26 September, 2020

Blog

හොඳ හිත – පාලිත

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

“සුළං මාරුවේදී” ඇතිවන තද වැස්ස කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වන්නන්ට අමුතු දෙයක් නොවුණ ද මැයි 25 වැනිදා රාත්‍රිය පුරා නොනවත්වා ඇද හැලුණු අන්දමේ වැස්සක් හා ඒ ආශ්‍රිතව මතු වූ ගංවතුර බඳු තත්ත්වය ඉකුත් වසර තිස්පහ තුළ මා කිසි දිනෙක දැක නැත. ගේදොර වතුපිටි විනාශ කරලමින් මිනිස් ජීවිත බිලි ගනිමින් පැමිණි ඒ මහා දියකඳ කළ විනාශය සුළුපටු නොවේ. දැන් ගංවතුර අවසන් ය. හැමදාමත් සිදු වන ගංවතුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ දැන් ආරම්භ වී තිබේ. මෙවන් විපත් යළි ඇති වීම වැළැක්වීමට ගංවතුර පාලනය සඳහා ගන්නා බව කියන, ක්‍රියාමාර්ග පිළිබඳ උදාරම් කථාවලින් දැන් මාධ්‍ය අවකාශය පිරී පවතී. කඩවුණු පොරොන්දු බවට පත්ව ඇති එබඳු කථා පිළිබඳ සමාජ පිළිගැනීමක් මේ වන විට නැති තරම්ය. ඒ ගැන තවදුරටත් ලිවීම පවා ඵල රහිතය. ඒ නිසාම වෙනත් කාරණයක් පිළිබඳ ලිවීමට මේ සතියේ අප කල්පනා කළෙමු.

දින ගණනක් පුරා පැවැති ගංවතුර අතිමහත් විනාශයක් සිදුකළ මුත් එය “තරුවක්” බිහි කිරීමට සමත් විය. කඩපොළේ බස්රියේ, දුම්රියේ පමණක් නොව සයිබර් අවකාශය තුළ ද මේ දිනවල ජනප්‍රියම තරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමය. අපගේ සමාජීය මිත්‍රයකු සඳහන් කර තිබූ ආකාරයට ම “ගංවතුර ස්ටාර්” තෙවරප්පෙරුමය. දැන් රටම කථා කරනුයේ නිදි වර්ජිතව, කුසට අහරක් නොමැතිව, පාවහන් රහිතව ආපදා කළමනාකරණයේදී තෙවරප්පෙරුම කළ සුරවිරුකම් පිළිබඳවය. කථා කිරීමෙන් නොනැවතී, වත්මන් සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයාට රටේ ආපදා කළමනාකරණය පිළිබඳ වගකීම භාර දිය යුතු බවට ද ඇතැමුන් යෝජනාද ඉදිරිපත් කරමින් සිටිති. කෙසේ වෙතත්, පාලිත තෙවරප්පෙරුම ද දේශපාලනඥයකු බැවින්, ඔහුගේ මෙම හැසිරීම කිසිසේත්ම “අහිංසක” නොවන බව කියන, පිරිසක් ද සිටිති. දේශපාලනඥයන් “කැමරා” දෙස බලමින් ඒ ගැන අවධානය යොමු කරමින් සියල්ල කරන යුගයක ඉහත කී අන්දමේ විශ්වාසයක් යමෙකුට උපදවා ගත හැකි වුවද, පාලිතව හොඳින් දන්නා කෙනෙකු ලෙස, රඟපෑමකට එහා ගිය අවංකභාවයක් ඒ තුළ ඇති බව වගකීමෙන් යුතුව අපට පැවැසිය හැකි ය. ගංවතුරකදී, නායයෑමකදී තවත් සරලව කියතොත් ව්‍යසනයකදී පාලිතගේ මේ හැසිරීම මතුගම, අගලවත්ත, බුලත්සිංහල ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ආගන්තුක වූවක් නොවේ. හැඩිදැඩි පෙනුමක් සහිත පාලිත, හිත හොඳ පුද්ගලයකු බව පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව කළුතර ජනතාව හොඳාකාරවම දනී. මාධ්‍ය කේන්ද්‍රීයව මෙවර, වැඩි ඉඩක් හිමි වූ මුත් මීට පෙර ද ඔහු අනන්තවත් මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ වී ඇත.

