24 April, 2024

Blog

ඇද වුණු පොළොවක නැටීම

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මෙවර මා ලිවීමට අපේක්ෂා කරනුයේ දේශපාලනය පිළිබඳව නොවේ. ක්‍රිකට් පිළිබඳවය. ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ලැබු නින්දා සහගත පරාජය මෙම සටහන ලිවීමට මට බල කළේය. විදේශයකදී, විශේෂයෙන්ම උපමහාද්වීපික කලාපයෙන් පිටත රටකදී ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් දිනුමක් ලැබීම යනු පහසු කටයුත්තක් නොවේ. ඒ පිළිබඳ තර්කයක් නොමැත. නමුත් පරාජය පවා විය යුතු ආකාරයක් ඇත. සටනක් දී ලබන පරාජය යනු ගෞරවනීය එකකි. දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පිල නොකළේ ද එයමය. තරග 3 – 0 ක් ලෙස ශ්‍රී ලංකාව ටෙස්ට් තරග මාලාවක් මුළුමනින්ම පරාජයට පත්වූ පස්වැනි වතාව මෙයයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිහරඹය අතිශය දියාරු මට්ටමක තිබු අතර එය සිහි ගැන්වූයේ පාසල් කණ්ඩායමක ක්‍රීඩා රටාවය. ටෙස්ට් තරග තුන තුළ ඉනිම හයකදී ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 344.02 පමණක් වීමෙන් එය මනාව පැහැදිලි වෙයි. පිතිකරුවන්ගේ සැබෑ හැකියාව උරගා බලන පරීක්ෂාවක් බඳු දින පහේ තරග රටාවකට අපේ ක්‍රීඩකයන් කෙතරම් දුරින් සිටිනවා ද යන්න එය මනාව පෙන්නුම් කළේය. ජොහැනස්බර්ග්හි පැවැති අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ශ්‍රී ලංකා පිලෙහි කඩුලු දහසයක් බිඳ වැටුණු අතර එය වසර තිස් පහක ටෙස්ට් තරග ඉතිහාසයේ එක් දිනකදී බිඳ වැටුණු අපේ වැඩිම කඩුලු ගණන විය.

වේගවත් ඉපිලීමක් සහිත පන්දුව හොඳින් දෝලනය වන කොළ පැහැති තණතීරු මත තරග කිරීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට අපහසු බව සාධාරණ ඇත්තක් වුවත්, මීට වඩා වැඩි දක්ෂතා අදට වඩා භයංකර පන්දු යවන්නන් ජගත් ක්‍රිකට් පිටිය ආක්‍රමණය කර සිටි සමයේ අපේ පිතිකරුවන් පෙන්වා තිබේ.

Angelo Mathiwa Photo via his Facebookඉම්රාන් ඛාන්, කපිල් දේව්, වසිම් අක්‍රම්, ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි, ශ්‍රීමත් ඉයන් බෝතම්, වකාර් යුනුස්, කර්ට්නි වෝල්ෂ්, කර්ට්ලි ඇම්බ්‍රෝස්, ඇලන් ඩොනල්ඩ්, ක්‍රේග් මැක්ඩ්මෝර්ට් වැනි පන්දු යවන්නන් හා බලද්දී අද සිටිනුයේ නොදරුවන් පිරිසකි. තාක්ෂණය හා මාධ්‍යයේ බලපෑම එතරම් නොතිබුණු ඒ යුගයේ බෝතල් මූඩි හා නියපොතු භාවිත කරමින් පන්දුවේ හැඩය වෙනස් කිරීම් බහුල සිදුවුණු අතර “ප්‍රතිදෝලනය” සාමාන්‍ය දෙයක් විය. එය පිට ඉන්නෙන් පිටත පතිත වන ඇතැම් පන්දු පා ඉන්න දෙසින් අවසන් වූ යුගයක් විය. ඒ අනුව බලද්දී වත්මන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව යනු තරමක් සුවපහසු ස්ථානයකි.

