25 September, 2020

Blog

“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ” කවියෙන් කියවෙන්නේ ගඟ පිටාර ගැලීමද ප‍්‍රභුවරයෙකුගේ ලිංගික සූරාකෑමක්ද?

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

පසුගිය දිනවල ඇති වූ ගංවතුරින් කැලණි ගඟ පිටාර ගැලීම නිසා කැලණිය, බියගම, දොම්පේ, වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බරපතල ආපදා තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ සහ අලූත්කූරු කෝරල මායිමෙන් ගලා බසින කැලණි නදිය නිතර නිතර පිටාර ගැලීම නිසා ගංවතුර අවදානමක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එනිසාම බියගම, මල්වාන, පහළ මාපිටිගම, උඩමාපිටිගම, පුගොඩ, තරාල, රන්වල, දංගල්ල ආදී ප‍්‍රදේශ මුල්කොට කැලණි ගඟේ ගංවතුර පිටාර කලාප කිහිපයක් ද ස්ථාපිත වී තිබේ. කැලණි නදියේ මෙම පිටාර ගැලීමේ ස්වභාවය මුල්කොට ප‍්‍රකට ජන කවියක් ද ඇත.

‘‘කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ

මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ

ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ ’’

සියනෑ කෝරළයේ හෝ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩිදෙනෙකු අසා පුරුදු මේ ජන කවිය අප රටේ සිටි සිවිල්සේවා නිලධාරියෙකු සහ විශිෂ්ට ජනශ‍්‍රැති පර්යේෂකයෙකු වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් විසින් 1964 වසරේ සම්පාදනය කළ ‘‘සිංහල කාව්‍ය සංග‍්‍රහය – මාතර යුගය’’ කෘතියෙහි (පිටුව 200) ද සඳහන් ය. මෙය ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයකි.

මාතර (සාහිත්‍ය) යුගය ක‍්‍රි.ව. 1720 – 1830 දක්වා වන වසර 110ක කාල පරිච්ඡේදයක් පුරා දිව යන්නකි.

ඉහත සඳහන් ජන කවියෙහි මතුපිට අරුත වනුයේ වරින් වර පිටාර ගලන කැලණි ගඟ නිසා ගඟ දෙපස ඇති කෙටල පඳුරු වරින් වර දියෙන් යටවී යළිත් මතු වී පෙනෙන බව ය. මේ අතර ගඟ ආසන්නයේ බැඳ සිටින මී ගවයන් හිස වනන අයුරුත් ඇටිකිත්තන් යනුවෙන් හැඳින්වෙන ජලාශ‍්‍රිත කුඩා මැඬි විශේෂය නිතර හඬනගන අයුරුත් ඉන් පැවසේ.

නමුත් පසුගිය කාලයේ සියනෑ කෝරළයේ ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ගවේෂණයක යෙදුණු මට එම ජන කවියෙන් මතුවන ඊට වඩා ගැඹුරු ද්වනිතාර්ථයක් පිළිබඳව අනාවරණය කර ගත හැකි විය. ඉන් පැවසී ඇත්තේ සියනෑ කෝරළයේ විසූ මහා ධනකුවේරයෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳව බව එහිදි අනාවරණය කර ගැනීමට මට හැකි විය.

ඔහු දහඅටවන සියවසේ අග භාගයේ හෝ දහනව වන සියවසේ මුල් භාගයේ දී සියනෑ කෝරළයෙහි විසූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. අක්කර සිය ගණනක පොල්වතු ඇතුළු සුවිසල් දේපළකට හිමිකරුවෙකු වූ මොහු තමන් යටතේ වැඩකරන සේවකකාරකාදීන්ගේ රූමත් අඹුවන් සොයා ගොස් ඔවුන් සමඟ අයථා සබඳතා පැවැත් වූ අයෙකි. ඔහුගේ ප‍්‍රතාපය නිසා මෙම සංසිද්ධිය සෘජුව කීමට නොහැකි වූ ජන කවියා ‘‘කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ’’ යනුවෙන් පවසා ඇත්තේ ඔහුගේ එම ලිංගික චර්යාවයි.