මීට වසර විසිහතරකට පෙර සිදු වූ සිද්ධියක් මේ ලියුම්කරුට හොඳහැටි මතකය. බස්නාහිර පළාත් සභා උණුසුමෙන් කළුතර දිස්ත්‍රික්කය ගිනියම්ව තිබූ මොහොතක සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවෙන් දින කිහිපයකට පසුය මෙම සිදුවීම සිදු වූයේ. මතුගම සිට අලුත්ගම දක්වා ධාවනය වෙමින් පැවති ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් වැලිපැන්න මුණමල්වත්ත පාලමෙන් ඇළට ඇද වැටිණි. මුණමල්වත්ත ඇළ, හිනිදුම කන්දෙන් පටන්ගෙන කළුවාමෝදරින් මුහුදට වැටෙන බස්නාහිර හා දකුණු පළාත් මායිම් කොට ගලා බස්නා බෙන්තර ග‍ඟේ අතු ගංගාවකි. මේ ඇළ, කිඹුලන් පිළිබඳ චිරප්‍රසිද්ධය. කදුරු ගෙඩියක් වැටුණු කල එය ඩැහැගැනීමට පොර කෑමට තරම් කිඹුලන් එහි සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ලංගම බස් රථය මුණමල්වත්ත ඇළට ඇද වැටීමෙන් දොළොස් දෙනකු පමණ ජල රකුසා එදා බිලිගත්තේය. කෙසේ වෙතත් බස් රථයේ ගමන් ගත් පිරිසක් තවදුරටත් ජීවිත බේරා ගැනීමට තරම් වාසනාවන්ත විය. තම ජීවිත අවදානම ද නොතකමින් ඇළේ ගිලීමෙන් සිටි පිරිස බේරා ගැනීමට පළමුව ඉදිරිපත් වූ දෙතුන් දෙනා අතර පාලිත තෙවරප්පෙරුම ද විය. නාවික හමුදා කිමිදුම්කරුවන් පැමිණීමට පෙර සිටම පාලිත ඇතුළු පිරිස කටයුතු කළ ආකාරය ගැන අදටත් ඇතැම්හු කෘතවේදීව සිහිපත් කරති.

පිහිනුම් තරගවලින් ජය ලබා නොතිබුණ ද පාලිතට වතුර සමඟ ඔට්ටු ඇල්ලීමේ හැකියාව හොඳින් පිහිටා තිබිණි. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ඇරැඹි මුල් කාලයේදී පාලිත නාවික හමුදා සෙබළකු ලෙස රාජකාරි සිදු කළේය. මහ මුහුද සමඟ පොර බැදූ ඔහුට ඇළදොළවල පිහිනීම යනු කජු කනවා වැනි වැඩක් විය. බොහෝ දෙනා නොදන්නා නමුදු පාලිත දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් ද විය. ඔහුගේ කරාටේ ගුරුවරයා වූයේ අගලවත්තේ උඩවල තිස්ස මාස්ටර්ය. එකල පාලිත සමඟ කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කළ තවත් අයෙක් වූයේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත අබේගුණවර්ධනය. කරාටේ පමණක් නොව චීනඅඩි සාස්තරෙන් ද පාලිත අගතැන්පත් කෙනෙක් විය. බර ඉසිලීම ඇතුළු කායවර්ධනය කෙරෙහි ද සැලකිලිමත් වූ බැවින් කැපී පෙනෙන පෙනුමක් පාලිත වෙතින් පිටතට දිස්විණි.

