21 September, 2020

Blog

ව්‍යසනය හමුවේ අරුණෝදයක්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය බදාදා හැන්දෑවේ පටන් ඇද හැළුණු ඇදහිය නොහැකි වර්ෂාවෙන් පසුව කලවාන නගරය පිටත ප්‍රදේශ හා සම්බන්ධ කෙරුණු ගොඩබිම් මාර්ගයන් සියල්ල අවහිර වුණි. ගස් කඩා වැටීමෙන් ද කදු නාය යෑමෙන් ද වෙනත් හේතූන් නිසා ද එම මහා මාර්ගයන් අවහිර වී තිබුණි. සෙනසුරාදා දහවල ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකකින් සහන සේවා කණ්ඩායම් කලවානට ගොඩබසින තුරුත් කිසිම සැපයුම් මාර්ගයක් විවෘත කර ගැනීමට නොහැකි වුණි. ඉරිදා අමාත්‍ය දයා ගමගේගෙ පෞද්ගලික හෙලිකොප්ටර් යානාවෙන් ඔහු කලවානට ගොස් රෝහලේ සිටි අසාධ්‍ය රෝගීන් රත්නපුරයට ගෙන එනතුරුත් තත්ත්වය පාලනය කර ගැනීමට බලධාරීන්ට අපහසු වුණි.

කලවාන හුදකලා වෙයි

දින හතරක් තිස්සේ අවහිර වී තිබූ ගොඩබිම් මාර්ගයන් විවෘත කර ගනිමින් කලවාන සෙසු ලෝකයා හා යළි සම්බන්ධ වූයේ දින හතරකට පමණ පසුව ය. එතෙක් ගුවන් මගින් සැපයුම් ලබාදුන් අතර එය ද ප්‍රමාණවත් නොවූයේ ඒ වනවිටත් ආපදාවට ලක්ව තිබූ ප්‍රමාණය ආවරණය කර ගැනීමට තරම් සහන සේවා කණ්ඩායම් ප්‍රමාණවක් නොවූ බැවිනි. නාය යෑමෙන් ද ගස් කඩා වැටීමෙන් ද විනාශ වූ ජීවිත හා භෞතික සම්පත් ප්‍රමාණය සැලකිය යුතු තරම් ය. මේ වනවිටත් ඒවා ප්‍රතිසංස්කරණය කරමින් අවශ්‍ය සහන සේවා සලසමින් ජන ජීවිතය යළි ගොඩනැංවීමට කටයුතු කරමින් පවතී.

එහෙත් දින හතරක් යනතෙක්ම කලවානට ගොඩබිම් මාර්ගයන් විවෘත කර ගැනීමට නොහැකිවීමත් එතෙක් පූර්ණ ආපාදා සහන සේවාවක් පවත්වාගෙන යෑමට නොහැකිවීමත් සමාජයක් ලෙස අප ලැජ්ජාවිය යුතු තත්ත්වයකි. කලවාන පමණක් නොව අයගම ද ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කයන්හි ද ප්‍රවේශ මාර්ග අවහිරවීම මත ආපදා සහන සේවා දුර්වලවීමක් දක්නට ලැබුණි. තාක්ෂණය මෙපමණ දියුණු ලෝකයක ව්‍යසනයකට මුහුණ පෑ තම සහෝදර ජනතාවට සහන සේවා සැපයීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සමාජයක් ලෙස අප ලැජ්ජා විය යුතුය. ඊටත් වඩා තම රටවැසියන්ට වගකීම් ඉෂ්ඨ කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුය.

මෙම ව්‍යසනයේ දී ඊට මුහුණ දෙන්නට නොහැකිවීමත් එම ව්‍යසනයට පත් ජනතාවට සහන සේවා සැලසීමට ප්‍රමාදවීමත් මුළුමනින්ම රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතාවකි. එම යාන්ත්‍රණය මෙහේයවීමට සිටින ආණ්ඩුවේ දේශපාලන ශක්තිමත්භාවය පිළිබද ගැටළුවකි. තම රටවැසියන් මුහුණ පා සිටින ව්‍යසන අවස්ථාවේ නොපමාව ඔවුන්ට සහන සැලසීම ආණ්ඩුවක වගකීමකි. එහෙත් රාජ්‍ය යාන්ත්‍රණය ජව සම්පන්නව ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුව අපොහොසත් වුණි. ඊට හේතුව ඒ සදහා ශක්‍යතාවයෙන් යුතු දේශපාලන නායකත්වයක් ආණ්ඩුව සතුව නොවීමයි.

