28 March, 2024

Blog

බමුණු නොවන කුලයේ බිඳ වැටීම

දිනේෂ් දොඩම්ගොඩ

දිනේෂ් දොඩම්ගොඩ

දිනේෂ් දොඩම්ගොඩ

මා දකිනා ආකාරයට ශ්‍රී ලංකාවේ දේශපාලනය යථානුරූපී ලෙස කියවන්නට ඇති ලොකුම බාධාව පක්ෂ, පාට, ජාති, ආගම් පදනම් කොට ගෙන දේශපාලනය කියවීමට උගන්වන ජනප්‍රිය, සම්ප්‍රදායවාදී දෘෂ්ඨියයි. ඒ සියල්ල ජනතාවගේ දේශපාලන හද ගැස්මට විකෘතියක් සපයයි.

මෙ රට දේශපාලනයේ ජනතා පදනම යථාර්ථයට ආසන්න ලෙස ග්‍රහණය කොට, විග්‍රහ කළේ මාර්ටින් වික්‍රමසිංහයන් ය. විශ්ව විද්‍යාලවල ආචාර්ය, කථිකාචාර්ය පට්ටම් වලට මුවා වී, අනුන්ගෙන් අහුලා ගත් තමන්ගේ දෘෂ්ටියට වටිනාකමක් සොයා ගන්නට උත්සාහ දරන පඬියන් කිසිවෙකු හෝ වික්‍රමසිංහයන් ගේ ආසන්නයටවත් පැමිණියේ නැත. වික්‍රමසිංහයන් මෙ රට දේශපාලන බෙදීම විග්‍රහ කළේ ‘බමුණු කුලය’ සහ ‘බමුණු කුලය නොවන’ සමාජ බලවේග අතර ඇති ඝට්ටනයක් ලෙසිනි. එයට ආසන්නතම අර්ථ නිරූපණයක් සපයන්නේ නම්, මෙ රට දේශපාලන බෙදීම ඇත්තේ ඉංග්‍රීසිය මුල් භාෂාව ලෙස කථා කරන, ප්‍රාග්ධනයට අයිතිවාසිකම් කියන සහ මධ්‍යම ආණ්ඩුවේ රාජ්‍ය බලයට පංගුකාරයන් වන කුලයේ සහ එකී කුලයට අයත් නොවන සමාජ බලවේග අතරයැ යි කිව හැකිය.

මට පෙනෙන ලෙස එකී වර්ගීකරණය අදටත් වලංගුය. එයට පක්ෂ, පාට, ජාති, ආගම් පදනමක් වලංගු නැත. එක්සත් ජාතික පක්ෂය තුළ සේනානායකලාට සහ ජයවර්ධනලාට එරෙහිව ආර්. ප්‍රේමදාසගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බණ්ඩාරනායකලාට එරෙහිව රාජපක්ෂලා ගේත් දේශපාලනය එයයි. මේ රටේ බමුණු කුලය සෑම විටම බලයට පැමිණියේ බමුණු කුලය නොවන අයගේ ඡන්දයෙනි. බණ්ඩාරනායක 1956 දී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියා ආමන්ත්‍රණය කර පෙළ ගැස්වූයේ ද, 1977 දී ජේ.ආර්. ජයවර්ධන විසින් ආර්. ප්‍රේමදාස ඉදිරියට දමා එක්කාසු කර ගත්තේ ද, විජය කුමාරතුංගට සහ බහු ජන දේශපාලන ව්‍යාපාර වලට තුරුල් වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා 1994 දී රැළි නැඟුණේ ද, කුරහන් සාටකයක් සහ උඩු රැවුලක් පැළඳ මහින්ද රාජපක්ෂ දිනා ගත්තේ ද ඒ බමුණු කුලය නොවන අයගේ දේශපාලන බලවේගයි.