පසුගිය වසර මුලදී නවසීලන්ත පිල හමුවේ හා එංගලන්ත පිල හමුවේ ලැබු දරුණු පරාජයන් තුළ දකුණු අප්‍රිකාවේදී “ප්‍රාතිහාර්යයක්” ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අපේක්ෂා නොකළ අතර ඩේල් ස්ටෙන් හා මෝනී මෝකල් තරග නොකරන තත්ත්වයක් තුළ අපේ පිතිකරුවන්ගෙන් හොඳ සටනක් පමණක් දෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව වැනි අවිනිශ්චිත ක්‍රීඩාවක් සම්බන්ධයෙන් එසේ බලාපොරොත්තු තබා ගැනීම පවා අසාධාරණ බව මේ පරාජය යළි ඔප්පු කර පෙන්වන ලදී. දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පෙන්වන නිරන්තර අසාර්ථක භාවයට ප්‍රධාන හේතුව වනුයේ සෑහෙන කාල පරතරයක් සහිතව අපට එරට සංචාර හිමි වීම බව සුපැහැදිලිය.

1992 වසරේදී යළි දකුණු අප්‍රිකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වීමෙන් පසු මේ දක්වාම ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවේ ටෙස්ට් සංචාර සඳහා සම්බන්ධ වී ඇත්තේ අවස්ථා පහක් වෙනුවෙන් පමණි. ඒ ද ටෙස්ට් තරග 13කට පමණි. මේ කාල පරාසය තුළම ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 20ක් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කර ඇති අතර එංගලන්තය මේ කාල පරාසය තුළ දී එරටදී සම්බන්ධ වී ඇති ටෙස්ට් තරග ගණන 23 කි. ශ්‍රී ලංකාව මේ දක්වාම දකුණු අප්‍රිකාව තුළදී ජයගෙන ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණක් වන අතර ඕස්ට්‍රේලියාවේදී අපේ ක්‍රීඩා රටාව ඊටත් වඩා දුර්වලය. මේ දක්වාම එකදු හෝ දින පහේ තරගයක් අප ඕස්ට්‍රේලියාව තුළ ජයගෙන නැත.

මේ දෙරටේදී අසාර්ථක වීම සම්බන්ධයෙන් බොහෝ විට හේතුව ලෙස පෙන්වනුයේ, ඇඟිල්ල දිගු කරනුයේ තණතිල්ලටය. එය නටන්න බැරි වූ විට පොළොවේ ඇද කියනවා වගේ වැඩකි. වෘත්තීය ක්‍රීඩකයන්ට අසාර්ථකත්වය හමුවේ මෙවැනි සිල්ලර හේතු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැත. මේ දෙරටෙහිම ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණක් වුවද අපේ අසල්වැසි ඉන්දියාව හා පාකිස්තානය ටෙස්ට් තරග හතර හා තුන බැගින් පසුගිය අවුරුදු විසිහත තුළ ඕස්ට්‍රේලියාවේදී හා දකුණු අප්‍රිකාවේදී ජයගෙන තිබේ. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පිතිකරුවන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හා අරවින්ද ද සිල්වා යන තිදෙනා පවා දකුණු අප්‍රිකානු තණතීරු මතදී අසාර්ථක වී ඇත. සංගා ඉනිම 16 කදී ලකුණු 572ක් දකුණු අප්‍රිකාවේදී රැස් කරද්දී මහේල එම ඉනිම ගණනම ක්‍රීඩා කරමින් ලබා ඇත්තේ ලකුණු 476ක් පමණි. දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගවලදී ඉනිම හයක් ක්‍රීඩා කරමින් අරවින්ද රැස් කර ඇත්තේ ලකුණු 183ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් දකුණු අප්‍රිකාවේදී හොඳම සාර්ථකත්වයක් පෙන්වා ඇත්තේ තිලාන් සමරවීර පමණි. එහිදී අප ජය ගත් එකම තරගය වූ ඩර්බන්හි පැවැති තරගයේදී පවා ජයග්‍රහණයට ප්‍රධාන පංගුව පැමිණියේ සමරවීර පළමු ඉනිමේ ලබාගත් ශතකයෙනි.