රජයේ ප්‍රධාන පෙළේ ආයතනයක ඉහළම නිලධාරියකු පැවසූවේ ආපදා සහන සේවය මේ තරමින් පවත්වාගෙන යන්නේ මැතිවරණ පැවැත්වීමට රජයට ඇති යාන්ත්‍රණය තුළ බවයි. දික්ත්‍රික් ලේකම්වරුන්ගේ සිට ග්‍රාම නිලධාරීන් දක්වා පවතින මැතිවරණ ඡාලය හා ඊට සම්බන්ධිත යාන්ත්‍රණය ආපදා සහන සේවය සදහා ශක්තියක් වී තිබේ. මැතිවරණයක දී මේ යාන්ත්‍රණය මෙහේයවන්නේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවයි. මැතිවරණ කොමසාරිස්වරයාට පැවරී ඇති අසීමිත බලය යටතේ සියළුම රාජ්‍ය නිලධාරීන් ඔහුගේ නියෝගයට යටත් වන අතර එම යාන්ත්‍රණය සමග මෙහෙයුම් කිරීමට ඇති ඉහළම පූර්ණ බලැති ආයතනය මැතිවරණ් කොමසාරිස් දෙපාර්තමේන්තුවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිසමයි.

මැතිවරණ කොමසාරිස්ට පැවරී ඇති අසීමිත බලය කොපමන ද යත් “කකුළට නෙවෙයි ඔළුවටම තබන්න” යැයි කීමට ශක්තියක් තිබීම මැතිවරණ සාධාරණව පැවැත්වීම සදහා ඔහුට ඉවහල් විය. එම ප්‍රකාශයත් සමග සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධ ජනතා බලෑඅග උද්වේගකර වූ අතර ප්‍රජාතන්ත්‍ර විරෝධීහු දුර්මුඛ වුණි. එය මැතිවරණ සාධාරණව පැවැත්වීමේ රහස විය.

එහෙත් ආපදා කළමනාකරණයට යොදා ගන්නා සිවිල් ඡාලයට එවැනි අණදෙන හා මෙහෙයුම් කරන උපරිම බලයකින් යුතු එක් ආයතනයක් නොපැවතීම දුර්වලතාවකි. දිස්ත්‍රික් ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරියා දක්වා ආපදා සහන ඡාලයක් තිබුන ද එය ශක්තිමත්ව ක්‍රියාත්මක නොවන්නේ මේ හේතුව නිසා ය. මේ නිසා හයිය, පෞර්ෂය හා ජවය ඇති පරිපාලන නිලධාරීන් හා වෙනත් රාජ්‍ය නිලධාරීන් සිටින ස්ථානයන්හි ආපදා සහන සේවා කටයුතු ගැම්මට ක්‍රියාත්මක වේ. එහෙත් එසේ නොවන දුර්වල හා තීන්දු තීරණ ගැනීමට නොහැකි නිලධාරීන් සිටින තැන්වල ආපදා සහන සේවා බිද වැටේ.

“කකුළට නෙවෙයි ඔළුවටම තබන්න”

