21 April, 2019

Blog

දශක තුනක් ඉක්මුණු අරන්තලා භික්ෂු ඝාතනය

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

වසර 30 කට පෙර මා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි අද වැනි ජූනි දෙවන දිනක සිදුවූ අමතක නොවන සිද්ධියක් ලෙස අරන්තලාව භික්ෂු සමූලඝාතනය මට සැලකිය හැකිය. එයට පසුබිම මෙසේ වීය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ ආරක්ෂක ලේකම්ව සිටි ජෙනරාල් සේපාල ආටිගලගෙන් දුරකථන පණිවිඩයක් 1987 ජුනි දෙවන දින පෙරවරුවේ ලැබුණු බව මට මතකය. අම්පාරේ අරන්තලාවේ බෞද්ධ භික්ෂූන්  ඝාතනයක් එදින සිදුවූ බව දන්නේදැයි ඔහු මගෙන් විමසීය.  නොමැති බව ඔහුට පැවසූ විට එල්ටීටීය විසින් අමු අමුවේ බෞද්ධ භික්ෂූන් තිස් දෙනෙකු පමණ ඝාතනය කිරීමේ සිද්ධිය ඔහු මට දැනුම් දුනි. 

මේ ගැන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ විට එතුමා විසින් වහාම මා අම්පාරට යැවිය යුතු බවට නියෝග කළ බව ඔහු මට දැන්වීය.  සිද්ධිය පිළිබඳව සොයා බැලීමටත්, විපතට පත් සියළුම පාර්ශවයන්ට සහන සැලසීමටත් ජනාධිපතිතුමා අණකර ඇත. එකල අම්පාර නගරයේ පදිංචි දෙමළ පවුල් 140 ක් පමණ වන බවත්, ඔවුන්ගෙන් කිසිවෙකුටවත් කිසිම අන්දමකින් හිරිහැරයක් නොවන බවට මවිසින් වගබලා ගතයුතු බවට ජනාධිපතිතුමා විශේෂයෙන්ම නියෝග කළ බවත් ඔහු පැවසීය.  “ඔබව අම්පාර කරා වහාම ගුවනින් රැ‍ගෙන යාමට හෙලිකොප්ටර් යානයක් ගුවන් හමුදා පිට්ටනියට ඒමට නියෝග දී ඇත” යනුවෙන් පවසමින් ඔහු දුරකථනය විසන්ධි කළේය.

ත්‍රස්තවාදී ප්‍රහාර වැලැක්විම හෝ මානුෂීය ආරක්ෂාව සැපයීම හෝ මාගේ වගකීම නොව ඔහුගේ වගකීම වන බව මට වැටහුනද, ආරක්ෂක ලේකම්වරයා වූ හෙයින්, ජනාධිපතිවරයාගේ හදිසි අවශ්‍යතාවයක් වූ හෙයින් හා වැඩි භයානක දෙයක් සිදුවීමට ඇති ඉඩකඩ නිසා මම ඒ බව ඔහුට නොපැවසුවෙමි. 

මරණයට බිය නොවන්නේ කවුද?

ධම්ම පදයේ “සබ්බේ තසන්ති දණ්ඩස්ස –  සබ්බේ භයන්ති මච්චුනෝ ” ගාථාවෙන් “දඬුවමට සැවොම සැලෙන අතර, සැමදෙන මරණයට බිය වෙති” සඳහන්ව ඇත. මෙය හමුදාවට, ත්‍රස්තවාදීන්ට, දේශපාලනඥයන්ට, රාජ්‍ය නිලධාරීන්ට, පූජ්‍ය පක්ෂයට සහ අන් ඕනැම වැසියෙකුටත් එසේම වේ.  මම එය දැනගෙන සිටියෙමි.

මරණය හෝ හිංසනයේ අභියෝග පිළිගෙන නිලධාරීන් හෝ ආධාරකයින් වශයෙන් ත්‍රස්තවාදයට මුහුණ දුන් ප්‍රදේශවලට එකල ගිය සිංහල සිවිල් ජනයා අතලොස්සක් විය.  මම ඉන් එක් අයෙකු විමි. ලලිත් ඇතුලත්මුදලි, ගාමනී ජයසුරිය, ලයනල් ජයතිලක යන අමාත්‍යවරු, වෛද්‍ය ජෝ ප්‍රනාන්දු, වෛද්‍ය හිරන්ති විජේමාන්න, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුත් රවී ජයවර්ධන හා ඔහුගේ බිරිඳ පෙනී ජයවර්ධන, වෛද්‍ය කාමලිකා අබේරත්න, ආචාර්ය ඒ.ටී. ආරියරත්න සහ හර්ෂ නවරත්න වැනි තවත් කිහිප දෙනෙක්ද වුහ.  ඔවුන් සමහර දෙනකු දැන් අමතකව ගොස් ඇත්තේ වර්තමානයේ ජාති හිතෛෂීන් රැසක් පුනර්ජීවය ලබා ඇති හෙයිනි.