පාලිතගේ පියා හොඳ වාමාංශිකයකු වූ අතර, තරුණ පාලිත ද සමාජ සාධාරණත්වය පාදක කර ගත් එම නිර්ධන පාන්තික දේශපාලනයට ආසක්ත කළේය. පස්යොදුන් කෝරලයේ දේශපාලනය තුළ කැපී පෙනෙන නාමයක් වූ දිවංගත අනිල් මුණසිංහ මහතා සමඟ දේශපාලනයේ නිරත වෙමින් දේශපාලනඥයන් හා ගනුදෙනු කිරීම ඇරැඹූ පාලිත, අනතුරුව රාජිත සේනාරත්න හා මහින්ද සමරසිංහ යන එසමයෙහි එජාප දේශපාලනයේ නිරත වූ දේශපාලනඥයන් වෙතට සමීප විය. නාමධාරී දේශපාලනඥයන් තිදෙනකු සමඟ කටයුතු කළ පාලිත පළමුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 2002 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදීය. අවසාන මොහොතේදී අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු වූ මුත් මැතිවරණ ජයග්‍රහණය ඔහුට කජු කනවා වැනි වැඩක් විය. වසර ගණනාවකට පසු එම මැතිවරණයේදී මතුගම ප්‍රාදේශීය සභාවේ බලය එජාපයට හිමි වූ අතර, පාලිතව එහි සභාපති ධුරයට පත් කිරීමට මහින්ද සමරසිංහ එවකට සිටි කම්කරු ඇමැතිවරයා කටයුතු කළේය. නමුත්, පරිපාලනමය කටයුතු පිළිබඳ කිසිදු අත්දැකීමක් නොතිබුණු පාලිත නව තනතුරේ දිවුරුම් දීමට අදිමදි කළේය. තනි තීරණයක් ගත නොහැකි තැන ඔහු උපදෙස් සොයා කිහිප දෙනකු වෙත ගියේය. හිටපු කළුතර නගර සභාපති නීතිඥ කිංස්ලි වික්‍රමසිංහ මහතා වෙත ද ගිය පාලිත සභාපති ධුරය භාරගැන්මට ඇති තම අකමැත්ත ඔහුට පැවසුවේය.
“සර්, මට මේක භාරගන්න බැහැ. මම මොනවත් ඒ ගැන දන්නේ නැහැ” යනුවෙන් තෙවරප්පෙරුම කියද්දී කිංස්ලි වික්‍රමසිංහ මෙසේ පැවසුවේය. “ඒක තමා ඔයාට තිබෙන සුදුසුකම. ඔයා දන්නේ නැහැ කියන එක දන්නවා. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඔයා මේ තනතුර භාරගන්න.” කිංස්ලි වික්‍රමසිංහ සඳහන් කළේය. පාලිත කෙතරම් ප්‍රායෝගික මිනිසකුදැයි ප්‍රදේශයේ ජනතාව දැනගත්තේ ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති වූ පසුය. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවා සඳහන් කරන ආකාරයට ඒ සමය මතුගම ප්‍රාදේශීය සභා ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස අදටත් සැලැකේ.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස ශීත කාමරවලට වී කාලය ගත කිරීම ඔහු පිළිකුල් කළේය. ඒ වෙනුවට ඔහු වැඩි බරක් තැබුවේ ප්‍රායෝගිකත්වය කෙරෙහිය. කසළ රැගෙන යන ට්රැක්ටරයේ රියැදුරු නොමැති විට ඔහු එහි රියැදුරා විය. පොදු වැඩ කටයුතුවලදී කම්කරුවන් සමඟ උරෙන්උර ගැටී ඔහු වැඩ කළේය. පාලිතගේ මෙම හැසිරීම තුළ පොදුවේ මතුගමට වාසියක් වූ අතර එය ඔහුව දේශපාලනිකවද ශක්තිමත් කළේය. ක්‍රියාකාරී දේශපාලනයට පිවිස වසර 15ක් තුළ පාලිත පැමිණි ගමන දේශපාලන හිණිම‍ගේ ඉහළට නැඟීමට අපේක්ෂාවෙන් පසුවන ඕනෑම ආධුනික දේශපාලනඥයකුට හොඳ පාඩම් පොතකි. ඥාති සම්බන්ධතා නායකත්වය සමඟ ඇති සම්බන්ධය, ධනවත්කම් ආදි සාධක කිසිවක් නොමැතිව කිසිවකුගේ වාරුවකින් තොරව තම ශක්තිය මතින් පැමිණි ගමනක් ලෙස එය නම් කිරීම අතිශයෝක්ති වර්ණනාවක් නොවේ.

