26 October, 2020

Blog

ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනික කරණය

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව පිළිබඳ සටහනකි

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ජේ.ආර්. ඇරඹූ මගෙහි අපි ඉදිරියට යමු! – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ” යනුවෙන් පළ කොට ඇති ලිපිය අගමැතිවරයා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමක දී කළ කතාවකි.

මෙම කතාවේ එන අදහස් අර්ධ න්‍යායික වෙසින් ඉදිරිපත් කරන දේශපාලන අලංකාරිකයකි. මෙහි දී ආසියාතික කලාපයේ රටවල ඉතා සංකීර්ණ ආර්ථික සංවර්ධනයේ ඉතිහාසය ආර්ථික නිර්බාධ කරණය පිළිබඳ සරල සූත්‍රයකට ලඝු කරන්නට දැරෙන උත්සාහය ප්‍රශ්න කළ යුතු ය.

ආසියානු කොටින්, කාර්මික කරණය සහ රජය

ආසියානු කොටින් වශයෙන් විවිධ සමූහකරණයන් ඇතුළත නම් කෙරෙන හොංකොං, දකුණු කොරියාව, සිංගප්පුරුව, තායිවානය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල අපනයන සහ කාර්මික කරණය නිසාවෙන් ආර්ථික සංවර්ධනය අත් පත් කර ගත් රටවල් ය. බ්‍රිතාන්‍ය විජිතයක් ව පැවති හොංකොං හැරුණු විට මේ අන් කිසිදු රටක් නිදහස් වෙළෙඳ පොළ ආර්ථිකයක් වීම සමීපයට පවා නො පැමිණියේ ය. ඒ සියල්ලේ ම ආර්ථිකයට මඟ පෙන්වීමේ සහ සම්බන්ධීකාරක භූමිකාවක් රාජ්‍යය ඉටු කළේ ය. මේ රටවල රජය ආර්ථික සංවර්ධනයෙහි ලා තීරණාත්මක මැදිහත් වීම් කළේ ය. (හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කරණය පිළිබඳ ජෝන් එෆ් කෙනඩි පාසලේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය පිළිබඳ මහාචාර්ය ඩානි රොඩ්රික්, Global Poverty Amid Global Plenty: Getting Globalization Right) මෙම රජයේ භූමිකාව ආර්ථික වර්ධනයට බල පෑ ආකාරය තීරණය කරන ඒ ඒ රටට සුවිශේෂ අභ්‍යන්තර සාධක, එනම් ප්‍රධාන කොට ම පන්ති සාධක තිබුනි.

ජාතික නීති වලින් නිදහස් ව විදේශීය ආයෝජකයන් රට තුළට කැඳවන ආසියාවේ පළමු විශේෂ ආර්ථික කලාප 1965 දී අරඹන ලද්දේ ඉන්දියාවේ ය. සිංගප්පූරුව නිර්බාධ ආර්ථිකය වැළඳ ගන්නේ 1960 ගණන් වල සිට ය. ඒ ලංකාව එසේ කරන්නට බොහෝ පෙර ය. චීනයේ පළමු නිදහස් වෙළෙඳ කලාපය ඇති කළේ ෂැංහයි වල නොව 1980 දී හොංකොං සමීපයේ පිහිටි ෂෙන්ජෙන් නගරයේ ය.

මේ හැම රටක ම ආර්ථික සංවර්ධනය ඒ රටවල කම්කරු පන්තිය අමානුෂික, දැඩි සූරාකෑමකට ලක් කිරීම මත පදනම් වී ය. අදත් චීනයේ ආර්ථික සංවර්ධනය යටතේ එරට දුගී පන්තීන් සූරාකෑමට ලක් වන අයුරු පිළිබඳ වාර්තා සුලබ ය. තවද, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පරිසර දූෂණයට ඉඩ සැලසීම හේතුවෙන් චීනය එරට පරිසරයත් සමස්ත වායු ගෝලයත් අතිශයින් දූෂිත කිරීම අද ලෝකයේ ම අවධානයට ලක් වූ කරුණකි. (බලන්න, How China Is Screwing Over Its Poisoned Factory Workers /, Sweatshops in China  )

එමෙන්ම දැනටමත් අප සඳහන් කොට ඇති පරිදි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවති හොංකොං හැරුණු විට මේ හැම රටක ම පාහේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් එරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දැඩි ලෙස මර්දනය කරනු ලදී.

