31 October, 2020

Blog

විමල් විරවංශ සච්චකයා මල්වතු විහාරයට යාම

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මල්වතු මහ නා හිමියන් බැහැ දැකීමට ගිය වාදිභසීහ විමල් විරවංශ දුර්මුඛ වීම යනු එකී සිද්ධිය ලඝු කිරිමකි. වීරවංශ මල්වතු මහ නාහිමියන් බැහැ දැකීම තුල ඊට වඩා කාලීන සංවාදයක් පවති. යෝජිත ව්‍යවස්ථාවෙන් බුදු දහමට ඇති තැන ඉවත් කර ඇත යන දේශපාලන අවලාදය මහින්දවාදීහූ රට පුරා පැල කරමින් යති. ජී.එල්. පිරිස් ප‍්‍රමුඛ ඛණ්ඩායමක් පසුගියදා පන්සල් කරා ගමන් කළහ. මල්වතු මහ නා හිමි හමුවේ ඒ පණිවිඩය සහ වීරවංශ නිශේධ විය. එතුමන් කරුණාවෙන් දන්වා සිටියේ ව්‍යවස්ථා කෙටුම්පත එළි දැක්වෙන තෙක් කලබල නොවන ලෙසය. එවිට වීරවංශ කීවේ රටේ පාලකයන් විශ්වාස නැති බවය. ඊට ප‍්‍රතිකි‍්‍රයා දැක්වූ මල්වතු මහ නා හිමියන් එවැන්නක් සිදු නොවන බවට ජනාධීපති සහ අගමැති තමාට සහතික වූ බව කීහ. වීරවංශට වැරදුණේ එතැනය. ඔහු ගියේ අවවාද ගන්ට නොවේ. සිය වාග් චාතුර්යෙන් විරවංශට මල්වතු මහ නා හිමියන් නම්මවා ගැනිමටය. විරවංශගේ වාසනාවට ඒ හමුවිම සුප‍්‍රකට සච්චක දමනය තරමට අයහපත් වුණේ නැත.

මේ සිද්ධීයට පසුව මුහුණ පොත හරහා මල්වත නා හිමියන්ට එරෙහි ප‍්‍රහාරය ආරම්භ විය. බුද්ධාගම රැුකීමට මැල්කම් කාදිනල් තුමාට ඇති උවමනාව මල්වතු මල්වතු මහ නාහිමියන්ට නැතැයි එක් සහෘදයෙකු ලියා ඇත. මල්වතු මහ නා හිමි ටෙලි නාට්‍යයක එන සෝරත සාදුගේ නලූ චරිතය කරන පොඩි දරුවාටත් වඩා පහතට හෙළීය.

ව්‍යවස්ථාව ඉදිරිපත් කරන තෙක් කලබල නොවි සිටින ලෙස විරවංශට මල්වතු මහ නා හිමියෝ අනුසාසනා කිරීම මේ කළබලයට හේතු විය. මුහුණ පොතේ සමහරු මල්වතු මහ නාහිමි වැරදි බව කීවේ සෝරත පොඩිසාදුට හරි ලකුණ දමමිනි. මේ තත්වය ගැන සිහිපත් කළ යුත්තේ සමාජ අඩවිවළ ජනපි‍්‍රය සෝරත පොඩිසාදුගේ ‘‘හොරකම් කරපු අය සංසුන් නෑ” යන ප‍්‍රකට ප‍්‍රකාශයකි. වීරවංශලාගේ කලබලයට හේතුව සෝරත පොඩිසාදු කී කාරණාව විය හැකිය.wimal-weerawansa

