26 April, 2024

Blog

අමතක වූ මාධ්‍ය නිදහස

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මහින්ද රාජපක්ෂ මාධ්‍ය නිදහස පිළිබඳ කථා කිරීම යනු හාස්‍යයකට වඩා වැඩි දෙයක් නොවන මුත්, ඔහු එය සිදු කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හා දෙරණ නාලිකාව අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතින, ලිපි ගණුදෙනුව පිළිබඳ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබුනේ එය මාධ්‍ය නිදහස පිළිබඳ බරපතල ගැටලුවක් බවය. තමන් වෙනුවෙන් මරා ගෙන මැරීමට වුවත් සූදානමින් සිටින, තම හිත මිත‍්‍ර නාලිකාවක් වෙනුවෙන් පෙනී සිටීමට මහින්ද රාජපක්ෂට ඇති පුද්ගලික අයිතිය අප ප‍්‍රශ්න නොකරන මුත් මාධ්‍ය නිදහස පිළිබඳ මහින්ද වගුරමින් සිටින මේ කඳුලු කෙතරම් “අවංක” ද යන්න විමසා බැලීම වැදගත් ය. “ඔවා දෙනු පරහට තමා සම්මතයෙ පිහිටා සිට” යන අපේ ඉපැරණි කියමන අනුව නම්, මහින්ද මේ සිදු කර ඇත්තේ උඩ බලා ගෙන කෙළ ගසා ගැනීමකි. ඒ හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය අවසානය ඔහුට පාරා වළල්ලක්ම වන බැවිනි.

මහින්ද ප‍්‍රකටව සිටියේ මාධ්‍යවේදීන්ගේ මිතුරෙකු ලෙස ය. රිචඞ් ද සොයිසා වැනි 88-89 සමයේ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් ප‍්‍රසිද්ධ පෙනී සිටීම් කළ, මහින්ද ඒ සමයේ මාධ්‍ය නිදහස, මානව හිමිකම් පිළිබඳ උස් හඬින් කථා කළ, අතලොස්සක් වූ කිහිප දෙනා අතර පෙරමුණේම විය. ඒ පෙනී සිටීම ඔහුට පාඩුවක් නොවුනේ දේශපාලන හිණිමගේ ඉහළට නැගීමට, ඒ සියලු කාරණා ඔහුගේ ජීවදත්ත පත‍්‍රිකාවට අමතර වටිනාකමක් එක් කළ බැවිනි. 1994 පාලන පෙරළිය සිදු වූ පසුද මහින්ද මාධ්‍යවේදීන් සමඟ ළඟ ඇසුරක් පවත්වාගෙන යන ලදි. චන්ද්‍රිකා කුමාරණතුංගගේ සමයේ ඇගේ සමීපතම කවයට මහින්ද ඇතුළත් නොවීය. චන්ද්‍රිකා, මහින්ද දෙස බැලූවේ සැක සංකා පෙරදැරිවය. මහින්ද තමනට වඩා, අනුරට හිතවත් බව ඇය හොඳාකාරවම දැන සිටියේ ය. ඇමති ධූරයක් පිරිනැමූවද මහින්දව පාලන තන්ත‍්‍රයේ වැදගත් වගකීම්වලින් ඈත් කර තැබීමට ඇය හැම විට කටයුතු කළා ය. එම තත්ත්වය තුළ ආරක්ෂාකාරී පියවරක් ලෙස තම පැවැත්ම වෙනුවෙන් මාධ්‍යවේදීන් සමඟ ළඟ ඇසුරක් මහින්ද පවත්වාගෙන ගියේ ය. එම සම්බන්ධය කෙතරම් සමීප එකක් වුවාද කියතොත් එකළ බොහෝ කැබිනට් රහස් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව නිමවා ඇමතිවරු පිටතට පැමිණීමටත් පෙර මාධ්‍යවේදීන්ගේ අතට පත් වුණි. එසේ කැබිනට් රහස් විදුලි වේගයෙන් පිටතට කාන්දු කරනුයේ මහින්ද බව චන්ද්‍රිකා හොඳාකාරව දැන සිටියා ය. එබැවින්ම ඇය “රිපෝටර්” යනුවෙන් මහින්දට නමක් ද අනතුරුව පටබඳින ලදී.