ඉනිම හයක් ක්‍රීඩා කරමින් ශතක දෙකක් සමඟින් තිලාන් දකුණු අප්‍රිකාවේදී රැස්කර ඇති මුළු ලකුණු ගණන 339 කි. දකුණු අප්‍රිකාවේදී නිරතුරුවම අසාර්ථක වීම සම්බන්ධයෙන් බලපාන අනෙක් ප්‍රධාන හේතුව අපේ වේග පන්දු යවන්නන්ගේ දුර්වලතාවයි. චමින්ද වාස් වැනි සුපිරි මනා පන්දු පාලනයක් සහිත වේග පන්දු යවන්නකු පවා තරග පහක් ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකාවේදී දවාගෙන ඇත්තේ කඩුලු 11 ක් පමණක් වීමෙන් එය පෙනී යයි. එහෙත් නිමාව දුටු ටෙස්ට් තරගාවලියේදී ලහිරු කුමාර හා සුරංග ලක්මාල් පෑ දක්ෂතා සෑහෙන ඉහළ මට්ටමක විය. එක් දේශීය පළමු පෙළ තරගයක් පමණක් ක්‍රීඩා කරමින් ටෙස්ට් වරම් දිනු ලහිරු කුමාර තරග දෙකකට ක්‍රීඩා කරමින් කඩුලු 11ක් ‍දවාගෙන තිබුණේ කඩුල්ලකට 26.45 ක සාමාන්‍යයක් සහිතවය. විශේෂයෙන්ම ලහිරුගේ බවුන්සර් පන්දුව හා ඇතුළට දෝලනය වන පන්දුව වටහා ගැනීම ශූර දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පහසු කටයුත්තක් නොවුණි. කළු වලාවක් තුළ මතු වූ අනෙක් රිදී රේඛාව වූයේ සුරංග ලක්මාල්ය. තම පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමත් සමඟ අමතර දෝලනයක් ලබාගෙන ඇති සුරංග ලක්මාල් විසින් දවා ගනු ලැබුවේ කඩුලු 12ක් පමණ වුවද “වාසනාව” ඔහු සමඟ සිටියේ නම් මේ කඩුලු මල්ල තවත් බර වනවා නිසැකය.

ක්‍රිකට් යනු සාමූහික ක්‍රීඩාවකි. තරග ජයග්‍රහණය සඳහා සියලු දෙනාගේ දායකත්වය එහිදී අත්‍යවශ්‍යය. සුරංග හා ලහිරු තරමටම සෙසු ක්‍රීඩකයන් ද ඊට සාධාරණයක් ඉෂ්ට කළේ නම් අවසාන ප්‍රතිඵලය මීට වඩා අපට හොඳ එකක් වීමට පැහැදිලිවම ඉඩ තිබිණි.