රන්ජිත් මැල්කම් කාදිනල් තුමාට බුද්ධාගම භාර දෙන සටහනට යටින් මෙසේ ලියා තිබිණ. ‘‘එහෙනම් කාදිනල් මහන කරවා මල්වතු මහ නාහිමි කර ගන්නා ලෙසය”. මෙය කාදිනල් තුමාගේ පැත්තෙන් අකාරුණික කතාවකි. කාදිනල් වරයා බුද්ධාගම රැුකීමට පෙළ ගැසෙන විට කතෝලික ආගම රකින්නේ කවුදැයි කිසිවෙකු අසා නොතිබිණ. යෝජිත ව්‍යවස්ථාව ති‍්‍රපිටකයේ කොටසක් නොවේ. කි‍්‍රස්තියානි අමාත්‍යාංශක් ගැසට් කළ අවස්තාවේ කතෝලික ආගමික ප‍්‍රධානින් කීවේ කතෝලික ආගම රැුකිමට අමාත්‍යාංශයක් අනවශ්‍ය බවය. කාදිනල් මැදිහත් වන තරමට බුද්ධාගම අවදානමට ලක්ව නැත. එහෙත් වර්තමානයේ බුද්ධාගමට අවදානම් නැතිවාම නොවේ. විරවංශලා බුද්ධාගම සහ භික්‍ෂුත්වය තුරුම්පුවට ගැනිමද, හමුදාව බලෙන් උතුරු නැගෙනහිර බුදු පිළිම ඉදි කිරිමද, රාජ නීතියට එරෙහිව භික්‍ෂුන් ලවා කැරළී ගැස්සවීමද බෞද්ධ අයිතිය රැුකිමට අන්‍යාගමික නායකයන් කැඳවීමද බරපතල තත්වයකි. එසේම මනුෂ්‍ය ඝාතන චෝදනා ලැබූවන් රණවිරවන් කර නිර්දෝෂි කිරිම බුද්ධාගමට එකඟ​ නැත.

පසුගිය දවසක කොළඹ පන්සලකදී කාදිනල් වරයා කළ ප‍්‍රකාශය ගැන කතෝලික පූජක සංවිධානය කීවේ කාදිනල්ගේ ප‍්‍රකාශය කතෝලික සාසනයේ පොදු මතය නොවන බවය. කාදිනල්ගේ ප‍්‍රකාශය හරහා ආණ්ඩුව යෝජිත ව්‍යවස්තාවෙන් බුද්ධාගමට හිමි තැන අහෝසි කරන බව තහවුරු කිරිමට මොවුන් උත්සාහ කරති. මල්වතු නා හිමියන් ලවා කරවන්නට ගියේද එයමය. මේ උපක‍්‍රම ආගම් අතර පවත්නා සංහිඳීයාවටද හානියකි. මේ විනාසය කරන්නේ මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන එන දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙනි. යහ පාලන ආණ්ඩුවට එරෙහිව දේශපාලනමය ආගම්වාදි සහ ජාතිවාදි උණුසුමක් රටේ ඇති කිරිම මොවුන්ගේ අරමුණ වී ඇත. විවිධ සටන් පාඨ හරහා මතු කිරිමට කරන උත්සාහයට රටේ පැවත්මක් නැති බව වීරවංශලා තේරුම් ගෙන සිටිති. ඔවුන් මල්වතු මහ නාහිමියන් බැහැ දැකිමට ගියේ ආශිර්වාද ලබා ගැනීමටම නොවේ. මොකක් හෝ අවුලක් හෝ හදා ගැනිමටය. මුහුණ පොත හරහා සිද්ධ කළේ ඒ ටිකමය.

රාජපක්‍ෂවාදිහූ තම පටු දේශපාලන උවමනා මත සිංහල බෞද්ධ මතය ඇවිස්සිමට උතුරේ බුදු පිළිම කඩා විනාස කරන බවට, රණවිරු දඩයමක් පවත්නා බවට, දෙබිඩි අධිකරණයක් ස්ථාපිත කරන බවට බෞද්ධ භික්‍ෂුන් නව රජය යටතේ සිර භාරයට ගන්නා බවට චෝදනා කරති. එහෙත් රාජපක්‍ෂ යුගයේ මධ්‍යම පළාතේ කොත්මලේ මහවැලි සෑය අසල කඩදොර ශාඛ්‍ය මුනි ධර්ම ගවේසි ආරණ්‍ය සේනාසනය බිමට සමතලා කළහ. දඹුල්ල වෑවලවැව ශී‍්‍ර සම්බෝධි විහාරය අනවසර ඉදි කිරීමක් බවට දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් ලවා අධීකරණ නියෝගයක් ලබා ගත්හ. රාජපක්‍ෂ අනුගාමිකයන් දකුණේ අබෞද්ධ සිද්ධස්තාන ඉදි කිරිම් වැළකූ හැටි සිහි නො කරති. බෞද්ධයන් ශූන්‍ය උතුරු ප‍්‍රදේශයේ සිද්ධ වන්නේ මේ සිද්ධිවල ප‍්‍රතිකි‍්‍රයාව මිස ඊළම් සටනක් නොවේ. තිස් අවුරුදු යුද කලයේ හෝ කැලෑබද බෞද්ධ නටඹුන් විනාශ කළ කෙනෙක් නැත.