විශාල පරිමාණයේ සමූල ඝාතන සිදුකොට ඒ සමගම ද්විතීයමය ත්‍රස්ත ප්‍රහාර එල්ල වන හෙයින්, දරුණු සිද්ධීන් සිදුවූ විට ඉතා පරීක්ෂාකාරී විය යුතු වීය. එහෙයින්, ගැටුම්කාරී ප්‍රදේශවල කෙරෙන මගේ ගමන් බිමන් මගේ භාර්යාවට සහ දරුවන්ට සඟවා තැබීමේ පුරුද්දක් මා ඇතිකරගෙන තිබුණේ මාගේ පවුලේ සැමගේ මානසික සුවය සඳහාය. ඒ, මා ඔවුන්ගේ බිය හොඳින් තේරුම් ගත් හෙයිනි. එහෙයින් මගේ පෞද්ගලික සහකාර ලක්ෂ්මන් සිල්වාට ජනාධිපතිතුමාගේ නියෝගය විශ්වසනීය ලෙස දන්වා මාගේ නිල නිවසේ යතුර සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක වූ මාගේ භාර්යාවට යවා මා අනුරාධපුරයට ගිය බව ඇයට දන්වන ලෙස දැනුම් දුනිමි.  දහවල් වනවිට ඝාතනය ඇයට ආරංචි වුවද, මා අම්පාරට ගිය බව මා සිතු ලෙසම ඇය දැන නොසිටියාය.  සමහර විටක දැන් මෙන් “එසැනින් පුවත්” ප්‍රකාශ නොතිබුණු නිසාත්, ඇය පාසැලේ සිටි නිසාත් එසේ වන්නට ඇත!

මිනිත්තු කිහිපයකින් ගුවන් හමුදා පිට්ටනියේ තිබුණු හෙලිකොප්ටර් යානයේ අසුන් ගෙන සිටි එකම මගියා මා පමණක් විය. මෙවැනි සිද්ධීන් ගැන, පුහුණුවෙන් නිර්වින්දනීය වී ඇති ගුවන් නියමුවෝ කිසිම ආරක්ෂක අභියෝගයක් ඇති බවක් මට පෙන්නුම් නොකළහ.  කිසිම බස් තෙපලීමක් නොමැතිව ඔව්හු මා අම්පාර හමුදා කඳවුරට රැගෙන ගියහ. අම්පාර නගරයට ආරක්ෂිතව මා ගෙන යාමට එකී හමුදා කඳවුර භාරව සිටි නිලධාරියා සූදානම්ව සිටියේය. එසේ වුවද, එවැනි දෙවැනි වාහන පෙළකට ද්විතීය ප්‍රහාරයක් එල්ල වීමට ඉඩක් තිබුණි යයි මාහට බියක් විය. “සබ්බේ භයන්ති මච්චුනෝ” සිතට ඒමෙනි. එසේ වුවද, අරන්තලාව පිළිබඳව තරුණ හමුදා නිලධාරියාගේ ආරක්ෂාව පිලිබඳ විනිශ්චයට මම ගරු කළෙමි. 

නන්දසේන ගේ අධික රුධිර පීඩනය

ඔවුහු හමුදා කඳවුරේ සිට කෙලින්ම මා අම්පාර රෝහලට රැගෙන ගියහ. ජීප්රියෙන් බසින විටම ඩී.එම්. නන්දසේන රෝහලේ දොරටුව අසල සිටිනු මම දුටුවෙමි.  ඔහු අම්පාර දිසාපතිවරයා විය.  මම “නන්දේ, තත්ත්වය කොහොමද?” විමසීමි.

“මොන තත්ත්වයද? ස්වාමීන්වහන්සේලාගේ සිරුරු ගෙනවිත් තියෙනවා. මට ඒ දෙස බලන්නටත් බැහැ. මාගේ රුධිර පීඩනය ඉතා ඉහළ ගොහින්. ඔබම ගිහින් බලන්න.” යනුවෙන් ඔහු පිළිතුරු දුනි. 

