25 April, 2024

Blog

පරපෝෂිතයන්ගේ පාලනය: ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

ඔබට අසමත් රාජ්‍ය සේවයක් යනු කුමක්දැයි දැකීමට අවශ්‍ය නම් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල දෙස බැලීම පමණක් සෑහේ. මෙම රෝහල ජපන් රජයෙන් පරිත්‍යාග කළ පශ්චාද් උපාධි පුහුණු ආයතනයක් සහ තෘතීය රෝහලකි. එය  පාර්ලිමේන්තු 54/1983 දරන රෝහල් පනතට අනුව අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් පරිපාලනය වෙයි.

වෛද්‍ය අතුල කහඳලියනගේ මෙම රෝහලේ සභාපති වරයාය. රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට ඇතුලත කල්ලියේ සාමාජිකයකු වූ මොහු දැනට ඇන්කර් කිරිපිටි ව්‍යාපාරය වන ෆොන්ටෙරා ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නිත්‍ය රැකියාව කරයි. 2015  මාර්තු මාසයේදී යහපාලන රජය විසින් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන ලදී. සභාපති වරයා රාජකාරිය භාර ගන්නා දිනයේදී එම ස්ථානයට පැමිණි සුසිත සේනාරත්න නමැති වෛද්‍ය නිලධාරී වරයා තමාව ඩී. එම්. ඒ.ආර්.බී.දිසානායක නමැති එවක සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂක වරයා ලෙස පත් කළ බව පවසා අධ්‍යක්ෂක කාර්යාලය අත්  පත් කර ගත්තේය. කහඳලියනගේ ගේ පවුලේ මිතුරකු වන සුසිත සේනාරත්න යනු මීට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කළ කිසිදු පරිපාලනමය හෝ වෘත්තීය සුදුසු කමක් නොමැති අපකීර්තිමත් ඉතිහාසයක උරුමකරුවෙකි.

සුසිත සේනාරත්න හා ඔහුගේ බිරිඳ වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න සමඟ​

රෝහල් පනතට අනුව සෞඛ්ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සය දෙනෙකි. නිල බලයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වනුයේ රෝහල් අධ්‍යක්ෂක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් සහ පශ්චාද් වෛද්‍ය පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක වරයාය. රෝහල් අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීම ලබන්නේ එම තනතුරට අදාළ රජයේ  ගැසට් නිවේදනයෙහි සඳහන් සුදුසුකම් සපිරූ අයකු විසිනි.

ධූරාවලියෙන් සභාපති වුවද, සැබවින්ම අතුල කහඳලියනගේ යනු සුසිත සේනාරත්න ගේ කීකරු අතවැසියෙකි. රෝහල් මණ්ඩලයේ බෙලහීනත්වය කෙතෙක් ද යත් අද වන තුරු අධ්‍යක්ෂකවරයාගේ පත් වීම සභාගත කර නොමැති නමුත්  ඔහු සඳහා රුපියල් ලක්ෂ තුනක විශේෂ වැටුපක් අනුමත කර ඇත. මොහු මෙවන් වැටුපක් ලබන්නේ කෙසේදැයි විගණනයක් අද වන තුරු සිදුවී නැත. සභාපතිවරයා සතුව ඇත්තේ එවක සෞඛ්‍ය ලේකම් වරයා විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක ධූරයෙහි “රාජකාරි ආවරණය” කිරීම සඳහා 2015 මාර්තු 26 දින සිට වසර තුනකට සුසිත සේනාරත්න ව රාජකාරියෙන් මුදා හරින ලෙස ඉල්ලා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාට යැවූ මුදාහැරීමේ  ලිපියක පිටපතක් පමණි. රෝහල පිලිබඳ  සියලු තීරණ ඒකපාර්ශවීය සහ ත්‍රස්තවාදී ලෙස ගනු ලබන්නේ ඊනියා අධ්‍යක්ෂක විසින් වන අතර රෝහල් නියෝජනය කරමින් මණ්ඩලයට පත් ව ඇති විශේෂඥ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හා මහාචාර්යවරුන් වැනි වෘත්තිකයන්ට පත් වීමේ ලිපියක් හෝ නොමැති ඊනියා අධ්‍යක්ෂකවරයකු විසින් දෙනු ලබන නියෝග වල නීත්‍යානුකූල භාවය කුමක්ද පිළිබඳව ප්‍රශ්නයක් නැත.

