28 November, 2020

Blog

ලංකා මාතාව ‘‘ශී‍්‍ර ලංකා තායේ’’ සේ අභිනන්දනය කෙරෙමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

එකමත් එක කාලයක, අසිරිමත් මිනිසුන් විසූ, ස්වර්ග රාජ්‍යයක් සේ සැළකුණු, මනහර දීපයක් තිබුණේය. යටත්විජිත රටකින් නිදහස දිනා ගැනීමෙන් පසු, පුරාණ ශිෂ්ටාචාරයක් සහිත මේ නව දේශය තමන්ගේම වන ජාතික ගීයක් නිර්මාණය කරගත්තේය. එය නිර්මාණය වුණේ, එහි විසු බහුතරයක් ජනතාවගේ භාෂාවෙනි. පසුව, එහි වෙසෙන සුළු ජාතික ප‍්‍රජාවන් තුනකගේ භාෂාවට ද එය පරිවර්තනය කෙරුණි. බහුතරයේ භාෂාවෙන් නිමැවුණු නිර්මාණයට ප‍්‍රමුඛස්ථානය හිමි වූ අතර, අවශ්‍ය තන්හිදී අවශ්‍ය පරිදි, භාෂා දෙකෙන්ම එය ගායනා කිරීමේ අවස්ථාවත් සළසා දුනි. මුල් නිර්මාණය සඳහා සකස් වූ තනුවම පරිවර්තනය සඳහාද යොදා ගැනුණි.

ඒ අනුව, භාෂා දෙකෙන්ම ඒ ඒ තැන්වලදී මේ ගීය ගායනා කෙරුණි. ජාතික දිනය ජාතික මට්ටමෙන් සැමරෙද්දී එය ගායනා කෙරුණේ බහුතර ජනතාවගේ භාෂාවෙනි. එහෙත් සුළුජාතික භාෂාව වහරන පෙදෙස්වලදී එය ගායනා කෙරුණේ සුළුජාතික භාෂාවෙනි. ඒ අනුව, බහුතර භාෂාවෙන් අධ්‍යාපනය සැපයෙන පාසල්වල බහුතර භාෂාවෙන්ද, සුළුජාතික භාෂාවෙන් අධ්‍යාපනය සැපයෙන පාසල්වල සුළුජාතික භාෂාවෙන්ද එය ගායනා කෙරුණි. සමහර තැන්වල භාෂා දෙකෙන්මත් ගායනා කෙරුණි.

එහෙත් කණගාටුවට මෙන් මේ සුරම්‍ය දේශයට වාර්ගික අසමගිය රිංගුවේය. එය කෙතෙක් අභාග්‍ය සම්පන්න වීද යත්, ප‍්‍රධාන සුළු ජාතික ප‍්‍රජාව තමන් වෙනම ජාතියක් වශයෙන් සළකමින් තමන්ට වෙනම රාජ්‍යයක්ද ඉල්ලා සිටියහ. ඒ අනුව සන්නද්ධ අරගලයක් දියත් කෙරුණු අතර එය සිවිල් යුද්ධයක් බවට පත්විය. කාලයක් යද්දී මේ දිවයිනේ විශාල කොටසක් බෙදුම්වාදී කොටස් අතට පත්විය. බහුතරය සහ ප‍්‍රධාන සුළුතරය අතර වාර්ගික බැම්ම බිඳී ගිය අතර සුළුජාතික භාෂාව වහරන ප‍්‍රජාව මහජාතික භාෂාව වහරන ප‍්‍රජාවෙන් වියෝ වූහ. දුරස් වූහ.

මේ ව්‍යාධියේ රෝග ලක්ෂණ, ජාතික ගීය හරහාද දැකගත හැකි විය. ඒ අනුව, එය මහජාතික භාෂාවෙන් පමණක් ගායනා කරන්ට පටන් ගැනුණි. අනිත් අතට, බෙදුම්වාදී මානසිකත්වය සුළු ජාතික ප‍්‍රජාව අතරේ ව්‍යාප්ත වෙද්දී, එම භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට කෙනෙක් නොවුහ. එසේ හෙයින්, සුළු ජාතික භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ ව්‍යවස්ථාමය අවස්ථාව තිබුණත්, එතැන් පටන් ප‍්‍රායෝගිකව එය ක‍්‍රියාත්මක වුණේ නැත.

