23 April, 2024

Blog

මහ බැංකු බැඳුම්කර අවුල – අළු යට ගිණි පුපුරු

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර නිකුතුවට සම්බන්ධ මූල්‍ය වංචාව දේශපාලන කුණාටුවක් බවට පත්ව ඇත. මෙම තොරතුරු ලියන මොහොත වන විටත්, එය සම්පූර්ණයෙන් නොවිසඳී පවතින තත්ත්වයකට පත් වුණ බල අරගලයක් වී ඇත. පසුගිය දිනෙක විද්‍යුත් මාධ්‍ය සංවාදයකදී රටේ ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකු වශයෙන් සැලකෙන ගෝමින් දයාසිරි මහතා එම තත්ත්වය හඳුන්වා දුන්නේ, එය ජනපති හා අගමැති දක්වා ගිය අර්බුදයක් හැටියටය. “දෙදෙනා අතරින් වඩා බලවත් කවුද යන්න ප‍්‍රශ්නයක් වී ඇති බවත්, කවුද ලොක්කා” යනුවෙන් තීරණය කර ගන්නා තැනට පත්ව ඇති බවත් ඔහු පල කලේය.

විගණකාධිපතිවරයා විසින් ද තහවුරු කර ඇති බවට වාර්තා වන අන්දමට ශ‍්‍රී ලංකා රජයට එක් දිනකින් රුපියල් බිලියන 1.6ක් එනම්, රුපියල් 1,600,000,000/- ක පමණ අලාභයක් සිදුකළ අක‍්‍රමිකතාවයන් හැටියට ඔහු විසින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට දක්වා ඇත. පොදු ව්‍යාපාර කාරක සභාව එම වාර්තාව පිළිගැනීමට තීරණය කල බවත්, එම ගණුදෙනුව සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ගේ ක‍්‍රියා කලාපය හා වගකීම පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම සඳහා COPE කමිටුව යලිත් ජූලි මාසයේ මුල් සතිය තුළ රැුස්වී විමර්ශන කටයුතු දිගට ම පැවැත්වීමටත් තීරණය කර ඇත. රජයට එතරම් පාඩුවක් ගෙනදුන් එම අක‍්‍රමිකතාවයේ වාසිය ලබා ගත්තේ කවුරුන් විසින් ද යන වග එම පරීක්ෂණ මගින් හෙළිදරව් කර ගත හැකි වනු ඇත. මහ බැංකු බැඳුම්කර අයථා අන්දමින් ලබා ගනිමින්,  ඒවා වැඩි මිලකට දින කීපයක් ඇතුලතදී,  සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන හැටියට විකුණා ගෙන ඇති බව ද සඳහන් වන බැවින්, එසේ අතිරේක මුදලක් වැය කරමින් එම බැඳුම්කර සේවක අර්ථ සාධක අරමුදල විසින් මිලදී ගැනීමෙන්, එම​ අරමුදලට ද පාඩුවක් සිදුවී ඇත. එය තවමත් ගණන් බලා නැත. කෙසේ වුවද, දැනට හෙළිදරව් වී තිබෙන තොරතුරු අනුව රුපියල් 130ක පමණ වෙළඳපොල වටිනාකමක් සහිත රුපියල් 100ක් වටිනා බැඳුම්කරයක් රුපියල් 95/-ක පමණ සාමාන්‍යයකට මහ බැංකුවෙන් ලබා ගත් මහ බැංකු අධිපතිවරයාට ඥාති සබඳතාවක් පවතින සමාගම එම ගණුදෙනුවෙන් පමණක්, රුපියල් බිලියන 5ක් සඳහා 30%ක පමණ ලාභයක් එනම්, රුපියල් බිලියන 1.5ක ලාභයක් ලබාගෙන ඇති බව පැහැදිලිය. (රු. 1,500,000,000/-) ඉන් පසුව එය වෙළෙඳපොල වටිනාකමට හෝ ඊටත් වැඩි මුදලකට සේවක අර්ථ සාධක අරමුදලට විකිණීමෙන් තවත් ලාභයක් උපයා ගෙන ඇත. එය අවම වශයෙන් 1%කවත් ලාභයක් වූයේනම්, තවත් රුපියල් මිලියන 500ක්වත් අතිරික්තයක් වශයෙන් උපයා ගනු ඇත.