මෙසේ නුසුදුසු පුද්ගලයකු පශ්චාද් උපාධි වෛද්‍ය පුහුණු ආයතනයක සහ තෘතීය රෝහලක අධ්‍යක්ෂකවරයකු ලෙස පත් කර රටෙහි නීතිය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පනත සහ අංක  16.04.2007/1493/3/, 30.11.2009/1630/10 ,  11.10.2014/1883/17 . 09.12.2016/ 1996/46 දරන රජයේ ගැසට් නිවේදන උල්ලංඝනය කල මෙම පත් වීම පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව 2016  වසරේදී ප්‍රශ්න කළ අතර එහිදී කහඳලියනගේ  විසින් අධ්‍යක්ෂකවරයා පිළිබඳව ගුණ ගායනයක් ඉදිරිපත් කරන ලදී. කෝප් කමිටුව රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලයට තරයේ දන්වා සිටියේ වහාම මෙම තනතුර සදහා ඉල්ලුම්පත් කැඳවා නිසි සුදුසුකම් ඇති පුද්ගලයකුව පත් කර ගන්නා ලෙසයි. ඉන් පසුව එවක සෞඛය ලේකම් අනුර ජයවික්‍රම කෝප් නියෝගය ක්‍රියාත්මක කරන ලෙස රෝහල් මණ්ඩලයට දැනුම් දුන්නද කහඳලියනගේ එම ලිපිය වහා යට ගැසීය. කහඳලියනගේ ගේ වංචනිකත්වය තේරුම් ගත් අනුර ජයවික්‍රම කෝප්  කමිටු ලේකම් වරයාට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන්නේ කහඳලියනගේටද එම ලිපිය පිටපත් කරමිනි. නමුත් කහඳලියනගේ පවසන්නේ තමා එවැනි ලිපියක් කිසිදා නොදුටු බවය. මොහු විසින් සිදු කරනු ලැබුවේ කෝප් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අවංක රාජ්‍ය සේවකයකු වූ එවක සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම විශ්‍රාම යනතුරු මේ සම්බන්ධ  රාජකාරී ලිපි ලේඛන යට ගසමින් කල් මැරීම පමණි.

2017 වසරේදී නැවත මෙම ප්‍රශ්නය කෝප් කමිටුවේදී ප්‍රශ්න කළ අතර කහඳලියනගේ විසින් ඊනියා අධ්‍යක්ෂක පිලිබඳ නැවතත් ගුණ ගායනයක් ඉදිරිපත් කරනු ලැබීය. මෙම රැස්වීමට පැමිණි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , සුජීව සේනසිංහ සහ හර්ෂණ රාජකරුණා යන “ජනතා නියෝජිතයින්” නිර්ලජ්ජී ලෙස පවසා සිටියේ මෙම නිතී විරෝධී පත් වීම පසුදාතම් කළ ලිපියක් මගින් යථාවත් කළයුතු බවයි. සුදුසුකම් නැත්තෙකුගේ අයථා පත් වීමක් පසුදාතම් කර යථාවත් කළ නොහැකි බව ඉතා කනිෂ්ට රාජ්‍ය සේවකයකුට පවා වැටහෙයි. නමුත් විශ්‍රාමික සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වරයකු වන කහඳලියනගේට සහ වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයාට එය නොතේරෙයි. තවද, මුදල් අමාත්යංශය නියෝජනය කරමින් මෑතකදී රෝහල් මණ්ඩලයට එක් වූ මුදල් අමාත්‍යංශ අතිරේක ලේකම් ආර්. සේමසිංහ ද මෙම අක්‍රමිකතාවයට සහය දෙයි. ආර්. සේමසිංහ යනු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සමග කුප්‍රකට සිල් රෙදි වංචාව හේතුවෙන් අත්අඩංගුවට පත්වී, කලක් අතුරුදහන්ව සිට නැවත මතු වුනු දූෂිත නිලධරයෙකි.