එසේම, වේළුපිල්ලේ ප්‍රභාකරන් වටා එකතු වුයේ ද, මාක්ස්වාදය හොඳින් කියවූ අෂ්රොෆ් පොදු මුස්ලිම් නායකයෙකු ලෙස මතු කරවූයේ ද එකී බමුණු කුලය නොවන අයගේ දේශපාලන බලවේගයි. අනෙක් අතට, මෙ රට සම්ප්‍රදායික වාම බලවේගය සහ රෝහණ විජේවීර විසින් ගොනු කරවූයේ ද එකී දේශපාලන බලවේගයයි. අවසානයේ 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන පෙන්වා රනිල්-චන්ද්‍රිකා-මංගල විසින් යහ පාලනයක් වෙනුවෙන් පෙළ ගැස්වූයේ ද එම බමුණු කුලය නොවන බලවේගයයි. එසේම, දෙමළ බමුණු කුලයේ ටී.එන්.ඒ. සංවිධානය බලයට ගේන්නේ ද, රනිල් වික්‍රමසිංහට තවමත් රාජ්‍ය නායකයා වන්නට ඉඩ නොදෙන්නේ ද එම බමුණු කුලය නොවන බලවේගයයි. කෙසේ වෙතත්, නානාර්ථ කායා – නානාර්ථ සංඥා ඔස්සේ මතුවෙමින් ආ විට බමුණු කුලය බලයට ගෙනැවිත්, සැමදා රැවටුණේ ද එකී බමුණු කුලය නොවන අයගේ දේශපාලන බලවේගයි. එය පක්ෂ, පාට, ජාති, ආගම් පදනම් වලින් ඔබ්බට දුව යන යථාර්ථයකැයි මට සිතේ.

බමුණු කුලය විසින් ආර්. ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන වැනි මුට්ටි පෙන්වා බමුණු කුලයේ නොවන ඡන්දය රවටා, බලය ලබා ගැනීම දේශපාලන උප්පරවැට්ටික් ලෙස තේරුම් ගැනීමට පුළුවන. එහෙත්, තේරුම් ගැනීමට දුෂ්කර වන්නේ ඛේදාන්තයකින් කෙළවර වන බමුණු නොවන කුලයෙන්ම මතු වූ දේශපාලන නායකයන්ගේ සිය දිවි නසා ගැනීමයි. ආර්. ප්‍රේමදාසත්, මහින්ද රාජපක්ෂත් පමණක් නොව රෝහණ විජේවීරත්, වේළුපිල්ලේ ප්‍රභාකරනුත්, එසේත් නැත්නම් එකී ඇතැමුන්ගේ පවුල් වල උදවියත් බලය තම තමනට උරුම මට්ටම් වලින් තහවුරු කර ගත් පසු උත්සාහ කළේ ‘බමුණු කුලයේ’ සාමාජිකත්වය ලබා ගැනීමටයි. එහි ප්‍රතිපලය වූයේ බමුණු කුලය නොවන බලවේගයේ හදවත් වලින් එම නායකයන් අඩු වැඩි වශයෙන් ඈත් වීමත්, අවසානයේ ‘බමුණු කුල’ ව්‍යාපෘතියේ ගොදුරු බවට පත් වීමත් ය.

එනයින් බලන කල අද වන විට බමුණු නොවන කුලය තමන්ට සුදුසු නායකයෙකු සොයා ගන්නට බැරි තරමට ම බිඳ වැටී ඇත. බමුණු කුලයට ද මීළඟ ප්‍රධාන ඡන්දයෙන් බලයට නැවත එන්නට බමුණු නොවන කුලයේ මුට්ටියක් සොයා ගැනීමට නොහැකි වන තරමටම බමුණු නොවන කුලය බිඳ වැටී ඇත. දැන් බමුණු කුලයටත්, බමුණු නොවන කුලයටත් සිදුවී ඇත්තේ එක්කෝ ජාති, ආගම් පදනම් කර ගනිමින් හෝ වම, දකුණ පදනම් කර ගනිමින් හෝ රණවිරු පදනමකින් හෝ දේශපාලන පිපාසය විකල්පයකින් සංසිඳුවා ගන්නටය. එහෙත්, එවැන්නකින් පැන නඟින දේශපාලන අතෘප්තිය ප්‍රචණ්ඩත්වයකට නැවත තල්ලු නොවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    උපුටා ගැනීමකි

