26 April, 2024

Blog

හතුරුසිංහ හා අපි

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මුෂ්ෆිකර් රහීම් ප්‍රමුඛ බංග්ලාදේශ ක්‍රීඩකයන් පෙන්වමින් සිටින දක්ෂතා ජයග්‍රහණය ම අපේක්ෂා කරන ඒ පිළිබඳ පිපාසාවෙන් පෙළෙන දේශීය ක්‍රිකට් ලෝලීන්, තුළ “කම්පනයක්” ඇති කර ඇති බව පෙනෙන්නට තිබේ. ප්‍රබල කණ්ඩායමකට එරෙහිව විදෙස් රටකදි ටෙස්ට් ජයක් වසර ගණනාවක තිස්සේ සොයමින් සිටි, බංගලාදේශය, පී. සරා ක්‍රීඩාංගණයේදි එම, සිහිනය සැබෑ කර ගැනීමෙන් නොනැවතී දඹුල්ලේ පැවති පළමු එක්දින තරගයෙන් ද වාර්තාගත දිනුමක් හිමිකර ගන්නා ලදී. අවසන් වරට මීට වසර 06තට ඉහත, දඹුල්ලේ පැවති එක්දින තරගයේ ලකුණු 139 ක පරාජයක් බංග්ලාදේශය ලැබූ සන්දර්භයක මේ ජයග්‍රහණය වාර්තාගත එකක් ම ය. කෙසේ වෙතත්, බංග්ලාදේශයේ මේ දිනුම් ගැන අප පමණ ඉක්මවා කණගාටු නොවිය යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙය බැවිනි. බංග්ලාදේශයට පමණක් නොව, ටෙස්ට් වරම් නොමැති කෙන්යාව හමුවේ පවා ක්‍රිකට් ක්‍රීඩාවේදී අප පරාජයට පත්ව ඇති වග, මෙහිදී අමතක නොකළ යුතුය. සැබවින් ම මේ පරාජ යනු ලෝක විනාශය නොවේ. එනමුත් මෙය, අපේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ වන විට පසුවන තත්ත්වය පිළිබඳ පසුවිපරමක් කිරීමේ අවස්ථාව ලබාදෙයි.

බංග්ලාදේශ කණ්ඩායමේ මේ දක්ෂතා, “අහඹුවක්” නොඑසේ නම් “කණාපල්ලමක්” ලෙස ඇතැමුන් හැඳින්වුවද මා ඊට එකඟ නැත. විශේෂයෙන් ම, 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටයට පැමිණීමෙන් අනතුරුව බංගලාදේශ පිළේ දක්ෂතාවන්හි නිරන්තරභාවයක් දැකගත හැකි අතර, එක්දින තරගවලදී එය මනාව කැපී පෙනෙයි. එම කාලය තුළ බංග්ලාදේශය, එක්දින අන්තර්ජාතික තරග 14ක් ජයගෙන ඇති අතර ඔවුන් පරාජයට පත්ව ඇත්තේ, තරග 08කදී පමණි. මේ කාල පරාජසයට අදාළව එක්දින තරග 20කට වඩා ක්‍රීඩා කළ කණ්ඩායම් අතරින්, “බංගලීයන්ට” වඩා ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාව හා එංගලන්තය පමණි. පාකිස්ථානය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති, එක්දින තරගාවලි පසුගිය කාලයේ ජයගත් බංගලදේශ පිළ එම ඉහළ සාර්ථකත්වය ඔස්සේ ලද “විශ්වාසය” දින පහේ තරග කරා ද පරිවර්තනය කිරීමට සමත්ව ඇති බව, පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකා සංචාරයට පෙර නවසීලන්තය හා ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරග පරාජයට පත් වූ මුත්, අවසාන දිනය තෙක් තරගය රැගෙන යමින්, ගෞරවනීය ලෙස පරාජය වීමට තරම්, බංග්ලාදේශය පෙරට විත් තිබිණි. ඉන්දියානු තණතිලි මත තරග කරත්දි ප්‍රබල ඔස්ට්‍රේලියාවට දින පහක් පුරා තරගය අල්ලාගෙන සිටීම අතිදුෂ්කර වූ මුත් බංග්ලාදේශයට එය ඒ හැටි අසීරු වූයේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල 1982 – 83 තරග වාරයේ සිට වරින්වර නවසීලන්තයේ, සංචාරය කර ඇති මුත් රහීම් ගේ කණ්ඩායම වෙලින්ටන් හිදී ලැබූ අන්දමේ ලකුණු එකතුවක්, එහිදී කිසිදා ලකුණු පුවරුවට එක් නොකර තිබීම තුළ බංග්ලාදේශයේ “වැඩ කිඩ” පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි ය.