ඔහු වෙහෙසට පත්ව ඇතැයි පෙනුනි.  ඔහුගේ අඳුරු ඡවි වර්ණය අඟුරු කාල වර්ණයට හැරී තිබීම මට පුදුමයක් නොවීය.  ත්‍රස්තවාදය හේතුකොටගෙන මියගිය පූජ්‍ය පක්ෂයේ සිරුරු මෙපමණ සංඛ්‍යාවක් එක්වර අන් දිසාපතිවරයෙකු විසින් දැක නැතැයි සිතමි. ඔහුට කලින් ඔහු පරාජය කළ අයෙකු වූයේ නම් ඒ පසුකලෙක රාජ්‍ය පරිපාලන ලේකම්ව සිටි, තරුණ සහකාර දිසාපතිවරයෙකු වූ ජිනසිරි දඩල්ලගේ පමණක් විය හැක්කේ, මියැදුණු භික්ෂු සිරුරු අම්පාරට ගෙන යාමට එකතු කිරීමට මුලික වුයේ දඩල්ලගේ බැවිනි. ඔහු නන්දසේනගේ ලේ ප්‍රකෝප වූ අත්දැකීම් පරදවා තිබුණි. 

නන්දසේනගේ මුළුමණින්ම සසල වුනු හදවත තේරුම් ගත් මම දේහයන් තැන්පත් කර තිබුණු ආලින්දයට ගියෙමි. හිස කුඩු කළ හෝ සිරුර කපන ලද හෝ දේහයන් එකිනෙකා අතර යම් පරතරයකින් පේළියට තබා ඇති අයුරු දුටිමි.  එය ලේ කෝප කරන සුළු විය.  දේහයන්ගේ තුවාල වලින් ගලා ආ ලේ සිරුරේ හා සිවුරුවල වියළෙමින් තිබුණි.  කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ඛා  නම් සතර බ්‍රහ්ම විහරණයන් පරාවර්තනය කළ පිරිසිදු කහ පැහැති සිවුරුවල පැහැය, අපරාධය, හිංසනය, අමානුෂිකත්වය හා විනාශයේ ‘සතර යක්ෂ විහරණයෙන්,’ රතු ලේ පහරින් පාට වෙනස් කර තිබුණි.  අම්පාරේ දෙමළ පවුල්වල වැසියන්ගේ සිරුරුවල හා ඇඳුම්වල මෙවන් ලේ විසිරුණු ලක්ෂණ දක්නට සිදුවෙතියි ජනාධිපති ජයවර්ධන සිතුවේ යැයි මම කල්පනා කළෙමි. 

“ළමා පූජ්‍ය” පක්ෂය ලෙස ගණන් ගත හැකි අවුරුදු 8 හෝ 10 වියැති භික්ෂුන්ගේ හිසට කෙසේ ප්‍රහාර එල්ල කළේ දැයි මට අදහා ගත නොහැකි වීය. ප්‍රහාරකයින් තන පුඩුවෙන් කිරි බොමින් සිටි නොදරුවන් මැරූ, පහර දුන් විට දුවගන්නට බැරිව ගැබ්ගත් කාන්තාවන්ගේ ගැබ කපා කොටා මැරූ ත්‍රස්‌තවාදීන් බව මට සාක්ෂාත් විය.  මොවුහු ලේ පිපාසයෙන් මඩනා ලද උන්මත්ත්කයෙකු විසින් මොල සූරා කෑමට ලක්වූ තරුණ අපරාධකරුවන් වූහ.  ඔවුන් තුල කිසිදු  සිල්වත්කමක්  තිබුනේ නැත. 

එවන් පසු බිමකදී නන්දසේනගේ රුධිර පීඩනය කෙසේ අඩු විය හැකිද?

ගැටළුකාරී පරිසරය

මම දිසාපති නන්දසේන සමග රෝහලට පැමිණ සිටි ස්වාමීන්වහන්සේලා හමු වීමි. පාංශුකූලය දෙනවිට මියැදුනු අය වෙනුවෙන් උපේක්ෂා සහගත වීමට අපට ගාථා, බොදු බණ උපුටන, බණින් අපගේ දුක සමනය කරන ඔවුන්ගෙන් සමහරෙක් දැඩි ලෙස වික්ෂෝපව හැඞුහ.  අද වනවිට අරන්තලාව සැමරුම් දින සංවිධානය කරන, කර්මානුරූපව එදා කෲර මරණයට පත් නොවූ සමහරෙකු සිද්ධිය වනවිට කරුණු කාරණා නෙතේරුණු හෙයින් මෙවැනි දුර්දාන්ත විනාශයකදී ක්‍රියාකිරීම නොදැන සිටින්ට ඇත. සමහර ස්වාමීන් වහන්සේලා නිශ්ශබ්දව සානුකම්පිතව චිත්ත සන්තානයේ දුක සඟවා  ගෙන සිටියහ.  සමහරු මහ හඬින් කම්පා වුහ.

