23 October, 2017

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නෙ මොකාටද ?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

සයිටම් ප්‍රශ්නය ඉලක්ක කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අරඹා ඇති සටන් ක්‍රියාමාර්ගය නිසා දිගින් දිගටම රජයේ රෝහල් වල ක්‍රියාකාරීත්වය අඩපන වෙමින් පවතී. මාසෙකට අවම වශයෙන් දවස් දෙක තුනක් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන සංස්කෘතියක් දැන් උදා වී ඇත. මීට වසර කිහිපයකට පෙර එක් රජයේ රෝහලක තිබූ මේසයක් හෙදියන් සමග බෙදා ගැනීමට නොහැකිව ද එම රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයකට ගියේ නිර්ලජ්ජිතවය. එවැනි ළාමක හා බොළද ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට තරම් වෛද්‍යවරුන් නොමේරූ මට්ටමට ඇද වැටීම අතිශයෙන් කණගාටුදායක ය.

අතීතයේ සිටි වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ නියම කර රෝගී සත්කාරයන් කළේ අධ්‍යාත්මික වටිනාකමකින් යුතුවය. එකළ තමන්ගේ මුදල් වැය කර දිළිදු රෝගීන්ට ඖෂධ ලබාදුන් වෛද්‍යවරු ඕනෑ තරම් සිටියහ. අදත් එවැන්නෝ ඕනෑ තරම් සිටිති. එහෙත් සමාජ බලය ලැබී ඇත්තේ වෙළෙද පළ තුළ ව්‍යාපාරයන් කරන වෛද්‍යවරුන්ට ය. ඒ නිසා එම ක්ෂේත්‍රයම කළු පැල්ලමකින් වැසී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ට එරෙහි නැත. එසේම මුදල් ගෙවා වෙද්‍ය උපාධිය ලබාදෙන ආයතනයන් පිහිටුවීමට ද එකග ය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එරෙහි වන්නේ සයිටම් ආයතනයට ය. එහි වෛද්‍ය උපාධියක් ලබාදීමට තරම් ගුණාත්මක වටිනාකමක් නොමැති බව ඔවුන්ගේ අදහසයි. එහෙත් සමස්ත පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පයටම හා මුදල් ගෙවා වෙද්‍ය උපාධියක් ලබා ගැනීමේ ආයතන ව්‍යුහයටම එරෙහි අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හාස්‍යජනක ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අත්වැල් බැදගෙන තිබේ.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇත්තේ තාක්ෂණික ප්‍රශ්නයකි. සයිටම් ආයතනය සමග ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයටයි. වෙද්‍යවරුන් අදාළ තාක්ෂණික ප්‍රශ්නය විසදා ගැනීම සදහා විකල්ප ක්‍රම අනුගමනය නොකර වැඩවර්ජනයන්ට යෑම මූලෝපායික ලෙස අසාර්ථක ක්‍රියාවකි.

වැඩවර්ජනය කිරීමේ අයිතිය ඇත්තේ කම්කරුවන්ට ය. මාක්ස්වාදය අනුව ශ්‍රමය විකුණා ජීවත්වීම හැර වෙනත් ප්‍රාග්ධන හිමිකාරත්වයක් නොමැති පිරිස් කම්කරුවන් ය. ඒ කම්කරුවන් තම වෘත්තීය ප්‍රශ්න විසදා ගැනීම සදහා අවසන් තුරුප්පුව වන්නේ වැඩ වර්ජනය කිරීමය. එහෙත් මේ යුගය තුළ කම්කරුවන්ට වඩා වැඩවර්ජනය කරන්නේ වෙද්‍යවරුන් ය. වෙද්‍යවරු කම්කරුවෝ නොවෙති. ඔවුහු වැටුප් ශ්‍රමිකයන් වුවද කම්කරුවන් යන වර්ගීකරණයට ඔවුහු ඇතුලත් නැත.

අනෙක වෛද්‍යවරුන් වෘත්තීයවේදීහු පිරිසකි. ඒ වෘත්තීයවේදීහු කම්කරුවන් ලෙස වැඩවර්ජනය කිරීම තම වෘත්තීයට කර ගන්නා අවනම්බුවකි. වෛද්‍යවරු රජයේ සේවයේ මාණ්ඩලික නිලධාරීහු වෙති. මාණ්ඩලික නිලධාරීහු විධායක මට්ටමේ ල සැලකේ. විධායකය නියෝජනය කරන වෛද්‍යවරු වැඩවර්ජනය කිරීම වෘත්තීය ගරුත්වය හා වගකීම නොසලකා හැරීමකි.