අද දේශපාලන බල අරගලයක් දක්වා ඉහවහා ගොස් තිබෙන්නේ මෙම ගණුදෙනුවට අදාල සිද්ධියයි. සාමාන්‍යයෙන් රටක ඉහල මට්ටමේ දේශපාලන මතභේදවලට හේතුවන්නේ, ප‍්‍රතිපත්තිමය කාරණා වුවද, මෙහිදී සිදුව ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. අගමැතිවරයා දිගින් දිගට ම මහ බැංකු අධිපතිවරයාගේ නිර්දෝෂීභාවය ආරක්ෂා කරන අතර, උද්ගත වී තිබෙන සිවිල් සමාජ හා ජනමතය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරයා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමත්, ඔහු යලි එම තනතුරට පත් නොකල යුතු බවත් ජනපති මතය වී ඇත.

මෙම අතිශයින් ම කණගාටුදායක හා පුදුම උපදවන පසුබිම තුළ රටේ මුදල් ඇමතිවරයා විද්‍යුත් මාධ්‍ය ඉදිරිපිටට පැමිණ මෙම ගණුදෙනුව නිසා පාඩුවක් සිදුවී නැති බවත්, එය මේ දක්වා ගණන් බැලූ කිසිවෙක් නැති බවත් ප‍්‍රසිද්ධියේ ම ප‍්‍රකාශ කිරීම හාස්‍යජනක තත්ත්වයකි. පැන නැගී ඇති තත්ත්වය අනුව, මුදල් ඇමති, විගණකාධිපතිගේ තක්සේරුව අනුව සිදුව ඇතැයි කියන පාඩුව එක්කෝ පිළිගත යුතුය, එසේ නැත්නම්, විගණකාධිපතිට අභියෝග කල යුතුය. දෙකෙන් කවර සිදු වුවද, ජාත්‍යන්තරය තුළ අප රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳවත්, ඒ ගැන වගකිවයුත්තන්ගේ ක‍්‍රියා කලාපය පිළිබඳවත් ඇති වී තිබෙන කළු පැල්ලම මකා දැමීමටනම් නොහැකි වන බව ස්ථිරය. ලෝකයේ කිසිම රාජ්‍යයක මෙවන් අර්බුදයක් ඇති වූ බවට සාක්ෂි නැත. එක පුද්ගලයෙක් ඉල්ලා අස්වීමෙන් හෝ අනිවාර්ය නිවාඩු ගැනීමෙන් බේරාගත හැකිව තිබූ කාරණයක්, හතර දිසාව ගඳ ගස්සන තත්ත්වයකට පත් කර ගැනීම ඉතා ම අවාසනාවන්ත දෙයකි.

බැංකු අධිපතිගේ නිල කාලය අවසන්

ජුනි 30වන දින වන විට, බැංකු අධිපති වශයෙන් පත්කරනු ලැබූ, අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය අවසන් වේ. ඉන් පසුව මහ බැංකුවට අදාල මූල්‍ය නීති අනුව අනිවාර්යෙන් ම වසර 6ක කාලයක් සඳහා නව බැංකු අධිපතිවරයකු පත්කර ගත යුතුය. සිදුවූ සියලූ ම අඩුපාඩු මකා ගනිමින්, ඇති වූ පැල්ලම් ද මකා දමමින්, එම නීතියට අනුව අළුත් පත්වීමක් කිරීමට උදාවූ එම අවස්ථාව ද අර්බුදයකට තුඩු දෙන තත්ත්වයකට පත්වීම රටේ අභාග්‍යයකි. නීති පොතේ අදාල වගන්තිය අනුව බැංකු අධිපතිවරයෙක් පත් කල යුතුව ඇත්තේ ජනපති විසින්ය. එය මුදල් විෂයය භාර ඇමතිවරයාගේ නිර්දේශය මත සිදු කෙරෙන ක‍්‍රියාවකි. එසේ වුවද, එම ප‍්‍රතිපාදනයට අනුව නව බැංකු අධිපතිවරයකු පත් කිරීම සඳහා ජනපති බලතල අභිබවා යන රෙකමදාරු බලයක් මුදල් විෂය භාර ඇමතිවරයාට කිසිසේත් ම නොලැබේ. එසේ නිර්දේශ කිරීමේ ප‍්‍රතිපාදනයක් අඩංගුවී තිබෙන්නේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ කටයුතුවලදී මනා සම්බන්ධතාවයකින් හා එක එකඟතාවයකින් කටයුතු කිරීමේ වාතාවරණයක් ඇතිකර ගැනීම සඳහා පමණකි.