මෙම ප්‍රහාරයට හේතුව නායක ස්වාමීන්වූ අති පූජ්‍ය ඉන්ද්‍රසාර නායක ස්වාමීන්වහන්සේගේ දැඩි සිංහලවාදී හැසිරීම යැයි අසාධාරණව සමහරු තර්ක කළහ. එය එසේ වූයේ නම් හිංසනයට පත් විය යුත්තේ උන්වහන්සේ පමණය. සත්‍ය වශයෙන්ම බැලුවහොත් මෙය එල්ටීටීඊ උන්මාදයේ ප්‍රතිඵලයකි. එදින අම්පාර නගර ප්‍රදේශයේ සිංහල ව්‍යාපාරිකයින් මෙන්ම, රාජ්‍ය සේවකයින්ද මේවන විට සිටියේ අධි ප්‍රහාරක මනසකින්ය.  රාජ්‍ය සේවකයින්ද එසේ විය.  ඔවුන්ගේද වෛරීභාවය උතුරා ගොස් තිබුණි.  එහෙයින් මා අම්පාරට පැමිණි ජනාධිපති අණින් කිරීමට නියමිත අත්‍යවශ්‍ය කාර්ය පරමාර්ථය ඉටු කර ගැනීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව මට වැටහුණි. 

රත්න‍දේශප්‍රිය සේනානායක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කල ඔහුගේ ලඝු ලේඛකයෙකු ලෙස මා හඳුනන ආරියදාස රෝහලට පැමිණ සිටි රාජ්‍ය සේවකයින් අතරේ සිට මට හමු විය. ඔහු පසෙකට කැඳවාගෙන ගිය මම ක්ෂේත්‍රයේ තත්ත්වය කෙසේද යන්න ඔහුගෙන් විමසුවෙමි.  “සර්, මේ ඝාතනය පිළිබඳව සිංහල බෞද්ධයින් කොතරම් ආවේගශීලීද කිවහොත් හවස් වනවිට කුමක්වේද යන්න මට සිතාගන්නට බැහැ. කම්කරුවන් සහ සමහර වෙළෙන්දෝ දෙමළ පුද්ගලයින්ගෙන් දරුණුම ලෙස පලි ගන්නා බව පවසනවා. අහිංසක බෞද්ධ භික්ෂූන් ඔවුන් කිසිසේත් නොමැරිය යුතුව තිබුණු නිසා එසේ සිදුවූවත් (පලි ගත්තත්) වරදක් නැතැයි අපි සිතනවා” යැයි ඔහු පැවසීය.  ඔහුගේ වදන් මා සසල කලේය.  ඊට හේතු වූයේ රජයේ සේවකයින් පවා විනාශකාරී පලිගැනීම සිත්තුල පැලපදියම් කරගෙන සිටින බව ඔහුගේ වදනින් මට පැහැදිලිවුනු හෙයිනි.    

කලබලකාරී පරිසරයේ මිනිසුන් හිංසනයට පොළඹවන අය කවුරුන්දැයි මම ඔහුගෙන් විමසුවෙමි. “එලිපිට එහෙම කරන විශේෂ වූ පාර්ශවයක් නැහැ. එහෙත් යම් කුරිරු කිසියම් සිද්ධියක් සිදුවුවහොත් එවැනි තත්ත්වයන් වැලැක්වීමට කවුරුවත් එලියට එන එකක් නැහැ. ඒ වෙනුවට ඊට එකතු වන පිරිස්  වැඩිපුර සිටින්නට හැකියි. වෙනකක් තියා පොලිස් නිලධාරීන් පවා කැළඹිලා ඉන්නේ” යනුවෙන් ඔහු පැවසීය. 

දෙමළ පිරිස් වලට පහර දෙමින් විකාරයෙන් අම්පාර නගරයේ දුවන ආයුධ අතැති කලහකාරීන් සිටින දර්ශනයන් මගේ සිතේ ඇඳිනි.  එසේ වනවිට එවැනි ප්‍රහාරයකට වෙළෙන්දන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් එකතුවී, නීතිය ක්‍රියාත්මක නොකර, සිතාමතාම දෙමළ පවුල් හිංසනයට පත්කරන අන්දම මා‍ සිතේ ඇඳුනි. අම්පාරට මා පැමිණීමේ ප්‍රතිපල නෂ්ටවෙතැයි මම සැක පහල කළෙමි.

