ආණ්ඩුව අතුළින්මය. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන් ආකාරයට මෙම පණත තුළින් සිදු විය හැක්කේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කරනවා හා සමානම තත්වයක් ඇතිවීමකි.
ස්වාධිපත්‍ය හා වරාය නගරය
මොන්ටවිඩොයෝ ප්‍රඥප්තිය තුළ හඳුනා ගැනෙන රාජ්‍යක් වීමේ දී සපුරාලිය යුතු කරුණු අතරින් ‘ස්වාධිපත්‍ය සාධකය සහ ජාත්‍යන්තර පිළිගැනීම යන දෙකම අණතුරට ලක්වන’ බව විජේදාස මන්ත්‍රීවරයා ඇතුළු බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. කෙසේමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබා දෙන තීරණය මෙහි දී වඩාත් තීරණාත්මකය.
සමඟි ජනබලවේගය ඇතුළු විපක්ෂය මෙහි දී වරාය නගර පණත නීතිය හමුවේ අභියෝගයට ලක්කොට තිබීම විශේෂ තත්වයකි.
මෙරට ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව පිලිබඳව ජාතිකවාදී කතිකාවක් නිර්මාණය කළ පොදුජන පෙරමුණ විසින්ම මෙවන් පණතක් හරහා එම මුලධර්ම වලට එරෙහිව ක්‍රියාකිරීම විපක්ෂයේ දෝෂ දර්ශනයට ලක්වී ඇත. අනෙක් අතට චීනය සම්බන්ධ වී ඇති යටිතළ පහසුකම් ව්‍යපෘති පසුබිමේ ඇතිවන මෙම සාකච්ඡාව මෙරට විදේශ ප්‍රතිපත්තියට ද විශාල බලපෑමක් ඇතිකරන බව පෙනී යයි.
විදෙස් තානාපති වරු සජිත් හමුවීම
චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය මෙරට සිදුවූ ඉතාම වැදගත් සහ බලපෑම් සහගත අවස්ථාවකි. චීනය එළෙස මෙරට සමඟ ඉතාමත් කිට්ටු සබඳතාවක් ප්‍රවර්ධනය කරමින් සිටින විට අනෙක් රාජ්‍යය කළාපයන් අතර එය දැඩි අවධානයකට ලක්වී තිබේ. විශේෂයෙන්ම බටහිර කළාපය සහ ඉන්දියාව චීනය සමඟ ලංකාව ඇති කොටගෙන තිබෙන ගැඹුරු සබන්ධතාවය දෙස බලන්නේ සැකයෙන් බව නොරහසකි.
එසේම මෙරට සිවිල් සමාජය බිය වන්නේ චීනයේ බලපෑම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය වෙනස් කිරීමට කසේ බලපානු ලබනු ඇති ද යන්නයි. අමාත්‍ය ජී. ඇල්. පීරිස් ප්‍රකාශ කළ ආකාරයට මෙරට ආණ්ඩුව සහ චීනයේ කොමියුනිස්ට් පක්ෂය අතර ඉතා කිට්ටු අවබෝධයක් ගොඩ නැගී තිබේ.
මේ සියලු තත්වයන් යටතේ පසු ගිය සතියේ බටහිර තානාපතිවරුන් විපක්ෂනායක වරයා හමුවීම ඉතාමත් වැදගත් අවස්ථාවකි. එක් අතකින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සහ විපක්ෂය එකසේ මර්දනය කරමින් තිබෙන මොහොතක, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර සමඟ විපක්ෂය කිට්ටුවෙන් ආශ්‍රය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවට ගන්නා වැදගත් පියවරක් විය හැක.
ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලීම
විපක්ෂයේ ප්‍රකාශකයන්ට අනුව බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් හා විපක්ෂනායක අතර හමුවේ දී සිදුවුනේ මෙරට මේ මොහොතේ තත්වය පිළිබඳ සාකච්ඡාවක් ය. එහිදී “කොවිඩ් 19 තත්ත්වය, පශ්චාත් ජිනීවා පරිසරය, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලීම සහ සිවිල් සමාජය මුහුණ දෙන අභියෝග, ශ්‍රී ලංකාව ලෝකය හා ලෝකය සමඟ සම්බන්ධ වීම ඇතුළු පුළුල් පරාසයක මාතෘකා සාකච්ඡාවී” තිබේ.
ආණ්ඩුවේ අභියෝග
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩුවේ පළමු අභියෝගය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය ඉදිරියටත් ආරක්ෂා කරදීමට බලය ලබාගත් මොහොතේ එය ලබා දී ඇති ප්‍රතිඥාව ආරක්ෂා කිරීමයි. ආණ්ඩුවේ වත්මන් ක්‍රියා කළාපය කිසිසේත්ම අභ්‍යන්තර සහ භාහිර වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හිතකර තත්වයක් ඇතිකොට නැත. ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවළිය තුළ සිදුවෙමින් පවතින්නේ කුමක් ද යන්න ජනතාවට අභිරහසකි. ජනතාව කොවිඩ් වසංගතයට ගොදුරු වීමෙන් වළක්වා ගන්නා අතරේ කඩාවැටෙන සෘණාත්මක ආර්ථිකය ගොඩ නැංවීම අනෙක් ප්‍රධානම අභියෝගයයි. එසේම ජාත්‍යන්තර බල අරගලයට ශ්‍රී ලංකාව ඇද නොදැමීම ද ආණ්ඩුවේ අනෙක් ප්‍රධානතම වගකීම සහ අභියෝගයයි. ආණ්ඩුව අභියෝග මැද ගමන් කරන විට විපක්ෂයට දේශපාලන මොහොත උදාවී ඇත. සදාචාරමත් ප්‍රතිපත්තියක සිට විපක්ෂය මේ මොහොතේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ඉදිරියට ගෙනයා යුතුය.