බැංකු අධිපතිවරයෙකු පත් කිරීමේදී, ඔහුගේ කඩදාසි සුදුසුකම් ඉක්මවා යන ප‍්‍රබල අවශ්‍යතාවයක් හැටියට විද්වතුන් හඳුන්වා දී තිබෙන්නේ, එසේ පත් කරනු ලබන පුද්ගලයා “කිසිම ප‍්‍රශ්නයකට භාජනය නොවූ අවංකභාවයක් සහිත කෙනෙකු වීමයි.”

ලෝකයේ මහ බැංකු ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින පිළිගත් නිර්නායකයන්ට අනුව ඔහු ස්වාධීන පුද්ගලයෙක් ද විය යුතුය. අත්‍යාවශ්‍යයෙන් ම ඔහු නිර්දේශපාලන පුද්ගලයෙකු විය යුතුමය. බලධාරීන් අතර ගැටුමක් ඇති කර නොගනිමින් එබඳු පුද්ගලයෙකු නම් කර ගැනීමෙන් ජාත්‍යන්තර කීර්තිය හා රටේ ආයෝජන අවස්ථාවන් සඳහා ඉදිරිපත් වීමට සිටින අයගේ විශ්වාසය තහවුරු වනු ඇත. තම තමාගේ පාක්ෂිකයින් හා ගැත්තන් වීම අමතක කර දමා රෑ වැටුන වලේ දවල් නොවැටෙමින් මෙම කටයුත්ත සිදුවනු අතැයි රටම බලා ගෙන සිටී. එසේ නැතිව, බලවත් පරිත්‍යාගයන් හා කැපවීම් තුළින් උදාකර ගත් නව යුගය තුළ අනවශ්‍ය දෙදරීම් ඇති වන ආකාරයට, නොමේරූ ලෙසකින් හැසිරෙන බව ප‍්‍රදර්ශනය කිරීම නුසුදුසුය.

වැරදි කවුරු අතිනුත් සිදුවේ. ඒවා වසා දැමීමට හා වල දැමීමට වඩා, වැරදි නිවැරදිව සොයා බලා හොඳ පූර්වාදර්ශයක් දෙසට ගමන් කිරීම මහතුන්ගේ ලක්ෂණයකි. එසේ නොමැතිව වැරදි කල බවට චෝදනා ලැබූවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම වගකිවයුතු දේශපාලන නායකයින්ට තරම් නොවේ. එම කාර්යය භාර දිය යුත්තේ හොඳ නීතිවේදියෙකුටය. නීතිය ඉදිරියේ ලබාගත හැකි රැුකවරණය ලබා ගැනීම සඳහා ඕනෑම අපරාධකාරයෙකු වෙනුවෙන් නීතිවේදියෙකුට පෙනී සිටීමට පරම අයිතියක් ඇත. එනිසා නීතිඥ වෘත්තියේ අයිතිවාසිකම ජනතා නියෝජිතයෙකු සතු අයිතිවාසිකම හා වගකීම යන කාරණා දෙක පටලවා නොගත යුතුය.

හිටපු බැංකු අධිපතිට එරෙහිව බැලූ බැල්මට පිළිගත හැකි චෝදනා තිබේද?

රටේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට ද ප‍්‍රකාශයක් කරමින්, විශේෂ විමර්ශන කොමිටියක් පත් කිරීමෙන් ම එම තත්ත්වය පිළිගෙන ඇත. විමර්ශනයකට භාජනය විය යුතු තරමේ කාරණා ඉස්මතුවී තිබුණ බැවින්, එසේ කිරීමට අගමැතිවරයාට සිදුවීය. එය ඉතා හොඳ කාරණයකි. එහෙත් ඇත්ත වශයෙන් ම සිදු වූයේ එයද? “පය බරවා වට පිටිකර බේත් බැඳීම” වැනි ප‍්‍රශ්නගත කාරණය දෙසට කෙලින් ම යොමු නොවූ විෂය සීමාවන් පනවා විමර්ශනයක් කරවීම, ප‍්‍රශ්නය පිළිබඳ ඇති නතු සොයා බැලීමට වඩා එය යට ගැසීමට දැරූ උත්සාහයක් ලෙස බොහෝ දෙනාගේ මතය වී ඇත.

අගමැතිවරයා විසින් පත් කල ත‍්‍රීපුද්ගල කමිටුව ද සිය වාර්තාවේ දක්වා ඇති ඇතැම් කරුණු අනුව පෙනී යන්නේ, කමිටුවේ සීමිත විෂය නිර්දේශය නිසා තමන්ට අදාල සියලූ තොරතුරු හෙළිදරව් කර ගැනීමට නොහැකි වූ බවයි. මේ ගැන අමුතුවෙන් යමක් සඳහන් කරනවාට වඩා අගමැතිවරයාගේ ත‍්‍රිපුද්ගල කමිටුවේ අඩංගු කාරණා කිහිපයක් උපුටා දැක්වීම ප‍්‍රමාණවත් වේයැයි සිතමු. එම නිසා එමා වාර්තාවේ දැක්වෙන යට දැක්වෙන කොටස් ජනතා අධිකරණයට පැමිණවීම යහපත් මාධ්‍ය සදාචාරයට අනුකූල වෙතැයි ද, තොරතුරු දැන ගැනීමේ සහ නිදහස්ව අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියටත් පටහැනි නොවනු ඇතැයි විශ්වාස කරමු.

මුලින් ම ත‍්‍රිපුද්ගල කමිටුව පත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් අගමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය දෙස බලමු. “එනිසා අවුරුදු 30ක බැඳුම්කර නිකුත් කිරීමේ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා ත‍්‍රීපුද්ගල කමිටුවක් පෙබරවාරි 27දාම මවිසින් පත් කලා’’.

මහ බැංකුව විසින් 2015 වසර සඳහා නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව.

පිටු අංක 2 – 3.2 වන වගන්තිය.

එම නිසා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රජයේ නියම අවශ්‍යතාවයට වඩා අඩු ප‍්‍රමාණයකට බිල්පත් නිකුතුවක් ප‍්‍රකාශයට පත් කරන අතර, සාමාන්‍යයෙන් වෙන්දේසි කරන ප‍්‍රමාණයට වඩා දෙගුණයක් හෝ දෙකහමාරකට වැඩි ප‍්‍රමාණයක් පිළිගැනීම සිදු කරනු ලබයි. අනතුරුව ඉතිරිය සපුරා ගැනීම සඳහා සෘජු ඉල්ලීම් කැඳවීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරන ලදී.

පිටු අංක 4 – 8 වන වගන්තිය.

2015 මාර්තු 2වනදා වන විට රජයේ අරමුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 13,550ක් වූ හෙයින්, රුපියල් බිලියනයක් දක්වා තිස් අවුරුදු බැඳුම්කරයක් නිකුත් කිරීම නිවේදනය කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. මූල්‍ය මණ්ඩලයේ අංක 4.2015 දරණ වාර්තාව මගින් තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබුණ ද, එම බැඳුම්කර ප‍්‍රමාණය කොපමණක් වන්නේ දැයි මූල්‍ය මණ්ඩලය විසින් තීරණය කර නොතිබුණි. මේ ක‍්‍රියාදාමය ණය දෙපාර්තමේන්තුවට අදාල කටයුත්තක් ලෙස ණය දෙපාර්තමේන්තු අත් පොතේ සඳහන් වේ.

පිටු අංක 7 – 14 වන වගන්තිය.

