18 June, 2021

Blog

ඝෝෂා කිරීමේ අයිතිය

ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

විශේෂිත පුද්ගලයෙකු රැගෙන යන වාහන පේළියකට ඉඩ සැලසීම පිණිස කොළඹ ප්‍රධාන පාරක් කලින් දැනුම් දීමකින් තොරව වැසීමට තම විරුද්ධතාවය පල කිරීමට වාහන නලා ශබ්ද කරන ලෙස සෙසු  රියදුරන්ගෙන් ඉල්ලා සිටි තරුණයෙකු අත් අඩංගුවට ගැනීමත් සමග ශබ්ද නැගීමෙන් තම විරෝධය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිලිබඳ කතිකාවක් ඇතිවී තිබේ.

සිද්ධියේ වීඩියෝ පටය අන්තර් ජාලය පුරා සංසරණය වී ඇත. රථ පෙරහරින් රැගෙන ගියේ චීන ආරක්ෂක ඇමතිවරයා  බව පසුව හෙළි වුනි. අදාළ මාර්ග වසන බවට පොලිසිය කලින් දන්වා නොතිබුණි. අප රටේ ජනතාව ලාංකිකවී.අයි.පී.” රථ පෙරහැර වලට විරුද්ධ නමුත්චීන, ඉන්දියානු හෝ වෙන රටක වේවා, අප රටට එන විශේෂ අමුත්තෙකු වෙනුවෙන් මාර්ගයක් මදක් වසා තැබීමට විරුද්ධත්වයක් නොදක්වති. වාහන කීපයක් පමණක් සමග වැඩි ශබ්දයක් නොමැතිව එහා මෙහා යෑමෙන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ අනිකුත් අයට ආදර්ශයක් දී ඇත. 2019 මැයි මස යම්වී.අයි.පී.” රථ පෙරහැරකට නලා ශබ්ද කර විරෝධය දක්වන වීඩියෝ පටයක් සංසරණය වූ විටක එසේ මාර්ග වසා තැබීම නොකළ යුතු යැයි ජනාධිපති සිරිසේන නියෝග කළේය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාව කලේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට විරෝධය දැක්වීමක් බවය.

පසුගිය සතියේ වීඩියෝ පටය නරඹන විට පෙනී යන්නේ එම තරුණයා සිතුවේ එසේ රැගෙන යන්නේ දේශීයවී.අයි.පී.” කෙනෙක් බවය. එසේ නොවුවද, විරෝධය පල කිරීමට ඔහුට  ඇති අයිතිය එසේම තිබේ. ඔහු නලා ශබ්ද කර විරෝධය පල කරන ලෙස අන් අයගෙන් ඉල්ලා සිටියා පමණි. ඔහු කිසිවෙකු ප්‍රචණ්ඩත්වයට උසිගැන්වූයේ නැත. පොලීසියේ රාජකාරි වලට ඔහු බාධා නොකළ බව වීඩියෝව නැරඹීමෙන් මනාව පෙනේ. ඔහුඅයුතු ජනරාශියකටඅන් අය පෙලඹ වූවාය යන්න මුසාවකි. තමාට ඇප නියම කල පසු සිද්ධිය පිළිබඳව ඔහු කනගාටුව පලකිරීම වැදගත් නැත.

සාමකාමිව ව්රෝධය දැක්වීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැදගත් ලක්ෂණයකි. එය එකළාව හෝ සාමූහිකව ක්‍රියාත්මක කල හැක. විරෝධය දැක්වීමට ඇති අයිතිය පිළිනොගන්නේ අධිකාරිවාදී රටවලය. එසේම, සාමකාමිව විරෝධය දක්වන්නන් ආරක්ෂා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී රජයකට යුතුකමක්ද තිබේ.