සුසිත සේනාරත්න අති දක්ෂයෙකු වන්නේ  දූෂණය සහ වංචාවටය. සිය ධුර කාලයේ පලවෙනි වසර තුලදීම  “යහපාලන මාලිගාව” නමින් හැඳින්වෙන ඔහුගේ පැලවත්තේ පිටිහි නිවස නවීකරණය විය. දෙවන වසර වන විට මිල රුපියල් ලක්ෂ 200 කට අධික සුපිරි රථයක් මිලට ගත් ඔහු වෛද්‍ය පරිපාලකයෙකුට සපුරා තහනම් පෞද්ගලික චැනල් සේවයක් ද මාලඹේ ප්‍රදේශයේ පවත්වාගෙන යයි. සේනාරත්න ඔහුගේ ධුර කාලය තුළ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කහඳලියනගේ ගේ අනුමැතියෙන් දින 100 ක් විදේශගතව සිට ඇත. ඒවා පවුලේ චාරිකා, ජනාධිපති, අගමැති. සෞඛ්‍ය ඇමති ආදීන්ගේ දූතයකු ලෙස ගිය චාරිකා, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ බයිපාස් සැත්කම කිරීමේදී ඔහු සමග සිංගප්පූරු ගිය චාරිකා සහ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව  විසින් නිර්දේශිත චාරිකා ආදී වශයෙන් කහඳලියනගේ විසින්  හඳුන්වා දෙනු ලබයි. ආයතන සංග්‍රහය උල්ලංඝනය කළ මෙම විදේශගතවීම් සම්බන්ධව විනය පරීක්ෂණයක් හෝ ඔහුට මෙසේ විදේශගත වීමට මුදල් ලැබුණු ආකාරය පිලිබඳ විගණනයක්  සිදු ව නොමැත.

බලය අවභාවිතා කිරීමේ අති දක්ෂයකු වන සේනාරත්නගේ නිවසේ සිටි සුනඛයා පශු වෛද්‍යවරයා වෙත ගෙන යනු  ලැබූවේද  රෝහලේ ගිලන් රථයෙනි. මෑතකදී මොහු රෝහලේ හෙද පුහුණු පාසලේ ගේට්ටුව කඩා ගෙන සිය රථය පදවා ගෙන අතර ඔහු රථය තුල සිහි මද ගතියෙන් සිටිනු දක්නට ලැබුණි. මේ  පිළිබඳව කිසිදු විනය පරීක්ෂණයක් සභාපති වරයා විසින් සිදු නොකළ අතර රෝහලේ වියදමින් දින කිහිපයක් ඇතුලත අදාළ ප්‍රතිසංස්කරණයන් සිදුවිය. මෙසේ ජනතා දේපල සහ රෝහල් මුදල් අයථා ලෙස වියදම් කිරීම පිළිබඳව කිසිදු විගණනයක් සිදු කර නැත.