වරායේ කම්කරුවෝ දැන් ඉස්සර මෙන් වැඩවර්ජනය නොකරති. ලංගමයේ කම්කරුවෝ දැන් ඉස්සර මෙන් වැඩ වර්ජනය නොකරති. ඒ අඩුව පුරවන්නට දැන් වැඩවර්ජනය කරන්නේ වෙද්‍යවරු ය. වරාය හෝ ලංගම හෝ වැඩවර්ජනය කළ විට සිදුවන්නේ ආර්ථික පාඩුවකි. වෛද්‍යවරුන් වැඩවර්ජනය කළ විට අපහසුතාවට පත්වන්නේ හෝ මිය යන්නේ රෝගීන් ය. රෝගී ජීවිතයක බෙල්ල මිරිකා ජීවග්‍රහණයට ගනිමින් තම අයිතීන් දිනා ගැනීමට කිසිවකුට බලයක් ලැබිය යුතු නැත. එය මූලික මිනිස් අයිතීන්ට පටහැනි ය.
වෛද්‍ය වැඩවර්ජනය කිරීම සාධාරණීකරණය කරන්නන්ට අනුව වෛද්‍යවරුන් ද කම්කරුවන් ය. එවැනි නිගමනයකට එළඹෙන්නේ කුමන දේශපාලන විද්‍යාවකට අනුව දැයි පැහැදිලි නැත. වෛද්‍යවරුන් කම්කරු ඝනයේලා සැලකුවත් ඔවුන්ට වැඩ වර්ජන අයිතිය තිබිය යුතු නොවේ. වෛද්‍යවරුන් වැඩවර්ජනය කිරීම යනු මනුෂ්‍ය ජීවිතයක් බිල්ලට දීමකි.

ලෝකයේ කිසිම රටක හමුදාවකට වැඩවර්ජනය කිරීමේ අයිතියක් නැත. හමුදාවක් විවිධ හේතූන් දක්වමින් වැඩවර්ජනයකට ගියහොත් ඒ රටේ රාජ්‍ය ආරක්ෂාව ඈලියාවට යයි. එලෙසම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ද වැඩවර්ජන තහනම් කළ යුතුය. විවිධ දේශපාලනික අරමුණු වලින් යුතුව පක්ෂ දේශපාලනයේ අත කොළු වන වෘත්තීය සමිති සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනය කිරීමෙන් ඈලියාවට යන්නේ මනුෂ්‍ය ජීවිතය ය.

එනිසා ප්‍රතිපත්තියක් ලෙස සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයන් තහනම් කළ යුතුය. ක්ෂේත්‍රයේ කාර්මික ආරාවුල් විසදීම සදහා වෘත්තීය නිපුණතාවකින් යුතු පිරිස් වලින් සමන්විත පූර්ණ බලැති විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුය, ක්ෂේත්‍රයේ කාර්මික ආරවුල් පිළිබද පැමිණිලි එම සභාවට දැනුම් දිය යුතු අතර ඒවා විසදීම සදහා එම සභාවට පූර්ණ බලය ලබාදිය යුතුය. එවැනි ශක්තිමත් ක්‍රියාමාර්ගයකින් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කාර්මික ආරාවුල් විසදා ගැනීමට ක්‍රමවේදයක් සකසා සමස්ත සෞඛ්‍යය ක්ෂේත්‍රයේම වැඩවර්ජනයන් තහනම් කිරීම මගින් හැරෙන්නට අමානුෂික හා බොළද වැඩවර්ජන ක්‍රියාමාර්ගයන්ගෙන් සමාජය ගලවා ගත නොහැක.

මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි ක්ෂේත්‍රයේ විද්ග්ධ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත එවැනි විනිශ්චය සභාවකින් කාර්මික ආරාවුල් විසදා ගැනීම සම්බන්ධයෙන් ගෞරවනීය හා විශ්වාසනීය තහවුරුවක් ලබා ගත හැකි අතර රජය එවැනි විනිශ්චය සභාවක තීරණයන් එකහෙලා පිළිගන්නා හා ඒවා ක්‍රියාත්මක කරන නීතිමය බලයක් ද සංස්කෘතියක් ද ස්ථාපිත කළ යුතුය.

සාමාන්‍යයෙන් මීට දශක තුන හතරකට පෙර වෛද්‍ය වෘත්තීයට යොමු වූයේ ඉහළ මැද පාන්තික හා ධනවත් පවුල් වල දරුවන් ය. ඔවුන්ට මූල්‍ය බලය තිබූ අතර අවශ්‍ය වූයේ සමාජ කීර්තිය හා පිළිගැනීමයි. ඔවුහු ඒ සදහා මුළු වැර යොදා මහන්සි වූ අතර පෞද්ගලික ධනය පවා යොදවා රෝගී සත්කාරයන් සිදු කළහ. පවුල් පසුබිමෙන්ම මූල්‍ය බලයක් තිබූ නිසා මුදල ඔවුන්ට නොවටිනා දෙයක් විය.