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වනවිට ඇතිව ඇති “විප්ලවයේ” පෙරගමන්කරු වනුයේ, ඔවුනගේ පුහුණුකරු චන්දික හතුරුසිංහ බව ප්‍රශ්න විරහිත ය. 2014 මැයි මාසයේ දී හතුරුසිංහ බංග්ලාදේශ පිල හා එක්වූ අතර, තම තෝරාගැන්ම වෙනුවෙන්, උපරිම සාධාරණයක් හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා මේ වනවිටත් කර තිබේ. බංගලදේශ ක්‍රිකට් පිළේ වත්මන් සාර්ථකත්වය පිළිබඳ හඬා වැලපීම හීල්ලීම වෙනුවට ක්‍රීඩාවේ තාක්ෂණික පැත්ත අතින් උපරිමයට පොහොසත්, මේ පුහුණුකරුවා සේවාව අහිමිවීම ගැන නම් අප කණගාටුවට පත් විය යුතුමය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ “ඡායා පුහුණුකරුවා” ලෙස කටයුතු කළ හතුරුසිංහට 2010 වසරේ ජුනි මාසයේ දී තනතුරින් ඉවත් කළ ආකාරය සෑහෙන මතභේදාත්මක විය. ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති සිම්බාබ්වේ සංචාරය, නිමාවට පත්වීමට පෙර ඔස්ට්‍රේලියාවේ පුහුණුකාර පාඨමාලාවක් හැදෑරීමට යෑම සඳහා පැමිණියා යන පදනමින් “හතුරු” ව එදා, “රාජකාරි” වලින් ඉවත් කරත්දි සංගක්කාර, මුරලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ම, ප්‍රසිද්ධියේ තම විරෝධය පළකළ මුත්, එවකට සිටි ක්‍රිකට් පරිපාලකයන්, එය ගානකට ගත්තේ නැත. දෙවරක් නොසිතමින්, හතුරුසිංහ ඉවත් කිරීමට ඔවුහු අප්‍රමාදව කටයුතු කළෝය. එහිදී තම නිර්දෝෂීභාවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් සිම්බාබ්වේ සංචාරය අතරමඟදී පැමිණීම සඳහා තමන් කල්තියා “අවසර” ලබාගත් බව “හතුරු” පැවසූ අතර පසුව මෙම කාරණය පිළිබඳ සොයා බැලීමට විශ්‍රාමික විනිසුරු ජගත් බාලපටබැඳි ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කරන ලදි. එහි පවා හතුරුසිංහට දුන් දඬුවම “අපරාධයට වඩා වැඩි බව” සඳහන්ව තිබූ මුත් එය නිවැරදි කිරීමට “මුරණ්ඩු” ක්‍රිකට් පරිපාලකයන් කටයුතු කළේ නැත. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ පුහුණුකාර ධුරය හිස් වූ අවස්ථාවේදීත් ඒ සඳහා හතුරුසිංහ ගෙනඒම පිළිබඳ කතාබහක් ඇති වූ මුත්, වත්මන් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ හිටපු ප්‍රබල ක්‍රීඩකයකුගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බව ප්‍රකට රහසකි. එම සියලු කතන්දර අපට පෙන්වා දෙනුයේ, හතුරුසිංහ යනු අප විසින් ම අහිමිකරගත් “සම්පතක්” බව ය. චන්දික හතුරුසිංහට දේශීය ක්‍රිකට් ක්‍රීඩාව “කුඩම්මාගේ සැලකිලි” දැක්වූයේ ඉහත කී අවස්ථාවලදී පමණක් නොවේ. ආරම්භයේ සිටම, එනම් ක්‍රීඩකයකු කාලයේ සිට ම හතුරුසිංහට මුහුණදීමට සිදුවූයේ සුවදායී, මිහිරි, අත්දැකීම්වලට නොවේ.