මෙවැනි අවස්ථාවලදී අල්ලාගත හැකි හැම පරෑඬලක්ම අල්ලා ගත යුතුයයි මම සිතුවෙමි. එහෙයින් හිංසනයෙහි යෙදීමට නැඹුරු වූ කණ්ඩායමට කථා කිරීමට තීරණය කළෙමි.  ආරියදාස ඔවුන් හඳුන්වා දුන් අතර, සාකච්ඡාවට සහභාගිවීම ප්‍රතික්ෂේප කළේය.  ඊට හේතුව මම දනිමි. මා සියල්ල අවසානයේදී කොළඹට පැමිණියත්, ඔහුට අම්පාරේ නැවතී සිටීමට සිදුවනු ඇත! 

සාම සාකච්ඡා

මෙම ක්‍රියාදාමය ඉටුකර ගැනීම සිදුවූයේ දුම් ගැසුනු ගුහා පරිසරයකය. මා සමුවූ සමහරුන්ගේ මුවින් ප්‍රශ්වාස කළ වියලි ද්විතීයන සිගරැට් දුම (සමහර විට ගංජා) හා සමහරුන්ගෙන් නිකුත්වු මද්‍යසාර ගඳ ආග්‍රහණය කරමින්,  ඇඳ සිටි සරම කැසපට ගසා ගත්, සමහර විට ඒ සරමට යටින් එලියට පෙනෙන කොට කලිසම් හැඳ සිටි රස්තියාදුකාරයින් වැඩි පිරිසක් සහිත කණ්ඩායමක් මාගේ සාකච්චාවේ අන් පාර්ශවය වීය. ඔවුන්ට සෑම දමිළයෙක්ම කොටියෙකු විය. මෛත්‍රියට වඩා ප්‍රමුඛතාවය පලිගැනීමට බරවිය. ඔවුන්ට අවශ්‍යව සිටියේ දමිළයන්ගේ කැවුතු කන්නටය. 1983 ජුලි කලබලයේදී කොළඹ මාගේ නිවසට පැනගත් ජාත්‍යාලය ඉහවහා ගිය අයද කියා සිටියේ දමිලයන්ගේ කැවුතු කෑමට අවශ්‍ය බවය!

එක්වරම එකතැන ස්වාමීන්වහන්සේලා 30 පමණ මරා දමා ඇති පසුබිමක මේ බෞද්ධයන් මෛත්‍රිය අත්හැරීමට පෙළඹෙන්නට ඇත.  කරුණාව වාෂ්ප වන්නට ඇත. දෙමළ පුද්ගලයන්ට විරුද්ධ නොයෙකුත් පලිගැනීම් ඔවුහු එක හඞින් ප්‍රකාශ කළහ.  පලිගැනීම මෙයට පිළිතුර නොවන බවත්, මෙසේ සිතුවහොත් ඉක්මනින් තව තවත් අපරාධ ඇති විය හැකි බවත් ඔවුන්ට සන්සුන් හඞින් මම පැහැදිලි කිරීමට තැත් කළෙමි.  ඔවුහු මගේ හඞ යටපත් කරමින් මාගේ ස්ථාවරය මහ හඞින් ප්‍රතික්ෂේප කළහ. කෙසේවුවද මට වෙන විකල්ප නොවීය. මා අසමත් වුවහොත් දෙමල පවූල් වලට හිංසනයට ස්ථිරසාරව භාජනය වනු ඇත. 

  වාසනවාට මෙන් මා මුහුණ පා සිටින උභතෝකෝටිකය හඳුනා ගත් අතලොස්සක් ඒ අතර වුහ. මම ඔවුන් හඳුනාගෙන ඔවුන් මගින් අන් අය ඇමතීමට තැත් කළෙමි.  පාතාලයේ සාමාජිකයින් දෙටු සාමාජිකයනට ඇති ලැදියාව මත හැසිරීම් රටා යොදා ගන්නා බව දත් මා ඔවුන් මාගේ පක්ෂයට නැඹුරු කරගැනීමට ක්‍රියා කළෙමි. මා නිවැරදි ලෙස පෙනුනි.