මේ අතරේ ප‍්‍රධාන වෙනසක් සිදුවිය. බෙදුම්වාදය ඇදහූ සන්නද්ධ සංවිධානය මුලිනුපුටා දැමීමෙන් යුද්ධය නිමා විය. රටේ උතුරු දිග් භාගයේ සිට දකුණු දිග් භාගය දක්වාත්, නැගෙනහිර සිට බටහිර දක්වාත් මුළු රටම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තෝරා පත්කර ගත් ආණ්ඩුවේ පාලනය යටතට පත්වුණි. සුළු ජාතික ප‍්‍රජාව, රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තුළට යළි ඇතුල් වුහ. ඔවුන්ගේ පැවැත්මේ බිඳුණු යටගියාව පිළිසකර කර ගනිමින් සංහිඳියාවේ නව මාවතකට ඔවුහූ ප‍්‍රවිශ්ඨ වුහ. නැවතත් මේ ජනතාව, අවුරුදු දහස් ගණනක් තිස්සේ තමන් විසූ දේශයට තමන්ද අයත් වෙතැ යි යන හැඟීම වර්ධනය කරගත්හ. ඒ වු කලී, බෙදුම්වාදයට ආයුබෝවන් කීමක් මෙන්ම, භාවාතිෂයව මෙන්ම ආධ්‍යාත්මිකවත් මාතෘ භූමිය යළි වැළඳ ගැනීමක් විය. තවත් විදිහකින් කිවහොත්, විවිධත්වය ආරක්ෂා කරගන්නා අතරේම, එක්සත් භාවයත් ශක්තිමත් කර ගැනීමක් විය.

මව්බස

දැන් ව්‍යවස්ථාමය වශයෙන් ජාතික භාෂාවක් වශයෙන් පිළිගෙන ඇති සුළුතර ප‍්‍රජාවේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අවස්ථාව ලැබීම තරම්, ඒ යහපත් වෙනස සැමරිය හැකි තවත් ක‍්‍රමයක් වේද? එම රට තම මාතාව වශයෙන් සළකා තමන්ට හැෙඟන සහ තමන්ට දැනෙන භාෂාවෙන් සුළුතර ජාතියත් එම ගීතය ගායනා කිරීම මොන තරම් හොඳද/ ඒ මාතෘ භූමියට ‘‘ඔබ වේ අප විද්‍යා, ඔබමය අප සත්‍යා, ඔබ වේ අප ශක්ති, අප හද තුළ භක්තී,’’ යනුවෙන් ස්වකීය භාෂාවෙන්ම ඇමතීම, ‘‘ඔබ අප ආලෝකේ, අප හද අනුප‍්‍රාණේ’ යනුවෙන් එම මාතාව ගැන ස්වකීය භාෂාවෙන්ම වර්ණනා කිරීම, ‘‘එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා, පේ‍්‍රම වඩා සැම භේද දුරැුලලා නමෝ නමෝ මාතා’ යනුවෙන් ස්වකීය භාෂාවෙන්ම එම සුළුජාතික ප‍්‍රජාව ගායනා කිරීම මොන තරම් සුන්දරද?

වෙනත් ඕනෑම දේශයක හෝ රටක නම් මේ වෙනස දොහොත් මුදුන් දී පිළිගනු ඇත. දශක ගණනාවක් තිස්සේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයෙන් පිටමං කොට තිබූ සුළු ජාතියක් සමස්ත රටේ ජාතික ගීය ඔවුන්ගේම භාෂාවෙන් ගායනා කිරීම සඳහා වෙනත් ඕනෑම රාජ්‍යයක්, හැකි හැම අනුබලයක්මත්, ධෛර්යයක්මත් සපයනු ඇත.

