18 October, 2017

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත්‍ර​ස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද?

courtesy Foreign Correspondents' Association of Sri Lanka Facebook page

ලක්සිරි ප‍්‍රනාන්දු

ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

දැනට දේවල් සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ අතරින්පතර ය. එහෙත් ඒවා උසිගන්වන්නන් මැඩලීම සඳහා දැඩි පියවර කඩිනමින් නොගත්තොත්, ඒ විසිරී පවතින සිදුවීම් ඒකරාශී වී, වඩාත් උග‍්‍ර විය හැකිය. ගංවතුරින් පීඩාවට පත් සියල්ලන් කෙරෙහි වන හෘදයාංගම සානුකම්පාව පළ කරන අතරේම, ස්වභාවික ව්‍යසනය සහ පරිපාලනමය නොසැලකිල්ල මගින් ඇති කරන ලද එකී හදිසි ආපදා තත්වය කෙරෙහි වර්තමානයේ තත්පර වන ආකාරයෙන්ම මේ ප‍්‍රශ්නය කෙරෙහිත් යොමු වීම වැදගත් ය.

මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳ ව්‍යාපාරවලට මෑතක සිට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්හි ස්වභාවය දෙස බලද්දී, ඒවා සාමාන්‍ය ජනතාවගේ අප‍්‍රසාදයක නිරූපණයක් නොව, අන්තවාදී ආගමික සහ ජාතිකවාදී කල්ලි ගණනාවක් විසින් මනාව සංවිධානය කොට ක‍්‍රියාවේ යොදවනු ලබන දෙයක් බව පෙනේ. මෙහි ඇති භයානක කම වන්නේ එය තවත් උස් මහත් වී අලූත් අනුගාමිකයන්වත් ආකර්ශනය කර ගනිමින් වෙනත් අයටත් බලපෑම් කිරීමට තරම් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්වීමට ඇති ඉඩකඩයි. තත්වය පාලනය කර ගැනීම සඳහා වහා පියවර නොගතහොත්, රට තුළ මෙන්ම රටින් පිටස්තරව පවතින තත්වයන් ද ඔවුන්ගේ වාසියට සිටීමට ඉඩ තිබේ.

මේ සිදුවීම් තුළ බොදුබල සේනා සහ එහි නායක ගලගොඩඅත්තේ ඥානසාරගේ සෘජු මැදිහත්වීම් ඇති බවට සෘජු පැහැදිළි සාක්ෂි තිබේ. ඔහුට හිමියන් හෝ ස්වාමීන් වහන්සේ යැයි ඇමතීමට හෝ ඔහුව සැබෑ බෞද්ධ භික්ෂුවක් සේ සැළකීමට හෝ මට පුලූවන් කමක් නැත. මුස්ලිම් ජාතිකයන්ටත්, ඔවුන්ගේ පුජණීය ස්ථාන සහ ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙමින් රට පුරා කරක් ගසන්නේ, ඔහුගේ අනුගාමික අතලොස්සක කල්ලියකි. කුරුණෑගල මුස්ලිම් පල්ලියට පහර දීම ඇතුළු මේවායින් ඇතැම් සිදුවීම් තුළ ඔහුගේ සෘජු සහභාගීත්වය පැහැදිළිව පෙන්නුම් කෙරේ. මෑතම වාර්තාගත සිදුවීම වන්නේ, ගංවතුර ඒමට කලින් (මැයි 22 වැනි දා) රත්නපුරේ කහවත්ත නගරයේ මුස්ලිම් කඩයක් ගිනි තබා විනාශ කිරීමයි.

මෙය ත්‍ර​ස්තවාදය ද?

එය ත්‍ර​ස්තවාදය සහ ත්‍ර​ස්තවාදයේ නව ආකෘතියක් වන්නේ ඇයි? සාමාජික රටවල් අතරේ පවතින මතභේද නිසා තවමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ත්‍ර​ස්තවාදය පිළිබඳ සාරාර්ථ නිර්වචනයක් සොයා ගැනීමට අසමත්ව ඇති බව ඇත්තයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1566 දරණ යෝජනාව තුළ ත්‍ර​ස්තවාදය පිළිබඳ යම් විස්තරයක් සපයයි: ‘‘ ඕනෑම ක‍්‍රියාවක්.. එහි ස්වභාවය සහ සන්දර්භය අනුව ජනතාවක් තැති ගන්වයි නම් හෝ, යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ලවා යමක් කැරැුවීමට හෝ නොකැරැුවීමට බල කෙරෙයි නම්’’ එය ත්‍ර​ස්තවාදය වන්නේය.

