26 April, 2024

Blog

අර්ජුන මහේන්ද්‍රන්ද තවත් රජයේ සේවකයෙකි

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ අර්බුදය නිමවූ බව පෙනේ. එය එසේ වූවා නම් යහපත්ය. එය එසේ වූවා නම් යහපත්ය යයි කියන්නේ ප‍්‍රශ්නය තවත් ඇදෙමින් පවත්නා නිසා නොවේ. රටක් දිනාගත් ජයග‍්‍රහණයක් මෙවැනි පුද්ගල බද්ධ ප‍්‍රශ්නයක් මත අර්බුදකාරි තත්වයකට තල්ලූවිම හානිකර හෙයිනි. කලකට ඉහත එංගලන්තයේ ආරක්‍ෂක ඇමතිට වහා ඉල්ලා අස්වීිමට සිදුවිය. කාරණය ප්‍රොපියුමෝ නම් ගණිකාවක හෝ නම කැත කරගත් කාන්තාවක සමග පැවති සම්බන්දය එළිවිම නිසාය. වෝටර් ගේට් සිද්ධිය අමෙරිකාවේ හොඳනම කෙලෙසූ බරපතල දේශපාලන අපචාරයක් විය. එහි ප‍්‍රතිපලය ලෙස 1974 අගෝස්තු 9 වෙනි දින අමෙරිකා ජනාධීපති සිය තනතුරෙන් ඉල්ලා අස්විය. මේ කියන්ට හදන්නේ අර්ජුන මහේන්ද්‍රන්ද ඒ විදියට අස්වුනා නම් යහපත්ය කිමට නොවේ. ඉහතින් උපුටා දැක්වූ සියල්ලෝම දේශපාලනඥයන් වෙති. මෙහිදී ප‍්‍රශ්නය වන්නේ අර්ජුන මහේන්ද්‍රන්ට කැමති තීරණයක් ගැනීමට ඉඩ සැලසෙන තෙක් අපේ දේශපාලනඥයන් බලා සිටිමය. රටකට පාලනයක් අවශ්‍ය වේ. හරි හෝ වැරදි හෝ පාලනයක් හෙවත් කොන්ට්‍රෝල් එකක් තියා ගැනීමට මහින්ද රාජපක්‍ෂ සමත් විය. වර්තමාන පාලකයන් තම ගෞරවය සහ රටේ ගෞරවය පටලාගෙන සිටිති. අර්ජුන මහේන්ද්‍රන්ට තීරණයක් ගැනිමට ඉඩ දීමෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව රාජ්‍ය පාලනයෙන් බැහැරව ඇති හැටියකි. එසේම ස්වාධීන ආයතන ලෙස ප‍්‍රකට ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව පමණක් නොව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවා රටේ නීතියට සිනාසෙමින් සිටිත්.

ලංකාව ලෝකයේ රටකි. ඒ නිසා අප ලෝකය සමග සිට ගැනිමට නම් ලෝකයෙන් කොටසක් විය යුතුවේ. ලෝකයෙන් එකෙක් විම සහ ලෝකයෙකු වීම යනු දෙකකි. ලෝකයෙකු වෙනවා කියන්නේ කැත නමක් ගා ගැනිමය. අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ අර්බුදය හරහා ජනවාරියේ සිට සිහින යහ පාලනය නම් විශිෂ්ඨත්වය අපට අහිමි වෙන්ට ඉඩ තිබිණ. 2016 ජූනි මස 29 වෙනිදා ලංකාවේ ජනාධිපති කෙනෙකු නොසිටියා නම් අර්ජුන මහේන්ද්‍රන් නැවත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධීපති වෙන්න ඉඩ තිබිණීද? මෙය දැන් කල් ඉකුත්ව ගිය ප‍්‍රශ්නයකි. හේතුව එසේ නොවුණ නිසාය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ එක්ව ශී‍්‍ර ලංකා මහ බැංකුවට ගියහ. එසේ ගොස් අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ ආණ්ඩුව ඒකමතික බව මහ බැංකු කාරය මණ්ඩලයට දන්වා සිටියහ. එය කොපමණ ආශ්වාද ජනක අවස්ථාවක්ද? ඒ අනුව තවදුරටත් අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ අර්බුදයක් හෝ බෙදිමක් නැත.