ප‍්‍රාථමික ගණුදෙනුකරුවෙකු වූ ලංකා බැංකුව රුපියල් 13,000,000,000/- වටිනා ඉල්ලූමක් කර තිබුණේ, PerpetualTreasuries වෙනුවෙන් බව ටෙන්ඩර් කමිටුවට පෙනී ගියේය. ලංකා බැංකුවේ ප‍්‍රධාන ගැණුම්කරු සහ PerpetualTreasuries සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් ප‍්‍රශ්න කරද්දීත්, ඔවුන් ප‍්‍රකාශ කලේ ප‍්‍රාථමික ගැණුම්කරුවෙකු වෙන්දේසියකදී තවත් ප‍්‍රාථමික ගැණුම්කරුවෙකු වෙනුවෙන් ඉල්ලීම් කළ ප‍්‍රථම අවස්ථාව මෙය බවයි.

පිටු අංක 7 – 15 වන වගන්තිය.

ලංකා බැංකුවේ ප‍්‍රධාන ගැණුම්කරු ටෙන්ඩර් කමිටුවට කියා සිටියේ වෙනත් ප‍්‍රාථමික ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් රුපියල් 13,000,000,000/- ක් සඳහා ඉල්ලූම් කිරීමේදී බැංකු පාලක මණ්ඩලයෙහි අනුමැතියක් ලබා නොගත් බවත්, ගණුදෙනුවෙන් පසුව වුවද මේ පිළිබඳව ලංකා බැංකු පාලක මණ්ඩලය දැනුවත් නොකල බවයි. මෙය ණය පහසුකම් සැලසීමේ කාර්යයක් නොවන බවත් ඔහු ප‍්‍රකාශ කලේය. මේ පිළිබඳව ඔහුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීමේදී ලංකා බැංකු ප‍්‍රධාන ගැණුම්කරු කියා සිටියේ PerpetualTreasuries සමාගම බැඳුම්කර ඉල්ලුම ඉදිරිපත් කිරීම සඳහා දුරකථන ඇමතුමක් දුන් බවත්. එබඳු ඉල්ලීමක් සඳහා අරමුදල් ලබා ගන්නේ රක්ෂණ සමාගමක් හරහා බවත් සඳහන් කල බවයි. ලංකා බැංකුවේ ප‍්‍රධාන ගැණුම්කරු මෙතරම් විශාල ඉල්ලුමක් ඉදිරිපත් කරන්නේ ඇයිදැයි PerpetualTreasuries සමගාමේ ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් ප‍්‍රශ්න කල විට, ඔහු පිළිතුරු දුන්නේ “ආවොත් අතේ තමයි” යනුවෙනි’ (එම ප‍්‍රකාශයෙන් අදහස් කලේ, ගණුදෙනුව සාර්ථක වුවහොත්, ඉන් විශාල ලාභයක් ලැබිය හැකිය යන්නයි)

පිටු අංක 8 – 17 වන වගන්තිය.

PerpetualTreasuries සමාගම සුරැුකුම්පත් වෙන්දේසියේදී ක‍්‍රියා කර ඇති ආකාරය කරුණු 2ක් මත අසාමාන්‍ය බව කමිටුව නිරීක්ෂණය කලේය.

අ. ඔවුන් කලින් ඉදිරිපත් කර ඇති ඉල්ලූම් නිරීක්ෂය කිරීමේදී බැඳුම්කරයක වටිනාකම රුපියල් 1,000,000,000/-ක් වෙද්දී, රුපියල් 2,000,000,000/- ඉල්ලූම් කිරීම කමිටුවේ සැලකිල්ලට බඳුන් විය.

ආ. තවත් කරුණක් වූයේ, ප‍්‍රකාශයට පත් බැඳුම්කරයේ වටිනාකම රුපියල් බිලියනයක් වෙද්දී, ඉහත කී සමාගම රුපියල් 13,000,000,000/- වටිනා බැඳුම්කර ඉල්ලූමක් සඳහා ලංකා බැංකුවේ සහාය පැතීමයි.

පිටු අංක 9 – 19 වන වගන්තිය.