බොදුබල සේනා සංවිධානය ‘‘ආණ්ඩුව ලවා යමක් කැරැුවීමට හෝ යමක් නොකැරැුවීමට’’ අදහස් කරයිද නැද්ද යන්න අපි මොහොතකට පැත්තකින් තියමු. එහෙත් ඉතා පැහැදිළි කාරණය වන්නේ, ‘‘එහි ස්වභාවය සහ සන්දර්භය තුළ බොදුබල සේනා ක‍්‍රියාකාරකම් ශ‍්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව තැති ගන්වන’’ බවයි. එය ‘තැති ගැන්වීම’ පමණක් නොව, දැනටමත් මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ ආගම ඇදහීමට එරෙහිව තර්ජනය කොට තිබීමට අමතරව, ඔවුන්ට හානි පමුණුවා ඔවුන්ගේ දේපොල විනාශ කොට තිබේ. ඔවුන්ගේ ආගම ඇදහීමට එරෙහිව තර්ජනය කිරීම යනු, ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලික අයිතියක් වන ‘ආගමික නිදහස’ ඔවුන්ගෙන් උදුරා ගැනීමකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතීන් තුළ 10 වැනි වගන්තිය යටතේ මෙසේ කියැවෙයි: ‘‘සෑම පුද්ගලයෙකුටම තමන් කැමති ආගමක් හෝ විශ්වාසයක් ඇදහීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස තිබේ.’’ ඥානසාර විසින් මුස්ලිම් ආගමට ගර්හා කිරීම සහ ඔහුගේ බොදුබල සේනා අනුගාමිකයන් විසින් මුස්ලිම් පල්ලි සහ ආගමික ස්ථානවලට පහර දීම තුළින් උල්ලංඝණය කෙරෙනු ලැබෙන්නේ මුස්ලිම් ජනතාව සතු එකී නිදහසයි.

වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැහැදිළි කිරීමට වඩා නිශ්චිත අර්ථයක් ඇමරිකාවේ ෆෙඩරල් රෙගුලාසි පද්ධතියේ අංක 28 යටතේ දැක්වෙයි: ‘‘දේශපාලනික හෝ සමාජ අරමුණු පෙරදැරිව ආණ්ඩුවක්, සිවිල් ජනතාවක් හෝ එහි යම් අංශයක් තැති ගැන්වීම හෝ බලහත්කාරය පෑම සඳහා, පුද්ගලයන්ට හෝ දේපොළට එරෙහිව බලය සහ හිංසනය නීති විරෝධීව භාවිත කිරීම’’ ත්‍ර​ස්තවාදයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇමරිකාවේ ත්‍ර​ස්තවාදී සංවිධානයක් වශයෙන් තහනමට ලක්කෙරුණේ එකී නිර්වචනය යටතේ ය. එම තහනම ශ‍්‍රී ලංකාවේ මහත් ප‍්‍රශංසාවට එදා හේතු විය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන බොදුබල සේනා ක‍්‍රියාකාරකම් එම නිර්වචනය යටතේම ත්‍ර​ස්තවාදයක් වශයෙන් සැළකිය හැකිව තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන් බොදුබල සේනාවේ බලහත්කාරය සහ හිංසනය එල්ල වන්නේ ආණ්ඩුවට එරෙහිව නොවේ. වඩාත් ජුගුප්සාජනක අන්දමින් එය එල්ල වන්නේ ‘සිවිල් ජනතාව’ ඉලක්ක කරමිනි. එය අලූත් ආකෘතියක ත්‍ර​ස්තවාදයක් වන එක් හේතුවක් එයයි. ඒ වනාහී, නව-ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක ආරම්භක රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමකි. ‘ක්ලූ ක්ලක්ස් ක්ලෑන්’ වැනි බොහෝ නව-ෆැසිස්ට්වාදී ව්‍යාපාර ඉස්මතු වුණේ ආණ්ඩු විරෝධී ප‍්‍රහාර දියත් කිරීමෙන් නොව, වෛරයට පාත‍්‍ර සිවිල් ජන කොටස්වලට ප‍්‍රහාර එල්ල කරමිනි. ජාත්‍යන්තර තලයේ ඉස්ලාමීය ත්‍ර​ස්තවාදදී ක‍්‍රියාකාරකම් පවතින අද වැනි වකවානුවක, මුස්ලිම් ජනතාව ඉතා පහසු ඉලක්කයක් වන්නේය. කෙසේ වෙතත්, දෙකොණ පැටලෙන කාරණය වන්නේ, බොදුබල සේනාවත් මැද පෙරදිග අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගේ සහ තලිබාන් ත‍්‍රස්තවාදීන්ගේ දෘෂ්ටිවාදීමය ප‍්‍රතිරූපයක් වීමයි. ඥානසාර නායකත්වය සපයන බොදුබල සේනාව, මියන්මාරයේ අෂින් විරතු නම් භික්ෂුව නායකත්වය සපයන ‘969 ව්‍යපාරයට’ වඩාත් නෑකම් කියයි.

