26 April, 2024

Blog

බිබිලේ අභිරහස තුළ හොල්මන් කරන අවතාර

ඬේලි මිරර්’ කතුවැකිය

ඖෂධ වෙළඳපොළේ අද පවතින අරාජකත්වය තුළ වඩාත් ආරක්ෂිත, වඩාත් ඵලදායී සහ අඩුම මිළ කුමන බෙහෙත් වර්ග ද යන්න ගැන වෛද්‍යවරුන්, රෝගීන් සහ ඖෂධාලවල පැහැදිළි මතයක් නොතිබීමේ තත්වය තුළ, සෞඛ්‍ය සේවයේ ප‍්‍රතිසාධනය වෙනුවෙන් රෝගීන්ගේ යහපැවැත්ම ඉහළම ප‍්‍රමුඛත්වයේ ලා සැළකිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයට මතක් කර දිය යුතුව තිබේ.

මහාචාර්ය බිබිලේගේ

මහාචාර්ය බිබිලේගේ

ලෝකයේ වඩාත් ගෞරවාදරයට පත් විශේෂඥ ඖෂධවේදියෙකු වන දොස්තර සේනක බිබිලේ විසින් ඉදිරිපත් කරන ලද මූලික ප‍්‍රතිපත්ති මත සංගෘහිත කෙරුණු ‘ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය’ මේ දක්වා ක‍්‍රියාත්මක නොකිරීම ගැන, ගත වූ අට වසක කාලය තුළ බලයේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, විවිධ හේතු සහ අවසරයන් විටින් විට දක්වා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 2005 ඔක්තෝබර් මාසයේ දී ‘ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක්’ පිළිබඳ සවිස්තරාත්මක කෙටුම්පතක් අනුමත කෙළේය. එහෙත් පොරොන්දු පිට පොරොන්දු දුන්නත්, ‘රෝගීන්ගේ අයිතීන් පිළිබඳ ජනතා ව්‍යාපාරය’ විසින් ඒ පිළිබඳ නඩු මාර්ගයට පවා පිවිසියත්, තත්වයෙන් උසස් ඖෂධ වර්ග සාධාරණ මිළ ගණන් යටතේ මහජනතාවට සැපයීම ඉලක්ක කොට ගත් ‘ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය’ ක‍්‍රියාත්මක කිරීම සඳහා වන රෙගුලාසි 2013 වසරේ දීත් බලගැන්වෙන බවක් පෙනෙන්නට නැත.

බහුජාතික ඖෂධ සමාගම් ද, වෛද්‍ය විශේෂඥයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් ඇතුළු ඔවුන්ගේ දේශීය ඒජන්තයෝ සහ පාර්ශ්වකරුවෝ ද, මහාචාර්ය බිබිලේගේ ප‍්‍රතිපත්ති මාක්ස්වාදී හෝ සමාජවාදී යැයි ගරහති. ධනපති වෙළඳපොළ ගෝලීය ආර්ථිකයකට එවැනි ප‍්‍රතිපත්ති නොගැළපෙන බව කියති.

ලෝකයේ ලොකුම ධනපති ක‍්‍රමය වන ඇමරිකා එක්සත් ජනපදය පවා බිබිලේගේ ප‍්‍රතිපත්ති සාර්ථකව ක‍්‍රියාවේ යොදවා ඇති බව මේ විවේචකයන්ට පෙන්වා දිය යුතුය. එපමණක් නොව, තවත් බොහෝ යුරෝපා රටවල් ද එම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යොදවා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඒවා ඉහළින්ම අගේ කොට වෙනත් රටවලට නිර්දේශ කොට තිබේ.

බිබිලේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම අවුරණ හෝ ඒවාට විරෝධය පාන අයවළුන්ට තදින් අවවාද කළ යුතුය. මිනිසුන්ගේ සෞඛ්‍ය, වෙළඳ පොළ බලවේගවලට තීරණය කිරීමට දුන්නොත් මියයන්නේ දුප්පතා ය. එවැනි දිළින්දන්ගේ මරණ පිළිබඳ වගකීමේ ආදීනව, මේ ඖෂධ සමාගම් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයන් වෙතට කැරකී එනු ඇත.

