20 April, 2024

Blog

ඖෂධ සමාගම්වල අධම දූෂණය චීනයෙන් හෙළිදරව් වෙයි, එහෙත්, චීන සාධකයට ද සම්බන්ධයක් ඇතැ යි සිතෙන ගුප්ත දේවල් ලංකාවේ දැන් සිදුවෙමින් තිබේ

ඬේලි මිරර්’ කතුවැකිය  –

පසුගිය දශක කිහිපය තුළ ජගත් ධනපති වෙළඳපොළ ආර්ථික ක‍්‍රමය තුළ දැවැන්තම වෙළඳ ව්‍යාපෘතිවලින් එකක් වශයෙන් බහුජාතික ඖෂධ සමාගම් පෙරමුණේ සිටින බව කවුරුත් දනිති. ඖෂධ වෙළඳාම, ආයුධ සහ කෘෂි රසායනික ව්‍යාපාරයට වැඩියෙන් නොවේ නම්, අඩු වශයෙන් ඒවා තරමටවත් ලාභ ලබන ඊළඟ ව්‍යාපාරය බවට අද පත්ව ඇත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ වර්තමාන සභාපතිවරයා වන, රෝගීන් කෙරෙහි හිතකාමී කීර්තිමත් වෛද්‍ය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මේ මාතෘකාව ගැන ජනතාව දැනුවත් කිරීමේ බොහෝ සම්මන්ත‍්‍රණවල දී අදහස් දක්වයි. ‘‘ජාත්‍යන්තර ඖෂධ සමාගම්වල නිරුවත් ඇත්ත, ඔවුන් අපව රවටනු ලබන්නේ කෙසේද, ඒ ගැන අපට කළ හැක්කේ කුමක් ද’’ යනාදී කරුණු ඔහුගේ එම කතිකාවන්ට නිමිති වෙයි.

සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේ

කවුරුත් දන්නා ප‍්‍රසිද්ධ රහසක් වශයෙන් මෙතෙක් පැවති කාරණයක්, චීන රජය විසින් කරන ලද හෙළිදරව්වක් හේතුවෙන්, ජගත් මාධ්‍ය තුළ ප‍්‍රධාන සිරස්තලය බවට පත්වුණි. බි‍්‍රතාන්‍ය මූලස්ථානය කරගත්, කීර්තිමත් අන්තර්ජාතික ඖෂධ සමාගමක්, ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රුපියල් මිලියන 6500 කට අධික) යෝධ පගාවක් චීනයේ සෞඛ්‍ය නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට සැපයීමට ඉදිරිපත්ව තිබීම ඊට හේතු විය. ලංකාව ද ඇතුළු ලෝකයේ තවත් බොහෝ රටවල ව්‍යපාරික කටයුතුවල යෙදෙන මේ ඖෂධ සමාගමට එම හෙළිදරව්ව වූ කලී, ගිලීමට අපහසු තිත්ත පෙත්තක් විය. මිලියන 1300 ක ජනතාවක් වෙසෙන චීන වෙළඳපොළ මේ සමාගමේ ප‍්‍රධාන එල්ලය වී තිබේ. සමාගමේ කාර්ය මණ්ඩලය, චීන රජයේ ඉහළ නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට අල්ලස් දී ඇති අතර, සම්මන්ත‍්‍රණ පැවැත්වීම සඳහා සංචාරක සමාගම්වලින් වරදාන ලබාගෙන ඇත. එයින් ඇතැම් සම්මන්ත‍්‍රණ කිසිදාක නොපැවැත්වුණු ව්‍යාජ ඒවා ය.

මොනම ආකාරයක හෝ ව්‍යාපාරික දූෂණයකට තමන් තදින්ම විරුද්ධ බව කියන චීනයේ වෙළඳ අමාත්‍යාංශය, එවැන්නක නිරත වන, දේශීය වේවා විදේශීය වේවා, ඕනෑම සමාගමකට එරෙහිව නීතියෙන් දඩුවම් කරන බව කියයි.

චීන වෛද්‍යවරුන්ට අල්ලස් දුන්නේ යැයි කියන තවත් බහුජාතික ඖෂධ සමාගම් ගැනත් චීන රජය පරීක්ෂණ පවත්වමින් සිටින බව, ව්‍යාපාරික විශ්ලේෂකයෝ කියති. අඩු වැටුප් තත්වයන් නිසා මෙවැනි අල්ලස් ගැනීමට චීන වෛද්‍යවරු පෙළඹී සිටින බව පෙනේ. කෙසේ වෙතත්, චීන වෙළඳපොළේ විකිණිය හැකි ඖෂධවල සමස්ත වටිනාකම ඩොලර් බිලියන ගණනක් විය හැකි නිසා, අතරමැද සමථයක් වශයෙන්, එම බහුජාතික සමාගම් මගින් චීන වෙළඳපොළට සපයන ඖෂධවල මිල පහළ දැමීමට ඉඩ ඇති බවත් ඔවුහූ පෙන්වා දෙති.