බොදුබල සේනාව යනු, ‘බද්ධ වෛරය’ පතුරුවන නායකත්වයක් යටතේ කණ්ඩායම් කිහිපයක් ලිහිල් ආකාරයෙන් කල්ලි ගැසී සිටින එකතුවක් මිස හොඳින් බැඳුණු සංවිධාන ක‍්‍රමයක් හෝ හමුදාමය ආකාරයකින් සංවිධානය වූ එකතුවක් නොවන නිසාත් එය අලූත් ආකෘතියක ත්‍ර​ස්තවාදයක් වන්නේය. එකට කල්ලි ගැසී සිටින අනිත් කණ්ඩායම් වන්නේ, ‘සිංහල රාවය’, ‘රාවණා බලය’, ‘සිංහ ලේ’, ‘මහසෝන් බලය’ සහ ‘සිංහල ජාතික බලය’ ආදියයි. බොදුබල සේනාව ඒ සියල්ල ආවරණය කෙරෙන සංවිධානය වශයෙන් ක‍්‍රියා කරයි. ඔවුන් සියල්ලන් තුළම ‘ත‍්‍රස්තවාදී දෘෂ්ටිවාදය’ තිබේ. එය, පසුගිය ලිපියකදී (‘‘මැන්චෙස්ටර් සංහාරය සහ ත‍්‍රස්තවාදය මැඩලීමේ අවශ්‍යතාව’’) මා දක්වා ඇති පරිදි, ‘බද්ධ වෛරය’ සහ ‘විනාශය සඳහා වන පේ‍්‍රරණය සහ ජීවිත පූජා කිරීමේ අධිෂ්ඨානයට’ අමතරව ය.

විශේෂයෙන් මේ පසුව කී කාරණා ගැන ආණ්ඩුවත්, නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලධාරීනුත් පරිස්සම් විය යුතුව තිබේ. මන්ද යත්, මේ ක‍්‍රියාධරයන්ගෙන් සමහරෙක් තමන්ම බිළි වීමට ඉඩ ඇති බැවිනි. ඔවුහූ භක්ති-උන්මාදකයෝ ය. ‘සැබෑ බැතිමත්තු’ ය. කෙසේ වෙතත්, මේ මුල් අදියරේදී නායකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් කළ වැරදිවලට නීතියෙන් දඬුවම් පැමිණවිය හැකි නම්, මේ ව්‍යාපාරය සාර්ථකව මෙල්ල කළ හැකිය. අකර්මණ්‍යව සිටීම වඩාත් රුදුරු රකුසෙකු නිර්මාණය කිරීමට තුඩුදෙනු ඇත.

(ඉතිරිය ඊළඟට)

*2017 මැයි 29 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “A New Form Of Anti-Muslim Terrorism In Sri Lanka: What Is To Be Done?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස )යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.