යහ පාලන රජය බෞද්ධ භික්‍ෂුන් සිරගත කරන බවටද චෝදනාවක් නැගිණ. ආණ්ඩුව ඊට ප‍්‍රතිකි‍්‍රයා දක්වමින් නිල ප‍්‍රකාශයක් නිකුත් කළේය. ඒ අනුව සිර භාරයේ පසුවන බෞද්ධ භික්‍ෂන් 49 දෙනෙකි. එයින් 40 දෙනෙකුට ඇත්තේ ළමා අපචාර චෝදනා සහ නිදන් හෑරීම් පිළිබඳ චෝදනා වෙති. භික්ෂුන්ගේ මේ අභව්‍ය හැසිරීම පිළිබඳ ලෝකයට හෙළිදරව් වුණේ මේ බොරදියේ මාලූ බෑම නිසාය.

ආගම් ඇදහිලි සහ පූජ්‍ය පුජක ප‍්‍රජාව ප‍්‍රාණ ඇපයට තබා හැඟීම් අවුස්මින් දේශපාලන කිරිම බරපතල අපරාධයකි. මල්වතු මහ නා හිමියන්ට අවලාද නැගීමට කාදිනල් වරයා පටලා ගැනීමේ ප‍්‍ර‍්‍රතිපලය කාදිනල් මහණ කර බුද්ධාගම භාරදෙන ලෙස යෝජනා කිරිමය. මේ තත්වය බෙහෙවින් ඛේදජනකය. රාජපක්‍ෂ වාදීහු මේ නැහැදිච්ච දේශපාලනය වහා නතර කළ යුතුව ඇත. මහින්ද රාජපක්‍ෂ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි දේශපාලන පක්‍ෂ විනාස කර හමාරය. ඔහු ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර ගොඩ නැගෙන අන්‍යොන්‍ය අවබෝධයට වින කටිමින් සිටියි. මහින්ද රාජපක්‍ෂ සියවස් ගණනක් පැරණී ඓතිහාසික මල්වතු අස්ගිරි පාර්ශවික සම්බන්ධතා මේ වනවිට පලුදු කර හමාරය.

සරත් පොන්සේකා අත් අඩංගුවට ගැනිමට එරෙහිව රටේ ජනතාව කැළඹීණ. පැවති රාජ්‍ය මර්ධනය නිසා ජනතාව වීදි බැස්සේ නැත. එහෙත් මල්වතු මහ නා හිමි ඓතිහාසික මහ මලූවට මහා සංඝ සභාවක් රැුස්කර පොන්සේනා වෙනුවෙන් කරුණු දැක්විමට සූදානම් කළහ. නීති විරොධිව අලියෙකු තබා ගැනිම සහ සංඝාවාසයක් බලහත් කාරයෙන් අල්ලා ගත් බවට චෝදනා කෙරෙන ප‍්‍රසිද්ධ භික්‍ෂුවක් ලවා සංඝ සභාව කැඳවූවොත් නව නිකයක් පිහිටුවන බවට තර්ජනය කරවීය. සරත් පොන්සේකා සිර භාරයට පත්විම ශාසනික කි‍්‍රයාවක් නොවේ. දේශපාලනයට වඩා නිකාය සමගිය යහපතැයි කල්පනා කළ මල්වතු පාර්ශ්වය නිහඬ වුනාට සැක නැත. එසේම තම වාසියට සංඝ හේද කළ සාපයෙන් රාපක්‍ෂට මිදිය නොහැකිය. ශාසන ඉතිහාසය පුරා පාලකයන්ට කරුණු කීමට විරෝධය පෑමට භික්‍ෂුන්ට පැවතියේ සුද්ධ අයිතියකි. එදා තම අනුගාමි භික්‍ෂුන් ලවා රාජපක්‍ෂ ඒ යටපත් කළේ භික්‍ෂුව සතුව පැවති ඒ සුද්ධ අයිතිය යි. රාජපක්ෂ අනුගාමි භික්‍ෂුන් පසුගිය කාලයේ නව නිකායක් පිහිටුවන බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේද මහින්ද රාජපක්‍ෂ වෙනුවෙනි.