PerpetualTreasuries සමගාමේ ලංසු තැබීමේ ක‍්‍රමය හා පිළිගත් ඉල්ලූම්වලින් 50%ක් ලබා ගැනීම අසාමාන්‍ය බව කමිටුව විසින් මෙම අවස්ථාවේදී නිරීක්ෂණය කරන ලදී. කමිටුවට ලබා දී ඇති සීමිත බලතල නිසා මෙම කමිටුව ඉහත සඳහන් ක‍්‍රියාදාමයකින් නිගමනයකට පැමිණිය නොහැක. කෙසේ වෙතත්, ඉහත සඳහන් ගණුදෙනුවේදී මහජන මුදල් වැය කිරීම සිදු කෙරෙන නිසාත්, මහජන සුභ සිද්ධිය තකා රජයේ මූල්‍ය රෙගුලාසි උල්ංඝණය වී ඇත්දැයි සොයා බලනු සඳහාත් නිසා රාජ්‍ය අධිකාරියක් මගින් මේ පිළිබඳව සම්පූර්ණ විභාගයක් පැවැත්වීම සුදුසුයැයි කමිටුව නිර්දේශ කරයි.

පිටු අංක 9 – 20 වන වගන්තිය.

ඒ අතර ම ලංකා බැංකුව, රාජ්‍ය බැංකුවක් වන හෙයින් එම බැංකුවේ ගණුදෙනු කාමරයේ වැඩකටයුතු ගැන සම්පූර්ණ පරීක්ෂණයක් ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පැවැත්විය යුතු බවත්. අවශ්‍ය වුවහොත් වෝහාරික විගණනයක් සිදු කිරීම ද කමිටුව විසින් නිර්දෙශ කරනු ලබයි. එක් එක් පුද්ගලයන්ගේ හිතුමතයට ගත් තීරණය වෙනුවෙන් ලංකා බැංකුවේ මුදල් විශාල වශයෙන් යෙදවීම පිළිබඳව ලංකා බැංකුවේ ප‍්‍රධාන ගැණුම්කරු සහ ඔහුට ඉහලින් සිටින නිලධාරීන්ගෙන් ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිදහසට කරුණු විමසිය යුතුයැයි කමිටුව විසින් තවදුරටත් නිරීක්ෂණය කරනු ලබයි.

පිටු අංක 10 – 22 වන වගන්තිය.

මේ කාර්යයයේදී රජයට පාඩුවක් වූයේනම්, ඒ පිළිබඳව විභාග කිරීමට රජයට, පාර්ලිමේන්තුවට හෝ මහජන සුභ සිද්ධිය තකා කටයුතු කරන කිනම් සංවිධානයකට හෝ බාධාවක් නොමැති බව කමිටුව නිරීක්ෂණය කරයි.

පිටු අංක 10 – 26 වන වගන්තිය.

ප‍්‍රාථමික ගණුදෙනුකරුවන් බොහෝ දෙනෙකු දැක්වූ අදහස් පරිදි, බැංකුවේ රහස් තොරතුරු බොහෝ අවස්ථාවන්හිදී පිටස්තරයන් අතට පත්ව ඇති බවත් කමිටුව නිරීක්ෂණය කලේය. මෙම නිරීක්ෂණය අසන්නට ලැබුනේ, චෝදනාවක් පදනම් කොටගෙන කෙරෙන ප‍්‍රකාශයක් ලෙස හැඳින්වීමට කමිටුව ප‍්‍රවේසම් වී ඇත. කෙසේ වෙතත්, ආරක්ෂිතව තිබිය යුතු තොරතුරු ඇතුලත් ලියවිල්ලක් මහජනතාව අතට පත් වීමෙන් මහ බැංකුව විසින් ආරක්ෂා කෙරුණු රහසිගත තොරතුරුවල රහස්‍යභාවය උල්ලංඝණය වී ඇත. මේ සිද්ධිය සැලකිල්ලට ගෙන නිසා රාජ්‍ය අධිකාරියක් මගින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කටයුතුත්, එහි නිලධාරිනුත් මහ බැංකුවේ බැංකුවේ අනෙක් දෙපාර්තමේන්තුවලත්, ඒවායේ නිලධාරීන්ගේ කටයුතු පිළිබඳවත් සොයා බැලීමට ක‍්‍රියා කල යුතුයැයි කමිටුව සිය නිරීක්ෂණවල සඳහන් කරයි.

පිටු අංක 11 – 27 වන වගන්තිය.