එහෙත් මේ සිද්ධිය අපට අවශ්‍ය යහපත් හැසිරිම ගැන කතා කිරිමට හොඳ අවස්ථාවකි. 1978දී ආරම්භවූ විධායක ජනාධීපති ක‍්‍රමය 38 වසරක් පැරණීය. 1978 පෙර නාමික ජනාධීපති කෙනෙකු ද, 1948 සිට 1972 තෙක් නාමික අග‍්‍රාණ්ඩුකාරයෙකුද විධායක තනතුර දැරිය. ඒ යුගයේ පැවතියේ අගමැති නාමික විධායක තනතුරට උපදෙස් දෙන සම්ප‍්‍රදායකි. එහෙත් නාමික විධායකයා සකි‍්‍රය වූ අවස්ථා තිබිණ. රැුජින රජ කරයි. අගමැති ආණ්ඩු කරයි කියා අපට ඉගැන්වූවේ ඒ නිසාය. ඒ සම්ප‍්‍රදාය රට වෙනුවෙනි. රටේ යහපත වෙනුවෙනි. 1958 ජනවාර්ගික ආරවුල නිසා ලංකාව ගිනි ගැනිණ. එදා නාමික විධායක ආණ්ඩුකාරයා රටේ සකි‍්‍රය ප‍්‍රධානියා විය. ටාර්සි විට්ටච්චිගේ 58 හදිසි අවස්ථාව නම් කෘතිය අනුව අග‍්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඍජුව රටේ තත්වය සන්සුන් කළ බව පෙනේ. එදා අග‍්‍රාණ්ඩුකාර තනතුර යනු එංගලන්තයේ මහ රැුජිණගේ නියෝජිතයා විය. නැවත 1965 මැතිවරණ අවස්ථාවේ රටේ අර්බුදයක් ඉස්මතු විය. එ මහ මැතිවරණ ප‍්‍රතිපලයට පරාජිත පිළේ අගමැති අවනත නොවිමය. හෙවත් හෙවත් ආණ්ඩුව භාර නොදිමය. අගමැති විය යුතුව තිබුණේ ඩඞ්ලි සේනානායකය. බලයෙන් ඉවත්ව නොයා සිටියේ බණ්ඩාරනායක මැතිනියයි. වෙස්මිනිස්ටර් සම්ප‍්‍රදාය අනුව අගමැතිවරිය යන පාටක් නොවීය. මැතිනියගේ වාමාංශීක අනුගාමික පිරිසක් අරලියගහ මන්දිරය වටකොට පෙලපාලි යමින් ආණ්ඩුව භාර නොදෙන ලෙස බල කළහ.

මේ තත්වය තුල රටේ ජයග‍්‍රාහි ජන බලය වීදි බසින තැනට තල්ලු වෙමින් සිටියහ. කරන්නේ කුමක්දැයි ජනාධීපති විලියම් ගොපල්ලව ඩඞ්ලි සේනානායකගෙන් විමසීය. අවශ්‍ය පියවර ඔබතුමා විසින් ගත යුතුවේ. ගන්නා ඕනෑම තිරණයකට මම එකඟ​ය ඩඞ්ලි කිවේ ඒ ටික පමණකි. මෙහිදිි සිහිපත් කළ යුතු යමක් වේ. 1962 රාජ්‍ය විරෝධි හමුදා කුමන්ත‍්‍රණය පරීක්‍ෂණ අනුව, රැුජිනගේ ලංකාවේ නියෝජිත ආණ්ඩුකරයා ඉවත් කළ යුතු බවට ආණ්ඩුවට උපදෙස් ලැබිණ. ඒ අනුව සර් ඔලිවර් ගුණතිලක වෙනුවට විලියම් ගොපල්ලව අග‍්‍රාණ්ඩුකාර තනතුරට පත් විය. විලියම් ගොපල්ලව යනු අගමැතිනියගේ වැඩිහිටි ඥාතියෙකි. විලියම් ගොපල්ලව මහතාගේ දියණියක විවාහවි සිටියේ අගමැතිනියගේ එක කුස උපන් සොහොයුරෙකි. 1965 පශචාත් මැතිවරණ අර්බුදය අප කියැවිය යුත්තේ මේ අවබෝධය ඇතිවය.

අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව කිහිප වරෙක අගමැතිවරිය කැඳවීය. එහෙත් අර්බුදය නො විසඳිණ. තීරණාත්මක අවස්ථාවක අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව පාවිච්චි කළ වචන මාධ්‍ය වේදියෙකු උපුටා දක්වා තිබිණ.

‘‘මම තවත් නාමික විධායක නොවේ. මම බලා ගන්නම්. මේක මගේ රට. එහි ප‍්‍රතිපලය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිහඬව අස්විමේ ලිපිය භාරදිම පමණකි. ඩඞ්ලි සේනානායක 1965 අගමැති වුණේ එහෙමය. නිදහස් ලංකා ඉතිහාසයේ සොල්බරි ව්‍යවස්ථාව අනුව ජනතාව පත් කළ ආණ්ඩුවක ආයු කාලය වසර 5කි. එකී සකල නිල කාලයම රට පාලනය කළ එකම අගමැති වරයා ඩඞ්ලි සේනානායක ය. 1970 මහ මැතිවරණයේදී එජාපය දැඩි පසුබෑමකට ලක් විය. ප‍්‍රතිපල නිකුත් වෙමින් තිබියදීම අගමැති ඩඞ්ලි සේනානායක සිය අස්විමේ ලිපිය අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලවට භාර දුන්නේය.

‘‘ඔය අස්විම තවම මට භාර ගැනිමට නොහැකිය. ඩඞ්ලිගේ අස්විමේ ලිපිය භාර ගැනිම ප‍්‍රතික්‍ෂේප කරමින් අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව ප‍්‍රකාශ කළේ එවැන්නකි.

‘‘සර් මගේ පක්‍ෂයත් මමත් පරාදයි. ඩඞ්ලි සන්සුන් ලෙස එසේ කිය.

‘‘විය හැකියි. එහෙත් තවම ඡන්ද ප‍්‍රතිපල නිකුත් කිරිම අවසන්ව නැත. අවසන් ඡන්ද ප‍්‍රතිපලය නිකුත් වන තෙක් වෙස්ට්මිනිස්ටර් සම්ප‍්‍රදාය අනුව ඔබගේ තනතුර වෙනස් වෙන්නේ නැහැ. මේ හමුවෙන් පැය කිහිපයකට පසුව, අවසන් ඡන්ද ප‍්‍රතිපලය නිකුත් විය. ඒ වහාම ඩඞ්ලි සේනානායක සිය අස්විම භාර දුන්නේය. සර් ඔලිවර් ගුණතිලක 19958 දීද, 1965 දී සහ 1970දී විලියම් ගොපල්ලව යන විශිෂ්ඨයන් දෙදෙනා එසේ කි‍්‍රයා කළේ රට වෙනුවෙනි. මෙහිදී අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව සුවිශේෂී වේ. ඒ ඔහුගේ ඥාති සම්බන්ධකම් ය. විලියම් ගොපල්ලව කිසි විටෙක තම වගකීම් පෞද්ගලික සම්බන්ධතා සමග පටලවා රට අස්ථාවර කිරිමට කි‍්‍රයා කළේ නැත. මෙයට අමතරව මෙතෙක් වාර්තා නොවූ තවත් සිද්ධියක් සටහන් කිරීම වැදගත්වේ.