ඔවුන්ගේ එක දැඩි ඉල්ලීමක් වුයේ ආදාහන කටයුතු සඳහා මුදල් සැපයීමයි. ඇත්තවශයෙන්ම සාධාරණව මේ ඉල්ලීම කළ යුතුව තිබුණේ පූජ්‍යපක්ෂය විසිනි.  හදිසි අවස්ථාවලදී කාර්යභාරයන් මිශ්‍ර වේ! අන් කරුණු පසෙකලා මා ආදාහනයට අවධානය යෙදීම සමග ඔවුහු සන්සුන් වුහ. මා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ද වූ හෙයින් ආදාහන පිරිවැය දැරීම මට ගැටලුවක් නොවීය.  මේ වියදම් දරන ලෙස දිසාපතිවරයාට උපදෙස් දෙන බව මම පැවසුවෙමි. එසේ මා පැවසූ විට ඔවුහු තවත් සන්සුන් වුහ.  ඔවුන් බොහෝ දෙන සිතුවේ එක යුද්ධයක් දිනු බවය.

“දෙමල ජනයාට හානි නොකිරීම” නම් නිලමය චින්තනය තහවුරු කිරීමට මග පාදා ගැනීමට හැකිවෙතියයි මම සැනසිල්ලට පත්වීමි.  රැවටිල්ලකට මා ලක්වේදැයි සිතා, ඔවුන් දුෂ්ට නොවෙතැයි මුළුමනින්ම පිළිගැනීමට මම එවිටත් සුදානම් නොවීමි.  එහෙත් මෙහි සිටි නායකයෝ  ඍණමය දෙයක් සිදු නොවන බවට මට පොරොන්දු වුහ. කෙසේවුවද,  පැය දෙකකට පමණක් මා සමුවූ ඔවුන් විශ්වාස කළ හැකිදැයි මාහට ගැටලුවක් වීය.

යම් සැනසීමකින් යුතුව මම දුම් ගැසුණු කාමරයෙන් නික්ම කච්චේරියට ගියෙමි. මගදී, ඇමති පී.  දයාරත්න රෝහල දෙසට යනු දුටිමි. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරුවෙකු සමයේ සිට මා මිතුරෙකුව සිටි හෙයින් ඔහු සමග සංවාදය පහසු වීය.  “සර්, ජනාධිපතිතුමන් අපේක්ෂා කරන පරිදි දෙමල පවුල්වල ආරක්ෂාව පිලිබඳ ගැටළුව තාවකාලිකව මම විසඳලා තියෙන්නේ.  මා සමග සාකච්චා කළ අය පුද්ගලිකව හඳුනන්නේ නැති නිසා ඒත් මට ඒ ගැන සැකයි,  මට ඔවුන්ගේ පොරොන්දු ගැන ඇත්තේ සුළු විශ්වාසයක්. නගරයේ “තක්කඩීන්” ඔබ දන්නා නිසා ඔවුන් සමග සංවාදය කරගෙන යන්න” යයි පැවසුවෙමි.  මාගේ සාකච්චාවලදී පැන නැගුනු දේ මම ඔහුට පැහැදිලි කළෙමි. ආදාහනයට සම්බන්ධ සියලුම වියදම දරන බවට පොරොන්දුවීමි.  අවසන් වශයෙන් “චණ්ඩින්ට” මනා හැසිරීමෙන් සිටින ලෙස පොළඹවන ලෙස ඔහුගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියෙමි. 

ගෙන්දගම් පොළොවේ පා තබා සිටි, පුද්ගලිකව ප්‍රසන්න පුද්ගලයෙකුවූ දයාරත්න  ඇමතිතුමා සහජීවනය තහවුරු කර ගැනීමට ඇති දේශපාලන උනන්දුව විදහා දක්වමින් සාපල්‍ය අන්දමින් උද්ගතවූ තත්ත්වය විසඳා ගැනීමට රජයේ, පුජ්‍ය පක්ෂයේ, ප්‍රජාවගේ සහාය ලබාගෙන ක්‍රියා කළේය.  ඔහුගේ පරිණත භාවය ප්‍රදර්ශනය කරමින් දැන් දේශපාලනඥයන්ට පාඩමක් උගන්වමින් ඔහු හැසිරුණු අතර මේ සිද්ධිය නිසා කිසිම දෙමල වැසියෙකුට හානියක් නොවීය. මෙවන් සිද්ධියකදී අන් වාර්ගික ජන  කොටසකගෙන් පලි ගැනීමට වෛරය වපුරා වාසි ලබා ගන්නා පුද්ගලයින් ඉතා අඩු සංඛ්‍යාවක් එකල සිටියේය.  මේ දිනවල නම් ඔවුන් ඉහ වහා බහුලව ඇත! 