කළුතර දිස්ත්‍රික්කයේ සෙසු දේශපාලනඥයන්ට සාපේක්ෂව පාලිත අවංක චරිතයක් බව පොදු පිළිගැනීමය. අතරමැදියන්ගේ සහාය නොමැතිව දවසේ ඕනෑම මොහොතක දුරකථනයෙන් හෝ ඔහුව පහසුවෙන් සම්බන්ධ කර ගත හැකිය. මේ සියලු කාරණා පෙන්වනුයේ දේශපාලනඥයකු ලෙස ඔහුගේ සරල බව මිස වෙ‍ෙනකක් නොවේ. සියල්ලටම වඩා වැදගත් වනුයේ ඔහු ජාතිවාදියකු නොවීමය. සිංහල ඡන්දදායකයන් අතර මෙන්ම දෙමළ මුස්ලිම් ඡන්දදායකයන් අතරද ඔහු අතිශයින් ජනප්‍රියය. 2014 වසරේ ජුනි මාසයේදී අලුත්ගම දර්ගා නගරය ජාතිවාදී ගින්නෙන් වැසී යද්දී ඊට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට තරම් ධෛර්යයක් තිබූ සිංහල සමාජයේ කිහිප දෙනා අතර පාලිත ඉදිරියෙන් විය. අන්තවාදීන් පිරිසකට මැදිව සිටි මුස්ලිම් කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට පාලිත එවර ඉදිරිපත් වූයේ තම දිවි පවා නොතකමිනි. ප්‍රසිද්ධිය, ප්‍රචාරයට වඩා ඔහුට අවශ්‍ය වූයේ විපතට පත් ජනතාවට පිහිට වීමටය.

යමකුට මෝඩකමක් ලෙස පෙනුණ ද ඔහු නිතරම අවදානම දෝතින් භාර ගත්තේය. තම අනුගාමිකයන් වෙනුවෙන් හැම විටම පෙනී සිටියේය. ඔවුන්ව තනි නොකළේය. මීට වසර 16කට පෙර සිදු වූ සිදුවීමක් මේ මොහොතේ මට සිහිපත් වේ. මැතිවරණයක් කැඳවා තිබූ ඒ අවස්ථාවේදී දොඩම්ගොඩ ප්‍රදේශයේ එජාප කාර්යාල කිහිපයකට සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල වී තිබිණි. එය මෙහෙයවා තිබුණේ හොරකම හා මැරකම සම්බන්ධයෙන් අපකීර්තිමත් වාර්තාවක් සහිත මේ මොහොතේත් රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන දේශපාලනඥයෙකි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ පොලිස් ස්ථානයේ රැඳී සිටි කළුතර පොලිස් අධිකාරිවරයා එය ඒ හැටි ගණන් නොගත්තේය. එම හැසිරීම පාලිතගේ “රතු කට්ට” පැන්නවීමට සමත් විය. ඒ වන විට පාලිත අවම තරමින් පළාත් සභා මන්ත්‍රීවරයකුවත් නොවීය.