1970 මහ මැතිවරණයේදී ලග්ගල වාමාංශීක පෙරමුණේ අපේක්‍ෂකයා මොන්ටි ගොපල්ලව විය. ඔහු අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලවගේ බාල පුත‍්‍රයා ය. මේ සිද්ධිමය කාරණාව තම වගකීම් සමග අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලවට ගැටලුවක් විය. ඔහු මේ ගැන ඩඞ්ලි සේනානායක සමග සාකච්ඡා කළේය.

‘‘පුතා ඡන්දය ඉල්ලිම මගේ මැදහත් භාවයට හොඳ නෑ. මම තනතුරෙන් අයින් වෙන්න හිතන්නේ ඩඞ්ලි සිනාසි මෙසේ පිළිතුරු දි ඇත.

‘‘කිසි අවුලක් නැහැ. ඔබතුමාගේ අපක්‍ෂපාත භාවය ගැන අපට ප‍්‍රශ්නයක් නැහැ. මේ කතාබහට පසුව, අගමැති ඩඞ්ලි සේනානායක ලග්ගල මන්තී‍්‍ර පි.ජී. මුතු බණ්ඩා කැඳවීය. ඔහු ලග්ගල එජාප අපේක්‍ෂකයා විය. ඉහත කී සිද්ධිය විස්තර කළ අගමැති ඩඞ්ලි තම අපේක්‍ෂකයාට මෙසේ කීය.

‘‘මන්ත‍්‍රීතුමා ඔබට විරුද්ධව ඉදිරිපත් වෙන්නේ අග‍්‍රාණ්ඩුකාර තුමාගේ පුතා. ඡන්දෙ කරද්දී අග‍්‍රාණ්ඩුකාර තුමා ගැන විවේචන කරන්න එපා. එතුමා රටේ ප‍්‍රධානියා.’’ එය විධානයක් විය. එය එසේම සිදුවිය. මොන්ටි ගොපල්ලව තම අප්පච්චිගේ බලතල මැතිවරණයට යොදා ගත්තේ නැත. ප‍්‍රතිවාදි අපේක්‍ෂකයාගේ ශරීර ප‍්‍රමාණය ගැන විවිධ කතා එජාප වේදිකාවෙන් අසන්නට ලැබිණ. එහෙත් ඔහුගේ පියා ගොදුරක් කර ගත්තේ නැත.

මේ සිද්ධි හරහා ඉස්මතු වන කරුණු කිහිපයකි. පළමුවැන්න මොන සම්බන්දකම් පැවතියද රට වෙනුවෙන් තීරණ ගැනීමට වර්තමාන ජනාධිපති වරයාද සම්ප‍්‍රදායෙන් නීතියෙන් බැඳෙන බවය. දෙවැන්න රටේ පැවැත්ම අර්බුදයකට යා නොදි වළකා ගත හැක්කේ ජනාධිපතිට පමණක් බවය. මේ තත්වය පසුගිය වසර ගණනාවකදී දක්නට නොලැබිණ. නීතිපති දෙපාර්තමේන්තුව තම යටතට ගෙන දුෂීතයන් මුදාහල අප‍්‍රසන්න යුගයක් අප අවසන් කර ඇත. ඉන්දිය අගමැති යාපනේ දුරෙඅප්පා කි‍්‍රඩාංගන උත්සවය දෙස පැය ගණනක් බලා සිටියේ වැඩ නැතිව නොවේ. අල්ලපු රටේ සිදුවූ විශිෂ්ඨ වෙනසට ගෞරවයක් හැටියටය. ඉන්දු ලංකා සබඳතා ඉතා හොඳීන් පැවතියේ බණ්ඩාරනායක පවුල සමගය. අද ඒ බැඳීම ඊටත් එහාට ගොස් ඇති බවකි. අමෙරිකා ජනාධීපති වරයෙකු යැකි ඩිකී ලෙස ප‍්‍රසිද්ධ ජේ.ආර්.ජයවර්ධන ළඟට හෝ පැමිණ කතා කර නැත. මේ කෙසඟ ගැමි පෞරුෂය රටට දී ඇති අපමණ වටිනාකමට නිසි තක්සේරුවක් නොලැබීම රටේ අභාග්‍යකි.