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය වැනි ආපදාවන්ට සම්බන්ධ රාජ්‍ය ආයතන කිහිපයක් තිබුන ද ඒවා අතර සම්බන්ධීකරණයක්, ඒකාග්‍රතාවක් හා සහයෝගයක් නොතිබෙන බවට පසුගිය ආපදා අවස්ථාව හොදම සාක්ෂියකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්පත් හිගකම හා තාක්ෂණයට සංවේදී නොවීම යන කාරණා මත කල් ඉකුත්වෙමින් පවතින අතර අනෙකුත් ආයතනයන් කාර්යාල ක්‍රමයන් තුළ හිර වී පවතී. එසේම අනෙකුත් ආයතන ගන්නා වූ තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීමේ අර්බූදයකට ලක්වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු නිසා කාලගුණ වෙනසක් එන්නට කලින් දැනුම්දෙන පූර්ව අවවාදයන් කැපී පෙනෙන ලෙස ජනතාව අතර යන්නේ නැත.  පසුගිය බදාදා සිදුවූ කාලගුණ වෙනස ද කල් ඇතිව දැනුම්දෙමින් පූර්ව ආරක්ෂණ උපක්‍රම යොදා ගත්තා නම් සිදුවූ හානිය අවම කර ගන්නට තිබුණි. එහෙත් ලෝක කාලගුණ අනාවැකි වලින් ලැබුන තරමට හෝ පෙර දැනුම්දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නොලැබුණි. නැත්නම් ඔවුන්ගේ පෙර දැනුම්දීම් සමාජ ගත නොවුණි.

ජවයක්, ශක්තියක් හා වැඩ කිරීමේ උණක් තිබූ නිලධාරීන් සිටින තැන් වල හානිය අඩු බව පෙන්වාදීමට සුදුසුම උදාහරණය රත්නපුර දිත්‍රික්කයේ වාරිමාර්ග ඉංජිනෙරුවරයාගේ පුරෝකතනයයි. වාර්තාවන අන්දමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් අදාළ නිලධාරියා පවසා ඇත්තේ දැරිය නොහැකි වර්ෂාවත් සමග රත්නපුරයට අධික ගං වතුරක් අපේක්ෂා කළ හැකි බවයි. මේ පුරෝකථනය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූවාට ඊට අදාළව ඉහළ බලධාරීන් ගත් තීන්දුවක් නම් නොවීය. එසේ පූර්වකථන ඉදිරිපත් වෙද්දීත් ඒවා සැලකිල්ලට නොගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතාවකි.

මේ නිසා දිස්ත්‍රික් ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී දක්වා පවතින රාජ්‍ය යාන්ත්‍රණය ආපදා වලට සමබන්ධ අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණය කිරීමට ශක්තිමත් තනි ආයතනයක් පිහිටුවිය යුතුය. එම ආයතනයට සියළු රාජ්‍ය ආයතනයන්ට හා නිලධාරීන්ට අණදිය හැකි පුර්ණ බලය හිමිවිය යුතුය. එසේම ඒවා සම්බන්ධීකරණය කමින් මෙහෙයුම් කිරීමේ හැකියාව ද ශක්‍යතාව ද හිමිවිය යුතුය. එවැනි ආයතනයකට වගකියන හා සම්බන්ධීකරණය සිදුවෙන රාජ්‍ය නිලධාරියකු සියළු ග්‍රාමසේවා කොට්ඨාශයන් මට්ටමින් සිටිය යුතුය.

මැතිවරණයක දී ඊට අදාළ මෙහෙයුම් කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ය. ඊට දේශපාලන නායකත්වයක් අවශ්‍ය නොවේ. එහෙත් සිවිල් පාලනය ගෙනයෑමේ දී දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය යාන්ත්‍රණය ජව  සම්පන්නව ක්‍රියා කරන්නේ දේශපාලන නායකත්වයක මග පෙන්වීම ඇති විට ය. ආණ්ඩුවේ දේශපාලන නායකත්වය ක්‍රියාකාරීත්වයෙන් හිරවූ කළ රාජ්‍ය යාන්ත්‍රණය අයාලේ යෑම තාර්කික ය. පසුගිය දා ඇතිවූ කාලගුණ විපර්යාසයෙන් මුහුණ පාන්නට වූ ව්‍යසනය හමුවේ වින්දිතයන්ට බොහෝ දුක් විදින්නට සිදු වූයේ ආණ්ඩුවේ මේ දේශපාලන හිරවීම නිසා ය.