සුසිත සේනාරත්න කලම්බු ටෙලෙග්‍රාෆ් වෙත පවසා සිටියේ 2008-2013 වසර දක්වා ඔහු  කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂකව සිටි බවයි. මෙසේ මාධ්‍ය වෙත තමා නොදරූ තනතුරු පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව කිසිදු විනය පරීක්ෂණයක් අද වන තුරු සිදු කර නැත. තමාට රෝහල් අධ්‍යක්ෂක වරයකු වීමට කිසිදු සුදුසුකමක් නැති වීම සාධාරණීකරණය කරමින් සේනාරත්න ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහලම නිලය වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වීමටද සුදුසුකම් අනවශ්‍ය බවයි. මෙසේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල ධූරාවලියට ප්‍රසිද්ධියේ අගෞරව කිරීම පිළිබඳව කිසිදු විනය පරීක්ෂණයක් සිදු කර නැත. කණගාටුවට කරුණක් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලයට නිල බලයෙන් පත්ව ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා වන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මේ සම්බන්ධයෙන් බියගුළු ලෙස නිහඬව සිටීමයි. ඒ පිළිබඳව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා තබා රෝහල් මණ්ඩල රැස්වීමට පැමිණ එම ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට තරම්වත් චරිත ශක්තියක් ජයසුන්දර බණ්ඩාර සතුව නැත. මේ ප්‍රකාශය තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස සම්බන්ධ කර ගත අවස්ථාවේ ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ගෙන් ලබා ගන්නා ලෙස දන්වා ප්‍රශ්නය මග හැර ගියේය. සෞඛය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාද පිළිතුරු දීම මගහැර ගියේය. මේ සියලු කරුණු පිළිබඳව සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස අවදි කිරීමට අපහසු ගැඹුරු පරිපාලනමය නිද්‍රාවක වැටී ඇති බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයකුට සපුරා තහනම් පෞද්ගලික චැනල් සේවාවක් සුසීත සේනාරත්න විසින් මාලබේ ප්‍රදේශය පවත්වාගෙන යයි. මේ පිළිබඳව කලම්බු ටෙලිග්‍රාෆ් කල කරුණු විමසීමේදී සේනාරත්න ප්‍රකාශ කර සිටියේ එවැනි නීති තමාට අදාළ නොවන බවත්, සෞඛය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වැන්නවුන්ට එවැනි නීති අදාළ වන බවත් ය. මෙම ප්‍රකාශය තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස සහ ජයසුන්දර බණ්ඩාර සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔවූහු පෙර ලෙසම නිහඬ වූහ. මෙම නීති උල්ලංඝනය පිළිබඳවද කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව නොකිවමනාය.

දේශපාලන ගැතිභාවයේ සහ පරිපාලන අප්‍රාණිකත්වයේ සංකේතයක් වන කහඳලියනගේ සහ රෝහල් මණ්ඩල සාමාජිකයින් වන මහාචාර්ය ජනක ද සිල්වා, වී. වෛද්‍ය කනිෂ්ක ඉන්ද්‍රරත්න, වී. වෛද්‍ය මාධව කරුණාරත්න, චමත් ද සිල්වා, ලලිත් සේනානායක, වෛද්‍ය හර්ෂ සමරවීර, වී.වෛද්‍ය ප්‍රභාත් අඹවත්ත, වෛද්‍ය  ජයසුන්දර බණ්ඩාර, ආර්. සේමසිංහ යන්නවුන් මහජන මුදල් අවභාවිතා කිරීමට ඉඩ දෙමින් පත්වීමේ ලිපියක් හෝ නොමැති ඊනියා අධ්‍යක්ෂකවරයකු රකිමින් සිය නෛතික වගකීම පැහැර හැර ඇත. රෝහල් පරිපාලනය බිඳ වැටීම නිසා උද්ගත වූ ගැටළු සම්බන්ධයෙන් රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන් විසින් සුදුසුකම් සපිරූ අධ්‍යක්ෂකවරයකු පත් කර ගන්නා ලෙස ඉල්ලා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයද පෙර ලෙසම සභාපතිවරයා විසින් සභාගත නොකර යට ගසන ලදී. 

ලංකා හොස්පිටල් හි පරිපාලන උපදේශකයකු ලෙස සේවය කිරීම වෙනුවෙන් තමා මසකට රුපියල් තුන් ලක්ෂයක වැටුපක් ලබන බව සුසිත සේනාරත්න කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ප්‍රකාශ කර සිටියේය. කිසිදු පශ්චාද් උපාධි සුදුසුකමක් හෝ පරිපාලනමය සුදුසුකමක් නැති මොහුව උපදේශකයකු  ලෙස  පත් කර මහජන මුදලින් මෙවැනි  වැටුපක් ගෙවන්නේ කෙසේද? සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයකුව සිටින අතර රජයේ පොදු ව්‍යාපාර දෙකක (එනම්  ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල සහ ලංකා හොස්පිටල්ස්) එකවර මොහු රැකියා දෙකක් කරමින් මසකට රුපියල් ලක්ෂ  හයක වැටුප් ලබන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු විගණනයක් සිදු වී නොමැත.