දැඩි කේන්තිය මැද, තමන් හා මුහුණට මුහුණ සටනකට පාලිත පොලිස් අධිකාරිවරයාට අභියෝග කළේය. නූතන හින්දි චිත්‍රපටයක දර්ශනයක් සිහිගන්වමින් අනතුරුව සිදු වූ ද්වන්ධ සටනේදී පාලිත තමන් ප්‍රගුණ කළ කරාටේ, චීනඅඩි සාස්තරයෙන් පහර කිහිපයක් පොලිස් අධිකාරිවරයාට එල්ල කළේ විදුලි කොටන්නාක් මෙන් වේගයෙන්ය. එක දිගට නොනවත්වා එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් අධිකාරිවරයාගේ කමිසයේ තිබු තරු පදක්කම් පමණක් නොව ඔහු පැලඳ සිටි සෑම් බ්‍රවුන් වර්ගයේ බඳ පටිය ද කැඩි විසිවී ගියේය. තම ඉහළ පොලිස් නිලධාරියා අඩපණ වෙද්දී දුසිමකට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ පාලිතව, “ආම්බාම්” කළහ.

මතුපිටින් පාලිත තෙවරප්පෙරුම දෙස බලන ඇතැමුන් ඔහුට බේබද්දකුගේ “මුද්‍රාව” එල්ල කරනමුත් අදටත් මතුගම නගරයේ තැබෑරුමක් නොමැති වීමේ ගෞරවයෙන් කොටසක් පාලිතට හිමි විය යුතුය. අනූ ගණන්වලදී අනිල් මුණසිංහ මහතාගේ මැදිහත් වීම තුළ තැබෑරුමක් සඳහා බලපත්‍රයක් ලබාදීමට යෝජනා වූ අවස්ථාවේ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සමඟ එක්ව පාලිත ප්‍රබල විරෝධතාවක් දියත් කරන ලදී. එම විරෝධයේ තිබු ප්‍රබලත්වය නිසාම තැබැරුම් යෝජනාව අකුළා ගැනීමට අවසානයේ සිදු විණි.

පාලිතගේ දේශපාලනය තුළ ඔහුට ආවේණික වූ දුර්වලතා ද නැත්තේ නොවේ. ඒ අතරින් ප්‍රධානතම වනුයේ බුද්ධියට වඩා ඔහු ඇ‍ඟේ හයිය මත විශ්වාසය තබා කටයුතු කරන්නකු වීමය. එවැන්නෝ ස්වභාවයෙන්ම හැඟුම්බරය; හිතුවක්කාරීය; ආවේගශීලීය; අවසාන ප්‍රතිඵලය පිළිබඳව තාර්කිකව ගණන් බැලීමක් නොකරති. පාලිත ද එවැන්නෙකි. එසේ නමුත් පාලිත තෙවරප්පෙරුම මේ වන විට යම් දේශපාලන සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඊට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ ද ඔහුගේ මේ “හදිස්සියය.” එය හොඳට මෙන්ම නරකට ද ඔහුට ප්‍රතිඵල ගෙන ආවේය. ඕනෑම දෙයක් පිළිබඳව ඔහුගේ ප්‍රතික්‍රියා වේගවත් විය. යම් කාරණයක් දෙස බැලීමේදී කිසි විටෙක පිටවීමේ දොරටුව කෙරෙහි ඔහු අවධානය යොමු නොකළේය. එය බදුරලිය රෝහල විවෘත කිරීමට ඔහු කළ මාරාන්තික උපවාසය මෙන්ම සුප්‍රකට මීගහතැන්න සිදුවීමේදීත් දැකගත හැකිය.

නායකයකු මොළයට වඩා හදවත කෙරෙහි වඩා විශ්වාසය තැබීම ප්‍රඥාඝෝචර නොවන බව මා පවසන්නේ නැත. පුද්ගලයකුගේ ඉදිරි ගමන මොළය නිසා සිදු වුවද ප්‍රජාවකගේ ඉදිරි ගමන හදවත නිසා සිදුවන බව මා විශ්වාස කරන්නෙමි. පාලිතගේ මේ දඩිබිඩි හැසිරීම ප්‍රජාවට පාඩුවක් නොවූ බව පවසන්නේ එහෙයිනි.