කෘරත්ත්වය කෘරත්ත්වයෙන් ජය ගැනීමට අනවශ්‍ය බව ඔප්පු කිරීමට මෙය තවත් හොඳ පාඩමක් වීය.  අවාසනාවකට කෘරත්ත්වය 2009 මැයි දක්වා අන් අන්දමින් දිගටම පැවතුනි. පසුකලක ජනප්‍රිය අතිශයෝක්ත්‍යාලංකාරයෙන් විමසුවහොත් අමානුෂික ප්‍රහාරයකින් පසුව “දෙමල පවුල් වලට අත නොතැබීමේ” එවකට රජයේ ප්‍රවේශය “බියගුළු” හෝ “ජාතිභ්‍රෂ්ට” ක්‍රියාවක් ලෙස සැලකීමට ඉඩ ඇත.

අරන්තලාව සිහිවටනය හා සංහිදියාව

2013 වසරේදී අරන්තලාවේ සිහිවටනයක් ස්ථාපනය කළ අතර එහි නිරුපනයන් එතැන සිදුවිය යුතු අන්දමටම කොටින්ගේ කෘරත්ත්වය ලොවට හෙළි කරතත්, රාජ්‍ය නායකයා විසින් දැක්වූ සානුකම්පිතතාවය ප්‍රදර්ශනය නොකරයි. මෙය ත්‍රස්තයේ ප්‍රතිපලයයි. අප කරන හොඳ අමතක වන අතර කෘර ක්‍රියා අප සිත් සතන් තුල පැලපදියම් වේ.  මින් කෲර සිද්ධීන් සිහිපත් කරන හා පසුව අනුස්මරණයන්හි ප්‍රතිබිම්බ සනිටුහන් කරන බවත්, ලේ පිපාසිත ප්‍රහාරයේදී මරණ බියෙන් මොර දෙන ස්වාමීන් වහස්නේලාගේ යටි ගිරියෙන් කරන විලාපයන් ප්‍රතිරාව කරන බවත් පැවසිය හැකිය. මෙය සංහිදියාවට ඇත්තේ සුළු ප්‍රස්තුතයකි.  අතීතයේ අරන්තලාවේ සිදුවූ අන්දමේ අඳුරු කෘර මතකයන් සන්හින්දියාවට මං පෙත් හෙලිකරයිද? එය කැබිතිගොල්ළැවට හෝ මුල්ලවයික්කාල් හෝ කාත් තන්කුඩියට පොදුවේ. එහි කෙදිනක හෝ අනුස්මරණ ඵලක ඉදිකළහොත් සිදුවන්නේද එයයයි මට සිතේ.

මේ අරන්තලාව, කාත්තන්කුඩිය, කැබිතිගොල්ලෑව, පිටකොටුව බස් නැවතුම්පොළ, සෙන්චෝලෙයි, දිගම්පතහ හෝ මුල්ලවෛක්කාල් වුවද සැම තැනක හානියට ගොදුරුවූ සියලු දෙනාගෙන්ම නැගෙන හඬයි. මා ඒ හඬ අසා ඇත. දැක ඇත. මේ සියලු සිද්ධීන් කළ හානිකාරකයෝ ඒ සිද්ධීන් සඳහා අන් “සාධාරණ” හේතු දක්වනු ඇත. මානව දයාව නාමයෙන් නම් මෙවන් කෘර මිනිස් ඝාතන පිළිගැනීමට ඉඩක් නැත. මෙවන් දේ කළ අන් ඕනෑම අයෙකු පිළිබඳවද එය එසේමය. දිගු කලක් පැවතුනු ගැටුමට මුහුණ දුන් රටෙහි සෑම පෙදෙසකින්ම සියලු පාර්ශවයන්ගෙන් නැගෙන මහා ඝෝෂාව එයයි.  මේවා පහසුවෙන් අමතක කිරීමට අපහසු මතකයන්ය. මෙම සියලුම සිද්ධීන් ගැන පරීක්ෂාවෙන් පසු නියම තත්ත්වය හඳුනා ගැනීම සංහිදියාවට, පරීක්ෂණයට ප්‍රස්තුත වේ. මේ අතර පරීක්ෂණ වලින් වන හෙළිකිරීම් සංහිදියාවට ප්‍රස්තුත නොවන බව පවසන සමහරු එය ප්‍රතික්ෂේප කරති.    