ශ‍්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත‍්‍රයේ ජීවනාලය හැසිරවීමේදී එහි නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් සහ මහ බැංකු අධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පාරිශුද්ධභාවය රැුක ගනිමින් එහි වගකීම් නිසි අයුරින් ඉටු කරනු ඇතැයි පිළිබඳව මහජනතාව තුළ ඇති අපේක්ෂාවන් අසාධාරණ නොවේ.

ඉහතින් දක්වා ඇති උපුටා ගත් කොටස්වලින් ඉතා හොඳින් පැහැදිලි වන ප‍්‍රධාන කාරණා 2ක් ඇත.

1. පරීක්ෂණය සඳහා යොමු කර තිබුණේ සීමිත විෂය පථයක් බව.

2. හෙළිදරව් වී ඇති තොරතුරු වැඩිදුරටත් පූර්ණ පරීක්ෂණයකට භාජනය විය යුතු බව.

මේ සියලූ වාර්තා ඉදිරිපත් කරද්දී, මහ බැංකු අධිපති අන්තිම දවස දක්වා සිය නිලයේ සුපුරුදු පරිදි රැුඳී සිටිමින් සිය රාජකාරී තවදුරටත් ඉටු කිරීමත්, ප‍්‍රශ්නගත බැංකු බැඳුම්කර නිකුතුවට වඩා වැඩි වටිනාකමක් සහිත බැඳුම්කර ඉතාමත් සැක සහිත ලෙසින් ඊට පසුවත් නිකුත් කරමින් සිටීම මුලු ලෝකයම මවිත කල සිද්ධියක් වීය. ඔහුට එසේ රැුඳී සිටීමට ශක්තිය ලබා දුන්නන් කවුද? ඔහු පාවිච්චි කලේ කාගේ හයියද? මෙම ප‍්‍රශ්නවලට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සේවක මණ්ඩලයේ පැත්තෙන් හොඳ පිළිතුරක් ලබා ගැනීමට අවස්ථාවක් නොවීය. ඒකාධිපති ස්වරූපයන් හා අත්තනෝමතික ලෙසින් බැංකු අධිපති විසින් ගෙන ගිය අභ්‍යන්තර පරිපාලනය පිළිබඳ වෙනම ම විමර්ශනයක් කල යුතු බව මහ බැංකු සේවකයින්ගේ මතය වී ඇත.

යම් විදියකින්, ජනාධිපතිවරයා තනිවම එහි රැුස්වීමකට සහභාගී වූයේනම්, එම තත්ත්වය හොඳින් පැහැදිලි කරගත හැකිව තිබුණි. එසේ වුවද, එම අවස්ථාවට අගමැතිවරයාත්, අර්ජුන් මහෙන්ද්‍රන් මහතාත් සම්බන්ධ වූ බැවින්, එම අවස්ථාව ද අහිමිවී ගිය බව මහ බැංකු සේවකයෝ කියා සිටිති.

19වන ව්‍යවස්ථා සංශෝධනය

1. මහ බැංකු අධිපති පත් කිරීම සංශෝධිත ව්‍යවස්ථාවේ 42වන වගන්තියට ඇතුලත් නොවීම නිසා, ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින් එම තනතුරට යෝග්‍ය පුද්ගලයකු පත් කිරීමේ ඉඩක් නැතිව ගොස් ඇත.

2. රටේ නව ව්‍යවස්ථාවට අනුව, සාමාන්‍යයයෙන් කැබිනට් අමාත්‍යධූර 30 කටත්, නියෝජ්‍ය අමාත්‍යධූර 40 කටත් සීමා වී ඇත. එය ඉක්මවිය හැක්කේ ජාතික රජයක් පවතින්නේනම් පමණි.

යම් විදියකින් ජාතික රජය බිඳ වැටෙන ආකාරයේ පරිවර්ථනයක් සිදුවුවහොත්, දැනට සිටින බොහෝ දෙනෙකුට අමාත්‍යධූර අහිමි වනු ඇත.

3. එහෙත් සමහරුන්ට එබඳු පරිවර්ථනයකින් රටට හොඳ සාමකාමී නිශ්ශබ්ද විපක්ෂ නායකයකු බිහි වීමට ඉඩ ඇත.

– ස්වස්ති සිද්ධම් –

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.