මේ පරාජයෙන් අනතුරුව බොහෝ දෙනා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්ව හැකියාව ප්‍රශ්න කර තිබිණි. ටෙස්ට් තරගාවලිය තුළදී ඇන්ජලෝ පිත්තෙන් පෑ දක්ෂතා ඉහළ රිද්මයෙන් නොතිබුණ ද ශ්‍රී ලංකා පිතිකරුවන් අතර ඉහළම ලකුණු ලාභියා වූයේ මෙවරත් ඔහුය. බලාපොරොත්තු තැබිය හැකි හොඳ ඉනිමක් පෝට් එලිසබෙත්හි ක්‍රීඩා කළ ඔහු දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ගේ කෙටි පන්දු වර්ෂාවකට සාර්ථකව මුහුණ දෙමින් නිව්ලන්ඩ්ස්හිදී ද ලකුණු 49ක් රැස් කළේය. පන්දුව අතට ගත් විට ද මැතිව්ස් ප්‍රතිවාදීන්ට තර්ජනයක් බව පෙන්වුව ද නායකයෙකු ලෙස ඔහුගේ හැකියාව ප්‍රශ්න කරන සිදුවීම් කිහිපයක්ම ටෙස්ට් තරගාවලිය තුළදී දැකගත හැකි විය. විශේෂයෙන්ම හොඳ රිද්මයක සිටි ලහිරු කුමාර වැනි පන්දු යවන්නෙකු වෙනුවට තමන්ම නව පන්දුව අතට ගැනීම බොහෝ විචාරකයන්ගේ පුදුමයට හේතු වූ කාරණාවක් විය. එසේම පන්දු පිටිය සැකැසීමේදී පවා ඔහුගේ නායකත්ව ගුණාංගයන්හි මඳකම පෙනෙන්නට තිබිණි. අසීරු වූ විකට්ටුවක් මත ක්‍රීඩා කරද්දී එන එන පන්දුවට පහර දීම ශූර පිතිකරුවකුගේ ලක්ෂණයක් නොවේ. ටෙස්ට් ක්‍රීඩාවේදී වඩා අවශ්‍ය ඉක්මන් ලකුණු ලබා ගැනීම හෝ හතරේ පහරවල් නොවේ. ඉවසීමය. දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් ආක්‍රමණය දියත් කිරීම හොඳ පිතිකරුවකුගේ ලක්ෂණයක් වුවද අවාසනාවකට මෙන් දකුණු අප්‍රිකාවේදී අපේ පිතිකරුවන්ට නොතිබුණේ ද එයමය. මහත් බලාපොරොත්තු තබා සිටින කුසල් මෙන්ඩිස් ඊට හොඳම නිදර්ශනයය. දහඩිය වැටෙන තෙක් ක්‍රීඩා කර තැන්පත් වනවා වෙනුවට ඔහු උත්සාහ කළේ පළමු පන්දුවේ සිට පහරවල් කරා යෑමටය. ආක්‍රමණශීලීත්වය හොඳම ආරක්ෂාව ලෙසට කියමනක් ඇතිමුත් එය සැම විටම එක සේ අදාළ නොවේ.

අපේ ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේ වේගවත් තණතීරු මත අසාර්ථක වෙද්දී බංගලිදේශ ක්‍රීඩකයන් නවසීලන්තයේ බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී වාර්තාගත ඉනිමක් සත්කාරක පිලට එරෙහිව ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරග ආරම්භ කර වසර 33ක් ආරම්භ වී ඇතිමුත් මේ දක්වාම නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරගයකදී අප ලකුණු 500 සීමාව ඉක්මවා ගොස් නොමැත. එහෙත් ශ්‍රී ලංකාවට වඩා සෑහෙන අඩු ඉතිහාසයක් දින පහේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති බංගලිදේශය එය පසුගිය දා ඇත්තක් බවට පත් කරගත්තේය. පවතින තත්ත්වය තුළ දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියාව නවසීලන්තය පමණක් නොව බංගලිදේශය ද අපට ප්‍රබල තර්ජනයකි. නවකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකාව තම කණ්ඩායම ගොඩනඟමින් සිටියදී බංගලිදේශය සතුව ටෙස්ට් තරග තිහ-හතළිහකට වඩා වැඩි ගණනක අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ ගණනාවක්ම සිටිති. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ අත්දැකීම්වලට කළ හැකි දෑ බොහෝ බව චන්දික හතුරුසිංහගේ ගුරුහරුකම් ලබන බංගලිදේශ පිල මේ වන විට පෙන්වමින් සිටිති.

මේ දරුණු පරාජයත් සමඟ වසර අගදී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට තිබූ, ටෙස්ට් තරගාවලිය අහෝසි කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව කියැවේ. මීට පෙර මෑත කාලයේදී මෙවැනි අවමන් සහගත සැලකිලිවලට භාජනය වූයේ සිම්බාබ්වේ, බංගලිදේශය වැනි කණ්ඩායම් වුවද ශ්‍රී ලංකාව ද දැන් එම කුලකයට ඇතුළත්ව සිටිති.