ලැබූ උගත් පාඩමක් නැත

ගිය වසරේ මැයි මාසයේ ඇතිවූ විශාල කාලගුණ විපර්යාසය තුළ අරණායක සාමසාර කන්ද නාය යමින් විශාල විනාශයක් ඇති කළේ ය. ඉන්පසුව එම කන්ද අවට කලාපයන් අධි අනතුරුදායක කලාප ලෙස නම් කරමින් පදිංචිකරුවන් එම ස්ථාන වලින් ඉවත් විය යුතු බවට නියෝග නිකුත් කළේය. එහෙත් අද වනවිටත් සමහර පිරිස් එම අනතුරුදායක කලාපයන්හි රැදී සිටිති. සමහර අනතුරුදායක කලාප වෙනස් වී තිබේ. සමහර නිවෙස් අධි අනතුරුදායක කලාපය්න්ගෙන් ඉවත් කරමින් එවැනි කලාප යළි නම් කර තිබේ. මීට හේතුව පක්ෂ දේශපාලනය ඒවාට ද ඇතුළු වීමයි. තමන්ට පක්ෂ මිනිසුන් අධි අවදානම් කලාපයේ රදවා ගැනීමට උදව් කරන මෙවැනි පක්ෂ දේශපාලකයන් ජුගුප්සාජනක ය.

ඉතිහාසයේ ලංකාවට සිවිශාලම විනාශය ගෙන ආවේ 2004 දී ආ සුනාමි ව්‍යසනයෙනි. එහිදී වෙරළ තීරයේ සිට කිලෝමීටර් දෙකක වපසරියක ඉදිකිරීම් කිරීමට ඉඩ නොදෙන බව කීය. එසේම ගාල්ල නගරය රට අභ්‍යන්තරය තුළ යළි ස්ථාපිත කර අවදානම අඩු කිරීමට පියවර ගන්නා බව කීය. එහෙත් ඒ කිසිවක් නොවුණි. සුනාමි ව්‍යසනයෙන් පසුව ප්‍රතිසංකරණයට හා නගර නිර්මාණයට උදා වූ ඒ ස්වර්ණමය මොහොත අහෝසි වුණි. ඒ අවස්ථාව විනාශ කරගත් අපට යළි කවදා ව්‍යසනයන්ට මුහුණදීමේ ශක්තිමත් පරිසරයක් නිර්මාණය කරගන්නට හැකිවේද යන්න ප්‍රශ්නයකි.

ආණ්ඩුවක සමාජ සංවේදී දේශපාලන නායකයන් සිටිය යුතුය. සමාජයට ව්‍යසනයක් උදා වූ කළ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ මේ සංවේදී නායකයන් ය. නමුත් අවාසනාවට හේතුවක් වන්නේ අද සිටින දේශපාලන නායකයන්ගේ අරමුණ සමාජ සංවේදී ලෙස හැසිරීම නොව මූල්‍ය ලාභ තකා කටයුතු කිරීමයි. ධනේශ්වර ක්‍රමය තුළ මහජන සංවේදී දේශපාලකයෝ සිටිති. එහෙත් ධනපතියන් නොව ධනය ඇති පුද්ගලයන් සිටින සමාජයක ඔවුන්ගෙන් එවැනි සංවේදීතාවක් බලාපොරුත්තු විය නොහැක. මේ නිසා මිනිසුන්ට වින්දිතයන් ලෙස දුක් විදීමට සිදුවීම තාර්කික ය.

තරුණ විකල්ප බලවගයක්

ආපදාව වාර්තා වුණ මොහොතේ පටන්ම කොළඹ අගනාගරිකය කේන්ද්‍ර කර ගත් යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් පිරිසක් ආපදාවට පිහිටවීම තම ආතමය කර ගනිමින් ඊට මැදිහත් වූහ. ඒ සදහා ඔවුන්ට උදව් වූයේ සන්නිවේදන තාක්ෂණික දියුණුවත් සමග ආ ෆේස්බුක් වෙබ් අඩවියයි. ඔවුහු ෆේස්බුක් යොදා ගනිමින් සංවිධානය වෙමින් අවතැන් වූවන්ට පිහිටවීම සදහා විශාල කැප කිරීමක් කළහ. ඒ මැදිහත්වීම සරළව බැහැර කළ නොහැක්කේ ඔවුන්ගේ සමාජ සංවේදීතා සමග සන්නිවේදන තාක්ෂණයේ දියුණුව යොදා ගැනීම නිසා ය. මේ මැදිහත්වීම නිසා විශාල කඩා වැටීමකට ගොදුරු වූ ජන සමාජයේ විවිධ ඉසව් කරා ශක්තිමත් සහෝදරාත්මක දෑත් දිගු විය. රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව පැන නැගුණ මේ තරුණ නැගිටීම ඇත්තටම ප්‍රශංසණාත්මක ය.

