
මැයි 2 දින උදෑසනම පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට ගත් තීන්දුව පැය විසිහතරකට පසු ඉවත් කරගැනීමට කටයුතු කිරීම ගැන අළුත් ආන්දෝලනයක් ඇති වී තිබේ. දින කිහිපයක සිට පිළියන්දල නාගරික බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා කොට්ඨාශ 10 ක් හුදෙකලාකර තිබූ අතර, ආයතනගත පිරිස් මගින් වෛරසය වේගයෙන් ව්‍යාප්තවීමක් ද දකින්නට තිබූ බැව් ප්‍රාදේශීය සෞබ්‍ය බලධරයෝ කියා සිටියහ.
ලංකාවේ විවිධ දිස්ත්‍රික්වල ග්‍රාමසේවා වසම් රැසක් දැන් දින ගණනක සිටම හුදෙකලාකොට ඇති අතර එම කොට්ඨාශ එකක් හෝ නැවත විවෘත කර නැත. එහෙත්, පිළියන්දල පොලිස් වසම පමණක් පැය විසි හතරක් ඇතුළත නැවත විවෘත කිරීම පුදුමයට කරුණකි. එය මුළුමනින්ම සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණයට ඉහළින් ගොස් දේශපාලන බලධාරියෙකුගේ බලපෑමෙන් ගත් අත්තනෝමතික තීරණයක් බැව් දැන් අනාවරණය වී තිබේ.
ඊයේ රාත්‍රියේ මා ඇමතූ කැස්බෑව නගර සභාවේ විපක්ෂයේ සභිකයෙකුවන පර්සි වික්‍රමගේ, මෙම අමනෝඥ තීන්දුව ගැනීමට යන බැව් දැණුම් දුන්නේය. මම ඔහුගේ ස්ථාවරය මේ පිළිබඳව විමසූ විට දැන්වූයේ “හුදෙකලා කිරීමේ තීන්දුව සෞඛ්‍ය බලධාරීන් ගත යුතු තීන්දුවක් බවත්, මොන දේශපාලඥයා හෝ ඊට බලපෑම්කොට වෙනස් කිරීමට යන්නේ නම් තමා ඊට දැඩිසේ විරුද්ධවන බව” ය. විනාඩි කිහිපයක් ගතවීමටත් පෙර ඔහුගේ එම මතය තම මුහුණු පොතේ සටහන් කර තිබූ අයුරු මම දුටුවෙමි.
කැස්බෑව ආසනයේ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුවන, පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ නිවසේ ඇති කාර්යාලයේ සේවකයන් කිහිපදෙනෙකුම කෝවිඩ් වසංගතයට ගොදුරු වී ඇති බව ද සැලය. ගාමිණි ලොකුගේ දේශපාලන කරළියට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙනි. එම යුගයේ ඔහු ප්‍රචලිතව සිටියේ දේශපාලන මැරවරයෙකු වශයෙනි. ජේ. ආර් ජයවර්ධන ආණ්ඩු සමයේ ඛණිජ තෙල් සංස්ථාවේ දේශපාලන මැර කල්ලිවලට සිරිකොතේ සිට නායකත්වය දුන්, කුප්‍රකට ප්‍රාදේශීය දේශපාලනයෙකු වූයේ ගාමිණි ලොකුගේය. එදා, කම්කරු හා සිසු අරගලවලට පහර දුන් එම මැර කණ්ඩායම ආණ්ඩුවේ “තග් හමුදාව” ලෙස හැඳින්වීය. පසුව, ආර්.ප්‍රේමදාස පාලන කාලයේ, ආණ්ඩුවෙන් ඉවත් වී නව දේශපාලන බලයක් ගොඩනැඟූ ලලිත් ඇතුළත්මුදලිට පළමුවෙන් ම මැරයන් ලවා පහර දුන්නේ ද කැස්බෑවේ දී ය.
කාලයාගේ ඇවෑමෙන්, පරිණත දේශපාලඥයෙකු වූ ලොකුගේ මෙවැනි උද්ධච්චවූත් මුග්ධ තීරණයක් ගනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකළත්, කැස්බෑව නගර සභාවේ විපක්ෂ කණ්ඩායම කියනුයේ, නගරයේ වෙළඳ ප්‍රජාවේ බලපෑමට ඔහු එය සිදුකළ බවයි. තම කාර්යාලයේ සේවකයන් වසංගතයට බිලිවෙද්දී, තමන් ස්වයං නිරෝධායනයවීම හැර අත්තනෝමතික ලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ කාර්යය කිරීමට යාම, අතීතයේ තමන් රඟ දැක් වූ ජනතාද්‍රෝහී මැරවර චරිතයම යළි රඟ දැක්වීමකට වඩා අන් යමක් නොවන බැව් අසරණ වූ කැස්බෑවේ ජනතාව කියති.
අද රටම අණතුරකට පත්ව ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂඥ උපදෙස් නොසළකා, උද්ධච්ච පාලකයන් ගනු ලැබූ මුග්ධ තීන්දු නිසා බැව් ජනතාව වටහාගෙන අවසානය. දශක 4 ට වැඩි කාලයක් ජනතාව අතර සේවය කළ මහජන නියෝජිතයෙකුවන ගාමිණි ලොකුගේ එවැනි තකතීරු තීරණයක් ගැනීමත්, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ලවා එම තීරණය ක්‍රියාත්මක කරගැනීමට බලපෑම් කිරීමත් කැස්බෑවේ පොදු මහා ජනතාව සුදු කොඩියක් නැති, මිණි පෙට්ටියක් නැති මරණයක් වෙත දක්කාගෙන යෑමකි.
මෙවැනි මුග්ධ බලපෑම් හමුවේ ප්‍රාදේශීය මෙන්ම රජයේ වගකිව යුතු සෞඛ්‍ය බලධරයෝ කොන්දක් නැති වැනෙන සුළු ප්‍රතිපත්තියකින් කටයුතු කරන්නේ නම් මේ රටේ සුවහසක් ජනයාට අබ සරණයි කියනු හැරෙන්නට කුමක් කියන්නද? පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීම ඉවත්කොට එ සැනින් ම, පිළියන්දල නගර සීමාවට යාබද මහරගම පොලිස් වසමේ ඇරව්වල ග්‍රාම සේවක කොට්ඨාශය හුදෙකලා කළ බැව් නිවේදනය කිරීමෙන්ම අණතුරේ බරපතලකම කාටත් වැටහෙනු ඇත.
ව්‍යාපාරිකයෝ, දේශපාලකයෝ පමණක් නොව දේශපාලකයන්ගේ අධෝමුඛය ලෙවකන ප්‍රාදේශීය පොලිස් ලොක්කෝ ද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන බැව් දැන් කියවේ. එහෙත්, නිවෙස් තුළ හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන පණහකට ආසන්න, කෝවිඩ් රෝගීන් ප්‍රමාණයක් පිළියන්දල නගර සභා බලප්‍රදේශයේ මේවන විටත් සුසුම්ලද්දී, සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත ඔවුන් පිටත්කර යැවීමේ දුෂ්කර අර්බුදයක පෙරමුණේ සිටින සුව නිලධාරීන්ට සිදුව ඇත.
මේ තකතීරු, මරිමෝඩ, වැනෙන සුළු තීරණ නිසා ඔවුන්ගේ සටන තව දුෂ්කරවනවා පමණක් නොව, තත්ත්වය බරපතලවන රෝගී ප්‍රමාණයද තව ඉහළ යනු නො අනුමානය.