පසුගිය කාලයේ ස්තී‍්‍ර දූෂකයන්ට පල් හොරුන්ට ආරක්‍ෂාව මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම අර්ජුන මහේන්ද්‍රන් හරහා ආණ්ඩුව පෙරළීමට සිහින දකිති. ඒ ව්‍යාපෘතිය සැලසුම් කලේ අජිත් නිවාඞ් කබ්රාල් විසිනි. එහෙත් අජිත් නිවාඞ් කබ්රාල් රට කළ විනාසය ගැන කිසිවෙකු කතා කරන්නේ නැත. ග‍්‍රීසිය නිකුත් කළ බැඳුම්කර මිලට ගැනීමෙන් ලංකාවට රුපියල් කෝටි 700ක් ද හෙජින් ගිවිසුම නිසා ලංකාවට රුපියල් කෝටි 7000ක් ද අජිත් නිවාඞ් කබ්රාල් අහිමි කර ඇත. ඒ ගැන මේ යහ පාලන ආණ්ඩුව ගත් පියවර කවරේද? අර්ථ සාධක අරමුදල යනු සේවක භාරයකි. එහි සංචිත විශ‍්‍රාම වැටුප් අහිමි අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් සතුය. ඔවුන්ගේ දායක මුදල් රුපියල් කෝටි 2800ක් කොටස් වෙළඳ පොළේ ආයෝජනය කොට විනාස කළේ අජිත් නිවාඞ් කබ්රාල් විසිනි. ඊට එරෙහිව එදා උද්ඝෝෂණ මහජන විරෝධා මතුවිය. ඩලස් අලහප්පෙරුමලා ජී.ඇල්. පීරිස්ලා එදා ගොලූව සිටියහ. කතා කළේ නැත. දේශපාලකයන්ට හොර ලේබල් ඇලවීමෙන් පමණක් රටේ දූෂණ නැති කළ නො හැකිය. ඊට සම්මාදන් වූ අජිත් නිවාඞ් කබ්රාල්ලා ලලිත් වීරතුංගලා, පී.බී. ජයසුන්දරලා සොයා යා යුතුවේ. වැරදි තින්දු තීරණ ගත් නිලධාරින්ට අත තැබීමට යහ පාලන ආණ්ඩුව කැමති නැති හැටියකි.