එහෙත් මේ දේශයේ එය එලෙසින් සිදු නොවිණ. සුළු ජාතියට තම භාෂාවෙන් ජාතික ගීය ගැයීමට තිබු ව්‍යවස්ථාමය අයිතිය උදුරා ගැනිණ. මහ ජාතික භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් ජාතික ගීය ගැයීම වැළැක්වීම සඳහා අණපනත් ගෙන ඒමට පවා වෑයමක් ගැනුණත්, කැබිනට් මණ්ඩලයේම ඇතැම් කොටස්වල විරෝධය මධ්‍යයේ එය ව්‍යර්ථ විය. කෙසේ වෙතත්, එයින් පසු ජාතික ගීය සුළු ජාතික භාෂාවෙන් ගායනා කිරීම පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති විය. එම ව්‍යාකූලත්වය මධ්‍යයේ, ‘නොනිල’ වශයෙන් බලධාරීන් විසින් සමාජයට මුදාහැරුණු ප‍්‍රබල පණිවිඩය වුණේ, වෙනත් භාෂාවකින් ජාතික ගීය ගායනා කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් වන බවකි. ඒ ‘නොනිල’ නියෝගය නිල වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට, නිලධාරී තන්ත‍්‍රයත්, ත‍්‍රිවිධ හමුදාවත් යොදා ගැනුණි.

එහි ස්වාභාවික ප‍්‍රතිවිපාකය වුණේ, සුළු ජාතිය අතරේ බලවත් සිත් තැවුලක් සහ අපේක්ෂා භංගත්වයක් ජනිත කැරැුවීමයි. ඒ වනාහී, ජාතික ප‍්‍රවාහයට යළි අවතීර්ණ වීමේ සොඳුරු අපේක්ෂා දල්වාගත් සුළු ජාතියට එල්ල කරන ලද අකාරුණික අතුල් පහරක් විය. ඒ හරහා, බහුතරයේ උඬගුව පිළිබඳ තවත් උදාහරණයක් වශයෙන් එම ‘තහනම’ සැළකීමේ අවස්ථාව උදා කෙරිණ. රට අගාධයට පත්කළ බහුතරයේ ස්වෝත්තමවාදියෝ කලින් තමන් විසින් ඇති කළ තුවාල තවත් පාරවමින් නැවත බලය අපහරණය කරන්නට වූහ.

රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන්, විද්‍යාර්ථීන්, මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු මධ්‍යස්ථ පිරිස් මින් බලවත් කණස්සල්ලටත්, විස්මයටත් පත්වූහ. වාර්ගික ගැටුම්වලින් දීර්ඝ කාලයක් තිස්සේ දෙකඩව පැවති රටක් අවසානයේ වාර්ගික සමගිය ඔස්සේ ජාතික ඒකාග‍්‍රතාවක් සොයාගෙන, එකට ගමන් කිරීමට ඉදිරිපත්ව ඇති අවස්ථාවක මෙවැන්නක් සිදුවීම ඔවුන්ට අදහාගත නොහැකි විය. සිහිමොළයක් ඇති කිසි බුද්ධිමත් රටක මොනම විදිහේ ප‍්‍රශ්නයක්වත් විය යුතු නැති මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් මෙවන් අදානග‍්‍රාහී ආකල්පයක් දැරීමේ තේරුම් කුමක්ද?

*2015 මාර්තු 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Singing the National Anthem in Tamil Hailing “Mother Lanka” as “Sri Lanka Thaaye”නැමැති ලිපියේ එක් කොටසක සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ජාතික ගීය දෙමළෙන් ගැයීම වැළක්වීම
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කරන භාෂාව සම්බන්ධව සමාජ කතිකාවක් මේ දිනවල සමාජයේ පවතින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් ඒ සම්බන්ධව නීතිමය විමසා බැලීමක් මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.