ඉන්දියාව සහ චීනය ආර්ථික සංවර්ධනය අත්පත් කර ගත්තේ හුදෙක් ජේ.ආර්.ජයවර්ධන මොඩලය යැයි රනිල් කියන වෙළෙඳ පොළ ආර්ථිකයේ පදනම මත යැයි කීම සංකීර්ණ යථාර්ථයක් අති සරල කිරීමකි. ආසියාවේ 2050 වන විට ලෝකයේ ආර්ථික බලවතා වන්නේ යැයි ද එහි මුල් පියවර තැබුවේ ජෙ.ආර්. ජයවර්ධන මහතා යන රනිල් ගේ තර්කය ද හුදු දේශපාලන අලංකාරිකයකි.

චීනය සහ ඉන්දියාව දේශපාලන වශයෙන් එකිනෙකෙන් බරපතළ ලෙස වෙනස් ය. දෙවනු ව මේ රටවල් දෙක ම තම ආර්ථිකය ගෝලීය වෙළඳ පොළට විවෘත කළේ ඉතා පරිස්සමින් තමන් ගේ ආර්ථිකයට වාසි වන ලෙස මිස Let the robber barons come! යැයි ‘ඕන ධනපතියෙක් ඇවිත් අපේ සම්පත් රිසි සේ කොල්ල කා ගනිල්ලා!’ යනුවෙන් ජේආර් ලංකාවේ ආර්ථිකය ගෝලීය සූරා කෑමට විවෘත කළ ආකාරයෙන් නොවේ. එම රටවල් වෙළෙඳ පොළට ආර්ථිකය විවෘත කරන විටත් කර්මාන්ත කරණයක් අත් පත් කර ගෙන සිටියේ ය. ඒ, චීනය නම් රාජ්‍ය මූලික ව ය, ඉන්දියාව පෞද්ගලික අංශය මෙන් ම රජය ද මැදිහත් වීමෙනි.

සමාජවාදය ද? වෙළෙඳ පොළ ද?

මෙම කතාවෙහි හරය ජනාධිපති ජේ. ආර්. මෙරට ඇරඹූ වෙළෙඳ පොල මුල් කර ගත් ආර්ථික සංවර්ධන වැඩ පිළිවල අප ඉදිරියට ම ගෙන යා යුතු ය යන්න යි. ඒ සඳහා සමාජවාදය පිළිබඳ අදහස ඉවත ලෑමට ඔහු තර්ක ඉදිරිපත් කරයි. රනිල් ගේ අරමුණ සමාජවාදය යන අදහස අපකීර්තියට ලක් කිරීම බව පෙනෙයි.

රනිල් සමාජවාදය යැයි කියන්නේ රාජ්‍ය මූලික ආර්ථික සංවර්ධන වැඩ පිළිවලට ය. ඉන්දියාවේ එවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණි. යටත් විජිත සමයේ ඉන්දියාවේ නව කාර්මික කරණයක් සිදු වූයේ නැත. ඉන්දියාව ලොව නම් දරා සිටි කපු කර්මාන්තය විනාශ කොට දැමීම ඉන්දියාව තමන් ගේ ග්‍රහණයට ගැනීම තුළින් බ්‍රිතාන්‍යය සාක්ෂාත් කර ගත්තේ ය. නිදහසින් පසු ඉන්දියාව රාජ්‍ය කේන්ද්‍රීය උපාය මාර්ගයක් යටතේ කාර්මික සංවර්ධනයක් අත් පත් කර ගත්තේ ය. ඉන්දියාව අද වන විට තම ආර්ථිකය ශක්තිමත් ලෙස ගොඩ නඟා ගැනීමට සමත් වී ඇත්තේ එම කාර්මික කරණයේ පදනම මත ය.