වර්තමානයේ රටේ ආණ්ඩුවක් ඇත. එහෙත් රාජ්‍ය පාලනයක් තිබේද? ඔලිවර් ගුණතිලක, ශී‍්‍රමත් විලියම් ගොපල්ලව ඉටු කළ භූමිකාවන් වර්තමානයේ පැවරී ඇත්තේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන වෙතය. අද කිසිවෙකු රටේ පාලනයක් නැත කීවොත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සිනාසීමෙන් පමණක් ඊට ප‍්‍රතිකි‍්‍රයා නොදක්වා ඒ කතාව විමසා බැලිය යුතුවේ. අර්ජුන මහේන්ද්‍රන් පරීක්‍ෂණ අවසන් වන තෙක් සිටිනවා කියන්නේ මම නැවත එනවා කීමය. මෙය විහිලුවකි. අරාජික තත්වයකි. අනුෂ පැල්පිටගේ වැඩ තහනම් නො කිරීමේ සිද්ධිය තවත් විහිලුවකි. අර්ජුන් මහේන්ද්‍රන් සහ අනුෂ පැල්පිට රාජ්‍ය නිලධාරිහු වෙති. අවසන් තීරණය ගන්නේ වැරදි කළ එකා නම් රටකට නීතියක් අධිකරණයක් පොලිසියක් උවමනා නැත. විධායක ජනාධිපති බලයක් කුමකටද? ආයතන සංග‍්‍රහ මුදල් රෙගුලාසි කුමකටද? යහ පාලනය කියන්නේ හොරුන් බඩ පිනුම් ගසන මඩ වලක් නොවේ. ගිය සතියක රාජ්‍ය පරිපාලන ලේකම් දඩල්ලගේ කළ ප‍්‍රකාශ සති අන්ත පුවත් පත් දෙකක පළවි තිබිණ. ඒ හරහා කියැවුණේ කුමක්ද? පරිපාලන නීති නිර්වචනය කිරිමේ පරම බලය රාජ්‍ය පරිපාලන ලේකම් සතුය වැනි කතාවකි. රාජපක්‍ෂ කාලයේ බදු මුදලින් සිල් රෙදි බෙදමින් සොහොන් බඳීමින් හතරවරං කෙළියේ එහෙමය. රජයේ මුදලින් ඡන්දෙට සිල් රෙදි බෙදීම, රාජපක්‍ෂලාගේ වාසියට සංචාරක මණ්ඩලයේ ඡන්ද දන්සැල් සඳහා පැවැත්වීම, දඩල්ලගේට අනුව නිත්‍යානුකූල රාජකාරි වේ. මේ රට රාජාණ්ඩුවක් යයි දඩල්ලගේ කල්පනා කරනවා විය හැකිය. කෙනෙකුගේ හිස ගසා දමනු කි විට එය රාජාඥාවකි. එය ඉටු කරන්නේ වදකයාය. නොකළොත් වදකයාගේ බෙල්ල යනු නියතය. එහෙත් පේ‍්‍රමවතී මනම්පේරිට වෙඩි තැබීමට දුන නියෝගය රාජාඥාවක් වුණේ නැත. ඒ මේ රට රාජාණ්ඩුවක් නොවන හෙයිනි. රාජ්‍ය පරිපාලන ලේකම් දඩල්ලගේ මේ ටික නොදන්නවා නොවේ. දඩල්ලගේ කරන ප‍්‍රකාශ ජරාව කෑ විට කටෙන් පිටවන රාමසැර වැනිය.

ප‍්‍රජාතන්ත‍්‍ර වාදි සමාජයක ගම්වරක් දෙන්ට පන්සලකට අලියෙක් දෙන්ට රටේ ජනාධීපතිටත් බැරිය. ඒ බව දැන දැනම දඩල්ලගේ අපට අලුත් කතා කියයි. දඩල්ලගේ කියන්නේ අනුෂ පැල්පිට නිවැරදි වන්නේ රනුග්ගේ වාර්තාව අනුවය. සිල් රෙදි බෙදීම වැරදි බවට ඡන්ද කාලයේ පැමිණිලි කළේද රනුග්ගේ විසිනි. ඒ රනුග්ගේ නිවැරදිය කී අනුෂ පැල්පිට රනුග්ගේ නියෝජනය කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩ තහනමට ලක් කරයි. මෙතනදි ප‍්‍රශ්නය වන්නේ රනුග්ගේ තවදුරටත් රාජ්‍ය සේවා කොමිෂමේ සේවය කිරිමට සුදුසුද යන්නය. අර්ජුන මහේන්ද්‍ර මෙන් රනුග්ගේත් ගෞරවනිය ලෙස රාජ්‍ය සේවා කොමිෂමෙන් ඉවත්ව ගියා යුතුව ඇත. දඩල්ලගේ ගැන රාජ්‍ය පරිපාලන ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාර වග බලා ගත යුතුවේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.