ගංවතුරත් සමඟ පාලිත ශිල්ප දැක්වීමට පටන්ගත් පසු තවත් බොහෝ දේශපාලනඥයන්ද ඔහු අනුකරණය කිරීමට පටන්ගෙන තිබිණි. අසීරුවෙන් භාණ්ඩ කර මතින් ඔසවාගෙන යන දර්ශන, කර මතින් වැඩිහිටියන් ඔසවාගෙන යන දර්ශන “ෆේස්බුකියෙ”හි වැසි වසා තිබිණි.

නමුත් ඒ බොහෝ ඡායාරූප තුළ දක්නට ලැබුණේ අව්‍යාජ බව වෙනුවට කෘතිම බවකි. තෙවරප්පෙරුමගේ ස්වාභාවිකත්වයට ළං වීමට ඒ කිසිවකුට නොහැකි වී තිබිණි. කොට කලිසමක් ඇඳගෙන වියපත් කාන්තාවක ඔසවාගෙන යන මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් මම අන්තර්ජාලයේ දුටුවෙමි. මන්ත්‍රීවරයා එම වයෝවෘද්ධ කාන්තාවව ඔසවාගෙන යද්දී එම ස්ථානයේ දණහිස අසලට හෝ වතුර නොතිබිණි. එවැනි ඡායාරූපයක් දුටු පසු මට සිහි වූයේ ත්‍රීරෝද රථයක පසුපස සඳහන් කර තිබූ “කොපි කළ හැක සම කළ නොහැක” යන වැකියය. ගංවතුර ආපදා කටයුතුවල නිරත වෙමින් සිටි අවස්ථාවේදී මේ ආකාරයට ගංවතුර නිරීක්ෂණය කරමින් බොර දියේ මාළු බෑමට උත්සාහ කළ දේශපාලනඥයන් ගණනාවක්ම මම දුටුවෙමි. ඒ ඇතැමුන් රථ පෙළපාළිවලින් විපතට පත් ජනතාව සිටි ස්ථානවලට පැමිණ සිටියේ බත් පැකට් දහයක්, පහළොවක් බෙදමින් ඡායාරූපයක් ගැනීම වැනි සිල්ලර අරමුණු පෙරදැරිවය. එබඳු පසුබිමක පාලිතගේ හැසිරීම වඩාත් ඉදිරිගාමීය. පාලිත පමණක් නොව තවත් දේශපාලනඥයන් ගණනාවක්ම විපතට පත් ජනතාව වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් කරන ආකාරය මම සියැසින් දුටුවෙමි. නමුත් එක් දෙයක්නම් පැහැදිලිය. ඒ සඳලුතලයෙන් බැසීමට ඔවුන්ට පාර පෙන්වූයේ පාලිත තෙවරප්පෙරුම බවය.

පාලිතට ලබා දී ඇත්තේ සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිකමය. කටේ බ්‍රේක් නැති ඔහු රටේ සංස්කෘතිය නඟා සිටුවීම වෙනුවෙන් කළ කෙංගෙඩියක් ගැන මා නම් දන්නේ නැත. අනෙක් අතට, පාලිත වැනි මහ පොළොවේ පය ගසා සිටින දේශපාලනඥයකුට ගැළපෙනුයේ සංස්කෘතිය වැනි විෂයයන් නොවේ. එවැන්නන්ට ගැළපෙනුයේ ප්‍රවාහනය, මහාමාර්ග, ආපදා කළමනාකරණය, නිවාස වැනි “ෆිල්ඩ්” එකට සම්බන්ධ විෂයයන්ය. කෙසේ නමුත් ඇමැති තනතුරු පිළිබඳ තීරණය කරනුයේ අප නොව ඉහළ දේශපාලන අධිකාරියන්ය. ඒ පිළිබඳව අපට කළ හැක්කේ යෝජනා ඉදිරිපත් කිරීම පමණකි.