පසු සටහන

උගත් පාඩම් හා සංහිදියා කොමිසම සිය වාර්තාවේ 8.72 චේදයේ 1987 ජුනි 2 දින අරන්තලාවේදී 33 නමක් වූ බොහෝ දෙනෙකු සාමනේර භික්ෂුන් වූ බෞද්ධ භික්ෂු කණ්ඩායමක් සමූලඝාතනය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයයි නියෝජනන්  ඉදිරිපත් වූ බව සඳහන් කරයි.  කොමිසම් වාර්තාවේ නිර්දේශ කර ඇති අන් පරීක්ෂණ මෙන්ම දැන් මෙයද අමතක වී ඇති බව පෙනේ.  කොමිසමේ වාර්තාවේ 5.107 චේදයේ නිර්දේශ පරිදි යුක්තියේ නාමයෙන්, මෙම භික්ෂුන් වහන්සේලා මුහුණ දුන් තත්ත්වය රජය විසින් පිළිගත යුතුවේ.  මෙය වසර 30 ඉක්මවා ගොස් හෝ ඉටු වෙතැයි මම යදිමි. එවන් පසු විපරමක් සංහිඳියාවට මං පෙත් හෙළිකරනු ඇත. 

අපරාධ කරුවන්ගේ  අපරාධිත වගවීම හෙලි කිරීමට පරීක්ෂණ යාන්ත්‍රණයක් එක මගක් විය හැකිය. තොරතුරුවලට ප්‍රවේශය, පරීක්ෂණ ක්‍රමවේද/ තාක්ෂණය සෑහෙන්ට දියුණුව ඇති නිසාත්, කොමිසමේ නිර්දේශය ඇති නිසාත් පරීක්ෂණයට ප්‍රමාදයක් විය නොහැකිය.  සෑම දෙනා අත්‍යවශ්‍ය ලෙස සලකා කරන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයක් වන හෙයින්, එවැනි පරීක්ෂණයක් කර්කශ ක්‍රියාවක් ලෙස නොසැලකීමට හේතුවේ. ප්‍රතිෂ්ටාපන යුක්තිය (Restorative Justice) පසිඳලීම සංහිඳියාවේ පළමු පියවර විය හැකිය. බෞද්ධ භික්ෂූන් 30 කට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කර දැමූ හෙයින් එය සිත්හි තබා ගැනීමට හෝ අනුස්මරණයට පිරිස් එකතු වන අවස්ථාවක පැවසිය යුත්තේ අරන්තලාව සිහිවටනයෙන් පමණක් ප්‍රතිෂ්ටාපන යුක්තිය පසිඳලීම ලඟා කර දිය නොහැකි බවය. ප්‍රතිෂ්ටාපන යුක්තිය ඊට වඩා ගැඹුරු ක්‍රියාවලියක් වන හෙයිනි.  අන් ඕනෑම තැනක අරන්තලාවේ මෙන්ම අනුස්මරණ සිහිවටන තැනීමද ප්‍රතිෂ්ටාපන යුක්තිය පසිඳලීමට ඉවහල් වේදැයි එවන් ක්‍රියාවන්හි නියැලෙන්නන් සිත් යොමු කළහොත් වඩා සුදුසුය. තවද, එය නැවත වෛරය අලුත් කරන ක්‍රියාවක් නොවිය යුතුය.

ධර්මිෂ්ඨ ස්වභාවයෙන් හෝ තැන්පත් මනසින් යුතු පුද්ගලයෙකුට මෙම මිලේච්ඡ සිද්ධිය සිහිපත් කළ හැකි යයි මට නොසිතේ. නොයෙකුත් හේතූන් නිසා පසුව එක්වී හඬ නගන බොහෝ බඳව කථා කිරීමට මා වැඩි සුදුසුකම් ලබයි. එසේ වුවද, මෙම සිද්ධියේ මිලේච්ඡ භාවය මතම මේ පිළිබඳව අනුස්මරණයක් වැළැක්වීමද අපහසුය. අවසානයේදී සංසිදියාවේ වැදගත්කම මේ සිද්ධීන් දෙස ගැඹුරින් බලන අයෙකුට සාක්ෂාත් වනු ඇත.  දැනුදු කෙරෙන අනුස්මරණයේ පරමාර්ථයද එයම යයි මම ප්‍රාර්ථනා කරමි.

අපට කළ හැක්කේ අරන්තලාවේදී අපවත්වූ ස්වාමීන් වහන්සේලාට සහ මිය ගිය අන් ගිහි පිරිසට නිවන් සුව පැතීම පමණකි. ඔවුන්ට නිවන් සුව අත්වේවා!

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.