චන්දික ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹුවේ, කොළඹ වේළුවන විදුහලෙනි. ටොම් ඩෙෆ් පුහුණුකරුවාගේ ගුරුහරුකම් මතින් ක්‍රීඩාවේ “අ” යනු “ආ” යනු කියවූ හතුරුසිංහ ගේ ක්‍රිකට් දක්ෂතා දුටු කොළඹ, ආනන්ද විදුහලේ බලධාරීහු ඔහුව තම පාසලට ඇතුළත් කර ගත්හ. 1984 දී ආනන්දයට පැමිණිය ද, ඔහුට විද්‍යාලීය පළමු පෙළ කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනුම පහසු වූයේ නැත. විද්‍යාලයීය දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කරන අතරතුර හතුරුසිංහ ටැමිල්යූනියන් කණ්ඩායමේ පුහුණුවීම් සඳහා ද සම්බන්ධ විය. ආනන්දයේ දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කළ හතුරුසිංහ 1986 දි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළේ එංගලන්ත සංචාරයට එක්වූයේ ද්‍රවිඩ ක්‍රීඩා සමාජ බලධාරීන් කළ මැදිහත්වීම් නිසා ය. තම පාසලේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කෙරුමට පෙර ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික කණ්ඩායමට ඇතුළුවෙමින්, හතුරුසිංහ අපූරු පූර්වාදර්ශයක් නිර්මාණය කරන ලදි.

හතුරුසිංහ ම කිහිපවරක් පවසා ඇති අන්දමට, ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වූයේ වැරදි මොහොතක ය. අතිශය ආන්දෝලනාත්මක වූ 1991 වස‍රේ කළ ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයේ අතරගමඟදී හතුරුසිංහව කණ්ඩායමට නම් කළේ ආබාධයකට ලක් වූ ධම්මික රණතුංගගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි. සංචාරය අරඹමින් ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයේ දී එවකට 19 හැවිරිදි වියේ පසු වූ තරුණ වේග පන්දු යවන්නෙකු එවූ පන්දුවකින් ධම්මිකගේ දකුණු අතෙහි මහපටඇඟිල්ලෙහි බිඳීමක් ඇතිවුණි. එම ආබාධය සුවවීමට සති පහ හයකට වඩා ගත වන බැවින් ධම්මිකව ආපසු ශ්‍රී ලංකාවට එවීමට සංචාරයේ කළමනාකරු ලෙස කටයුතු කළ ස්ටැන්ලි ජයසිංජහ යෝජනා කළේය. පූර්ව ටෙස්ට් යුගයේ මෙරට සිටි දක්ෂතම ක්‍රීඩකයකු වූ ස්ටැන්ලි ජයසිංහ, එංගලන්තයේ ලෙස්ටෂයර් ප්‍රාන්තය ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි. තද “නීතිකාරයකු” ලෙස හෙතෙම ප්‍රසිද්ධව සිටියේ ය. ධම්මිකව යළි කොළඹ එවීමට ස්ටැන්ලිට අවශ්‍ය වුවත් සහාය කළමනාකරු ජයන්ත පරණතල හා නායක අර්ජුන රණතුංග සිටියේ ඊට වෙනස් මතයක ය. අමතර වියදමක් වැය නොවන සේ ධම්මික තම කාමරයේ තබා ගනිමින් ඔහුව කෙසේ හෝ සංචාරය තුළ රඳවා ගැනීම අර්ජුනගේ අරමුණ විය. ඊට වසර එකහමාරකට පමණ පෙර ටෙස්ට් වරම් හිමිකරගත් ධම්මික ඒ වනවිට ක්‍රීඩාකර තිබුණේ තරග දෙකකට පමණි. අර්ජුන හා පරණතාල ගේ විරෝධය මධ්‍යයේ වුවද ධම්මිකව යළි මෙරටට එවීමට ස්ටැන්ලි ජයසිංහ සමත් විය. ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ අනුමැතිය යටතේ වෛද්‍ය වාර්තා ද පදනම් කර ගනිමින් ස්ටැන්ලි තම තීරණය ගත්තේය. හතුරුසිංහව සංචිතයට එක්කර ගත් මුත්, ආරම්භක පිතිකරුවන් ලෙස යොදාගත හැකි විශේෂඥ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඒ වන විටත්, කණ්ඩායමේ සිටියේය. ඒ චරිත් සේනානායක හා රොෂාන් මහානාම ය. එබැවින් “දිලිසෙන නව පන්දුවේ සංගීත රිද්මය” සමඟ මුහුවීමට, හතුරුසිංහට තිබුණේ අඩු අවස්ථාවකි. නමුත් සිතූ දේ නොම වේ, නොසිතු දේ ම සිදුවේ යන නියාමය ඇත්තක් කරමින්, දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් එකොළොස්දෙනා අතරට එක් වීමට හතුරුසිංහට අවස්ථාවක් ලැබුණි. පළමු ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටි රොෂාන් මහානාම ආබාධයට ලක් වීම, හතුරුසිංහට ටෙස්ට් වරම් රැගෙන ආවේය. කණ්ඩායම තුළ ඒ හැටි සමගියක් දැක ගත නොහැකි වුවද පොදුවේ ගත් විට එම සංචාරය තුළ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳහැටි දක්ෂතා දක්වන ලදි. නවසීලන්තයේ ඇති විශාලතම හා රමණීය ක්‍රීඩාංගණයක් සේ සැලකෙන “සිඩෝන්” උද්‍යානයේ දී ටෙස්ට් වරම් හිමිකරගත් හතුරුසිංහ අර්ධ ශතකයකින් එය සැමරුවේය. ඊළඟ ටෙස්ට් තරගයේදීත් අර්ධ ශතකයක් ලැබූ හතුරුසිංහ ඉනිම හතරක් තුළ ලකුණු 191ක් රැස් කළේය. ඊළඟට ක්‍රීඩා කළ ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී ද, හතුරුසිංහ ලකුණු 66ක ඉනිමක් ක්‍රීඩා කළේ, තම මුල් ම ටෙස්ට් තරග තුන තුළ තුන්වන වරටත්, අර්ධ ශතකය ඉක්මවමිනි. එතැන් සිට වසර අටක කාලයක් හතුරුසිංහ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටි මුත්, ඒ අතරතුර කාලයේ ඔහු ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 26කට පමණි. ඉතා හොඳින් දක්ෂතා දක්වමින් සිටි අවස්ථාවල පවා කණ්ඩායම තුළ ස්ථිර ස්ථානයක් හිමි නොවීම ඇතැම්විට හතුරුසිංහගේ අවාසනාව විය හැකි ය. 1996 ලෝක කුසලානයට පෙර පැවති පාකිස්තාන තරගාවලියේ දී ඉනිම 05ක් තුළ ලකුණු 291ක් රැස් කරමින් කණ්ඩායමේ හොඳම පිතිකරුවා වුවද විල්ස් ලෝක කුසලානයට නම් කළ කණ්ඩායමට හතුරුසිංහ ඇතුළත් වූයේ නැත. 1999 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එංගලන්තය බලා ගිය කණ්ඩායමේ හතුරුසිංහ සිටි මුත්, එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමිවූයේ නැත. පන්දුව හොඳින් දෝලනය වන, ශීත දේශගුණය තුළ හතුරුසිංහගේ මඳවේග පන්දු “කතාකළ” හැකිව තිබුණ මුත් ඒ සඳහා කිසිඳු අවස්ථාවක් ලැබුණේ නැත. ඒ කළකිරීම් මධ්‍යයේ වුවද, ඔහු දිගට ම ක්‍රීඩාවෙහි නිරත විය. ඔස්ට්‍රේලියාවේ ඉහළ මට්ටමේ පුහුණු පාඨමාලාවක් සාර්ථකව නිම කරමින්, ක්‍රීඩා කරන අතරතුර පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට පටන්ගත් හතුරුසිංහ පළමුව සම්බන්ධ වූයේ මුවර්ස් පිල සමඟය. මුවර්ස් පිල ඒ වන විට පහළ මට්ටමට වැටී තිබූ අතර, හතුරුසිංහගේ වික්‍රමයක් වසර දෙකක් තුළ ප්‍රමුඛ පෙළ ශූරන් බවට පත් කළේය. මේ අතරතුර කාලයේ ක්‍රීඩකයකු ලෙස ද ඔහු ඉහළින් ම කැපී පෙනුණේය. 2001 – 02 තරගවාරයේ සිට වසර තුනක් අඛණ්ඩව ප්‍රමුඛපෙළ තරගාවලියේ හොඳම පිතිකරුවා වුවත් අවම තරමින්, “ඒ” කණ්ඩායමට හෝ ඔහුව කැඳවූයේ නැත. ඒ කලකිරීම, තුළ ඔහු පළමුපෙළ ක්‍රීඩාවට ආයුබෝවන් කීවේය.