එහෙත් පසුකාලීනව විවෘත වූ අවකාශයන් තුළ වැඩි වැඩියෙන් පහළ මධ්‍යම පාන්තික හා නිර්ධන පාන්තික පවුල් වල දරුවෝ වෛද්‍ය වෘත්තීයට යොමු වූහ. සාපේක්ෂව ඔවුන්ට සමාජයේ මූල්‍ය බලයක් නොවීය. ඔවුන් තැත් කළේ කීර්තිය අත්පත් කර ගන්නවාට වඩා මූල්‍ය බලය තහවුරු කර ගැනීමට ය. ඒ නිසා බොහෝවිට වෙද්‍ය ආචාර ධර්ම නොසලකමින් ආර්ථික බලය සදහා මහන්සී වී වැඩ කළහ. ඉඩමක් කඩමක් ගෙයක් දොරක් ගමන් කරන්නට වාහනයක් ඉහළ සල්ලිකාර පවුලකින් විවාහයක් වැනි සිහින ලෝකයන් තුළ සැරි සරන්නට පටන් ගත්විට ආචාරධාර්මික බැදීම ලිහිල් විය.

එසේම 1978 දී ආරම්භ වූ වෙළෙද පළ ක්‍රමය තුළ වානිජ්‍යවාදී නැඹුරුතාවට ඉහළ වටිනාකමක් ලැබුණි. එතක් සමාජ වටිනාකම් රැදී තිබුණේ මානුෂිකවාදීව වුවත් 1978න් පසුව එය වාණිජ්‍යවාදී වටිනාකම් වලට තැන් මාරු වුණි. මේ තත්ත්වය ද වෙද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය තුළ බරපතල නොසන්සුන්තා ඇති කළේ ය. ඇත්ත වශයෙන්ම මේ වනවිට වෙද්‍ය ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දරන්නේ වාණිජ්‍යවාදී නැඹුරුවක් සහිත වෛද්‍යවරුන් ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීම සදහා සයිටම් ආරම්භ කරන විට ඊට ශක්තිය ලබාදුන්නේ රාජපක්ෂ රෙජීමයයි. 2008 තරම් ඈතක දී එය අරඹන විට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට උනන්දුවක් නොතිබුණි. එහෙත් එය ආරම්භ කර වසර දහයකට ආසන්න කාලයකට පසුව ඊට එරෙහිව රජයේ වෙද්‍යවරුන්ගේ සංගමය මෙලෙස හැසිරීම තක්කඩිකමකි. ඒ අනුව පෙනෙන්නට ඇත්තේ සයිටම් විරෝධය ඉක්මවා යන පක්ෂ දේශපාලන අරමුණක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇති බවකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු තීරණ ගන්නේ වෘත්තීය ගරුත්වයට හානිදායක නොවන අන්දමින් නොවේ. සම සෞඛ්‍යය උපාධිය පිරිනැමීමට අදාළව බරපතල විරෝධයක සිටියේ එම සංගමයයි. පසුව එම පාඨමාලාව වසර තුනකට කෙටි කළේ ද ඔවුන්ගේ බලපෑම මතය. රජයේ රෝහල් වල හෙදි කාර්ය මණ්ඩලය සමග ද වෙද්‍යවරුන් බොහොමයකට ඇත්තේ නොහොද නෝක්කඩුවකි. රාජකාරියේ දී පවා වෙද්‍යවරු හෙද හෙදි කාර්ය මණ්ඩලය සමග කතා බහ නොකරති. මේ හිතුවක්කාරී උද්දච්ඡ ස්වරූපය වෙද්‍ය වෘත්තීය ගරුත්වයට හානියකි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට රාජ්‍ය පාලනය සදහා ජනවරමක් ලැබී නොමැත. එහෙත් රාජ්‍ය පාලනයේ තීරණාතමක මැදිහත්කරුවකු වන්නට ඊට අවකාශය පවතී එසේ හැකිවන්නේ ඔවුන් තම වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගන්නේ නම් පමණි. එවිට රාජ්‍ය පාලනයට බුද්ධිමතුන් ලෙස තම දායකත්වය ලබාදීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඒ සදහා සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ඉල්ලුමක් පවතී. එම ක්ෂේත්‍රයන් තුළ විය යුතු සමාජ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට පෙරමුණ ගත හැකිය. එහෙත් වෘත්තීය ගෞරවය අහිමි කර ගත් පටු පක්ෂ දේශපාලනික වෘත්තීය සමිතියකට ඒ ගෞරවනීය සමාජ මෙහෙවර සම්පූර්ණ කළ නොහැක.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මොහු තම පෞද්ගලික වාසියට එජාපයට කඩේ යන අයෙක් බව කවුරුත් දන්නවා

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.