තම හිත මිතුරා 2005 වසරේ රටේ ජනාධිපතිවරණ සටනට පිවිසි අවස්ථාවේදී මාධ්‍යවේදීහු ඒ ගැන බොහෝ සතුටට පත් විය. මහින්ද යටතේ තම වෘත්තියට ඉහළ ගරුත්වයක් ලැබෙනු ඇතැයි, ඔව්හු දැඩිව විශ්වාස කළෝය. ඒ වග පෙන්නුම් කරමින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ තම ප‍්‍රතිපත්තිමය ලියවිල්ල වූ “මහින්ද චින්තන අලුත් ශ‍්‍රී ලංකාවක්” හි රාජපක්ෂ මෙසේ සඳහන් කර තිබිණි. මේ උපුටා ගැනීම එහි 81 වෙනි පිටුවෙනි.

“ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇයි අයිතිය සුරක්ෂිත කරමින්, රටේ සමස්ථ සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ජනමාධ්‍යයන්හි පුලුල් දායකත්වය ලබා ගැනීම මගේ ජනමාධ්‍ය ප‍්‍රතිපත්තියේ පදනමයි. සැබෑ ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවීතාවක් උදෙසා ඉහළම ආදර්ශය බවට රාජ්‍ය මාධ්‍ය පත් කරනු ලබන අතර, ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය නිර්දේශපාලනීකරණය කරන්නෙමි” එසේ පවසමින් මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය, උසස් කිරීමට යැයි කියමින් පොරොන්දු වැස්සක් ද මහින්ද වස්සවන ලදි.

සහතිකවම එය සුබ සිහින දැකීමට පාර කැපූ ආකර්ශණීය යෝජනාවලියක් විය. නමුත් ඒ මතකය මහින්ද තුළ ජීවමානව පැවතියේ බලය ලබා ගන්නා තෙක් පමණි. බලය ලැබුණු පසු සියල්ල වෙනස් වන්නට විය. සහතිකවම, වඩා වැදගත් වනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය, මාධ්‍ය නිදහස වැනි මාතෘකා දේශපාලන වේදිකාවේ ජනප‍්‍රිය කථාවලට සීමා කිරීම නොවේ. වැදගත් වනුයේ, ඒවා ප‍්‍රායෝගිකත්වයට නැංවීමය. මහින්දට එය අදාළ නොවීය. හැම විටම මිනිසෙකුගේ සැබෑ වටිනාකම් මැනිය හැක්කේ කියන දේ අනුව නොව කරන දේ අනුවය. ඒ අර්ථයෙන් ගත් විට ජන මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට මහින්දගේ පාලන සමය භීම සමයක්ම විය. ඊට පෙර ඉතිහාසයේ අන් කවරදාකමවත් නොතිබුනු අන්දමේ මාධ්‍ය මර්ධනයක්, මහින්දගේ සමයේ රටේ පැවති බව චීර ප‍්‍රසිද්ධ කාරණයක් විය. අද මාධ්‍ය නිදහස ගැන කිඹුල් කඳුලු  හෙළනුයේ එබඳු අපකීර්තිමත් අතීත වැඩ වාර්තාවක් සහිත පුද්ගලයෙකි. රාජපක්ෂ සමයේ ඇතැම් මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූයේ අධිආරක්ෂිත කලාප බවට නම් කළ ප‍්‍රදේශවලය. මාධ්‍යවේදීන් මිය ගියේ දුසිම් ගණනිනි. පහර කෑමට හිරිහැරයට ලක් වූ අවස්ථා බොහෝ ඉහළ මට්ටමක පැවතිනි. මාධ්‍ය ආයතන ගිනිබත් වූ, පුවත්පත් වැසී ගිය, බලපත‍්‍ර තහනම් කළ වෙබ් අඩවි සඳහා වන ප‍්‍රවේශය අහිමි කළ ජීවිත ආරක්ෂාව පතා අර්ධ ශතකයට අධික මාධ්‍යවේදීහු පිරිසක් විදේශයන්හි පිලිසරණ පැතූ ඒ සමය මාධ්‍ය නිදහස විෂයෙහි අඳුරු, අපල කාලයක්ම විය. දරුණු මාධ්‍ය මර්ධනයක් එසේ රටේ අභ්‍යන්තරයේ සිදු වුවද රටවැසියන්ට එය ඒ හැටි වගක් නොවූ තරම් ය. එල්ටීටීඊය පැරදවීම වෙනුවෙන් තිබූ යුධ පිපාසය ජනතාවගේ දෑස් නිලංකාර කර තිබූ අතර, රටේ අවශේෂ කාරණා ඔවුනට ද්විතියික මට්ටමමේ විය. “බොරදියේ මාලු බෑමට” උපන් හපන්කමක් ඇති රාජපක්ෂවරු මේ තත්ත්වය තම බල දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් මනාව කළමනාකරණය කළේය. “දේශපේ‍්‍රමයේ” නාමයෙන් නොනවත්වා මාධ්‍ය දඩයම සිදු වන්නට විය.