    කුල බේදය
    ශ්රී ලංකාව සහජීවනය හා සන්හිඳියාව පිලිබඳව නැවත සිතන යුගයකට අවතීර්න වී ඇත. බෙදුම් වාදයට මග පැදු දෙ ගැන විශ්ලෙශනය කිරීම පලමුවෙන්ම කල යුතු දේ බව අප සැමට තේරෙන නමුත් මේ පිලිබඳව හරි විශ්ලේශනයක් වෙනවාද කියන එක සැක සහිත කාරනයකි. ජාතිය හා ආගම පෙරදැරි කරගෙන විවිධ පාර්ශව තම ස්ථාවරය නිර්වචනය කලද ඔවුනගෙ කැමැත්ත සහ අවශ්යතාවය හරි හැටි අඳුනාගැනීමක් හෝ ප්රකාශ කිරීමක් සිදුවී නොමැත.

    නිජබිමක් ඉල්ලා කෑගසුවද ද්රවිඩ දේශපාලකයන් ගේ අවශ්යතාවය එය නොවේ. ඔවුනට අවශ්ය දේ දැනගනීමට හැකියාවක්ද වටපිටාවක්ද තවම නිර්මානය වී නොමැත. එසේම සිංහල හා අනෙකුත් ජාතීන්ටද, ජාතිකවාදය මුල් කරගෙන ගෙන යන සංවාදය හුදෙක්ම ජාතිකත්වයට වඩා සැඟවුනු යම්කිසි දෙයක් වෙනුවෙන් බව හැඟෙන කරුනකි. මේ පිලිබඳව සෙවීමේදි සිංහල හා ද්රවිඩ ජාතීන් අතර මුල් බැසගත් කුල බේදය පිලිබඳව විශ්ලේශනය කිරීම සුදුසු වේ. එහිදී සාක්ශාත් වූ කාරනය නම් මෙය හුදෙක්ම වර ප්රසාද ලත් හා නොලත් දෙපාර්ශව අතර කාලන්තරයක් තිස්සෙ විවිධ ස්වරූපයෙන් සිදුවන ගනු දෙනුවක් බවයි. කුල බේදයත්, නූතන වරප්රසාද මත පදනම් වූ පන්ති බේදයත් විශ්ලේශනය කල විට අප සිටින ස්ථානය දැනගනීමට හැකියාවක් ලැබෙනු ඇත. අප යා යුතු තැන පිලිබඳ අප සැමට වැටහීමක් තිබුනද, ගත යුතු මග පිලිබඳව කිසිම අදහසක් නොමැති පසුබිමක (තවම අවබෝධ වී නොමැත), සිටිනා තැන දැන ගැනීම ඉත උචිත බව නොකිවමනාය.
    කුල බේදය වනාහි වැදවසම් යුගයටත් පෙර සිට පැවෙත එන ඓතිහාසික ජන වාර්ගික ක්රම වේදයකි. උසස් යයි සම්මත කුල මත ඉඩම් අයිතිය රැඳුනු අතර එමගින් ප්රධානම කර්මාන්තය වූ කෘෂි කමාන්තයේ පාලනය ඔවුන් සතු විය. මෙයින් නිගමනය වෙන්නේ භූමියේ අයිතියත්, පාලන බලයත් කුලීන යයි සම්මත ජන වර්ගය සතුව පැවති බවයි. මේ සඳහා එරෙහි වූ ජන අරගල ශතක ගනනාවක් තිස්සෙ පැවති අතර අද වන විට දියුනු යයි සම්මත රටවල් ජන වාර්ගික කරනය සඳහා මෙය සාධකයක් කරගන්නේම නැත. නමුත් ප්රාදෙශීය ගෝත්රීක චින්තනයන් ගෙන් පැවත එන සමහර ජන කොටස් නූතන ක්රමයන්ට අනුගත වන බව පෙන්වූවත්, කුල බේදයටද තවමත් මහ පිලිගැනීමක් දෙන බව ශ්රී ලංකාව වැනි රට වලින් පැහැදිලි වේ. මේ තුලින්න් මතුවන ප්රධානම කාරනය වනුයේ, ජන සමාජයෙ පැවත්ම සඳහා දායක වන ප්රධානම කර්මාන්තය පාලනය කිරිමේ හැකියාව ඇති ජන වර්ගය උසස් ලෙස සලකීමට මානව සන්හතිය පෙලඹෙන බවයි.
    උපත මත පදනම් වූ ජන වාර්ගීකරනයක් වූ කුල බේදයට එරෙහි මූලික විප්ලව කාරි වෙනස සිදුවනුයෙ ආගම් මගින් සිදුකල දැහැමි විප්ලවයන් මගිනි. මේ තුලින් සියලු මිනිසුන් එක සමාන බව සාධනය කිරීමට උත්සාහ කලද අද වන විට එය  විවිධ වූ ආගම් ඇදහිලි බවට පත්වී, ජන වාර්ගීකරනයට, කුලයට අමතරව තව සාධකයක් එක් කොට ඇත. නමුත් සන්නිවේදනයේ  නොදියුනු ස්වභාවයත්, කුල බේදයෙන් පැමිනි දැඩි බලපෑමත්, භූගෝලීය සම්පත් මත පැවති වර්ගීකරනයත් (රටවල්/ජනපද ලෙස) යන කාරනා නිසවෙන් ආගම් වඩාත් විකෘති තත්වයට පත්වී එයද කුලීනයන් ගේ ග්රහනයට යටත්ව ගොස් ඇත. මෙයින් මා උත්සාහ ගනුයෙ, එයට එරෙහි වූ කුලීනයන් ඔවුන් ගේ බලය උපරිම ලෙස යොදාගෙන සියලු වෙනස්කම් තම පැවැත්ම උදෙසා නැවත හරවා ගැනීමෙ මනා හැකියවෙන් යුක්ත වූ බව පෙන්වා දීමටයි.