විරෝධය දැක්වීමට ඇති අයිතිය පිලිබඳ අප ශ්‍රේෂ්ඨාධිකරණය දුන් වැදගත් නඩු තීන්දුවක් ගිය සතියේ සිද්ධියෙන් නැවත ජනතාවගේ අවධානයට ලක්විය. 1993 වසරේ අමරතුංග එදිරිව සිරිමල් නම් මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවයි. එම නඩුවට විෂය වස්තුව වූජනඝෝෂාවිරෝධයේ ප්‍රධාන සංවිධායක වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ වීම ඉතිහාසයේ සරදමකි. විරෝධයේදී නලාවක් පිමිඹින් ඔහු සහභාගී වන ඡායාරූප සමාජ මාධ්‍ය වල සංසරණය වී ඇත. ජනඝෝශාව ජනාධිපති ප්‍රේමදාසගේ අධිකාරිවාදී පාලන කාලය තුල 1992 ජුලි 01 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව සංවිධානය කල විරෝධතාවකි. ඉහල යන ජීවන වියදම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය සහ අනුව සිදුවූ රැකියා අහිමිවීම්, නාස්තිකාර දේශපාලන ව්‍යාපෘති සඳහා මහජන මුදල් වියදම් කිරීම, දූෂණය, රටේ ප්‍රශ්ණ ගැන සාකච්ඡා කිරීමට ඇති ඉඩකඩ සීමා කිරීම, පැහැර ගැනීම් සහ ඝාතනයන්, උතුරු නැගෙනහිර යුද්ධය වැනි කාරණා පිලිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් වලට මිනිත්තු 15 කාලයක් තුල විරෝධය දැක්වීම එහි අරමුණ විය. මාක් ප්‍රනාන්දු විනිසුරු තුමාගේ නඩු තීන්දුවේ දක්වා තිබූ පරිදි පන්සල් සහ පල්ලි වල ඝාන්ඨාර නාද කිරීම, වාහන නලා ශබ්ද කිරීම, බෙර ගැසීම, වලං පිඟන් වලට ගැසීම සහ වෙනත් එවැනි ඝෝෂාකාරී  ක්‍රියා රට පුරා කිරීමෙන් විරෝධය පල කිරීමට සැලසුම් කර තිබුණි.

පෙත්සම්කාර අමරතුංග හොරණ ප්‍රාදේශීය සභාවේ සාමාජිකයෙකු විය. ජනඝෝශාවේදී තමා පාවිච්චි කල බෙරය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කඩා විනාශ කල බව ඔහුගේ පැමිණිල්ල විය. බෙරය විනාශ කිරීමට පළමුවන වගඋත්තරකාර නිලධාරියා මොල්ගහක් යොදා ගත්තේය. පොලිසිය එසේ කටයුතු කලේ ආණ්ඩු විරෝධී සටන් පාඨ කී නිසා බවට මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා සෑහීමකට පත්විය. අපගේ ව්‍යවස්ථාවේ 19(1)() වගන්තියෙන් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කටින් සහ වචනයෙන් පමණක් නොව සටන්පාඨ පුවරු, කළු පටි, කොඩි, බැනර්, යම් පාඨ සඳහන් ඇඳුම් ඇඳීම ආදියෙන්ද ක්‍රියාත්මක කල හැකි යයි ඔහු ප්‍රකාශ කළේය. ආණ්ඩු, දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති හෝ සැලසුම් විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයට මූලිකය. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වන විට සිවිල් සහ දේශපාලන ආයතනවල පදනමේ මූලික අංගයක් වන නිදහස සහ යුක්තිය උල්ලංඝනය වන බව එතුමා අවධාරණය කළේය.

හෂ්මන් සහ හරුප් එදිරිව එක්සත් රාජධානිය යනු විරෝධය දැක්වීමේදී ශබ්දය පාවිච්චි කිරීමට අදාළ යුරෝපීය නඩුවකි. එංගලන්තයේ ප්‍රභූන් අතර ජනප්‍රියනරි දඩයම විරුද්ධ ඉල්ලුම්කරුවන් දඩයම් නලාවක් පාවිච්චි කිරීමෙන් සහ කෑගැසීමෙන් නරි දඩයමක් කඩාකප්පල් කළහ. වසරක් කාලයක් තුල හොඳ කල්ක්‍රියාවෙන් සිටීමට පවුම් සියයකට ඔවුන්ගේ ඇඟ බැඳීමට මහේස්ත්‍රාත් වරයෙකු නියෝග කළේය. ඉල්ලුම්කරුවන් තමන් අකමැති ක්‍රියාවක් කඩාකප්පල් කලද, ඔවුන්ගේ ක්‍රියා යුරෝපීය මානව හිමිකම් ප්‍රඥප්තියෙන් සහතික කර ඇති මත ප්‍රකාශ කිරීමේ එක ක්‍රමයක් ලෙස යුරෝපීය මානව හිමිකම් අධිකරණය පිළිගත්තේය. ඇඟ බැඳීමෙන්  ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වූ බව අධිකරණය තීන්දු කළේය.