පාලිත පසුගිය මහ මැතිවරණයේදී තම තේමා පාඨය ලෙස කළුතර ජනතාව වෙත ඉදිරිපත් කළේ “දිනවමු මනුස්සකම” යන්නය. සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ධුරයේ සිට පාලිත කළ කී දෑ ගැන අපට ඒ හැටි අසන්නට දකින්නට නොලැබුණත් ඔහු මනුස්සකම දිනවීමට නම් පසුගිය වසර දෙක තුළ උපරිමව කටයුතු කර තිබේ. ඒ මිනිසත්කමේ පොහොසත්කම පසුගිය ගංවතුර අවස්ථාවේදීත් රටට ප්‍රායෝගිකව නොඅඩුව දැකගන්නට ලැබුණි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    2

    මෙය හිත හොඳ දේශපාලකයකු ගැන හඳුන්වාදෙන ලිපියකට වඩා අසාර්ථක රාජ්‍යයක සිටින තමන්ගේ කාර්යභාරය හරිහැටි හඳුනා නොගත් දේශපාලකයකු පිළිබඳ ලිපියක් බව මගේ අදහසයි. ප්‍රචාරක වාසියක් වෙනුවෙන් නොවුනත් අවංක අදහසින් වුණත් ඔහු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කළ යුතු දේ නොවෙයි. ඔහුගේ බල ප්‍රදේශය වන මතුගම, අගලවත්ත හා බුලත්සිංහල නාය යාමේ අවදානමක් ඇති ඉඩම්වල පදිංචි ජනයා ගැන කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කොපමණ කතා කර තිබෙනවාද? ඔහු ඒ ගැන ගත් පියවර මොනවා ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ ගැන කල් වේලා ඇතිව පියවර නොගෙන පසුව මිනී උස්සලා ඇති වැඩේ මොකක් ද? මතුගම නගරයේ තැබෑරුමක් නොමැති වුණාට මතුගම-අගලවත්ත පාරේ කිලෝමීටර් දෙකක් ගියාම තැබෑරුමක් ඇත. ජනතාව මත් උවදුරින් ගලවන්න හැබෑ ඕනෑකමක් තියනවානම් ඒ තැබෑරුම ගැන පියවරක් ගන්නේ නැත්තේ ඇයි? මත්උවදුර පාලනය කිරීමේ ප්‍රතිපත්ති සකස් කිරීම ගැන පාර්ලිමේන්තුවේ ඔහු කතා කර තිබෙනවා ද? දර්ගා නගරය ජාතිවාදී ගින්නෙන් වැසී යද්දී ඊට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට තරම් ධෛර්යයක් ඔහුට තිබුණා යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එම ජාතිවාදී ගින්නට වගකිව යුත්තන් හා මෑත කාලයේ මුස්ලිම් ආගමික සිද්ධස්ථාවලට හා ව්‍යාපාරවලට පහර දුන් අය අධිකරණය ඉදිරියට ගෙන නොඑන ඔහුගේම පක්ෂයේ රජය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කියන්නේ කුමක් ද? අවස්ථා කිහිපයකදී පාසල්වලට බලෙන් සිසුන් ඇතුළත්කිරීම, උපවාස කර පාර අයිනේ ලයිට් කණුවක් ඉවත් කිරීම වැනි දේවල් මේ රටේ දේශපාලනිකව නූගත් මහජනයාට මහ ලොකු වීර ක්‍රියා තමයි. අපට අවශ්‍ය රටේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හා අක්‍රිය මන්දගාමී රාජ්‍ය ආයතන සක්‍රිය කිරීමට කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.