2005 වසරේදී මහින්ද ජනාධිපති වී බලයට පැමිණීමෙන් පසු ඝාතනය වූ, අතුරුදහන් වූ, පැහැර ගැනීමට ලක් වූ, රටින් පිටව යෑමට සිදු වූ හෝ තාඩන පීඩනවලට ලක් වූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් පිළියෙල කළ හොත් මේ සටහන පිටු ගණනක් දීර්ඝ වීම වැලැක්විය නොහැක්කකි. ඒ අවාසනාවන්ත ලැයිස්තුවට ඇතුළත් වූ පළමු මාධ්‍යවේදියා වූයේ “සුදර් ඕලි” පුවත්පතේ ත‍්‍රිකුණාමලයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වු සුබ‍්‍රමනියම් සුගිර්තරාජන් ය. ත‍්‍රිකුණාමල වරායේ සේවකයෙකු ද වූ සුගිර්තරාජන් 2006 වසරේ ජනවාරි 24 වැනිදා වෙඩි පහරකින් ඝාතනයට ලක් වූයේ බස් රථයක් පැමිණෙන තුරු මහ මග රැුදී සිටියදීය. එසේ ඇරඹුණු එම ලැයිස්තුවේ පිම්මේ වර්ධනය වූයේ සිංහල දමිළ බේදයකින් තොරවය. උතුරට මෙන්ම දකුණට ද එය එක සේ අදාළ විණි. රාජපක්ෂ සමයේ සිදු වූ දැවැන්ත මාධ්‍ය මර්ධනයේ තරම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේ දී දිග හැර තිබුනේ මේ ආකාරයට ය. “2006 ජනවාරියේ සිට 2015 ජනවාරිය දක්වා වූ කාල පරාසය තුළදී මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකු ඝාතනය වී තියෙනවා. එක් මාධ්‍යවේදියෙකු අතුරුදහන් වී තියෙනවා. අසූ හත් දෙනෙකු පහර කෑමට ලක්ව තියෙනවා. ඒ එක්කම මේ කාලය තුළදී මාධ්‍යවේදීන් විසි දෙනෙකු අත්අඩංගුවට පත්ව තියෙනවා. පුද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී ප‍්‍රහාර එල්ල වී තියෙනවා. ඒ සිදුවීම් පිළිබඳ සාක්ෂි පවා විනාශ කර තියෙනවා” ඇමතිවරයා, එසේ පවසා තිබිණි. රත්නායක මහතා ඉදිරිපත් කළ එම ගණන් හිලව් ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කණ්ඩායමේ කිසිවෙකු පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටතදී ප‍්‍රශ්න කර නොතිබුනේ ඔවුන්ද මේ සිදුවීම් සිදුවත් දී එම පද්ධතියේ කොටස්කරුවන් ලෙස කටයුතු කළ නිසා විය යුතු ය.

රාජපක්ෂ සමයේ සිදු වූ එම සිදුවීම් දෙස බලද්දී “මාධ්‍ය නිදහස” පිළිබඳ බරපතල ප‍්‍රශ්නාර්ථයක් ලෙස හිටපු ජනාධිපතිවරයා මතු කරන තර්කය කිසිදු වැදගැම්මකට නොමැති දෙයකි. සුපැහැදිලිවම රාජපක්ෂ මහතා “මාධ්‍ය නිදහස” පිළිබඳව තර්ක කරනුයේ මහා නිද්‍රාවකින් පසුව අවදි වූවකු ලෙස ය. මාධ්‍ය නිදහස හුදු “අලංකාරකයක්” පමණක් වූ තම පාලන සමය තුළදී රාජපක්ෂලා මර්ධනය වැනි ඍජු ක‍්‍රම හරහා මෙමන්ම තම හිතවතුන් ලවා මාධ්‍ය ආයතන මිල දී ගනිමින් වක‍්‍රාකාරවද මාධ්‍ය මර්දනයක් සිදු කරන ලදි. තම මතය හැර විකල්ප මත සමාජයේ නොතිබිය යුතු බව බලයේ සිටියද ඔවුන් ඇදහූ දර්ශනය විය. බලය සදාකාලිකය යන විශ්වාසය පෙරදැරිව එසේ බලයෙන් මත්ව හැසිරුණු මුත් එය ගිලිහිනු තැන යථාර්ථය හා අනුගත වීමට රාජපක්ෂලාට අද සිදු වී තිබේ. සැබවින්ම එය දෛවයේ සරදමක් බඳු ය.