චීනයෙන් හෙළිදරව් කෙරුණු මේ නින්දිත ජාවාරම, ලංකාවේ රාජ්‍ය නායකයන්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ඇස් ඇරවීමට පාදක විය යුතුව තිබේ. අභාවප‍්‍රාප්ත මහාචාර්ය සේනක බිබිලේ විසින් ඉදිරිපත් කරන ලද ‘‘අත්‍යාවශ්‍ය ඖෂධ සංකල්පය’’ මත පදනම්ව ‘ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක්’ සඳහා වන නීතිරීති සකස් කිරීමේ හදිසි අවශ්‍යතාව මෙහි දී මතුවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධ ප‍්‍රතිපත්ති විශේෂඥ මහාචාර්ය ක‍්‍රිෂාන්ත වීරසූරිය, 2005 ජුලි මාසය තරම් ඈත වකවානුවක දී, ජනතාවට සාධාරණ මිළකට ලබාගත හැකි ගුණාත්මක ඖෂධ සැපයිය හැකි, ‘ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක්’ පිළිබඳ විස්තෘත කෙටුම්පතක් රජයට ඉදිරිපත් කොට ඇත. මේ කෙටුම්පත සකස් කිරීමේ දී ඔහු ‘රෝගීන්ගේ අයිතිවාසිිකම් සඳහා වන ජනතා ව්‍යාපාරය’ වැනි මෙම විෂයට අදාළ සියළු පාර්ශ්වකරුවන් සමග මේ ගැන පුළුල්ව සාකච්ඡුා කොට තිබේ. එසේ ඉදිරිපත් කරන ලද ‘ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය’ 2005 ඔක්තෝබර් මාසයේ දී කැබිනට් මණ්ඩලයෙන් අනුමත විය. එදා පටන්, ජනාධිපතිවරයාත්, සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුත් එය ඉක්මණින් ක‍්‍රියාවේ යොදවන බවට පොරොන්දු වී ඇත. එහෙත් ඒ, ‘ඉක්මනට’ දැන් වසර අටක්ම ගතව ඇත. චීනයේ දූෂිත අපචාරය වැනි සිද්ධියක් මේ ගුප්ත පමාවට හේතුවන්ට ඇත්දෝ හෝ යි, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සමාජ ක‍්‍රියාධරයෝ සැක කරති. ‘ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය’ සඳහා වන නීතිරීති හඳුන්වා දීමට තමන්ට අවශ්‍ය කළ බවත්, ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලෙස රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරියට උපදෙස් දුන් බවත්, සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මෑතක දී කීය. එහෙත්, චීන සාධකයට ද සම්බන්ධයක් ඇතැ යි සිතෙන ගුප්ත දේවල් ලංකාවේ ද දැන් සිදුවෙමින් තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයාම දැන් කියන පරිදි, මේ සම්බන්ධයෙන් සම්පාදනය කොට තිබූ කෙටුම්පත අස්ථානගතව තිබේ. සෞඛ්‍ය අයිතීන් පිළිබඳ ක‍්‍රියාකාරී කණ්ඩායම් කියන පරිදි, ‘අස්ථානගත’ වීම යන වචනය, ආණ්ඩුවට මේ ගැන උවමනාවක් නැති බව වෙනත් ආකාරයකින් පැවසෙන ක‍්‍රමයකි.

එහෙත් දසලක්ෂ ගණනක් ජනතාවට මෙවැනි නීතියක් ඉක්මණින්ම අවශ්‍යයි. බහුජාතික සමාගම් ගෙන යන නව යටත්විජිතවාදී ආර්ථික උපාය මාර්ග ප‍්‍රතික්ෂේප කොට, මිළ අධික ඖෂධ වර්ග මේ රටට ආනයනය කිරීම අවම කරන ලෙසත්, ඖෂධ පිළිබඳ තත්ව පාලන විධිවිධාන පනවා, සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරුන් සම්බන්ධ දූෂණ අවසානයක් කිරීමට පියවර ගන්නා ලෙසත්, අපි උදක්ම රජයෙන් ඉල්ලා සිටිමු.

*2013 ජුලි 27 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවු China Exposes Shameful Corruption by Drug Companies (ඖෂධ සමාගම්වල අධම දූෂණය චීනයෙන් හෙළිදරව් වෙයි) නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.