දේශපාලනයට භික්‍ෂුව ඍජුව ඈඳා ගැනීම ගෙවුන දශක දෙක තුල වේගවත්ව සිදුවිය. ඒ නිසා බොහෝ නිකායික අනන්‍යතාවයන්ට හානි සිදුවිය. මෙහිදි නීතිඥ විජේදාස රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් සමග කළ රූපවාහිනි සංවාදය සිහිපත් කළ හැකිය. එහිදි නීතිඥ රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ කතිකාවත අනුව නිකායික භික්‍ෂුවට දේශපාලනය අකැප නොවේදැයි විමසීය. එය නිකාය සහ තමන් අතර, ගිවිසුමක් පමණක් බව උන්වහන්සේ කීහ. මේ උපුටා දැක්විමෙන් යම් අපහසුවක් වී නම් පළමුව සමාව අයැද සිටිමි. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකය පාර්ශ්ව හෝ වෙනත් කොටස් වලට නොබෙදි පවත්නා එකම නිකාය වේ. ඒ 26 පාර වසා තබනවාට මල්වතු මහ නා හිමියන් කැමති බවට නියන්ගොඩ විජිත සිරි නා හිමි කළ අසත්‍ය ප‍්‍රකාශය කළේද මහින්ද රාජපක්‍ෂ වෙනුවෙනි.

රත්ගම සමිත භික්‍ෂුව අපරාධ වැරදි සඳහා මහාධීකරණ අධිකරණයෙන් අධී චෝදනා ලත් චුදිතයෙකි. මල්වතු පාර්ශ්වය ඒ භික්‍ෂුවට දීමට අකමැතිවූ ශාසනික වටිනාකම අස්ගිරි පාර්ශ්වයෙන් නිර්ලෝභීව පිරි නැමිණ. එය නිකායාන්තර එකඟතාවන්ට අනනුකූල ය. එය සිදුවුණේ රාජපක්‍ෂ දේශපාලනය නිසාය යන්න ප‍්‍රසිද්ධ රහසකි. අද ඒ භික්‍ෂුවගේ කි‍්‍රයා සම්බන්ද වගකීම් මල්වතු පාර්ශ්වයෙන් ඉවත්ව අස්ගිරියට පැවරී ඇත. සංඝ සමාජ පාලනයේදි මහා සංඝයා වහන්සේ නිකායාන්තර එකඟතාවන්ට අනුකූල වී නම් රත්ගම සමිත භික්‍ෂුවගේත් අස්ගිරි පාර්ශ්වයේත් සඟ සසුනේත් ගෞරවය ආරක්‍ෂා වීමට ඉඩ තිබිණ. උදාහරණ සහිතව විස්තර කළ සියලු සිද්ධි නිකායික කතිකාවත් සම්බන්ධව ව්‍යුහාත්මක නිල වගකිමක් නොමැති වීමේ ප‍්‍රතිපල වෙති.