මස්දූර් කිසාන් ශක්ති සන්ගතන් එදිරිව ඉන්දියනු සංගමය නඩුවේ විෂයය වූයේ විරෝධතා සඳහා පාවිච්චි කරන මධ්‍යම දිල්ලියේ  සුප්‍රසිද්ධ ජන්තර් මන්තර් ප්‍රදේශයේ විරෝධතා පැවැත්වීමට ඇති අයිතියයි. එම ප්‍රදේශයේ සියලු විරෝධතා, ජන රාශි, ප්‍රසිද්ධ කතා පැවැත්වීම, ශබ්ද විකාශන පාවිච්චි කිරීම ආදිය ජාතික හරිත විනිශ්චය සභාව විසින් තහනම් කරන ලදී. තමන්ට එහා මෙහා යෑමට ඇති අයිතිය සීමා වී ඇති බවත් විරෝධතා වලින් පිටවන ශබ්දයෙන් තමන් පීඩා විඳින බවත් ප්‍රදේශයේ නිවැසියන් පැමිණිලි කර තිබුණි. විරෝධතා කරුවන් ඉවත්කරන ලෙසත් විරෝධතා සඳහා වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙසත් විනිශ්චය සභාව නියෝග කළේය.

විනිශ්චය සභාවේ තීන්දුවට විරුද්ධව අභියාචනයේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කලේ සාමකාමී විරෝධතා සහ පෙළපාලි පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් බවය. ප්‍රශ්නය නම් ප්‍රදේශයේ නිවැසියන්ට ඇතිවන කරදර වලින් නිදහස් වීම, විරෝධතාකරුවන්ගේ අයිතියට සාධාරණ සීමා දැමිය හැකි වඩා පුලුල් මහජන අයිතියක්ද යන්නය. විරෝධතා නිසා නිවැසියන්ට බලවත් පීඩා සිදුවුවද, ජන්තර් මන්තර් ප්‍රදේශය විරෝධතා සඳහා බලධාරීන් විසින් බොහෝ කාලයක් ඉඩ දෙන ලද ස්ථානයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. එක් අයිතියකට ප්‍රමුඛත්වය දී තවත් අයිතියක් සම්පූර්ණයෙන් නැති කල නොහැක. එක් අයිතියක් නැති කිරීම තුලනය කිරීමක් නොවේ. තුලනය කිරීමෙන් එක් කොටසකගේ අයිතිය එක්තරා දුරකට සීමා වී තවත් කොටසකගේ අයිතියද ආරක්ෂා වේ. අදාළ ආයතන සමග සාකච්ඡා කර එම ප්‍රදේශය සීමා සහිත විරෝධතා ප්‍රමාණයක් සඳහා දෙන අතර නිවැසියන්ට සහ කාර්යාල වලට හිරිහැර නොවන ලෙස විරෝධතා පැවැත්වෙන බව සහතික කිරීමට අවශ්‍ය නිර්ණායක විස්තර සහිතව පිලියල කරන ලෙස සික්රි විනිසුරු තුමා නව දිල්ලි පොලිස් කොමසාරිස් වරයාට නියෝග කළේය.

මේ අනුව පෙනී යන්නේ සාමකාමී විරෝධතා පිලිබඳව ඕනෑවට වඩාඇඟට ගෙනපොලිසිය සහ සෙසු බලධාරීන් කටයුතු නොකළ යුතු බවය. සාමකාමී විරෝධතා ඉවසන අතර විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතිය රාජ්‍යය විසින් සහතික කොට ප්‍රායෝගිකව ආරක්ෂා කල යුතුය. විරෝධතා නොඉවසන ආණ්ඩුවලට අවසානයේදී සිදුවන දේ පිලිබඳ උදාහරණ නොයෙකුත් ඇත. අවසාන වශයෙන්, අමරතුංග එදිරිව සිරිමල් නඩුවේදී මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා කල අනතුරු ඇඟවීමක් මතක් කිරීම වටී: “වෙනස් මතයක් සාමකාමීව ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය අද අහිමි කිරීමේ ප්‍රතිඵලය ප්‍රචණ්ඩත්වය පුපුරා ගොස් යම් දිනක ඇතිවන විනාශය වනු ඇත.”

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.