තනි අශ්වයකුගේ තරගාවලියක් බවට පත්වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට හිමිව තිබුණේ සෑහෙන අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවකි. එය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයට මූල්‍යමය වශයෙන් බලවත් පාඩුවක් විය. නොවැම්බරයේ ඇරැඹීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ ඒ පදනම තුළය. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වන විට තැනක් ලැබෙනුයේ නිරන්තර දක්ෂතා දක්වන, ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාවට ආකර්ෂණය කරගත හැකි කණ්ඩායම්වලට මිස ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාව එපා කරවන කණ්ඩායම්වලට නොවේ. අප මේ තත්ත්වය පිළිබඳව බැරෑරුම්ව කල්පනා කළ යුත්තේ දකුණු අප්‍රිකාවේ මෙම “අවලංගුව” සෙසු රටවල් ද නරක පූර්වාදර්ශයක් කරගත හැකි බැවිනි.

මේ පරාජය තවත් කාරණයක් යළි සිහිපත් කරන ලදී. ඒ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය හා ජාත්‍යන්තරය අතර විශාල පරතරයක් ඇති බවය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව යනු ජාත්‍යන්තරයට බොහෝ ඈතින් පිහිටියකි. එබැවින් එහි තත්ත්වය උසස් කිරීම හදිසි අවශ්‍යතාවකි. එය පහසු කටයුත්තක් නොවේ. මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ක්‍රියාත්මක වනුයේ සීමිත අඩු පහසුකම් මධ්‍යයේය.

වර්තමානයේදී දේශීය ක්‍රිකට් පිටියේ ඉහළම තරගාවලිය වන ප්‍රමුඛ පෙළ තරගාවලියට එක් වන මුළු කණ්ඩායම් ගණන 14 කි. මෙයින් ක්‍රීඩා සමාජ හතරකට එනම් රාගම, බදුරලිය, හලාවත මේරියන්ස්, හා සැරසන්ස් කණ්ඩායම්වලට අවම තරමින් ක්‍රීඩා පිටියක් හෝ නොමැත. පුහුණුකරුවන්ගේ තත්ත්වය ද ගුණාත්මක මට්ටමක නොමැත. මේ කාරණා පිළිබඳ ආමන්ත්‍රණය කරමින් ඉක්මනින් “සංගායනාවක්” දේශීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිදුවිය යුතුය. ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මූලස්ථානය කොළඹ පිහිටෙව්වා ය කියා හෝ යාපනයේ හෝ පොලොන්නරුවේ අන්තර්ජාතික ක්‍රීඩාංගණ ඉදි කළා කියා ක්‍රිකට් දියුණු වන්නේ නැත. ඒවායින් සැබැවින්ම සිදු වනුයේ බලධාරීන්ගේ ලාබ පංගුව උපරීම වීම පමණකි. එහෙත් අවාසනාවකට මෙන් පසුගිය කාලය පුරා මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදු වූයේ එයය. අනෙක් අතට ඇන්ජලෝ මැතිව්ස්ව නායකත්වයෙන් ඉවත් කළ යැයි කියා මෙවැනි පරාජ නතර වන්නේ නැත. අමතක නොකළ යුතු වැදගත්ම කාරණය වනුයේ මැතිව්ස් මේ මොහොතේ කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයා බවය. ඔහු තරමට හෝ නායකත්ව හැකියාවක් ඇති ක්‍රීඩකයකු පෙනෙන තෙක් මානයක නැති පසුබිමක මැතිව්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු නායකත්වයට පත්කළ හොත් එය හිසරදයට කොට්ට මාරු කිරීමට එහා දෙයක් නොවන බව ද ලියා තැබිය යුතුමය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.