රනිල් ට අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වෙනු දකින්නට ය. ඔහු ආර්ථික සංවර්ධනය ගැන සඳහන් කරන විට ඒ සඳහා යොදා ගන්නා උපාය මාර්ග වල ඇති හානිකර පාර්ශ්වය සාකච්ඡා කිරීම අමතක කරයි. උදාහරණයක් වශයෙන් හරිත විප්ලවය අස්වැන්න ඉහළ නංවා ලන අතරම ජෛව පරිසරයට කළ හානිය අති විශාල බව ඔහු අමතක කරයි. හරිත විප්ලවය කැටුව රසායනික පොහොර සහ කෘමි සහ කෘෂි නාශක අධික ලෙස භාවිතය ද ඒ පසුපස සෞඛ්‍යයට හානි කරන ලෙඩ රෝග ද ඇති වී ය. අද අපි නැවතත් කාබනික ගොවිතැන සොයා ආපසු යමින් සිටිමු.

ෂෙනොයිගෙන් නො ගත් උපදෙස

සම්භාව්‍ය ලිබරල් ආර්ථික විද්‍යාඥ ෂෙනොයි නිර්බාධ ආර්ථිකයක් සඳහා උපදෙස් ලබා දුන් බව සත්‍යයකි. (ඉන්දියාව පිළිබඳ කරුණේ දී රජය මුල් වී කරණ කාර්මික කරණයට ඔහු විරුද්ධ වූයේ එය අනාගත පරම්පරාවේ පාරිභෝජන ශක්‍යතාව නංවාලීම වෙනුවෙන් වත්මන් පරම්පරාවේ පාරිභෝජන හැකියාව කප්පාදු කිරීමක් ලෙස සළකමිනි.) නමුත් ඒ සමගින් ම ඔහු දුන් තවත් වැදගත් උපදේශයක් විය. සමාජයේ ආදායම් ව්‍යාප්තියේ වර්ධනය වෙමින් පවතින අසමානතාව ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ බරපතළ කාරණයක් බවත් එය දේශපාලන වශයෙන් ගැටලු සහගත විය හැකි බවත් එහෙයින් ප්‍රධාන ප්‍රතිපත්තිමය අරමුණක් විය යුත්තේ බහුජනයාගේ ජීවන මට්ටම වල පහත වැටීම නවතා කඩිනමින් මෙම ප්‍රවණතාව ආපසු හැරවීම බවත් ඔහු කියා සිටියේ ය. ඒ 1960 ගණන්වල ය. ( W.A Wijewardena ) එකල එජාප රජය මෙන් ම 1977 දී බලයට ආ ජේආර් ජනාධිපතිගේ රජයත් ෂෙනොයි පෙන්වා දුන් මෙම කරුණ නො සලකා හැරියේ ය.

1970-77 පාලන සමය පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක් සඳහන් කළේ සම්ප්‍රදායික අපනයන භාණ්ඩ වූ තේ, රබර් සහ පොල් වලට ලෝක වෙළෙඳ පොලේ මිල පහත වැටී තිබුණු තත්වයක් යටතේ 1950ස් ගණන් වල සිට පිරිහෙමින් තිබුණු වෙළඳ ශේෂය නිසා 1960 ගණන් වල සිට රජයයන් වෙළෙඳ පොල හැසිරවීමට පෙලඹුණු බවයි.

1970-77 පාලන සමය තුළ අපනයන ආදේශන ආර්ථිකයක් සහ දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටවීම සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරන ලදී. එම ආවෘත ආර්ථිකය මිරිස්, ලූනූ, දුම් කොළ වැනි අලෙවි බෝගවල ප්‍රධාන ආර්ථික උත්පාතයක් උදා කළේ ය. ආචාර්ය නිව්ටන් ගුණසිංහ මෙම පාලනය හැඳින්වූවේ සමාජවාදී පාලනයක් ලෙස නොව රාජ්‍ය ධනවාදය වර්ධනය කිරීමට ගත් උත්සාහයක් ලෙසිනි ( Economic Review, November 1990).

