12 November, 2018

Blog

බරපතල ‘මානව හිමිකම්’ උල්ලංඝනය

අපේ සහෝදර ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියකින් පෙන්වා දෙන පරිදි, 1990 දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක‍්‍රමණය කරන අවස්ථාවේ එම රටේ (කුවේටයේ) සේවයේ නියුතුව සිටි ශ‍්‍රී ලාංකිකයන්ට ගෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසම මගින් ලංකාවට බැර කරන ලද මුදලින් රුපියල් බිලියන 3.2 ක මුදලක්, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවමත් තමන් භාරයේ තබාගෙන සිටින බව, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශයක් ගෙනහැර දක්වමින් කියා සිටී.

එම කතාව තවදුරටත් මෙසේ ය: ‘‘වර්තමාන විනිමය අනුපාතිකය අනුව මෙසේ තබාගෙන සිටින මුදල ඇමරිකානු ඩොලර් මිලියන 20 කට අධික ය. අදාළ පාර්ශ්වවලට තවමත් වන්දි ගෙවා නැත. මන්ද යත්, ‘අදාළ සේවකයන්ට වන්දි ගෙවීමේ විධිමත් ක‍්‍රමවේදයක් තවමත් මේ කාර්යාංශය මගින් ක‍්‍රියාත්මක කොට නැති’ නිසා ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රුපියල් 3,213,918,952 ක මුදලක් තවමත් ඉතිරිව තිබේ. ඊටත් වඩා, මෙය ගිණුම් වාර්තාවල සටහන් කොට ඇත්තේ, ප‍්‍රාග්ධන සංචිතයක් වශයෙනි. ඇත්ත වශයෙන්ම එය දීර්ඝ කාලීන බැර කමකි.’’

මොන තරම් අපරාධයක් ද! ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු, වෙනත් රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය ගැන සොයා බැලීම පවරා ඇති ආයතනයයි. රට වෙනුවෙන් විදේශ විනිමය උපයන ශ‍්‍රී ලාංකිකයන්ගේ අභිවෘද්ධිය සලසාලන්නේ මෙසේ නම් එවැනි ආයතනයක් තවදුරටත් පවත්වාගෙන යාමේ අරුත කුමක් ද?

මේ ප‍්‍රශ්නය හරහා මතු වන කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ, රාජ්‍ය ආයතන තුළ පවතින ගර්හිත අලස බවයි. විශේෂයෙන් සාමාන්‍ය ජනතාවට අදාළ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ කෙරුවාව එසේ ය. දෙවැනුව, මේ වනාහී රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ගේ නිර්දය භාවයත් කියාපාන නිදර්ශනයකි. ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක‍්‍රමණය කරන අවස්ථාවේ එහි සේවය කළ 100,000 ට අධික ශ‍්‍රී ලාංකිකයන්ට විඳීමට සිදු වූ දුක්ගැහැට අපමණ ය. ඇතැමුහු ජීවිතක්ෂයට පත්වූහ. තවත් අය තුවාල ලැබූහ. සෑම කෙනෙකුටම පාහේ ලක්ෂ ගණන් වටිනා තමන්ගේ සේසත අහිමි කර ගැනීමට සිදු විය. වාර්තාගතව ඇති පරිදි, 1990 අගෝස්තු 2 වැනි දා සිට 1991 මාර්තු 2 වැනි දා දක්වා කාලය තුළ ශ‍්‍රී ලාංකිකයන් 8 දෙනෙකු මරුමුවට පත්ව ඇති අතර 32 කු තුවාල ලබා තිබේ. ඔවුන් අත්විඳි ක්ෂතිය, විශේෂයෙන් වෙනත් රටක වෙසෙන ගැහැනුන් සහ තරුණියන් වශයෙන් කෙනෙකුට විඳින්ට සිදු වූ ඒ විනාශය වෙනත් කෙනෙකුට වටහා ගැනීමට පවා නොහැක. බොහෝ විට එරටේ භාෂාව පවා හරි හැටි නොදැන, තමන්ගේ දුක කීමට කිසිවෙකු නැතිව එවැනි අබග්ගයකට මුහුණපෑම සුළුපටු නොවේ.