එහි දෙවන පදයෙන් පැවසෙන ‘‘කෙටල පටානෝ නිතරම උඩයට යානෝ’’ යනුවෙන් පැවසෙනුයේ ඔහුගේ ලිංගික ආධිපත්‍යයට නතු වූ එම කාන්තාවන් පිළිබඳව ය. මෙහිදී ‘‘වතුර ගැලීම’’ සහ ‘‘උඩ යට යාම’’ යන්නෙන් ලිංගිකත්වය පිළිබඳ සියුම් ඉඟි පළ කෙරන අතර ඇතැම් විට වරින් වර හිමිවන ඔහුගේ ඇසුර නිසා එම කතුන්ගේ උඩඟු බව අඩුවැඩි වීම ද ජනකවියා එලෙසින් දකින්නට ඇත. යමෙකුගේ උඩඟු බව දැක්වීම පිණිස ‘‘දැන් එයා සෑහෙන්න උඩ ගිහින්’’ යනුවෙන් සමාජයේ පොදු වහරක් ඇති බව අපි කවුරුත් දනිමු.

මෙහි ඊළඟ පදයෙන් පැවසෙන ‘‘මීහරකානෝ නිතරම ඔලුව වනානෝ’’ යන්නෙන් එම බිරියන්ගේ සැමියන් පිළිබඳව පැවසෙන බව මෙහිදී අනාවරණය කර ගැනීමට මට හැකිවිය. මක්නිසාද යත් එම ප‍්‍රභූවරයාගේ දාසකාරකාදීන් වන ඔවුනට තමන්ට සිදුවන කිනම් අසාධාරණයක් හෝ ‘‘ඔලුව වනා’’ අනුමත කිරීම හැරුණු කොට ඊට එරෙහිව නැඟීසිටීමේ හැකියාවක් එකල සමාජයේ නොතිබූ බැවිනි.

මෙහි වඩාත්ම උපහාසයක් ද්වනිත කරවනුයේ එහි ‘‘ඇටිකිති ජානෝ නිතරම ජෙග ජෙග ගානෝ’’ යන්නෙනි. මෙහි ඇටිකිත්තන් යනු කුඩා මැඬිවිශේෂයක් බව මම ඉහත සඳහන් කළෙමි. එහෙත් ඒ සමඟම යෙදෙන ‘‘ජානෝ’’ යන වචනයෙන් හැඟවෙනුයේ ජනතාව යන්න ය. ඒ අනුව එම ‘‘ඇටිකිති ජානෝ’’ යන්න අවශේෂ ජනයා ලෙස අර්ථකතනය කිරීමේ නොහැකියාවක් නැත.

සමාජයේ ප‍්‍රභූවරයෙකු විසින් ප‍්‍රසිද්ධියේ සිදුකරන මෙම සදාචාර විරෝධී ක‍්‍රියාවට, ලිංගික සූරාකෑමට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වීමට හෝ අභියෝග කිරීමට හැකි සමාජ පරිසරයක් මෙකල නොතිබුණි. එබැවින් අවශේෂ ජනයාට හැකි වූයේ ඒ පිළිබඳව නිරතුරුවම ඔවුනොවුන් අතරේ රහස් කතිකාවක් ගොඩනංවා ගැනීමට පමණි. කවියෙහි එය හැඳින්වෙනුයේ ‘‘ජෙග ජෙඟ’’ ගෑම ලෙසිනි.

මෙහි මා දුටු තවත් විශේෂත්වයක් තිබේ. අරාබි බසින් ලිංගික ක‍්‍රියාව හඳුන්වන පහත් ඕලාරික වදනක් වනුයේ ‘‘ජිගි ජිගි’’ යන්න ය. මෙය ජිගි යන්න ඉංග‍්‍රීසි ශබ්දකෝෂවල සඳහන් වන්නේ Haveing Sex යන්නෙහි අවියත් වදනක් ලෙසිනි.

තම ප‍්‍රදේශයේ ප‍්‍රභුවරයෙකුගෙන් සිදුවන ලිංගික සූරාකෑමක් පිළිබඳව කැලණි ගඟ මුල්කොට මෙසේ උපහාසාත්මක යටි අරුතක් පළ කළ ඒ අප‍්‍රකට ජන කවියාගේ චින්තනය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව කැලණි ගඟටත් වඩා ගැඹුරු බව නම් නොකියාම බැරිය.

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.