පිළිගත් ශාසනික හා නිකායික කතිකාවත් බොහෝ වෙති. ඒවා කි‍්‍රයාත්මක කෙරෙන විධීවිධාන නැත. ඊට පිළියම් ත්‍රෛයිනිකායික මහා සංඝ සභා බොහෝ වෙහෙස ගත්හ. ඒ උත්සාහය ථේරවාද පනත් කෙුටම්පතේ විකෘතින් නිසා අසාර්ථක විය. ඊට උචිත අන්තර් නිකායික කතිකාවතට ඉඩ ද ඇහිරිණ. මහින්ද රාජපක්‍ෂ කීවේ ථේරවාද පනත සම්මත වුනොත් පැවිදි විමට කෙනෙකු සොයාගත නොහැකිවන බවය. අවශ්‍ය පිළිවෙත් පිරි භික්‍ෂු පිරිසක්ද? සංඛ්‍යාත්මක වර්ධනයක්ද? මෙය තීරණය කළ යුත්තේ මහා සංඝයා මිස මහින්ද රාජපක්‍ෂ නොවේ. කතිකාවත් නෛතිකව පිළි ගන්නා ලෙස කළ ඉල්ලීමට මහින්ද තම පාලන කාලයේ කිසිදු පියවරක් ගත්තේ නැත. යහ පාලනය එකි ඉල්ලිම ථේරවාද පනත ලෙස ඉදිරිපත් කළ පසුව ඊට එරෙහි විය. මෙහිදි අස්ගිරි විහාර වංශික ප‍්‍රාදේශීය සංඝයා වහන්සේ එක්ව එකී ථේරවාද පනත මහින්ද වෙනුවෙන් ප‍්‍රතික්‍ෂේප කළා මිස, ඊට සංශෝධන ගෙන ඒමට කි‍්‍රයා කළේ නැත.

සියලු සංඝයා වහන්සේ යම් නිකායන්ට අයිති වෙති. සෑම නිකායක් විසින්ම පාලන කතිකාවත් අනුගමනය කරමින් සිටිති. එහෙත් සංඝ සමාජය හුදෙකලාව සමාජය තුල බරපතල භූමිකාවන් නිරූපනය කරමින් සිටිති. සුපේශල ශික්ෂාකාමි විධග්ධ යති වරයෙකු ලෙස සම්භාවිත ඕමල්පේ හාමුදුරුවන් වහන්සේගේ ප‍්‍රකාශය මේ තත්වය සහතික කරයි. ප‍්‍රසිද්ධ ස්ථානවල විරෝධතාවලදී වර්තමාන භික්‍ෂුන්ගේ හැසිරීම ගිහියන්ගේද සමච්චලයට ලක්වේ. ඒ අලජ්ජී නිර්භීතකම කම භික්‍ෂුත්වය චීවරය හරහා උපයා ගත්තකි. එහෙත් භික්‍ෂුව ස්වකීය වගකීම තේරුම් ගෙන කි‍්‍රයා කරයි නම් නිකාය, නිකායික කතිකාවත් හෝ භික්‍ෂුත්වයට කිසිදු පලූද්දක් අවුලක් අවමානයක් සිදු නොවනු ඇත. ඒ සඳහා භික්‍ෂුන් එක්ව තිරණ ගනු මිස පඩංගු දේශපාලනඥයන් සමග තිරණ නොගත යුතුවේ.

ව්‍යවස්ථාව සහ බුද්ධාගම අතර, තත්වය ගැන මහා සංඝයා රැුස්ව යම් ඒකමතිකව ප‍්‍රකාශයක් කළා නම් විමල් වීරවංශට මල්වතු විහාරයන් යා යුතු නැත. නිකායික කතිකාවත් නීතියෙන් පිළිගෙන තිබුණා නම් මාධ්‍ය සමාජය භික්ෂුන් චිවරධාරින් ලෙස හඳුන්වන්නේ නැත. මත්පැන් බි වාහනයක් පදවා මිනිසෙකු යටකොට රජයට දඩ ගෙවූ භික්‍ෂුවකට සමාජය හිනැස්සීමට ලැබෙන්නේ නැත. පක්‍ෂ දේශපාලනයෙහි විසම්මතික භික්‍ෂුන්ට වෙනම නිකා පිහිටුවන කතා කීමට අවසර ලැබෙන්නේ නැත. කාදිනල් වරයා බුද්ධාගම රකින බවට ප‍්‍ර‍්‍රකාශ කරන්නේ නැත. මේ බොරදියේ මාලු බෑම වහා නතර විය යුතුවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.