අවසානයේදී කුවේටයට වන්දි ගෙවීමට ඉරාක ආණ්ඩුවට සිදු විය. ඒ අනුව, 1991 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඇති කර ගන්නා ලද යෝජනාවක් ප‍්‍රකාරව, වින්දිතයන්ගේ ඉල්ලීම් සලකා බලා, ආක‍්‍රමණය නිසා සෘජුව ඇති වු අලාභ හානිවලට වන්දි ගෙවීම නියාමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසම පිහිටුවන ලදි. 2005 වන විට හානිපූරණය සඳහා වන සියලූ ඉල්ලීම් සලකා බැලූ බවත්, ඉල්ලූම්කරුවන් මිලියන 1.5 ක් සඳහා ඩොලර් බිලියන 5.4 ක් වන්දි වශයෙන් ගෙවූ බවත්, එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසම කියා සිටී. පුදුමයක මහත! දැන් 2017 වසරටත් පැමිණ සිටියදී, එනම් අවුරුදු දොළහකට පසුවත්, රට වෙනුවෙන් ශ‍්‍රමය වැගිරූ ඒ අසරණ ශ‍්‍රී ලාංකික සේවකයන්ට වන්දි ගෙවීමට ශ‍්‍රී ලංකාවේ නිලධාරීන්ට හැකි වී නැත.

මේ නාටකයේ වඩාත් කෲරතර කාරණය වන්නේ, තවදුරටත් වින්දිතයන්ට වන්දි නොගෙවීමට බලධාරීන් තීරණය කොට ඇති බවක් පෙනෙන්ට තිබීමයි. මන්ද යත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව පවතින රුපියල් බිලියන 3.2 ක ඉතිරිය, දීර්ඝ කාලීන බැර කමක් වශයෙන් සඳහන් විය යුතුව තිබියදී, මේ කාර්යාංශයේ ගිණුම් තුළ එය ප‍්‍රාග්ධන සංචිතයක් වශයෙන් දක්වා තිබෙන බැවිනි.

ව්‍යසනයන්ගෙන් විපතට පත් වින්දිතයන්ට සහන සැලසීමේ ක‍්‍රියාවලියේදී රාජ්‍ය අංශයේ ආයතනවල පවතින සෝමාරි චර්යාව සහ අනවශ්‍ය බාධාවන් හැම විටකම දකින්ට ලැබේ. පහළ කැළණිවැලි මිටියාවතේ 2016 ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවගෙන් එක් කුඩා කොටසකට වන්දි ගෙවීම සිදු වුණේ පසුගිය ඉරිදා ය. එනම්, හානියෙන් මාස 17 කට පසුව ය. අරලියගහ මන්දිරයේ පැවති මේ උත්සවයේදී කතා කළ ස්වදේශ සේවා අමාත්‍ය වජිර අබේවර්ධන පැවසූ පරිදි, එම වන්දි ගෙවීම පවා සාර්ථක කර ගැනීමට හැකි වී තිබෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ මැදිහත් වීම හේතුවෙනි. ඒ හැරුණු කොට, පුවත්පත් පෙන්වා දෙන පරිදි, 2016 නායයාම්වලින් විපතට පත් වින්දිතයන් තවමත් ජීවත් වන්නේ කූඩාරම්වල ය. මෙය, හුදෙක් නිලධාරීන්ගේ උදාසීනත්වයම නොවේ. ඒ වූ කලී, නිලධාරී පැලැන්තියේ හිතක් පපුවක් නැති කමක් වශයෙන් හැඳින්විය යුතුය.

*2017 ඔක්තෝබර් 24 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ Gross Violation of “Human Rights” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.