සාමාන්‍ය කම්කරු නීති හකුළා දැමීම

ජේආර් නිදහස් වෙළෙඳ කලාප රටේ පැවති සාමාන්‍ය කම්කරු නීති වලින් නිදහස් කොට ඒවා ධනවාදී ‘පොකට්’ බවට පත් කළේ යැයි රනිල් පවසයි. රටේ පැවති සාමාන්‍ය කම්කරු නීති රීති සමාජවාදයේ නීති යැයි කීමෙන් සමාජවාදය පිළිබඳ අදහසත් සාමාන්‍ය කම්කරු අයිතිවාසිකමුත් දෙක ම හෑල්ලුවට ලක් කිරීමේ උත්සාහයක් දැකිය හැකි ය. එම නීති රීති මෙරට ජනතාව අධිරාජ්‍යවාදී යුගයේ සිට සටන් කොට ඉමහත් කැප කිරීම් මධ්‍යයේ දිනා ගත් ඒවා ය. දැන් තමන්ට බලය ලැබී ඇති විට ජේආර් ගේ වැඩ පිලිවල ඉදිරියට ගෙන යා යුතු යැයි රනිල් අවධාරණය කරන විට මෙරට කම්කරු නීති රීති වලට රනිල් අත අනාගතයේ කුමන ඉරණමක් අත් වනු ඇත් දැයි මෙයින් කියවෙයි.

මුළු රට ම වෙළඳ පොළ ආර්ථිකය වැළඳ ගෙන තිබේ ද?

අද ඒ වෙනස නැති අතර මුළු රට වෙළඳ පොළ ආර්ථිකය වැළඳ ගෙන ඇතයි රනිල් කියයි. මෙය සත්‍යයක් ද? පසු ගිය හතළිස් වසර පුරා ලංකාවේ වෙළෙඳ පොළ ආර්ථිකය ව්‍යාප්ත වූ බව සැබෑ ය. නමුත් ජේආර් ආරම්භ කළ විවෘත ආර්ථිකය ගෙන ගිය එජාප ආණ්ඩුවේ බලය1994 දී චන්ද්‍රිකාට පවරමින් ජනතාව විවෘත ආර්ථිකයට තම විරෝධය පල කළහ. ඇය බලයට ආවේ ‘මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකයක්’ යන සටන් පාඨය ද සමගිනි. ඉන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපති වූයේ ද විවෘත ආර්ථිකය අසාර්ථක යැයි ප්‍රසිද්ධියේ පිළිගනිමිනි. 2015 දී මෛත්‍රීපාල සිරිසේන බලයට එන්නේ “සැමට මානව ගරුත්වය සහිත ව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුබසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහල මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවා වන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම” සහ “ආර්ථීකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම” වැනි යෝජනා වලට මෙරට බහුජන සංවිධාන 49 ක් සමග ප්‍රසිද්ධියේ සම්මුතියකට එළඹෙමිනි. රනිල් වික්‍රමසිංහ ද එජාප නායක වශයෙන් එම ගිවිසුමට අත්සන් තැබූ බව ඔහුට දැනට ම අමතක වී ඇත් ද? සුබසාධන රාජ්‍යය යනු සමාජවාදය ද?

‘1977න් පසු ජේආර් ආරම්භ කළ කිසි දෙයක් ඉන් පසු බලයට පත් ආණ්ඩු ආපසු හැරෙව්වේ නැතැ’යි යන්න පිටුපස ඇත්තේ ඒ සමගින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බටහිර රටවලින් ලැබුණු ණයට ලංකා ආර්ථිකය ගැට ගැසීමෙන් ගැළවීමට කිසිම ආණ්ඩුවකට නොහැකි වීය යන කරුණ යි. නමුත් මෙරට ජනයාගෙන් විවෘත ආර්ථිකයට එල්ල වූ බරපතළ විරෝධතා හේතුවෙන් හැම මැතිවරණයක දීම විවෘත ආර්ථිකය හීලෑ කිරීමට පොරොන්දු වන සටන් පාඨ (මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකය – චන්ද්‍රිකා, පෞද්ගලික අංශය සමග තරඟයට රාජ්‍ය අංශය – මහින්ද, සමාජ වෙළෙඳ පොළ ආර්ථිකය -රනිල්) ඉදිරිපත් කිරීමට දේශපාලනඥයන්ට සිදු වීය.