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන්, ක්‍රීඩකයකු ලෙස සමුගැනීමෙන් අනතුරුව පූර්ණකාලීව, පුහුණුකරණ රාජකාරිය හා එක්වූ හතුරුසිංහ 2005 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලේ පුහුණුකරු ධුරය භාරගෙන, වසරක් තුළ එම කණ්ඩායම සිටි තැනෙන් ඉදිරියට රැගෙන ආවේය. ඒ දක්ෂතා හතුරුසිංහව ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට රැගෙන ආ අතර වසර 03ක් සාර්ථකව ඔහු එම රාජකාරි සිදු කළේය. 2009 වසරේ සිට ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඡායා පුහුණුකරුවා විය. ක්‍රිකට් ඕස්ට්‍රේලියාහි දෙවැනි පන්තියේ සාමර්ථ්‍යය හා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ තෙවැනි පංතියේ සහතිකය සහිත මේ දක්ෂ පුහුණුකරුවාගේ සේවාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, නිව් සවුත්වේල්ස්, සිඩ්නි තන්ඩර්ස් වැනි කණ්ඩායම් ලබාගත්තේ කළු හමක් සහිත මේ දක්ෂයාගේ හැකියාවන් පිළිබඳ සැබෑ තක්සේරුවක් ඔවුන්ට තිබු බැවිනි. නොම්මර හත අට ස්ථානයේ පන්දුවට පහර දුන් දඟපන්දු යවන්නකු ලෙස පමණක් ඔස්ට්‍රේලියානු ජාතික පිලට එක්වූ ස්ටීව් ස්මිත්ගේ පිතිකරණ හැකියාවන් ඔපමට්ටම් කිරීමේදී හතුරුසිංහ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ඕස්ට්‍රේලියාවේදී හතුරුසිංහට ලැබුණු පිළිගැනීම තුළ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය, ඔහුට තම ජාතික කණ්ඩායමේ පුහුණුකාරිත්වය පැවරුවේය. අද හතුරුසිංහ එරට ජාතික වීරයෙකි. එදා ඩේව් වට්මෝර්ට ගෙවුවාක් මෙන් තුන් ගුණයකට වඩා මුදලක් ගෙවමින් හතුරුසිංහගේ සේවාව බංග්ලාදේශය ලබාගන්නේ ඔවුන් මේ ශ්‍රී ලාංකිකයාගේ සැබෑ හැකියාව, වටිනාකම හොඳින් දන්නා බැවිනි. ෂකිබ් අල් හසන් යනු මේ මොහොතේ බංගලාදේශයේ ජාතික ක්‍රිකට් වීරයාය. තරුවය. වරක් විනය හේතුන් මත ෂකිබ්ට හතුරුසිංහ දඬුවම් කළේය. ඒ අවස්ථාවේදී ඊට එරෙහි කිසිදු විරෝධයක් මතු නොවීමෙන් පෙනී යන්නේ බංග්ලාදේශය තුළ හතුරුසිංහට ඇති පිළිගැනීම හා ගෞරවයය. සැබැවින්ම අපට නොවටිනවා වූවාට අද ඔහු බංග්ලාදේශයට නම් ජාතික වීරයෙක්මය.

 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    [Edited out] Comments should not exceed 300 words.Please read our Comments Policy for further details.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.