අනෙක් අතට “මාධ්‍ය නිදහස” ද රාජපක්ෂලා කියවනුයේ තම හිතවතුනට අදාළ කර ගනිමින් මිස ඒ පිළිබඳ වන පුලුල් අර්ථයෙහි ලා ගනිමින් නොවේ. මාධ්‍ය ආයතනයකට ඉගැන්වීමට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අයිතියක් ඇති බව හෝ මාධ්‍ය ආයතන ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අවශ්‍ය පරිදි පැවතිය යුතු බව අප කිසි ලෙසකින් හෝ නොපවසන්නෙමු. නමුත්, විෂය භාර ප‍්‍රධාන සිවිල් නිලධාරියා ලෙස මාධ්‍යයේ හැසිරීම නිරීක්ෂණය කර ඒ පිළිබඳ වන තම අදහස් පැවසීමට ඇති අයිතිය ද ඉන් අහිමි වන්නේ නැත. මාධ්‍යවේදීන් දුම් ගණන් ඝාතනය වූ, අතුරුදහන් වූ සංස්කෘතියක් තුළ එය මහා මාධ්‍ය මර්ධනයක් යැයි කිසිවෙකු හෝ අර්ථ ගන්වන්නේ නම් එය බරපතල විහිලුවක්මය. සී.එස්.එන්. නාලිකාවේ බලපත‍්‍රය අහෝසි කිරීම ගැනද හිටපු ජනාධිපතිවරයා “කඳුලු” සලයි. ඒ ගැන කථා කිරීමට පෙර රජය සතු ඉඩමක මුලුමනින්ම රජයේ අනුග‍්‍රහය ඇතිව පෞද්ගලික නාලිකාවක් පවත්වාගෙන ගියේ කෙසේදැයි හිටපු ජනාධිපතිවරයා රටට පැහැදිලි කරන්නේ නම් යහපත් ය. සී.එස්.එන්. පිටුපස ඇති එකී සොරකම් පිළිබඳ කථා නොකර ඊටද “මාධ්‍ය මර්ධන” ලේබලය ඇලවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කිරීමෙන් පෙනී යන්නේ දේශපාලනඥයකු ලෙස ඔහු මේ වන විට පත්ව ඇති අසරණ තත්ත්වය මිස වෙනකක් නොවේ.

2015 ජනවාරි 08 දා යහපාලන වෙනස සිදු වූ පසු සුපිරි මාධ්‍ය නිදහසක් රටේ ස්ථාපිත වී ඇතැයි අප නොකියන්නෙමු. නමුත් පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට, තත්ත්වය සෑහෙන දුරට වෙනස් වී තිබේ. මාධ්‍ය මර්ධනයට තිත තැබීම, ඒ අතරින් ප‍්‍රධානය. රජය හෝ ජනාධිපතිවරයා විවේචනය කළාය කියා අද සුදු වෑන් හඹා එන්නේ නැත. මාධ්‍යවේදීන් අතුරුදහන් වීම්, ඝාතන පිළිබඳ ප‍්‍රවෘත්ති වාර්තා නොවන තරම් ය. වාරණය නතර වී ඇත. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය නීතියක් ලෙස පිළි ගෙන ඇත. ඒ සියල්ල දෙස බලද්දී මුලුමනින්ම නොවුනත් මේ මොහොතේ රටේ පවතින්නා වූ මාධ්‍ය නිදහස පිළිබඳ දේශපාලන අගතියෙන් තොරව ඕනෑම කෙනෙකුට සතුටු විය හැකිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.