දැනට ශ‍්‍රී ලංකාවට ගෙන්වන, විකුණන සහ වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ වර්ග සංඛ්‍යාව 13,000 කටත් අධික ය. එය ලෝක වාර්තාගත ඉහළ සංඛ්‍යාවකි. බිබිලේ ප‍්‍රතිපත්තිවලට අදාළ රෙගුලාසි ක‍්‍රියාවට නැංවුවහොත් ලංකාවට ගෙන්විය යුතු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ලැයිස්තුව 1000 ක් පමණ වන්නේය. මේ ලැයිස්තුව, ‘ස්වාධීන ජාතික ඖෂධ නියාමන අධිකාරියක්’ මගින් තීරණය කෙරෙන අතර, එම අධිකාරිය සමන්විත වන්නේ, අවංක භාවය පිළිබඳ කැළලක් නැති, බැඳියා පිළිගැටුමකින් තොර, වෛද්‍යවරුන්, ඖෂධවේදීන් සහ රසායනඥයන්ගෙනි.

‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ අත්‍යාවශ්‍ය ඖෂධ තීන්දු කිරීම සඳහා සාධක පහක් සැළකිල්ලට ගනී: ඒවා නම් තත්වය, නිරාපදාව, කාර්යක්ෂමතාව, මිළ සහ අදාළ ඖෂධය සඳහා වන අවශ්‍යතාව වන්නේය. එම අගැයීමෙන් පසුව එම ඖෂධ වර්ග ආසන්න රටකින් සහ බහුජාතික සමාගම් කිහිපයකින් මිළදී ගත හැකිය. ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ සාමාජිකයන්ට හෝ ඒ මගින් නිර්දේශ කරනු ලබන වෙනත් සුදුසු පුද්ගලයන්ට හෝ එම නිෂ්පාදන ශාලා නැරඹීමට ගොස් නිෂ්පාදන ක‍්‍රියාපරිපාටිය අධ්‍යයනය කිරීමට ද පිළිවන. එම ඖෂධ වර්ගවල ගුණාත්මක භාවය ගැන, ‘ජාතික ඖෂධ තත්ව සහතික රසායනාගාරයට’ පරීක්ෂා කර බැලීමට ද හැකියාව තිබේ. එපමණක් නොව, පශ්චාත්=වෙළඳ අධීක්ෂණ ක‍්‍රියාවලියක් පවත්වා ගැනීම ද ඒ මගින් පහසු කෙරේ.

බිබිලේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීමේ නෛතික ප‍්‍රතිපාදන මෙතෙක් පමා වී ඇත්තේ, රජයේ ප‍්‍රධාන නීති කෙටුම්පත් නිලධාරිනියගේ කාර්යාලයෙන් ඒවා අස්ථානගතව ඇති නිසා යැයි, මෑතක දී පැවැත්වූ බිබිලේ අනුස්මරණ රැුස්වීමක් අමතා සෞඛ්‍ය ඇමති මෛත‍්‍රිපාල සිරිසේන කීවේය. ඇය දැන් ‘ඖෂධ වෙළඳ මණ්ඩලයේ’ උපදේශිකාවක සේ සේවය කරන බවට ද එහි දී ඔහු චෝදනා කෙළේය. එහෙත් මේ චෝදනා ප‍්‍රතික්ෂේප කරන, දැනට විශ‍්‍රාම ගොස් සිටින අදාළ නිලධාරිනිය, අදාළ නීති කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශයට තමා භාර දී ඇති බවත්, පැහැදිළි හේතු මත එම ස්ථානයෙන් එය අස්ථානගත වී ඇති බවත් කියයි. එසේම, තමා ඖෂධ වාණිජ මණ්ඩලයක සේවය කරන බව කීමත් බොරුවක් බව කියන ඇය, එවැනි යෝජනාවක් තමාට ලැබුණත් එය තමා ප‍්‍රතික්ෂේප කළ බව කියා සිටී.

මේ කුහක වංචනිකත්වය සහ රැුවටිල්ල කුමක් සඳහා ද? සෞඛ්‍ය අමාත්‍යාංශය මිනිසුන්ගේ ජීවිත සමග මෙසේ සෙල්ලම් කරන්නේ නම්, ජනතාව සඳහා රෝහල් වෙනුවට සොහොන් පොළවල් සදමින් යකා නටන්නේ කවුදැ යි ප‍්‍රශ්න කිරීමේ වගකීමක් ජනතාවට පැවරෙන්නේය.

*2013 නොවැම්බර් 5 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ  The Ghosts in the Bibile  නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.