මේ තරුණ පිරිස ආහාර, බඩු භාණ්ඩ හා ඇදුම් පැළදුම් එක් රැස් කර ගත්හ. වාහන සොයා ගත්හ. සහන සේවා කටයුතු සදහා තමාම ගියේ ය. ඔවුන්ම සකස් කර ගත් යාන්ත්‍රණයක් නිසා එය නිර්මාණාත්මක ය. ඔවුන් දුර්වල වූයේ ගුවන් බලය නොමැති නිසාම යැයි කිවහැකි අතර බිමේ මෙහෙයුම් වල දී ඔවුහු කරට කර සිටියහ.

“කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු”

ඇත්තටම බැලුවහොත් රජයේ සහන සේවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බරපතල ගැටළු පැන නැගී තිබුණි. ආපදාවකට පූර්ව සූදානමක් නොවීම හා ආපදා අවස්ථාක දී ඊට මුහුණදීම සම්බන්ධයෙන් අත්දැකීම් ගබඩා කර තබා නොගැනීම ඊට හේතූන් ය. ව්‍යසන කළමනාකරණයට විදෙස් ශිෂ්‍යත්ව ගෙන රාජ්‍ය නිලධාරීන් සෑහෙන පිරිසක් පිටරට යන්නට ඇත. එහෙත් කණිෂ්ඨ පරිපාලන නිලධාරියකු පවසා තිබුණේ “කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු” යන්නයි. මේ න්‍යාය ප්‍රාථමික හා ග්‍රාම්‍ය පරිසරයක් තුළ සත්‍ය විය හැකිය. එහෙත් අප ජීවත් වෙන්නෙ ඩිජිටල් යුගයක ය. ව්‍යසන කළමනාකරණය සම්බන්ධ විශිෂ්ට හා පුළුල් දැනුම් පද්ධතියක් තුළ ය. එවිට “කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු” යන්න කෙතරම් වූ අසරණ ප්‍රකාශයක් ද?

කියුබාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවලට ද කාලගුණ විපර්යාසයන්ගේ අහිතකර ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදුවේ. එහෙත් එම රටවල එවැනි ආපදාවන්ට ලක් වන මිනිස් ජීවිත ගණන අතේ ඇගිළි ගණනටත් අඩු ය. දේපල හා ස්වභාවික සම්පත් විනාශ වුවද මිනිසු ජීවිත සුරකේ. ඊට ප්‍රධාන හේතුව ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන් පූර්ව ආරක්ෂක පියවර ගෙන ඇති බැවිනි. එහෙත් ශ්‍රී ලංකාවේ ගිය සතියේ සිදුවූ ව්‍යසනයේ දී 200ක් ඉක්මවන මිනිසු ජීවිත ඊට ගොදුරු වී තිබුණි. ඊට හේතුව මෙවැනි ආපදාවක් කළමනාකරණය කර ගැනීමට සමාජයක් ලෙස අප ශක්තිමත් නොවන බැවිනි. එනිසා පළමුව කළ යුත්තේ ව්‍යසන කළමනාකරණය උදෙසා මහජන සංවාදයක් ඇති කර ගැනීමයි. ඊට විදෙස් රටවල ව්‍යසන සම්බන්ධ අත්දැකීම් ද එකතු කර ගත යුතුය.

ආණ්ඩුවක සමාජ සංවේදිතාව ගිලිහී ගිය විට එම රාජ්‍යය අරාජික වේ. අරාජික වූ සමාජයකින් අරුණලු බලාපොරුත්තු විය හැකිය. අප කෙසේවත් බලාපොරුත්තු නොවූ පරිදි සමාජ ඡාල මගින් යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් ව්‍යසනයට මුහුණ දීමට එක් රොක් වීම එවැනි අරුණෝදයකි. එය සමාජ වෙනසක ආරම්භයක් විය හැකි ය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.