    කුල බේදය මගින් ඇති කරන ලද සමාජ ක්රමයේ පංතීන් පැවති බව පොදුවන කාරනයකි. ප්රධාන වශයෙන් වරප්රසාද ඇති හා නැති වශයෙන් අවබෝධය සඳහා පහසුවෙන් වර්ගීකරනය කල හැක. වරප්රසාද යනු සම්පත් සඳහා (ඉඩම්, ජලය ආදී) අයිතිය ඉබේ ලබෙන කන්ඩායමයි. එසේ නොමැති වරප්රසාද නොලත් කාන්ඩය ඒ සඳහා තම ශ්රමය හෝ වෙනත් සම්පත් හුවමාරු කලයුතුමය.

    විද්යාවෙ, සන්නිවේදනයේ හා වෙළඳ ආර්ථික ක්රමයෙ දියුනුව යන කරුනු නිසාවෙන් කුල බේදය අද වන විට පෙරමුනේ නැතත්, නිදහස් අධ්යාපනයෙන් තුලින් අතිවූ උගත්/නූගත් වර්ගීකරනයත් (X), විවෘත ආර්ථිකයෙන් මතුවූ මුදල් ඇති/නැති වර්ගීකරනයත් (Y), දියුනු යයි සම්මත පාලන ක්රම තුලින් මතුවූ බලය ඇති/නැති (Z) කාන්ඩයත්, නූතන ශ්රී ලංකාව ප්රධාන වශයෙන් කාන්ඩ අටකට වගීකරනය කර ඇත.

    උගතුන් නොවන, මුදල් නොමැති, බලය නොමැති ජන වර්ගයාට, අනෙකුත් වර්ගයන් සඳහ සංසරනය වීමට පහසුකම් හා අවශ්යතා සපුරන ක්රමයක් ඇති නොවනතාක් කල්, සහජීවනය හා සන්හිඳියාව වනාහි, පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් පමනි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.