තමා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ උපාධිය සඳහා එහි ගාස්තුව වූ රුපියල් 780,000 මුදලක් ලංකා හොස්පිටල්ස් විසින් ගෙවූ බව සුසිත සේනාරත්න පිළිගනියි. නමුත් තහවුරු වී ඇති අන්දමට මෙම මුදල සැබවින්ම රුපියල් මිලියනයකි. මෙසේ පරිපාලන උපදේශකයාට අධ්‍යාපනය ලබා දීම සඳහා ලංකා හොස්පිටල් අධ්‍යක්ෂක මණ්ඩලය මුදල් වැය කළේ කෙසේද යන්න පිළිබඳව කිසිදු විගණනයක් සිදු කර නැත. මේ පිළිබඳව ලංකා හොස්පිටල් සභාපති වෛද්‍ය සරත් පරණවිතාන ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු එය නෑසුණු ලෙස නිහඬව සිටියේය.  ඔක්තෝම්බර් මස තිස් වන දා රෝහල් සභාපතිවරයාට සහ ඊනියා අධ්‍යක්ෂවරයාට ගැති විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් කැටුව සුසිත සේනාරත්නගේ නීති විරෝධී පත් වීම රැක ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හමුවූ බවටද කලම්බු ටෙලිග්‍රාෆ් වෙත වාර්තා වෙයි.

අතුල කහඳලියනගේ සහ සුසිත සේනාරත්න යනු එකම කාසියක දෙපැත්තයි. එහි මුල්‍ය වංචාව, රාජ්‍ය දේපල අවභාවිතය, මැර කම, පුහු දේශපාලන ආටෝපය, පරිපාලන ත්‍රස්තවාදය සහ FACEBOOK මාෆියාව නියෝජනය වන්නේ සේනාරත්නගෙනි. එම කාසියේම අනෙක් පස  වන පරිපාලන තක්කඩි කම, කරුණු යට ගැසීම, නීතිය ක්‍රියාත්මක කිරීම මග හැරීම, ව්‍යාජ රැස්වීම් සටහන් තැබීම, දේශපාලන ගැතිකම, නුසුදුස්සන් රැකීම, අධ්‍යක්ෂක වරයා මත යැපෙමින් දේශපාලන ප්‍රයෝජන ගැනීම, එරෙහි වන්නන් සමනය කිරීම් ආදී  විකෘති ගති ගුණ නියෝජනය වන්නේ කහඳලියනගේ ගෙනි. මොවුන් දෙදෙනා එකිනෙකාගේ දූෂණය මත යැපෙන සූක්ෂ්ම පරපෝෂිතයන් දෙදෙනෙකි. තම පරිපාලන නිරුවත අන් අයට නොපෙනෙන බව සිතන සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ජයසුන්දර බණ්ඩාර හා රෝහල් මණ්ඩලය ශ්‍රී  ජයවර්ධනපුර රෝහලේ පරිපාලනය කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයකු වෙත පවරා මහජනයාගේ සෞඛ්‍යය  සහ ජීවිත අවදානමට පත් කර බියගුලුව  බලා සිටිති. මේ දූෂිත, අප්‍රාණික  පරිපාලකයන් නීතිය ඉදිරියට පැමිණවීමට කාලය එළඹ ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිත්‍ය ධුරයක් වන අධ්‍යක්ෂක ධූරය දේශපාලන පත්වීමක් බවට පරිවර්තනය කිරීම සඳහා නීති වීරෝධී ප්‍රයත්නයක් දරන වෛද්‍ය අතුල කහඳලියනගේ වැන්නෙකුට රැකියාවක් සපයන ෆොන්ටෙරා වැනි පෞද්ගලික ආයතනක් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඛේදවාචකයයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලය, සෞඛ්‍ය ලේකම් වරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා  පෙන්නුම් කරන්නේ අසමත් රාජ්‍ය සේවයක ඛේදවාචකයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.