විවෘත ආර්ථිකය සහ ඒ සමග ගෙන ආ දේශපාලන වැඩ පිළිවල නිසා මෙරට සමාජ දේශපාලන දේහයට සිදු වූ බරපතළ හානිය වෙනම සාකච්ඡා කළ යුතු පුළුල් මාතෘකාවකි. ජොනතන් ස්පෙන්සර් සඳහන් කළේ ජේආර් ගේ ‘විවෘත ආර්ථිකය’ දියත් කොට දශකයකින් ලංකාව ඝාතක කණ්ඩායම් සහ අතුරුදහන් වීම් සහිත ස්ථානයක් බවට පත් වූ බවයි. උතුරේ එල්ටීටීඊ ය ඉන්දියානු සාම සාධක හමුදාව සමග සටනෙහිත් දකුණෙ ජවිපෙ රජය සමගත් සටනෙහි නිරත වී සිටිය හ. මික් මුවර් ඉදිරිපත් කොට ඇති තර්කයක් නම් විවෘත ආර්ථිකය යටතේ රජය හකුළනවා වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ආධාර අනුග්‍රහයෙන් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සහ මහජන සංදර්ශන හරහා දේශපාලනඥයන් සහ ඔවුන්ට සම්බන්ධකම් ඇති අය තර වූ බවයි. ( බලන්න)

ජේආර් විවෘත ආර්ථිකය ස්ථාපිත කරනු වස් මෙරට කම්කරු ව්‍යාපාරයට දැඩි මර්දනයක් එල්ල කරමින් 1980 වැඩ වර්ජනයෙන් කම්කරුවන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කරමින් ඔවුන් 20,000කට රැකියා අහිමි කළේ ය. ඔහු ගේ ව්‍යාපෘතිය විවේචනය කරමින් ධර්මිෂ්ඨ සමාජය නමින් පොතක් ලියූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ට සහ මාදුළුවාවේ සෝභිත හිමිට ජාතික සේවක සංගමයේ මැරයන් ලවා පහර දී කාණුවට දැමුවේ ය. විධායක ජනාධිපති ක්‍රමය ඇති කොට දේශපාලන බලය තමන් අතට ගොනු කොට ගෙන පාර්ලිමේන්තුව හෑල්ලු කළේ ය.

තමන් ගේ ආණ්ඩුවල පැවැත්ම අවදානමට තබමින් දේශපාලනඥයන් වටහා ගැනීම ප්‍රතික්ෂේප කරන කරුණක් බව පෙනෙන්නේ වැදගත් වන්නේ රටක ආර්ථිකය මෙහෙයවන්නේ වෙළෙඳ පොල ද රාජ්‍යය ද යන්න නොව එම දෙඅංශයෙන් කුමක් වුව කුමන අරමුණක් සඳහා යොමු කරන්නේද යන්න බවයි. රටක පොදු යහපත යනු තනි පුද්ගලයන් ගේ යහපත යනුවෙන් වටහා ගත හැකිය, එසේ නොව පොදු යහපත යනු සාමුහික යහපත ලෙස සළකා කටයුතු කළ හැකිය. මෙයින් දෙවැන්න අප අනුගමනය කරන්නේ නම් අවශ්‍ය වන්නේ ඒ සඳහා දෙන ලද ක්ෂේත්‍රයක සාමුහික යහපත අත් කර ගැනීමට රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශය දෙකම කුමන ආකාරයෙන් යොදා ගැණෙන්නේද යන්න යි. වෙළෙඳ පොළ තර්කනය ආර්ථිකයේ මූලෝපාය ලෙස කල් තබා නිශ්චය කිරීම පිළිගන්නේ පොදු යහපත යනු තනි පුද්ගලයාගේ යහපත බවයි. ඒ යටතේ සාමුහික යහපත දෙවැනි තැනට වැටෙයි.

ආර්ථික සංවර්ධනයට උත්සුක වීමේ දී නව ලිබරල්වාදී චින්තනය අමතක කරන දේශපාලන කරුණක් තිබේ. ඒ මෙසේ ය: සමාජයක් සැදුම් ගන්නේ බහුවිධ යථාර්ථයන් අති විශාල සංඛ්‍යාවක එකතුවකිනි. සමාජ පංති, සමූහ සහ කණ්ඩායම් ද ඊට අයිතිය. ආණ්ඩුවක් බලයට එන්නේ එබඳු සමාජ පදනමකිනි. ආණ්ඩුවක් සියලු සමාජ කොටස් වලට සාධාරණ ව සේවය කළ යුතු වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ එසේ නො කරන ආණ්ඩුවක පැවැත්ම කෙටිය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.